March, 12, 2021
COVID වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා හදිසි මූල්‍ය ආධාර ඉල්ලා ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලීමක් ලැබුණු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ගෙරී රයිස් මහතා මේ බව කියා සිටී. ඊයේ (11) පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව අනාවරණය කළේය.
ශ්‍රී ලංකාව, චීනයෙන් ලබා ඇති ඩොලර් බිලියන 1.5 ක විනිමය හුවමාරු පහසුකම සම්බන්ධයෙන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ස්ථාවරය කුමක්දැයි යන ප්‍රශ්නයට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.
“සිව් අවුරුදු විස්තීර්ණ ණය පහසුකම් සැලසුම යටතේ ක්‍රියාත්මක කෙරෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙම වැඩසටහන 2016 වසරේ දී අනුමත කෙරුණු අතර එය පසුගිය 2020 ජූනි මාසයේ දී අවසන් වුණා. COVID වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා හදිසි මූල්‍ය ආධාර ලබා දෙන ලෙස ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් අපට ඉල්ලීමක් ලැබුණා. ශ්‍රී ලංකාවේ සෑහීමකට පත්විය නොහැකි ආර්ථික අභියෝග සහ ඉහළ රාජ්‍ය ණය හේතුවෙන් එම සහයෝගය ඇගයීම වෙනුවෙන් අනෙක් රටවලට වඩා වැඩි කාලයක් ගතවී තිබෙනවා. එබැවින්, වේගවත් මූල්‍යකරණ මෙවලමක් විය හැකි දේ සඳහා වන ප්‍රධාන අවශ්‍යතා සපුරාලන්නේ කෙසේද යන්න පිළිබඳව අපි සොයා බැලුවා. ශ්‍රී ලංකාව පසුගිය වසරේ සිට ආනයන සීමාවන් මත ක්‍රියාවට නංවා ඇති අතර අපනයන ආදායමෙන් සියයට 25 ක් පරිවර්තනය කිරීමේ අවශ්‍යතාවයක් වැනි අතිරේක ක්‍රියාමාර්ග මෑතකදී හඳුන්වා දී තිබෙනවා. චීන මහජන බැංකුව සමඟ හුවමාරු මාර්ගයක් පිළිබඳ මෑත කාලීන ගිවිසුම ද ඇතුළුව ශ්‍රී ලංකාවේ මෙම ආර්ථික ප්‍රතිපත්ති මූල්‍ය වර්ධනයන් අපි සමීපව නිරීක්ෂණය කරනු ලබනවා“, යනුවෙන් ගෙරී රයිස් මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
February, 17, 2025
2025 වර්ෂය සඳහා වන රජයේ මංගල අයවැය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද පෙරවරුවේ ෙපාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව ඉදිරිපත් කරන පළමු අයවැය මෙය වේ.
එහිදි ජනාධිපතිවරයා දැක්වූ අදහස්,
අයවැය කථාව 2025
පූර්විකාව
ගරු කථානායකතුමනි, අපේ රජයේ පළමු ජාතික අයවැය මේ සභාවට ඉදිරිපත් කිරීමට ලැබීම ගැන අප සතුටු වෙනවා.
ශ්‍රී ලංකාව 2022 වසරේ දී නිදහසින් පසු එහි ගැඹුරුතම හා සංකීර්ණතම සමාජ, ආර්ථික හා දේශපාලනික අර්බුදයට මුහුණ දුන්නා. අර්බුදය 2022 වසරේ දී එහි දරුණුතම අවස්ථාවට පැමිණියත්, අර්බුදයට බලපෑ කරුණු ඓතිහාසික මෙන්ම ව්‍යුහාත්මකයි. දූෂිත පාලනයන්, අසාර්ථක ආර්ථික ප්‍රතිපත්තීන් සහ වගකීම් විරහිත රාජ්‍ය මූල්‍ය කළමනාකාරිත්වය මෙම අර්බුදයේ මූලයයි. මෙම තත්ත්වයේ ප්‍රතිඵලයක් ලෙස රටේ ආර්ථික ක්‍රියාකාරකම්වල සාමාන්‍ය තත්ත්වය බිඳ වැටුණා. එය ව්‍යාපාරවල සිට කුටුම්භ දක්වා සියලු අංශ සහ සමාජ කණ්ඩායම් විසින් අත්විඳිනු ලැබුවා. ඉන්ධන, විදුලිය, අත්‍යාවශ්‍ය ආහාර, ඖෂධ ඇතුළු භාණ්ඩ හා සේවා හිඟය හේතුවෙන් රටේ ජනතාව, විශේෂයෙන්ම කාන්තාවන්, ළමයින්, ආබාධ සහිත පුද්ගලයන් සහ වැඩිහිටි ජනතාව දැඩි දුෂ්කරතාවලට මුහුණ දුන්නා. වෘත්තීයවේදීන් රට අත් හැර ගියා. ජනතාවට මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දින ගණන් දීර්ඝ පෝලිම්වල රැඳී සිටීමට සිදු වුන අතර ඇතැමුන් පෝලිම්වල රැඳී සිටියදීම මිය ගියා. 2022 වසරේ දී ඇති වූ මෙම අර්බුදය හුදු ආර්ථික අර්බුදයක් පමණක් නොවේ, එතෙක් පැවැති දේශපාලන බලයේ දැවැන්ත අසාර්ථකත්වයක්. අර්බුදය කළමනාකරණය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම මඟින් ආරම්භයේ දී වූ ආර්ථිකයේ බිඳවැටීම සැලකිය යුතු දුරකට පාලනය කර ඇතත්, 2022 වසරේ දී ඇති වූ ආර්ථික අර්බුදය සමාජයේ දුප්පත්ම හා වඩාත්ම අවදානමට ලක්විය හැකි කොටස්වලට බලපාන මානුෂීය අර්බුදයක් බවට පරිවර්තනය වී තිබෙනවා.
ආර්ථික හා සමාජීය වශයෙන් ඔබ්බට යමින් අර්බුදය රට තුළ දේශපාලනමය වශයෙන් වෙනසක් ද ඇති කළා. දරාගත නොහැකි ආර්ථික දුෂ්කරතා හේතුවෙන් බලයෙන් ඉවත්වීමට බලකරමින් දූෂිත පාලකයින්ට විරුද්ධව ජනතාව නැගී සිටියා. ජනතා බලය විසින් ඔවුන් පලවා හරිනු ලැබුවා.
අනතුරුව, ජනවරම විකෘති කරපු තාවකාලික ආණ්ඩුවක් පිහිටුවනු ලැබුවා. මෙම තාවකාලික රජය දූෂිතයන් ආරක්ෂා කිරීම, දූෂණයේ යෙදීම, මහජන මුදල් නාස්ති කිරීම, ජනතා මර්දනය පෙර පරිදිම සිදු කළා. ඒ නිසාම සමාජ, ආර්ථික හා දේශපාලන පරිවර්තනයක් සඳහා වූ ජනතා අභිලාෂයන් ඉටු වුනේ නෑ. 2023 වසරේ මාර්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබුණ පළාත් පාලන මැතිවරණය කල් දැමීම මගින් ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳව ද ජනතාවගේ අභිලාෂයන් බිඳ දැමුවා.
2024 වසර අග දී පැවැත්වූ ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය තුලින් රටේ ආර්ථික, සමාජීය හා දේශපාලන ක්‍රමය වෙනස් කරමින්, පොදු සමෘද්ධිය කරා රට යොමු කිරීම සඳහා නොසැලෙන අධිෂ්ඨානයකින්, කැපවීමෙන් හා නායකත්වයෙන් ශක්තිමත් ජන වරමක් සහිත නව රජයක් පිහිටුවීමට ජනතාව ඉදිරිගාමී තීරණයක් ගනු ලැබුවා.
එම ජනවරම තුලින් පිලිබිඹු වන අපේක්ෂාවන් ඉටු කරලීමේ අරමුණින් යුතුව, තිරසාර ආර්ථික වර්ධනයක් හා සංවර්ධනයක් කරා අවශ්‍ය වන ආර්ථික පදනම සකසන මෙම අයවැය ඓතිහාසික අයවැයක් වෙනවා.
ආරම්භයේදීම අප මුහුණ දුන් එක් අභියෝගයක් වූයේ මෙම ජයග්‍රහණය වැලැක්වීමට උත්සාහ කළ අය විසින් අපගේ ආර්ථික ප්‍රතිපත්තියට සහ දැක්මට එරෙහිව ව්‍යාප්ත කරන ලද මිත්‍යාවන් සහ ද්වේෂසහගත ප්‍රචාරයන් විසින් ඇති කරන ලද වැරදි ප්‍රතිරූපය නිවැරදි කිරීමයි. එයට අප සමත්ව තිබෙනවා. ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඩොලරය රුපියල් 400 දක්වා ඉහළ යනු ඇතැයි ද, ඉන්ධන පෝලිම් යුගයක් යළි එනු ඇතැයි ද, ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන් සහ රටවල් නව රජය හුදකලා කරනු ඇතැයි ද, ආයෝජකයන්ගේ විශ්වාසය නැති වී යනු ඇතැයි ද, පෞද්ගලික දේපොළ සම්පූර්ණයෙන්ම ජනසතු කරනු ඇතැයි ද යන වැරදි මත ප්‍රකාශ වුනා. අපට එරෙහිව එවැනි සෘණාත්මක ප්‍රචාරණයක් සිදු වුනත්, ආර්ථිකය ස්ථාවර කිරීමටත්, ජාත්‍යන්තර පාර්ශවකරුවන් සමඟ ශක්තිමත් සබඳතා ගොඩනඟා ගැනීමටත්, ආයෝජකයින් අතර විශ්වාසය ඇති කිරීමටත් අපට හැකි වුනා.
ඒ අනුව, වාර්ෂික භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතිකය සියයට 8.8 දක්වා අඩු වීමත් සමග මූල්‍ය අංශය ක්‍රමයෙන් ස්ථාවර වූ අතර, 2024 වසරේ දෙසැම්බර් මස එ. ජ. ඩොලර් මිලියන 570 ක ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාල ගෙවීම් සිදු කිරීමෙන් පසුව වුවද 2024 අවසානයේදී විදේශ මුදල් සංචිත ඩොලර් බිලියන 6.1 ක මට්ටමක පවත්වා ගැනීමට අප සමත් වුනා. මීට අමතරව, මුදල් අවප්‍රමාණය වීම පිළිබඳ සැක සංකාවන් පවතිද්දී වුවද, දළ වශයෙන් ඩොලරයට රුපියල් 300 ක් පමණ ලෙස ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වුණා. 2025 වර්ෂය සඳහා සියයට 5 ක පමණ ආර්ථික වර්ධනයක් අප අපේක්ෂා කරනවා.
2022 වසරේ මැද භාගයේ සිට, අර්බුදය විසඳීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහාය ඇතිව ශ්‍රී ලංකාව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළා. මෙම අර්බුද සමනය කිරීමේ ඇතැම් ක්‍රියාමාර්ග - විශේෂයෙන්ම පිරිවැය මත බලශක්ති මිල ගැලපුම, බදු වැඩි කිරීම් සහ පොලී අනුපාත ඉහළ දැමීම් වැනි පියවර පුරවැසියන් මත පීඩනයක් එල්ල කළා. ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම් වැඩසටහන මගින් ඉටු කරන ලද කාර්යභාරය අප වටහාගෙන ඇති අතරම, අපගේ ආර්ථික න්‍යාය පත්‍රය අප විසින්ම සකසා ගැනීම වෙනුවෙන් ආර්ථික ස්වෛරීත්වය ලගා කරගැනීම අත්‍යවශ්‍ය බව අපගේ අදහසයි.
මෑත අතීතයේ දී ආර්ථිකයේ සිදුවූ තවත් ප්‍රධාන කරුණක් වූයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය 2024 වසරේ දෙසැම්බර් මාසයේ අවසන් කිරීමයි. ඇත්තෙන්ම අප බලයට පත්වන විට රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ නිරත වෙමින් සිටි අතර එයට සැළකිය යුතු වෙනසක් සිදුවුවහොත් එමඟින් ආර්ථිකය අස්ථාවර වීමට ඇති විය හැකි බලපෑම හමුවේ ඊට බාධා කිරීමට අපට අවශ්‍ය වූයේ නැහැ. මෙම තීරණය ගැනීමේදී ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා දැනටමත් වැය කර ඇති සැලකිය යුතු කාලය සහ එම ක්‍රියාවලිය තවදුරටත් ප්‍රමාද වීම විසින් ඇති විය හැකි අමතර වියදම් පිලිබඳව ද අප සලකා බැලුවා.
මේ තුලින් සැලකිය යුතු මට්ටමින් ණය සහනයක් ලැබී ඇති අතර, මෙය ණය සේවාකරණයට අදාළ පිරිවැය සැලකිය යුතු ලෙස අඩු කරයි. විදේශ හා රාජ්‍ය මූල්‍ය ස්වාරක්ෂක ශක්තිමත් කිරීමට, අපනයන වර්ධනය සහ විදේශ ආයෝජන වැනි ණය වර්ධනය නොවන ලැබීම් වැඩි දියුණු කිරීමට සහ දිගු කාලීන මූල්‍ය ස්ථායීතාවය ආරක්ෂා වන ලෙස අනාගතයේ දී ණය ආපසු ගෙවීම ක්‍රමවත්ව නැවත ආරම්භ කිරීමට මෙම රාජ්‍ය මූල්‍ය අවකාශය ප්‍රයෝජනයට ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ෆිච් රේටින්ග්ස් (Fitch Ratings) සහ මූඩීස් (Moody’s ) වැනි ප්‍රමුඛ ගෝලීය නියෝජිතායතන විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් එකවර කාණ්ඩ කිහිපයකින් ඉහළ නැංවූවා. ඒ අනුව ක්‍රමයෙන් ආයෝජකයින්ගේ විශ්වාසය ගොඩනැගීම, වෙළඳාම සහ ආයෝජන අවස්ථා වර්ධනය කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය ගනුදෙනු පිරිවැය අඩු කිරීම තුලින් ආර්ථික වර්ධනය ලගා කරගැනීමට අවස්ථාව විවෘත වී තිබෙනවා.
අනෙක් අතට, ඇති කළ ආර්ථික අර්බුදය බොහෝ දෙනෙකුට, විශේෂයෙන් සමාජයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි ජන කණ්ඩායම්වලට අඛණ්ඩව බලපෑම් කරමින් තිබෙනවා. 2022 වසරේ දී උද්ධමනය සියයට 70 දක්වා ඉහළ යාම ජීවන වියදම විශාල ලෙස ඉහළ යාමට හේතු වුනා. උද්ධමනය දැන් පහත වැටී තිබුනත්, බොහෝ භාණ්ඩ හා සේවාවල මිල මට්ටම් තවමත් ඉහළ මට්ටමක තිබෙන අතර මිල වැඩි වූ තරමට ජනතාවගේ ආදායම් වැඩිවීමක් සිදු වුනේ නැහැ. ඒනිසා ජනතාවගේ ජීවන තත්ත්වය පහත වැටී තිබෙනවා. විශේෂයෙන්ම, පසුගිය වසර දෙක තුළ මූර්ත වැටුප සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බැවින් සාධාරණ වැටුප් වැඩිවීමක් ලබා දිය යුතු වෙනවා. තවද, රජය අස්වැසුම වැඩසටහන හරහා ආධාර ලැබිය යුතු ඉලක්කගත ප්‍රජාව වෙත ලැබෙන මුදල් ප්‍රදාන වැඩි කර, ප්‍රතිලාභ ලැබෙන කාලසීමාව දීර්ඝ කර ඇති අතර අවශ්‍යතා ඇති අයට සහන සැලසීම සඳහා වෙනත් සමාජ ප්‍රතිලාභ ලබා දී තිබෙනවා.
කෙසේ වුවත්, ශ්‍රී ලංකාව තුළ පැතිරී ඇති දිළිඳුකම තුරන් කිරීම සඳහා මෙවැනි මුදල් ආධාර පමණක් ලබාදීම් තිරසාර විසඳුමක් නොවේ. විවිධ දුෂ්කරතා සහ අභියෝග හේතුවෙන් ඵලදායී ආර්ථික කටයුතුවල නිරත වීමට නොහැකි පුරවැසියන් රැක බලා ගැනීම මානුෂික රජයක යුතුකමයි. අස්වැසුම වැඩසටහනට ප්‍රතිලාභීන් ඇතුළත් කිරීමේ සහ බැහැර කිරීමේ දෝෂ ඇති බව අප කවුරුත් දන්නවා. එම වැඩසටහන සඳහා වඩාත් සුදුසු පුද්ගලයින් තෝරා ගැනීමට රජය සැලසුම් කර තිබෙන්නේ ඒ නිසයි. ඒ අතරම, සියලු ජනතාවට ඔවුන්ගේ උපරිම විභවතාවයෙන් ආර්ථික ක්‍රියාකාරකම්වල නියැලීමේ අවස්ථා වැඩි දියුණු කිරීම තුළින් දරිද්‍රතාවය පිටුදැකීම සඳහා තිරසාර විසඳුමක් ද අවශ්‍ය වෙනවා.
සියලුම පුරවැසියන්ට ආර්ථික ක්‍රියාවලියට සහභාගී විය හැකි පරිදි අවස්ථා වැඩි දියුණු කර, එහි ප්‍රතිඵල සමාජයේ සෑම ස්ථරයකටම සාධාරණ ලෙස ලබා ගත හැකි අයුරින් ආර්ථික වර්ධනය සිදු විය යුතුයි. සමාජයේ සියලුම සාමාජිකයන්ගේ ජීවිත නඟා සිටුවීමේ මාධ්‍යයක් මිස ආර්ථික වර්ධනය හුදෙක් ආර්ථික ක්‍රියාවලියේ ප්‍රසාරණයකට පමණක් සීමා වේ නම් සමාජයට ඉන් ඇත්තේ කුඩා ප්‍රයෝජනයක් පමණයි. දශක කිහිපයක් තිස්සේ, ආර්ථික ක්‍රියාකාරකම් සහ ආර්ථික ප්‍රතිලාභ සංකේන්ද්‍රණය වී තිබෙන්නේ සුළු පිරිසක් අතරයි. මෑතකාලීන එනම් 2019 කුටුම්භ ආදායම් සහ වියදම් සමීක්ෂණයට අනුව, ඉහලම ආදායම්ලාභී කුටුම්භ සියයට 20 ක් සමස්ත ගෘහස්ථ වියදම්වලින් සියයට 47 ක් සිදු කරනු ලබයි. එමෙන්ම, 2023 වසරට අදාළව දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 44 ක් සඳහා දායක වී තිබෙන්නේ බස්නාහිර පළාතයි. ඒ අනුව අපට ඉදිරියට යාමට ආර්ථික අවස්ථා වඩාත් සාධාරණව බෙදී යන ආර්ථිකයේ විශාල ප්‍රජාතන්ත්‍රීකරණයක් අවශ්‍ය වෙනවා. පොදුජන අරගල සහ පසුගිය වසරේ පැවැති මැතිවරණවලදී ජනතාව තම දේශපාලන අයිතීන් තහවුරු කර ගත්තා. දැන් අත්‍යවශ්‍ය වී තිබෙන්නේ ජනතාවගේ ආර්ථික අයිතිවාසිකම් ද තහවුරු කිරීමයි. මෙම අයවැයේ දර්ශනය වන්නේ එයයි.
මෙවර අයවැය සකස් කොට තිබෙන්නේ බොහෝ සීමාවන්ට යටත්ව. 2022 වසරේ සිට අප අත්විඳින ආර්ථික අර්බුදයේ බරපතලකම ගැන අප අමතක නොකළ යුතුයි. බොහෝ රටවල් ස්වෛරීත්ව ණය පැහැර හැරීමකින් අනතුරුව "අහිමි දශකයක්" ලෙස හඳුන්වනු ලබන කාලයක් ඔස්සේ ගමන් කොට තිබෙනවා. කෙසේ වුවත්, මේ වනවිට අප යම් ස්ථාවරත්වයක් අත්පත් කරගැනීමට සමත්ව තිබෙනවා. මෙය ශක්තිමත්ව ස්ථාවර කරගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය විනය, ආර්ථික දැක්ම සහ මග පෙන්වීම සහිතව මෙම අයවැය සකස් කොට තිබෙනවා. එහි අරමුණු ලඟාකරගැනීම සඳහා අත්‍යවශ්‍ය කරුණක් වන දේශපාලන නායකත්වය සැපයීමට අප සූදානම්.
මූල්‍ය කළමනාකරණ පනතේ රාජ්‍ය මූල්‍ය නීතියක් ලෙස, ප්‍රාථමික වියදම සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 13 ක සීමාවක් දක්වා තිබෙනවා. ඒවගේම මෙවර අයවැය මෙම අවශ්‍යතාවයට අනුකූලව සකස් කොට තිබෙනවා. එබැවින් වියදම්වලින් හොඳම සමාජ ප්‍රතිලාභය ලබා ගැනීම සහතික වන ලෙස සීමිත බදු අරමුදල් ප්‍රවේශම්සහගත ලෙස කළමනාකරණය කිරීම කෙරෙහි අප අවධානය යොමු කොට තිබෙනවා.
මෙවර අයවැයෙන් අපට රිසි උපරිම අයුරින් මුදල් වෙන් කිරීමට නොහැකි වුනත් අපේ ප්‍රධාන ප්‍රමුඛතා රැසකට මුදල් වෙන් කිරීමට අපට හැකි වුනා. මෙම අවධානය යොමු කර ඇති ක්ෂේත්‍ර සාම්ප්‍රදායික අයවැයවලට වඩා වෙනස් වන අතර, අපගේ ජනවරම සමඟ ගැලපීම් සිදු කරන අතරම, දැනට සිදුකෙරෙමින් පවතින කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන්නට ද අප අරමුදල් වෙන් කර තිබෙනවා. අස්වැසුම වැඩසටහන සහ අනෙකුත් සමාජ සුබසාධන ප්‍රමුඛතා සඳහා අප වැඩි කළ වියදම්වලින් එය පැහැදිලි වෙනවා. දැඩි මූල්‍ය සීමාවන් අනුව, කළ හැකි උපරිම ප්‍රමාණයට යටත්ව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී සහනාධාරය සඳහා අපි 2025 වසරේ ජූලි මාසයේ සිට මුදල් වෙන් කර තියනවා. මෙම යෝජනා ක්‍රමය අවභාවිතා කිරීම වැලැක්වීම සඳහා ශක්තිමත් යාන්ත්‍රණයක් අප ඇති කරනවා. අප මෙවර අයවැයෙන් ප්‍රාග්ධන වියදම් සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4 ක් වෙන් කර තිබෙනවා. මෙය ආර්ථික වර්ධනය සඳහා රජයෙන් ලැබෙන ප්‍රධාන දායකත්වයක්. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව අංශය ශක්තිමත් කිරීම, පොදු ප්‍රවාහනය, ග්‍රාමීය සංවර්ධනය හා සවිබල ගැන්වීම, කෘෂිකාර්මික පුනර්ජීවනය, දේශීය ව්‍යවසායකත්වය, පර්යේෂණ දිරිගැන්වීම සහ දේශීය හා අපනයන-අභිමුඛ කර්මාන්තවල වර්ධනයට හා කාර්යක්ෂමතාවයට ඇති බාධාවන් ඉවත් කිරීමට කටයුතු කරනවා. මේ සියල්ලේ දී සහ අනෙකුත් රාජ්‍ය වියදම්වල දී, ප්‍රමුඛත්වය, ඉලක්කගත කිරීම, ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සහ මුදල් සඳහා වටිනාකම සහතික කිරීම සම්බන්ධයෙන් අපි වැඩි සැලකිල්ලක් දක්වනවා. එමනිසා, මහජන මුදලින් වියදම් කරන සෑම රුපියලකින්ම ආර්ථික හා සමාජීය ප්‍රතිලාභය වැඩි වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.
අපි මේ ආර්ථිකය නගා සිටුවීමේ මාර්ගයේ අඛණ්ඩව ගමන් කරන විට තව තවත් රාජ්‍ය මූල්‍ය අවකාශය පුළුල් වෙනවා. කාර්යක්‍ෂමතා වර්ධනයන්, දූෂණය හා නාස්තිය ඉවත් කිරීම, වඩා හොඳ ඉලක්කගත කිරීම් සහ වඩා හොඳ බදු පරිපාලනය තුළින් සැළකිය යුතු ඉතුරුම් ප්‍රමාණයකට අවස්ථාව සැලසෙන විට, ජනතාවගේ ප්‍රමුඛ අවශ්‍යතා ඉටු කිරීමට අපට තව තවත් සම්පත් ලැබෙනු ඇති. ඒ නිසා රටක් විධියට අප ඉවසිලිවන්තව කටයුතු කළ යුතු වන අතර, සාමූහික විනයකින් සහ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කරමින් අප ඉදිරියට යන විට එහි ප්‍රතිලාභ අපට ලඟා කර ගත හැකි වනු ඇති.
2025 අයවැයේ මූලධර්ම
අයවැයක් යනු ඉදිරි වසර සඳහා වන ආදායම් සහ වියදම් යෝජනා මාලාවක් පමණක් නොවේ. එය ආර්ථිකය නගා සිටුවීමේ සහ සමස්ත ප්‍රතිපත්ති සම්බන්ධයෙන් රජයේ ප්‍රවේශය පිළිබද පිළිබිඹුවක්. මෙම අයවැය තුළ ආර්ථික ප්‍රතිපත්ති අරමුණුවල සැපයුම් අංශයේ ප්‍රධාන අංශ තුනක් ඇතුළත් වනවා.
ඒ හා සමානව, භාණ්ඩ හා සේවා සඳහා ඉල්ලුම සැලකීමේ දී රජයේ ප්‍රතිපත්ති අරමුණු වන්නේ;
මෙම සැපයුම සහ ඉල්ලුමේ අරමුණු සාක්ෂාත් කර ගැනීමේ යාන්ත්‍රණය පහත සඳහන් සියල්ලෙහි එකතුවක් වනු ඇති.
මෙවර අයවැය මෙම මූලධර්ම මත පදනම්ව සකස් කර තිබෙන අතර, සියලුම පුරවැසියන් ක්‍රියාකාරී සහභාගිවන්නන්, ක්‍රියාකාරී පාර්ශවකරුවන් සහ ක්‍රියාකාරී ප්‍රතිලාභීන් වන ආර්ථිකයක් නිර්මාණය කිරීමට පදනමක් සැකසීමට අප අදහස් කරනවා. රජයේ කාර්යභාරය වන්නේ මිනිසුන්ට තම ආර්ථික විභවයන් සපුරා ගැනීමට ඇති බාධා ඉවත් කර පහසුකම් සැලසීමයි. දුෂ්කර ප්‍රදේශයක ජීවත් වීම හේතුවෙන්, යම් පුද්ගලයකු ආබාධිතභාවයක් හේතුවෙන්, අධ්‍යාපන අවස්ථා හිඟකම හේතුවෙන්, මූලික යටිතල පහසුකම් නොමැතිකම හේතුවෙන් තම ආර්ථික හැකියාව සපුරා ගැනීමට නොහැකි වූ විට එ්ක අසාධාරණයක්. මෙය එක රැයකින් විසඳිය හැකි පහසු ක්‍රියාවලියක් නොවෙයි. පුරවැසියන් ඔවුන්ගේ ආර්ථික විභවයන් සපුරාලීම සඳහා බලගැන්වීම සඳහා විශාල උත්සාහයක් අවශ්‍ය වනවා. මෙහිදී ජනතාවගේ අවශ්‍ය කුසලතා සහ ධාරිතාව ගොඩනැගීම සඳහා අධ්‍යාපනය සහ පුහුණුව සඳහා ආයෝජනය කිරීම වැදගත්. මිනිසුන්ට ඔවුන්ගේ හැකියාවන් සපුරාලීමට අවස්ථාව ඇති බව සහතික කිරීම සඳහා සෞඛ්‍ය සේවා සඳහා ආයෝජනය කිරීම අත්‍යවශ්‍යයි. ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීමට සහ ආර්ථික අවස්ථා සමඟ සම්බන්ධ වීමට ජනතාවට හැකිවන පරිදි යටිතල පහසුකම් සැපයිය යුතුයි. සැමට සම අවස්ථා නිර්මාණය කරන වෙළෙඳපොළ බලයේ අධික සංකේන්ද්‍රණයක් නොමැති ලෙස තරඟය සාධාරණ වන බවට රජය විසින් සහතික කළ යුතුය. මෙම අයවැය යෝජනා මඟින් මේ රටේ ජනතාව ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම ආරම්භ කරනවා. මෙය ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රජාතන්ත්‍රීකරණය සඳහා පදනම වනු ඇති.
