Quality Coder අත්පොතක් එළිදැක්වේ

    March, 25, 2019

    උසස් තත්වයේ මෘදුකාංග නිෂ්පාදනය කිරීම සදහා උදව්  කර ගත හැකි කොලිටි කෝඩර් (Quality Coder) අත් පොතක්   සම්පාදනය කර ඇත.

    මේ පොත සම්පාදනය කිරීම සදහා  මෙරට තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ නිරත  ප්‍රධාන පෙළේ සමාගම් වල පුර්ණ සහාය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට (ICTA)  ලැබී තිබේ.

    මෙම අත් පොත ප්‍රායෝගික සහ ස්වයං ඉගෙනුම් මෙවලමක් ලෙස ද සංවර්ධනය කර ඇත.

    තවද මෙම අත් පොතෙහි අඩංගු කරුණු වඩාත් හොදින් ග්‍රහනය කර ගැනීමට පහසුවක් ලෙස එයට අදාළ වෙබ් අඩවි සහ යුටියුබ් වෙත ප්‍රවේශ වී ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලද නිරත වීමට හැකිවීමද විශේෂත්වයකි.

    මෙම අත්පොත එලිදැක්වීම ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ  අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේදී සිදුවිය.

    මෙහි ප්‍රථම අත්පොත නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතා විසින් අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා වෙත මෙහිදී  පිලිගැන්විණි.

    එහිදී අදහස් දැක්වු අමාත්‍ය  අජිත් පී. පෙරේරා මහතා: විශේෂයෙන්ම රාජ්‍ය අංශය ඉතා ඉක්මනින් පුර්ණ වශයෙන්ම ඩිජිටල්කරණය කරන්න උවමනායි.එවිට තමයි ජනතාව අපේක්ෂා කරන කාර්යක්ෂම විධිමත් පලදායී සේවාවක් ජනතාවට ලබා දීමට හැකිවන්නේ.ඒ විතරක්ම නෙමෙයි රාජ්‍ය සේවාව තුල සිදුවන අල්ලස දුෂණය වැනි දේත් මෙම ඩජිටල් කරණය තුලින් පිටු දකින්ට හැකියි.රාජ්‍ය ආයතන නියත වශයෙන්ම ඩිජිටල්කරණය කිරිමට යම් කාලසීමාවක් ලබා දීමට අපේක්ෂා කරනවා.එම කාලසීමාව තුල එම කටයුතු නිමාවට පත්වෙන්න ඕනේ.එසේම ඉදිරි සති කිහිපය තුලදී සයිබර් ආරක්ෂණයට සහ තොරතුරු ආරක්ෂණයට අදළ නව නීති  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට බලා පොරොත්තු වෙනවා.ඩිජිටල්කරණ කටයුතු පහසුකිරීම සදහා මෙවැනි අත්පොතක් සම්පාදනය කිරීම කාලීන වශයෙන් ඉතා වැදගත් වෙනවා.

    මෙහිදී අදහස් දැක්වු නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී දමිත් හෙට්ටිහේවා මහතා: දෙදහස් විසිදෙක  වර්ෂයේදී තොරතුරු තාක්ෂණ කර්මාන්තය අශ්‍රිතව ඩොලර් බිලියන පහක පමණ අපනයන   ආදායමක් ඉපයීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරනවා.ඒ ඉලක්කය සපුරා ගැනීමේ ප්‍රධාන එක් සාධකයක් වන්නේ  දක්ෂතාවයෙන් හෙබි මෘදුකාංග නිර්මාණ කරුවන් පිරිසක්.ඒ සදහා මෙම අත්පොත මනා රුකුලක් වෙතැයි විශ්වාස කරනවා.

    මෙරට තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ නිරත ප්‍රධාන පෙලේ සමාගම් ප්‍රධානීන්, නියෝජිතයින් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.