Pyxle සමාගම Tavistock සමූහ ව්‍යාපාරය සමග එක්වී Pyxle International දියත් කරයි

    September, 11, 2017

    මෙරට ප‍්‍රමුඛ පෙළේ මෘදුකාංග සමාගමක් වන Pyxle Limited, ජාත්‍යන්තර මට්ටමින් ඩොලර් බිලියන ගණනක ආයෝජනයන් සහ රටවල් 15 ක සමාගම් 200 ක් පමණ හිමි සමූහ ව්‍යාපාරයක් වන Tavistock Group සමග එක්වී Pyxle International දියත් කිරීමට පසුගියදා කටයුතු කළේ ය. ජාත්‍යන්තර තාක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛ පෙළේ සමාගමක් බවට පත්වීම Pyxle International හි මූලික දැක්ම වේ.

    2003 වසරේදී ආරම්භ කළ Pyxle සමාගම මූල්‍ය, නිෂ්පාදන, කෘෂිකර්ම සහ හෝටල් ඇතුළු ක්ෂේත‍්‍ර රැුසකට ඉහළ තලයේ තොරතුරු තාක්ෂණ විසඳුම් සම්පාදනය කරයි. රටේ තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ අතිදක්ෂයන් පිරිසකගේ සේවාව ලබන එම සමාගම මේ වනවිට රටේ ප‍්‍රමුඛතම සමාගම් 30 කට අධික සංඛ්‍යාවක් සඳහා සිය සේවාවන් සලසමින් සිටී.

    “Pyxle සමාගම යනු අත්දැකීම් බහුල, සාර්ථක සහ ජයග‍්‍රහණ රාශියක් වාර්තා කරගත් සමාගමක්. තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ විශිෂ්ටතම වෘත්තිකයන් ආකර්ෂණය කරගනිමින් ඉහළම තලයේ සේවාවන් සම්පාදනය කිරීමට අපට හැකියාව ලැබී තිබෙනවා. මේ නව හවුල්කාරීත්වය සමග අපට අපගේ දැනුම, කුසලතා සහ පළපුරුද්දෙන් උපරිම ප‍්‍රයෝජන ලබමින් අපගේ ව්‍යාපාරය පෙර නොවූ විරූ තරම් පුළුල් කිරීමේ අවස්ථාව හිමි වේවි. මෙය අපගේ සමාගමට මෙන්ම සමස්තයක් ශ‍්‍රී ලංකාවේ දක්ෂතා පිරිපුන් වෘත්තිකයන්ට අගනා අවස්ථාවන් රැසක් සලසනු ඇති බවට කිසිදු සැකයක් නැහැ.” Pyxle සමාගමේ නිර්මාතෘ හා අධ්‍යක්ෂ ප‍්‍රසන්ත ජයමහ මහතා පැවසී ය.

    “Tavistock යනු විශිෂ්ටත්වය හඹා යන සමාගමක් ලෙස ලොව පුරා ප‍්‍රසිද්ධයි. Tavistock සහ Pyxle එකතුමුව ඔස්සේ ලොව පුරා සේවාදායකයන්ට විශිෂ්ට තලයේ විසඳුම් හිමිවනු ඇතැයි කියා අප විශ්වාස කරනවා. Tavistock සමූහයේ තාක්ෂණික අංශය වන Elevate Group හි කොටසක් ලෙස Pyxle සඳහා ආයෝජනය කිරීමට අප කටයුතු කළා. මෙම ව්‍යාපාරය ජාත්‍යන්තර මට්ටමින් පුළුල් කරමින් එය ලොව විශිෂ්ටතම ව්‍යාපාරයක් බවට පත්කිරීම අපගේ ඉලක්කයයි.” Tavistock සමූහ ව්‍යාපාරයේ සාමාන්‍යාධිකාරිනී හේලී එවන්ස් මහත්මිය පැවසුවා ය.

    මෙම හවුල්කාරීත්වයෙහි ප‍්‍රතිඵලයක් ලෙස රටපුරා විසිරී සිටින කුසලතා පූර්ණ වෘත්තිකයන් වැඩි වශයෙන් Pyxle වෙත ආකර්ෂණය වනු ඇත.

    ‘‘ඉදිරියේදීත් අපගේ කණ්ඩායම තවතවත් පුළුල් කරමින්, නව තාක්ෂණික නිර්මාණ සිදුකිරීම සඳහා තරුණ ශ‍්‍රී ලාංකිකයන්ට දිරිගැන්වීම අපගේ ඉලක්කයයි. මේ ඔස්සේ අපට 2017 තුළදී අපගේ ව්‍යාපාරය දෙගුණයකින් වර්ධනය කිරීමේ හැකියාව ලැබේවි.” ප‍්‍රසන්ත ජයමහ මහතා වැඩිදුරටත් පැවසී ය.

    ජයමහ මහතා Pyxle සමාගම ආරම්භයේ සිටම එය දියුණුව කරා මෙහෙයවූ අතර Tavistock සමග හවුල්කාරීත්වයකට එළඹීම සඳහාද පුරෝගාමී මෙහෙවරක් ඉටුකළේ ය.

    මෙම හවුල්කාරීත්වය යටතේ Tavistock සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ෂෙහාන් දිසානායක මහතා ඇතුළුව නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් 3 දෙනෙකු Pyxle International හි අධ්‍යක්ෂ මණ්ඩලයට පත්වනු ඇත.