LOLC ට්‍රිලියනය සමාජයට එක්වෙයි

    February, 26, 2019

    මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන LOLC සමූහය 2018 දෙසැම්බර් අවසානය වන විට රුපියල් ට්‍රිලියනය ඉක්මවූ සමස්ත වත්කම් ප්‍රමාණයකට හිමිකම් කීමට සමත් වී සිටී. ඒ අනුව 2018 දෙසැම්බර් 31 දින වන විට සමූහයේ වත්කම්වල මුළු වටිනාකම රුපියල් ට්‍රිලියන 1.008 ක් ලෙසින් වාර්තා වේ. මෙය 2017 දෙසැම්බර් 31 දිනට සටහන් වූයේ රුපියල් බිලියන 770 ක් වශයෙනි.

    මේ අතර 2018 දෙසැම්බර් 31 න් අවසන් මූල්‍ය කාර්තුව තුළ දී LOLC සමූහය විසින් වාර්තා කර ඇති බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් බිලියන 3.22 කි. කෙසේ වෙතත් මෙය 2017 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුවේ දී වාර්තා කළ බදු ගෙවීමෙන් පසු ලාභය වූ රුපියල් බිලියන 4.42 හා සැසඳීමේ දී 27% ක පහළ යාමකි.

    එසේම 2018/19 මූල්‍ය වර්ෂයේ මුල් මාස 09 තුළ දී සමූහයේ බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් බිලියන 10.73 ක් ලෙසින් සටහන් වන අතර එය 2017/18 මූල්‍ය වර්ෂයේ පළමු මාස 09 හි බදුගෙවීමෙන් පසු ලාභ අගය වූ රුපියල් බිලියන 13.24 ට වඩා 19% ක අඩුවීමක් ලෙසින් සටහන් වී තිබේ.