භාවිත කළ හැකි සංචිතය පහළ බසී

    September, 9, 2022

    2022 වසරේ අගෝස්තු මාසය අවසන් වන විට දළ නිල සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 1.71ක් විය. මෙය 2022 ජූලි මාසයට වඩා 5.6% ක පහළ යාමක් වේ.

    මින් විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 1.61 ක් වන අතර චීන මහජන බැංකුවෙන් ලද එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5කට සමාන විදේශ විනිමය හුවමාරු පහසුකම මෙයට ඇතුළත් වේ. එය භාවිත කිරීම යම් කොන්දේසිවලට යටත් වේ.

    මහ බැංකුව දළ නිල සංචිතවලට ගලා ඒම් උපයෝගී කර ගනිමින් අත්‍යාවශ්‍ය ආනයන මූල්‍යකරණය කිරීම සඳහා විදේශ විනිමය ද්‍රවශීලතාව අඛණ්ඩව සැපයීම සිදු කරනු ලබයි.

    එහි ප්‍රතිඵලයක් වශයෙන්, 2022 වසරේ අගෝස්තු මස අවසානයේ දී භාවිත කළ හැකි සංචිත මට්ටම සැලකිය යුතු ලෙස අඩු මට්ටමක පවතී.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2022 ජූලි මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරිත්ව වාර්තාවට අනුව, දළ නිල සංචිත හා බැංකු අංශයේ දළ විදේශීය වත්කම්වලින් සමන්විත වන මුළු විදේශීය වත්කම් ප්‍රමාණය 2022 වසරේ ජූලි මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 5.9ක් විය.

      ඩොලර් සංචිතයේ අලුත්ම තත්ත්වය

      August, 5, 2022

      2022 ජූලි මාසය අවසානයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,815 ක් ලෙසින් වාර්තා වී තිබේ. එය 2022 ජූනි මාසයේ දී දැක්වුණු ඩොලර් මිලියන 1,854 හා සැසඳීමේ දී 2.1% ක පහළ යාමකි.

      මෙම සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය ජූලි මාසය තුළ ඩොලර් මිලියන 1,746 සිට ඩොලර් මිලියන 1,708 ක් දක්වා 2.2% කින් අඩු වී ඇත.

      කෙසේවෙතත් මෙම විදේශ විනිමය සංචිතය තුළ ඇතුළත් චීන මහජන බැංකුවෙන් ලද ඩොලර් බිලියන 1.5කට සමාන විනිමය හුවමාරු පහසුකම භාවිතයට ගැනීමේ දී කොන්දේසි පවතින බැවින්, මෙම දත්තවලට අනුව මහ බැංකුව සතුව දැනට පවතින භාවිතයට ගත හැකි විදේශ විනිමය සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 208කට සීමා වී තිබේ.

       

        සංචිතයේ ඇතුළත් ඩොලර් බිලියන 1.5 ක් ඉලක්කම්වලට විතරයි

        June, 8, 2022

        රට රැවටීමේ ණයක් - අගමැති කියයි

        2022 මැයි මාසය තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල සුළු වර්ධනයක් නවතම වාර්තා අනුව දක්නට ලැබේ.

        ඒ අනුව නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 1,812 සිට ඩොලර් මිලියන 1,920 දක්වා 6.0% කින් වර්ධනය වී තිබේ.

        මහ බැංකුවේ නිල සංචිත වත්කම් සමන්විත වන්නේ සංරචකයන් 5 කිනි.

        එනම්,

        1. විදේශ මුදල් සංචිත
        2. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සංචිත මට්ටම
        3. විශේෂ ගැනුම් හිමිකම්
        4. රත්‍රං
        5. අනෙකුත් සංචිත වත්කම්

        පසුගිය මැයි මාසය තුළ දී නිල සංචිත වත්කම් ඉහළ යාමේ දී ඒ සඳහා වැඩිම දායකත්වයක් ලැබී ඇත්තේ විදේශ මුදල් සංචිතය ඉහළ යාම තුළිනි. එහිදී විදෙස් මුදල් සංචිතය ඩොලර් මිලියන 1,602 සිට ඩොලර් මිලියන 1,805 ක් දක්වා 12.75% කින් වැඩි වී ඇත.

        කෙසේ වෙතත් මැයි මාසය තුළ දී විශේෂ ගැනුම් හිමිකම් (SDR) ප්‍රමාණය ඩොලර් මිලියන 115 සිට ඩොලර් මිලියන 21 ක් දක්වා 81.6% කින් පහළ ගොස් ඇති අතර මහ බැංකුවේ රන් සංචිතය ද ඩොලර් මිලියන 29 සිට ඩොලර් මිලියන 28 ක් දක්වා 3.1% ක අඩුවීමක් වාර්තා කර තිබේ.

        මේ වන විට ඩොලර් මිලියන 1,805 ක විදෙස් මුදල් සංචිතයක් මහ බැංකුව සතුව තිබේ. කෙසේ වෙතත් ඒ තුළ ඩොලර් මිලියන 1.5කට සමාන වූ චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් අන්තර්ගත වන බවත්, එය භාවිතා කිරීමේ දී කොන්දේසිවලට යටත් වීමට සිදුව ඇති බවත් මහ බැංකුව පවසා සිටී.

        පසුගිය මැයි 11 වන දින පැවති මාධ්‍ය හමුවක දී අද දෙරණ මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගෙන් විමසා සිටි අතර ඔහු එහිදී අනාවරණය කළේ මෙම මුදල දැනට කිසිවකට හෝ භාවිතා කළ නොහැකි බවයි.

        ප්‍රශ්නය - මහ බැංකුවේ නිල සංචිත වත්කම්වල පෙන්වන චීන මහජන බැංකුවෙන් ලබා ගත් ඩොලර් බිලියන 1.5 කට සමාන විනිමය හුවමාරු පහසුකම භාවිත කරන්න පුළුවන් මොනවාටද ?

        මහ බැංකු අධිපතිවරයාගේ පිළිතුර - මොනවාටවත් පාවිච්චි කරන්න බැහැ, දැනට. අපි ඒගොල්ලන්ගෙන් ඉල්ලා සිටිනවා සාකච්ඡාවක් මේක රිලැක්ස් කරන්න කියලා, පාවිච්චි කරන්න පුළුවන් ආකාරයට. අපි ඉල්ලීමක් කරලත් තියෙනවා. අපි ඒ ගැන තවදුරටත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා, ඒ මුදල අඩුම ගානේ චීනෙන් ඉම්පොර්ට් කරන ඒවාටවත් පාවිච්චි කරන්න පුළුවන් විදියට. ඒකත් එකක් අපි සාකච්ඡා කර ගෙන යනවා. උත්සාහ කරනවා ඒ සම්බන්ධයෙන් ඒ කොන්දේසිය වෙනස් කරලා අපිට පාවිච්චි කරන්න පුළුවන් විදියට හදාගන්න.

        මේ අතර ඊයේ (07) දින පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම චීන මුදල් සම්බන්ධයෙන් ද අදහස් දැක්වීය.

        “මීට ටික කලකට පෙර චීන මහජන සමූහාණ්ඩුවෙන් SWAP පහසුකම් යටතේ අපි ණය මුදලක් ලබා ගත්තා. ඒ ණය මුදල සම්බන්ධයෙන් කොන්දේසියක් තිබුණා. ඒ මුදල් අපට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ මාස තුනකට සරිලන විදේශ සංචිත අපේ රටට තියෙනවා නම් පමණයි. ණය මුදල ලබා ගන්න කොට අපිට මාස තුනක විදේශ විනිමය සංචිත තිබුණේ නෑ. එහෙම තියෙද්දි අපේ අදාළ නිලධාරීන් රට රැවටීමේ ණයක් ලබා ගත්තා. අර කොන්දේසිය අනුව ඒ ණය අපට මුදා හැරෙන්නේ නැහැ. ඉලක්කම් විතරයි දැන් අපි ඒ කොන්දේසිය ඉවත් කිරීම සඳහා සලකා බලන මෙන් චීන රජයෙන් ඉල්ලීමක් කර තියෙනවා.“

          ශ්‍රී ලංකාවේ විදෙස් සංචිතය ගැන අලුත්ම තත්ත්වය මෙන්න

          May, 7, 2022

          මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය 2022 අප්‍රේල් මාසය අවසන් වන විට ඩොලර් මිලියන 1,827 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

          මෙයින් විදේශ විනිමය සංචිතය ලෙස ඩොලර් මිලියන 1,618 ක් සඳහන් වේ. කෙසේවෙතත් එය තුළ චීන මහජන බැංකුවෙන් ලබා ගන්නා ලද එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5කට සමාන විනිමය හුවමාරු පහසුකම ඇතුළත් වුවද එය භාවිතයට ගැනීමේ දී ‌කොන්දේසි පවතින බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටී.

          මේ අනුව 2022 අප්‍රේල් මාසය අවසානයේ දී මෙරට භාවිතයට ගත හැකි විදෙස් විනිමය සංචිතය ඩොලර් මිලියන 118 ක මට්ටමක් දක්වා පහළ වැටී ඇත.

          මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පසුගිය මැයි 04 වනදා පාර්ලිමේන්තුවේ දී පැවසුවේ, ඒ වන විට භාවිතයට ගත හැකි සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 50ක් වත් නොමැති බවයි.

          නිල සංචිත වත්කම් තුළ ඇතුළත් තවත් ප්‍රධාන වත්කමක් වන රන් සංචිතය, අප්‍රේල් මාසය තුළ දී වෙනස්වීමකට ලක්ව නොමැති අතර එය ඩොලර් මිලියන 29 ක් ලෙසින් සටහන් වේ. කෙසේ වෙතත් 2022 මාර්තු මාසය තුළ දී රන් සංචිතය 70%කින් පහළ ගොස් තිබුණි.

           

            ලංකාව පිටරටට ඩොලර් බිලියන 50.7 ක් ණයයි

            May, 3, 2022

            විදේශීය ණය

            ප‍්‍රධාන වශයෙන් මහ බැංකුවේ සහ තැන්පතු භාරගන්නා ආයතනවල විදේශීය ණය වැඩිවීමත් සමඟ 2021 වසරේ දී ශ‍්‍රී ලංකාවේ මුළු විදේශීය ණය තත්ත්වය ඉහළ ගියේය. 2020 වසර අවසන් වන විට පැවති රටේ මුළු විදේශීය ණය ප‍්‍රමාණය එ.ජ. ඩොලර් බිලියන 49.0ක සිට 2021 වසර අවසන් වන විට එ.ජ. ඩොලර් බිලියන 50.7ක් දක්වා වැඩි විය. ප‍්‍රධාන වශයෙන් චීන සංවර්ධන බැංකුවෙන් ලබාගත් විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකම් දෙක ලැබීමත් සමඟ නොපියවා ඉතිරිව ඇති රජයේ මුළු විදේශීය ණය වසර තුළ ඉහළ යාමක් වාර්තා කළ ද, වෙළඳපොළ මිලට අනුව රජයේ විදේශීය ණය 2020 වසර අවසන් වනවිට පැවති එ.ජ. ඩොලර් බිලියන 28.2ක සිට 2021 වසර අවසන් වන විට එ.ජ. ඩොලර් බිලියන 27.3ක් දක්වා අඩු විය. මෙය, ශ‍්‍රී ලංකාවේ නොපියවා ඉතිරිව ඇති ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල වෙළඳපොළ මිල පහත වැටීම සහ 2021 වසරේ ජූලි මාසයේ කල් පිරුණු ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය ආපසු ගෙවීමේ ඒකාබද්ධ ප‍්‍රතිඵලයක් විය. 2021 වසරේ රජයේ විදේශීය ණය අඩු වීමට ප‍්‍රධාන හේතුවක් වූයේ ජාත්‍යන්තර වෙළඳපොළවල් වෙතින් නව ණය ගැනීම අඩු වීම සහ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සංචිත උපයෝගී කර ගනිමින් රජය සතු විදේශීය ණය වගකීම් ආපසු ගෙවීමට සිදුවීමයි.

