IOC පිරවුම්හල් හිමියන් පාරට බසී. මිල සමාන කරන්නැයි ඉල්ලයි

    February, 5, 2020

    ලංකා ඛනිජතෙල් සංස්ථාවේ සහ ලංකා IOC සමාගමේ ඉන්ධන පිරවුම්හල්වල අලෙවියට ඇති ඉන්ධන මිල ගණන් අතර පවතින අසමානකම් හේතුවෙන් තම පිරවුම්හල් වෙත පාරිභෝගිකයින්ගේ පැමිණීම දැඩි ලෙස පහළ ගොස් ඇති බවත්, මේ හේතුවෙන් තම ව්‍යාපාර ඉදිරියට පවත්වාගෙන යා නොහැකි මට්ටමකට පැමිණ ඇති බවත් ලංකා IOC ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

    මේ සම්බන්ධයෙන් ලිපියක් භාර දීම සඳහා ලංකා IOC පිරවුම්හල් හිමියන් පිරිසක් විසින් අද (05) උදෑසන කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ තිබුණි.

    මෙම මිල අසමානතාවය පිළිබඳ අදහස් දක්වමින් ලංකා IOC බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති, කෝසල විදානාරච්චි මහතා මෙසේ කියා සිටියේය.

    “මේ වෙන කොට අපි අර්බුදකාරී තත්ත්වයකට පත්වෙලා තියෙනවා. මේ මිල අසමාන වීම පිළිබඳව. CPCවල එක මිලක්. IOC ෂෙඩ්වල එක මිලක්. එම තත්ත්වය තුළ පාරිභෝගිකයා අපෙන් ඈත් වීමේ තත්ත්වයක් මේ වෙන කොට උදාවෙලා තියෙනවා. මේ මිල අසමානකම නිසා පාරිභෝගිකයා අපෙන් ඉවත්වීම නතර කරන්න බැරි වෙලා තියෙනවා. ඒ තුළ අපිට විශ්වාසවන්තව, අඛණ්ඩව ව්‍යාපාරයක යෙදෙන්න බැරි වෙලා තියෙනවා. එක කාලෙක ඩීසල් වැඩිකරනවා, එක කාලෙක පැට්‍රොල් වැඩි කරනවා, මේකේ කිසිම ප්‍රමිතියක් නැහැ. එතකොට අපත් සමඟ අඛණ්ඩව ගනුදෙනුකරන පාරිභෝගිකයෝ අපෙන් ඈත් වෙනවා.“

    “IOC සමාගම කියන මිලට තමයි අපිට විකුණන්න වෙලා තියෙන්නේ. අපි දන්නෙත් නැහැ අපි හෙට කීයටද විකුණන් ඕනේ කියලා. ලංකාව එක රටක්. ඒ තුළ පාරිභෝගිකයන්ට එක මිලකට ඉන්ධන විකුණන්න ඕනේ. මේක අනිවාර්යයෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩයක් වෙන්න ඕනේ. මෙය මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ ප්‍රශ්නයක්. ඔවුන් තමයි මේ මාෆියාවේ ඉන්නේ. අපිට නම් වශයෙන් කියන්න පුළුවන්.“

    “මේ වෙන කොට අපේ බැංකු අයිරාව ගොඩාක් ඉහළට ගිහිල්ලා. අපි ෂෙඩ් එක දාපු මිලවත් අපිට පියවගන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම අපේ සේවකයන්ට නියමාකාර වැටුපක් දෙන්න බැරි වෙලා තියෙනවා. ඒ ගොල්ලන්ගේ වැටුපක් ඉහළ දමන්න බැරි වෙලා තියෙනවා. දිරිදීමනා දෙන්න බැරි වෙලා තියෙනවා. අවුරුදු තුනක් තිස්සේ එකම පඩියට ඒ ගොල්ලෝ වැඩ කරන්නේ. අපේ හැම පිරවුම්හල් හිමියෙක්ම, අඩුම ගාණේ රුපියල් කෝටි 3ක 4ක ණයක් තියෙනවා, බැංකු වලට.“

    “අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා, මේ මිල සමාන කරන්න කියා. මෙය අත්‍යාවශ්‍ය සේවාවක් නම්, අත්‍යාවශ්‍ය භාණ්ඩයක් බවට පත්කරන්න. එකේ තමයි අවසාන විසඳුමක් තියෙන්නේ.“

    කෙසේ වෙතත් ඉන්ධන පිරවුම්හල් හිමියන් මෙවැනි ප්‍රකාශයක් කළ ද, නවතම වාර්තාවලට අනුව ඉන්දියන් ඔයිල් සමාගමේ මෙරට ව්‍යාපාරික ඒකකය වන ලංකා IOC සමාගම පසුගිය 2019 දෙසැම්බර් 31න් අවසන් කාර්තුව තුළ දී රුපියල් මිලියන 489.75 ක ශුද්ධ ලාභයක් උපයා තිබුණි.

    වර්තමානයේ දී ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල, ලංකා IOC පිරවුම්හල්වල රු. 142.00 ක් වන අතර සිපෙට්කෝ පිරවුම්හල්වල එය රු. 137.00 කි. එමෙන්ම සිපෙට්කෝ පිරවුම්හල්වල රු. 161.00 බැගින් අලෙවි කෙරන  95 Octane Euro 4 පෙට්‍රල් ලීටරයක, ලංකා IOC පිරවුම්හල්වල මිල දැක්වෙන්නේ. රු. 164 ක් වශයෙනි.