INGAME දකුණු ආසියානු ඉ-ක්‍රීඩා කුසලානය 2018 සමගින් මෙරට ඉ-ක්‍රීඩා ක්ෂේත්‍රය ගෝලීය මට්ටමට ළඟා වෙයි

    November, 29, 2018

    පසුගිය වසර කිහිපය තුළ මෙරට ඉ-ක්‍රීඩා ක්ෂේත්‍රයේ සිදුවූ දැවැන්ත වර්ධනයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ ඉ-ක්‍රීඩා (Esports) සංවිධායක ආයතනයවන InGame Entertainment ආයතනය ප්‍රථම INGAME දකුණු ආසියානු ඉ-ක්‍රීඩා කුසලානය සංවිධානය කරයි. දකුණු ආසියානු රාජ්‍යයන් 5ක් තරග වදින මෙම ශූරතාවලියේ ජයග්‍රාහකයන් සඳහා රු. 1,000,000 ක මුදලක් ප්‍රදානය කිරීමට නියමිතය.

    ජාතික ඔලිම්පික් කමිටුවේත්, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේත් (ICTA) සහයෝගයෙන් ශ්‍රී ලංකා ඉ-ක්‍රීඩා සංගමය (SLESA) මෙම තරගාවලිය සංවිධානය කරයි. මෙම තරගාවලියේදී එක් එක් රට නියෝජනය කරමින් තරග වැදීමට සුදුසුකම් ලබන කණ්ඩායම් තෝරා ගැනීම සඳහා මෙහි සංවිධායකයෝ මාලදිවයින සහ පකිස්ථානය යන රටවල ජාතික ඉ-ක්‍රීඩා මණ්ඩල සමග කටයුතු කළහ. මේ වසරේ පැවති ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වූ ඉන්දියානු සහ බංග්ලාදේශ කණ්ඩායම්වලටද මේ තරගාවලියට එක්වීමට අවස්ථාව හිමි විය. Dialog Gaming සවිබලයෙන් දියත් කෙරෙන Gamer.LK ශ්‍රී ලංකා සයිබර් ක්‍රීඩා ශූරතාවලිය හරහා මෙරට නියෝජනය කරන කණ්ඩායම තෝරා ගැනේ.

    "ඉ-ක්‍රීඩා යනු ගෝලීය වශයෙන් ශීඝ්‍රයෙන් ප්‍රචලිත වන ක්ෂේත්‍රයක් වන අතර ඉ-ක්‍රීඩා පරිණාමය තුළ ශ්‍රී ලංකාව පසුගාමී නොවීම සඳහා අප කැපවී කටයුතු කරනවා. අප ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ඉ-ක්‍රීඩා කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම සඳහා කටයුතු කරන අතර එම ඉලක්කය ජය ගැනීම සඳහා අප පුද්ගලික සහ රාජ්‍ය අංශ සමග අත්වැල් බැඳගෙන සිටිනවා" InGame Entertainment ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී රවීන් විජයතිලක මහතා සඳහන් කළේය.

    මීට අමතරව අඛණ්ඩව 11වන වරටත් සංවිධානය කෙරෙන ශ්‍රී ලංකා සයිබර් ක්‍රීඩා තරගාවලිය (SLCG) ද Dialog Play Expo ප්‍රදර්ශනයේදී පැවැත්වීමට නියමිතය. ඩිජිටල් රසාස්වාදන ලෝලීන් හට අත්විඳිය හැකි නවීනත ම තාක්ෂණික ක්‍රමවේද පිරිනමන Dialog Play Expo ශබ්ද, වීඩියෝ, සංගීත, සිනමාපට, ක්‍රීඩා පිළිබඳ උනන්දුවක් දක්වන පිරිස වෙනුවෙන් ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකා සයිබර් ක්‍රීඩා තරගාවලියට අමතරව Dialog Play Expo ශ්‍රී ලංකාවේ දැවැන්ත ම ගීක් සහ පොප් කල්චර් උළෙලවන Colombo Comic Expo මෙන්ම Gamer.LK TopGear සඟරාව සමග අත්වැල් බැඳගනිමින් සංවිධානය කරන ඉ-ධාවන ශූරතාවලිය ද, RockFest 2018 ද සඳහා සහයෝගය ලබාදෙයි.

    Call of Duty 4: Modern Warfare, Counter Strike: Global Offensive, Dota 2, League of Legends, Overwatch, Special Force 2 සහ Rainbow Six Siege වැනි අන්තර්ජාල කණ්ඩායම් ක්‍රීඩා මෙන්ම FIFA 19, Fortnite, Injustice 2 සහ Tekken 7 වැනි තනි පුද්ගල ක්‍රීඩා ද SLCG ශූරතාවලියට ඇතුළත් වේ. ඊට අමතරව Starcraft 2 සහ Dragon Ball Fighterz ආදී ප්‍රවර්ධන තරගාවලි ද මේ යටතේ සංවිධානය කෙරේ. Clash Royale සහ PlayerUnknown's Battlegrounds (PUBG) Mobile යන ජනප්‍රිය ක්‍රීඩා ජංගම දුරකථන ක්‍රීඩා ශුරතාවලියට ඇතුළත් වේ.

    තරගකාරී ශ්‍රේණිගත උළෙලක් ලෙස ශ්‍රී ලංකා ඉ-ක්‍රීඩා සංගමයේ පිළිගැනීමට ලක්ව ඇති SLCG ශුරතාවලිය යටතේ Mario Kart 8, Need for Speed: Most Wanted සහ Mortal Kombat: XL යන ක්‍රීඩා සමගින් විශේෂ කාන්තා ශුරතාවලියක් ද Fruit Ninja සහ Subway Surfers ක්‍රීඩා සමගින් වයස අවුරුදු 12න් පහළ ශුරතාවලියක් ද සංවිධානය කෙරේ.

    මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් රැසක් Dialog Play Expo සමග අත්වැල් බැඳගෙන සිටී. මෙහි ප්‍රධාන අනුග්‍රාහකයා වන ඩයලොග් සමාගම මෙම ප්‍රදර්ශනයේ සංවිධානය කර ඇති ඩයලොග් අත්දැකීම් කලාපය තුළ පුළුල් පරාසයක විහිදුනු ඩිජිටල් විනෝදාස්වාද නිෂ්පාදන සහ සේවා ප්‍රදර්ශනය කිරීමට නියමිතය. රෙඩ් බුල් නිල ශක්තිජනක පානය ලෙස අත්වැල් බැඳගෙන සිටින අතර DELL මෙහි රන් අනුග්‍රාහක ලෙස අත්වැල් බැඳගෙන සිටී. ඩිජිටල් සහ ඉ-ක්‍රීඩා ක්ෂේත්‍රයේ මෙරට නැගී එන ව්‍යවසාය ප්‍රවර්ධනය කිරීමේ උත්සාහයේ තවත් ඉදිරි පිරියවරක් ලෙස ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය (ICTA) ද මෙම අවස්ථාව සඳහා සිය සහයෝගය දක්වයි.

    IGE දකුණු ආසියානු කුසලානය පිළිබඳ වැඩිදුර විස්තර සඳහා http://esportscup.asia වෙත පිවිසෙන්න.

    InGame Entertainment ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී රවීන් විජයතිලක (වමේ) සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ ජ්‍යෙෂ්ඨ උපදේශක, ඉන්දික ද සොයිසා යන මහත්වරු ඡායාරූපයේ වෙති.