අඛණ්ඩ ඵලදායිතා වර්ධනය සඳහා ආර්ථිකය ඩිජිටල්කරණය අත්‍යවශ්‍යයි. ආර්ථික ප්‍රගමනය සඳහා පමණක් නොව, සමාජ නඟාසිටුවීම සහ දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා වන තවත් තීරණාත්මක පදනමක් වන්නේ යහපත් ආණ්ඩුකරණය සහ දූෂණය ඉවත් කිරීමයි. යහපත් ආණ්ඩුකරණය සඳහා වන ප්‍රතිසංස්කරණ සහ දුෂණ විරෝධී ක්‍රියාමාර්ග අප රජයේ ප්‍රධානතම ප්‍රමුඛතාවයන් වෙනවා. මෙම අභිලාෂයට ජීවය ලබාදීම ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ අරමුණයි.
මධ්‍ය කාලීන සාර්ව ආර්ථික දිශාව
මෙවර අයවැයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා සමඟින් අපි සාර්ව ආර්ථික ගමන් මාර්ගයේ නව පෙරලියකට අඩිතාලම දමමින් සිටිනවා. මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සියයට 5 කට වඩා වැඩියෙන් අපි මැදි කාලීනව අපේක්ෂා කරනවා. ආර්ථිකයේ සැපයුම් ධාරිතාව වැඩි දියුණු කිරීම සඳහා අප ගනිමින් සිටින ක්‍රියාමාර්ග තුළින්, මිල නිසා හටගත හැකි කම්පන අවම කර ගැනීමටත්, එමඟින් අඩු සහ ස්ථාවර උද්ධමනයක් තවදුරටත් පවත්වා ගැනීමටත් අපි අපේක්ෂා කරනවා. සාර්ව ආර්ථික ප්‍රතිපත්ති මාර්ගය, විශාල ජංගම ගිණුම් හිඟයක් පැවති යුගයට තිත තබමින් විදේශ අංශයේ ජංගම ගිණුමෙහි ස්ථාවර ශේෂයක් අපේක්ෂා කරනවා. ඒ අනුව, වෙළඳපොළ මූලධර්ම මත පදනම් වූ අපගේ විනිමය අනුපාතය තවදුරටත් ඉහළ උච්ඡාවචනයන්ට ලක් නොවනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.
2025 දී භාණ්ඩ හා සේවා අපනයනය ඩොලර් බිලියන 19කට ආසන්න වාර්තාගත ඉහළම මට්ටමක් අපි අපේක්ෂා කරනවා. ශක්තිමත් අපනයන අංශයක් මඟින් ආර්ථික වර්ධනය තවදුරටත් ඉහළ යනු ඇතැයි බලාපොරොත්තු වනවා. ශක්තිමත් ආර්ථික වර්ධනයක් සමඟින් ණය නොවන ගලාඒම්වල වර්ධනය සහ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.3 ක රාජ්‍ය අයවැයෙහි ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් පවත්වා ගැනීම මඟින් ශ්‍රී ලංකාව 2028 වසරේ සිට ක්‍රමානුකූලව වැඩි වන ණය සේවාකරණ ගෙවීම් සඳහා ඉතා හොඳ සූදානමක සිටින බව තහවුරු කරනවා.
ලෝක බැංකු ඇස්තමේන්තුවලට අනුව, 2023 වසරේ දී රටේ දරිද්‍රතා අනුපාතය සියයට 25.9 ක්. ස්වෛරීත්ව ණය පැහැර හැරීමට ලක් වූ බොහෝ රටවල් දිළිඳුකමෙන් දිගු කාලසීමාවක් අත්විඳින අතර, 2025 වසර වන විට මෙම ප්‍රවණතාවය ආපසු හැරීමක් දැකීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙම අයවැය යෝජනා මගින් සමාජයේ දිළිඳුම සහ වඩාත්ම අවදානමට ලක්විය හැකි සාමාජිකයන් සවිබල ගැන්වීමේ පුළුල් ප්‍රයත්නයකට පළමු පියවර තබන අතර, දරිද්‍රතාවයේ අඛණ්ඩ අඩුවීමක් අපේක්‍ෂා කරනවා.
නිසි මුදල් කළමනාකරණය, වගකීමෙන් යුතුව ණය කළමනාකරණය කිරීම මානව ප්‍රාග්ධනය සඳහා වූ ආයෝජන, ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාල, ආර්ථික විවිධාංගීකරණය, අපනයන ප්‍රවර්ධනය, ආයෝජන පරිසරයෙහි වර්ධනය, කෘෂිකර්මාන්තය නවීකරණය, හරිත ආර්ථික ප්‍රතිපත්ති, නවෝත්පාදන, ඩිජිටල්කරණය, ව්‍යවසායකත්වය සහ නව ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වටපිටාව සකස් කර දීම, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය, දූෂණ විරෝධී ක්‍රියාමාර්ග සහ විනිවිදභාවය සහ තිරසාර වර්ධන ක්‍රමෝපාය ප්‍රවර්ධනය කිරීම මඟින් දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වය සහ සමෘද්ධිය ළඟා කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ආර්ථිකයේ පරිවර්තනීය වෙනසක් ඇති කිරීම සඳහා පශ්චාත් අර්බුද අවස්ථාව වඩාත් හොඳින් යොදා ගැනීමට අප අපේක්ෂා කරනවා.
මම දැන් මේ පාර්ලිමේන්තුවට 2025 අයවැය යෝජනා ඉදිරිපත් කරනවා.
ශ්‍රී ලංකාවේ ගෝලීය වෙළෙඳපොළවලට අපනයනය කිරීමේ හැකියාව වැඩි දියුණු කිරීම මගින් ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා අපනයන හැකියාව මහා පරිමාණයෙන් වැඩි කිරීමේ අරමුණින් රජය ජාතික අපනයන සංවර්ධන සැලැස්මක් (2025-2029) සකස් කරනු ඇත. නව අපනයන වෙළෙඳපොළවල් අත්පත් කර ගැනීමට, පවතින වෙළෙඳපොළවළ් පුළුල් කිරීමට හෝ මහා පරිමාණ අපනයනකරුවන්ගේ අගය දාමයන් සහ ගෝලීය අගය දාමයන් සමඟ සම්බන්ධ වීමට ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (MSMEs) හට පහසුකම් සැලසෙනු ඇත.
උසස් තත්ත්වයේ, දැරිය හැකි මිලකට ලබා ගත හැකි අමුද්‍රව්‍ය සඳහා ප්‍රවේශ වීමේ සීමාවන් ඉවත් කිරීමේ අරමුණින්, සරල, විනිවිද පෙනෙන සහ පුරෝකථනය කළ හැකි තීරුබදු රාමුවක් නිර්මාණය කිරීම සඳහා ජාතික තීරු බදු ප්‍රතිපත්තියක් මත පදනම්ව නව තීරු බදු නීර්ණය වේ.
විශේෂයෙන් කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වය (RCEP) සහ අනෙකුත් ගිවිසුම් හරහා ආසියාන් (ASEAN) සංවිධානයේ රටවල් සමඟ ආර්ථික සබඳතා වැඩි දියුණු කිරීමේ අරමුණින්, උපායමාර්ගික හවුල්කරුවන් සමඟ ශ්‍රී ලංකාවේ නිදහස් වෙළද ගිවිසුම් (FTA) ජාලය පුළුල් කිරීම සඳහා කටයුතු කරනවා.
අපගේ භාණ්ඩ හා සේවා අපනයනය වැඩි දියුණු කිරීම සඳහා අපගේ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලවල කැපවූ සහ වඩාත් වෘත්තීයමය උත්සාහයන් සමඟ ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකභාවය කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරේ.
අපගේ අපනයනකරුවන් සමඟ විදේශීය ව්‍යාපාරික ජාල, වාණිජ අවස්ථා සහ වාණිජ සහයෝගීතාවය වැඩි දියුණු කළ හැකිවන ප්‍රවේශයක් සඳහා විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාව යොදා ගන්නවා.
ප්‍රධාන විදේශ වෙළඳාම සම්බන්ධ ආයතන (key border agencies) සහ අපනයනකරුවන් ලියාපදිංචිය ස්වයංක්‍රීයකරණය හා ඩිජිටල්කරණය කිරීම තුළින් ජාතික තනි වෙළද කවුළුව (TNSW) ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ඇත.
ආදායම් එකතු කිරීම හා වෙලඳ පහසුකම් කාර්යක්ෂම කිරීමට නව රේගු පනතක් හදුන්වා දීමට කටයුතු කරනවා.
ශ්‍රී ලංකාවේ ද්විත්ව බදුකරණය වැළැක්වීමේ ගිවිසුම් (DTA) දැනට පවතින ද්විත්ව බදුගිවිසුම් 44 න් ඔබ්බට පුළුල් කරනු ලබන අතර එහි දී ඉහළ වෙළඳ හා ආයෝජන විභවයක් ඇති රටවලට ප්‍රමුඛතාවය දෙනු ලබනවා.
අපනයන කේන්ද්‍ර කරගත් ආයෝජන සහ විශේෂිත අංශයන් සඳහාවන කලාප පුළුල් කිරීම, තිරසාර භාවිතයන්, සම්පත් කළමනාකරණය සහ හරිත තාක්ෂණය කෙරෙහි අවධානය යොමු කරන පරිසරහිතකාමී කාර්මික උද්‍යාන පිහිටුවීම සඳහා රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව ක්‍රමවේදය සහ පෞද්ගලිකව පවත්වාගෙන යනු ලබන කලාප හරහා රජය සිය සහයෝගය ලබා දෙනු ලැබේ.
නැගී එන ආයෝජන වර්ධනයන්ට ගැලපෙන පරිදි ආර්ථික පරිවර්තන පනත සංශෝධනය කෙරෙනු ඇත.
ඵලදායී ආර්ථික කටයුතු සඳහා රජය විසින් භාවිතා නොකළ රජය සතු ඉඩම් ඵලදායි ආර්ථික කටයුතු සඳහා බදු දෙනු ඇත.
ආයෝජන සඳහා පහසුකම් සැලසීමේ සහ ආරක්ෂාව සැපයීමේ අරමුණින් ආයෝජන ආරක්ෂණ පනතක් සම්මත කරනු ලැබේ.
දේපළ ලියාපදිංචි කිරීම, බදු ගෙවීමේ පහසුව, වෙළඳ පහසුකම් සැපයීම, කොන්ත්‍රාත්තු බලාත්මක කිරීම, ණය ලබා ගැනීම වැනි ප්‍රධාන ක්ෂේත්‍රවලට අදාළව රටේ ව්‍යාපාර කිරීමේ පහසුව වැඩිදියුණු කිරීමට කටයුතු කෙරේ. රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය සඳහා වන පියවර මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීමේ දී වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇත.
සෑම පියවරක් සඳහාම නිශ්චිත කාල රාමු සැකසීම සහිතව, අවශ්‍යවන සියලු අනුමැතීන් ඒකාබද්ධව ලබා ගත හැකිවන පරිද්දෙන් ‘එක් ස්ථානයකින් සියලු සේවා’ (one stop shop) යන සංකල්පය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා නීති සම්පාදනය කරනු ලැබේ.
ඉපැයීම් සහ ලාභාංශ නැවත මෙරටට ගෙන්වා ගැනීම නිරීක්ෂණය කිරීම සඳහා සුදුසු ආරක්ෂණ ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමෙන් දේශීය සමාගම් හට විදේශයන්හි ආයෝජනය කිරීමට ඇති බාධක සමාලෝචනය කර ඒවා ක්‍රම ක්‍රමයෙන් අඩු කිරීමට කටයුතු කරනවා.
රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය (PPP) සම්බන්ධව නව පනතක් ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා.
ඉඩම් හිමිකම් සංවර්ධනයට සහ ඉඩම්වල වාණිජමය භාවිතය වැඩි කිරීම සඳහා බිම්සවිය වැඩසටහන කඩිනම් කරනවා.
දැනටමත් කෙටුම්පත් අදියරවල පවතින බංකොලොත්භාවය පිළිබඳ පනත් කෙටුම්පතේ කටයුතු කඩිනම් කරනවා.
ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් සහ සමුද්‍ර ආර්ථිකයේ ආයෝජන, කාර්මික සංවර්ධනය සහ අපනයන ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකාවේ ප්‍රයෝජනයට නොගත් විභවයන් ප්‍රශස්ත ලෙස භාවිතා කිරීම සඳහා රජය සෘජු විදේශ ආයෝජන අපේක්ෂා කරනවා.
අපනයනකරුවන්ට තත්ත්ව පරීක්ෂණ සහ සහතිකකරණය ලබා ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහ මූල්‍ය සහාය රජය විසින් ලබා දෙනවා.
පරීක්ෂණ සහ ක්‍රමාංකන රසායනාගාර, යොමු කිරීමේ මධ්‍යස්ථාන, පිළිකා කාරක පර්යේෂණ සඳහා යොමු කිරීමේ මධ්‍යස්ථානය, විශ්ව විද්‍යාල සහ කාර්මික තාක්ෂණ ආයතනය ඇතුළු අනෙකුත් තක්සේරු ආයතන සේවාදායකයින් සඳහා කාර්යක්ෂම සේවා සැපයීම සඳහා සංවර්ධනය කරනවා. රට තුළ ජාතික තත්ත්ව කළමනාකරණ පද්ධතියේ අපේක්ෂිත ප්‍රතිඵල සපුරාලීමට, 2025 වසර සඳහා රුපියල් මිලියන 750 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
ශ්‍රී ලංකාවට වෙළඳාම, භාණ්ඩ සේවා සැපයුම්, මූල්‍ය සේවා සහ ඩිජිටල් ආර්ථිකය සඳහා කේන්ද්‍රස්ථානයක් වීමට හැකියාව තිබෙනවා. මෙම අයවැය තුළින් මෙකී විභවයන් සපුරාලීම සඳහා මූලික පියවර සපයනවා.
රටේ උපායමාර්ගික භූගෝලීය පිහිටීම උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයේ ප්‍රමුඛතම බලවේගයක් ලෙස කටයුතු කිරීමට භාණ්ඩ සේවා පහසුකම් සැලසීමේ අංශය සැලකිය යුතු විභවයක් දරනවා. වර්තමානයේ, මෙම භාණ්ඩ සේවා පහසුකම් සැලසීමේ අංශයෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් ආසන්න වශයෙන් සියයට 2.5 ක් සහ අපනයන සඳහා සියයට 7 ක දායකත්වයක් ලබා දෙන අතර ඇස්තමේන්තුගත පුද්ගලයින් 40,000 සිට 50,000 කට සෘජු, පූර්ණ කාලීන රැකියා සපයයි.
නැගෙනහිර සහ බටහිර බහාලුම් පර්යන්ත ව්‍යාපෘති අවසන් වූ පසු කොළඹ වරායේ සැලකිය යුතු ධාරිතාවක් වර්ධනය වනු ඇත. ඊට අමතරව, යෝජිත කොළඹ බටහිර පර්යන්තය සහ කොළඹ උතුරු වරාය ශ්‍රී ලංකාවේ වරායවල ක්‍රියාකාරිත්වය වේගවත් කරනු ඇතැයි අපේක්ෂා කරනවා. මාසයක් ඇතුලත, එම ව්‍යාපෘති සඳහා අභිලාෂයන් ප්‍රකාශකිරීම් (EOI) කැඳවීමට අප කටයුතු කරනවා.
බහාලුම් පරිමාවන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බැවින් කොළඹ වරාය දැනට දැඩි තදබදයකට මුහුණ දීම නිසා, යටිතල පහසුකම් සහ පද්ධති සහ ක්‍රියා පටිපාටිවල තීරණාත්මක සංවර්ධනයක් අවශ්‍ය වී තිබෙනවා. එබැවින්, කෙරවලපිටිය රේගු පරීක්ෂණ අංගනයේ සහ බ්ලූමැන්ඩල් භාණ්ඩ සේවා සැපයුම් උද්‍යානයේ මූලික සූදානම් කිරීමේ කටයුතු සඳහා සහාය වීම පිණිස 2025 අයවැයෙන් රුපියල් මිලියන 500 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
කොළඹ වරාය තුළ සහ ඒ අවට බහාලුම් රථවාහන තදබදය ලිහිල් කිරීම සහ අගය එකතු කිරීම තුළින් විදේශ ඉපැයීම් වැඩි කිරීම සඳහා දිගුකාලීන පියවරක් ලෙස, දුම්රිය පාදක ඒකාබද්ධ බහුමාධ්‍ය භාණ්ඩ හා සැපයුම් මධ්‍යස්ථානයක් (IMCLC) ලෙස වේයන්ගොඩ අභ්‍යන්තර බහාලුම් අංගනයක් (ICD) ස්ථාපිත කිරීමට යෝජනා කරනවා. ඒ සඳහා ආයතනික යාන්ත්‍රණයක් හඳුනා ගැනීම, ඉඩම් අත්පත් කර ගැනීම සහ අනෙකුත් මූලික සූදානම් කිරීමේ කටයුතු සඳහා සහාය වීම සඳහා රුපියල් මිලියන 500 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
ජාතික තනි කවුළු පද්ධතිය, ට්‍රක් රථ පැවරීමේ පද්ධතිය (Truck Appointment System), විද්‍යුත් බහාලුම් නිරීක්ෂණ (Tracking System) සහ "වරාය ප්‍රජාව" තොරතුරු හුවමාරු පද්ධතිය (Port Community System) සංවර්ධනයට සහය වීම සදහා රුපියල් මිලියන 500 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
භාණ්ඩ ප්‍රවාහනය වැඩිදියුණු කිරීම සඳහා යටිතල පහසුකම් නවීකරණය කිරීම සහ අති නවීන තාක්ෂණය ඇතුළත් කිරීම ඉතා වැදගත්. යල් පැන ගිය පරිලෝකන (scanning) පද්ධති සමස්ත සැපයුම් දාමයේ ප්‍රමාදයන්ට හේතුවක්. එබැවින්, කොළඹ වරාය සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සඳහා උසස් පරිලෝකන පද්ධතිවල මූලික සංවර්ධනය සහ ස්ථාපිත කිරීමට සහාය වීම සඳහා රුපියල් මිලියන 1,000 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ සංවර්ධනය වේගවත් කිරීම අපගේ ආර්ථික සංවර්ධන උපාය මාර්ගයේ වැදගත්ම අංගයක්. කාර්මික හා සේවා අංශ තුළ ඵලදායිතාව වැඩි දියුණු කිරීම, ආර්ථික අවස්ථා ප්‍රවර්ධනය කිරීම, රාජ්‍ය සේවා සැපයීම වැඩිදියුණු කිරීම සහ පාලනයේ සහ රාජ්‍ය මූල්‍යයේ විනිවිදභාවය වැඩි දියුණු කිරීම තුළින්, ඩිජිටල් පරිවර්තනය, ආර්ථික වර්ධනය ඉහළ නංවනු ඇත.
සියලුම පුරවැසියන් සඳහා ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් හඳුනාගැනීම (SL-UDI) ස්ථාපිත කිරීම ප්‍රමුඛතාවයකි. SL-UDI යනු ඩිජිටල් ආර්ථිකයක සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය මූලික ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI) වේ. මෙම ක්‍රියාවලිය සඳහා වන පියවර දැනටමත් ආරම්භ කර ඇති අතර මෙම ක්‍රියාවලිය කඩිනම් කෙරෙනු ඇතැයි අපේක්ෂා කරනවා.
ඩිජිටල් සේවා සහ පද්ධතිවල ආරක්ෂාව සහ අඛණ්ඩතාව පිළිබඳ මහජන සහ ආයතනික විශ්වාසය ඩිජිටල් පරිවර්තනයේ සාර්ථකත්වය සහ තිරසාරභාවය සඳහා ඉතා වැදගත්. නව නීති සම්පාදනය කිරීම සහ පවතින නීති ශක්තිමත් කිරීම හරහා ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය පාලනය කර ආරක්ෂා කරනු ලබනවා. අදාළ ආයතනික රාමුව ශක්තිමත් කිරීම කෙරෙහි ද අපි අවධානය යොමු කරනවා. ඩිජිටල් ආර්ථිකය තවදුරටත් වේගවත් කිරීම සහ ඩිජිටල් පද්ධතියේ අනෙකුත් විෂය අනුබද්ධ ආයතන මෙන්ම ඉහළ මට්ටමේ ඩිජිටල් ආර්ථික අධිකාරියක් බලගැන්වීම සඳහා අපි නව නීති සම්පාදනය කරනවා. සයිබර් ආරක්ෂාව, දත්ත රහස්‍යතාව සහ දත්ත ආරක්ෂණයට අදාළ නීති සහ ආයතන ද අප ශක්තිමත් කරනවා.
ඩිජිටල් ගෙවීම් යටිතල පහසුකම් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික රාමුවේ තවත් මූලික අංගයක්. රජය, ව්‍යාපාර සහ පුරවැසියන් අතර ගලා යන ඩිජිටල් ගෙවීම් වේගවත් කිරීමට අපි කටයුතු කරනවා. මෑතකදී දියත් කරන ලද GovPay පද්ධතිය මීට උදාහරණයක්. මුදල් නෝට්ටු පදනම් කරගත් ආර්ථිකයෙන් ක්‍රමයෙන් ඉවත් වීම අවශ්‍ය වෙනවා. එය පැහැදිලි සන්නිවේදනයක් සහිතව, ප්‍රවේශමෙන් අදියර කිහිපයකින් යුක්තව ක්‍රියාත්මක වනු ඇත.
ඩිජිටල් ආර්ථිකයේ සියලුම අංශ හරහා පුද්ගලික ප්‍රාග්ධනය සහ හවුල්කාරිත්වයන් ආකර්ෂණය කර ගැනීම වෙනුවෙන් රජය හිතකර ආයෝජන පරිසරයක් සඳහා පහසුකම් සපයනු ඇත. මෙමගින් කෘතිම බුද්ධිය, රොබෝ විද්‍යාව, මූල්‍ය තාක්‍ෂණය සහ අනෙකුත් නැගී එන තාක්ෂණයන්හි නවෝත්පාදනයන් සඳහා ආයෝජන ආකර්ෂණය කර ගැනීමට උපකාර කරයි.
ඉදිරි වසර පහ තුළ ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ඇමරිකානු ඩොලර් බිලියන 15 ඉක්මවන මට්ටමකට හෝ ජාතික ආර්ථිකයෙන් සියයට 12 කට වඩා වැඩි මට්ටමකට වර්ධනය කිරීම අපගේ අරමුණයි. මෙම අභිලාෂය සාක්ෂාත් කර ගැනීමේදී රජය පරිගණක හා තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ වාර්ෂික අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 5 දක්වා වැඩි කිරීමට පහසුකම් සැලසීම ඉලක්ක කරනවා.
ඒ අනුව, විස්තර කර ඇති මුලපිරීම් හරහා ඩිජිටල් ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 3,000 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
සංචාරක පැමිණීම් සංඛ්‍යාව කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම වෙනුවට සංචාරක ව්‍යාපාරයෙන් ජනනය වන වටිනාකම් කෙරෙහි අවධානය යොමු කිරීම සහතික කිරීම අවශ්‍ය වෙනවා.
මේ සඳහා, අවශ්‍ය යටිතල පහසුකම් සහිතව එම ගමනාන්තයන්ට අනන්‍ය වූ සංස්කෘතික වටිනාකම් පිළිබිඹු කිරීම සඳහා එම ගමනාන්ත දේශීය සන්නාමකරණයක් සමඟ එක් එක් ගමනාන්තයෙන් වටිනාකම් උත්පාදනය ප්‍රශස්ත කිරීම සඳහා දේශීය ගමනාන්ත සංවර්ධනය කිරීමට පියවර ගනු ලබනවා. හඳුනා ගැනීමෙන් පසුව, අවශ්‍ය තීරණාත්මක යටිතල පහසුකම් සංවර්ධන ක්‍රියාකාරකම් 2025-2026 වසර 2ක කාලය තුළ ප්‍රමුඛතා පදනමක් මත සිදු කරනු ඇත. මෙම යටිතල පහසුකම් සංවර්ධනය සඳහා සංවර්ධිත ගමනාන්ත සඳහා ඒකාබද්ධ නගර නාමකරණ සහ ප්‍රවර්ධන ව්‍යාපාරයකින් සහාය වනු ඇත. මේ සඳහා 2025 වසර සඳහා රුපියල් මිලියන 500 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
සංචාරක ක්ෂේත්‍රයේ, සන්නිවේදනය සහ අනෙකුත් කුසලතා පිළිබඳ තරුණ තරුණියන් පුහුණු කිරීම සඳහා රජය පහසුකම් සපයනු ඇත.
සංචාරකයින්ගේ සංචරණ ධාරිතාව පුළුල් කිරීම සඳහා නව සංචාරක ගමනාන්ත සංවර්ධනය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම රජයේ ප්‍රමුඛ කාර්යයක් වනු ඇත.
ඊට සමගාමීව, අධික තදබදය පිළිබඳ ගැටළු විසඳීමට සහ ක්ෂේත්‍රයේ ධාරිතාව වැඩිදියුණු කිරීමට ඩිජිටල් ටිකට්පත් ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබේ.
ජපන් ආයෝජනවල සහාය ඇතිව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ දෙවන පර්යන්තය පුළුල් කරනු ලැබේ.
සංචාරක ආකර්ෂණීයත්වයක් ඇති ස්ථාන පිළිබඳ තොරතුරු සැපයීම, ආරක්ෂක අනතුරු ඇඟවීම් ලබා ගැනීම, සංචාරක අත්දැකීම් පිළිබඳ ප්‍රතිචාර සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට ලැබෙන පැමිණිලි අධීක්ෂණය කිරීම සඳහා සංචාරක පොලීසිය, රාජ්‍ය ආයතන සහ සිවිල් සංවිධාන සම්බන්ධ කරන තාක්ෂණ පාදක විසඳුම් සංයෝජනයක් හරහා සංචාරක ආරක්ෂාව සහ පහසුකම් සැපයීම රජය විසින් සිදු කරනු ඇත.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සහ ව්‍යවසායකත්වය සංවර්ධනය කිරීම රජයේ ප්‍රධාන අරමුණක් වේ. මූල්‍ය සඳහා ප්‍රවේශය දිගු කලක් තිස්සේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ ග්‍රාමීය ව්‍යවසායකයින් මුහුණ දෙන විශාලතම අභියෝගයන්ගෙන් එකකි. මේ රටේ මූල්‍ය සංස්කෘතිය ඇපකර මත පදනම් වූ ණය දීම වන අතර එමඟින් විශාල කොටසකට මුල්‍ය සඳහා වන ප්‍රවේශය ඇහිරී තිබෙනවා. බැංකු තම තැන්පත්කරුවන්ගේ අවශ්‍යතා ආරක්ෂා කළ යුතු අතර ඔවුන්ගේ ණය දීමේ පිළිවෙත්වල තාර්කික බව සහතික කළ යුතු අතර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ නව ව්‍යවසායකයින් සඳහා ද විසඳුමක් තිබිය යුතුයි.
මේ සඳහා රජය සංවර්ධන බැංකුවක් පිහිටුවීමට කටයුතු කරමින් සිටිනවා. පළමු පියවර ලෙස, නව පරිපාලන ව්‍යුහයක් හරහා සංවර්ධන බැංකුවක ක්‍රියාකාරිත්වය දැනට පවතින රාජ්‍ය බැංකු යාන්ත්‍රණය හරහා ස්ථාපිත කරනවා. ජාතික ණය ඇපකර ආයතනය (NCGI) හරහා ලබා ගත හැකි ණය ඇපකර පහසුකම් තුලින් රජය මෙම කාර්යයට සහාය වනවා.
