MCC ගිවිසුමෙන් උතුර-දකුණ වෙන්කරනවාද?

    September, 23, 2019

    ආන්දෝලනයට ලක්ව ඇති මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුම සම්බන්ධ සම්මන්ත්‍රණයක් පසුගිය දා කොළඹ දී පැවැත්විණි. ‘MCC ගිවිසුම ගැන ඇත්ත නැත්ත‘ මැයෙන් පැවැත්වුණු මෙම සම්මන්ත්‍රණයේ සාකච්ඡා සභාවට එක්වූ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ආචාර්ය ජගත් මුණසිංහ මහතා වෙත තීරණාත්මක ගැටළු කිහිපයක් යොමුවිය.

    එනම්,

    • කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා ගමන් කරන ආර්ථික කොරිඩෝව MCC ආයතනය මගින් යෝජනා වූවක්ද?

    • එමගින් ලංකාවේ උතුර දකුණ වෙන්කරන්න හදනවාද?

    • එහිදී ජනතාවගේ ඉඩම් බලෙන් අත්පත් කර ගන්නවාද?

    මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති වරයා පැවසුවේ මෙම ආර්තික සැලසුම දීර්ඝ කාලයකට පෙර සකස් වූවක් බවත්, එය වසර 10කට වරක් යාවත්කාලීන විය යුතු බවත්ය. එසේම එම සැලසුම MCC ගිවිසුම සමඟ ගළපා ගත් ආකාරය පිළිබඳව තමන් නොදන්නා බවද ඔහු මෙහිදී පැවසීය.

    නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ආචාර්ය ජගත් මුණසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් දැක්වූ අදහස් පහතින් දැක්වේ.

     

    ජාතික භෞතික සැලසුමක් (National Physical Plan) ලංකාවට මුලින්ම හඳුන්වා දුන්නේ වසර 2000 දී. තැන් තැන්වල විසිරී තිබුණු සැලසුම් වෙනුවට මුළු රටටම සමස්ත සංවර්ධන සැලැස්මක් අවශ්‍යයි කියලා හඳුනාගෙන තිබුණා. වසර 2000 දී එතෙක් තිබුණු නගර හා ග්‍රාම නිර්මාණ පනත සංශෝධනය කරලා, ඒකට එක අංගයක් ඉදිරිපත් කරලා, ජාතික භෞතික සැලැස්මක් සකස් විය යුතුය, ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව ඒ සඳහා ස්ථාපිත විය යුතුය, යන කරුණ මත එය සංස්ථාපිත වුණා.

    සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රාදේශීය සැලැස්මක් වසර 10කට වරක් යාවත්කාලීන විය යුතුයි. වසර 10ක් ඉක්මවූ නිසා සහ මුලින් සකස් කළ සැලසුමේ සමහරක් තොරතුරු මේ කාලයට නොගැළපීමක් තිබුණු නිසා ඒ සැලැස්ම යාවත්කාලීන කිරීම අපි කළා.

    මෙය සංශෝධනය කරන ලද නගර හා ග්‍රාම නිර්මාණ පනත යටතේ සකස් කළ සැලැස්මක්, මේ සැලැස්ම සඳහා දායක වෙලා තියෙනවා, රටේ තියෙන සියලූම රාජ්‍ය ආයතන හා මේ සංවර්ධනය සම්බන්ධ ආයතන, වසර 3ක කාලයක් උපදේශනයක් කරලා තියෙනවා, එහි ප්‍රතිඵලයක් ලෙස තමයි මේ සැලැස්ම එළියට එන්නේ. මෙහි උපදේශන මණ්ඩලයක් ඉන්නවා.

    දැනට රජයේ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති සහ ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘතීත්, දරනට තියෙන යටිතල පහසුකම් ප්‍රශස්ථ මට්ටමින් භාවිතය, ජනාවාස සඳහා වඩාත් සුදුසු පරිසරය කුමක්ද කියන කාරණා සහ අපට මෙතෙක් ගවේෂණය කරගැනීමට නොහැකි වූ ගවේෂණය කළ යුතු සම්පත් තියෙන්නේ කොහේද කියන කරුණු පිළිබඳව අධ්‍යයනයක් කරලයි මේක කරලා තියෙන්නේ.

    එම අධ්‍යයනයේ ප්‍රතිඵලයක් විදියට අපිට දැකගන්න ලැබුණා, ශ්‍රී ලංකාවේ සංවර්ධනය කරා යාමේදී වඩාත් හොඳ විභවයක් තියෙන ප්‍රදේශ ලෙස කොළඹ සිට දඹුල්ල දක්වා ප්‍රදේශයත්, එතැනින් කන්තලේ සිට ත්‍රිකුණාමලය දක්වා ප්‍රදේශයත්.

    අද වන විට නාගරික සංවර්ධන අධිකාරියේ අපට ලැබෙන ගොඩනැගිලි අයදුම්පත් වැඩියෙන්ම ලැබෙන්නේ කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා ප්‍රදේශයෙන්. ලංකාව සංවර්ධිත රටක් ලෙස ඉදිරියට යාමට නම්, ආර්ථිකමය වශයෙන් දියුණු වීමට අවශ්‍ය නම්, වැඩි විභවතාවක් තියෙන ප්‍රදේශය තමයි කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා ප්‍රදේශය.

    ඒ අනුව අපි යෝජනා කළා, රට පුරාම සංවර්ධනය, එනම් ජනාවාසකරණයෙන් විසිරිලා ගිහිල්ලා, විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයේ සහ වනාන්තර ප්‍රදේශවල සම්පත් අපයෝජනයට ලක්වෙන්නේ නැතුව, නගර ජාලයක් ඉදිකරනවා නම් හොඳම ප්‍රදේශය මෙය බව අපි හඳුනාගත්තා.  

    මෙය MCC එකත් සමඟ පටලවා ගැනීම අපේ වැඩක් නෙමෙයි. මේ දෙකේ සම්බන්ධයක් තිබෙන බවට මම නම් දන්නේ නැහැ.