            මේ අතර, ඉන්දියානු සංචිත බැංකුවෙන් ලැබුණු විදේශ විනිමය හුවමාරු පහසුකම ආපසු ගෙවුව ද, චීන මහජන බැංකුව සහ බංගලාදේශ බැංකුව සමඟ නව ද්විපාර්ශ්වික විදේශ විනිමය හුවමාරු පහසුකම්වලට එළඹීම හේතුවෙන් 2020 වසර අවසානයට සාපේක්ෂව 2021 වසර අවසන් වන විට මහ බැංකුවේ නොපියවා ඉතිරිව ඇති විදේශීය ණය සැලකිය යුතු ලෙස වැඩි විය. කෙටිකාලීන ණය තත්ත්වය කැපී පෙනෙන ලෙස පහළ ගියද, මුදල් හා තැන්පතුවල සැලකිය යුතු ඉහළ යෑම හේතුවෙන් තැන්පතු භාරගන්නා ආයතනවල නොපියවා ඉතිරිව ඇති විදේශීය ණය ප‍්‍රමාණය ද සැලකිය යුතු ලෙස වැඩි විය. මේ අතර, පෞද්ගලික අංශයේ සමාගම් විසින් ලබා ගත් විදේශීය ණය ප‍්‍රමාණය වැඩි වුව ද, පෞද්ගලික අංශය වෙත ලැබුණු වෙළෙඳ ණයෙහි නොපියවා ඉතිරිව ඇති ප‍්‍රමාණය අඩුවීම සහ රජය සතු වාණිජ ව්‍යවසායයන්ගේ විදේශීය ණය ආපසු ගෙවීම සමඟ 2021 වසරේ දී පෞද්ගලික අංශයේ සමාගම් සහ රජය සතු වාණිජ ව්‍යවසායයන්ගේ නොපියවා ඉතිරිව ඇති විදේශීය ණය ප‍්‍රමාණය පහළ ගියේය. තව ද, වසර තුළ දී ඍජු ආයෝජන ව්‍යාපාර කිහිපයක් වෙත අන්තර් සමාගම් ණය සහ කොටස් හිමියන්ගේ අත්තිකාරම් ලැබුණු බැවින්, ඍජු ආයෝජන ව්‍යාපාරවල අන්තර් සමාගම් ණය 2021 වසරේ දී ඉහළ ගියේය.

            ද.දේ.නි. යෙහි ප‍්‍රතිශතයක් ලෙස රටෙහි නොපියවා ඉතිරිව ඇති මුළු විදේශීය ණය ප‍්‍රමාණය වසර තුළ දී සුළු වශයෙන් පහළ යෑමක් වාර්තා කරන ලදී. 2020 වසරට සාපේක්ෂව 2021 වසර තුළ දී නාමික ද.දේ.නි.යෙහි වැඩිවීම පිළිබිඹු කරමින්, 2021 වසර අවසානයේ දී නොපියවා ඉතිරිව ඇති මුළු විදේශීය ණය ප‍්‍රමාණය ද.දේ.නි.යෙහි ප‍්‍රතිශතයක් ලෙස 2020 වසර අවසානයෙහි පැවති සියයට 60.5ට සාපේක්ෂව සියයට 60.0ක් විය. සමස්ත විදේශීය ණය තත්ත්වයෙන් රජයේ නොපියවා ඉතිරිව ඇති විදේශීය ණය තත්ත්වය 2020 වසර අවසානයේ දී පැවති සියයට 57.5 සිට 2021 වසර අවසානයේ දී සියයට 53.9ක් දක්වා පහළ ගියේය. ණය කල්පිරීමේ කාලය අනුව, දිගුකාලීන කල් පිරීම් සහිත ණය ද.දේ.නි.යෙහි ප‍්‍රතිශතයක් ලෙස 2020 වසර අවසානයේ දී පැවති සියයට 50.4ට සාපේක්ෂව 2021 වසර අවසානයේ දී සියයට 50.0ක් දක්වා සුළු වශයෙන් පහළ ගියේය.

            ශ්‍රී ලංකා මහ බැංකුවේ 2021 වාර්ෂික වාර්තාවෙහි මේ බව සඳහන් වේ.

              මාස 06කින් රටක් බංකොලොත් වුණු හැටි

              April, 20, 2022

              නිසි කලට ගත යුතු නිසි තීරණ නොගත් නිසාත්, කිසි කලෙක නොගත යුතු අනිසි තීරණ ගත් නිසාත්, රාජ්‍යයක් කඩා වැටෙන අයුරු අපි දැන් ප්‍රායෝගිකවම අත්විඳිමින් සිටින්නෙමු.

              රටේ සල්ලි ඇති පුරවැසියා මෙන්ම සල්ලි නැති පුරවැසියා ද අද වන විට දුප්පතුන් වී හමාරය.

              ඔබට සුඛෝපභෝගී මෝටර් රථයක් තිබුණ ද ඊට අවශ්‍ය ඉන්ධන සපයා ගැනීම අද වන විට ඔබට ගැටළුවකි. ඔබට පුද්ගලික රෝහලකින් ඉහළ මිලක් ගෙවා වෛද්‍ය සේවා ලබා ගැනීමේ හැකියාව තිබුණ ද රෝහල්වල ඖෂධ ඇතුළු සැපයුම් අඩාල වී ඇත. ඉහළ පෙළේ අවන්හලකින් රාත්‍රී ආහාර වේලක් භුක්ති විඳීමේ හැකියාව ඔබට තිබුණ ද, ගෑස් නොමැතිකමින් සහ එම අධිසුබෝපභෝගී ආහාර මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වීම හේතුවෙන් එවැනි අවන්හල් ගණනාවක්ම මේ වන විට වැසී ගොස්ය.  BMW රථයක හිමිකරුවා වන මහාාපරිමාණ ව්‍යාපාරිකයාත්, බට්ටා ලොරියෙන් එදා දවස සරිකරගන්නා තරුණයාත් එකම ඩීසල් පෝළිමකට තල්ලු කර තිබෙන්නේ අර්බුදයෙන් පැන යාමට කිසිවකුට ඉඩක් නොමැති බව පසක් කරමිනි.

              ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බව පසුගිය අප්‍රේල් 12 වනදා නිල වශයෙන් ප්‍රකාශයට පත්කෙරුණි.

              ශ්‍රී ලංකාව විසින් නුදුරේ දී ගෙවීමට නියමිත විදෙස් ණය පියවීමට මේ අවස්ථාවේ හැකියාවක් නොමැති බව  අප්‍රේල් 12 වනදා පැවති මාධ්‍ය හමුවක දී භාණ්ඩාගාර ලේකම්වරයා හා මහ බැංකු අධිපතිවරයා වෙතින් අනාවරණය වීමත් සමඟම ගෝලීය ණය ‌ශ්‍රේණිගත කිරීමේ ආයතන ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය කඩිනමින් පහළ දමන්නට කටයුතු කළේ, අර්බුදයේ දිග පළල පිළිබඳ භයංකාර පණිවුඩයක් ලෝකයට ලබා දෙමිනි.

              පසුගිය ඉරිදා (17) රාත්‍රියේ අද දෙරණ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ වූ එක් පුවතකින් කියැවුණේ පුත්තලමට පැමිණ ඇති ගල් අඟුරු නැව් දෙකකට ගෙවිය යුතු ඩොලර් මිලියන 34ක් සපයා ගැනීමට මේ දක්වා නොහැකි වී ඇති බවකි.  පවතින තත්ත්වය තුළ අදාළ ගෙවීම් නොලැබුණහොත් අදාළ නෞකා දෙක හරවා යාමේ අවදානමක් ද පවතින බව ඉන් කියැවිණ.

              ඩොලර් මිලියන 34 ක් තරම් මුදලක්වත් සපයා ගත ‌නොහැකි තැනකට ශ්‍රී ලංකාව වැටුණේ ඇයි?

              අද වන විට මෙරටට ආනයනය කරනු ලබන ඉන්ධන, ගෑස්, ඖෂධ ඇතුළු සෑම භාණ්ඩයක් සඳහාම ගෙවීමට ප්‍රමාණවත් ඩොලර් මෙරට බැංකු පද්ධතිය තුළ නොමැති වීමේ අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ ඉන්ධන පිරවුම්හල්, ගෑස් අලෙවිහල්වල දිගු පෝලිම් දක්නට ලැබීමත්, ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් දක්වා ඔඩුදුවාගොස් රට පුරා අඛණ්ඩ ජනඅගරල සිදුකෙරන තැනකට මහජනතාව තල්ලු කිරීමත් සමගිනි.

              පසුගිය කාලය පුරාවට රටේ විදේශ විනිමය නිසියාකාරයෙන් කළමනාකරණය කර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව අපොහොසත් වීම මේ සියල්ලටම හේතු වී තිබේ.

              2021 සැප්තැම්බර් සිට 2022 මාර්තු දක්වා මාස 07ක කාලපරිච්‌ඡේදය තුළ නිසි වේලාවේ දී ගත යුතු නිසි පියවර ගන්නට බලධාරීන් උත්සුක වූයේ නම් මෙවැනි අර්බුදයක් අද වන විට අත්විඳින්නට සිදුවන්නේ නැත.

              පහත දැක්වෙන්නේ ඒ බව සනාථ කිරීමට අවශ්‍ය කරුණු කාරණා කිහිපයකි.

              විදේශ සංචිතයෙන් ජනතාව ඇන්දවීම

              2021 අගෝස්තු මාසය අවසන් වන විට ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පැවති නිල සංචිත වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 3,550.70 කි. මෙයින් විදේශ විනිමය වශයෙන් පැවති ප්‍රමාණය ඩොලර් මිලියන 2,957.90 කි.

