Motha ලේයර් දෙකේ පුඩිං මිශ්‍රණය ලාංකීය වෙළඳ පොළ වෙත හඳුන්වාදෙයි

    October, 26, 2018

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අතුරුපස, බීම මිශ්‍රණ සහ බේකරි අමුද්‍රව්‍ය නිෂ්පාදන සමාගමක් වන මෝතා කන්ෆෙක්ෂනරි වර්ක්ස් පුද්ගලික සමාගම තම නවතම නිෂ්පාදනය ලෙස ආමන්ඩ් චොකලට් සහ මින්ට් චොකලට් රසයන්ගෙන් වූ ඩබල් ලේයර් පුඩිං මිශ්‍රණ පෙළ ලාංකීය වෙළඳ පොළ වෙත හඳුන්වාදෙයි.

    අද දවසට ගැලපෙන අයුරින් ලාංකීයන්ගේ රස නහර පිළිබඳ කළ මනා අධ්‍යනයකින් අනතුරුව හඳුන්වාදෙන මෙම පුඩිං නිෂ්පාදනයෙහි තව තවත් රසයන් නුදුරු අනාගතයේදී ලාංකීය වෙළඳ පොළ වෙත හඳුන්වාදීමට නියමිතය. ගෙවුණු කාලය පුරා සාර්ථක ලෙස හඳුන්වාදෙමින් ව්‍යාප්ත වූ මෝතා සන්නාමය අද වන විට දේශීය වෙළඳ පොළේ සියයට අසුවකට වැඩි වෙළඳ කොටසකට උරුමකම් කියයි.

    තම නවතම නිෂ්පාදන පෙළ හා එහි ඉදිරි සැළසුම් පිළිබඳ අදහස් දක්වන මෝතා කන්ෆෙක්ෂනරි වර්ක්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක / ප්‍රධාන විධායක නිලධාරී නිහාල් විජේරත්න මහතා ″වෙළඳ පොළ පිළිබඳ කළ අධ්‍යයනයේදී අප වෙත ලැබුණු ධනාත්මක ප්‍රතිචාර ඔස්සේ අපට මෙම පුඩිං නිෂ්පාදනය පිළිබඳ අදහස ඉපදුණා.  මෙවැනි  ලේයර් දෙකේ පුඩිං මිශ්‍රණයක් මෙරට වෙළඳ පොළ වෙත හඳුන්වාදුන් පළමු අවස්ථාව මෙය විය හැකියි. පහසුවෙන් සකසා ඇති නිෂ්පාදන පෙළකින් යුත් මෝතා සන්නාමය නිරතුරුවම උත්සහ කරන්නේ අප පාරිභෝගිකයින් වෙත අලුත් රසවත් අත්දැකීමක්  ලබාදීමටයි″ යනුවෙන් පවසා සිටී.

    මෝතා කන්ෆෙක්ෂනරි වර්කස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂක/සාමාන්‍යාධිකාරී ඒඩ්‍රියන් ෆොන්සේකා මහතා අදහස් දක්වමින් ″පවුලේ සතුට වැඩි කරන නිෂ්පාදන පෙළක් ලෙස මෝතා සන්නාමය වෙළඳ පොළ තුළ ප්‍රචලිත කරවීමට අප වසර ගණනාවක් මුළුල්ලේ මහන්සි වුණා. අප නිෂ්පාදනයන්හි උසස් තත්ත්වය අප ලද සාර්ථකත්වයයි. අතුරුපස රස ගොන්නට එකතු වන මෙම ඩබල් ලේයර් පුඩිං ලොව පුරා ප්‍රචලිත ප්‍රවණතාවක්. මේ අයුරින් තවතවත් රසයන්ගෙන් යුත් නිෂ්පාදන අප පාරිභෝගිකයන් වෙනුවෙන් ඉදිරියේදී ගෙන ඒමට අපි බලාපොරෙත්තු වෙනවා″ යනුවෙන් පවසා සිටියේය.

