LOLC කරුණු පහදයි

    December, 12, 2019

    සිය අනුබද්ධ සමාගමක් වන කාම්බෝජයේ Prasac Finance Institution Limited සමාගමේ, LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සතු කොටස් හිමිකාරීත්වය අලෙවි කිරීම සම්බන්ධයෙන් අද (12) දිනයේ දී පළ වී තිබෙන මාධ්‍ය වාර්තා පිළිබඳව LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී හි කළමනාකාර අධ්‍යක්ෂ කපිල ජයවර්ධන මහතා කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත කරුණු පැහැදිලි කරමින් නිවේදනයක් නිකුත් කර ඇත.

    එහි සඳහන් වන පරිදි LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී වැඩිදුරටත් පවසන්නේ කාම්බෝජයේ Prasac Finance Institution Limited හි සම්පූර්ණ කොටස් අයිතිය හෝ එයින් කොටසක් අලෙවි කිරීම සඳහා ඇති අවස්ථා මේ වන විට ගවේෂණය කරමින් සිටින බවයි.

    තවද Prasac Finance Institution Limited හි කුමන හෝ ප්‍රමාණයක කොටස් අලෙවියක් සිදුකරන්නේ නම්, පළමුව කාම්බෝජ ජාතික බැංකුවේ අනුමැතිය ඒ සඳහා ලබා ගත යුතු බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    කෙසේ වෙතත් මේ වන තෙක් එවැනි ගනුදෙනුවක් සම්බන්ධයෙන් කිසිදු අවසාන තීරණයකට පැමිණ නොමැති බවද එම නිවේදනයෙන් වැඩිදුරටත් LOLC හෝල්ඩිංග්ස් කියා සිටී.

    මේ අතර අද (12) දින ය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී හි කොටසක මිල රු. 127.70 ක් දක්වා 12.02%ක වර්ධනයක් සටහන් කරන ලදී. මෙය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව රු. 13.70 ක ඉහළ යාමකි. එසේම LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී කොටස් 327,956 ක් අද දින ගනුදෙනු වී තිබුණි.