INSEE Ecocycle, 2024 හරිත කර්මාන්ත සම්මාන උළෙලෙහි දී රනින් පිදුම් ලබයි

    July, 17, 2024

    2003 වසරේ ආරම්භයේ සිට නව කර්මාන්ත ප්‍රමිතීන් සකස් කරමින් තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණය සහ පාරිසරික සේවාවන් හි නිරත වන ප්‍රමුඛතම සමාගමක් බවට පත් වී ඇති INSEE Ecocycle සමාගම,  කාර්මික අපද්‍රව්‍ය ආශ්‍රිත අභියෝග සඳහා හඳුන්වා දී ඇති විසඳුම් කාර්මික සංවර්ධන මණ්ඩලයේ පිළිගැනීමට ලක් වී ඇත.  INSEE Ecocycle සමාගම වසර ගණනාවක් පුරා දේශීය සමූහ ව්‍යාපාර, බහුජාතික සමාගම් සහ රාජ්‍ය ආයතන ඇතුළු ආයතන 1,500 කට අධික සංඛ්‍යාවක් සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් මිලියනයකට වැඩි ප්‍රමාණයක් සාර්ථකව කළමනාකරණය කිරීමට සමත් ව ඇති අතර, මෙම ජයග්‍රහණය මගින්  පාරිසරික භාරකාරත්වය සහ තිරසාරත්වය සඳහා INSEE Ecocycle සමාගමේ කැපවීම පිළිබිඹු කරයි.

    මෙම ජයග්‍රහණය පිළිබඳ ව අදහස් දක්වමින් INSEE Ecocycle සමාගමේ සාමාන්‍යාධිකාරී සුජිත් ගුණවර්ධන මහතා සඳහන් කළේ, "2024 හරිත කර්මාන්ත සම්මාන උලෙළේ දී රන් සම්මානයට පාත්‍ර වීම තුළින්  INSEE Ecocycle සමාගම තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් වගේ ම පාරිසරික සංරක්ෂණය වෙනුවෙන් සිදු කරන කැප වීම පිළිබිඹු වෙනවා. ඒ වගේ ම ශ්‍රී ලංකාව පිරිසිදු, හරිත රටක් බවට පත් කිරීම සඳහා අපගේ මෙම කැප වීමේ කොටස් කරුවන් වන සියලු ම සේවකයින්ගේ, හවුල් කරුවන්ගේ වගේ ම සියලු ම පාර්ශව කරුවන්ගේ කැපවීම සහ උත්සාහයත් මෙම සම්මානයෙන් ඇගයීමට ලක් වුණා." යනුවෙනි.

    කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණය, නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය, FMCG අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය, රසායනික අපද්‍රව්‍ය කළමනාකරණය, කාර්මික පිරිසිදු කිරීම, ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය සහ විශ්ලේෂණාත්මක රසායනාගාර සේවා ඇතුළු පුළුල් පරාසයක විසඳුම් රැසක් ලබා දෙන  INSEE Ecocycle  අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රියාවලියේ කසල එකතු කිරීමේ සිට නිසියාකාර ව බැහැර කිරීම දක්වා  සෑම අංශයක් ම ආවරණය කරයි.

    2024 හරිත කර්මාන්ත සම්මාන උළෙලේදී ලැබු රන් සම්මානය INSEE Ecocycle ලැබූ ජයග්‍රහණයක් පමණක් නොව, පාරිසරික තිරසාරත්වය ඉදිරියට ගෙන යාමට සහ අපද්‍රව්‍ය කළමනාකරණයේ නවෝත්පාදනය සඳහා සමාගමේ ස්ථිර කැපවීම අවධාරණය කරයි.