              ශ්‍රී ලංකාව නිල සංචිත වත්කම් ප්‍රකාශ කිරීමේ දී ඒ තුළ අන්තර්ගත මූලික වත්කම් කිහිපයක් වේ. එනම්,

              1. විදේශ විනිමය සංචිතය

              2. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) වෙන් කර ඇති සංචිත

              3. විශේෂ ගැනුම් හිමිකම්

              4. රන් සංචිතය

              5. වෙනත් සංචිත වත්කම්

              මෙලෙස නිල සංචිත වත්කම් දැක්වීමේ දී 2021 මාර්තු මාසයේ දී චීන මහජන බැංකුව සමඟ අත්සන් තබන ලද යුවාන් බිලියන 10 ක swap (විනිමය හුවමාරු) පහසුකමට අදාළ මුදල් ප්‍රමාණය ඇතුළත් නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව පැහැදිලිවම ප්‍රකාශ කර තිබුණි. එය ඩොලර් බිලියන 1.5කට සමාන මුදල් ප්‍රමාණයකි.

              2021 නොවැම්බර් මාසය අවසන් වන විට නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 1,588.4 ක් දක්වා සහ නිල විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 1,014.7 ක් දක්වා පහළ වැටෙද්දී පවා අදාළ චීන swap පහසුකමේ ඩොලර් බිලියන 1.5කට සමාන ප්‍රමාණය සංචිතයට එක් කර නොතිබුණේ ඇමරිකානු ඩොලර් වශයෙන් නොව චීන යුවාන් වශයෙන් තිබුණු විනිමයක් වූ නිසා විය යුතුය.

              කෙසේවතෙත් 2021 දෙසැම්බර් අවසානය වන විට මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 3,137.6 ක් හා විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 2,770.6 ක් ලෙසින් වාර්තා වේ. ඒ පෙර කී චීන swap පහසුකමෙන් ලැබුණු ‌ඩොලර් බිලියන 1.5කට සමාන යුවාන් බිලියන 10 ක් ඊට එකතු කරමිනි.

              එක් අතෙකින් එවැනි එකතු කිරීමක් කර සංචිතය වැඩි අගයයක පවතින බව පෙන්වන්නට වුවමාන වුණි නම් ඊට මාස 6-7කට පෙර වුවද එය සිදු කිරීමට හැකියාව තිබුණි. වැදගත්ම කාරණය නම් යුවාන් වශයෙන් ලැබී තිබුණු මුදලක් ඩොලර් වශයෙන් පෙන්වා විදෙස් සංචිතය ඉහළ අගයයක පවතින බවට කළ ඉලක්කම් හරඹයයි. එහි ඵලවිපාක අද අපි භුක්ති විඳින්නේ පොත්වල බිලියන ගණනින් සටහන් තිබුණ ද ගල් අඟුරු නැව් දෙකකට ගෙවීමට අවශ්‍ය ඩොලර් මිලියන 34 ක් සොයාගැනීමට නොහැකි මට්ටමකට රටක් පත්ව ඇති තත්ත්වයෙනි.

              පහත දැක්වෙන්නේ 2020 ජනවාරි සිට 2022 මාර්තු දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් පැවති ආකාරයයි. එහිදී 2021 දෙසැම්බර් මාසයේ දී විදෙස් සංචිතය පෙර මාසයට වඩා දෙගුණයක් වී ඇති බව සටහන් වන්නේ චීන විනිමය හුවමාරුවේ ආනුභාවයෙනි.

              (සංඛ්‍යා සටහන ඩොලර් මිලියන වලිනි.)

              2022 මාර්තු මාසය අවසානයේ දී මෙලෙස ඩොලර් මිලියන 1,723.60 ක විදේශ විනිමය සංචිතයක් ශ්‍රී ලංකාව සතුව පැවතිය ද එයින් භාවිතයට ගත හැකි ප්‍රමාණය වන්නේ පෙර සඳහන් චීන මුදල් හුවමාරුවෙන් ලද යුවාන් බිලියන 10 ක් හෙවත් ඩොලර් බිලියන 1.5ක ප්‍රමාණය අඩු කළ පසු ලැබෙන අගයයි. එනම් ඩොලර් මිලියන 223 කි. අද වන විට එය ඊටත් වඩා පහළ බැස ඇත.

              රත්තරන් සංචිතයට වෙච්ච දෙයක්

              රටක නිල සංචිත වත්කම් තුළ රත්‍රං සංචිතයට ලැබෙන්නේ ප්‍රමුඛ වැදගත්කමකි. එය විදේශ විනිමය සංචිතය හැරුණු විට ඉහළ ද්‍රවශීලතාවයකින් යුතු වත්කමක් වන බැවින් ඕනෑම රටක් සිය රන් සංචිතයට ඉහළ අවධානයක් ලබා දෙනු ඇත.

              2021 අගොස්තු මාසය අවසන් වන විට ඩොලර් මිලියන 390.60ක රන් සංචිතයක් ශ්‍රී ලංකා මහ බැංකුව සතුව තිබුණි. මෙය පසුගිය මාර්තු මාසය වන විට ඩොලර් මිලියන 29.30 ක් තරම් ඉතා පහළ මට්ටමකට ඇද වැටී තිබීම ඛේදනීය තත්ත්වයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. මෙලෙස ශ්‍රී ලංකාවේ රන් සංචිතය මේ සා විශාල ප්‍රමාණයකින් ක්ෂය වීමට අජිත් නිවාඩ් කබ්රාල් හා මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් යන හිටපු මහ බැංකු අධිපතිවරුන් දෙදෙනාම වගකිව යුත්තන් වනුයේ 2020 ජනවාරි මාසයේ දී ඩොලර් මිලියන 935.55 ක වටිනකාමකින් යුතු රන් සංචිතයක් ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පැවති බැවිනි. ‌දැන් ඒ පිළිබඳ කණගාටුවීමෙන් ඵලක් නැත. 2019 ඔක්තෝබර් 31 වන විට ශ්‍රී ලංකා මහ බැංකුව සතුව ඩොලර් මිලියන 952.18 ක රන් සංචිතයක් තිබුණි.

              2020 ජනවාරි මාසයේ සිට 2022 මාර්තු මාසය දක්වා මෙරට රං සංචිතය සිඳී ගිය ආකාරය පහත සටහනින් මනාව පැහැදිලි වනු ඇත.

              (සංඛ්‍යා සටහන ඩොලර් මිලියන වලිනි.)

              රට විරුවන්ගේ දහඩිය මහන්සියට නිසි මිලක් නොගෙවීම

              විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විසින් මෙරට ‌ප්‍රේෂණය කරනු ලබන 'රට සල්ලි' ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මූලාශ්‍රයකි. මේ හරහා 2020 වසරේ දී ශ්‍රී ලංකාවට ලැබී ඇති විදේශ විනිමය ප්‍රමාණය ඩොලර් බිලියන 7.1 කි. එය සමස්තයක් ලෙස ශ්‍රී ලංකාව විසින් 2022 වසරේ දී ගෙවීමට නියමිතව ඇති ඩොලර් බිලියන 6.9 ක් වන මුළු විදෙස් ණය ප්‍රමාණයට සමපාත අගයයකි. එබැවින් එවැනි මූලාශ්‍රයක් ආරක්ෂා කර ගැනීම වගකිව යුත්තන්ගේ ප්‍රමුඛ වගකීමක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

              නමුත් සිදුව ඇත්තේ ඊට හත්පසින්ම වෙනස් ක්‍රියාදාමයකි.

              2021 මැයි 17 දින එතෙක් දේශීය විදේශීය විනිමය වෙළෙඳපොළේ ඉල්ලුම් සැපයුම් බලවේග මත තීරණය වුණු එක්සත් ජනපද ඩොලරයක අගය ස්ථාවර මට්ටමක තබා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්තිමය තීරණයක් ගනු ලබන්නේය. ඒ අනුව ඩොලරයක ගැනුම් මිල රු. 198 වටා අගයයකත් විකුණුම් මිල රු. 203ට මදක් පහළ අගයයකටත් තබා ගැනීමට මහ බැංකුව තීරණය කරන ලදී. මෙම තත්ත්වය තවදුරටත් ඉදිරියට ගෙන යමින් 2021 සැප්තැම්බර් 02 දින සිට ඩොලරයක ගැනුම් මිල රු. 198.50 ක් සහ විකුණුම් මිල රු. 202.99 ක් ලෙසින් ඒකීය ස්ථාවර අගයක පවත්වා ගැනීමට මහ බැංකුව තීරණය කරනු ලබයි. එම තීරණය මහ බැංකුව හකුලා ගනු ලබන්නේ පසුගිය මාර්තු 07 වන දාය.

              මෙම අමනෝඥ තීරණයේ ප්‍රතිඵලයක් ලෙසින් එතෙක් මාසිකව ශ්‍රී ලංකාවට ගලා ආ ඩොලර් මිලියන 500 ක් පමණ වූ විදේස් ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය 2022 පෙබරවාරි වන විට ඩොලර් මිලියන 204.90 ක් තරම් පහළ මට්ටමකට ඇද වැටී තිබේ. මීට මූලික හේතුව විදෙස්ගත ශ්‍රමිකයන්ට ශ්‍රි ලංකාවේ බැංකු පද්ධතිය හරහා මෙරටට මුදල් ප්‍රේෂණය කරනවාට වඩා වැඩි මිලක් උන්ඩියල්, හවාලා වැනි අවිධිමත් ක්‍රම ඔස්සේ ලබා ගැනීමට අවස්ථාව ‌ලැබුණු බැවිනි.

              මහ බැංකුව ඩොලරයට රු. 202 - 203 ක ස්ථාවර මිලක්  ගෙවීමට කටයුතු කරද්දී මෙරට ඩොලර් කළු කඩයට ද සිත් සේ ව්‍යාප්ති වීමට මඟ පෑදුනේ මහ බැංකුවේ ඒ අදූරදර්ශී තීරණයේ අතුරු ප්‍රතිඵලයක් ලෙසිනි. වැඩි මිල‌ට ඩොලර් ගනුදෙනු කරන මුදල් හුමවාරු කරන්නන්ට නීතිය ක්‍රියාත්මක කිරීම වැනි ක්‍රියාමාර්ගවලට මහ බැංකුව පිවිසුන ද එයින් බැංකු පද්ධතිය හරහා විදෙස් ශ්‍රමිකයින්ගෙන් ලැබෙන මුදල් ප්‍රමාණයෙහි කිසිදු වර්ධනයක් සිදුනොවීය.

              එමෙන්ම මෙම කාලයේ දී අපනයනකරුවන් ද සිය අපනයන ඉපැයීම් රුපියල් බවට පරිවර්තනය කිරීමට අධෛර්යමත් වූයේ ඩොලරයකට ලැබෙන රුපියල් ප්‍රමාණය ප්‍රමාණවත් නොවූ බැවිනි.

              එබැවින් ඩොලරයේ මිල වෙළෙඳපොළ බලවේග අනුව තීරණය වීමට ඉඩ හැරීමට 2022 මාර්තු 08 දින ශ්‍රී ලංකා මහ බැංකුව සිදුවිය. දැන් මහ බැංකුවේ ඩොලරයක විකුණුම් මිල රු. 340 කි.

