Exclusive- අපේ PayPal සිහිනයට බාලගිරි දෝසේ. බලාපොරොත්තු බිඳෙයිද?

    August, 21, 2014

    ලොව ජනප්‍රියතම මුදල් හුවමාරු සේවාවක් වන පේපෑල් කඩිනමින් ලංකාවට හඳුන්වාදීමට මහ බැංකුව උත්සාහ කළද එම සේවාව මෙරටට හඳුන්වාදීමට තවත් බොහෝ කාලයක් ගතවනු ඇතැයි ඉතාමත් විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් අප වෙත අනාවරණය වේ.

    මෙම දැඩි ප්‍රමාදයට හේතුවී තිබෙන්නේ ලංකාවට මෙම සේවාව හඳුන්වාදීම සඳහා පේපෑල් ලොකු උනන්දුවක් නොදැක්වීමත් සේවාව හඳුන්වාදීමට පෙර එය ලංකාවේ ක්‍රියාත්මක කළ හැකි ආකාරය පිළිබඳව විමර්ශනයක් කිරීමට තීන්දු කිරීමයි.

    මේ නිසා, මෙවැනි විමර්ශනයක් සිදුකිරීමට බොහෝ කාලයක් ගතවන නිසා ලංකාවට පේපෑල් සේවා හඳුන්වාදීම කල්යනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.

    සම්පත් බැංකුව හරහා මෙරටට පේපෑල් මුදල් හුවමාරු සේවාව හඳුන්වාදීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මුලින් අදහස් කර තිබුණත් ඒ සඳහා තවත් බැංකු තුනක් පමණ සම්බන්ධ කර ගැනීමට පසුව අදහස් කර තිබුණි.

    මෙම සේවාව හඳුන්වාදීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ඉන්දියාවේ පේපෑල් ශාඛාව සමග සාකච්ඡා කර තිබූ අතර මෙරට අපනයන පිළිබඳව වාර්තාවක් ඉන්දියානු ශාඛාව හරහා පේපෑල් ලංකාවෙන් ඉල්ලා තිබුණු බවද අනාවරණය වේ.

    ලොව පුරා ඉතාමත් ජනප්‍රිය පේපෑල් මුදල් හුවමාරු සේවාව ඔස්සේ මෙරටට මුදල් ගෙන්වා ගැනීමට නොහැකි නමුත් මෙරටින් මුදල් යැවීමේ හැකියාව මේ වනවිටත් තිබේ.

    පේපෑල් මගින් ලංකාවට මුදල් ගෙන්වා ගැනීමේ අවස්ථාව ලබාදීම තුළින් විදේශ රටවලට සේවා සපයන පුද්ගලයින්ට විශාල අවස්ථාවක් ලැබෙන අතර එම කර්මාන්ත වඩාත් වර්ධනය වීමට එය අනුබලයක් වනු ඇත.