Pidilite Lanka සමාගම සිය සුප්‍රකට ජල රෝදක නිෂ්පාදනය වන Dr.Fixit හි සන්නාම තානාපති වශයෙන් රොෂාන් මහානාම පත් කරයි

    August, 14, 2023

    මෙම සම්බන්ධතාවය හරහා ජල කාන්දුවීම් වලින් තොර නිවාස සඳහා ජල ආරක්ෂණයේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමට පියවර

    ‘Maha Nama of Waterproofing’ ලෙසින් නම් කළ ප්‍රචාරණ ව්‍යාපෘතියක් දියත් කෙරේ

    පිඩිලයිට් ලංකා සමාගම විසින් ජාත්‍යන්තර කීර්තිමත් ජල රෝදක නිෂ්පාදනයක් වන Dr.Fixit සඳහා ශ්‍රී ලංකාවේ සන්නාම තානාපතිවරයා වශයෙන් සුප්‍රකට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහනාම මහතා පත්කිරීම නිල වශයෙන් නිවේදනය කිරීම පසුගියදා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සිදු කෙරිණි. පිඩිලයිට් ලංකා සමාගම කීර්තිමත් සමාගම් සමූහයක් වන මැක්ලරන්ස් සමූහ ව්‍යාපාරයට (McLarens Group) අනුබද්ධිත මැක්බර්ටන් සමාගම (Macbertan) සහ පිඩිලයිට් ඉන්ඩස්ට්‍රීස් සමාගම (Pidilite Industries) ඒකාබද්ධව සිදු කරන හවුල් ව්‍යාපාරකි.

    Pidilite Industries සමාගමේ ජාත්‍යන්තර මෙහෙයුම බාර ප්‍රධාන ව්‍යාපාර නිලධාරී යෝගේෂ් ආනන්ද් මහතා මෙහිදී අදහස් දක්වමින් මෙසේ පැවසීය. “නිවාස ඉදිකිරීමේදී සහ අලුත්වැඩියා කිරීමේදී නිසි ආකාරයේ ජල රෝදක විසඳුම් භාවිතා කිරීම අතිශය වැදගත්. එසේ නොමැති විට ජලය කාන්දු වීම නිසා විවිධ ආකාරයේ අලාභහානි සිදු වීමටත් ඒ නිසා විශාල පාඩු සහ සෞඛ්‍යයට අහිතකර තත්ත්වයන් ඇති වීමටත් පුළුවන්. පිඩිලයිට් විසින් හඳුන්වාදී ඇති ඉතා සාර්ථක ජල ආරක්ෂණ නිෂ්පාදනයක් Dr.Fixit ඉදිරියේදී ජල කාන්දු වැළැක්වීමේ ඇති වැදගත්කම පිළිබඳව ශ්‍රී ලාංකිකයින් දැනුවත් කිරීම අපේ අපේක්ෂාවයි. ජාත්‍යන්තර කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන රොෂාන් මහානාම අපේ සන්නාම තානාපතිවරයා වශයෙන් පත්කිරීම හරහා අපිට මේ දැනුවත් කිරීමේ ක්‍රියාවලියට විශාල සහයක් ලැබෙනවා. ඒ ක්‍රිකට්  ක්‍රීඩකයෙක් වශයෙන් ඔහු ලබා ඇති විශ්වාසනීයත්වය නිසයි. මේ සහයෝගීතාවය හරහා ජල ආරක්ෂණයේ ඇති වැදගත්කම පිළිබඳව ශ්‍රී ලාංකිකයින්ව සාර්ථකව දැනුවත් කරමින් සෑම ශ්‍රී ලාංකිකයෙක්ටම ජල කාන්දු වීම් වලින් සම්පූර්ණයෙන්ම නිදහස් නිවෙසක හිමිකරුවෙක් වීමට අවස්ථාව උදා කර දීමට අපිට හැකියාව ලැබෙනු ඇති.”

    මෙම සහයෝගීතාවය පිළිබඳව අදහස් දක්වමින් හිටපු ක්‍රිකටි ක්‍රීඩක රොෂාන් මහානාම මහතා මෙසේ පැවසීය “ශක්තිමත් පදනමක අවශ්‍යතාවය, උපරිම නිරවද්‍ය බව සහ ඉතා සුළු දේ ගැන පවා සම්පූර්ණ අවධානය යොමු කිරීමේ වැදගත්කම, ක්‍රිකට් ක්‍රීඩාව නිසා මම ඉගෙනගත් වැදගත්ම ගුණාංගයි. මේ සියල්ලම ජල රෝදක විසඳුමක් වශයෙන් Dr.Fixit ප්‍රගුණ කර තිබෙන ගුණාංග නිසා ශක්තිමත් නිවෙසකට පදනම නිර්මාණය කිරීමේදී Dr.Fixit අත්‍යවශ්‍ය අංගයක් බවට පත් වෙනවා. මේ නිසා Dr.Fixit සන්නාම තානාපතිවරයා වශයෙන් පත්වීම පිළිබඳව මා ඉතාම සතුටට සහ ආඩම්බරයට පත්වන බව කිව යුතුයි. අපේ සහයෝගීතාවය හරහා පිතිකරුවෙක් පිටිය තුළ තමන්ගේ කඩුල්ල ආරක්ෂා කරන ආකාරයටම ශ්‍රී ලාංකිකයින්ගේ සොඳුරු නිවාස කාන්දු වීම් වලින් සම්පූර්ණයෙන්ම ආරක්ෂා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.”