              2020 ජනවාරි සිට 2022 ‌පෙබරවාරි දක්වා විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලැබුණු ඩොලර් ආදායම පහතින් දැක්වේ.

              (සංඛ්‍යා සටහන ඩොලර් මිලියන වලිනි.)

              ඩොලර් විකිණීම

              විනිමය අනුපාතිකය ස්ථාවර අගයක පවත්වා ගෙන යාමට තීරණය කිරීමත් සමඟම මහ බැංකුවක් මුහුණ දෙන ප්‍රධාන ගැටළුවක් වන්නේ වෙළෙඳපොළේ අවහ්‍ය කෙරෙන ඩොලර් ද්‍රවශීලතාවය පවත්වා ගෙන යාම වෙනුවෙන් කරන මැදිහත්කරණයයි. එහිදී බොහෝ විට මහ බැංකුවකට දේශීය විනිමය වෙළෙඳපොළේ සිය සංචිතවලින් කොටසක් අලෙවි කිරීමට සිදුවනු ඇත. ඩොලරයක අගය පවත්වා ගෙන යාම වෙනුවෙන් මහ බැංකුව සිදුකරන මෙම මැදිහත් වීම ‘ඩොලර් පිච්චීමක්‘ ලෙස ද සමාන්‍ය ව්‍යවහාරයෙන් හැඳින්වේ.

              2021 මැයි මාසයේ සිට එක්සත් ජනපද ඩොලරයක මිල රු. 203 මට්ටමේ පවත්වා ගෙන යාමට තීරණය වුව ද 2021 මැයි සිට අගෝස්තු මාසය දක්වා මහ බැංකුව විසින් ශුද්ධ වශයෙන් අලෙවි කර තිබූ ඩොලර් ප්‍රමාණය ඩොලර් මිලියන 11.90 කි.

              2021 සැප්තැම්බර් සිට 2022 මාර්තු දක්වා මාස 07 තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දේශීය විදේශ විනිමය වෙළෙඳපාළෙන් මිල දී ගෙන ඇති ඩොලර් ප්‍රමාණය ඩොලර් මිලියන 745.81 කි. නමුත් භයානකම කරුණ නම් රුපියලට ඇතිවන පීඩනය සමනය වෙනුවෙන් ඩොලර් මිලියන 1,745.96 ක් වෙළෙඳපොළට නිකුත් කිරීමට මහ බැංකුව මෙම කාලපරිච්ඡේදය තුළ දී පියවර ගෙන තිබීමයි.

              ඒ අනුව ශුද්ධ වශයෙන් මෙම මාස 07 තුළ දී පමණක් ශ්‍රී ලංකා මහ බැංකුව ‘පුච්චා ඇති‘ ඩොලර් ප්‍රමාණය ඩොලර් මිලියන 1,001.33 ක් හෙවත් ඩොලර් බිලියන 1 කි.

              යම් ආකාරයකින් මෙම වකවානුවේ දී මහ බැංකුව විදේශ විනිමය සම්බන්ධයෙන් වගකිව යුතු ආකාරයේ මැදිහත් වීමක් කළා නම්, මෙම ලිපියේ මුලින් සඳහන් කළ ආකාරයට ගල් අඟුරු නැව් දෙකක් වෙනුවෙන් ගෙවිය යුතු ඩොලර් මිලියන 34 ක් සපයා ගැනීමේ අර්බුදයට අද වන විට මුහුණ පාන්නට සිදුවන්නේ නැත.

              ඩොලරය රු. 203 පවත්වාගෙන යාමේ ඵලවිපාක ලෙසින් විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට බැංකු පද්ධතිය හරහා එවනු ලැබූ ඩොලර් ප්‍රමාණය සෑහෙන ප්‍රමාණයකින් අහිමි වීමත්, රුපියල් රැක ගැනීම වෙනුවෙන් මහ බැංකුව ඩොලර් බිලියනයක් පුච්චා දැමීමත්අද පවතින අර්බුදය නිර්මාණය කිරීමේ මූලික අදියරයන් නොවේ යැයි කිව නොහැක්කේ කාටද?

              2020, 2021 සහ 2022 වසරවල දී ශ්‍රී ලංකා මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළෙඳපොළට මැදිහත් වුණු ආකාරය පහත සටහන් මගින් දැක්වේ.

              (සංඛ්‍යා සටහන් ඩොලර් මිලියන වලිනි.)

               

              සල්ලි අච්චු ගැසීම

              ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පැවති භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර ප්‍රමාණය අනුව මහ බැංකුව විසින් වෙළෙඳපොළට මුදල් නිකුත් කිරීම හෝ වෙළෙඳපොළෙන් මුදල් අවශෝෂණය කර ගන්නා ආකාරය පැහැදිලි කර ගත හැකිය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම නිවේදනය දිනපතා ප්‍රකාශයට පත්කරනු ලබයි.

              2020 වසර ආරම්භයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පැවති භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර ප්‍රමාණයේ වටිනාකම රු. මිලියන 74,744.37 ක්වූ අතර එය අද (2022 අප්‍රේල් 18) වන විට රු. මිලියන 1,854,228.81 ක් දක්වා ඉහළ ගොස් ඇත.  වත්මන් රජය යටතේ මාස 28ක කාලයක් තුළ මහ බැංකු අච්චු ගසා ඇති මුළු මුදල් වටිනාකම රු. මිලියන 1,779,484.44 ක් වේ. එනම් රු. ට්‍රිලියන 1.77 කි.

              එම ගණන ඉලක්කමෙන් ලියුවොත්, ලියවෙන්නේ මෙසේය.

              රු. 1,779,484,440,000/-

              රජයේ අකාර්යක්ෂම මූල්‍ය ප්‍රත්පත්තියේ තරම පෙන්වීමට මෙම අගය පමණක් දැක්වීම ප්‍රමාණවත්ය.

              උද්ධමනය හා පොලී අනුපාතික

              කොළඹ පාරිභෝගික මිල දර්ශකයට (CCPI) අනුව 2022 මාර්තු මාසයේ උද්ධමන අගය වාර්ෂික පදනම මත 18.7% ක් බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියා තිබුණි. එසේම ආහාර උද්ධමනය 30.2% ක් ලෙසත්, ආහාර නොවන උද්ධමනය 13.4% ක් ලෙසත් එම වාර්තාවේ සඳහන් වේ. එය 2021 ජනවාරි මාසයේ දී දැක්වුණේ 3% ක් ලෙසිනි.

              මේ අතර එක්සත් ජනපදයේ පුද්ගලික පර්යේෂණ විශ්ව විද්‍යාලයක් වන John Hopkins හි අර්ථ ශාස්ත්‍රඥ ස්ටීව් හැන්ක් පවසන්නේ Hanke’s Annual Inflation Index ට අනුව 2022 අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාවේ උද්ධමනය 74% ක් බවයි.

              කෙසේවෙතත් උද්ධමනය මෙයාකාරයෙන් ඉහළ නගිද්දී ඊට සමපාත වන අයුරින් පොලී අනුපාතිකවල ඉහළ දැමීමක් සිදුකිරීමට මහ බැංකුව පියවර ගත්තේ නැත. එහි ප්‍රතිඵලයක් ලෙසින් නව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වැඩභාර ගත් පළමු දිනයේ දීම පදනම් අංක 700 කින් ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දමන බව නිවේදනය කරන්නට ඔහුට සිදුවිය.

              මෙලෙස පොලී අනුපාතික මේ සා දැවැන්ත අගයයකින් ඉහළ යාමත් සමඟම එයින් ආර්ථිකයට දැනුණු කම්පනය කොපමණදැයි සිතා ගත හැක්කේ එදා සිට මේ දක්වා කොටස් වෙළෙඳපොළ විවෘත කර ගැනීමටවත් හැකියාව ලැබී නොමැති බැවිනි.

              සරලව දැක්වුවහොත් විනිමය අනුපාතිකය පාලනයක් සහිතව නිදහසේ තීරණය වන්නට ඉඩ දුන්නේ නම්, පොලී අනුපාතික කෘතිමව පහළ දමා ගෙන නොසිටියේ නම් අද වන විට අප මුහුණ පා සිටින මේ අර්බුදකාරීත්වය මේ තරම් දරුණු ආකාරයෙන් භුක්ති විඳීමට ශ්‍රී ලාංකික පුරවැසියනට සිදුනොවනු ඇත.

              පහත දැක්වෙන්නේ මෙරට ආර්ථිකයේ ඉහළ තනතුරු දරන සහ දැරූ පුද්ගලයෙකු ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ගැන කළ ප්‍රකාශ දෙකකි. ඒ අනුව මෙම අර්බුදය ගැන වගකිව යුත්තන් කළ තක්සේරුව හා ඊට ප්‍රතිචාර දැක්වූ ආකාරය පිළිබඳ ප්‍රාමාණික අවබෝධයක් ඔබට ලැබෙනු ඇත.

              පසුගිය අප්‍රේල් 07 දා දෙරණ ‘බිග් ෆෝකස්‘ වැඩසටහන හා එක්වෙමින් ලංකා වානිජ මණ්ඩලයේ උපසභාපති දුමින්ද හුලංගමුව මහතා කළ ප්‍රකාශයක් පහතින් දැක්වේ.

              “මම දන්නේ නැහැ අපේ රටේ ජනතාව දන්නවා ද කියලා මේ වෙනකොට තිබෙන දරුණු බව. අපි IMF සාකච්ඡා මේ සතියේ ආරම්භ කළේ නැත්නම්, මූල්‍ය උපදේශකයෙකු පත්කරලා අපේ ණය ප්‍රතිව්‍යූහගත කරන එක කඩිනමින් කරන්න හම්බවෙන්නේ නැහැ.“

              “ජූලි මාසයේ අපි ඇමරිකානු ඩොලර් බිලියන 1ක මුදලක් ගෙවිය යුතුව තිබෙනවා. ඒක ගෙවන්න වෙන්නෙත් අපේ සංචිතවලින් තමයි.“

              “ඒක ගෙවනවා කියන්නේ ඊළඟ මාස දෙකේ කිසිම ආනයනයක් නොකර අපේ ආදායම සියල්ලම එකතු කරලා ඉතුරු කරන්න වෙනවා මේ ඩොලර් බිලියනය ගෙවන්න.“

              “එතකොට මේ රටේ බෙහෙත් නැහැ. විදුලිය නැහැ. තෙල් නැහැ. ගෑස් නැහැ.“

              “ඉන්දියාවෙන් එන තෙල් අපිට මැයි මාසය වෙනකම් යයි. ඊට පස්සේ අපි තෙල් ලබාගන්නේ කොහොමද?“

              “තත්ත්වය ඉතාම උග්‍රයි. බරපතලයි.“

              “අපි කඩිනමින් පියවර ගත්තේ නැත්නම් ජූනි මාසයෙන් පස්සේ මුළු රටම අඳුරේ ඉන්න පුළුවන්.“

              “අද අපේ රටේ තියෙන තත්ත්වය අනුව බිලියනයක් නෙමෙයි මිලියන 100ක් වත් ගෙවාගන්න බැරි තත්ත්වයක ඉන්නේ.“

              වානිජ මණ්ඩල උපසභාපතිවරයා පෙර කී පරිදි අදාළ තීන්දු තීරණ මීට මාස 06කට පෙර ගත්තා නම් අද අපිට මෙවැනි තත්ත්වයකට මුහුණ පාන්නට සිදුවන්නේ නැත.

