ලංකාවේදී මෝඩිගේ ජැකට්ටුව, සල්මාන් ඛාන්ව පැරදුවා -ඉන්දීය මාධ්‍ය කියයි

    January, 11, 2015

    ඇතැම් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සඳහා මෙවර ඉන්දීය සාධකද වෙනදාට වඩා කරළියට පැමිණි බවත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි අඳින ආකාරයේ ජැකට්ටුව සහ සල්මාන් ඛාන් මෙම සාධක අතර පෙරමුණේ සිටි බවයි.

    කෙසේවෙතත්, මහින්ද රාජපක්ෂ රජයට ඡන්ද එකතු කිරීමට සුපිරි බොලිවුඩ් නළු සල්මාන් ඛාන්ට නොහැකි වූ බවත් ඉන්දීය අගමැතිවරයා අඳින ආකාරයේ ජැකට්ටුව හැඳි මෛත්‍රීපාල සිරිසේන මහතා ජයගත් බවත් එම මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙන්නේ “මෝඩිගේ ජැකට්ටුව, සල්මාන් ඛාන්ව පැරදුවා “ (Modi Jacket Beats Salman Khan) යනුවෙනි.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද ව්‍යාපාරයට සහයෝගය ලබාදීම සඳහා සල්මාන් ඛාන් ලංකාවට පැමිණ තිබුණේ ශ්‍රී ලංකාවෙන් ගොස් බොලිවුඩය ජයගත් සුරූපිණියක වූ ජැකුයිලීන් ෆර්නෑන්ඩ්ස්ද සමගිනි. කෙසේවෙතත්, මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වූ ඇතැම් පිරිස් සල්මාන් ඛාන් එම අවස්ථාවේ ලංකාවට පැමිණීම විවේචනය කළේය.

    මේ අතර, මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වූ කණ්ඩායම පැවසුවේ මෛත්‍රීපාල සිරිසේන මහතා මෝඩි කොපි කරමින් ඒ ආකාරයේ ජැකට්ටුවක් ඇඳීමට පටන්ගෙන තිබෙන බවයි.

    මේ නිසා, මෙම ජැකට්ටුව ජාත්‍යන්තරයේද ප්‍රචලිත වී තිබෙන්නේ මෝඩිගේ ජැකට්ටුව නමිනි.