Microsoft APAC AI for Accessibility Hackathon 2023 වැඩසටහන SLIIT සමඟ සම්බන්ධව සාර්ථක ලෙස පවත්වන ලදී

    August, 23, 2023

    සැමට සමාන අවස්ථා උදා වන ලෝකයක් නිර්මාණය කිරීම සඳහා AI තාක්ෂණය යොදාගනියි

    Microsoft APAC AI for Accessibility Hackathon 2023 තරඟය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතන (SLIIT) පරිශ්‍රයේදී සාර්ථක ලෙස අවසන් විය. ආබාධ සහිත පුද්ගලයන් සැබෑ ලෝකයේදී මුහුණ දෙන අභියෝග විසඳීම සඳහා AI තාක්ෂණය උපයෝගී කරගනිමින් නව විසඳුම් නිර්මාණය කිරීමට තරුණ නිර්මාණකරුවන් දිරිගන්වන මෙම වැඩසටහන, ජීවිත සැබෑ පරිවර්තනයන්ට ලක්කරමින් සැමට සමාන අවස්ථා උදා වන ලෝකයක් බිහි කිරීම සඳහා මහෝපකාරී වන අදහස් ඉදිරිපත් කරමින් රැගෙන ඒමට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවස්ථාව සලසා දෙයි.

    ලෝකයේ සෑම කෙනෙකුම මෙන්ම සෑම සංවිධානයක්ම සවිබල ගැන්වීම යන Microsoft මෙහෙවරෙහි තවත් පියවරක් වන මෙම වැඩසටහන, දෛනික ජීවිතය, රැකියාව, සන්නිවේදනය සහ අධ්‍යාපනය යන අංශ ආවරණය වන පරිදි සැලසුම් කර තිබුණු අතර, ආබාධ සහිත පුද්ගලයන් සමාජයට අන්තර්කරණය කිරීමට කටයුතු කරන ගෝලීය ලාභ නොලබන සංවිධාන සමග එක්ව, ‘Nothing for us without us’ යන ප්‍රධාන තේමාව යටතේ, ආබාධ සහිත පුද්ගලයන් මුහුණ දෙන අභියෝග කෙරෙහි අවධානය යොමු වන ආකාරයට මෙම වැඩසටහනෙහි ගැටලු-ප්‍රකාශයන් (problem-statements) නිර්මාණය කර ඇත. මෙහි අපේක්ෂිත අරමුණ වූයේ, මෙම ප්රකාශයන් මත පදනම් ව, ශිෂ්ය ශිෂ්යාවන් විසින් ආබාධ සහිත පුද්ගලයන්ට සමාජයේ එදිනෙදා කටයුතු වලදී සමාන ප්රවේශයන් ලබා දිය හැකි විසඳුම් නිර්මාණය කිරීමයි.

    මෙවර තරගයේදී SLIIT  නියෝජනය කළ කණ්ඩායම් 10 ක් තම නිර්මාණ ඉදිරිපත් කළ අතර, ඒ අතරින් Team HearMe කණ්ඩායමට ජයග්‍රහණය හිමි විය. ඒ, ශ්‍රවණාබාධ සහිත සහ ශ්‍රවණාධාර භාවිතා කරන දරුවන්ට ශබ්ද පිළිබඳව අවබෝධයක් ලබාගැනීම සඳහා උපකාරී වන නව ඉගෙනුම් මෙවලමක් නිර්මාණය කිරීම වෙනුවෙනි. සාමාන්‍ය වශයෙන් ගත් කල ශ්‍රවණාබාධ සහිත දරුවන් කුඩා කල සිටම සංඥා භාෂාව ඉගෙනගැනීමට යොමුකරවනු ලැබේ. ඒ වෙනුවට ඔවුන් වාචිකව සන්නිවේදනය කිරීමට යොමු කරවිය හැකි නම් එය දරුවන්ගේ කථන හැකියාව වර්ධනය කරවීමට මනා රුකුලක් වනු ඇත. මේ සඳහා, Team HearMe ඉදිරිපත් කර ඇති AI විසඳුම ඉතාමත් ඵලදායී ලෙස භාවිතා කළ හැක. සෑම දරුවෙකුටම අනන්‍ය වූ ලක්ෂණ තිබෙන බවත්, එම ලක්ෂණ අනුව ඉගෙනුම් ක්‍රමවේදයන් සැලසුම් කළ යුතු බවත් Team HearMe විශ්වාස කරයි. HearMe ජංගම යෙදුම මගින්, කථන චිකිත්සකයෙකුගේ සහාය ඇතිව, ශ්‍රවණ සහ දෘශ්‍ය උත්තේජනය සපයන ඉගෙනුම් මෙවලම් භාවිතා කිරීමට දරුවන්ට අවස්ථාව ලැබේ.