              තීන්දු තීරණ ගැනීමට අවශ්‍ය තරම් කාලය තිබුණු බවට, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා 2021 සැප්තැම්බර් 27 වැනිදා කළ පහත ප්‍රකාශයට වඩා තවත් සාක්ෂි කුමකට ද?

              "IMF එක අපේ තරහාකාරයෙක් නෙමෙයි. IMF එකත් එක්ක අපිට කිසි ගැටළුවක් නැහැ. අපි යම් අවස්ථාවක දී තාක්ෂණික සහායන් ඒ අය‌ගෙන් ලබා ගන්නවා. ඒ වුණාට අපි ඒ අයගේ ප්‍රෝග්‍රෑම් එකට යන්න ඔ්නේ නැහැ. ඒක තමයි අපි කියන්නේ. අපි දැනට අපේ රටේ ඔ්න තරම් සාක්ෂර දියුණුවක් වෙලා තියෙනවා. අපිට තොරතූරු තියෙනවා. අපිට අපේම අවශ්‍ය වෙන වැඩසටහනක් නිර්මාණය කර ගන්න පුළුවන්. ඒ නිසා තමයි අපි ඒක කරන්නේ. ඒක හරහා ඉදිරියට යන්න පුළුවන් ගමනක් තමයි අපි යන්න හදන්නේ."

              "අපේ රට ගැන වොෂිංටන් නගරයෙන් කෙනෙක් ඇවිල්ලා සති දෙකක් ඒ දිහා බලලා, ඒ පිළිබඳ තීරණයක් ගන්න එකද අපිට වැඩිය සුදුසු, නැත්නම් මේ රටේම, මේ රටට වගකියන අය කරන එකද සුදුසු කියලා අපි මුලින්ම තීරණය කරන්න ඔ්නේ. මම මීට පෙර IMF සහ ලෝක බැංකුව සමඟ සාකච්ඡා කරද්දී කියලා තියෙනවා, "For you this is a case study", ඔබට ශ්‍රී ලංකාව කියන්නේ ඔබ ලියන රිපෝර්ට් එකක්. ඒ රිපෝර්ට් එක සාර්ථක වුණොත් එහෙමයි, අසාර්ථක වුණොත් එහෙමයි. ඔබතුමා ඒ රිපොර්ට් එක ලියලා. පස්සේ කාලෙක ඔබතුමාගේ CV එක ලියද්දී මේ රිපෝර්ට් එක ලිව්වා කියලා කියයි. අපිට එහෙම නෙමෙයි. මේක අපේ රට. මේක අපේ ආර්ථිකය, මේක අපේ මිනිස්සු. කාටද වැඩි කැක්කුමක් තියෙන්නේ. මහ බැංකුවේ වැඩ කරනවා ආර්ථික විශේෂඥයන්, විශ්ලේෂකයන් ගණනාවක්. ඉතාමත් හොඳින් විෂයය දන්න අය. ඒ මේ රට ගැන හොඳ අවබෝධයක් තියෙන අයගෙන් සැලැස්මක් හදන එකද වැඩිය හොඳ, සති දෙකකට කවුරු හරි ඇවිල්ලා වෙන prescription එකකුත් අරගෙන එන අයගෙන් ගන්න එකද වැඩිය හොඳ කියන එක තමයි පළවෙනි කතාව."

              "දෙවෙනි එක අපි දේශපාලනිකවත් මේ රට ඉදිරියට ගෙනියන්න ඔ්නේ. රට කැළඹෙන්න දෙන්න බැහැ. රටේ කීර්තිනාමය හානිවෙන්න දෙන්න බැහැ. බොහෝ දෙනෙක් හිතන්නේ නැහැ, ණය පැහැර හැරියාම ඒකෙන් වෙන විපාක කොච්චර දරුණු ද කියලා. IMF එකට ගිහිල්ලා debt restructuring කියලා කිව්වාට පස්සේ එතනින් ගැලවෙන්න තව අවුරුදු 10 ක් යනවා. ඒ අවුරුදු 10 දී අපේ තරුණයන්ට අපි මොනවාද කියන්නේ? රැකියාවන් නැතුව ඉන්න කියලාද කියන්නේ? ඒ නිසා credibility කියන එක එන්නේ අපේ කරන ක්‍රියාවන්වලින්. IMF ආවා කියලා credibility එකක් එන්නේ නැහැ. දවස් දෙකකට පස්සේ මේ රටේ කැළඹීමක් ඇති වෙනවා නම් මොන credibility එකක් තිබුණත් එතනින් වැඩක් වෙන්නේ නැහැ. අපිට මේවා පුරුදුයි. මේවා ගැන සාකච්ඡා කරලා අවශ්‍ය වෙලාවට යන්න පුළුවන්. ඉස්පිරිතාලෙට අපි යන්නේ අපිට අමාරුවක් තියෙනවා නම්. ගෙදර කොත්තමල්ලි ටික බීලා හොඳ වෙනවා නම් ඉස්පිරිතාලේ ගිහින් වෙන ලෙඩක් හදාගන්න අවශ්‍ය නැහැ. ඒ නිසා මෙතන දී අපි මේ ගැන හොඳට සාකච්ඡා කරලා බලලා, අපි මේ ගැන හොඳට විග්‍රහ කරලා බලලා තමයි මේ තීරණ අරන් තියෙන්නේ. මම හිතන්නේ දැන් තියෙන තත්ත්වයට අපට මුහුණ දෙන්න පුළුවන්."

               

              - විශේෂ ලියුම්කරුවකු විසිනි

                භාවිත කළ හැකි විදෙස් සංචිතය ඩොලර් මිලියන 792 යි

                March, 1, 2022

                ආර්ථික විද්‍යාව, දේශපාලනය, නීතිය සහ ජනමාධ්‍ය යන ක්ෂේත්‍රයන්හි ආසියාව සඳහා උපායමාර්ගික විශ්ලේෂණ සපයන ස්වාධීන චින්තන පර්ෂධයක් වන වෙරිටේ රිසර්ච් ආයතනය විසින් මෙහෙයවනු ලබන PublicFinance.lk අන්තර්ජාල වේදිකාව විසින් මෙරට විදේශ විනිමය සංචිතය පිළිබව අනතුරුදායක අනාවරණයක් සිදුකර තිබේ.

                එහි සඳහන් පරිදි ශ්‍රී ලංකාවේ දැනට භාවිත කළ හැකි විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 792 ක්  බව සඳහන් කර ඇත.

                අදාළ සටහනෙහි වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

                ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත 2019 ජූනි මාසයේ සිට අඛණ්ඩව අඩුවෙමින් පවතින අතර 2022 ජනවාරි වන විට භාවිත කළ හැකි විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 792 ක් වන අතර, 2021 අවසානයේ මාස දොළහක ගෙවීම ඩොලර් මිලියන 6,904 ක් වන අතර එය දළ වශයෙන් 2022 ජනවාරි සංචිත ශේෂයෙන් 9 ගුණයක් වේ.

                මෙම මාස දොළහක (කෙටි කාලීන) ගෙවීම විදේශ මුදල් වත්කම් මත කලින් තීරණය කළ ශුද්ධ ගෙවීම් යොමු වන අතර ඊට රජයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ මුදල් වගකීම් ඇතුළත් වේ.

                මෙහිදී විශේෂ සටහනක් තබමින් PublicFinance.lk වැඩිදුරටත් මෙසේ කියා සිටී.

                2021 දෙසැම්බර් සහ 2022 ජනවාරි මාසවල භාවිතා කළ හැකි සංචිතවලින් චීන මහජන බැංකුව සමඟ යුවාන් බිලියන 10 ක හුවමාරුව (ඇමරිකානු ඩොලර් මිලියන 1,570) දළ නිල සංචිතවලින් බැහැර කර ඇති අතර, එසේ කර ඇත්තේ එක්සත් ජනපද ඩොලරයේ නියම කරන ලද වගකීම් පියවීමට මෙම සංචිත භාවිතා කළ හැකි බව පැහැදිලි නැති බැවිනි.

                PublicFinance.lk යනු ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය සම්බන්ධ තොරතුරු සඳහා වූ වේදිකාවකි. මෙම වේදිකාව ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය සම්බන්ධ දත්ත සහ  විශ්ලේෂණයන් ලබා දීම හරහා රාජ්‍ය මූල්‍ය පිළිබඳ තොරතුරු හිඟය පියවීමට සහ ඒ පිලිබඳ  අවබෝධය වැඩි දියුණු කිරීමට අදහස් කරයි.

                වෙරිටේ රිසර්ච් ආයතනය තවත් අන්තර්ජාල වේදිකා කිහිපයක් ක්‍රියාත්මක කරයි.

                  ෆිච් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය මගින් ශ්‍රී ලංකා ශ්‍රේණිගත කිරීම හදිසි ලෙස පහත හෙළීමේ ක්‍රියාවට රජය තරයේ විරෝධය පළ කරයි

                  December, 18, 2021

                  සමස්ත ලෝකයම කොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්තීන් කිහිපයක් සමඟ සටන් වදිමින් සිටින අවස්ථාවක ශ්‍රී ලංකාවේ සිදුවන ධනාත්මක වර්ධනයන් හඳුනා ගැනීමට අසමත් වී ඇති බව පෙන්නුම් කරමින් 2021 වසරේ දෙසැම්බර් 17 වන දින අනවශ්‍ය හදිසි පියවරක් ලෙස ෆිච් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය (ෆිච් රේටින්ස්) ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළුවේය. මෙම ක්‍රියාව, මෑතක දී, එනම් 2022 වර්ෂය සඳහා වන අයවැය වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට දින කිහිපයකට පෙර, මූඩීස් ආයෝජන සේවාව විසින් සිදු කරන ලද සාධාරණ නොවන ණය ශ්‍රේණිගත කිරීම් පහත හෙළීම හා සමාන වේ. විශේෂයෙන් ම ආර්ථිකයේ සියලු අංශවල නව ප්‍රවණතා සහ නුදුරේ දී ලැබීමට නියමිත විදේශ විනිමය ප්‍රවාහ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් විසින් ෆිච් ආයතනය වෙත නිරන්තරයෙන් සිදු කළ යාවත්කාලීන කිරීම පිළිබඳ සැලකිල්ලට ගත් කල, ශ්‍රී ලංකා ශ්‍රේණිගත කිරීම පහත හෙළීමට සඳහා ජාත්‍යන්තරව පිළිගත් ශ්‍රේණිගත කිරීමේ නියෝජිතායතනයකට මතු වූ හදිසි අවශ්‍යතාව තේරුම්ගත නොහැකිය.

