LRT ව්‍යාපෘති සාකච්ඡා යළි අරඹන්න කැබිනට් එකඟතාවය

    July, 5, 2023

    යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ (LRT) ව්‍යාපෘතිය ආරම්භ කිරීමට හැකි වනු පිණිස කොළඹ පිහිටි ජපාන රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලය සමඟ සාකච්ඡා නැවත සක්‍රීය කරමින් අදාළ ගිවිසුමට එළඹීම සඳහා උචිත කාලරාමුවක් සකස් කිරීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙන ලදී.

    ජපාන රජයේ සහය මත ක්‍රියාත්මක කෙරෙමින් තිබු කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අතරමග නවතා දැමීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන රජය වෙත සිය කණගාටුව පසුගිය දා සිය ජපාන සංචාරය අතරතුර දී පළ කර සිටියේය.

    විදෙස් රටක හෝ පාර්ශ්වයක මැදිහත්වීම ඇතිව සිදු කරන මහා පරිමාණ ව්‍යාපෘති දෙපාර්ශ්වයේම එකඟතාවක් නොමැතිව නවතා දැමීම හෝ අවලංගු කිරීමට නොහැකි වන අයුරින් ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කරන බව අවධාරණය කළ ජනාධිපතිවරයා සියලු මහා පරිමාණ ව්‍යාපෘතිවලට අදාළ යෝජනා සහ ව්‍යාපෘතියේ වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අනිවාර්යය කරන බව ද එහිදී පැවසීය.