පර්යේෂණ ආයතන, විශ්වවිද්‍යාල, රාජ්‍ය ආයතන සහ පෞද්ගලික අංශය සහ ජාතික බුද්ධිමය දේපළ සංවිධානය (NIPO) ඇතුළු විවිධ පාර්ශ්වකරුවන් සමඟ සහයෝගයෙන් සහ උපදේශනයෙන්, පර්යේෂණ සහ සංවර්ධන ව්‍යාපෘති කර්මාන්ත අවශ්‍යතා සමඟ පෙළගස්වනු ලබනවා. පහත සඳහන් ක්ෂේත්‍ර සඳහා පර්යේෂණ සහ සංවර්ධන මුලපිරීම් ප්‍රමුඛතාවය වනු ඇත;
2020 වසරේ දී පේටන්ට් බලපත්‍ර ලියාපදිංචි කිරීම් 272 ක් සිදු වූ බවත් ඉන් පේටන්ට් බලපත්‍ර 223 ක් අනේවාසික ලියාපදිංචි කිරීම් බවත් 2019 වසරේ දී පේටන්ට් බලපත්‍ර අයදුම්පත් ඉදිරිපත් කිරීම අනුව 61 වන රට ලෙස ශ්‍රේණිගත වී ඇති බවත් වාර්තා වේ. වාණිජකරණය තුලින් ආර්ථිකයේ යහපත සඳහා යොදා නොගත් සහ ආයෝජන අවස්ථා නෙළා නොගත් පර්යේෂණ සොයාගැනීම් ගණනාවක් ඇති බව අප නිරීක්ෂණය කරනවා. එබැවින්, පර්යේෂණ ආයතන මෙහෙයවීම සහ වාණිජකරණයට විභවයන් සහිත පර්යේෂණ, ප්‍රධාන ධාරාවට ගෙන ඒම සඳහා ශක්තිමත් ප්‍රමුඛ මධ්‍යගත ආයතනික යාන්ත්‍රණයක් අවශ්‍ය වනවා. මේ සඳහා, පර්යේෂණ සොයාගැනීම් වාණිජකරණය කිරීමට නවෝත්පාදන නව නිපැයුම් අරමුදලක් නිර්මාණය කිරීම සඳහා රුපියල් මිලියන 1,000 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
රාජ්‍ය වියදම් විධිමත් කිරීමට රජය අඛණ්ඩව උත්සාහ දරනවා. මහජන නියෝජිතයින්ට ලබා දෙන දීමනා සහ ප්‍රතිලාභ පිළිබඳ සමස්ත පද්ධතිය සමාලෝචනය කරනවා.
වියදම් කළමනාකරණය සම්බන්ධයෙන් දේශපාලන නායකත්වය පැත්තෙන් ආදර්ශයක් දීම සඳහා ඇමති මණ්ඩලය අමාත්‍යවරුන් 21 දෙනෙකුට සීමා කළා. රාජ්‍ය වියදම් අඩු කරමින් අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ වියදම් තාර්කීකරණය කර තිබෙනවා.
ජනාධිපතිවරයා, අගමැතිවරිය, මැති ඇමැතිවරු වෙනුවෙන් වෙන් කරන ලද මන්දිර වැනි පොදු සම්පත් ඵලදායී ලෙස මහජන භාවිතයට යොමු කර තිබෙනවා. එවැනි දේපල ආර්ථික වශයෙන් ශක්‍යතාවයක් ඇති ව්‍යාපෘති සඳහා සහ මහජන අවශ්‍යතා සඳහා උපරිම ලෙස භාවිතා වේ. නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරනු ලබනවා.
අධික ධාවන සහ නඩත්තු වියදම් දැරීමට සිදු වන සියලුම සුඛෝපභෝගී වාහන වෙන්දේසි කරනු ලබනවා.
රජයේ නිලධාරීන්ට නිල වාහන ලෙස පවරන ලද වාහන ඉහළ ඉන්ධන පරිභෝජනයක් ඇති සැලකිය යුතු වටිනාකමකින් යුක්ත වාහන වනවා. මෙම වාහන සඳහා අධික නඩත්තු පිරිවැයක් දැරීමට වෙනවා. එබැවින් තෝරාගත් නිලධාරීන්ට සුදුසු මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම හරහා වාහන සඳහා වන අධික වියදම් අවම කිරීමට රජය තීරණය කර තිබෙනවා.
වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකේය රාජ්‍ය යාන්ත්‍රණය, පහසුවෙන් පාලනය කළ නොහැකි ව්‍යුහයක් දක්වා ක්‍රමයෙන් විශාල වී තිබෙනවා. සුදුසු අධ්‍යයනයකින් හෝ පදනමකින් තොරව රජයේ ආයතන ගණනාවක් ස්ථාපිත කර තිබෙනවා. රාජ්‍ය සම්පත් නාස්තියක් මෙන්ම, එමගින් රාජ්‍ය සේවාවන් ඵලදායී ලෙස සැපයීමට ද විශාල ලෙස බාධාවන් ඇති වී තිබෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස එකම කාර්යය දෙවාරයක් සිදු කිරීම, නාස්තිය සහ රාජ්‍ය සේවාවන් ඵලදායී ලෙස සැපයීමට බාධා වීම සිදුව තිබෙනවා. මෙම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා රාජ්‍ය ආයතන රැසක කාර්යයන් සහ ඒවායෙහි ඵලදායීතාවය සමාලෝචනය කිරීමට කමිටුවක් අග්‍රාමාත්‍ය ලේකම්තුමාගේ මූලිකත්වයෙන් යුක්තව දැනටමත් පිහිටුවා තිබෙනවා. එහිදී කුමන ආයතන අඛණ්ඩව පවත්වාගෙන යා යුතුද, වෙනත් ආයතන සමඟ ඒකාබද්ධ කළ යුතුද, වසා දැමිය යුතුද, අරමුණ වෙනස් කළ යුතු ආයතන තිබේද, ආයතනයේ අරමුණට අනුකූල වන ලෙස ප්‍රතිසංවිධානය කළ යුතු ආයතන මොනවාද ආදිය ඒ අනුව යළි තීරණය කරන්නට පුළුවන්. මෙමගින්, රාජ්‍ය සේවාවන් සැපයීමේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම හරහා රාජ්‍ය මුදල් නාස්තිය වලක්වාගැනීම සම්බන්ධයෙන් ද සැලකිය යුතු ප්‍රතිලාභ අත්කර ගැනීමට අප අපේක්ෂා කරනවා.
රජය සතු ව්‍යවසායන් හේතුවෙන් පැන නගින අනාගත මූල්‍ය අවදානම අවම කිරීම හා කාර්යක්ෂම කිරීම සඳහා මූලික අවශ්‍යතාවයක් වන්නේ රජය සතු ව්‍යවසායන්හි ආයතනික පාලනය වැඩිදියුණු කිරීමයි. මේ සඳහා, පාලනය, මූල්‍ය විනය සහ මෙහෙයුම් කාර්‍යක්‍ෂමතාවය වැඩිදියුණු කිරීමේ අරමුණින්, තෝරාගත් රාජ්‍ය ව්‍යවසායන් පරිපාලිතයන් (subsidiaries) ලෙස පවත්වා ගනු ලබන රාජ්‍ය හිමිකාරිත්වය හා පාලනය ඇති පරිපාලක සමාගමක් (Holding Company) පිහිටුවනු ලැබේ.
කාන්තා කටයුතු සඳහා රේඛිය අමාත්‍යාංශය මෙන්ම පළාත් සභා මට්ටමින් වැඩසටහන් ක්‍රියාත්මක වේ. ඒ තුළ විශේෂයෙන් ගැබිනි මාතාවන් සඳහා පෝෂ්‍යදායී ආහාර ලබා දීම සඳහා මාසික ආධාරයක් ලබා දෙන අතර, ඒ සඳහා රුපියල් මිලියන 7,500 ක් වෙන් කර ඇත. එසේම මව්වරුන් හා දරුවන්ගේ පෝෂණය සඳහා ත්‍රිපෝෂ වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 5,000 ක් වෙන් කර තිබෙනවා.
ළමා හා කාන්තා හිංසනය වැළැක්වීම, කාන්තා සවිබල ගැන්වීම සහ කාන්තාවන් සුරැකීම යන වැඩසටහන් සඳහා රුපියල් මිලියන 120 ක් ද වෙන් කර තිබෙනවා. කාන්තාවන් ඉලක්ක කර ගත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා දිවයින පුරා ව්‍යාප්තව ඇති කාර්යාල ජාලය පවත්වා ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 720 ක වියදමක් දරනු ලැබේ.
කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය තුළ ඩිජිටල්කරණය අවම මට්ටමකයි තිබෙන්නේ. ඒ අනුව, 2025 වසරේ සිට සෞඛ්‍ය සේවා සැපයීම ඩිජිටල්කරණය වීම වැඩි දියුණු කිරීම සඳහා නව මුලපිරීම් හා මැදිහත්වීම් සිදු කරනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) සහ ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) කාර්යයන් ඩිජිටල්කරණය කිරීම සහ "සුවස්ථා” පද්ධතිය වැඩිදියුණු කිරීම සහ පුළුල් කිරීම මෙයට ඇතුළත් වෙනවා.
බෝ නොවන රෝග පාලනය සහ වැළැක්වීම කෙරෙහි අවධානය යොමු කරමින් ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර ඒකක (PMCUs) 1,000 කට අධික ප්‍රමාණයක සහ ප්‍රාදේශීය රෝහල්වල සේවා සැපයීම වැඩිදියුණු කිරීමට පියවර ගනු ලබනවා. තවද, විශේෂයෙන් වයස්ගත ජනගහනය ඉලක්ක කර ගනිමින් සෑම දිස්ත්‍රික්කයකම තෝරාගත් ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර ඒකක වලින් සහන සහ වයෝවෘද්ධ සත්කාර සේවා පවත්වනවා. පවතින මානව සම්පත් ප්‍රතිසංවිධානය කිරීම හරහා අවශ්‍ය මානව සම්පත් ලබා දීමට කටයුතු කරනවා.
iii. වතු ආශ්‍රිත සෞඛ්‍ය තත්ත්වය
ප්‍රාදේශීය වැවිලි සමාගම් සමඟ රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වයන්ට (PPP) එළඹීම හරහා වතු ආශ්‍රිත සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට පියවර ගන්නවා. වතුවල ඇති රෝහල්වලට අවශ්‍ය මානව සම්පත්, අවශ්‍ය උපකරණ සහ ඖෂධ රජයෙන් ලබා දෙනවා.
ඉදිරි වසර තුන තුළ සංවර්ධන පාර්ශවකරුවන්ගේ සහාය ඇතිව වසංගත වැළැක්වීම, සූදානම සහ වසංගත සඳහා සුදුසු පියවර ක්‍රියාත්මක කිරීම සඳහා ඇති ජාතික ධාරිතාව වැඩිදියුණු කරනවා. මීට අමතරව, ඉදිරියේ දී ඇති විය හැකි සෞඛ්‍ය උවදුරු කල් ඇතිව සූක්ෂමව නිරීක්‍ෂණය කිරීම සහ පූර්ව අනතුරු ඇඟවීමේ හැකියාව ශක්තිමත් කරනවා.
සෞඛ්‍ය සම්පන්න ජනගහනයක් මානව ප්‍රාග්ධන සංවර්ධනය සඳහා තීරණාත්මක වන අතර, එය ඵලදායිතාව ඉහළ නැංවීමට, අධ්‍යාපනික ප්‍රතිඵල වර්ධනයට, ශ්‍රම බලකායේ සහභාගීත්වය ඉහළ නැංවීමට, නවෝත්පාදන සහ කුසලතා සංවර්ධනය සඳහා සෘජුවම දායක වෙනවා. එය සමාජ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම, ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම සහ ආර්ථික වර්ධනය සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කරනවා. ඒ අනුව, 2025 වසර සඳහා රජයේ සෞඛ්‍ය අයවැය ප්‍රතිපාදනය රුපියල් මිලියන 604,000 දක්වා සැලකිය යුතු ලෙස වැඩි කර තිබෙනවා.
ඖෂධ සැපයුම සහ වෛද්‍ය සැපයුම සහතික කිරීම සඳහා 2025 අයවැයෙන් රුපියල් මිලියන 185,000 ක් වෙන් කර තිබෙනවා. ගුණාත්මක ඖෂධ සහ වෛද්‍ය සැපයුම් කිසිදු බාධාවකින් තොරව ප්‍රසම්පාදනය හා බෙදා හැරීම සහතික කිරීමටත්, ප්‍රසම්පාදන ක්‍රියාවලීන් ප්‍රශස්ත කරන අතරම නාස්තිය අවම කිරීමටත්, අරමුදල් සම්පූර්ණයෙන් භාවිතා කිරීමටත් රජය සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලබනවා.
ශ්‍රී ලංකාව තුළ පසුගිය දශකය තුළ ඔටිසම් ඇතුළු ස්නායු සංවර්ධන ආබාධ සහිත දරුවන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.
මෙම අභියෝගවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 පුරාම ඔටිසම් ඇතුළු ස්නායු සංවර්ධන ආබාධ සහිත දරුවන් සඳහා අවශ්‍ය සෞඛ්‍ය, අධ්‍යාපන සහ අනෙකුත් සේවා පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා වසර 5 ක ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට යෝජිතයි. මූලික පියවරක් ලෙස, ස්නායු සංවර්ධන ආබාධ සහිත ළමුන් සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන් සහිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් රිජ්වේ ආර්යා ළමා රෝහලෙහි පිහිටුවීම සඳහා 2025 වසර සඳහා රුපියල් මිලියන 200 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා. තවද, ඉදිරි වසර පහ තුළ අවශ්‍ය මානව සම්පත් සහිතව සෑම දිස්ත්‍රික්කයකම මෙවැනි ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවීමට අපේක්ෂා කරනවා.
ඔටිසම් තත්වයේ පසුවන ළමුන් සඳහා පෙර පාසල් සහ දිවා සුරැකුම් පහසුකම් සීමිතයි. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ඔටිසම් ඇතුළු ස්නායු සංවර්ධන ආබාධ සහිත ළමුන් සඳහා ලබාදිය යුතු සියල්ල අන්තර්ගත අධ්‍යාපනය සහ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ පෙර පාසල් ගුරුවරුන් සහ භාරකරුවන්ට ඊට අවශ්‍ය හැකියාව හා අවබෝධය නොමැතිකමයි. ඒ අනුව, ආදර්ශ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 250 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
රට තුළ පැවති ආර්ථික අභියෝගයන් හේතුවෙන් 2019 සිට පාසල් යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීමක් සිදු වුනේ නැහැ. එබැවින් පාසල් යටිතල පහසුකම් ඉහළ නැංවීම සඳහා 2025 අයවැය තුළින් රුපියල් මිලියන 10,000 කට වඩා දැනටමත් වෙන් කොට තිබෙනවා.
එමෙන්ම විශ්ව විද්‍යාල පද්ධතිය තුල ගුණාත්මකභාවය වර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 135,000 ක් මේ වන විටත් වෙන්කර තිබෙනවා.
පෙර පාසල් උදෑසන ආහාරවේල සැපයීමේ වැඩසටහන යටතේ එක් ආහාර වේලකට කරනු ලබන ගෙවීම රුපියල් 60 සිට රුපියල් 100 දක්වා වැඩි කිරීමට අප යෝජනා කරනවා. මේ සඳහා 2025 අයවැය ඇස්තමේන්තු තුළින් රුපියල් මිලියන 1,000 ක් දැනටමත් වෙන්කර තිබෙනවා. තෝරාගත් මුල් ළමාවිය අධ්‍යාපන මධ්‍යස්ථාන සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 80 ක් වෙන් කර තිබෙනවා.
තවද, පෙර පාසල් ගුරුවරුන් මානව සම්පත් සංවර්ධනයේ ප්‍රධාන පාර්ශවයක් ලෙස හඳුනා ගනිමින්, පෙර පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහල නැංවීමට සහ ඔවුන්ගේ සේවය ඇගයීම සඳහා ඔවුන්ට දැනට ලබාදෙන දීමනාව මේ වසරේ ජූනි මාසයේ සිට තවත් රුපියල් 1,000 කින් වැඩි කිරීමට අප යෝජනා කරනවා. මේ සඳහා රුපියල් මිලියන 100 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
පදිංචි ස්ථානයේ සිට කිලෝමීටර් 3 ක අරයකින් යුත් ප්‍රදේශය තුළ ප්‍රාථමික පාසලක් සංවර්ධනය කිරීම රජයේ ප්‍රතිපත්තිය වෙනවා. මේ වන විට, දීපව්‍යාප්තව රජයේ පාසල් 10,126 ක් තිබෙනවා. ඉන් 3,946 ක් පමණ ප්‍රාථමික පාසල් වන අතර මෙම පාසල්වලට දළ වශයෙන් ළමුන් 634,094 ක් ඇතුළත් වී තිබෙනවා. මේවායින් 100 ට අඩු සිසුන් සිටින පාසල් 3,000 කට වැඩි ප්‍රමාණයක් ඇති අතර ඉන් පාසල් 1,471ක සිටින්නේ සිසුන් 50 ට අඩු සංඛ්‍යාවකි. මෙම පාසල් බොහොමයක් ග්‍රාමීය හා දුෂ්කර ප්‍රදේශවල පිහිටා ඇත. මෙමගින් පාසල් අතර විශාල විෂමතාවයක් ඇති වී තිබෙනවා. මෙම විෂමතාවය නිසා බහුතර සිසුන් සංඛ්‍යාවකට අසාධාරණයක් සිදු වෙනවා. මේ නිසා, පවතින පාසල් පද්ධතිය සමාලෝචනය කොට, යලි ස්ථානගත කිරීමට අවශ්‍ය ජාතික සැලැස්ම සකස් කිරීම සඳහා රුපියල් මිලියන 500 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
මේ සියළු දීමනා ගෙවීම් 2025 අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වෙනවා.
අ. පො. ස. උසස් පෙළ විභාගයෙහි කැපී පෙනෙන දක්‍ෂතා පෙන්වන සිසුන්ට ඉහළ පෙළේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලවල ප්‍රථම උපාධි පාඨමාලා හැදෑරීමට ශිෂ්‍යත්ව පිරිනැමීමටත්, ඔවුන් ලබාගත් දැනුම සහ කුසලතා රටෙහි සංවර්ධනයට යොදා ගැනීම සඳහා නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමටත් වැඩසටහනක් ඇති කරනවා. 2025 වසරේ දී මෙම වැඩසටහන ආරම්භ කිරීමට රුපියල් මිලියන 200 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
පළාත් පහක විශේෂිත ක්‍රීඩා පාසල් සංවර්ධනය කිරීමට අප යෝජනා කරනවා. බස්නාහිර, උතුර, මධ්‍යම, ඌව සහ උතුරුමැද පළාත් මේ සඳහා තෝරා ගනු ලබනවා. එම පළාත්වල ක්‍රීඩා පාසල් සංවර්ධනයට රුපියල් මිලියන 500 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
යාපනයේ සහ අවට දූපත්වල පාසල් සිසුන් ඇතුළු පාඨකයන් විශාල පිරිසක් යාපනය පුස්තකාලය භාවිතා කරනවා. නමුත් මෙම පාඨකයන්ගේ ප්‍රයෝජනය සඳහා යටිතල පහසුකම් ප්‍රමාණවත් ලෙස සංවර්ධනය කර නැහැ. එම නිසා මෙම පුස්තකාලයට පරිගණක ඇතුළු අත්‍යාවශ්‍ය පහසුකම් ලබාදීමට මෙවර අයවැයෙන් රුපියල් මිලියන 100ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා. ඊට අමතරව, අනෙකුත් ප්‍රාදේශීය පුස්තකාල සංවර්ධනය සඳහා මෙම අයවැය යටතේ තවත් රුපියල් මිලියන 200 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා බලශක්ති ක්‍ෂේත්‍රය ඉතා වැදගත් වෙනවා. බලශක්ති ප්‍රභවයන් විවිධාංගීකරණය කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් පුනර්ජනනීය බලශක්තිය සහ යටිතල පහසුකම් නවීකරණය කිරීම සඳහා වැඩි නැඹුරුවක් දක්වනවා. ගාස්තු තීරණය කිරීමේ දී ලංකාවට උපරිම වාසියක් ලබා දිය හැකි දේශීය හා විදේශීය ආයෝජකයින් දිරිගන්වන අතරම බලශක්ති ක්‍ෂේත්‍රයේ ආයෝජනය කිරීමට රජය අඛණ්ඩව කටයුතු කරනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ අභ්‍යන්තර ප්‍රතිව්‍යුහගතකරණයට පහසුකම් සැලසීම සඳහා නියාමන රාමුවට අවශ්‍ය ප්‍රතිසංස්කරණවලට ප්‍රමුඛත්වය දෙමින් සංශෝධිත විදුලිබල පනත ඉක්මණින් සම්මත කිරීමට අපේක්ෂා කරනවා.
සුළං බලයෙන් විදුලිය ජනනය කිරීමේ මෙගාවොට් 50ක ව්‍යාපෘතියකට අදාලව විදුලි ඒකකයක් සඳහා ඇමරිකානු ඩොලර් ශත 4.65 ක මිලකට පසුගිය දා ටෙන්ඩරයක් ප්‍රදානය කළා. එවැනි තත්ත්වයක් තිබියදී, ඇමරිකානු ඩොලර් ශත 8.26 ක් වැනි අධික ගාස්තුවකට ව්‍යාපෘති ලබාදීම සාධාරණීකරණය කළ නොහැකියි. කර්මාන්ත, අපනයනකරුවන් සහ පාරිභෝගිකයින්ට තරඟකාරී පිරිවැයකින් බලශක්තිය සැපයීම සඳහා අපි අවම ගාස්තුවක් මත පදනම් වූ බලශක්ති ආයෝජන සඳහා ඉඩප්‍රස්ථා ලබා දීමට කටයුතු කරනවා. ආයෝජන ගෙන එනු ලබන සමාගම හෝ රට මත රඳා පවතිමින් කටයුතු කිරීමට කිසිවිටකත් අප බලාපොරොත්තු වන්නේ නැහැ.
මෙට්‍රික් ටොන් 10,000 බැගින් ක්‍රියාකාරී ධාරිතාවයකින් යුත් ටැංකි 99 කින් සමන්විත ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණයේ තෙල් සංස්ථාවට හා ඉන්දියානු ඔයිල් සමාගමට ලබා දී තිබෙන තෙල් ටැංකි හැර තවත් තෙල් ටැංකි 61 ක් තිබෙනවා. මෙම තෙල් ටැංකි පිහිටි ස්ථානය ද සලකන විට, ජාත්‍යන්තර ඉන්ධන වෙළෙඳපොල වෙත ප්‍රවේශ වීම සඳහා අවස්ථාවක් පවතිනවා. ජාත්‍යන්තරව පිළිගත් ආයතන සමග ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස එය සංවර්ධනය කිරීමට අප අපේක්ෂා කරනවා.
කෘෂිකාර්මික අංශය මගින් රටේ ශ්‍රම බලකායෙන් දළ වශයෙන් සියයට 30 කට රැකියා සපයන අතර කෘෂිකාර්මික අංශය ග්‍රාමීය ආර්ථිකයේ කොඳු නාරටිය වෙනවා. එමගින්, කෘෂිකාර්මික අංශයේ විභවයන් වැඩිදියුණු කිරීම, ශ්‍රී ලාංකිකයන්ගෙන් අතිමහත් බහුතරයකගේ ආර්ථික අවස්ථා වැඩිදියුණු කිරීමේ ප්‍රධාන අවශ්‍යතාවයක්.
කෘෂිකාර්මික අංශය පිළිබඳ රජයේ ප්‍රතිපත්තිය එහි ඵලදායීතාව, තරඟකාරිත්වය සහ ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම අරමුණු කර ගෙන ඇත. වී ගොවීන් සඳහා පොහොර සහනාධාරය අඛණ්ඩව ක්‍රියාත්මක කරන අතර ඒ සඳහා රජය දැනටමත් 2025 වසර සඳහා රුපියල් මිලියන 35,000 ක් වෙන් කර තිබෙනවා. ගුණාත්මක බීජ සංවර්ධනය, එල්ලංගා පද්ධති කළමනාකරණය සහ කෘෂිකර්මාන්තය තුළ කාර්යක්ෂම ලෙස ජලය භාවිතය ආදීය ප්‍රමුඛතා ක්ෂේත්‍ර ලෙස රජය හඳුනාගෙන ඇති අතර අයවැය ප්‍රතිපාදන මගින් එම ක්ෂේත්‍ර වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරනවා.
වී මිල නිරන්තරයෙන් පවතින අස්ථායීතාවයෙන් මිදීම සඳහාත් වෙළෙඳපොළේ සහල් ඉල්ලුම සහ සැපයුම සීමා කිරීමේ දී ඊට ඔරොත්තු දීමේ පියවරක් ලෙසත් 2024/25 මහ කන්නයේ සිට ප්‍රමාණවත් ආරක්ෂණ තොගයක් පවත්වා ගැනීමට අපේක්ෂා කරනවා. ඒ අනුව, 2024/25 මහ කන්නය සඳහා රුපියල් මිලියන 5,000 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
කෘෂිකාර්මික අංශයට කාලීන තීරණ ගැනීම සඳහා යාවත්කාලීන කරන ලද දත්ත සහ තොරතුරු පද්ධතියක් නැහැ. එබැවින් නිෂ්පාදන ස්ථානයේ සිට පාරිභෝගිකයන් දක්වා සමස්ත වටිනාකම් දාමය ආවරණය වන පරිදි යාවත්කාලීන කරන ලද දත්ත සහ තොරතුරු පද්ධතියක් ස්ථාපිත කිරීමට කටයුතු කරනවා. මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහය සමගින් ඇනටමත් ක්‍රියාත්මක “ආහාර සුරක්ෂිත ජීවනෝපාය හදිසි ආධාර ව්‍යාපෘතිය” මගින් මුලදී සහාය දක්වන අතර පසුව ලෝක බැංකුවෙහි “ඒකාබද්ධ ග්‍රාමනගර සංවර්ධන සහ දේශගුණික ඔරොත්තු දීමේ ව්‍යාපෘතියෙන්” ලැබෙන අරමුදල් සමඟ පුළුල් කිරීමට අපේක්ෂා කරනවා.
වී වලට අමතරව ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා අනෙකුත් ක්ෂේත්‍ර භෝගවල නිෂ්පාදනය සහ ඵලදායීතාව ඉහළ නැංවීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා. විශේෂයෙන්ම මුං ඇට, උඳු, මිරිස්, රතු ළූණු, කව්පි, සෝයා, බඩ ඉරිඟු, අර්තාපල් සහ අනෙකුත් තෝරාගත් ධාන්‍ය වර්ග මෙන්ම අල භෝග නිෂ්පාදනය, 2025-2027 මධ්‍යකාලීනව කඩිනම් වැඩපිළිවෙලක් හරහා වර්ධනය කිරීමට නියමිතයි. 2025 වසර සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබාදුන් ප්‍රතිපාදනයන්ට අමතරව රුපියල් මිලියන 500 ක් මේ සඳහා ලබා දීමට අප යෝජනා කරනවා.
වෙළෙඳපොළේ වී සහ සහල් තොග එකතු කිරීම සහ ගබඩා කිරීම නියාමනය කිරීම සඳහා නියාමන රාමුවක් සකස් කිරීම අවශ්‍ය වෙනවා. ඒ සඳහා, වී සහ සහල් එකතු කිරීම සහ ගබඩා කිරීම නියාමනය කිරීමේ බලතල පැවරීම සඳහා වී අලෙවි මණ්ඩල පනත සංශෝධනය කිරීමට අප යෝජනා කරනවා.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව (LRC), ප්‍රාදේශීය වැවිලි සමාගම් (RPCs), ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය (NLDB) විසින් පාලනය කරන ඇතැම් වතු, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව (SLSPC), ජනතා වතු සංවර්ධන මණ්ඩලය (JEDB) විසින් කළමනාකරණය කරනු ලබන, ඌන උපයෝජිත ඉඩම් හඳුනාගෙන එම ඉඩම්වල යෝග්‍යභාවය පිළිබඳ සැලකිල්ලට ගෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් ඇතුළත් පුද්ගලික ආයෝජන සඳහා යොමු කිරීමට කටයුතු කරනවා. මේ සම්බන්ධයෙන් මූලික කටයුතු සිදුකිරීමට අප රුපියල් මිලියන 250 ක් වෙන් කරනවා.
වර්තමානයේ සාර්ථක නිෂ්පාදක සමුපකාර ක්‍රමවේද පිළිබඳ ගෝලීය උදාහරණ බොහොමයක් තිබෙනවා. ෆොන්ටෙරා, නවසීලන්ත කිරි නිෂ්පාදන සමුපකාරයක්. අමුල් යනු ඉන්දියානු කිරි ගොවි සමුපකාරය වන අතර, ස්පාඤ්ඤයේ මොන්ඩ්‍රගොන් සේවක සමුපකාරය මේවාට හොඳ ගෝලීය උදාහරණ වනවා.