                  විශේෂයෙන් ම, 2021 වසරේ තුන්වන කාර්තුවේ දී පැනවීමට සිදු වූ ආර්ථික හා සමාජ කටයුතු සීමා කිරීමේ ක්‍රියාමර්ග මධ්‍යයේ වුව ද, මෙම කාර්තුව තුළ රටේ මූර්ත ආර්ථිකයේ දැඩි පසුබෑමක් ඇති වීම වළක්වා ගැනීමට හැකි වූ අතර, නව සාමාන්‍ය තත්ත්වයට අනුවර්තනය වීමට ශ්‍රී ලංකාව සතු හැකියාව එමගින් පෙන්නුම් කෙරේ. 2021 වසරේ දී සියයට 4කට වැඩි වර්ධනයක් ඇති වීමට ඇති ප්‍රබල හැකියාව යලි තහවුරු කරමින්, මූර්ත දළ දේශීය නිෂ්පාදිතය, 2021 වසරේ ජනවාරි-සැප්තැම්බර් කාලය තුළ දී සියයට 4.4කින් (වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත) වර්ධනය විය. ආර්ථික ක්‍රියාකාරකම් පිළිබඳව නිතර නිකුත් කෙරෙන දත්ත මගින් පෙන්නුම් කෙරෙන්නේ වසංගතයට පෙර පැවති මට්ටම අභිබවා යමින් ආර්ථික ක්‍රියාකාරකම් වේගවත්ව යථා තත්ත්වයට පත්වීමේ ස්වභාවයකි. නිෂ්පාදන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2021 වසරේ නොවැම්බර් මාසයේ දී 61.9ට ළඟා වූ අතර, එය නොවැම්බර් මාසයක වාර්තා වූ ඉහළම අගය වාර්තා කරමින් වසංගතයට පෙර පැවති මට්ටමට සාපේක්ෂව ඉහළ අගයක් ගත්තේය. 2021 වසරේ දී පැවති මූලික මහජන කොටස් නිකුතු විශාල ප්‍රමාණයත් සමඟ කොළඹ කොටස් වෙළඳපොළෙහි දර්ශක ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළ ම මට්ටම් කරා ළඟා විය. පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදය තුළ දී පුද්ගලික අංශය වෙත ලබා දුන් රුපියල් බිලියන 260ක පමණ ණය ප්‍රමාණයට සාපේක්ෂව, 2021 වසරේ ඔක්තෝබර් දක්වා මාස දහය තුළ දී ලබා දුන් ණය ප්‍රමාණය රුපියල් බිලියන 685කින් ඉහළ ගියේය.

                  අපනයන ඉපැයීම් වාර්තාගත ලෙස ඉහළ යෑම හේතුවෙන්, 2021 වසරේ මැයි මාසයේ සිට වෙළඳ හිඟය මාසික ලක්ෂ්‍යමය පදනම මත අඛණ්ඩව පහළ ගියේය. වෙළඳ භාණ්ඩ අපනයන ඉපැයීම් 2021 වසරේ ඔක්තෝබර් මාසයේ දී මෙතෙක් වාර්තා කළ ඉහළම අගය වාර්තා කළ අතර, 2021 වසරේ නොවැම්බර් මාසයේ අපනයන ඉපැයීම් මෙම වාර්තාව අභිබවා ගොස් ඇති බව මූලික දත්ත මගින් පෙන්නුම් කරයි. සමපේක්ෂණ මත පදනම් වූ අපගමන කිහිපයක් හැරුණු විට, 2021 වසරේ අප්‍රේල් මාසයේ සිට විනිමය අනුපාතිකය ස්ථාවරව පැවතීමත් සමඟ අපනයන ආදායම සහ වෙනත් විදේශ විනිමය ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම ද මෑත සතිවල දී සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. මාසිකව සංචාරක පැමිණීම්වල වේගවත් වර්ධනයක් දක්නට ලැබුණු අතර, වාර්ෂිකව රටට අහිමි වූ එ.ජ. ඩොලර් බිලියන 5ක පමණ විදේශ විනිමය ආදායමක් ඉදිරි කාලපරිච්ඡේදය තුළ දී නැවත ලැබෙමින් පවතින ස්වභාවයක් එමගින් පෙන්නුම් කෙරේ.

                  ශ්‍රම සංක්‍රමණය නැවත ආරම්භ කිරීම, විශේෂයෙන් ම මැදපෙරදිග වෙතින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා වන ඉල්ලුම ඉහළ යෑම සහ ආකර්ෂණීය දිරිගැන්වීමේ පැකේජයක් හරහා විධිමත් මාර්ග ඔස්සේ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ලැබීම් පහසු කිරීමට දරන ප්‍රයත්න හේතුවෙන් විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ රට වෙත ලැබීම් පිළිබඳ වන අපේක්ෂා ඉතා යහපත් වේ. එවැනි ක්‍රියාමාර්ග සමඟින් විදේශීය ජංගම ගිණුමේ ශේෂය වර්ධන හිතකාමී මට්ටමින් පවත්වා ගෙන යෑමට අපේක්ෂා කරන අතර, එමගින්, උපාය මාර්ගික නොවන සහ ඌන උපයෝජිත වත්කම්වලින් අපේක්ෂිත මුදල් රැස් කිරීමට අමතරව, කොළඹ වරාය නගරයේ සහ කාර්මික කලාපවල හඳුනාගත් ව්‍යාපෘති සඳහා සෘජු ආයෝජන හරහා මූල්‍ය ගිණුම වෙත හිමිකම් ප්‍රාග්ධනය ලබා ගැනීමට ඉඩ සැලසීමට අපේක්ෂා කෙරේ. මෙම ප්‍රවණතා සහ දිවයින පුරා ක්‍රියාත්මක වන වේගවත් එන්නත්කරණ වැඩසටහන මගින් කෙටි සහ මැදි කාලීනව ආර්ථිකයේ විභවයට ළඟා වීමට හැකි වනු ඇත.

                  2022 වර්ෂය සඳහා වන අයවැය වාර්තාව මගින් හඳුන්වා දුන් මූල්‍ය ප්‍රතිසංස්කරණ සඳහා නිසි පිළිගැනීමක් ලබාදීමට ද ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය අසමත් වී ඇත. නව බදු ක්‍රියාමාර්ග හඳුන්වා දීමත්, බදු පරිපාලනය පද්ධතියේ වැඩිදියුණු කිරීමත් සමඟ ආර්ථිකයේ පුනර්ජීවනය ද තුළින් 2022 වසරේ දී රජයේ ආදායමේ සැලකිය යුතු වැඩි වීමක් අපේක්ෂා කෙරේ. රාජ්‍ය අංශයේ නියුතු සේවකයින්ගේ විශ්‍රාම යන වයස් සීමාව වැඩි කිරීම සහ රජය සතු වාණිජ ව්‍යවසායයන්ගේ ව්‍යාපාර ශක්‍යතාව ඉහළ නැංවීමට පියවර ගැනීම සැලකිය යුතු රාජ්‍ය ප්‍රතිසංස්කරණ වන අතර, රාජ්‍ය ආයතනවලට වියදම් කිරීමට මුළු වර්ෂය සදහා දෙනු ලබන විවෘත බලය (annual warrant) කාර්තුවෙන් කාර්තුවට (quarterly warrant) නිකුත් කිරීම තුලින් මූල්‍ය ප්‍රතිපාදන භාවිතා කිරීම පිළිබඳ රාජ්‍ය ආයතන තුළ මූල්‍ය විනය ඇති කිරීම ද, ඒ හරහා රාජ්‍ය වියදම පාලනය කිරීම ද සිදු වේ. එවැනි ආදායම් සහ වියදම් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග හරහා, රාජ්‍ය ණය තිරසාර මට්ටමකින් පවත්වා ගැනීමට දායක වන අන්දමින්, රාජ්‍ය මූල්‍ය හිඟය සහ රජයේ මූල්‍ය අවශ්‍යතා අඩු කිරීමට මග පෑදෙනු ඇත.

                  අපේක්ෂිත රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ප්‍රතිපත්ති ගමන් මගට දේශීය වෙළෙඳපොළ ධනාත්මක ප්‍රතිචාර දක්වා ඇති අතර, මූලික වැඩි වීමකින් අනතුරුව පොලී අනුපාතික වෙළඳපොල නිෂ්කාශන මට්ටමේ ස්ථාවර වී ඇත. ප්‍රාථමික වෙන්දේසි වෙළෙඳපොළ තුළ ඇණවුම් දායකත්වය ඉහළ යෑම සහ සක්‍රීය විවට වෙළෙඳපොළ මෙහෙයුම් කටයුතුවල ප්‍රතිඵලයක් ලෙස මහ බැංකුව සතු රජයේ සුරැකුම්පත්වල සැලකිය යුතු අඩු වීමක් දක්නට ලැබේ.

                  ඉදිරි මාසවල දී ණය ගෙවීම් පැහැර හැරීමට ඇති සම්භාවිතාව ඉහළ ගොස් ඇතැයි ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් සිදු කරන ලද පදනම් විරහිත ප්‍රකාශවලට පටහැනිව, රජය සහ මහ බැංකුව විසින් මිත්‍ර ජාතීන්ගෙන් අරමුදල් සපයා ගැනීම සඳහා සහාය ලබා ගැනීමට ගනු ලබන ක්‍රියාමාර්ග ඵලදායි වෙමින් පවතින අතර, එමගින් ඉදිරි කාලය තුළ දී ගෙවුම් ශේෂය මත පීඩනය සමනය කිරීමට හැකිවේ. සාර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායිතාව සහතික කිරීම සඳහා ඉදිරිපත් කළ සය මාසික පෙර දැක්ම මගින් 2021 වසරේ දෙසැම්බර් මස වන විට සහ 2022 වසරේ මාර්තු මස වන විට අපේක්ෂිත මුදල් ප්‍රවාහ ගලා ඒම් පිළිබඳව පැහැදිලිව ප්‍රකාශයට පත් කර ඇති අතර, මෙම ගලා ඒම් නියත වශයෙන් ලැබෙනු ඇති බවටත් 2021 වසර අවසානය වන විට දළ නිල සංචිත මට්ටම එක්සත් ජනපද ඩොලර් බිලියන 3කට වඩා ඉහළින් පවතිනු ඇති බවටත් රජය සහ මහ බැංකුව නිසැකව විශ්වාස කරයි. ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් චීන මහජන බැංකුව සමඟ ඇති ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් පමණ වන ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම් පහසුකම සම්පූර්ණයෙන්ම නොසලකා හැර ඇති බව පෙනෙන අතර, එම පහසුකම ප්‍රයෝජනයට ගැනීමට නියමිතව පවතී. මෙම තීරණයට එළඹීමේ දී ඉන්දියාව සහ මැද පෙරදිග හා අනෙකුත් කලාපීය ආර්ථිකයන් සමඟ පැවති ඉහළ තලයේ රැස්වීම්වලින් පසුව බලාපොරොත්තු වන ණය පහසුකම් සහ අනෙකුත් මුදල් ප්‍රවාහ ගලා ඒම් පිළිබඳව ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය නිසි අවධානය යොමු කර නොමැත.

