IMF වෙතින් ඩොලර් බිලියන 04 ක ණයක් ඉල්ලීමට සැරසෙයි

    February, 13, 2015

    වොෂින්ටනය බලා යෑමට නියමිත රජයේ ඉහළ පෙළේ ධූත කණ්ඩායමක් විසින් මෙරට ගෙවුම් ශේෂයට (balance of payments) සහනයක් ලෙස ඩොලර් බිලියන 04 ක පමණ සහන ණය මුදලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගැනීමට සාකච්ඡා කිරීමට නියමිත බව අනාවරණය වේ.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් 2009 වසරේදී ලංකාවට ඩොලර් බිලියන 2.5 ක සහන ණයක් ලබාදීමට කටයුතු කළේය.

    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසන්නේ වත්මන් රජය ජාත්‍යන්තර ප්‍රසාදය දිනාගෙන තිබෙන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහ ලෝක බැංකුවෙන් සියයට 0.5 ක් තරම් අඩු පොලියකට ණය ලබා ගැනීමේ හැකියාව තිබෙන බවයි.

    මීට අමතරව, ලංකාව ලබාගෙන තිබෙන වැඩි පොලී ණය ප්‍රතිව්‍යුහගත (restructure) කිරීමටද නව රජය අදහස් කර ඇත.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමග සාකච්ඡා කිරීමට වොෂින්ටනයට යන ධූත පිරිසට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාද ඇතුළත් වේ.