සමූපකාර යාන්ත්‍රණය දියුණු කරන විකල්ප නිෂ්පාදන ප්‍රවේශයක් අනුගමනය කිරීමට අප යෝජනා කරනවා. ඉඩම්, කෘෂිකාර්මික ව්‍යාප්ති සේවා සහ වෙනත් ආධාර සැපයීම තුළින් රජය මෙම සමුපකාර යාන්ත්‍රණයන්ට සහාය දීමට අපේක්‍ෂිතයි. මෙම ක්‍රමවේදයේ නීතිමය රාමුව තවදුරටත් ශක්තිමත් කිරීමට සහ අවශ්‍ය යටිතල පහසුකම් සහ මූල්‍ය දිරිගැන්වීම් ලබාදීම සඳහා 2025 වසරේ දී රුපියල් මිලියන 100 ක් වෙන් කරනු ලබනවා.
කෘෂිකර්මාන්තය පදනම් කරගත් ව්‍යාපාර ආරම්භ කිරීමට මුලපුරන, සුළු හා මධ්‍ය පරිමාණ තරුණ ව්‍යවසායකයින් සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා. මේ සඳහා රුපියල් මිලියන 500 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
දැනට දේශීය කිරි නිෂ්පාදනය ප්‍රමාණවත් වන්නේ දේශීය ඉල්ලුමෙන් සියයට 45 ක් පමණ සපුරාලීමට පමණයි. කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා කිරි නිෂ්පාදන අගය දාම වැඩිදියුණු කිරීම සහ දැනට ක්‍රියාත්මක වන අන්තර් සම්බන්ධතා සංවර්ධන ව්‍යාපෘතිය හරහා කිරි ගොවිපල ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා 2025-2026 වසර සඳහා රුපියල් මිලියන 2,500 ක් ආයෝජනය කිරීමට අප යෝජනා කරනවා. .
ග්‍රාමීය ජනගහනයෙන් සියයට 75 ක් පමණ කෘෂිකාර්මික අංශය පදනම් කරගත් ආර්ථිකයක් තුළ කටයුතු කරනවා. 2025 වසරේ වාරිමාර්ග අංශයේ සංවර්ධනය සඳහා රාජ්‍ය අංශයේ සමස්ත ආයෝජනය රුපියල් මිලියන 78,000 ක් වෙනවා.
මල්වතු ඔය, ගිංගඟ, නිල්වලා, මාදුරුඔය දකුණු ඉවුර සංවර්ධනය, මුන්දේනි ආරු ව්‍යාපෘතිය ඇතුළු නව ජල සම්පත් සංවර්ධන ව්‍යාපෘති මධ්‍ය කාලීනව පවතින මූල්‍ය අවකාශය තුළ ප්‍රමුඛතාව සලකා ක්‍රමානුකූලව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා.
ගල්ඔය, රාජාංගනය, මින්නේරිය සහ හුරුළු වැව යෝජනාක්‍රමවල පහළ සංවර්ධන කටයුතු ප්‍රතිසංස්කරණය කිරීම සඳහා 2025 දී රුපියල් මිලියන 2,000 ක් ලබාදීමට අප යෝජනා කරනවා.
පොල් නිෂ්පාදන සඳහා ගෝලීය ඉල්ලුම අඛණ්ඩව වැඩිවෙමින් පවතින අතර, කර්මාන්තකරුවන් විසින් පුරෝකථනය කර ඇති පරිදි, 2030 වසරේ දී රටේ මුළු ගෙඩි අවශ්‍යතාවය ගෙඩි මිලියන 4,500 ක් වනවා. එහිදී ගෙඩි මිලියන 1,800 ක් ගෘහස්ත පරිභෝජනය සඳහා භාවිතා කිරීමට අපේක්ෂා කරන අතර ඉතිරි ගෙඩි මිලියන 2,700 කර්මාන්ත කටයුතු සඳහා භාවිතා කිරීමට අපේක්ෂා කරනවා.
පොල් පර්යේෂණ ආයතනයේ නිර්දේශ මත ස්ථාපිත උතුරු පොල් ත්‍රිකෝණයේ නව පොල් ඉඩම් අක්කර 16,000 ක් සිටුවීම සඳහා උතුරු ප්‍රදේශයේ වගාකරුවන්ට ඉහළ අස්වැන්නක් සහිත පොල් පැළ සහ ඉඩම් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 500 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
කුරුඳු වැනි සාම්ප්‍රදායික අපනයනවල අගය එකතු කිරීම පුළුල් කිරීම සඳහා පියවර ගැනීමට නියමිතයි. මෙම නිෂ්පාදන අලෙවිකරණය සහ ප්‍රවර්ධනය ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාල හරහා වැඩි දියුණු කිරීමට අපේක්ෂා කරනවා. සැපයුම් වල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සහ ජාත්‍යන්තර හවුල් ව්‍යාපාර හරහා අගය එකතු කළ අපනයනකරුවන් සමඟ සම්බන්ධ වීමට පහසුකම් සැලසීම සඳහා රජය ගොවීන්ට තාක්ෂණික සහාය ලබා දෙනවා.
ගෝලීය වටිනාකම් දාමයන්ට සම්බන්ධ වීම සඳහා, ලංකා කුරුඳු සහ අනෙකුත් අපනයන භෝග සඳහා ඒකාබද්ධ නිෂ්පාදන සංවර්ධන සහ වෙළඳ ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 250 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
මිරිදිය ඉස්සන් බීජ ලබාගැනීමේ හැකියාව සීමිත වීම ශ්‍රී ලංකාවේ මිරිදිය ඉස්සන් වගා කර්මාන්තය සහ සාම්ප්‍රදායික නොවන ජලජීවී වගාව තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා ප්‍රධාන බාධාවක් ලෙස හඳුනාගෙන තිබෙනවා. ටැංකිවල මිරිදිය ඉස්සන් ගබඩා කිරීම ප්‍රවර්ධනය කිරීම සහ අපනයන ආර්ථිකය දෙසට අනාගත නිෂ්පාදනය වැඩි දියුණු කිරීම සඳහා, ගොවි ප්‍රජාව/ධීවර සමිති සහ ප්‍රාදේශීය ප්‍රජාවන් බලගැන්වීම සහ රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව (PPP) ආකෘතියක් යටතේ මිරිදිය ඉස්සන් අභිජනනාගාර, ගොවි සමුපකාර සහ අලෙවිකරණ ජාල ස්ථාපිත කිරීම සහ එවැනි අලෙවිකරණ ජාල සමඟ සම්බන්ධ වීමට ගොවි සමිතිවලට පහසුකම් සලසනවා. මේ සඳහා, රුපියල් මිලියන 200 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
වයස්ගත ජනගහනය වැඩිවීම, කාන්තා ශ්‍රම බලකා සහභාගීත්වය අඩු වීම සහ ශ්‍රම වෙළඳපොළ හැකිලීම ආදී හේතු නිසා රට තුළ අභියෝගාත්මක තත්වයක් නිර්මාණය වී තිබෙනවා. තවද, ළමුන්, අඩු ආදායම්ලාභී කාන්තාවන්, වැඩිහිටියන්, දුප්පතුන් සහ විශේෂ හැකියා සහිත පුද්ගලයින් ඇතුළුව ඇතැම් කොටස් අතර අසමානතාවයන් සහ අවදානම් විශේෂයෙන් පවතින බව නිරීක්ෂණය වෙනවා. එබැවින්, ඵලදායී හා සමාන හවුල්කරුවන් ලෙස සමාජයට ඒකාබද්ධ කර ගනිමින් ඔවුන් ආරක්ෂා කිරීම සහ බලගැන්වීම රජයේ වගකීමක්.
අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් මත පැටවී ඇති බර ලිහිල් කිරීම සඳහා, සමාජ ප්‍රතිලාභ ලේඛනයේ සිටින අය සඳහා මුදල් ප්‍රදාන වැඩි කිරීමෙන් ඔවුන් ආරක්ෂා කිරීමට රජය අවශ්‍ය පියවර ගන්නවා. ඒ අනුව, රජය 2025 වසරේ දී සමාජ ආරක්ෂණ වියදම් සඳහා රුපියල් බිලියන 232.5 දක්වා ශුද්ධ වියදම වැඩි කර තිබෙනවා. දුප්පතුන් සහ අන්ත දුප්පතුන් යන සමාජ කණ්ඩායම් දෙකටම ගෙවනු ලබන මාසික ප්‍රතිලාභ දීමනාව පිළිවෙලින් රුපියල් 8,500 සිට රුපියල් 10,000 දක්වා සහ රුපියල් 15,000 සිට රුපියල් 17,500 දක්වා 2025 ජනවාරි සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කළා. 2025 මාර්තු 31 වන දින ගෙවීම් අවසන් වීමට නියමිතව තිබූ සංක්‍රාන්ති මට්ටමේ සිටි සමාජ කණ්ඩායම් සඳහා ප්‍රතිලාභ ගෙවීමේ කාලය 2025 අප්‍රේල් 30 දක්වා දීර්ඝ කිරීමට අප යෝජනා කරනවා. තවද, අස්වැසුම වැඩසටහනට ඇතුලත් නොවූ, එහෙත් සුදුසුකම් ලත් අයට යෝජනා ක්‍රමයට ඇතුළත් වීමට තවත් අවස්ථාවක් ලබා දෙමින් 2025 මැයි මාසයේ දී නව තෝරාගැනීම් අවසන් කිරීමට අපේක්ෂා කරනවා.
වකුගඩු රෝගීන් සහ ආබාධ සහිත පුද්ගලයින් සඳහා වන මාසික දීමනා රුපියල් 7,500 සිට රුපියල් 10,000 දක්වා සහ වැඩිහිටි පුද්ගලයින් සඳහා වන මාසික දීමනා රුපියල් 3,000 සිට රුපියල් 5,000 දක්වා 2025 අප්‍රේල් සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරීමට අප යෝජනා කරනවා.
රජයේ ප්‍රතිපත්තිය අනුව මිලියන 1.2 ක් වූ අස්වැසුම ප්‍රතිලාභීන් සංඛ්‍යාවක් දේශීය සහ විදේශීය අරමුදල් භාවිතා කර සවිබල ගන්වනවා. ආසියානු සංවර්ධන බැංකුවේ සහ ලෝක බැංකුවේ අරමුදල් සපයන ව්‍යාපෘතිවල සහය ඇතිව නියමු ව්‍යාපෘතියක් යටතේ, සවි බල ගැන්විය යුතු පවුල් විසිපන්දහසක් තෝරා ගෙන තිබෙනවා. විභවතාවය සහිත/ සුදුසුකම්ලත් ඉතිරි පවුල් ක්‍රමානුකූලව, දේශීය අරමුදල් යොදා ගනිමින් සවිබල ගැන්වීමට අපේක්ෂා කරනවා. ඒ අනුව, සවි බලගැන්වීමේ වැඩසටහන සඳහා වෙන්කිරීම් රුපියල් මිලියන 500 කින් වැඩි කිරීමට අප යෝජනා කරනවා.
අධ්‍යාපනයට අදාළ ලිපි ද්‍රව්‍ය සහ පොත්පත් මිලදී ගැනීමට සහාය වීම සඳහා අඩු ආදායම් ලත් කණ්ඩායම්වලින් එක් සිසුවෙකු සඳහා රුපියල් 6,000 ක් ලබා දීම දැනටමත් ප්‍රකාශයට පත් කර ක්‍රියාත්මක කර තිබෙනවා. විශේෂයෙන්ම ආර්ථික අර්බුදයේ දිගුකාලීන බලපෑම්වලට ඔරොත්තු දීමට උපකාර කිරීම සඳහා ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය මාර්ගයට ආධාර කිරීම පිණිස 2024 වසරේ ඔක්තෝබර් මාසයේ සිට 2025 වසරේ මාර්තු මාසය දක්වා කාලපරිච්ඡේදය තුළ භූමිතෙල් සහනාධාරය වෙනුවෙන් ලබා දී ඇති මුළු මුදල රුපියල් බිලියන 3 ක්.
මේ වන විට සහතික ලත් පාසල්/රැඳවුම් නිවාස/ළමා නිවාස 379 ක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මෙයින් ආයතන 47 ක් රජය විසින් ක්‍රියාත්මක කරනවා. මෙම නිවාසයන්හි පහසුකම් ඉතා අඩු මට්ටමක පවතින අතර ඇතැම් ස්ථානවල ආරක්ෂාව පවා ප්‍රමාණවත් නොවන බව පෙනී ගොස් තිබෙනවා. ඇතැම් ගොඩනැගිලි අලුත්වැඩියා කළයුතු වන අතර ඇතැම් දිස්ත්‍රික්කවල පවතින නිවාසවල ප්‍රමාණවත් ඉඩකඩක් පවා නොමැති බවත් පෙනී යනවා.
එබැවින්, ළමයින්ගේ සුරැකුම් මධ්‍යස්ථානවල ධාරිතාවය භෞතික වශයෙන් සහ මානව සම්පත් සංවර්ධනය යන අංශ වලින් වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ වෙනුවෙන් රුපියල් මිලියන 500 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
ප්‍රමාණවත් නොවන ප්‍රවාහන පහසුකම් ඇතුළු බොහෝ හේතූන් මත ආයතනගත නිවස්නයන්හි සිටින ළමයින් දැඩි අවදානමක සිටින බව අප විසින් නිරීක්ෂණය කර තිබෙනවා. ඒ අනුව ඒ සඳහා සුදුසු වාහන මිලට ගැනීමට 2025 වසර සඳහා රුපියල් මිලියන 250 ක මුදලක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව සහ සෑම පුරවැසියෙකුටම ගෞරවාන්විත සහ සුරක්ෂිත ජීවිතයක් ගත කිරීමට අවස්ථාව ලබා දීම සහතික කිරීමට රජය දක්වන කැපවීමට අනුකූලව, අනාථ දරුවන් සඳහා පුළුල් සමාජ ආරක්ෂණ සහ නිවාස ලබාදීමට අප යෝජනා කරනවා. මෙම මූලික ක්‍රියාමාර්ගයන් ඔවුන්ට දිගුකාලීන සහයෝගය, කුසලතා සංවර්ධනය සහ මූල්‍ය සුරක්ෂිතභාවය ලබා දෙන අතර, ආර්ථිකයට ධනාත්මක ලෙස දායක විය හැකි සවිබල ගැන්වූ පුද්ගලයන් ලෙස ඔවුන්ගේ යහපැවැත්ම සහ සමාජයට ඒකාබද්ධ වීම සහතික කරනු ඇත.
2025 වසරේ අයවැය මගින් රජයේ ආයතනවල සහ රැඳවුම් නිවාසවල දරුවන්ගේ සුබසාධනය සඳහා යෝජනා ඉදිරිපත් කර ඇත. මෙම යෝජනා ක්‍රියාත්මක කිරීමේදී අදාළ ආයතන පහත කරුණුවලට ප්‍රමුඛත්වය දිය යුතුය.
ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක් එක් හෝ වැඩි ආබාධයකින් පෙළෙනවා. ඔවුන්ගේ ව්‍යාප්තිය, දුෂ්කරතා, අධ්‍යාපන මට්ටම, ආර්ථික කටයුතුවල නියැලීමේ හැකියාවන් සහ රැකියා පිළිබඳ විශ්වාසදායක දත්ත පදනමක් නොමැති බව අපට නිරීක්ෂණය වන කරුණක්. එබැවින්, 2025 වර්ෂයේ දී ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සමඟ සහයෝගයෙන් ආබාධ සහිත පුද්ගලයින් සඳහා වූ ලේකම් කාර්යාලය යටතේ ආබාධ සහිත පුද්ගලයන් පිලිබඳ පුළුල් දත්ත සමුදායක් ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 100 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
ආපදා නිසා ජීවිත අහිමි වූ සහ ස්ථිර වශයෙන් ආබාධිතභාවයට පත් වූ පුද්ගලයන්ට මේ වනවිට රුපියල් 250,000 ක වන්දියක් ගෙවනු ලැබේ. ස්වභාවික ආපදා සහ වන සත්වයන්ගෙන් සිදුවන හානි නිසා සිදුවන මරණ හා පූර්ණ ආබාධිත තත්වයන් සඳහා ගෙවන වන්දි මුදල රුපියල් 1,000,000 දක්වා ඉහල නැංවීමට ක්‍රියාමාර්ග ගෙන ඇත.
ආපදාවන් නිසා හානියට ලක් වූ ලමා නිවාස, වැඩිහිටි නිවාස සහ ආබාධ සහිත පුද්ගලයන් සඳහා වූ මධ්‍යස්ථාන ආදී වූ දේපොල සඳහා රුපියල් මිලියන 2.5 ක වන්දි මුදලක් ලැබෙන යෝජනා ක්‍රමයක් හඳුන්වා දී තිබේ.
නව යොවුන් වියේ පසුවන්නන් අතර සියදිවි නසාගැනීම් පිළිබඳ අවාසනාවන්ත සිදුවීම් රාශියක් අප අත්විඳිමින් සිටිනවා. මෙම ගැටලුවේ බරපතලකම සමාජ ගැටලුවක් ලෙස රජය හඳුනාගෙන තිබෙනවා. එබැවින්, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් සිසුන් සහ නව යොවුන් වියේ පසුවන්නන් සඳහා දැනුවත් කිරීමේ සහ උපදේශන සේවා පුළුල් කිරීම සඳහා මධ්‍ය කාලීන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා 2025 වසරේ රුපියල් මිලියන 250 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
ආබාධ සහිත පුද්ගලයින් සඳහා සහායක උපකරණ ඉතා වැදගත් වන අතර ඒවා ඔවුන්ගේ ශරීරයේ කොටසක් ලෙස සැලකේ. සියලුම පළාත්වල මෙම උපකරණ දේශීයව නිෂ්පාදනය කිරීමේ පහසුකම් පුළුල් කිරීම සඳහා පුළුල් වැඩසටහනක් අවශ්‍ය බව රජය අවබෝධ කරගෙන තිබෙනවා. එබැවින්, 2025 දී මේ සඳහා රුපියල් මිලියන 500 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා. මුලදී, රාගම රක්තවේදය සහ පුනරුත්ථාපන රෝහලේ සහායක උපකරණ නිෂ්පාදන පහසුකම ජාතික මධ්‍යස්ථානය ලෙස පුළුල් කරනු ලබන අතර අවශ්‍ය පරිදි කලාපීය නිෂ්පාදන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට අපේක්ෂා කරනවා.
වැඩිවූ ජීවන වියදම අඩු කිරීම සඳහා ආධාරක පියවරක් ලෙස දැරිය හැකි මිලකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට ඉඩ සලසමින් උත්සව සමය සඳහා ආහාර පැකේජයක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව, ඉදිරි අලුත් අවුරුදු සමයේදී ලංකා සතොස සමාගම හරහා සහල්, ටින් මාළු, පරිප්පු, ළූණු, අර්තාපල් සහ කරවල ඇතුළු වියළි ආහාර සලාකයක් ලබා දීමට යෝජනා කරනවා. මෙම සලාක ලබාදීමේ පිරිවැය වෙනුවෙන් අප රුපියල් මිලියන 1,000 ක් ලබා දීමට යෝජනා කරනවා.
ශ්‍රී ලංකාවේ විදෙස්ගත ශ්‍රමිකයින්, විදේශ විනිමය ප්‍රේෂණ සහ විදේශ රැකියාවලින් පසුව ඔවුන් ආපසු මව්බිමට ගෙන එන කුසලතා යන දෙඅංශයෙන්ම රටේ සංවර්ධනය සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. මෙම වැදගත් ශ්‍රී ලාංකික ප්‍රජාව දිරිගැන්වීමේ සහ ත්‍යාග පිරිනැමීමේ ක්‍රම අපි ගවේෂණය කරමින් සිටිනවා. පළමු පියවර වශයෙන්, ශ්‍රී ලංකාවේ විදෙස්ගත ශ්‍රමිකයන් නැවත මෙරටට පැමිණෙන විට ගුවන්තොටුපොලේ දී ඔවුන් සඳහා තීරුබදු නිදහස් සීමාව (duty free allowance) වැඩිකිරීමට අප යෝජනා කරනවා. පවතින විකල්ප පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යයනයකින් පසුව දීමනාව සඳහා වන නිර්ණායක සහ පදනම තීරණය කර ප්‍රසිද්ධ කරනු ලැබේ.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂ පොලී යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට අප යෝජනා කරනවා. මෙම යෝජනා ක්‍රමය යටතේ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් සුදුසුකම් ලබන අතර ඔවුන්ගේ මූල්‍ය ස්ථාවරත්වය සහතික කිරීම සඳහා රුපියල් මිලියන 1 ක් දක්වා වසරක ස්ථාවර තැන්පතු සඳහා වෙළෙඳපොළේ පවතින පොලී අනුපාතවලට වඩා සියයට 3 ක වාර්ෂික අතිරේක පොලී අනුපාතයක් ලබා දීමට යෝජනා කරනවා . මෙම යෝජනාක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ගෙවිය යුතු සියයට 3 ක අමතර පොලියට අවශ්‍ය ප්‍රතිපාදන සඳහා රුපියල් මිලියන 15,000 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා. මෙය 2025 ජූලි මාසයේ සිට ක්‍රියාත්මක වනු ඇත.
සමාජයේ විවිධ කොටස් වලට බලපාන, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම, ශ්‍රී ලංකාවේ සැලකියයුතු ගැටළුවක් බවට පත්වී තිබෙනවා. එබැවින්, දඬුවම් කිරීමෙන් එහා ගිය බහුවිධ ක්‍රමවේදයන් ඔස්සේ මත්ද්‍රව්‍යවලින් තොර සමාජයක් ඇති කිරීමේ වැදගත්කම රජය හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව, දැනුවත් කිරීමේ වැඩසටහන්, උපදේශනය ඇතුළු පුනරුත්ථාපන කටයුතු, සමාජ බලගැන්වීම සහ සමාජගත කිරීම සහ නීතිය බලාත්මක කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් සකස් කිරීමට අප යෝජනා කරනවා. ඒ අනුව, මතින් තොර සමාජයක් ඇති කිරීමේ පුළුල් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 500 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
දැනට දිවයින පුරා පිහිටි බන්ධනාගාර 37 ක සිරකරුවන් 30,000 ක් පමණ සිටිනවා. ඔවුන්ගෙන් තුනෙන් එකක් වැරදිකරුවන් වන අතර අනෙක් අය රිමාන්ඩ් සිරකරුවන්. සිරකරුවන් ද මනුෂ්‍යයන් ය යන මතය උල්ලංඝණය කරන බන්ධනාගාරවල තදබදය අධික වීම, ඔවුන්ගේ ජීවන තත්ත්වය පිරිහීමට හේතු වේ.
සිරකරුවන්ගෙන් සියයට 65 ක් පමණ ඔවුන්ගේ වැඩ කරන වයසේ එනම් අවුරුදු 40 ට අඩු වයස් සිමාවේ උපරිමයට පැමිණ සිටියි. එබැවින්, වෘත්තීය පුහුණු ආයතන සමඟ එක්ව රැකියා කළ හැකි සහ නිසි ඇගයීමක් ලබා ගත හැකි කුසලතා සංවර්ධනයට අදාළ පාඨමාලා පවත්වා අදාළ වෘත්තීය සුදුසුකම් ප්‍රදානය කිරීමට අප යෝජනා කරනවා. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා දැනට වෙන් කරන ඇති මුදල රුපියල්මිලියන 100 කින් වැඩි කරනවා.
කාර්යක්ෂම පොදු ප්‍රවාහන පද්ධතියක් යනු අර්ථවත් ආර්ථික කටයුතු සහ සංචරණය සඳහා මිනිසුන්ගේ ප්‍රවේශය වැඩි දියුණු කිරීමේ තීරණාත්මක අංගයක්. එබැවින් නාගරික සහ තදාසන්න ප්‍රදේශවල වැඩිවන මගී ඉල්ලුමට සරිලන විධියට පවතින පොදු ප්‍රවාහන පද්ධතිය නව තාක්‍ෂණය සමඟ වැඩිදියුණු කිරීම සහ නව ප්‍රවාහන ක්‍රම හඳුන්වාදීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ අනුව, මහාමාර්ග සහ දුම්රිය යන ප්‍රවාහන පද්ධති දෙකම වැඩිදියුණු කිරීම හා නවීකරණය කිරීම කාලෝචිත අවශ්‍යතාවයක්.
පොදු ප්‍රවාහනය වැඩිදියුණු කිරීමේ මූලික පියවරක් ලෙස නවීන සහ සුවපහසු, දියුණු තාක්ෂණයන් සහිත බස්රථ සමූහයක් නියමු ව්‍යාපෘතියක් ලෙස හඳුන්වා දීමට අප කටයුතු කරනවා. ඒ අනුව, කොළඹ නගර ප්‍රදේශය තුළ ප්‍රධාන මාර්ග කොරිඩෝ තුනක් ඔස්සේ මගී ප්‍රවේශය සඳහා පහත් පතුලක් සහිත (low floor buses) සැපපහසු බස් රථ 100 ක් යෙදවීමට අපේක්ෂා කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 3,000 ක් වෙන්කිරීමට අප යෝජනා කරනවා. මීට අමතරව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් මගී ප්‍රවේශයට පහසු, පහත් පතුලක් සහිත බස් රථ 200 ක් තම අරමුදල් යොදාගනිමින් සේවයේ යොදවනු ඇති. මෙම බස් රථ මෙට්‍රෝ බස් සමාගම් ලෙස හඳුන්වන අලුතින් ස්ථාපිත කිරීමට අපේක්ෂිත බස් සමාගම් යටතේ ක්‍රියාත්මක වෙනවා. යෝජිත බස් සමාගම් සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය වූ ක්‍රමවේදයක් මත ක්‍රියාත්මක වනු ඇති.
දුර බැහැර මෙන්ම නාගරික සහ උප නාගරික ප්‍රදේශවල දී ද දුම්රිය පොදු ප්‍රවාහනය ඉතා වැදගත් වෙනවා. කෙසේ වුවද, මෙම දුම්රියවල දුර්වල තත්ත්වය මගීන්ගේ ආරක්ෂාවට, සුවපහසුවට සහ දුම්රියේ වේගයට සෘණාත්මකව බලපානවා.
තවද, රට තුළ නව දුම්රිය මැදිරි අලුත්වැඩියා කිරීම සහ ඉදිකිරීම කෙරෙහි අවධානය යොමු කරන අතරම එය කර්මාන්තයක් ලෙස ස්ථාපිත කිරීම වැදගත් වේ.
ඒ අනුව, එහි පළමු පියවර ලෙස දුම්රිය සේවාවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සහ වැඩිවන මගී ඉල්ලුමට සරිලන පරිදි සේවාවන් සැපයීමට, පැරණි මගී දුම්රිය මැදිරි ප්‍රතිසංස්කරණය කිරීමට බලාපොරොත්තු වන අතර ඒ සඳහා රුපියල් මිලියන 500 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
රට තුළ ඇති නව මගී දුම්රිය අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් නව දුම්රිය මැදිරි ඉදිකිරීම ආරම්භ කිරීමට 2025 වසර සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 250 ක් වෙන්කිරීමට අප යෝජනා කරනවා.
කාර්යක්ෂම දුම්රිය සේවාවක් සැපයීම සහ පොදු ප්‍රවාහන පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා දැනට ක්‍රියාත්මක වන කැලණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල්ලෙන් ඔබ්බට අදියර වශයෙන් දීර්ඝ කිරීමට අප යෝජනා කරනවා. ඊට අදාළ මූලික වැඩකටයුතු ආරම්භ කිරීම සඳහා 2025 අයවැය තුළින් රුපියල් මිලියන 250ක් වෙන් කරනවා.
ලංගම බස්රථ සහ පෞද්ගලික බස් ක්‍රියාකරුවන් අතර සෑම බස් මාර්ගයකම ඒකාබද්ධ කාලසටහනක් ක්‍රියාත්මක කිරීමේ හැකියාව රජය විසින් පාර්ශවකරුවන් සමඟ මනාව සාකච්ඡා කිරීමෙන් පසුව ක්‍රියාත්මක කරනවා. ප්‍රාදේශීය සංවර්ධනය සම්බන්ධයෙන් වැදගත් බලපෑම් ඇති කරන මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතිය සඳහා රජය අඛණ්ඩව ආයෝජනය කරනවා.