    මෝතා සමාගම මෙම ලේයර් දෙකේ පුඩිං නිෂ්පාදනයට අමතරව තනි ලේයරයේ පුඩිං, ෆලූඩා මිශ්‍රණ, කැරමල් සහ චොකලට් පුඩිං මිශ්‍රණ, ඉක්මනින් සෙට්වන ජෙලි වර්ග, අයිසිං සීනී, බේකින් පවුඩර්, කෝන්ෆ්ලර්, කොකෝ පවුඩර්, ජෙලටින්, රස කාරක සහ වර්ණක වැනි බේකරි සහ ඉවුම් අමුද්‍රව්‍ය පාරිභෝගිකයන් වෙත ඉදිරිපත් කරයි. මේ සෑම සියලු නිෂ්පාදනයකම රස ගුණ පිළිබඳව මිලියන ගණනක දෙස් විදෙස් පාරිභෝගිකයන් තුළ ඇත්තේ අචල විශ්වාසයකි.

    එමෙන්ම මේ සෑම නිෂ්පාදනයකම ඉහළම ප්‍රමිතිය රැකගැනීමට මෝතා මෙරට මෙන්ම එතෙරද ප්‍රමිති සහතික ලබා ඇත. මේ පිළිබඳව අදහස් දක්වන නිහාල් විජේරත්න මහතා ″ලාංකිකයන්ගේ රසය අපි හොඳින් හඳුනනවා. ජාත්‍යන්තර මට්ටමේ සිදුවන සංවර්ධනයන් සමග දේශීය හුරුවට ලාංකික පාරිභෝගිකයන් වෙත ගෙන ඒමට අපි සැමවිටම කටයුතු කරනවා″ යනුවෙන් පවසා සිටී.

    වැඩිදුරටත් අදහස් දක්වන ඒඩ්‍රියන් ෆොන්සේකා මහතා ″මෙම නවතම ලේයර් දෙකේ පුඩිං මිශ්‍රණය අපනයනය සඳහා ද අප පියවර ගනු ලබනවා. ලංකාවෙන් පිට ශ්‍රී ලංකිකයන් විශාල පිරිසක් ජීවත් වන අතර ඔවුන් මෝතා රස හොඳින් හඳුනනවා. ගෝලීය සන්නාමයක් ලෙස ජාත්‍යන්තර වෙළඳ පොළ ජයගැනීම අප ඉලක්කයයි″ යනුවෙන් පවසා සිටී.

    රු. 110 ක මිලකින් මෙම ලේයර් දෙකේ පුඩිං මිශ්‍රණ ග්‍රෑම් 100 බර ප්‍රමාණයෙන් යුත් පැකට්ටුවකින් වෙළඳ පොළ වෙත එයි. එක් පැකට්ටුවක් පස් දෙනෙකුට පමණ සෑහෙන අතර එය ගෙදර සාමාජිකයන්ට මෙන්ම අමුත්තන්ට සංග්‍රහ කිරීමටද කදිම ලෙස ගැලපේ. FMCG අංශයේ ප්‍රමුඛතම සන්නාමයක් වන මෝතා නිරතුරුවම උත්සහ කරන්නේ නව නිෂ්පාදන පාරිභෝගිකයන් වෙත පිළිගැන්වීමටයි.

    1960 දශකයේදී මෙරටට කෙරුණු ආනයන සීමා කළ යුගයේදී මෝතා සභාපති ජූලියස් මෝතා මහතා විසින් පවුලේ ව්‍යාපාරයක් ලෙස ආරම්භ කළ මෝතා ව්‍යාපාර අද වන විට පරම්පරා 3 ක් විසින් ඉහළට ඔසවා ඇත. එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, මාලදිවයින, ඉන්දියාව, මැද පෙරදිග වැනි රටවල් ගණනාවකටම මෝතා නිෂ්පාදන මේවන විට අපනයනය කෙරෙයි.

    1985 වසරේ සිට මෝතා නිෂ්පාදන මෙරට ප්‍රධානතම FMCG නිෂ්පාදන දිවයින පුරා සාමාන්‍ය හා නව්‍ය වෙළඳ හා තොග වෙළඳ පොළ හරහාත් HORECA නාලිකා සඳහාත් බොදා හරින ඩෙල්මේජ් ෆොසයිත් පුද්ගලික සමාගම විසින් කරනු ලබයි. මෙම නව නිෂ්පාදන දිවයින පුරා විසිරුණු සුපිරි වෙළද සැල් හා ප්‍රධාන පෙළේ ග්‍රොසරි හරහා මිලදී ගත හැකිය.