    මෙම තරඟයේදී Team HearMe මෙන්ම අනෙකුත් කණ්ඩායම් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා දෙස බලන විට, උපකාරක තාක්ෂණය යොදා ගැනීමෙන් සියළු දෙනාට ප්‍රවේශගත අනාගතයක් ගොඩනැගීම සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් තුළ තිබූ කැපවීම හොඳින් පැහැදිලි වේ.

    Microsoft සමාගමේ ශ්‍රී ලංකා  සහ මාලදිවයින්  ප්‍රධාන දේශීය කළමනාකරු හර්ෂ රන්දෙණි මහතා  සහ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයෙහි (SLIIT) පරිගණක විද්‍යා පීඨයේ පීඨාධිපති ආචාර්ය නුවන් කෝදාගොඩ මහතා, Microsoft APAC AI for Accessibility Hackathon 2023 තරගයේ ජයග්‍රහණය හිමිකරගත් Team HearMe වෙත අදාළ සම්මානය ප්‍රදානය කළ අවස්ථාව.

    මෙම තරඟය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයෙහි (SLIIT)  උපකුලපති, මහාචාර්ය ලලිත් ගමගේ මහතා  මෙසේ පැවසී ය. “මෙවැනි වැඩසටහන් සැබෑ ජීවිතයේ ගැටලු විසඳීම සඳහා නවීන තාක්ෂණය භාවිතා කිරීමට හැකි වන ආකාරයට අපගේ සිසුන්ගේ දැනුම පුළුල් කරනවා. ඔවුන් වෙනුවෙන් දැනුවත් කිරීමේ සැසි කිහිපයක්ද සංවිධානය කිරීම වෙනුවෙන් Microsoft සමාගමට අපස්තූති කළයුතුයි. එමගින් අපගේ සිසුන්ට වෙනසක් කළ හැකි ආකාරය පිළිබඳ ගැඹුරු අවබෝධයක් හිමි වී තිබෙනවා. සිය දැනුම හා කුසලතා ඔස්සේ අන්තර්කරණය වූ සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා ඔවුන් යොමුකරවමින්, තමන්ට සුපුරුදු යථාර්ථයන්ගෙන් ඔබ්බට ගොස් සියලුම දෙනාට සමාන අවස්ථා නිර්මාණය කිරීමේ උත්සාහය තුළ තාක්ෂණය ඉටුකරන ප්‍රබල භූමිකාව හඳුනා ගැනීමට එය ඔවුන්ට උපකාරී වන බව පැහැදිලියි. මෙම තරඟය හුදෙක් තම තාක්ෂණික දැනුම විදහා දැක්වීමට පමණක් නොව, පොදු සමාජයේ යහපත සඳහා තාක්ෂණය භාවිතා කිරීමේ වැදගත්කම හඳුනාගැනීමට ඔවුන්ට ලැබෙන අගනා අවස්ථාවක් ලෙස හැඳින්වීමට පුළුවන්. ඉදිරියටත් අපගේ සිසුන් සවිබල ගන්වමින් සමාජයේ ප්‍රගමනයට දායක වීම සඳහා මෙවැනි වැඩසටහන්වලට දායක වීමට අප බලාපොරොත්තු වනවා.”