අධික පිරිවැය, ප්‍රවාහනයේදී පසු අස්වනු හානිය, මාර්ග තදබදය සහ පාරිසරික ගැටළු හේතුවෙන් මාර්ග ජාලය හරහා කෘෂිකාර්මික භාණ්ඩ ප්‍රවාහනය ප්‍රධාන අභියෝගයක් ලෙස පවතී. මෙයට පිළියමක් ලෙස, කෘෂිකාර්මික නිෂ්පාදන එම නිෂ්පාදන මධ්‍යස්ථානවල සිට ගමනාන්ත දක්වා ඒ සඳහාම විශේෂිත වූ දුම්රිය පාදක ප්‍රවාහනයක් හඳුන්වා දීමට අප යෝජනා කරනවා. නියමු ව්‍යාපෘතියක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රධාන කෘෂිකාර්මික කලාපයක් වන තඹුත්තේගම සිට වෙනත් සුදුසු ගමනාන්ත වෙත කෘෂිකාර්මික නිෂ්පාදන ප්‍රවාහනය කිරීම පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට යෝජනා කරනවා.
අධ්‍යයනයේ නිර්දේශය මත ගබඩා පහසුකම් සහිත පැටවුම් තටාක ඇතුළත් කරමින් තඹුත්තේගම දුම්රිය ස්ථානය වැඩිදියුණු කිරීමට අප සැලසුම් කරනවා. මෙම මූලික කර්තව්‍ය සඳහා සහය දැක්වීමට ශක්‍යතා අධ්‍යයනය සඳහා රුපියල් මිලියන 100 ක් වෙන් කරනවා.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගුවන් මගීන් සහ භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ ප්‍රමුඛතම සේවාවක් ඉටු කරනවා. තවද, පසුගිය රජයන් රාජ්‍ය අයිතිය ඉවත් කර පුද්ගලික ආයෝජන ආකර්ෂණය කර ගැනීමට ගත් උත්සාහයන් ද අසාර්ථක වුනා.
මේ අනුව, රජය එම බැංකු සමඟ ගිවිසුමක් අත්සන් කර 2025 වසරේ දී ණය ආපසු ගෙවීම සඳහා මිලියන 10,000 ක් මෙන්ම පොලී ගෙවීමට රුපියල් මිලියන 10,000 ක් වැය කිරීමට නියමිතය. කලක් තිස්සේ පවතින මෙම ණය සේවා පිරිවැය රජය විසින් පියවා ගත් පසු මෙහෙයුම් ලාභදායිත්වය සහතික කිරීම සඳහා ගුවන් සමාගම සම්පූර්ණ වගකීම දරනු ඇත. මේ සඳහා සමාගම විසින් නව මධ්‍ය කාලීන උපාය මාර්ගික සැලැස්මක් සකස් කරමින් සිටී. ඒ අනුව මේ සඳහා රුපියල් මිලියන 20,000 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
ශක්තිමත් මාර්ග ජාලයක් යනු පුරවැසියන්, වෙළෙඳපොළ සහ පොදු ජනතාව සේවය ලබාගන්නා ස්ථාන සමඟ සම්බන්ධ කිරීමට අවශ්‍ය යටිතල පහසුකම්වල තීරණාත්මක අංගයක්.
ඒ අනුව දිවයින පුරා ග්‍රාමීය මාර්ග සංවර්ධනය සඳහා දැනටමත් වෙන් කර ඇති රුපියල් මිලියන 26,680 ට අමතරව, ඌන සංවර්ධිත ග්‍රාමීය ගම්මාන, සංචාරක ගමනාන්ත, කර්මාන්තපුර සහ ආර්ථික වශයෙන් වැදගත් ස්ථාන/ප්‍රදේශ සම්බන්ධ කරන මාර්ග සඳහා ප්‍රමුඛත්වය දෙමින් ග්‍රාමීය මාර්ග වැඩිදියුණු කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 3,000 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
සියලුම ජනතාවට ආරක්ෂිත සහ විශ්වාසනීය ගමනාගමනයක් සහතික කිරීම අරමුණු කරගනිමින්, ග්‍රාමීය පාලම් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 1,000 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
උතුරු පළාත ප්‍රධාන සංවර්ධන ක්‍රියාවලියෙන් බොහෝ දුරට හුදකලා වී ඇති බව නිරීක්‍ෂණය වී තිබෙනවා. කෙසේ වෙතත්, එම පළාතෙත් අපගේ ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් ලබා දීමට විශාල හැකියාවක් පවතිනවා. ඒ නිසා මූලික යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් උතුරු පළාතේ ග්‍රාමීය මාර්ග සහ පාලම් ප්‍රතිසංස්කරණය හා වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 5,000 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
වඩ්ඩුවාකල් මුහුදු මාර්ගය මුලතිව්, පුදුකුඩීරිප්පු සහ යාපනය යා කරන ප්‍රධාන මාර්ගය වන මුලතිව් නන්දිකඩාල් කලපුවේ ද්වාරය හරහා පටු පාලමක් තිබෙනවා. මෙම පාලම අබලන් තත්ත්වයක පවතින බැවින් මගී ජනතාව දැඩි අවදානමකට ලක්ව තිබෙනවා. ඒ නිසා මුලතිව් දිස්ත්‍රික්කයේ සංවර්ධන අවශ්‍යතාවලට සමගාමීව වඩ්ඩුවාකල් පාලම ඉදිකිරීමට අප යෝජනා කරනවා. ඒ අනුව, මේ සම්බන්ධ වැඩ ආරම්භ කිරීමට මෙවර අයවැය යටතේ රුපියල් මිලියන 1,000 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කරමින් විමධ්‍යගත අයවැය වැඩසටහන 2025 වසරේ ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා එක් මන්ත්‍රීවරයෙකුට 2025 වසර සඳහා රුපියල් මිලියන 10 ක් වෙන් කර ඇති අතර, ප්‍රාදේශීය විෂමතා අවම කිරීම සඳහා දැනටමත් වෙන් කර ඇති රුපියල් මිලියන 11,250 ක අයවැය ප්‍රතිපාදන වලින් රුපියල් මිලියන 2,250 ක් මේ සඳහා යොදා ගන්නවා. ඉතිරි අත්‍යවශ්‍ය සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 9,000 ක් වෙන් කරනු ලබනවා.
අප දන්නා පරිදි රජය විසින් වාර්ෂිකව අයවැය මගින් විවිධ වැඩසටහන් සඳහා විශාල ආයෝජනයක් සිදු කළ ද දිස්ත්‍රික්ක රැසක පිළිතුරු නොමැති ප්‍රශ්න තිබෙනවා. මෙම විශේෂිත ගැටළු යටිතල පහසුකම් සංවර්ධනය, දේශීය නිෂ්පාදන වැඩි දියුණු කිරීම, ඵලදායී සේවා සැපයීම, වෙළඳාම සහ අලෙවිකරණය, ආයතනික සංවර්ධනය කිරීම් යනාදිය සම්බන්ධව විය හැකිය. සියල්ල ඇතුළත් සහ තිරසාර සංවර්ධනයක් කරා ළඟා වීමට නම්, දිස්ත්‍රික්කවල අවධානය යොමු නොවූ සහ නැගී එන අවශ්‍යතාවලට විසඳුම් අවශ්‍ය වෙනවා. මෙමගින් පුද්ගලික අංශය ආර්ථික සංවර්ධනය සඳහා ආයෝජන ගෙන ඒම සඳහා උත්ප්‍රේරකයක් වන අතර මෙමගින් දේශීය ප්‍රජාවට ඔවුන්ගේ ජීවනෝපාය යහපත් ලෙස ඉහළ නැංවීමට ද හැකියාව ලැබේ. මෙම සන්දර්භය තුළ, දිස්ත්‍රික් මට්ටමින් මතුවන ගැටලු විසඳීම සඳහා 2025 වසරේ අයවැයෙන් රුපියල් මිලියන 2,000 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
නැගෙනහිර පළාත ආර්ථික සංවර්ධනය සඳහා විශාල විභවතාවයක් ඇති පළාත්වලින් එකකි. එබැවින්, අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මය, ධීවර, සංචාරක සහ ප්‍රජා සවිබල ගැන්වීම් යන ක්‍ෂේත්‍ර කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරමින් යටිතල පහසුකම් සහ ජීවනෝපාය සංවර්ධනයට සහාය වීම සඳහා ඉන්දියානු බහු-ආංශික ප්‍රදාන ආධාර සමඟ නැගෙනහිර පළාතේ පුළුල් සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අප යෝජනා කරනවා.
“මලයගම්” ජනතාව ශ්‍රී ලාංකීය ජාතියේ කොටසක් වන අතර ඔවුන් දීර්ඝ කාලයක් තිස්සේ සැලකිය යුතු දුෂ්කරතා මැද ජීවත් වෙනවා. කෙසේ වෙතත්, මෙම ප්‍රජාවගේ ජීවනෝපාය තවමත් ගෞරවනීය ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය ප්‍රමිතීන්ට වඩා පහළින් පවතින්නේ. ඒ අනුව, පහත සඳහන් මුලපිරීම් සඳහා දැනටමත් රුපියල් මිලියන 7,583 ක් අයවැය තුළ වෙන් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ කර්මාන්ත අංශය, රටෙහි ආර්ථිකයේ ප්‍රධාන වශයෙන් රැකියා අවස්ථා සැපයීම, ආදායම් වැඩි කිරීම, නවෝත්පාදනයන් ප්‍රවර්ධනය කිරීම සහ අපනයන ප්‍රවර්ධනය සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. ඒ අනුව, පහත යෝජනා ඉදිරිපත් කරනවා.
ශ්‍රී ලංකාවේ විශාල වශයෙන් ඇති ඛනිජ සම්පත්වල අගය එකතු කිරීම වැඩිදියුණු කිරීමට සහ දේශීය නිෂ්පාදන සඳහා අත්‍යවශ්‍ය කාර්මික යෙදවුම් සැපයීමේ අරමුණින්, අම්ල සහ ක්ෂාර ඇතුළු රසායනික නිෂ්පාදන සඳහා වෙන් වූ කාර්මික කලාපයක් පරන්තන් හි පිහිටුවීමට යෝජනා කරනවා. තවද, කන්කසන්තුරේ, මාන්කුලම්, ඉරණවිල, ත්‍රිකුණාමලය සහ කුරුණෑගල සහ ගාල්ල යන ප්‍රදේශ වල ආරම්භකර අඩාල වී ඇති කාර්මික කලාප, කාර්මික උද්‍යාන (techno park) සංවර්ධනය කරනු ලැබේ. මේ සඳහා, රුපියල් මිලියන 500 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
උපාංග නිෂ්පාදන කර්මාන්තයට අවශ්‍ය ඉල්ලුම සපුරාලීම සඳහා දේශීය වශයෙන් අගය එකතු කළ මෝටර් රථ නිෂ්පාදන/එකලස් කිරීමේ කර්මාන්තය සහ රබර් නිෂ්පාදනය සඳහා සැලකිය යුතු මට්ටමේ ආයෝජනයක් අපනයන වෙළඳපොළේ තරඟකාරී වීම සඳහා අවශ්‍ය වනවා.
මෙම අරමුණින්, මෝටර් රථ උපාංග සහ රබර් නිෂ්පාදනය සඳහා කැප වූ කාර්මික ජනපදයක් ස්ථාපිත කිරීමට අප යෝජනා කරනවා. කර්මාන්ත අමාත්‍යාංශය යටතේ දැනටමත් වෙන් කර ඇති රුපියල් මිලියන 1,500 ක අයවැය ප්‍රතිපාදන තුළ මෙම අවශ්‍යතාවය කළමනාකරණය කිරීමට අප යෝජනා කරනවා.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ශ්‍රී ලංකාව සහ සමස්ථ ශ්‍රී ලාංකීය සමාජය ඉහළ මට්ටමකට තිරසාරව ඔසවා තැබීම සඳහා සමාජීය සංවර්ධනය, පාරිසරික සංවර්ධනය සහ ආචාර ධර්ම සංවර්ධනය යන ප්‍රධාන කුළුණු තුන ඔස්සේ ක්‍රියාත්මක කරන දැවැන්ත වැඩසටහනකි. මේ සඳහා සමස්ත මහජනතාව, රාජ්‍ය යාන්ත්‍රණය, ව්‍යවසායකයින්, ව්‍යාපාරිකයින් ඇතුළු පෞද්ගලික අංශය, ජාතික සහ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන, විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාව, ජාත්‍යන්තර ආධාර දෙන ආයතන, විවිධ වෘත්තිකයින් විශේෂඥයන් ඇතුළු සියළු දෙනාගේ සහයෝගය ලබා ගැනීමට සැලසුම් කර ක්‍රියාත්මක කරමින් පවතී.
මේ යටතේ, ශ්‍රී ලාංකික සමාජයේ විවිධ ජාතීන් අතර, විවිධ ආගම් අතර, විවිධ වූ ජන කොටස් අතර සබැඳියාව, අන්නෝන්‍ය අවබෝධය සහ සහයෝගීතාවය ප්‍රවර්ධනය කරමින් සියළු ජන කොටස්වලට එක්ව සතුටු විය හැකි සංස්කෘතික උළෙලක් පැවැත්වීම, අප රටේ ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් වන වෙනස් හැකියාවන් පවතින කොටස් සඳහා පහසුකම් නිර්මාණය කිරීම, සංචාරක ව්‍යාපාරය සඳහා ත්‍රීවීල්, ටැක්සි රියදුරන් සහ සංචාරක මග පෙන්වන්නන් වැනි පහසුකම් සපයන්නන්ගේ ආචාරධර්ම ප්‍රවර්ධනය සහ ධාරිතා වර්ධනය, පෞරාණික උරුමයන් සහිත තෝරාගත් නගර කිහිපයක් පෞරාණික අනන්‍යතාවය සහිතව ප්‍රතිනිර්මාණය කිරීම, අඩු පහසුකම් සහිත තොරාගත් පළාත් පාසල් සඳහා ගොඩනැගිලි අළුත්වැඩියාව, පාසල් උපකරණ අළුත්වැඩියාව, සහ සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීම, පූර්ව ළමාවිය සංවර්ධනය සඳහා පෞද්ගලික අංශයේද දායකත්වයෙන් ඉහළ ප්‍රමිතියෙන් යුතු අධ්‍යයන පරිසරයක් ගොඩනැගීම, නාගරික ප්‍රදේශවල සනීපාරක්ෂක පහසුකම් ප්‍රවර්ධනය, ආහාරපානවල පිරිසිදුභාවය තහවුරු කිරීම, මාර්ග ආරක්ෂාව ප්‍රවර්ධනය, මත් ද්‍රව්‍ය නිවාරණය, අයාලේ යන වීදි සතුන් කළමනාකරණය, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය, වෙරළ තීරය ආකර්ෂණීය සහ පාරිසරිකව තිරසාර ලෙස නිර්මාණය කිරීම, ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණය සහ ගංගාවල ජලයේ ගුණාත්මකභාවය ප්‍රවර්ධනය කිරීම, රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම, ඉහළ සම්පත් උපයෝගීතාවයක් ඇති කිරීම සහ සුපිළිපන් රාජ්‍ය සේවයක් ගොඩනැගීම, සහ ක්ලීන් ශ්‍රී ලංකා සංකල්පය ප්‍රවර්ධනය සහ ප්‍රචාරණය සිදු කිරීමට අපේක්ෂිතය.
මේ සඳහා සහායෝගය ලබා දෙන්නන්ගේ මූල්‍යමය දායකත්වයට අමතර වශයෙන් 2025 වර්ෂයේ රාජ්‍ය අයවැය මගින් රුපියල් මිලියන 5000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
රටේ බොහෝ ප්‍රදේශවල ඝන අපද්‍රව්‍ය කළමනාකරණය ඉහළ යමින් පවතින ගැටලුවක්. සැලකිය යුතු ඓතිහාසික හා සංස්කෘතික වටිනාකමක් ඇති නගරයක් වන අනුරාධපුරයේ පවත්නා ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ගැටලුව එවැනි එක් උදාහරණයකි. වැඩිවන ජනගහනයත් සමඟ අනුරාධපුර ශික්ෂණ රෝහලේ සහ සාමාන්‍ය රෝහල් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම අභියෝගයක් වී ඇති අතර එය මහජන සෞඛ්‍යයට සහ පරිසරයට ද තර්ජනයක් වී ඇත. මෙයට මුහුණ දීම සඳහා, අපද්‍රව්‍ය බැහැර කිරීමේ පහසුකම් සඳහා රුපියල් මිලියන 750 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා. මෙම මූලාරම්භයන් අනුරාධපුර නගරයේ පවිත්‍රතාව ඉහළ නැංවීම, පරිසරය ආරක්ෂා කිරීම සහ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට ඉවහල් වනු ඇති.
වන අලින්ගෙන් සිදුවන බෝග හානි, දේපළ විනාශය සහ ජීවිත හානි අවම කිරීම සඳහා පියවර කිහිපයක් ක්‍රියාත්මක කර ඇත. මේ සඳහා කිලෝමීටර් 5,611 ක පමණ විදුලි වැටවල් වැඩිදියුණු කිරීම ඇතුළත් වන අතර, ප්‍රතිසංස්කරණය සඳහා කිලෝමීටර් 1,456 ක් හඳුනාගෙන ඇත. මීට අමතරව, වැට දිගේ ආරක්ෂක කණු ඉදිකර අවශ්‍ය උපකරණ මිලදී ගනු ලැබේ. මීට අමතරව ආක්‍රමණශීලී ශාක ඉවත් කිරීම, වඩා හොඳ තණබිම් කළමනාකරණය සහ වැඩිදියුණු කළ ජල මූලාශ්‍ර හරහා අලි වාසස්ථාන වැඩිදියුණු කරනු ලැබේ. මෙම උත්සාහයන් සඳහා රුපියල් මිලියන 300 ක් දැනටමත් අයවැය තුළ වෙන්කර තිබෙනවා.
තවද, වනජීවී කලාප කාර්යාල, ආරක්ෂක කාර්යාල සහ බීට්ටු නිලධාරීන් ඇතුළු කාර්යාල 270 ක ධාරිතාව වැඩි දියුණු කිරීම සඳහා රුපියල් මිලියන 100 ක් වෙන් කර තිබෙනවා. මෙම අරමුදල් විදුලි වැට නඩත්තු කිරීම, වාහන සහ බෝට්ටු නඩත්තු කිරීම, වනජීවී අපරාධ වැළැක්වීම සහ අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා වන සමස්ත උත්සාහයන් සඳහා සහාය වනු ඇත. එවැනි ගැටුම්වලට ගොදුරු වූවන් සඳහා වන්දි වශයෙන් අතිරේක රුපියල් මිලියන 240 ක් වෙන් කර ඇති අතර, අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා වන මුළු අයවැය රුපියල් මිලියන 640 දක්වා වැඩි කර තිබෙනවා. එපමණක් නොව, ස්වභාවික පුනර්ජනනය ප්‍රවර්ධනය කිරීම සහ වන විනාශය ආමන්ත්‍රණය කිරීම සඳහා රුපියල් මිලියන 1,050 ක් වෙන් කර තිබෙනවා. මෙම අරමුදල් නැවත වන වගා ප්‍රයත්න, වන සංරක්ෂණ මුලපිරීම්, වාණිජ වන වගා ව්‍යාප්තිය, පාරිසරික ආරක්ෂාව සහ කඩොලාන කළමනාකරණයට සහාය වනු ඇත. එය පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරයට පහසුකම් සැලසීම, වන ආවරණය වැඩි කිරීම, ලැව් ගිනි අවම කිරීම සහ වනාන්තර ආශ්‍රිත අපරාධ වැළැක්වීම සඳහා ද කටයුතු කිරීමට අපේක්ෂා කරනවා.
පාරිසරික, සමාජ සහ පාලන යන ක්ෂේත්‍ර මත පදනම් වූ මූල්‍යකරණයේ සමෘද්ධිමත් පරිසර පද්ධතියක් පෝෂණය කිරීම සඳහා රජය තිරසාර මූල්‍යකරණයේ අවස්ථා ප්‍රයෝජනයට ගනු ඇත. දේශගුණික විපර්යාස සඳහා වන මූලික ක්‍රියාමාර්ගයන් සහ ඒ ආශ්‍රිත ප්‍රයත්නවලට සම්බන්ධ ගෝලීය වශයෙන් පවතින තිරසාර මූල්‍ය සංචිත වෙත ප්‍රවේශ වීමට පරිසර අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව සමඟ එකිනෙක සම්බන්ධීකරණයෙන් යුතුව කටයුතු කරනු ඇත.
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ක්‍රමයෙන් මිදීමත් සමඟ, මූල්‍ය අංශයේ ක්‍රියාකාරිත්වයද පැවති පීඩාකාරී තත්වයෙන් මිදී සාමාන්‍ය තත්වයට පත් වෙමින් සිටී. මූර්ත ආර්ථිකයේ වර්ධනය සඳහා උපකාරී විය හැකි ලෙස ස්ථානගත වන ආකාරයට මූල්‍ය වෙළෙඳපොළ සංවර්ධනය කිරීම සඳහා දැන් කාලය එලැඹ ඇත. ප්‍රාග්ධන වෙළෙඳපොළ උචිත පරිදි නව අංගයන් හා උපකරණ සහිතව තාක්ෂණය මුසුකර ගනිමින් සංවර්ධනය කිරීම සහ පුලුල් කිරීම අවශ්‍ය වී තිබේ. රජය පෞද්ගලික අංශයේ සහ රාජ්‍ය ආයතන සඳහා අවශ්‍ය හිමිකාරීත්ව ප්‍රාග්ධනය සහ ණය ප්‍රාග්ධනය සම්පාදනය කරගැනීමට ආයතන උනන්දු කරවීම සඳහා රජය ක්‍රියාකාරීව අවශ්‍ය කටයුතු සූදානම් කරනු ඇත.
බැංකු පොලී අනුපාතික පහත වැටෙන විට, සුලු පරිමාණ ආයෝජකයන්ට සාධාරණ ප්‍රතිලාභයක් ලැබෙන සුදුසු නිසි ලෙස නියාමනයට ලක් වූ මූල්‍ය උපකරණ තුළ ආයෝජනය කිරීමේ ප්‍රවේශය තිබීම වැදගත් වේ. භාර අරමුදල්, ආයෝජන අරමුදල් සහ අනෙක් සමූහ ආයෝජන ක්‍රමවේද මේ වෙනුවෙන් භාවිතා කිරීම පහසු කරවීම තුලින් මූල්‍ය වෙළෙඳපොළේ ඇති හිඩැස් පිරවිය හැක. මේ සඳහා නවෝත්පාදන ක්‍රමවේද සහ සංකීර්ණ ගනුදෙනු කල හැකි ක්‍රමවේද නිසි සුපරික්ෂාවෙන් යුක්තව සහ අදාල ආරක්ෂණ ක්‍රමවේදවලට අනුකූලව, ඵලදායී නියාමන පරිසරයක් තුල සිදුකිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සපයනු ලැබේ.
ආර්ථික ප්‍රගතියට ප්‍රධාන බාධාවක් වන්නේ දූෂණයයි. එබැවින්, සාමූහික උත්සාහයක් ලෙස රටේ තිරසාර ආර්ථික සංවර්ධනයට බාධා කරන ලෙස ව්‍යාප්තවන දූෂණයට විසඳුම් සෙවීමේ හදිසි අවශ්‍යතාවයක් පවතී. මෙම සන්දර්භය තුළ, රජයේ නිලධාරීන් පමණක් නොව, පෞද්ගලික අංශයේ පුද්ගලයින් සහ සෑම පුරවැසියෙකුම දූෂණය පැවතීමට අදාලව ඔවුන්ගේ දයකත්වයක් ඇත්නම් එය පිළිගත යුතුය. දූෂණය පිටුදැකීම සඳහා අවශ්‍ය නීතිමය රාමුව තවදුරටත් ශක්තිමත් කරනු ලැබේ. ශ්‍රී ලංකාවේ පාලනය, විනිවිදභාවය සහ වගවීම ශක්තිමත් කිරීම සඳහා දූෂණ විරෝධී මුලපිරීම් මෙහෙයවීම සඳහා ජාත්‍යන්තර ආයතනවල සහාය ද ඇතිව ප්‍රසාරණය වන මූල්‍ය සහ අනෙකුත් සහයෝගය සමඟ අපරාධ ආදායම පිළිබඳ පනත් කෙටුම්පත බලාත්මක කිරීම සහ අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC) තවදුරටත් ශක්තිමත් කිරීම කඩිනම් කරනු ලැබේ. එපමණක් නොව, සහයෝගී කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලියකින් පසු දැනට කෙටුම්පත් අදියරේ පවතින අපරාධ ආදායම පිළිබඳ නීති සමාලෝචනය කර ක්‍රියාත්මක කිරීමට අප අපේක්ෂා කරනවා.
“පොහොසත් රටක්- ලස්සන ජීවිතයක්” යන රජයේ ප්‍රතිපත්ති රාමුව, ප්‍රජාවන් අතර පරතරයන් පියවීමට කැපවී, සංහිඳියාවෙන් යුත් ශ්‍රී ලංකාවක් සඳහා දැක්මක් ඉදිරිපත් කරයි. එබැවින්, “ශ්‍රී ලාංකික දිනය” ජාතික උත්සවය පැවැත්වීමට මා යෝජනා කරනවා. මෙම උත්සවය පෞද්ගලික අංශයේ ද සහභාගීත්වයෙන් සංවිධානය කෙරේ. මේ සඳහා රුපියල් මිලියන 300 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
සංහිඳියා මුලපිරීම් සහ ඉඩම් නිදහස් කිරීමත් සමඟ, අභ්‍යන්තරව අවතැන් වූ ජනතාව (අභ්‍යන්තරව අවතැන් වූවන්) නැවත පදිංචි කරවනු ලබන අතර, ගැටුමෙන් පසු නැවත පදිංචි කිරීම සඳහා සරණාගතයින් උතුරු සහ නැගෙනහිර පළාත්වලට නැවත පැමිණෙමින් සිටිනවා. කෙසේ වෙතත්, නැවත පදිංචි කරන ලද පවුල්වල මූලික යටිතල පහසුකම් සහ උපයෝගිතා තවමත් ඉටු කර නැහැ.
ඒ අනුව, උතුරු සහ නැගෙනහිර ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටළු විසඳීම සඳහා බහුවිධ උපාය මාර්ගයක් ආරම්භ කිරීමට අප යෝජනා කරනවා. 2025 අයවැයෙන්, මෙම ජනතාව නැවත පදිංචි කිරීමේ අවශ්‍යතා සපුරාලීමට සහ නිවාස වැඩසටහන වේගවත් කිරීමට සහ වර්තමාන අවශ්‍යතාවය මත පදනම්ව නිවාස නොමැති පවුල්වලට අත්‍යවශ්‍ය සහන ලබා දීමට රුපියල් මිලියන 1,500 ක් වෙන් කර තිබෙනවා.
නඩත්තු නොමැතිකම සහ අවභාවිතය හේතුවෙන් මහල් නිවාසවල භෞතික තත්ත්වය දුර්වල වී තිබෙනවා. මෙම සියලු ගොඩනැඟිලිවල බාහිර මුහුණතේ ඉරිතැලීම්, විඛාදන සහ ජලය කාන්දු වැනි බොහෝ භෞතික දෝෂ තිබෙනවා. මධ්‍යම රජය විසින් ඉදිකරන ලද මහල් නිවාස සංකීර්ණවල අත්‍යවශ්‍ය නඩත්තුව සඳහා රුපියල් මිලියන 1,000 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
මහජන චීන සමූහාණ්ඩුවේ ආධාර ඇතිව නිවාස ඒකක 1,996 ක් ඉදිකරමින් පවතී. මේ තුළ අප සමාජයේ සංස්කෘතික සුපෝෂණයට විශේෂ දායකත්වයක් සපයන කලාකරුවන් සහ මාධ්‍යවේදීන් සඳහා නිවාස ඒකක 108 කින් සමන්විත මහල් නිවාස සංකීර්ණයක් කොට්ටාව, පලතුරුවත්ත ප්‍රදේශයෙන් වෙන් කෙරේ.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව විසින් සපයනු ලබන නල මාර්ග පානීය ජල ආවරණය රටේ ජනගහනයෙන් සියයට 62 ක් පමණ ප්‍රමාණයක් ආවරණය කරයි. ආරක්ෂිත ජල සැපයුම සහතික කිරීමේ ජාතික වැදගත්කම හඳුනා ගනිමින්, ගම්පහ, අත්තනගල්ල සහ මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල සැපයුම් ව්‍යාපෘතිය, අලුත්ගම, මතුගම සහ අගලවත්ත ඒකාබද්ධ ජල සැපයුම් ව්‍යාපෘතිය, පොල්ගහවෙල, අලව්ව සහ පොතුහැර ඒකාබද්ධ ජල සැපයුම් ව්‍යාපෘතිය සහ ආර්ථික අර්බුදය සහ අදාළ ණය දෙන්නන් විසින් ණය පහසුකම් අත්හිටුවීම හේතුවෙන් නිම කිරීම ප්‍රමාද වී ඇති තඹුත්තේගම ජල සැපයුම් ව්‍යාපෘතිය කඩිනමින් නිම කිරීම සඳහා අයවැය ප්‍රතිපාදන ලබාදෙනු ලැබේ. පවත්නා මූල්‍ය අවකාශය තුළ හිදිමින් වසර දෙකක කාලයක් තුළ රුපියල් මිලියන 41,234 ක් වූ අරමුදල් අවශ්‍යතාවය රජය විසින් සපයනු ඇත. ඒ අනුව, ඉහත ප්‍රමුඛතා ව්‍යාපෘති නිම කිරීම සඳහා 2025 වර්ෂය සඳහා වන ජාතික අයවැයට රුපියල් මිලියන 20,000 ක් දැනටමත් ඇතුළත් කර ඇත.
