ලංකාවේ විදේශීය ගුවන් නියමුවන් රෑනක්. වැටුප මිලියන දෙකයි

    August, 7, 2014

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන ගුවන් නියමුවන් ලෙස මේ වනවිට විදේශිකයින් සිය දෙනෙකු පමණ සිටින බවත් ප්‍රමාණවත් පරිදි දේශීය ගුවන් නියමුවන් පුහුණු කිරීමට නොහැකිවී ඇත්තේ සම්පත්වල සීමිත බව නිසා බවත් සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි.

    සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.සී. නිමල්සිරි මහතා අප සමග පැවසුවේ විදේශීය ගුවන් නියමුවන් සමග දේශීය ප්‍රධාන ගුවන් නියමුවන් 200 දෙනෙකු පමණද මේ වනවිට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවය කරන බවයි.

    “ශ්‍රී ලංකන් සතුව තිබෙන්නේ මේ වනවිට ගුවන් යානා 22 යි. අවශ්‍යතාවයට සරිලන ලෙස දේශීය ප්‍රධාන ගුවන් නියමුවන් පුහුණු කිරීමට තිබෙන යානා ප්‍රමාණවත් වෙන්නේ නෑ.“

    සාමාන්‍යයෙන් ප්‍රධාන ගුවන් නියමුවෙකු මසකට රුපියල් ලක්ෂ 12 කට ආසන්න වැටුපක් ලංකාවේදී ලබාගන්නා අතර දීමනා ඇතුළත් වූ පසුව මාසයකදී ලැබෙන මුළු මුදල රුපියල් ලක්ෂ 19 කට ආසන්න වේ.