    Pidilite Lanka පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂිකා සහ Macbertan  සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂිකා රමණි පොන්නම්බලම් මහත්මිය මෙම සහයෝගීතාවය පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසුවාය “Dr.Fixit සහ රොෂාන් මහානාම යන කීර්තිමත් සන්නාම දෙකක මේ සුසංයෝගය පිළිබඳව මා ඉතා සතුටට පත් වෙනවා. වසර ගණනාවක් පුරාවට Pidilite Lanka සමාගම මුළු දිවයිනම ආවරණය වන ආකාරයට ගොඩනගා ඇති අලෙවි ජාලය හරහා තව දුරටත් Dr.Fixit නිෂ්පාදන ජනතාවට සමීප කරවීමට මේ සහයෝගීතාවය විශාල සහයක් වනු ඇති.”

    ශ්‍රී ලාංකික නිවෙස් හිමියන් ජල රෝදක නිෂ්පාදන පිළිබඳව දැනුවත් කිරීමට සහ ඔවුන්ට අවශ්‍ය තාක්ෂණික දැනුම සහ සහයෝගය ලබා දීම සඳහා Dr.Fixit විසින් ඒ වෙනුවෙන්ම කැපවුණු තාක්ෂණික කණ්ඩායම් සේවයේ යොදවා ඇති අතර දැනුවත් කිරීම ඉලක්ක කරගත ප්‍රචාරණ ව්‍යාපාරයට සමගාමීව ඒ වෙනුවෙන්ම වෙන්වුණු drfixitlanka.com වෙබ් පිටුව සහ 0117-608088 දුරකතන අංකයද හඳුන්වා දීමට Dr.Fixit කටයුතු කර ඇත.

    Pidilite Lanka පෞද්ගලික සමාගම පිළිබඳව:

    Pidilite Lanka පෞද්ගලික සමාගම ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් සමූහයක් වන McLarens සමූහයට අනුබද්ධිත Macbertan සමාගම සහ සුප්‍රකට Pidilite Industries සුසංයෝගයෙන් 2015 වසරේදී නිර්මාණය වූ හවුල් ව්‍යාපාරයක් වන අතර සමාගමේ නිෂ්පාදන කර්මාන්ත ශාලාව පොල්ගහවෙල ප්‍රදේශයේ පිහිටා ඇත.

    විශිෂ්ටත්වය කෙරෙහි දක්වන අද්වීතීය කැපවීම හරහා සියලු පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවයන්ට අනුරූපව අඛණ්ඩවම නව්‍යකරණය වීමටත්, ඒ හරහා ඔවුන්ගේ එකම තේරීම බවට පත්වීමත් Pidilite Lanka සමාගමේ ව්‍යාපාර දැක්මයි. නිරන්තරයෙන්ම පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාවලියේ නිරත වෙමින් සිය නිෂ්පාදන අඛණ්ඩවම වැඩිදියුණු කිරීමටත්, එම නිෂ්පාදන සිය දැවැන්ත අලෙවි ජාලය හරහා සෑම ශ්‍රී ලාංකිකයෙක්ටම පහසුවෙන් ලබාගත හැකි තත්ත්වයක් නිර්මාණය කිරීමටත් Pidilite Lanka සමාගම කටයුතු කරයි.

    Pidilite Lanka සමාගම විසින් නිෂ්පාදනය කර ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් වෙත තිළිණ කරන නිෂ්පාදන අතරට FEVICOL, CHEMIFIX, DR. FIXIT, M-SEAL, FOAM FIX, FEVICRYL වැනි ජාත්‍යන්තර කීර්තිමත් නිෂ්පාදන රැසක් අයත් වේ.

     

    ඡායාරූපය - (වමේ සිට දකුණට) Pidilite Lanka පෞද්ගලික සමාගමේ ශ්‍රී ලංකා කළමනාකරු චන්න හේවගේ, Pidilite Lanka පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ සහ Macbertan පෞද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ රමණි පොන්නම්බලම්, Dr.Fixit සන්නාම තානාපති රොෂාන් මහානාම, Pidilite Industriesහි ජාත්‍යන්තර මෙහෙයුම් පිළිබඳ ප්‍රධාන ව්‍යාපාරික නිලධාරී යෝගේෂ් ආනන්ද්, McLarens ව්‍යාපාර සමූහයේ සභාපති රොහාන් ද සිල්වා