විශේෂයෙන්ම නල ජල ආවරණය සීමා සහිත ග්‍රාමීය ප්‍රදේශවල ප්‍රජා මූලික ජල සම්පාදන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය අප අවබෝධ කරගෙන තිබෙනවා. උතුරු ප්‍රදේශය සහ නිදන්ගත වකුගඩු රෝගයේ බලපෑමට ලක් වූ ප්‍රදේශ ඇතුළුව ජලය හිඟකමින් දුෂ්කරතා ඇති ප්‍රදේශවල අවදානම් තුරන් කිරීම මගින් ග්‍රාමීය ජීවිතයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා, සම්පුර්ණයෙන්ම පිරිපහදු කළ පානීය ජලය සැපයීම සඳහා ප්‍රජා මූලික ග්‍රාමීය ජල සම්පාදන යෝජනා ක්‍රම එවැනි ප්‍රදේශවල ව්‍යාප්ත කිරීමේ වැදගත්කම අප හඳුනාගෙන තියෙනවා.
ඒ අනුව, 2025 වසර සඳහා ප්‍රජා ජල සම්පාදන දෙපාර්තමේන්තුව යටතේ අයවැය ඇස්තමේන්තුවලින් වෙන් කර ඇති රුපියල් මිලියන 2,000 දැනටමත් ආරම්භ කර ඇති ප්‍රජා ජල සම්පාදන යෝජනා ක්‍රම අවසන් කිරීමටත්, නව ප්‍රජා ජල යෝජනාක්‍රම ආරම්භ කිරීමටත් යෙදවීමට අප යෝජනා කරනවා.
උතුරුමැද පළාතට අයත් ගිරිබාව සහ එප්පාවල ප්‍රදේශ වියළි කලාපයක පැවතීම නිසා ගුණාත්මක පානීය ජලය ලබාගැනීමේ දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුව ඇති අතර එමඟින් එම ප්‍රදේශයේ ජනතාවට විවිධ අවදානම් තත්ත්වයන්ට මුහුණ දීමට සිදුව තිබේ. කලාඔය හරහා කලාවැවෙන් පෝෂණය වන රාජාංගනය වැවෙන් ගිරිබාව සහ එප්පාවල ප්‍රදේශයට මතුපිට ජල මූලාශ්‍රවලින් පානීය ජලය ලබාදීමේ වැදගත්කම අප හඳුනා ගෙන තියෙනවා. ඒ සඳහා ප්‍රදේශයට නළ ජලය සැපයීම පිණිස ගිරිබාව - එප්පාවල ජල සම්පාදන යෝජනා ක්‍රමයේ මූලික කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 1,000 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
රාජ්‍ය අංශය දේශපාලඥයින්ගේ ආධාරකරුවන්ගෙන් පුරවා ගැනීමේ අතීත පුරුද්ද අප නතර කර තිබෙනවා. රජයේ දැක්මට අනුකූලව රාජ්‍ය අංශයේ බඳවා ගැනීම්, උසස්වීම් සහ ස්ථාන මාරුවීම් දේශපාලන බලපෑම්වලින් තොර සුදුසුකම් සහ කුසලතා මත පදනම්ව සිදු කිරීමට කටයුතු කරනවා.
කොවිඩ්-19 වසංගතය, ආර්ථික පසුබෑම සහ දේශපාලන අස්ථාවරත්වය විසින් එල්ල කරන ලද අභියෝග හේතුවෙන් විශාල රැකියා විරහිත උපාධිධාරී හා තරුණ පිරිසක් බිහි වී සිටී. රාජ්‍ය අංශයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු සඳහා 30,000 ක් බඳවා ගැනීමේ සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. ඒ අනුව, 2025 වසරේ දී මේ සඳහා රුපියල් මිලියන 10,000 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
රාජ්‍ය සේවයේ මූලික වැටුප් සංශෝධනයක් සිදු කොට දශකයකට ආසන්න කාලයක් ගතවී ඇති හෙයින්, සියලු සාධක සමස්තයක් ලෙස තක්සේරු කර, වැටුප් ව්‍යුහය සංශෝධනය කිරීමට දැන් කාලය පැමිණ තිබේ. රාජ්‍ය අංශයේ සේවකයන්ට යහපත් ජීවන තත්ත්වයක් ලබාදීම අවශ්‍ය වන අතර, රජයට දක්‍ෂ හා පුහුණු ශ්‍රමිකයන් ආකර්ශනය කර ගැනීමට හැකිවන අතරම අයවැය මත අධික බරක් පැටවීම වළක්වා ගත යුතුය.
ඒ අනුව, අවම මාසික මූලික වැටුප රුපියල් 24,250 සිට රුපියල් 40,000 දක්වා රුපියල් 15,750 කින් වැඩි කිරීමට අප යෝජනා කරනවා. දැනට පවතින තාවකාලික අතුරු දීමනාව සහ විශේෂ දීමනාව මූලික වැටුපට ඒකාබද්ධ කරන අතර රුපියල් 8,250 ක ශුද්ධ වැඩිවීමක් මූලික අවම වැටුපට අදාලව සිදු කිරීමට යෝජනා කරනවා.
රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීමට සමගාමීව අධිකරණ සේවා, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩල සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් සඳහා ද මෙය අදාළ වේ.
රුපියල් 15,750 ක අවම මාසික මූලික වැටුප් වැඩිවීමට අමතරව වාර්ෂික වැටුප් වර්ධකයේ වටිනාකම සියයට 80 කින් ඉහළ නැංවීමට යෝජිතය. ඒ අනුව, රුපියල් 250 ක අවම වාර්ෂික වැටුප් වර්ධකය රුපියල් 450 දක්වා ඉහළ යනු ඇත. රාජ්‍ය අංශයේ සියලුම සේවකයන්ගේ වාර්ෂික වැටුප් වර්ධකය එම ප්‍රතිශතයට ගැලපීමට ද යෝජිතය.
මෙම වැටුප් වැඩිවීමේ සමස්ත ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 325 ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. පවතින රාජ්‍ය මූල්‍ය බාධාවන් සැලකිල්ලට ගනිමින් මෙම වැටුප් වැඩිවීම අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා. මුළු ශුද්ධ වැටුප් වැඩිවීමෙන් රුපියල් 5,000ක් සහ ඉතිරි මුදලින් සියයට 30 ක් 2025 වසරේ අප්‍රේල් මාසයේ සිට ගෙවනු ලබන අතර, ඉතිරි සියයට 70, 2026 වසරේ ජනවාරි සහ 2027 වසරේ ජනවාරි මාසවලදී සමාන කොටස් වශයෙන් ගෙවනවා.
එබැවින්, 2025 වසරේ දී යෝජිත වැටුප් වැඩිවීම සඳහා රුපියල් බිලියන 110 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
මෙම වැටුප් වැඩිවීමේ කොටසක් ලෙස, යෝජිත 2025 වැටුප් ක්‍රමය යටතේ විශ්‍රාම ප්‍රතිලාභ ලැබෙන බව සහතික කරමින්, 2025 ජනවාරි මස 1 වැනිදා හෝ ඉන් පසුව විශ්‍රාම යන නිලධාරීන්ගේ විශ්‍රාම ප්‍රතිලාභ නව වැටුප් ව්‍යුහය මත ගණනය කිරීමට යෝජනා කරනවා.
රාජ්‍ය සේවකයින්ගේ අවම මූලික වැටුප වැඩි කිරීම සලකා බැලීමේදී රාජ්‍ය සේවකයින්ගේ ආපදා ණය සීමාව දැනට පවතින රුපියල් 250,000 සිට රුපියල් 400,000 දක්වා ඉහළ නංවනවා. වැටුප් වැඩිවීම පිළිබඳ වැඩිදුර විස්තර ඇමුණුම V තාක්ෂණික සටහනෙහි දක්වා තිබෙනවා.
පුද්ගලික අංශයේ සේවකයන්ගේ දැනට පවතින අවම මාසික වැටුප රුපියල් 21,000 සිට 2025 වසරේ අප්‍රේල් මස රුපියල් 27,000 ක් ලෙස සහ 2026 වසරේ සිට රුපියල් 30,000 ලෙස ඉහළ නැංවීමට සේවායෝජකයන්ගේ සංගමය (Employers’ Association) එකඟ වෙලා තිබෙනවා.
ප්‍රධාන වශයෙන් තේ, රබර් සහ පොල් යන ක්ෂේත්‍රයේ නියැලෙන වතු කම්කරුවන් මිලියන 1.5 කට ආසන්න සංඛ්‍යාවක් සිටිනවා. ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කළ යුතු බව රජයේ අදහසයි. වතුකරයේ සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කර ඇති වැඩසටහන්වලට අමතරව, දැනට යෝජිත රුපියල් 1,700 ක වැටුප ලබාදීම සඳහා රජය මැදිහත් වේ.
විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප මේ වනවිටත් රුපියල් 3,000 ක් අප විසින් ජනාධිපතිවරණය ජයගත් විගසම වැඩි කොට තිබෙනවා. 2017.12.31 දක්වා විශ්‍රාම ගිය සියලුම විශ්‍රාමිකයන් එකම වැටුප් පරිමාණයක සිටින බැවින්, 2016 - 2020 දක්වා විශ්‍රාම ගිය රජයේ සේවකයින්ගේ විශ්‍රාම වැටුප් පමණක් සංශෝධනය කිරීම තුළින් වැටුප් විෂමතාවයක් ඇති වන බව අප නිරීක්ෂණය කරනවා.
මෙම ගැටළුව දිගු කලක් තිස්සේ නොවිසඳී පවතින බැවින්, පවතින සීමිත මූල්‍ය අවකාශය තුළ එය අදියර වශයෙන් විසඳා ගත යුතු බව අප විශ්වාස කරනවා. එනිසා, 2020.01.01 දිනට පෙර විශ්‍රාම ගිය සියලුම විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප්, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 03/2016 අනුව 2020 වසරට අදාළ වැටුප් පරිමාණයන්ට අනුරූපව අදියර තුනකින් සංශෝධනය කිරීමට අප යෝජනා කරනවා.
පළමු අදියර ලෙස, 2018.01.01 දිනට පෙර විශ්‍රාම ගිය සියලුම විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප්, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 03/2016 හි 2018 වසරට අදාළ තුන්වන අදියර වැටුප් පරිමාණයන්ට අනුකූලව සංශෝධනය කරනු ලබන අතර එය 2025 ජූලි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මෙම අදියර සඳහා, 2025 අයවැය හරහා රුපියල් මිලියන 10,000 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
තවද, වැටුප් පරිවර්තනයේ සිව්වන සහ පස්වන අදියරවලට අදාළ විශ්‍රාම වැටුප් පරිවර්තනයන් පිළිවෙළින් 2026 ජූලි සහ 2027 ජූලි මාසවල සිට ක්‍රියාත්මක කිරීමට ද අප යෝජනා කරනවා.
ඉදිරි වසර තුළ රජය විසින්, වේගවත් ආර්ථික සංවර්ධනය, යහපත් ආණ්ඩුකරණය සහ ඵලදායී රාජ්‍ය සේවා සැපයීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් ශක්තිමත් නීතිමය විධිවිධාන ස්ථාපිත කිරීම සඳහා නීති ප්‍රතිසංස්කරණ ගණනාවක් හඳුන්වා දීමට අපේක්ෂා කරනවා. මෙම නීති අතරට, රාජ්‍ය ව්‍යවසායන්හි පාලනය වැඩිදියුණු කිරීම, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් සඳහා නීතිමය රාමුවක් නිර්මාණය කිරීම, ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් වූ පාලනය වැඩි දියුණු කිරීම, රාජ්‍ය වත්කම් කළමනාකරණය, සංඛ්‍යාලේඛන, දත්ත හුවමාරුව, තක්සේරු කිරීම, වත්කම් කළමනාකරණය, ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය සහ මුදල් විශුද්ධිකරණයට එරෙහි වීම සහ ත්‍රස්තවාදී මූල්‍යකරණය යනාදිය ඇතුළත් වේ. මෙම නීති පිළිබඳ වැඩි විස්තර අයවැයෙහි ඇමුණුම VIII මගින් දක්වා ඇත.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනට පදනම වී ඇත්තේ, ආදායම මූලික කරගත් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවයයි. ආර්ථික අර්බුදයට මග පාදා දෙමින්, රජයේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 7.3 ක් වූ ලෝකයේ අඩුම මට්ටමක් 2022 වසරේ දී ශ්‍රී ලංකාවේ වාර්තා වුණා.
2025 වර්ෂය සඳහා, ආදායම් උත්පාදනයෙන් වැඩි ප්‍රමාණයක් 2025 පෙබරවාරි 1 වන දින සිදු වූ මෝටර් රථ ආනයන ලිහිල්කරණය මගින් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරනවා. වාහන ආනයනය විදේශ අංශයේ ස්ථාවරත්වයට අනවශ්‍ය ඍණාත්මක බලපෑම් ඇති නොවන බව සහතික කිරීම සඳහා මෙම ක්‍රියාවලිය සැලකිලිමත් ලෙස අධීක්ෂණය කිරීම අවශ්‍ය වනවා. 2024 දෙසැම්බර් මාසයේ දී පාර්ලිමේන්තුවේ දී දැනටමත් ප්‍රකාශයට පත් කර ඇති අනෙකුත් ප්‍රධාන ආදායම් පියවර අතරට, පුද්ගලික ආදායම් බද්ද සඳහා බදු රහිත සීමාව වැඩි කිරීම, දෙවන ආදායම් බදු ස්ථරයට තවදුරටත් ගැලපීම් සිදුකිරීම, නැවුම් කිරි සහ යෝගට් සඳහා වැට් බද්ද ඉවත් කිරීම යනාදිය ඇතුළත් වේ. පෙර ආණ්ඩුව විසින් එකඟ වූ අය කරන ලද කුලී ආදායම් බද්ද මෙම වසරේ ක්‍රියාත්මක නොකිරීමට ද රජය තීරණය කර තිබෙනවා. මෙම අහිමිවන ආදායම් නැවත ලබා ගැනීම සඳහා ඩිජිටල් සේවා සඳහා වැට් බද්ද හඳුන්වාදීම, සේවා අපනයනය සඳහා සංස්ථාපිත ආදායම් බද්ද පැනවීම සහ සිගරට්/මත්පැන් සහ ක්‍රීඩා සඳහා සංස්ථාපිත බද්ද වැඩි කිරීම ඇතුළු පියවරයන් රජය දැනටමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තිබෙනවා.
මෙහි දක්වා ඇති බදු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මඟින් ශ්‍රී ලංකාවට, 2025 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15.1 ක ආදායම් ඉලක්ක සපුරා ගැනීමට හැකි වන පරිදි, අවශ්‍ය කරන ආදායම ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරනවා. කෙසේ වෙතත්, ඊට සමගාමීව, රජය බදු පරිපාලනය සහ අනුකූලතාව වැඩිදියුණු කිරීම සඳහා ඒකාබද්ධ උත්සාහයන් ගනිමින් සිටී. ඇත්ත වශයෙන්ම, ඉදිරි අයවැය සඳහා ශ්‍රී ලංකාවේ ආදායම් උපායමාර්ගය තුලින් බදු පරිපාලනය ශක්තිමත් කිරීම, අනුකූලතාව වැඩිදියුණු කිරීම, වැඩිදියුණු කළ ඩිජිටල්කරණය සහ දැඩි අධීක්ෂණ යාන්ත්‍රණ හරහා ආයතනික ශක්තිය වැඩිදියුණු කිරීම මගින් රාජ්‍ය මූල්‍ය තිරසාරභාවය වැඩි දියුණු කිරීම අරමුණු කරගනු ලබනවා. ඒ සමඟම, සමාජයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වලට සහන ලබා දීම ද අපේක්ෂා කරනවා. බදු පරිපාලනයේ මානව අන්තර්ක්‍රියා අවම කරන අතරම, කාන්දුවීම් අඩු කිරීම සහ විනිවිදභාවය වැඩි දියුණු කිරීම සඳහා බදු පද්ධති ඩිජිටල්කරණය කිරීම කෙරෙහි උත්සාහයන් යොමු කිරීමට අපේක්ෂා කරනවා.
ආර්ථිකය විධිමත් කිරීම සහ ආදායම් එකතු කිරීම වැඩිදියුණු කිරීම සඳහා වන පුළුල් ඩිජිටල්කරණ න්‍යාය පත්‍රයේ කොටසක් ලෙස, ශ්‍රී ලංකාව කාසි සහ නෝට්ටු රහිත ආර්ථිකයක් කරා ගමන් කරමින් සිටී. ඩිජිටල් ගනුදෙනු සඳහා පහසුකම් සැලසීම සහ මුදල් මත යැපීම අඩු කිරීම සඳහා ප්‍රධාන මුලපිරීමක් ලෙස, විශේෂයෙන් වැට් බදු ලියාපදිංචි ව්‍යවසායන් තුළ, ව්‍යාපාර පුරා පොයින්ට්-ඔෆ්-සේල් (PoS) යන්ත්‍ර (POS Machines) භාවිතය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා. කාසි සහ නෝට්ටු රහිත ආර්ථිකයක්, බදු පැහැර හැරීම් සහ නීති විරෝධී මූල්‍ය ක්‍රියාකාරකම් මැඩ පවත්වනවා පමණක් නොව, ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනයට දායක වන මූල්‍ය කාර්යක්ෂමතාව ද වැඩි දියුණු කරනු ඇත.
රාජ්‍ය ආදායම් උත්පාදනය කරන ආයතන ඩිජිටල්කරණය කිරීම සහ සමස්ත ඩිජිටල් ආර්ථිකය, ආදායම් වැඩි දියුණු කිරීමේ උත්සාහයන් සඳහා සැලකිය යුතු ශක්තියක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරනවා. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් වගකීමක් ඇත්තේ බදු එකතු කිරීමේ බලධාරීන්ට පමණක් නොවේ. විගණන සමාගම් සහ බදු ගණකාධිකාරීවරුන් ඇතුළු තවත් පාර්ශවකරුවන්, රජයට නිසි බදු ආදායම අහිමි නොවන පරිදි සමාජීය වශයෙන් වගකිවයුතු ආකාරයකින් තම රාජකාරි ඉටු කිරීමේ වගකීමක් ඇත. මේ සම්බන්ධයෙන්, නියාමන සහ නීතිමය රාමුවට අනුකූල වීම සහතික කිරීම සඳහා සුදුසු පියවර ගැනීමට අප අපේක්ෂා කරනවා.
මෙම බදු පරිපාලනය සහ බදු අනුකූලතා වැඩිදියුණු කිරීමේ පියවරයන් තුලින් 2025 න් ඔබ්බට ශ්‍රී ලංකාවට ආදායම් ඉලක්ක ඉක්මවා යාමට හැකි වනු ඇතැයි අප විශ්වාස කරනවා. එම අවස්ථාවේදී, ආදායම් ඉලක්ක සපුරා ගැනීමට හානියක් නොවන ආකාරයෙන් සහ රටේ රාජ්‍ය මූල්‍ය හා ආර්ථික ස්ථාවරත්වය සහතික කරන ආකාරයෙන් මහජනතාවට තවදුරටත් සහන සැලසීමට හැකි වනු ඇත.
2025 මූල්‍ය වර්ෂය සඳහා විසර්ජන පනත් කෙටුම්පත සඳහා ණය ගැනීමේ සීමාව ඇමුණුම II හි ඉදිරිපත් කර තිබෙනවා. අදාළ වියදම් සහ ආදායම් පියවර පිළිබඳ තාක්ෂණික සටහන ඇමුණුම III සහ ඇමුණුම IV හි පිළිවෙළින් දක්වා තිබෙනවා. තවද, 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත යටතේ අයවැය දෙවන වර කියවීම සමඟ ඉදිරිපත් කළ යුතු ලේඛන ද සභාගත කර තිබෙනවා.
සමාප්තිය
මම අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය යෝජනාවලිය ඇතුළත් ප්‍රතිපත්ති අපව මේ තනතුරට පත් කරමින් රටේ ජනතාව අප වෙත තැබූ බලාපොරොත්තුවේ තීරණාත්මක පිළිබිඹුවක් වෙනවා. මේ අයවැය සහිත ප්‍රතිපත්ති වැඩපිළිවෙල මගේ හුදකලා ප්‍රයත්නයක් නොවන අතර, සහමුලින්ම සාමූහික උත්සාහයක ප්‍රතිඵලයක් වෙනවා. එය සමස්ත රජයේම අධිෂ්ඨානශීලී කැපවීමක් වෙනවා. අපගේ ආණ්ඩුවේ බොහෝ දෙනෙක් පාර්ලිමේන්තුවට ආගන්තුක වුවත්, ඔවුන් සතුව ඇත්තේ විශාල අත්දැකීම් හා ප්‍රායෝගික දැනුම බව සිහිපත් කළ යුතුයි. මෙම අයවැය ප්‍රකාශය බිහි වූයේ අපේ රටේ ඉතිහාසය අලුතින් හැඩගැස්වීමේ අවස්ථාවට දායක වූ ඉමහත් කැපවීමක් ඇති, අනුග්‍රහශීලි නිලධාරීන් හා ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ අත්දැකීම්වලින්. ඒ වගේම, තමන්ගේ වෘත්තීය ජීවිතය තුළ කීර්තිමත් වූ, දේශප්‍රේමී වෘත්තිකයින්ගේ ආත්ම විශ්වාසය හා ධෛර්යයෙන්. ඔවුන් ඉතිහාසයේ පළමු වතාවට පිරිසිදු, ක්‍රියාකාරී සහ හෘදයාංගම බවින් පිරි පාලනයකට දායක විය හැකි බව දැඩිව විශ්වාස කරනවා.
ඔබ මෙම රජයේ පෙළගැස්ම දෙස බැලුවහොත්, ඔබට පෙනෙනු ඇත්තේ වඩාත්ම උද්‍යෝගශීලී හා විනයගරුක දේශපාලකයින් සහ තමන්ගේ වෘත්තීය ජීවිත, පවුල් සමග ගත කළ යුතු කාලය හා ව්‍යාපාරික උරුමය පවා තම රට වෙනුවෙන් කැපකළ, වඩාත්ම කීර්තිමත් විද්වතුන් හා වෘත්තිකයින්ගේ මිශ්‍රණයක්. අපි සියලු දෙනා එක්ව, දීර්ඝ අධිෂ්ඨානශීලී ගමනක් ආරම්භ කොට තිබෙනවා.
අපි ජීවන වියදම් අඩු කර තිබෙනවා. අපි අපගේ යුක්තිය පසිඳලීමේ පද්ධතිය පිළිබඳ විශ්වාසය ප්‍රතිස්ථාපනය කිරීම ආරම්භ කර තිබෙනවා. එමෙන්ම, අපි ප්‍රථම වතාවට දූෂණය පමණක් නොව, බලයේ ඉහළ ධූරාවලියෙන් පවා දූෂණයට දක්වන අතරමැදි භූමිකාව පවා අහෝසිකොට තිබෙනවා.
වසර ගණනාවක් තිස්සේ, ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට කැමති අයට යමක් කිරීමට පෙර, අනවශ්‍ය ලෙස අතරමැදියන්ට ආයෝජනය කිරීමට සිදු වුණා. ඒ යුගය අවසන් වී තිබෙනවා. මෙම රජයේ මහජන නියෝජිතයෙකු හෝ පත් කරන ලද කිසිදු නිලධාරියෙකු තම රාජකාරියට මුවාවී අනුග්‍රහ ලෙස අල්ලස් හෝ උපකාර ඉල්ලා සිටින්නේ නැති බවත්, එවැනි අවස්ථාවක් යම් හෙයකින් උදා වුනොත් ඔවුන්ට අපගේ කිසිදු ආරක්ෂාවක් ලැබෙන්නේ නැති බවටත්, ඔවුන්ට එරෙහිව ගතහැකි සියලු ස්වාධීන නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවටත් සහතික වෙනවා. මෙම රජය කිසි විටෙකත් තම ගමන තුළ දූෂණයට ඉඩ තබන්නේ නැහැ. දැන් සංතෝසම් දිය යුතු අය බිය විය යුතු නැහැ. එහෙත්, සංතෝසම් ගැනීමට උත්සාහ කරන්නන් බියවිය යුතුයි.
අපගේ අධිකරණය කිසි විටෙකත් මින් පෙර මෙතරම් නිදහස් හෝ ස්වාධීන වී නැහැ. අපගේ පොලිස් බලකාය කිසි විටෙකත් මින් පෙර මෙතරම් බලසම්පන්නව සහ ස්වාධීනව ක්‍රියාත්මක වී නැහැ. ඔවුන් කිසිවෙකුට බිය හෝ පක්ෂපාතීභාවයකින් තොරව නීතිගරුකව සිය ආයතනවල රාජකාරී කරනවා. එහෙත්, ශ්‍රී ලංකාව හැරගිය බොහෝ දෙනා දන්නා පරිදි, දූෂණයට තිත තැබීම යනු යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය බලාත්මක කිරීම පමණක් නොවේ. ඒ සඳහා, රජය ක්‍රියාත්මක වන ආකාරය නවීකරණය කිරීම, රාජ්‍ය යාන්ත්‍රණය වඩාත් කාර්යක්ෂමව හා වඩාත් පාරදෘෂ්‍යව ක්‍රියාත්මක කිරීම දකළයුතුයි. එවිට දූෂණයේ මූලික හේතුව විසඳනු ඇතැයි අප විශ්වාස කරනවා. දූෂණයේ මූල බීජය මෙයින් සහමුලින්ම තුරන් කරන අතර, අල්ලස් දීමට ඇති පෙලඹවීම අධෛර්යමත් වීමද, අල්ලස් ගැනීම තවදුරටත් අසීරු දුෂ්කර කටයුත්තක් වනු ඇති.
ශ්‍රී ලංකාවට නවීන ලෝකය සමඟ ගැලපීමට මෙවන් ස්වර්ණමය අවස්ථාවක් මින් පෙර උදා වී නැහැ. අද මම දකින්නේ එක්සත් ශ්‍රී ලංකාවක්, පිරිසිදු ශ්‍රී ලංකාවක්, සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් තුලින් සෑම දෙනාගේ අපේක්ෂාවන් සඵල කිරීමට ඇති සුවිශේෂී අවස්ථාවයි.
විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන්ද ඉල්ලීමක් කළ යුතුයි. ඇතැම්විට ඔබ ශ්‍රී ලංකාවේ උපත ලබා විදෙස්ගත පුරවැසියන් ලෙස ජීවත් වනවා විය හැකියි. එහෙත් ඔබට ඇත්තේ ශ්‍රී ලංකාවේ මූලයන් බව අප විශ්වාස කරනවා. සමහරවිට ඔබ ඔබේ මව්බිම ගැන ඔබේ දෙමාපියන්ගෙන් පමණක් අසා ඇති වන්නට පුලුවන්. අපට නම් ඔබ සියලු දෙනාම ශ්‍රී ලාංකිකයින් බව අප විශ්වාස කරනවා.
