NDB-DFCC කසාදයට උපදෙස් දෙන්න ඇමරිකානු උපදේශන සමාගමක්

    June, 24, 2014

    Exclusive- ශ්‍රී ලංකාවේ සිදුකරන පළමු විශාලතම බැංකු ඒකාබද්ධ කිරීම වන NDB හා DFCC ඒකාබද්ධ කිරීම සඳහා උපදෙස් ලබාගැනීමට මෙවැනි ඒකාබද්ධ කිරීම් පිළිබඳව ගෝලීය වශයෙන් විශාල ප්‍රසිද්ධියක් ලබා තිබෙන ඇමරිකානු බොස්ටන් කන්සල්ටින්ග් ගෘප් (Boston Consulting Group) තෝරාගෙන ඇතැයි විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් අප වෙත අනාවරණය වේ.

    මෙම බැංකු දෙක ඒකාබද්ධ කිරීම මෙරට අනිකුත් මූල්‍යායතන ඒකාබද්ධ කිරීමේ වැඩසටහන් සඳහාද පූර්වාදර්ශයක් වනු ඇති නිසා ඉහළ විශේෂඥ උපදෙස් මත එය සිදුකිරීමට මේ වනවිට අවධානය යොමුව තිබේ.

    බොස්ටන් කන්සල්ටින්ග් ගෘප් (Boston Consulting Group) රටවල් 45 ක කාර්යාල 81 ක් තිබෙන ගෝලීය කළමනාකරණ උපදේශන සමාගමක් වන අතර ලෝකයේ දැවැන්තම කළමනාකරණ උපදේශන සමාගම් තුනෙන් එකක් ලෙසද මෙය සැලකේ.

    මෙය ආරම්භ කර තිබෙන්නේ 1963 වසරේදීයි.

    NDB-DFCC බැංකු ඒකාබද්ධ කිරීම ඉදිරියට ගෙනයාම සඳහා බැංකු දෙක විසින් පසුගියදා අවබෝධතා ගිවිසුමකටද අත්සන් කළ අතර මෙයින් බැංකු දෙක ඒකාබද්ධ කිරීමේදී තිබෙන අවස්ථාවන් සොයා බැලීම සඳහා එකඟ වී ඇත.

    මේ අතර, මෙරට ක්‍රියාත්මක විදේශීය බැංකුවල කළාපීය නියෝජිතයින් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සමග මූල්‍ය අංශයේ ඒකාබද්ධවීම සම්බන්ධයෙන් මහ බැංකුව  පසුගිය කාලයේදී සාකච්ඡා කළ අතර එහිදී එම බැංකු මෙරට ආර්ථික කටයුතු වලට වඩාත් සක්‍රීය ලෙස දායකවීමට පොරොන්දු විය.