                  ශ්‍රේණිගත කිරීමේ නිරවද්‍ය බව පරීක්ෂා කළ හැකි ප්‍රථම දිනය වන 2021 වසරේ දෙසැම්බර් 31 දින තෙක් නොසිට ශ්‍රී ලංකා ශ්‍රේණිගත කිරීම පහත හෙළීමට ෆිච් ආයතනය තීරණය කිරීම මගින් අන් කිසිවක් නොව ඔවුන්ගේ නොසැලකිලිමත්කම පෙන්නුම් කරන අතර, මෙම පහත හෙළීම මත පදනම්ව තීරණ ගැනීමෙන් ආයෝජකයින්ට සිදු විය හැක්කේ හානියක් පමණකි. ඉදිරි කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකාව සියලු ණය සේවාකරණ ගෙවීම් සිදු කරන බවට රජය පැහැදිලි සහතිකයක් ලබා දී ඇති අතර, පසුගිය වසර දෙකක කාලය තුළ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඇති වූ දැඩි ආර්ථික පීඩන තත්ත්ව යටතේ පවා ශ්‍රී ලංකාව එකදු ගෙවීමක්වත් ප්‍රමාද කර නොමැති බව ද සඳහන් කළ යුතුය.

                  එබැවින්, මෙම සාධාරණ නොවූ ශ්‍රේණිගත කිරීමේ ක්‍රියාවෙන් අධෛර්යයට පත් නොවන ලෙසත්, ඒ වෙනුවට ඉදිරි දින කිහිපය තුළ පහව යෑමට අපේක්ෂිත කැළඹිලි සහිත ස්වභාවය සමනය කිරීමට ශ්‍රී ලංකාව සමඟ කටයුතු කරන ලෙසත් ජාත්‍යන්තර ආයෝජන හවුල්කරුවන් ඇතුළු ආර්ථිකයේ සියලුම පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලා සිටිමු. සය මාසික පෙර දැක්මෙහි බලාපොරොත්තු වූ පරිදි අපේක්ෂිත විදේශ විනිමය ලැබීම්වල ප්‍රගතිය පිළිබඳ සවිස්තරාත්මක මාධ්‍ය නිවේදනයක් මෙම සතියේ දී ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.

                    මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

                    June, 29, 2021

                    දේශීය වෙළඳපොළේ විදේශ මුදල් ද්‍රවශීලතාවය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතාගේ ප්‍රකාශය

                    පසුගිය දින කිහිපය තුළ, බැංකු මගින් ආනයන සඳහා පහසුකම් සැලසීමට නොහැකි වන අන්දමින් දේශීය වෙළඳපොළේ විදේශ මුදල් ද්‍රවශීලතාවයේ හිඟයක් පවතිතැයි යන උපකල්පනය යටතේ විවිධ පුද්ගලයින් සහ මාධ්‍ය විසින් අදහස් දක්වා තිබුණි. සමහර මාධ්‍ය විසින් ප්‍රකාශයට හෝ ප්‍රසිද්ධියට පත් කරන ලද වාර්තා තුළ අන්තර්ගත බරපතල සෘණාත්මක අදහස් රටට ඉතා හානිකර විය හැකි ය. මේ සම්බන්ධයෙන් පවතින සත්‍ය තත්ත්වය පැහැදිලි කිරීම මෙම ප්‍රකාශයේ අරමුණ වෙයි.

                    පසුගිය වසර කිහිපය තුළ දී අධික ලෙස විදේශ මුදල් ණය ගැනීම් හේතුවෙන්, නුදුරු කාලයේ දී පියවීමට නියමිත ණය සේවාකරණ වගකීම් ඉටු කිරීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව පිළිබඳ අහිතකර අදහස් දැක්වීම්, 2019/2020 දී වත්මන් රජය පිහිටුවන කාලය වනවිටත් දක්නට ලැබුණි. එවැනි සමපේක්ෂණ පැවතිය ද, විශේෂයෙන් ම COVID-19 වසංගතය හේතුවෙන් අපගේ සංචාරක අංශයෙන් ලැබෙමින් තිබුණු මුදල් ප්‍රවාහ බෙහෙවින් අඩු වීමෙන් ඇති වූ පීඩනය මධ්‍යයේ වුව ත්, සියලු නියමිත ගෙවීම් ඉටු කිරීම සම්බන්ධයෙන් ලංකාව තබා ඇති නිකැළැල් වාර්තාව තවදුරටත් පවත්වා ගනිමින්, ශ්‍රී ලංකා රජය සිය බාහිර ණය සේවාකරණ වගකීම් සියල්ල නියමිත වේලාවට සපුරාලීමේ ස්ථාවරය නැවත නැවතත් සහතික කර ඇත.

                    විදේශ මුදල් ප්‍රවාහ අඩුවීම මධ්‍යයේ වුව ද, මෙම අසීරු කාර්යභාරය ඉටු කිරීමට හැකි වන ආකාරයට, තෝරාගත් අත්‍යවශ්‍ය නොවන ආනයන මත සීමා පැනවීමට ශ්‍රී ලංකාව කටයුතු කළේ ය. මෙම සමහර සීමාවන් ක්‍රමයෙන් ඉවත් කෙරෙමින් තිබුණ ද, COVID-19හි රැළි කිහිපයක් ඔස්සේ දිගින් දිගටම මතුවන අභියෝග හමුවේ, අත්‍යවශ්‍ය නොවන හා හදිසි නොවන ආනයන තවදුරටත් සීමා කර තබා ගැනීමේ අවකාශය පවතින බව මහ බැංකුවේ අදහසයි.

                    පසුගිය වසර එක හමාර තුළ රජය සහ මහ බැංකුව විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස, කල් පිරෙන ණය සේවාකරණ වගකීම් සාර්ථකව පියවන අතර ම, දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස විදේශ ණය ප්‍රමාණය සියයට 40ක් පමණ දක්වා සැලකිය යුතු ලෙස අඩු කර ගැනීමටත් විදේශ ණයවල මුහුණත වටිනාකම 2019 අවසානයේ දී පැවති එ.ජ. ඩොලර් බිලියන 34.1ක සිට 2021 මාර්තු අවසානය වන විට එ.ජ. ඩොලර් බිලියන 32.2ක් දක්වා පහළ දමා ගැනීමටත් රජයට හැකි ව තිබේ. දිගු කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව එ.ජ. ඩොලර් බිලියන 10ක වෙළඳ පරතරයකට මුහුණ දෙමින් සිටී. එය ශ්‍රී ලංකාව අවදානම් සහගත තත්ත්වයකට පත් කරන බැවින්, ප්‍රවේශම්කාරී ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ඔස්සේ, ඒ සඳහා පිළියම් යෙදීම ශ්‍රී ලංකාවේ යහපතට හේතු වන බව මගේ විශ්වාසයයි. මෙය සිදු කරන අතර ම, රටේ කීර්තිනාමයට සහ ශ්‍රී ලංකා ආර්ථිකය හා මූල්‍ය පද්ධතිය කෙරෙහි ආයෝජකයින් තබා ඇති විශ්වාසය පලුදු නොවන අන්දමින් අපි අපගේ ණය සේවාකරණ වගකීම් සපුරාලීම අඛණ්ඩව සිදු කරමින් සිටිමු.

                    දේශපාලන හේතු මත ක්‍රියා කරමින් ශ්‍රී ලංකාවේ ඇතැම් කොටස්, විනිමය අනුපාතිකයේ ඉදිරි ගමන්මග පිළිබඳවත්, ණය වගකීම් ඉටු කිරීමට රජයට ඇති හැකියාව සම්බන්ධයෙනුත් දිගින් දිගට ම ඍණාත්මක සමපේක්ෂණයෙහි යෙදී සිටිනු දක්නට ඇත. පෞද්ගලික වාසි අරමුණින් කෙරෙන එවැනි සමපේක්ෂණ, දත්ත මගින් තහවුරු කළ නොහැකි මතයක් ගොඩනැගීමට වෙර දරන අතර, එය සාමාන්‍ය ජනතාවට මෙන්ම ව්‍යාපාරික ප්‍රජාවට ද අහිතකර ය. මෙම සමපේක්ෂණ ක්‍රියාකාරකම් නිසාම විදේශ විනිමය වෙළඳපොළෙහි ලැබීම් හා ගෙවීම් අතර අනවශ්‍ය වන කෙටිකාලීන අසමබරතාවක් නිර්මාණය කර ඇත. කෙසේ වුවද, වෙළඳ කටයුතුවලට අනවශ්‍ය බාධා සිදුව නැති බව රජය සහ මහ බැංකුව සහතික කරන අතර, ආනයන ක්‍රියාවලියේ දී අතරමැදි සහ ප්‍රාග්ධන භාණ්ඩ ආනයනයට ප්‍රමුඛතාව ලබා දී ඇති බව අවධාරණය කරමු. 2021 වසරේ මාර්තු, අප්‍රේල් සහ මැයි යන මාසවලදී සමස්ත ආනයන වටිනාකමෙහි සාමාන්‍ය අගය එ.ජ. ඩොලර් බිලියන 1.7ක් වැනි සැලකිය යුතු ඉහළ මට්ටමක පැවතුණි. මෙම මාසවල පැවති ඉහළ ආනයන වටිනාකම්වලින් නිරූපණය වනුයේ මාධ්‍ය වාර්තාවලින් ප්‍රකාශයට පත්වන පරිදි ආනයනකරුවන්, විශේෂයෙන් ම අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්, අධික ලෙස අපහසුතාවයට පත් වී නොමැති බවය. සියලුම වාණිජ බැංකුවල සහභාගිත්වයෙන් යුතුව, මහ බැංකුව දැනට සිදු කරමින් සිටිනුයේ විචක්ෂණශීලී ලෙස ආනයන සහ විදේශ සංචිත කළමනාකරණය කිරීමයි. ඉදිරි මාස කිහිපය තුළදී විනිමය ප්‍රවාහ ඉහළ යාමට නියමිතය. එසේ වූ කල ඉදිරි ප්‍රතිපත්ති සකස් කිරීමේ දී මහ බැංකුව රටේ ශේෂ පත්‍රය හා බාහිර සාර්ව ආර්ථික තත්ත්වයන් නැවත ඇගයීමට ලක් කරනු ඇත.