ඔබේ රට ඔබේ සාර්ථකත්වය ගැන ආඩම්බර වෙනවා. අපේ මව්බිම පිළිබඳ ඔබ විශ්වාසය අහිමි වීමට හේතු අපට තේරුම්ගත හැකියි. ඔබ ඔබේ විශේෂඥ දැනුම, දක්ෂතා හා දෘෂ්ටිකෝණය අපේ මේ මනරම් දූපත් රටට දායක කිරීමට ගන්නා සෑම උත්සාහයක් සඳහාම අප හදවතින්ම කෘතඥ වෙනවා.
අප ඔබට ආරාධනා කරනවා, ශ්‍රී ලංකාව කොතරම් වෙනස් වී ඇත්දැයි බැලීමට ආපසු එන්න. පෞද්ගලික, රාජ්‍ය හෝ ලාභ නොලබන අංශයේ වුවද, ඔබේ විශේෂඥ දැනුම, ආකල්ප හා දෘෂ්ටිකෝණය අපේ අධිෂ්ඨානශීලී දූපතට දායක කරන්න. අප සමඟ එකතු වන්න, අප සමඟ වැඩ කරන්න, අපට එක්ව ලඟා කළ හැකි සාර්ථකත්වයට එක්වන්න.
ගතවූ වසරේ දී, අපගේ රටවැසියන් බොහෝ දෙනෙක් නව මාර්ගයක් නිර්මාණය කිරීමටත්, අපේ රට නැවත ගොඩනැගීමටත්, අපේ පුරවැසියන්ගේ සම්පූර්ණ ශක්තිය ඊට ලබා ගැනීමටත් ඡන්දය ප්‍රකාශ කළා. ඉතිහාසයේ ප්‍රථම වතාවට, ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශ, උතුරේ සිට දකුණ දක්වා, නැගෙනහිර සිට බස්නාහිර දක්වා, පොදු අරමුණක් යටතේ එකට එක්වුණා. ආගම, ජාතිය, ලිංගිකත්වය, පන්තිය හා වයස තවදුරටත් අපව බෙදන්නේ නැතිබව අවධාරණය කළයුතුයි. අපේ රටේ ජනතාව නැවත කිසි විටෙකත් එකිනෙකාට එරෙහිව බෙදෙන්නේ නැති බව අපට සහතිකයි. ඒ වගේම, තමන්ගේ දේශපාලනික හෝ පෞද්ගලික ලාභ සඳහා අපේ රටේ ජනතාව එකිනෙකාට එරෙහිව පොළඹවා ගැනීමට උත්සාහ කරන්නන්ගෙන් මුළා නොවන බවට සහතිකයි.
අපගේ රජයේ මහජන නියෝජිතයින් හෝ අප විසින් පත් කළ නිළධාරීන් සියලු දෙනාම තුල ඇත්තේ පොදු අරමුණක්. ඒ වගේම වෙනසක් කිරීමට අප සමඟ එක්වූ දහස් ගණනක් වෙහෙස මහන්සි වී වැඩ කරන දේශප්‍රේමී රාජ්‍ය සේවකයින්ට ඇත්තේත් එවැනි පොදු අරමුණක්. අපි කිසි විටෙකත් එම වගකීමෙන් සහ ප්‍රතිපත්තිවලින් බැහැර නොවන අතර, කුමන හේතුවකටවත් මෙරට පුරවැසියන්ගේ අපේක්ෂාවන් පාවා නොදෙන බවට සහතික වෙනවා. අපි ඒ ආදර්ශය නායකත්වයේ සිටම ලබා දෙනවා. සියලුම ශ්‍රී ලාංකිකයන් එක්ව මේ රට ඉහලින් ඔසවා තබමු. සියලු දෙනා එක්ව සමෘද්ධිමත් වෙමු. අප සියලු දෙනාම එකිනෙකා ගැන ගෞරවනීය වෙමු. මෙම ලස්සන, පූජනීය දූපත, අපේ මාතෘභූමිය වීම ගැන ආඩම්බර වෙමු.
අවසාන වශයෙන්, අයවැය සකස් කිරීම සඳහා සති ගණනාවක් වෙහෙස නොබලා කටයුතු කළ මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්ට, විශේෂයෙන් භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට, මාගේ කෘතඥතාවය පළ කරනවා. රජයේ ආර්ථික වැඩසටහන ඉදිරියට ගෙන යාම සඳහා අයවැය යෝජනා නියමිත වේලාවට සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා භාණ්ඩාගාර නිලධාරීන්ගේ සහයෝගය මා තවදුරටත් අපේක්ෂා කරනවා.
ස්තූතියි!
July, 29, 2024
මෙම වසරේ ජූලි 15 වනදා වන විට මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් ගණන 1, 095, 675 ක් වූ බවත් එම තත්ත්වය අඛණ්ඩව පවත්වා ගත හොත් යුද්ධයෙන් පසු මෙරට සංචාරක ව්‍යාපාරයේ උපරිමය වාර්තා කළ 2018 වසරේ මට්ටම ද අභිබවා යාමට හැකි බවත් සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසීය.
මෙරට සංචාරක ව්‍යාපාරය පාස්කු ප්‍රහාරය, කොවිඩ්19 වසංගතය හා ආර්ථික අර්බුදය හමුවේ බිඳ වැටුණු නමුත් සංචාරක අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතන එක්ව දියත් කළ විධිමත් වැඩපිළිවෙල හේතුවෙන් මේ වන විට සාර්ථක ප්‍රතිඵල අත් කර ගනිමින් සිටින බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් පසුගිය දා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා මෙසේද පැවසීය.
මීට වසර දෙකකට පෙර මෙරට සංචාරක ව්‍යාපාරය පැවතියේ සතුටුදායක තත්ත්වයක නොවෙයි. විශේෂයෙන් පාස්කු ප්‍රහාරය, කොවිඩ් 19 වසංගතය හා ආර්ථික අර්බුදය හමුවේ සංචාරක ව්‍යාපාරය බිඳ වැටීමට ලක් වුණා. නමුත් සංචාරක අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතන එක්ව දියත් කළ වැඩපිළිවෙල තුළින් මේ වන විට සාර්ථක ප්‍රතිඵල අත් කර ගනිමින් සිටින බව සතුටින් ප්‍රකාශ කරන්න කැමතියි.
ඒ අනුව 2022 වසරේ දී 719,978 ක් සහ 2023 වසරේ 1 487,303 ක් ලෙස විදෙස් සංචාරකයින් මෙරටට පැමිණ තිබෙනවා. 2024 ජූලි 15 වෙනිදා වන විට මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 1, 095, 675 ක් වනවා. ඒ අනුව මේ වසර අවසානය වන විට පසුගිය වසර දෙකට සාපේක්ෂව වැඩි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවක් මෙරට සංචාරය කරනු ඇති බවට පුරෝකතනය කළ හැකියි. යුද්ධයෙන් පසු මෙරට සංචාරක ව්‍යාපාරයේ උපරිමයට ළඟා වූයේ 2018 වසරේදීයි. එම වසරේදී 2,333,796 දෙනෙකු මෙරට සංචාරය කළා. එම වසරේ සංචාරක ව්‍යාපාරයේ ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 4.4 ක් ලෙස වාර්තා වුණා. මේ වන විට රටේ පවතින තත්ත්වය අඛණ්ඩව පැවතුන හොත් 2024 වසර අවසන් වන විට මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින් සංඛ්‍යාවත්, ඒහරහා ලබන ආදායමත් අනිවාර්යයෙන් 2018 ප්‍රමාණයට වඩා වැඩි කර ගත හැකියි.
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්) එච්.ජී.ජයසේකර මහතා,
2022 හා 2023 වසර තුළ උද්භිද උද්‍යාන නැරඹීම සඳහා පැමිණි මුළු දේශිය සංචාරකයන් සංඛ්‍යාව පිළිවෙලින් 1,773,048 ක් හා 1,925,129 ක් වනවා. ඒ අතරින් විදේශිය සංචාරකයන් සංඛ්‍යාව පිළිවෙලින් 103,322 ක් සහ 227,729 ක් වෙනවා. එය ඊට පෙර වර්ෂය සමඟ සංසන්දනයේ දී දේශිය සංචාරකයින් ගේ පැමිණීම පිළිවෙලින් 2022 වර්ෂයේ දී 148% කින් ද 2023 වර්ෂයේ දී 9% කින් ද වැඩීවීමක් බව කිව යුතුයි. විදේශිය සංචාරකයන්ගේ පැමිණීම 2022 වර්ෂයේ දී 461% කින් ද 2023 වර්ෂයේ දී 120% කින් ද වැඩිවී තිබෙනවා.
2024 වසර ජුනි මස තෙක් උද්භිද උද්‍යාන නැරඹීම සදහා පැමිණි මුළු දේශිය සංචාරකයන් සංඛ්‍යාව 965,468 ක් සහ විදේශිය සංචාරකයන් සංඛ්‍යාව 183,674 ක් වනවා. එය පසුගිය වර්ෂයේ ජුනි මස තෙක් විදේශිය සංචාරකයන්ගේ පැමිණීම සමඟ සන්සංදනය කිරීමේ දී එය 96% කින් වැඩිවී තිබෙන බව කිව හැකියි.
ඒ අනුව 2022 වසරේ දී ආදායම රුපියල් මිලියන 420.02ක් සහ 2023 වසරේදී ආදායම රුපියල් මිලියන 901.1ක් ලෙස වාර්තා වෙනවා. 2024 වසරේ ජූනි මස වන තෙක් පමණක් රුපියල් මිලියන 735.56ක ආදායමක් වාර්තා වෙනවා. එය පසුගිය වසරවල සමාන කාලපරාසය හා සන්සංදනයේ දී 2022 දී 184% කින්ද 2023 දී 115% කින් ද ඉහළ ගොස් ඇති 2024 දී 133% කින් ද ඉහළ ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පී.යූ.රත්නායක මහතා,
ශ්‍රි ලංකාවේ සංචාරක ව්‍යාපාරය දෙස අවධානය යොමු කිරිමේදී විදෙස් සංචාරකයන්ගේ පැමිණීම 2018 වසරේදී 2,333,796 ක් ලෙස වාර්තා වුණා. ඒ වගේම 2023 වසරේ සිට විදෙස් සංචාරකයන්ගේ පැමිණීමේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරනවා.
ඒ අනුව 2023 වසර වන විට සංචාරක පැමිණීම 1,487,303 දක්වා වර්ධනය වූ අතර එය 2024 ජූලි15 වනදා වන විට 1,095,675 ක් ලෙස කැපී පෙනෙන ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරනවා. 2024 වසරේ ජනවාරි මාසයේ සිට ජූනි මාසය දක්වා සංචාරක ව්‍යාපාරයෙන් උපයා ඇති සම්පූර්ණ ආදායම ඩොලර් මිලියන 1556.64ක් පමණ වන බවද සඳහන් කළ යුතුයි.
සංචාරක සංවර්ධන අධිකාරිය මහා පරිමාණ සංචාරක නිකේතන සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම තුළින් තිරසාර බව කෙරෙහි අවධානය යොමු කරමින් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට කැපවී සිටිනවා. වර්තමානය වන විට අයෝජකයින් සඳහා සූදානම් කර තිබෙන ව්‍යාපෘති ලෙස කුච්චවේලි, කල්පිටිය, දෙද්දුව පෙන්වා දිය හැකියි. ආයෝජකයින් සඳහා ඉදිරියේදී විවෘත කිරීමට සැලසුම් කරන ව්‍යාපෘති අතර කුච්චවේලි, කල්පිටිය හා යාල ඇතුළත් වෙනවා.
2024 වසර වන විට සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක සේවා සපයන ආයතන ලෙස සංචාරක නවාතැන් 4,534 ක්, සංචාරක මාර්ගෝපදේශකයින් 4,923 ක් හා අනෙකුත් සංචාරක සේවා සපයන්නන් 2,756 වශයෙන් මුළු සේවා සපයන්නන් 12,213 ක් ලියාපදිංචි ව සිටිනවා. මීට අමතරව ලියාපදිංචිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් හා ජංගම වැඩසටහන් පාසිකුඩා සහ මඩකළපුව, කිතුල්ගල, කතරගම, මීමුරේ, ඇල්ල, පින්නවල, ගාල්ල ආදී ප්‍රදේශ තුළ ක්‍රියාත්මක වුණා.
බණ්ඩාරවෙල, කතරගම, අනුරාධපුර, නුවරඑළිය ප්‍රදේශ තුළ දේශිය සංචාරකයින් සඳහා ජාතික නිවාඩු නිකේතන ක්‍රියාත්මක වන අතර පසුගිය දෙවසර තුළ ක්‍රියාත්මක කරන ලද සංවර්ධන ව්‍යාපෘති වශයෙන් අලුත්නුවර, මදුනාගල, දුන්හිඳ, රජනාව ඇල්ල, සඳතැන්න කෘෂි ව්‍යාපෘතිය, ගැටබරුව සංචාරක මධ්‍යස්ථානය, ගල්කිස්ස සංචාරක පොලිස් ඒකකය සංචාරක යටිතල පහසුකම් සංවර්ධනය ආදි ව්‍යාපෘති පෙන්වා දිය හැකියි.
2024 ජූනි මාසය වනවිට සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලත් ආයෝජන ව්‍යාපෘති ගණන 16 ක් වන අතර එහි අනුමත කාමර 224 ක් වනවා. එහි සමස්ත ආයෝජනය ඩොලර් මිලියන 25.39 ක් පමණ වනවා. ඉදිරි නව සැලසුම් ලෙස සමුද්‍ර සංචාරක මාර්ග සිතියමක් සංවර්ධනය කිරීම, සංචාරක සංවර්ධන ප්‍රදේශ ගැසට් කිරීම, නාගරික සංවර්ධන අධිකාරිය (UDA) සමඟ ප්‍රධාන කලාප සැලසුම් නිර්මාණය කිරීම, වගේම බලශක්ති අර්බුදය විසඳීමට සහාය වෙමින් මයික්‍රොග්‍රිඩ් සූර්ය බලශක්ති වැඩසටහන ආදිය ඇතුලත් වෙනවා.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති එච්.චලක දේව් ගජබාහු මහතා,
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පසුගිය දෙවසර තුළ වැඩසටහන් රැසක් සාර්ථක ලෙස ක්‍රියාත්මක කරනු ලැබුවා. ඒ අනුව මහජන සම්බන්ධතා අංශය මඟින් පළමුව දියත් කළ “Seeing is Believing” ව්‍යාපෘතිය යටතේ අන්තර්ජාතික සංචරණ බිලොග්කරැවන් හා සන්නිවේදකයන් 189ක් මෙරටට ගෙන්වා ශ්‍රී ලංකාවට, රුපියල් බිලියනයකට අධික වටිනාකමක් ඇති මාධ්‍ය ආවරණයක් ලබා ගැනීමට හැකි වුණා.
ජර්මනියේ ITB, ලන්ඩනයේ WTM, ඩුබායිහි ATM, ප්‍රංශයේ IFTM සහ ඉන්දියාවේ SATTE ඇතුළු ප්‍රධානතම සංචාරක ප්‍රදර්ශන (Travel Fairs) 15ක් සහ සංචාරක හමුවිම් 29ක්ද (Roadshows) අලෙවිකරණ අංශය මඟින් සංචාරක ප්‍රවර්ධන කටයුතු සඳහා යොදා ගනු ලැබුවා. සංචාරක නියෝජිත ආයතන සහ හෝටල් වෘත්තිකයින් 75 දෙනෙකුටඅධික ප්‍රමාණයක් මෙම ප්‍රවර්ධන කටයුතු සඳහා හවුල් වුණා. උත්සව සම්බන්ධ කටයුතු අංශයේ (Events), විශේෂ ව්‍යාපෘති කිහිපයක් අතරින් ලංකාවේ මුල් වරට පැවැත්වු TAAI ( Travel Agents Association of India) සමුළුව සඳහා ඉන්දීය සංචාරක ඒජන්තවරුන් 500 ක් සහ ඉන්දීය මාධ්‍යකරුවන් 50 ක් සහභාගි වීම සුවිශේෂයි.
මේ වන විටත් ගෝලීය සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ගණනාවක් අප විසින් දියත් කෙරෙමින් පවතින අතර, පළමු අදියරයේ මහජන සමිබන්ධතා, ඩිජිටල් (Digital) සහ සමාජ මාධ්‍ය ප්‍රචාරණ කටයුතු සඳහා බ්‍රිතාන්‍ය, ජර්මනිය, ප්‍රංශය, ඉන්දියාව සහ චීනය තෝරාගෙන තිබෙනවා.
මේ දෙවසර තුළ මේ සියළු ක්‍රියාකරකම් සහ ව්‍යාපෘති වලින් උත්තේජනය ලබමින් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය 2023 හිදී දියත් කළ නැවුම් සන්නාම අනන්‍යතාව – “Sri Lanka – You ‘ll come back for more” යන ප්‍රවර්ධන තේමා පාඨය යටතේ 2024 වසරේ දී වැඩිම ජාත්‍යන්තර ප්‍රණාම හා පිළිගැනීම් දිනාගෙන තිබෙන බවද සඳහන් කල යුතුයි.
ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමණාකරණ ආයතනයේ සභාපති ශිරන්ත පීරීස් මහතා,
දිවයින පුරා පිහිටුවා ඇති ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය හරහා සිදු කරන පාඨමාලා මඟින් 2021 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා පිළිවෙලින් 5000, 6000, 8000 වශයෙන් සිසුන් පුහුණු කර තිබෙනවා. මෙම වසර තුළ දී පුහුණු සිසුන් 10000කට වැඩි ප්‍රමාණයක් සංචාරක හා සත්කාරක ක්ෂේත්‍රයට යොමු කිරීමට ද බලාපොරොත්තු වෙනවා.
මීට අමතරව අප ආයතනය හා අපගේ පාඨමාලා සම්බන්ධ ව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් විවිධ ආයතන සමඟ අත්වැල් බැඳගනිමින් සිටින බව කිව යුතුයි. ජාතික ආයතන ලෙස ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව විද්‍යායතනය (National School of Business Management), කොරියානු ලංකා හෝටල් පාසල, විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය (දෙපාර්තමේන්තුව පරිවාස හා ළමාරක්ෂක සේවා), හා ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය සඳහන් කළ හැකි යි.
ජාත්‍යන්තර ආයතන ලෙස Salzburg විශ්ව විද්‍යාලය – ඔස්ට්‍රියාව, ආසියානු සංවර්ධන බැංකුව (ADB) සහ S4IG (AUSAID විසින් අරමුදල් සපයන ලදී) යන ආයතන හඳුන්වා දිය හැකි යි. තවද, International College of Hotel Management – Australia සහ මැලේසියාවේ සත්කාරක ක්ෂේත්‍රය සම්බන්ධ ප්‍රධාන විශ්වවිද්‍යාල 3ක් සමඟ අප ආයතනයේ සේවකයින් හා සිසුන් හුවමාරු ගැනීමට අවශ්‍ය සාකච්ජාද මේ දිනවල සිදු කෙරෙනවා.
ශ්‍රී ලංකා සංචාරක සම්මුති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ක්‍රිෂාන්ත ප්‍රනාන්දු මහතා,
MICE සංචාරකයන් හඳුනා ගැනීම සඳහා විද්‍යුත් වීසා ඉල්ලුම් කිරීම් පද්ධතියට MICE වර්ගීකරණය ඇතුළත් කර ගැනීම සහ MICE Expo – කොළඹ හා යාපනය අදියර ද්විත්වය සාර්ථකව සංවිධානය කිරීම පසුගිය දෙවසර තුළ අලෙවිකරණ අංශය ළඟා කරගත් ප්‍රධානතම ජයග්‍රහණ ලෙස සඳහන් කළ හැකියි.
මීට අමතරව නව ප්‍රවර්ධන වීඩියෝ කිහිපයක්ම නිර්මාණය කිරීමත්, ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශයේ නව වෙබ් අඩවිය නිර්මාණය කිරීමේ කටයුතු ආරම්භ කිරීමත්, ඩිජිටල් හා වෙබ් අඩවි පාදක ප්‍රවර්ධන කටයුතු සහ සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තකරණය කිරීම (SEO) කඩිනම් කිරීමත් පසුගිය වසර දෙක තුළ සිදු කළා.
ඒ වගේම අන්තර්ජාතික ප්‍රදර්ශන, උත්සව සහ අවස්ථා සඳහා සහභාගි වීම හා නියෝජනය කිරීමත් (OTM, SAATE, ATM, BLTM, IMEX, WTM etc), MICE ප්‍රවර්ධනය සඳහා හුරු කිරීමේ සංචාර (Familiarization Tours) සංවිධානය කිරීමත්, ශ්‍රී ලංකාව MICE ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම උදෙසා සිදු කරන තවත් වැදගත් ක්‍රියාකාරකම් ලෙස සඳහන් කළ හැකියි.
තවද 2023 වර්ෂය තුළ වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ අන්තර්ජාතික මට්ටමේ සමුළු රැසකටම සහයෝගය දැක්වූ අතර ආසියානු හා ඕෂනියානු අන්තර් රාජ්‍ය අමාත්‍ය රැස්වීම, අන්තර්ජාතික පුහුණුකරුවන්ගේ සමුළුව, ආසියා පැසිෆික් කලාපීය අමාත්‍යවරුන්ගේ සහ පාරිසරික අධිකාරීන්ගේ සැසිය වැනි අන්තර්ජාතික වැදගත්කමකින් යුත් ප්‍රධාන පෙළේ සමුළු රැසකටම ශ්‍රී ලංකා සංචාරක සම්මුති කාර්යාංශය මූල්‍ය හා මූල්‍ය නොවන සහයෝගීතාවයන් දක්වා තිබෙනවා.
June, 26, 2024
ශ්‍රී ලංකාව මෙරට ද්වීපාර්ශික ණයහිමියන්ගේ නිල කමිටුව සමග අමෙරිකානු ඩොලර් බිලියන 5.8ක ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අවසන් එකඟතාවයට පැරසියේදී අද(26) එළඹ ඇත.
මෙම අවසන් එකඟතාවයට අත්සන් කිරීම සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ එක්වී තිබුණි.
නිල ණයහිමි රටවල කමිටුව නියෝජනය කරමින් එහි සම සභාපතිත්වය දරන ඉන්දියාව, ප්‍රංශය සහ ජපානය එම අවස්ථාවට සහභාගී විය.
මෙම ගිවිසුම මගින් ශ්‍රී ලංකාවට කැපී පෙනෙන ණය සහනයක් හිමිවන අතර අත්‍යවශ්‍ය මහජන සේවාවන් පවත්වා ගැනීමටත් සංවර්ධන අවශ්‍යතා සඳහා මූල්‍ය පහසුකම් සපයා ගැනීමටත් හැකිවන බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර ද්වීපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ චීන අපනයන - ආනයන බැංකුව සමග ගිවිසුම් අත්සන් කිරීම අද (26) සිදු කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.
තව ද මෙම ක්‍රියාවලියට නායකත්වය දුන් නිල ණයහිමි කමිටුවේ ( OCC) සම-සභාපතීත්වය දරන ප්‍රංශය, ඉන්දියාව සහ ජපානයට, එහි අනෙකුත් සාමාජිකයින් ට මෙන්ම චීන අපනයන - ආනයන බැංකුවට මෙන්ම ශ්‍රී ලංකාවේ බාහිර ණය අර්බුදයට ප්‍රතිකර්මයක් සෙවීමට කැපවූ OCC ලේකම් කාර්යාලයට ද සිය ස්තූතිය හිමිවන බව අමාත්‍යවරයා සිය X ගිණුමේ සටහන් කර ඇත.
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් සිය සටහනේ දක්වා ඇත්තේ මෙමගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් විශ්වාසය වැඩිවන බවත් එය ආර්ථික වර්ධනයට රුකුලක් බවත් ය.


January, 17, 2024
අනාගතවාදී දැක්මකින් යුතුව ශ්‍රී ලංකාව නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියෙහි නිරතව සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව සාර්ථක ප්‍රගතියක් අත්කරගෙන ඇති බවත් ප්‍රධාන ණය හිමියන් ඒ සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් එකඟත්වය පළ කර ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය.
2023 වර්ෂයේ දෙසැම්බරයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට අදාළ වැඩසටහනෙහි පළමු සමාලෝචනය අනුමත කිරීම මගින් 2024 වර්ෂයේදී ශ්‍රී ලංකාවට ස්ථාවරත්වයේ සිට යථා තත්ත්වයට පත්වීම සහ වර්ධනය දක්වා ප්‍රවේශ වීමේ වේදිකාව සැකසී ඇති බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ ස්විස්-ආසියානු වාණිජ මණ්ඩලය එක්ව සංවිධානය කරන ලද ව්‍යාපාරික හමුවකට ඊයේ (15) ස්විස්ටර්ලන්තයේ දී එක් වෙමිනි.
ස්විස්ටර්ලන්තයේ දී පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවේ 54 වන වාර්ෂික රැස්වීමට සමගාමීව මෙය සංවිධානය කර තිබු අතර, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සම්බන්ධයෙන් අත්කර ගෙන ඇති සැලකිය යුතු ප්‍රගතිය සහ අනාගත වර්ධන අපේක්ෂාවන් පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී කරුණු පැහැදිළි කළේය.
විවිධ දුෂ්කරතා මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන තුළ සැලකිය යුතු කාර්ය සාධනයක් අත් කර ගෙන ඇති බවට පසුගියදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම හමු වූ අවස්ථාවේ දී සිදු කළ ප්‍රකාශයද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිහිපත් කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සහයෝගීතාවයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සාර්ථකව සිදු කරන බවත්, ණය හිමියන් සමග කටයුතු කිරීමේදි එවැනි සහයෝගීතාවක් අවශ්‍ය වන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
විදේශීය සෘජු ආයෝජන ඇතුළු ආයෝජන, අපනයන සහ සේවා හරහා රටේ ආර්ථිකය ප්‍රවර්ධනය කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
මෑත කාලීනව ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය හේතුවෙන් ව්‍යාපාර, කුඩා ව්‍යවසායන් මෙන්ම සමස්ත ජනතාව කෙරෙහි අහිතකර ප්‍රතිවිපාක ඇතිවු බව සඳහන් කළ ජනාධිපතිවරයා ව්‍යාපාර සඳහා ඇති බාධක මෙන්ම විදුලිය සහ ඉන්ධන සැපයුම සඳහා ඇති බාධක ඉවත් කිරිම සඳහා 2022 සහ 2023 වර්ෂවලදී සිදුකළ ප්‍රතිසංස්කරණ පිළිබඳව ද සඳහන් කළේය.
එමෙන්ම, ආනයන සීමා ලිහිල් කිරීම, විදේශ ප්‍රේෂණවල ද්‍රවශිලතාව නැවත යාථා තත්ත්වයට පත් කිරීම මෙන්ම 1977 වසරෙන් පසුව ප්‍රථම වරට ප්‍රාථමික ගෙවුම් ශේෂයේ අතිරික්තයත් වාර්තා කිරීමට හැකි වූ බව ද සඳහන් කළේය.
2023 වර්ෂයේ තුන්වන කාර්තුවේ සිට මුල්‍ය ස්ථාවරත්වය ඇතිවීම, උද්ධමනය සැලකිය යුතු ලෙස පහළයාම සහ සෘණ ආර්ථික වර්ධනය ආපසු හැරවීම වැනි ධනාත්මක දර්ශක පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන් අතර 2023 වර්ෂයේදී ප්‍රාථමික අයවැයෙහි අතිරික්තයක් අත්කර ගැනීම කැපී පෙනෙන වර්ධනයක් සනිටුහන් කිරීමක් බව ද ප්‍රකාශ කළේය.
සිංගප්පූරුව, තායිලන්තය, ඉන්දියාව සහ චීනය සමඟ අවසන් වූ සහ ඉදිරියේදී එළැඹීමට නියමිත නිදහස් වෙළෙඳ ගිවිසුම් සහ අනෙකුත් දකුණු ආසියාතික රටවල් සමඟ පවතින වෙළෙඳ අවස්ථා පුළුල් කර ගැනීමේ සාකච්ඡා පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය.
