Riu Sri Lanka හෝටලයෙන් සැබෑ ආහාර-පාන විවිධත්වයක් අත්විඳින්න

    October, 10, 2017

    පැය 24 පුරා All Inclusive පහසුකම පිරිනමන තරු පහේ හෝටලයක්වන Riu Sri Lanka හෝටලය ලොව පුරා රාජ්‍යයන් රැසක සංස්කෘතීන්වලට අයත් ආහාර-පාන පිරිනමන අතර, මෙරට දේශීය ආහාර-පාන සංචාරකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වී ඇත. රිටි පන්න සහ සිලෝන් ලෙස නම්කර ඇති ප්‍රධාන ආපනශාලා දෙකට අමතරව තවත් තේමාන්විත ආපනශාලා තුනක් හෝටලය සතුය. ප්‍රධාන ආපනශාලාවේ ශ්‍රී ලාංකේය සහ ආසියානු කලාපයේ සිට ඉතාලි සහ මධ්‍යධරණී කලාපය දක්වා පුළුල් පරාසයක විහිදුණු ආහාර-පාන රැසක් බුෆේ ක්‍රමයට අමුත්තන් වෙනුවෙන් පිරිනැමෙන අතර, Saute ආපනශාලාව තුළ යුරෝපීය උදෑසන ආහාර සහ කෙටි ආහාර පිරිනැමේ. මීට අමතරව, හෝටලයේ ආසියානු ආපනශාලාව වන Kaori ආපනශාලාව තුළ හෝ ඉතාලියානු La Forchetta ආපනශාලාව තුළ හෝ රාත්‍රී ආහාරය ගැනීමට ද අමුත්තන්ට හැකිය.

    ලොව පුරා සියලු ජාතිකයන් මෙන් ම ශ්‍රී ලාංකිකයෝ ද හෝටලයේ ඇති මෙම ආහාර-පාන විවිධත්වය බෙහෙවින් ප්‍රිය කරති. ප්‍රධාන ආහාර වේල් තුන ම සඳහා අවම වශයෙන් දේශීය ආහාර වර්ග අටක් අමුත්තන් වෙනුවෙන් පිරිනැමීමට Riu Sri Lanka හෝටලය කටයුතු කරයි. කෙහෙල්මුව තෙලට, කිරි මඤ්ඤොක්කා, මාළු ඇඹුල්තියල්, ඉස්සො කංකුන් තෙලට, කන්දිරි බත, පොල් සම්බෝල, හාල්මැස්සෝ කටගැස්ම, ගොටුකොළ සම්බෝල, පෝර්ක් කිරි බැදුම, දැල්ලෝ බැදුම, කුකුල් මස් කරිය, පොල් රොටි ඇතුළු ආහාර රැසක් ඒ අතර වෙයි.

    Riu Sri Lanka හෝටලය ආහාර පිළිබඳ දක්වන විශේෂ අවධානය එම හෝටලයේ ආහාර විවිධත්වය මගින් වඩාත් හොඳින් නිරූපණය වෙයි. මෙරට හෝටල් අතර විශිෂ්ටත ම මුළුතැන්ගෙයකට හිමිකම් කියන එම හෝටලය ප්‍රංශ පාන් සහ අනෙකුත් විදේශීය බේකරි නිෂ්පාදන සඳහා බෙහෙවින් ජනප්‍රියය. හකුරු, කජු ටොෆි පුඩිං සහ වටලප්පන් ආදී අතුරුපස වර්ග ද සංචාරකයන්ගේ නොමඳ අවධානය දිනාගැනීමට සමත්ය.

    දේශීය මෙන්ම විදේශීය හෝටල්, ආපනශාලා සහ ප්‍රමුඛපෙළේ සූපවේදීන් සමග කටයුතු කරමින් අත්දැකීම් රැසකට හිමිකම් කියන අරිත ප්‍රනාන්දු මහතා Riu Sri Lanka හෝටලයේ ප්‍රධාන සූපවේදී ලෙස කටයුතු කරයි. ලාභදායී ආහාර-පාන වර්ග මෙන්ම අමුත්තන්ගේ සංකීර්ණ ආහාර රටා අවශ්‍යතා සහ සූපවේදී පුහුණු ක්ෂේත්‍රවල ද ඔහු අත්දැකීම් සම්භාරයකට හිමිකම් කියයි.

    "විවිධත්වය, ආදරය සහ රසය කැටිකොට ගත් Riu Sri Lanka ආහාර සංස්කෘතිය අතිශය අසමසම අත්දැකීමක් බව සඳහන් කළ යුතුයි. ආහාර පිළියෙළ කිරීම වැඩිදියුණු කර ගැනීමටත්, අලුත් දෑ උගෙන ගැනීමටත්, නව ආහාර වර්ග හඳුන්වා දීමටත් අප නිබඳව අපගේ කාර්යමණ්ඩලය දිරිමත් කරනවා. අපගේ සියලු අමුත්තන් හට අමරණීය සහ ධනාත්මක අත්දැකීමක් ලබාදීමට අපට හැකිවී තිබෙනවා" යනුවෙන් සූපවේදී ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

    මුහුදු වෙරළට මුහුණලා දැකුම්කළු පසුබිමක අලුතින් ඉදි කෙරුණු මෙමං හෝටලය පැය 24 පුරා ක්‍රියාත්මක පරිපූර්ණ සේවාවක් පිරිනමන අතර විශාල පිහිනුම් තටාක තුනකින්, ළමා පිහිනුම් තටාකයකින්, අව්ව තැපීමේ මළු, ජකුසි, ව්‍යායාම් ශාලා මෙන් ම හෙයා ඩ්රෙසින් සහ සම්බාහන සේවාවලින් සමන්විත  තරු පහේ රෙනෝවා ස්පා මධ්‍යස්ථානය, වැඩිහිටියන්ට සහ ළමුන් වෙනුවෙන් විවිධ විනෝද අංග ඇතුළු සේවාවන් රැසකින් සමන්විත වේ. තරු පහේ හෝටලයක්වන මෙය සඳළුතල හෝ මළු, පැතලි තිර සැටලයිට් රූපවාහිනී, වායුසමීකරණ, විද්‍යුත් සේප්පු සහ මිනිබාර් පහසුකම්වලින් යුතු කාමර 501කින් සමන්විත වේ.