MCC ශ්‍රී ලංකාව අතහැර සියරා ලියෝන් යයි

    December, 17, 2020

    මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) හි අධ්‍යක්ෂ මණ්ඩලය පෙරේදා (15) පැවති කාර්තුමය රැස්වීමේ දී එක්සත් ජනපද රජයේ ආධාර සඳහා සුදුසුකම් ඇති නව රටවල් තෝරා ගැනීමට කටයුතු කර තිබේ. ඒ අනුව ආර්ථික වර්ධනය වැඩි කරන ඉලක්කගත ආයෝජන තුළින් දරිද්‍රතාවය අවම කිරීම සඳහා මණ්ඩලය විසින් සියරා ලියොන් රාජ්‍යය නව සංයුක්ත - MCC හි පස් අවුරුදු ප්‍රදාන වැඩසටහනක් සඳහා ඒකමතිකව තෝරා ගෙන තිබේ. තවද ප්‍රතිපත්ති සහ ආයතනික ප්‍රතිසංස්කරණ කෙරෙහි අවධානය යොමු කර ඇති ඒජන්සියේ කුඩා ප්‍රදාන වැඩසටහන වන MCC threshold program වෙනුවෙන් කිරිබටි රාජ්‍යය තෝරා ගැනීමට ද MCC අධ්‍යක්ෂ මණ්ඩලය ඒකමතිකව තීරණය කර ඇත.

    මේ අතර ශ්‍රී ලංකාව සමඟ යෝජිත ගිවිසුම අත්හිටුවනු ලැබූ බව MCC අධ්‍යක්ෂ මණ්ඩලය මෙහිදී නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. මෙම ගිවිසුම යටතේ ඩොලර් මිලියන 480 ක ප්‍රදානයක් ශ්‍රී ලංකාව වෙත ලබා දීමට සැලසුම් කර තිබුණි.