    Microsoft APAC AI for Accessibility Hackathon 2023 තුළදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් AI තාක්ෂණය භාවිතයෙන් තම විසඳුම් නිර්මාණය කළ යුතු වූ අතර, එම විසඳුම් වාණිජ වශයෙන් හඳුන්වා දීම සඳහා පැහැදිලි සැලසුමක්ද ඉදිරිපත් කළ යුතු විය. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතන (SLIIT), Enable Lanka Foundation සහ Microsoft යන ආයතන නියෝජනය කරන විද්වතුන් හා ප්‍රවීණයන් පිරිසකගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින් තරගයේ ජයග්‍රාහකයන් තෝරාගන්නා ලදි. අදහස්, ශක්‍යතාව, යෝජිත තාක්‍ෂණය සහ වාණිජ හැකියාව වැනි පරාමිතීන් මත පදනම්ව කණ්ඩායම් ඇගයීමට ලක්කෙරිණි. මෙම ජයග්‍රහණයත් සමග Team HearMe කණ්ඩායමට Microsoft මගින් සංවිධානය කරනු ලබන, Cloud තාක්ෂණික මූලිකාංග, AI තාක්ෂණය, සහ සයිබ ආරක්ෂණය (Cyber Security) යනාදී මාතෘකාවන්ට අදාළ ‘Meet the Experts’ සැසිවලට සහභාගී වීමට මෙන්ම, ඔවුන්ට විශේෂ වූ වෘත්තීය මාර්ගෝපදේශනයන් සහ සමාජ ප්‍රදර්ශන අවස්ථා හිමිකර ගැනීමටද අවස්ථාව ලැබී තිබේ.  

    "ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයෙහි (SLIIT) සිසුන්ගේ නිර්මාණාත්මක නවෝත්පාදනයන්, අප රටේ තරුණ පරපුරේ තාක්‍ෂණ කුසලතා පිළිබඳ විශ්වාසය අප තුළ නැවත ඇති කරවනසුලුය. මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සහයෝගය ලබාදීම පිළිබඳව අප SLIIT ආයතනයට ස්තූතිවන්ත වන අතර, විශ්ව විද්‍යාල තම සිසුන්ගේ ඉගෙනුම් විෂය පථයන් වැඩිදියුණු කිරීමට සහ, අන්තර්කරණය වූ සංස්කෘතීන් නිර්මාණය කිරීමට ඔවුන් දිරිගැන්වීමට ලැබෙන මෙවැනි අවස්ථාවන් වැළඳ ගැනීම සතුටට කරුණක්. මානව හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා AI තාක්ෂණය උපයෝගී කර ගැනීම මේ මොහොතේ සෑම ඉදිරිගාමී ප්‍රජාවකටම අත්‍යවශ්‍ය කරුණක් බවට පත් වී තිබෙනවා. තාක්ෂණය භාවිතයෙන් ආබාධ සහිත පුද්ගලයින් සවිබල ගන්වන විසඳුම් නිර්මාණය කරමින් මෙම නව්‍යකරණයට දායක වීමට මෙම සිසුන්ට අවස්ථාව ලබාදීමට හැකි වීම අපට සතුටට කරුණක්.” Microsoft සමාගමේ ශ්‍රී ලංකා  සහ මාලදිවයින් ප්‍රධාන දේශීය කළමනාකරු හර්ෂ රන්දෙණි මහතා පැවසී ය.

     

    ඡායාරූප විස්තරය: Microsoft සමාගමේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් ප්‍රධාන දේශීය කළමනාකරු හර්ෂ රන්දෙණි මහතා, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයෙහි (SLIIT)    පරිගණක විද්‍යා පීඨයේ පීඨාධිපති ආචාර්ය නුවන් කෝදාගොඩ මහතා සහ විනිශ්චය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන්, Microsoft APAC AI for Accessibility Hackathon 2023 තරඟයේ ජයග්‍රාහකයන් බවට පත් වූ Team HearMe සහ Microsoft Sri Lanka හා  ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතන (SLIIT)   නියෝජිතයන් සමග.