NOLIMIT යළිත් වරක් මෙරට රැකියාව සඳහා සුදුසු ම සමාගම් 25 අතරට එක් වෙයි

    July, 18, 2017

    මෙරට ප්‍රමුඛතම විලාසිතා මන්දිර පෙළ වන NOLIMIT, අඛණ්ඩව දෙවන වරටත් මෙරට රැකියාව සඳහා සුදුසු ම සමාගම් 25 අතරට Great Place to Work® ආයතනය විසින් තෝරා පත් කරන ලදි. මීට අදාල සමීක්ෂණය LMD ව්‍යාපාරික සඟරාව සහ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සහයෝගයෙන් යුතුව මෙවර ක්‍රියාත්මක කෙරුණි. විවිධ ක්ෂේත්‍ර 16ක් නියෝජනය කරමින් සමාගම් 110කට අධික සංඛ්‍යාවක කාර්යමණ්ඩල සාමාජිකයන් 31,000ක් අතරින් 18,800 දෙනෙකු මෙම සමීක්ෂණය සඳහා සහභාගී විය. ගෝලීය වශයෙන් ක්‍රියාත්මකවන මෙම සමීක්ෂණය සඳහා ලොව පුරා රාජ්‍යයන් 57ක් සිය දායකත්වය ලබා දෙන අතර මෙය මෙවැනි වර්ගයේ විශාලත ම සමීක්ෂණය වීම ද විශේෂත්වයකි. මෙවර ශ්‍රී ලංකාවේදී එය ක්‍රියාත්මක වූයේ අඛණ්ඩව 5වන වරටය.

    කිසියම් සමාගමක කාර්යමණ්ඩල සාමාජිකයන් සිය රැකියා ස්ථානය සහ රැකියාව පිළිබඳ තබා ඇති විශ්වාසය, ආත්ම අභිමානය සහ සහයෝගය මැන බැලීම සඳහා Great Place to Work® ආයතනය විසින් ගොඩනගන ලද 'විශ්වාස දර්ශක සමීක්ෂණය' මගින් මෙම ඇගයීම සිදු කරන ලදි. තමන් රැකියාවේ නිරතවන පුද්ගලයන් පිළිබඳ සහ ඔවුන් ගන්නා තීරණ පිළිබඳ ඇති විශ්වාසය, තමන් සමග සේවය කරන අනෙකුත් කාර්යමණ්ඩල සාමාජිකයන් අතර ඇති සුහදත්වය සහ තමන්ගේ රැකියාව පිළිබඳ ඇති ආත්ම අභිමානය යන සාධක තුන මෙම සමීක්ෂණය මගින් මැන බැලේ. Great Place to Work® ආයතනය විසින් ගොඩනගා ඇති ආකෘතියට අදාල පස් වැදෑරුම් දිශානතිවලට අමතරව, ශ්‍රී ලංකාවට උචිත පරිදි සකස් කරන ලද තවත් ප්‍රකාශ පහක් ආශ්‍රයෙන් කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ අත්දැකීම් ඇගයුමට ලක් කිරීම මෙහි විශේෂත්වයයි.

    "ශ්‍රී ලංකාවේ රැකියාවෙහි නිරත වීමට සුදුසු ම ආයතන 25 අතරට තේරී පත් වීමට හැකි වීම පිළිබඳ අප නිහතමානීව ආඩම්බර වෙනවා. සංස්කෘතීමය වශයෙන් විවිධ වූ ශ්‍රම බලකායක් සේවයෙහි යෙදවීම සඳහා අප නිරන්තරයෙන් අවධානය යොමු කරන බැවින් රැකියා වෙළඳපලේ කුසලතා පූර්ණ කාර්යමණ්ඩල සාමාජිකයන් සේවයට එක්කර ගැනීමට අපට හැකි වී තිබෙනවා. කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ අභිවෘද්ධිය පිළිබඳ නොමඳ අවධානය යොමු කරන ආයතනයක් ලෙස අප මෙරට තුළ කීර්තියට පත්ව සිටිනවා. එම කැපවීම හරහා අප ඔවුන් තුළ ගොඩනගා ඇති විශ්වාසය මෙම සමීක්ෂණයේ ප්‍රතිඵල මගින් තවදුරටත් තහවුරු වුණා" යනුවෙන් NOLIMIT ආයතනයේ මානව සම්පත් කළමනාකාර රිස්වාන් මොහොමඩ් මහතා සඳහන් කළේය.

    කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ තෘප්තිමත්භාවය පවත්වා ගැනීම සඳහා NOLIMIT ආයතනය සුවිශේෂී මානව සම්පත් කළමනාකරණ ක්‍රමවේද රැසක් අනුගමනය කරයි. පාරිභෝගිකයන් අපේක්ෂා කරන සේවා මට්ටම අභිබවා යන සේවාවක් ඔවුන් වෙනුවෙන් ලබා දීම සඳහා කණ්ඩායම් හැඟීමෙන් යුතුව සේවයෙහි නිරත වීමට අවශ්‍ය පුහුණුව ලබා දීමට NOLIMIT ආයතනය කටයුතු කර ඇත. දේශීය සන්නාම ප්‍රවර්ධනය කිරීම තුළින් ලෙන්ගතු පාරිභෝගිකයන්ගේ හදවත් දිනා ගැනීමට සමත් වීම ද NOLIMIT ආයතනය තුළ කැපී පෙනෙන ලක්ෂණයකි. "අප දශක දෙකකට අධික කාලයක පටන් මෙරට පාරිභෝගිකයන් සඳහා උසස් ප්‍රමිතියෙන් යුතු සාප්පු සවාරි අත්දැකීමක් හිමිකර දීම තුළ පුරෝගාමී මෙහෙවරක් ඉටු කර තිබෙනවා. අපගේ අලෙවිසැල් දියුණුවෙන් දියුණුවට පත් වීමේ ගෞරවය අපගේ කාර්යමණ්ඩල සාමාජිකයන්ට හිමි විය යුතුයි" NOLIMIT ආයතනයේ සාමාන්‍යාධිකාරී අම්ජාඩ් හසන් මහතා සඳහන් කළේය.

    සන්නාම සහ අලෙවිකරණ විශිෂ්ටත්වය වෙනුවෙන් සන්නාම විශිෂ්ටතා සම්මානය මෙන්ම CMO ආසියානු සම්මාන උළලේ අලෙවිකරණ ප්‍රවර්ධන වැඩසටහන වෙනුවෙන් කුසලතා සහතිකය ද හිමිකර ගැනීමට NOLIMIT ආයතනය සමත් විය. මීට වසර 25කට පෙර මෙරට ව්‍යාපාරික මෙහෙයුම් කටයුතු ආරම්භ කළ මෙම ආයතනය වර්තමානය වන විට දිවයින පුරා විලාසිතාගාර 20කට හිමිකම් කියයි. NOLIMIT යනු එහි ප්‍රධාන සන්නාමයවන අතර, Glitz විලාසිතාගාර, ෂල්වාර් සහ සාරි සඳහා ම වෙන් වූ PALLU විලාසිතාගාරය සහ මුදල පිළිබඳ අවධානය යොමු කරන පාරිභෝගිකයන් සඳහාම වෙන් වූ Y PAYMORE ප්‍රදර්ශනාගාරය ද ඒ යටතේ ක්‍රියාත්මක වෙයි. 1800 කට අධික කාර්යමණ්ඩල සාමාජික පිරිසක් සහ වර්ග අඩි 325,000ක අලෙවි පරිසරයකින් යුතුව NOLIMIT ආයතනය මෙරට විශාලත ම විලාසිතා මන්දිර පෙළ ලෙස වැජඹෙයි.