LC විවෘත කිරීමේ දී බැංකුවල ප්‍රශ්න තියෙනවා නම් කියන්න – කබ්රාල්ගෙන් අභියෝගයක්

    January, 7, 2021

    ණයවර ලිපි (LC) විවෘත කිරීමේ දී මෙරට බැංකු පද්ධතියේ ගැටළු ඇති වී ඇත්නම් ඒවා තමන් වෙත දැනුම් දෙන ලෙස තමා අභියෝග කරන බවත්, මෙරට බැංකුවක ගැටළුවක් හේතුවෙන් එවැනි දෙයක් සිදුවී නොමැති බව පැහිදිලිව කිව හැකි බවත් මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

    මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් මේ පිළිබඳව මෙසේ අදහස් දැක්වීය.

    “අපි බොහාම පැහැදිලිව කියන්නට අවශ්‍යයි, ලංකා බැංකුව සහ මහජන බැංකුව ඇතුළු මුළු බැංකු පද්ධතියම ඉතාමත්ම සාර්ථකව පවත්වාගෙන යනවා කියන එක. මහ බැංකුවේ අධිපතිතුමා දැනට දවස් 2කට පෙර Road Map එක එලිදක්වද්දීත් මේ පිළිබඳව කතා කළා. කිසිම ප්‍රශ්නයක් නැති බවත් කිව්වා.“

    “මෙතනදී පැතිර යන කතාව තමයි LC (ණයවර ලිපි) විවෘත කරද්දී ලංකා බැංකුවට ප්‍රශ්න තියෙනවා, මහජන බැංකුවේ ප්‍රශ්න තියෙනවා කියන කතාවත්. ඒ කතා සම්පූර්ණයෙන්ම බොරු. කිසිම විටෙක ශ්‍රී ලංකාවට එහෙම තර්ජනයක් නැහැ. අපට සියලු අවශ්‍යතාවයන් සඳහා LC  විවෘත කරන්න පුළුවන් වෙලා තියෙනවා.“

    “මම අභියෝග කරනවා, යම් කිසි කෙනෙකුට යම් කිසි දෙයක් කරන්නට බැරි වුණා නම් LC  එකක් ඕපන් කරන්න බැරි වීම නිසා මට ඇවිල්ලා කියන්න කියලා. මම ඒ අයට එතතොට කතා කරලා බලන්නන් මොකක්ද මේකේ සත්‍යතාවය, සමහර විට ඒ අයට ඒ LC එක ඕපන් කරන්න බැරි වෙලා තියෙන එක බැංකුවේ තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඒ අයගේ තියෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ නිසා අපට ඒව නිරාකරණය කරන්න බැහැ. බැංකුවක ප්‍රශ්නයක් නිසා කිසිවිටෙක එවැනි දෙයක් සිදුවෙලා නැහැ කියලා ඉතාමත්ම පැහැදිලිව කියන්න අවශ්‍යයි.“