                    මුදල් ප්‍රවාහවල පවතින නොගැලපීම් කළමනාකරණය කිරීමේ අන්තර්කාලීන විසඳුමක් වශයෙන්, විදේශ විනිමය වෙළඳපොළෙහි ස්ථාවරත්වය පවත්වා ගෙන යෑම සහතික කිරීම සඳහා මහ බැංකුව බැංකු අංශය සමඟ එක්ව සමීපව කටයුතු කරමින් සිටියි. බැංකු අංශයේ ප්‍රධාන නිලධාරීන් සමඟ මහ බැංකුව නිරන්තරව සාකච්ඡා පවත්වන අතර‍, අත්‍යවශ්‍ය හා හදිසි ආනයනවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් සහ සමපේක්ෂණ ස්වභාවයේ ආනයන අධෛර්යමත් කරමින් විදේශ විනිමය ගෙවීම් කළමනාකරණය කිරීමට බැංකු ප්‍රජාව අන්‍යොන්‍ය වශයෙන් එකඟ වී ඇත. ආත්ම වාසි ඉහළින් අගයන පාර්ශ්වයන් විසින් මෙලෙස අනවශ්‍ය ලෙස හුවා දක්වනු ලබන්නේ බැංකු විසින් ගනු ලබන එවැනි විචක්ෂණශීලී ක්‍රියාමාර්ගයන් ය.

                    අපනයන ඉපැයීම් කොටසක් අනිවාර්යයෙන් රුපියල්වලට පරිවර්තනය කිරීමත් සමපේක්ෂණ ක්‍රියාකාරකම් අඩාල කිරීමත් අරමුණු කොට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගනු ලැබූ අදාළ නියාමන ප්‍රතිපත්ති මගින් බැංකු ප්‍රජාව ගන්නා ක්‍රියාමාර්ගවලට සහාය ලබා දී ඇත. වාණිජ බැංකුවලට සහ ව්‍යාපාරික ආයතනවලට විදේශ මුදලින් අරමුදල් ණයට ගැනීමට මහ බැංකුව අවස්ථාව ලබා දී ඇත. එබැවින්, නිල සංචිත මත රඳා නොපැවතී ආනයන සඳහා මුදල් යෙදවීමට බැංකු පද්ධතියට ඉඩ සැලසී ඇත. එමගින් එකී බැංකු බාධාවකින් තොරව ණය සේවාකරණ ක්‍රියාවලිය අඛණ්ඩව කර ගෙන යෑමේ ජාතික ප්‍රයත්නයට සහාය වෙමින් ක්‍රියා කරයි.

                    වර්තමානයේ දී, ශ්‍රී ලංකාවේ ණය සේවාකරණ වගකීම් කළමනාකරණය කිරීම කෙරෙහි අපගේ අවධානය විශේෂයෙන් යොමුව ඇත. මේ සම්බන්ධයෙන්, චීන මහජන බැංකුව සමඟ අත්සන් කොට ඇති, දළ වශයෙන් එ.ජ. ඩොලර් බිලියන 1.5ක විදේශ මුදල් හුවමාරු ගිවිසුමෙන් තොරව ගත්කල, අපගේ නිල විදේශ සංචිතය එ.ජ. ඩොලර් බිලියන 4ක් වේ. රජයේ ණය සේවාකරණ හේතුවෙන් ඉදිරි කාල සීමාව තුළ මෙම විදේශ සංචිත මට්ටමේ කෙටි කාලීන උච්චාවචන පැවතිය හැකි වුව ද, රටට ගලා එන විදේශ විනිමය ප්‍රවාහ තුළින් සංචිත ප්‍රමාණවත් මට්ටමින් පවත්වා ගැනීම සඳහා සුදුසු මූල්‍යකරණ උපායමාර්ග සකස් කර ඇත. කෙටි කාලයක් තුළ, විශේෂයෙන් නව ආයෝජන අංශය හරහා අපේක්ෂා කරන ණය නොවන ලැබීම් සහ බහුපාර්ශ්වීය හා ද්විපාර්ශ්වීය ප්‍රභවයන්ගෙන් රජයට ලැබෙන වෙනත් ලැබීම් මෙකී උපායමාර්ග අතර ඇත. මහ බැංකුව අපේක්‍ෂා කරන ලැබීම් අතරට 2021 ජූලි මාසයේදී බංග්ලාදේශ මහ බැංකුවෙන් ලබා ගැනීමට සැලසුම් කර ඇති එ.ජ. ඩොලර් මිලියන 250ක මුදල් හුවමාරු පහසුකම, 2021 අගෝස්තු මාසයේදී ඉන්දියානු සංචිත බැංකුව සමඟ එළැඹීමට නියමිත එ.ජ. ඩොලර් මිලියන 400ක දකුණු ආසියානු කලාපීය සහයෝගිතා මූල්‍ය සංවිධාන මුදල් හුවමාරු පහසුකම සහ ඉන්දියාව සමඟ දැනට සාකච්ඡා මට්ටමේ පවතින එ.ජ. ඩොලර් මිලියන 1,000ක විශේෂ මුදල් හුවමාරු පහසුකම අයත් වේ. මෙම ලැබීම්වලට අමතරව, 2021 අගෝස්තු මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ ගැනුම් හිමිකම් ප්‍රතිපාදන යටතේ ආසන්න වශයෙන් එ.ජ. ඩොලර් මිලියන 800ක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මහ බැංකුවට ණය නොවන ලැබීම් මගින් නිල සංචිත ගොඩනැගීමට උපකාරී වන පරිදි අපනයන ආදායම සහ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ මහ බැංකුව විසින් වෙළඳපොළන් මිලදී ගැනීමේ ක්‍රමයක් හදුන්වා දී ඇත. ඒ හරහා ඉදිරියේ දී ආසන්න වශයෙන් එ.ජ. ඩොලර් මිලියන 700ක් වාර්ෂිකව ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. නේවාසික හිමිකරුවන් සතු ඉදිරියේදී කල් පිරෙන ශ්‍රී ලංකා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල මුදල් ආපසු මෙරටට ගෙන්වා ගැනීම සඳහා එකී නේවාසිකයන් පොළඹවා ගැනීමට ද පියවර ගෙන තිබේ. ඉදිරියේ කල් පිරෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවලින් සියයට 30ක් ශ්‍රී ලාංකික හිමිකරුවන් සතු බව මෙහිලා සඳහන් කළ යුතු ය. එපමණක් නොව, මූර්ත අංශයේ ක්‍රියාකාරකම් සඳහා සහාය වනු පිණිස බැංකු අංශය සහ ආයතනික අංශය ද සහන පොළී අනුපාතික යටතේ මූල්‍ය ප්‍රවාහ වැඩි කර ගනිමින් සිටී. මෑතදී සිදු කරන ලද අදාළ විදේශ විනිමය රෙගුලාසි ලිහිල් කිරීම භාවිත කරමින් පෞද්ගලික අංශයේ ආයතන විදේශීය අරමුදල් රැස් කරනු ඇතැයි ද ඉදිරි කාලපරිච්ඡේදය තුළ ලැබීමට නියමිත මෙම ප්‍රවාහවලින් සමහරක් නිල සංචිතවලට ද එකතු වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ. මෑතක දී නීතිගත කෙරුණු කොළඹ වරාය නගර කොමිෂන් සභාව හරහා ආර්ථිකයට ලැබෙන ණය නොවන විදේශ විනිමය ප්‍රවාහවල විශාල වර්ධනයක් අපේක්ෂිතය.

                    සමස්තයක් වශයෙන්, වර්තමානයේ දේශීය වෙළඳපොළේ දක්නට ලැබෙන විදේශ මුදල් ද්‍රවශීලතා තත්ත්වය තාවකාලික බවත්, අධික ලෙස සමපේක්ෂණීය ක්‍රියාකාරකම් මගින් මෙහෙයවනු ලබන බවත් මාධ්‍යයට, මහජනතාවට, ව්‍යාපාරික ප්‍රජාවට සහ ආයෝජක ප්‍රජාවට දන්වා සිටීමට මම කැමැත්තෙමි. අනවශ්‍ය බාධාවන්ගෙන් තොරව, තත්ත්වය මනාව කළමනාකරණය කිරීම සමස්තයක් වශයෙන් රටට වාසිදායක වන බැවින්, ජාතික අවශ්‍යතාවක් නොවන අනවශ්‍ය සමපේක්ෂණ ක්‍රියාකාරකම්වලින් වැළකී ඉවසිලිවන්තව කටයුතු කරන ලෙස වෙළඳපොළේ සිටින සියලු පාර්ශ්වකරුවන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

                      වෙළඳ හිඟය තවදුරටත් වැඩිවෙයි

                      May, 19, 2021

                      වෙ‍ළඳ හිඟය පුළුල් වුව ද, විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල හිතකර වර්ධනයත්, සංචාරක අංශයේ සුළු වර්ධනයත් සමඟ ශ්‍රී ලංකාවේ විදේශීය අංශය 2021 වසරේ මාර්තු මාසයේ දී මිශ්‍ර ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කළේය. 2020 වසරේ අප්‍රේල් මාසයෙන් පසුව පළමු වරට වෙළඳ ගිණුමේ හිඟය 2021 වසරේ මාර්තු මාසයේ දී පුළුල් විය. 2020 වසරේ මාර්තු සහ 2021 වසරේ පෙබරවාරි මාසයන්ට සාපේක්ෂව, 2021 වසරේ මාර්තු මාසයේ දී අපනයන මෙන්ම ආනයන ද සැලකිය යුතු ලෙස ඉහ‍ළ අගයක පැවතුණි.

                      කෙසේ වෙතත්, විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ස්ථාවර ලෙස වර්ධනය වූ අතර, සංචාරක අංශය ඉතා මන්දාගාමී වේගයකින් වුව ද අඛණ්ඩව යථා තත්ත්වයට පත් වෙමින් පැවතුණි. මූල්‍ය ගිණුම සැලකීමේ දී, 2021 වසරේ මාර්තු මාසයේ දී ද රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ සහ කොළඔ කොටස් වෙළඳපොළ වෙතින් විදේශීය ආයෝජන හා සම්බන්ධ ශුද්ධ ගෙවීම් සුළු ප්‍රමාණයක් වාර්තා විය.

                      උත්සව සමයේ ආනයන සඳහා පැවතුණු ඉල්ලුම් ප්‍රවණතාවය ද පෙන්නුම් කරමින් මාර්තු මාසය තුළ දී ශ්‍රී ලංකා රුපියල එ.ජ. ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය විය.

                      කෙසේ වෙතත්, ප්‍රධාන වශයෙන් මාර්තු මාසය මැද දක්වා පැවති නියාමන ක්‍රියාමාර්ගවල සහාය ඇතිව, මහ බැංකුව විසින් දළ නිල සංචිත තත්ත්වය ශක්තිමත් කිරීම සඳහා මෙම මාසය තුළ දී ශුද්ධ පදනම මත විදේශ විනිමය අවශෝෂණය කර ගන්නා ලදී.

                      මේ අතර, දෙ රට අතර ආර්ථික සංවර්ධනය සඳහා ද්විපාර්ශ්වික වෙළඳාම සහ සෘජු ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහාත්, දෙපාර්ශ්වයේ ම එකඟතාව මත වෙනත් අරමුණු සඳහාත් භාවිත කිරීමට හැකි වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව 2021 වසරේ මාර්තු මාසයේ දී චීන යුවාන් බිලියන 10ක (ආසන්න වශයෙන් එ.ජ. ඩොලර් බිලියන 1.5ක) ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුමකට එළඹුණි.