කලාපීය විස්තිරණ ආර්ථික හවුල්කාරිත්වයට (RCEP) ඇතුළත් වීම සඳහා ශ්‍රී ලංකාව සිදු කර ඇති මුලපිරීම මෙන්ම යුරෝපීය වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීම සඳහා GSP+ මඟින් සැලසෙන ප්‍රතිලාභ සම්බන්ධවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
පුනර්ජනනීය බලශක්තිය, කෘෂිකාර්මික නවීකරණය, සංචාරක ව්‍යාපාරය, තොරතුරු තාක්ෂණ සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් ඇතිකර ගැනීම තුළින් ආයෝජනය කිරීමේ අවස්ථා පවතින බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
වෙළඳපල ප්‍රවේශය වැඩි දියුණු කිරීම, වෙළඳාම සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ තරඟකාරිත්වය සහතික කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වීමට නියමිත නීති සහ කොමිෂන් සභා පිළිබඳව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. ආයෝජන සඳහා සීමාවන් ඉවත් කිරීමට සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා තමා අඛණ්ඩව කැප වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදේශීය ආයෝජකයන්ට සහතික විය.
මේ අතර ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා, ආර්ථික සහ රාජ්‍ය යන දෙඅංශයම ඇතුළත් වූ පුළුල් ප්‍රවේශයක් තුළ පවතින වැදගත්කම අවධාරණය කළේය.
ආර්ථික ප්‍රතිසංස්කරණවලට සමගාමීව රජය පුළුල් වෙනස්කම් රාශියක් ආරම්භ කළ බව ද එහිදී සාගල රත්නායක මහතා සඳහන් කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ආරම්භ කරන ලද විනිශ්චය ක්‍රියාදාමයක ශ්‍රී ලංකා රජය නිරත වූ බවත් එම විනිශ්චය ක්‍රියාවලිය අවසන් කරන තුරු බලා නොසිටිමින් ලංකා රජය ඊට පෙර විවිධ ක්‍රියාමාර්ග ආරම්භ කළ බවත් පැවසීය.
පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීම වැනි වැදගත් ක්‍රියාමාර්ග පාලන විනිශ්චය පිළිබඳ වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට පෙර සිටම ක්‍රියාත්මක වූ බව ද සාගල රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම මූලික පියවරයන්ගෙන් පසුව, පාලන විනිශ්චය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා පුළුල් වැඩසටහනක් දියත් කෙරුණු අතර එහිදී දූෂණ විරෝධී නීතිය වැනි තීරණාත්මක නීති හඳුන්වාදීමේ වැදගත්කම සාගල රත්නායක මහතා අවධාරණය කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ජනාධිපතිවරයා වෙත දූෂණ විරෝධී කොමිසම සඳහා පත් කළ යුතු කොමසාරිස්වරුන් නිර්දේශ කරන ක්‍රියාවලිය පිළිබඳව ද ඒ මහතා පැහැදිලි කළේය. මේ පිළිබඳ ගනු ලබන සියලුම ක්‍රියාමාර්ග ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ප්‍රමිතිය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් සිදු කරන බව ද සාගල රත්නායක මහතා අවධාරණය කළේය.
පාලන තන්ත්‍රය සඳහා සැලකිය යුතු නීති ප්‍රමාණයක් හඳුන්වාදිය යුතු බවත්, දැනටමත් ආසන්න වශයෙන් ඉන් 20ක් පමණ සම්පූර්ණ කර ඇති බවත් සාගල රත්නායක මහතා සඳහන් කළේය.
අනාගතය දෙස බලමින්, කම්කරු නීති ද ඇතුළත් වන පිරිදි නව නීති 40 ක් හෝ 50 ක් සම්පාදනය කිරීමත්, දැනට පවතින නීති 40 සිට 50ක ප්‍රමාණයක් නවීන සහ ඉදිරි දැක්ම සහිත රාමුවක් තුළට ඒකාබද්ධ කිරීමත් සිදු කෙරෙන බව ද සදහන් කළේය.
මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, කොළඹ කොටස් හුවමාරුවේ සභාපති ඩිලෂාන් වීරසේකර, ජනශක්ති රක්ෂණ සමාගමේ නියෝජ්‍ය සභාපති ප්‍රකාශ් ෂාෆ්ටර්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් බර්නාඩ්, ඒකන්ස්පෙන්ස් සමාගමේ නියෝජ්‍ය සම සභාපති/කළමනාකරණ අධ්‍යක්ෂ ස්ටෂානි ජයවර්ධන, ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිෂ්ණන් බාලේන්ද්‍ර, ගොල්ෆේස් සමූහයේ සභාපති සංජීව් ගාඩිනර්, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ, ඒකන්ස්පෙන්ස් සමාගමේ නියෝජ්‍ය සභාපති සහ කළමනාකරණ අධ්‍යක්ෂ ආචාර්ය පරාක්‍රම දිසානායක සහ ඩයලොග් ආසියාටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ, කොමර්ෂල් බැංකුව පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/කළමනාකාර අධ්‍යක්ෂ සනත් මනතුංග යන මහත්ම මහත්මීහූ එක්ව සිටියහ.
මීට අමතරව, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, මුදල් අමාත්‍යාංශයේ උපදේශක දේශාල් ද මෙල්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ සභාපති දිනේෂ් වීරක්කොඩි, කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රේවන් වික්‍රමසූරිය, ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ (ආයෝජන ප්‍රවර්ධන) ප්‍රසන්ජිත් විජයතිලක යන මහත්ම මහත්මීහු ද මෙම වටමේස සාකච්ඡාවට සහභාගී වූහ.
November, 13, 2023
2024 අයවැය රටේ අනාගතය නිර්මාණය කරන අයවැයක් මෙන්ම වත්මන් ජාත්‍යන්තර ප්‍රවණතාවන්ට අනුකූල නව ආර්ථික ක්‍රමවේදයක පදනම දමන අයවැයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
එම වැඩපිළිවෙළ සමඟ රටට අලුත් අනාගතයක් නිර්මාණය කිරීමට එක්වන ලෙස තමා පක්ෂ විපක්ෂ සියලුදෙනාගෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා පැවසීය.
“සවිමත් අනාගතයකට පෙරවදනක්” යන තේමාව යටතේ 2024 අයවැය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (13) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
2024 අයවැය සම්පුර්ණ කතාව පහත පරිදි වේ.
බුද්ධ දේශනාවේ සමජීවිකතා කියා යෙදුමක් තියෙනවා. බුදුන්වහන්සේ සමජීවිකතා ගැන දේශනා කළේ ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ. අයවැය සමසේ සකස් කර ගැනීම ගැන තමයි, සමජීවිකතා ඔස්සේ අපට කියලා දෙන්නේ.
අඩු ආදායමක් ලබමින්, සාටෝප උදාර ජීවිතයක් ගත කිරීම වැරදි බවත්, සැබෑ අවබෝධයක් ඇත්තා අය-වැය සමව ගෙන ජීවිකාව හැඩ ගස්වා ගත යුතු බවත් එහිදී පෙන්වා දෙනවා.
වියදම් කළ යුත්තේ ආදායමට සරිලන විදියටයි. ඒක තමයි බෞද්ධ ආර්ථික දර්ශනයෙන් අපට පෙන්වා දෙන්නේ. හැබැයි නිදහසින් පසු අවුරුදු 75 ක් තිස්සේ හුඟක් වෙලාවට අපි ආදායමට සරිලන ලෙස වියදම් කළේ නෑ. මම මෙහෙම කිව්වාම මේ රටේ ආණ්ඩු නාස්තිකාර වියදම් කළා කියා කෙනෙකුට හිතන්න පුළුවන්. ආණ්ඩු විතරක් නෙවෙයි. මේ රටේ අපි හැමෝම ඒ වැරැද්ද කළා.
රස්සාවල් දුන්නේ, පඩි වැඩි කළේ, නිකම් හාල් දුන්නෙ, සහන දුන්නෙ, රාජ්‍ය ව්‍යවසායයන් නඩත්තු කළේ එක්කෝ ණය වෙලා. නැත්නම් සල්ලි අච්චු ගහලා. මැතිවරණ දිනුවෙ මෙන්න මේ වගේ පොරොන්දුවලින්. ආණ්ඩුවෙ රස්සා. රාජ්‍ය සම්පත් රැක ගැනීම. සහන මළු, බඩු මිල අඩු කිරීම්, වැඩි පඩි. ඔන්න ඔය වගේ ආදායමට නොගැලපෙන සාටෝප උදාර ජීවිත ගත කරන්න අපි රටටත්, ලෝකයටත් ණය වුණා.
බුදුන් වහන්සේ සාමඤ්ඤඵල සූත්‍රයෙන් පෙන්වා දෙන්නේ ණය ගත යුත්තේ ආයෝජනය සඳහා මිස පරිභෝජනය සඳහා නොවන බවයි. හැබැයි අපි ණය ගත්තේ පරිභෝජනයට. මේ ආකාරයෙන් ණය ගැනීම සහ පොළී ගෙවීම අන්ත අනතුරුදායක බව අංගුත්තර චක්ක නිපාතයේ ඉණ සූත්‍රයේ සඳහන් වෙනවා.
සමජීවිකතා සහ බෞද්ධ ආර්ථික දර්ශනය නොතකා හැරීමේ ප්‍රතිඵලයක් හැටියට නිදහසින් වසර 75 ක් ගත වෙද්දී අපි අන්ත අසීරුතාවයට පත්වුණා. අපේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. බංකොලොත් රාජ්‍යයක් බවට පත්වුණා.
පෙට්‍රල් ලීටර දෙක තුනකට මිනී මරා ගත්තා. ගෑස් ටැංකියකට දබර කර ගත්තා. දවසට පැය දහය පහලොව කළුවරේ හිටියා. සුපිරි වෙළෙඳ ශාලා දරමිටි විකුණන්න පටන් ගත්තා. ව්‍යාපාර කඩා වැටුණා. සංචාරක කර්මාන්තය බිඳ වැටුණා. රස්සාවල් නැතිවුණා. අත්‍යවශ්‍ය භාණ්ඩ නැත්තටම නැති වුණා. හැම තැනම පෝලිම්. පොදු ප්‍රවාහන සේවා කඩා වැටුණා. පාසැල් වැසුණා. විභාග පවත්වන්න බැරිවුණා. පොහොර හිඟය නිසා ආහාර අර්බුදයක් ඇති වුණා. අපට ඉතුරු වෙලා තිබුණෙ රටක් නෙවෙයි.
අපායක්.
මේ අපායෙන් රට මුදවා ගැනීමේ අභියෝගය බාර ගන්න කිසිවෙකුත් කැමති වුණේ නෑ. අන්දරේ ගල ඉස්සුවා වගේ විවිධ හේතු කියමින් ඔවුන් අභියෝගය හමුවේ කර ඇරියා. සමහරු කේන්දර බැලුවා. තවත් සමහරු ව්‍යවස්ථානුකූලව ඉටු කරන්න බැරි කොන්දේසි දැම්මා.
ඔන්න ඔහොම පසුබිමක තමයි මම මේ රට බාර ගත්තෙ.
ඒ වෙලාවෙ මම බාරගත්තෙ මරණාසන්න ලෙඩෙක්. අපායක් බවට පත්වුණු රටක්. පීලි පැන, හතර ගාතෙ ඇද වැටී තිබුණු ආර්ථිකයක්.
අපි විවිධ බාධක හා දුෂ්කරතා මැද්දේ, විධිමත් හා ක්‍රමවත් සැලැස්මක් යටතේ දිවා රෑ නොබලා වැඩ කරන්න පටන් ගත්තා. රට අපායෙන් මුදවා ගන්න වෙර දැරුවා. රාජ්‍ය නිළධාරීන් වෙහෙසෙමින්, කැප වෙමින් රට ගොඩගැනීමේ වෑයමට උදව් කළා. අපේ මිත්‍ර රටවල් සියල්ලම උපරිමයෙන් අප ගැන සොයා බැලුවා. සහන සැලසුවා.
ඒ අවස්ථාවේ දී මම ප්‍රසිද්ධියේම ඔබ සැමට කියා සිටියේ පරිපූර්ණ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් ඔස්සේ ආර්ථිකය යළි නඟා සිටුවීමටත්, ආර්ථික අපා දුකින් ජනතාව බේරා ගැනීමටත් මම කැපවී වෙහෙසී කටයුතු කරන බවයි. මේ වෙහෙසීමට හා කැපවීමට දායක වුණේ මම විතරක් නෙවෙයි. මේ රටේම ජනතාව ඒ වෙනුවෙන් වෙහෙසුණා. ඒ වෙනුවෙන් කැපවුණා. එසේ නොකර රට ආපස්සට ඇද දමන්නට වෙහෙසුණු පිරිසකුත් හිටියා. නමුත් ඒ අයගේ අපේක්‍ෂාවන් සුන් කරමින් රට කිසියම් ස්ථාවරත්වයකට පත් කරන්නට දැන් අපට පුළුවන් වෙලා තියෙනවා.
පීලි පැන ඇද වැටී තිබූ ශ්‍රී ලංකා ආර්ථිකය පසුගිය වසරක කාලය තුළ යළිත් පීල්ල මත තබන්නට දැන් අපට හැකි වී තියෙනවා. අප ඒ සඳහා ආනයන සීමා කිරීම් වැනි තාවකාලික පියවර රැසක් ගත්තා. නමුත් එවැනි සීමා කිරීම් දිගින් දිගටම පවත්වා ගෙන යෑම ආර්ථිකයට හිතකර නැහැ. දැන් අපි දීර්ඝ කාලීන හා තිරසර පියවර ගත යුතු කාලයයි. පීල්ල මත තැබූ ආර්ථිකය යළිත් පීලි මත දුවවන්නට හැකි වන්නේ එවිටයි. මරණයෙන් බේරා ගත් ආර්ථිකය පූර්ණ වශයෙන් සුවපත් කිරීමට හැකි වන්නේ එවිටයි.
ඒක ලෙහෙසි පහසු කාර්යයක් නොවෙයි. නමුත් අපට එය කරන්න පුළුවන්. අප යන මේ මාර්ගය ඔස්සේ, තව තවත් නව සංකල්පවලින් පෝෂණය වෙමින් ඉදිරියට ගියොත් අපට මේ අභියෝගය ජයගන්න පුළුවන්.
සමජීවිකතා සංකල්පයෙන් පිට පැන, දේශපාලන වාසියක් ලබා ගත හැකි කරුණු පමණක් උලුප්පමින් විසඳුම් සෙවීම අසාර්ථක බව ඉතිහාසය ඔප්පු කර තියෙනවා. ඇයි ඉතින් අසාර්ථක බව දැන දැනම තව තවත් ඒ වැඩේම කරන්නෙ?
සුරංගනා කතා කීවාට රටක් ඉදිරියට යන්නේ නෑ. සිහින මාළිගාවලින් පොරොන්දු වී රටක් දියුණු කරන්න බෑ. කාලයක් තිස්සේ එක් එක් දේශපාලන පක්‍ෂ ලබා දුන් ඡන්ද පොරොන්දු නිසා රට ආපස්සට ගියා. එහි අවසාන ප්‍රතිඵලය රට බංකොලොත් වීම බව ඇස් ඉදිරියේ සනාථ වුණා. ඒත් අවාසනාවට රටේ සමහර කණ්ඩායම් මේ තත්ත්වය තවමත් අවබෝධ කර ගෙන නැහැ.
මම යළි යළිත් ඔබෙන් ඉල්ලා සිටින්නේ දේශපාලන අරමුණු වෙනුවෙන් මිත්‍යාව පැතිරවීම නවත්තමු. අපි අපිටම අවංක වෙමු. දේශපාලනයට වඩා රට ගැන හිතමු. රට ඉහළට ඔසවා තබන්න එක්වෙමු. රට ශක්තිමත් වුණාට පසු දේශපාලන අරමුණු ගැන හිතමු.
අවුරුද්දකට කලින් අපේ රටේ තත්ත්වයට වඩා දැන් තත්ත්වය යහපත්. මම මේ කියන්නේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම යහපත් තත්ත්වයකට පත්වෙලා කියලා නෙවෙයි. එදාට වඩා සංසන්දනාත්මකව අද යහපත්. ඒ තත්ත්වය අප ලබා ගත්තේ දුෂ්කරතාවන්ට මුහුණ දෙමින්. කැපවීම් කරමින්. අමාරුකම් හමුවේ ජීවිත ගැටගසා ගනිමින්.
අප මේ යන දුෂ්කර මාවතේ අඩියෙන් අඩිය ඉදිරියට ගියොත් නොබෝ කලකින් මීට වඩා යහපත් ආර්ථික පරිසරයක් අපට අනිවාර්යෙන්ම නිර්මාණය කර ගන්න පුලුවන්. අප යන මේ මාවත නිවැරදි බව පසුගිය වසර දෙස ආපසු හැරී බලද්දී සියයට 100 ක්ම සනාථ වෙනවා. පෙට්‍රල් ලීටරයකට මිනී මරා ගත් රටක් අද පෝලිමකින් හෝ සීමාවකින් තොරව පෙට්‍රල් ලබා ගන්නවා. ගෑස් ටැංකියක් ලබා ගැනීමට සති ගණන් පාරේ රස්තියාදු වූ රටක් අද එක දුරකථන ඇමතුමකින් ගෙදරටම ගෑස් ටැංකිය ලබා ගන්නවා. දවසකට පැය දහයක් දොළහක් විදුලිය නැතිව සිටි රටක් අද අඛණ්ඩව විදුලි බලය ලබා ගන්නවා. සුපිරි වෙළෙඳසැලේ සිට සිල්ලර කඩය දක්වා දර මිටි අවි කළ රටක් අද වෙනස් වී තිබෙනවා. ඒ කියන්නේ අප යන මාවත නිවැරදියි. අපේ සැලසුම් නිවැරදියි. අපේ උපාය මාර්ග නිවැරදියි. ඒ නිසා අමාරුවෙන් වුණත් අපි මේ ගමනේ ඉතිරි ටිකත් ඉදිරියටම යමු.
මේ ගමන් මග මෙතෙක් ඉදිරියට එද්දී යම් යම් අඩුපාඩු සිද්ධ වුණා. ඒවා අප හඳුනාගෙන තියෙනවා. අප ඉතා නිහතමානීව ඒ අඩුපාඩු සහ වැරදි නිවැරදි කරගන්නට ක්‍රියා කරනවා.
පීලි පැනපු ආර්ථිකය යළිත් පීල්ල මත තැබූ පමණින් අපට සෑහීමකට පත් වෙන්න බෑ. ඒ පමණින් අපට ලොකු සහනයක්, පහසුවක් සැලසෙන්නෙත් නෑ. අපේ දුෂ්කර සමය තවම ඉවර වෙලත් නෑ. මුළු රටම විවිධ අන්දමින් දුෂ්කරතාවන්ට මුහුණ දෙනවා.
උද්ධමන වේගය තනි ඉලක්කමක් දක්වා අඩු කරලීමට අපට හැකි වුණ නිසා අධි උද්ධමනකාරී විනාශයෙන් රට ගලවා ගැනීමට අපට පුළුවන් වුණා. නමුත් මේ දරුණු අර්බුදය නිසා ඉහළ ගිය ජීවන වියදමට සරිලන පරිදි වැටුප් හා ආදායම් වැඩි කර ගැනීමට අපට තවමත් හැකි වී නැහැ. ඉන්ධන සහ විදුලි බිල තියුණු ලෙස ඉහළ යෑම සෑම පවුලකටම අනර්ථකාරී ලෙස බලපෑවා. බදු ඉහළ නැංවීම නිසා තනි පුද්ගලයන් පමණක් නොව, කුඩා ව්‍යාපාරවල සිට මහා පරිමාණ ව්‍යාපාර දක්වා තිගැස්සීමකට ලක්වී තියෙනවා. නිෂ්පාදන වියදම් ඉහළ ගොස් තිබෙනවා.
රටේ ජනතාව විදින මේ දුක් පීඩාවන් ගැන අප හොඳින්ම දන්නවා. ස්ථාවර සහ සංවර්ධිත ආර්ථිකයක් කරා යන ගමන සුන්දර නැහැ. දුෂ්කරයි. කටුකයි. අභියෝගාත්මකයි.
බංකොළොත් රටක් යළි ප්‍රකෘතියට පත් කිරීම මහා දුෂ්කර ව්‍යායාමයක්. මේ දුෂ්කර කාලය ගෙවා ගතහොත් අපට සහනදායී සුන්දර සමාජයක් නිර්මාණය කර ගන්න පුලුවන් වෙනවා. එහෙම නැතුව බලය ලබා ගැනීමේ දේශපාලන අරමුණු මතින් ජනතාවට සහන ලබාදීමේ සිහින මාළිගා ඉදිකරන්නට ගියොත් අවසානයේ රට යළිත් බංකොළොත් වෙනවා.
අප මෙතෙක් පැමිණි ගමන් මගේ සාර්ථකත්වයට හේතුව අප ආරම්භ කළ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළයි. 2022 දී මෙන් ආර්ථික අපායකට නොවැටී ඉදිරියට යන්නට මේ ප්‍රතිසංස්කරණ වැඩසටහන පදනම දමා තිබෙනවා.
2013 වසරේ සිට විදුලි උත්පාදනය සඳහා රජය වැය කරන මුදලට සරිලන පරිදි විදුලි බිල සංශෝධනය කිරීමේ පිළිවෙතක් අනුගමනය කෙරුණේ නැහැ. මේ නිසා විදුලි බල මණ්ඩලය බරපතළ ලෙස පාඩු ලැබුවා. 2022 වන තෙක්ම මේ පාඩු පියවීම සඳහා රාජ්‍ය බැංකු දෙකෙන් මුදල් ලබා ගත්තා. ඒ වගේම හිතා ගන්නට බැරි තරමේ පාඩු ලබන ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාඩුව පියවා ගත්තේ ද රාජ්‍ය බැංකු දෙකේ මුදල්වලින්. මේ තත්ත්වය කොයි තරම් බරපතළ වුණා ද කිවහොත් මේ වන විට රාජ්‍ය බැංකු දෙකේම ශේෂ පත්‍ර දුර්වල මට්ටමකට ඇද වැටී තියෙනවා. මේ බැංකු දෙක ශක්තිමත් කරලීම සඳහා මුදල් යෙදවීමට ආණ්ඩුවට සිදු වී තිබෙනවා. ඒ මුදල් ලබා ගන්නේ කොහෙන්ද? ඒ මුදල් ලබා ගන්න වෙන්නෙ ජනතාවගෙන් අය කරන බදු මුදල්වලින්.
පාඩු ලබන රාජ්‍ය ආයතනවල පාඩුව පියවන්න රාජ්‍ය බැංකුවලින් ණය ලබා ගන්නවා. ඒ නිසා රාජ්‍ය බැංකු දුර්වල වන විට බැංකු කඩා වැටීම වැළැක්වීම සඳහා ආණ්ඩුව මුදල් ලබා දෙනවා. ඒ මුදල් උපයා ගැනීමට නම් ජනතාවට වැඩි වැඩියෙන් බදු බර පැටවීමට සිදු වෙනවා.
සමහර කණ්ඩායම් පඩි වැඩි කරන්න කියා උද්ඝෝෂණ කරනවා. මේ දවස්වල රජයේ සේවකයන්ට විතරක් නෙවෙයි. මුළු රටටම අමාරුයි. මේ දුෂ්කර තත්ත්වයෙන් ගොඩ එන්න අපි දවසින් දවස, පියවරෙන් පියවර ඉදිරියට යා යුතුයි. එය අසීරු ගමනක්. වැඩ වර්ජන නිසා එක පැත්තකින් ඉදිරි ගමන අඩාල වෙනවා. අනික් පැත්තෙන් රටේ බහුතර ජනතාවක් පීඩාවට පත් වෙනවා.
පඩි වැඩි කිරීම ගැනත් මම වචනයක් සඳහන් කළ යුතුයි. පඩි වැඩි කිරීම් හිතුමතේ කරන්න බෑ. රජයේ සේවකයන්ට පඩි ගෙවීම සඳහා රජයේ බදු ආදායමෙන් සියයට 35 ක් වැයවෙනවා. තවත් පඩි වැඩි කරන්න නම්, රජයේ ආදායම් වැඩි කරගන්න ඕනෑ.
රජයේ ආදායම් වැඩි කරගන්නේ නැතුවත් ඕනෙ නම් පඩි වැඩි කරන්න පුළුවන්. ඒ කොහොමද? එක්කෝ සල්ලි අච්චු ගහන්න ඕනෑ. නැත්නම් පිටරටකින් ණය ගන්න ඕනෑ. ඒත් නැත්තම් අලුතෙන් බදු ගහන්න ඕනෑ. ඒ පිළිවෙත සමජීවිකතා සංකල්පයට විරුද්ධයි. එවැනි පියවරවලින් වෙන්නේ රට නැවතත් අගාධයට ඇද වැටීමයි.
විදුලි බල මණ්ඩලය විදුලිය උත්පාදනය සඳහා විශාල මුදලක් වැය කරනවා. මේ නිසා මහා පරිමාණ අඩු වියදම් පුනර්ජනනීය බලශක්තිය ප්‍රධාන විදුලි ජාලයට එක් කිරීමට අවශ්‍ය සියලුම නීතිමය බාධක අපි ඉවත් කළා. අකාර්යක්‍ෂම විදුලි බල මණ්ඩලය වෙනුවට කාර්යක්‍ෂම ආයතනයක් ලෙස එය ප්‍රතිව්‍යුහගත කිරීමේ නීති රීති දැන් සම්පාදනය වෙමින් පවතිනවා. විදුලි බල උත්පාදනය කාර්යක්‍ෂම ලෙස ඉටු කළ හැකි ආයතනික වෙනස්කම් සිදු කිරීමෙන් පසු ජනතාවගේ විදුලි බිල මීට වඩා සැහැල්ලු වෙනවා.
සමහර දේශපාලන කණ්ඩායම් විදුලි බල මණ්ඩලය කාර්යක්‍ෂම ආයතනයක් ලෙස ප්‍රතිව්‍යුහගත කරනවාට විරුද්ධයි. ඔවුන් කියන්නේ කෙසේ හෝ විදුලි බිල පහත දමන ලෙසයි. එවැනි දේකින් සිද්ධ වෙන්නේ නැවතත් අප අර විෂම චක්‍රයේ ගොදුරක් බවට නැවත පත් වීමයි. සමජීවිකතා සංකල්පයට පිටුපෑමයි.
රාජ්‍ය බදු ඉහළ දැමීම ගැනත් බරපතළ විවේචන තියෙනවා. බදු ඉහළ දැමීමට අපට සිදු වූයේ ඇයි? බදු ව්‍යුහයන් වෙනස් කිරීම සහ බදු ප්‍රතිසංස්කරණ අප කාලයක් තිස්සේ නොසලකා හැරියා. මේ නිසා රාජ්‍ය මූල්‍ය අංශය දුර්වල වුණා. එය යළි ශක්තිමත්ව පවත්වා ගෙන යාමට නම් අනිවාර්යෙන්ම බදු ක්‍රමයේ ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කළ යුතු වුණා.
සෑම මාසයකම රාජ්‍ය අංශයේ වැටුප් ගෙවීමට රුපියල් බිලියන 93 ක් වැය වෙනවා. අස්වැසුම, ඖෂධ, විශ්‍රාම වැටුප් ආදී මහජන සුබසාධනය වෙනුවෙන් මසකට රුපියල් බිලියන 30 ක් වැය වෙනවා. ඒ සමඟම රුපියල් බිලියන 220 ක් ණය පොලී ගෙවීමට වැය වෙනවා. මෙම කාරණාවලට පමණක් වැය වන මාසික රාජ්‍ය වියදම රුපියල් බිලියන 383 ක්. 2023 පළමු මාස 9 තුළ අපේ මාසික බදු ආදායම රුපියල් බිලියන 215 යි. රුපියල් බිලියන 168 ක් හිඟයි. මේ හිඟය පියවන්න නම් තව තවත් ණය ගත යුතු වෙනවා.
මෙතෙක් මේ හිඟ මුදල් පියවා ගත්තේ කොහොමද? විදේශ ණය ලබා ගන්නවා. ලංකාවේ බැංකුවලින් අයිරා ලබා ගන්නවා. මේ ක්‍රම දෙකෙන් හිඟ මුදල් පියවා ගැනීමට බැරි වූ විට මුදල් අච්චු ගහනවා.
විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරන තෙක් අපට විදේශ මුදල් හා විදේශ ණය ලබා ගත හැක්කේ ඉතා සීමාසහිතවයි. 2021 වසරේ රුපියල් බිලියන 900 ක බැංකු අයිරා ලබා ගෙන තිබුණා. දැන් බැංකු අයිරා ලබා ගැනීම රුපියල් බිලියන 70 දක්වා පහත මට්ටමකට ගෙනැවිත් තිබෙනවා. නව මහ බැංකු පනත අනුව මුදල් අච්චු ගසන්නටත් බෑ. මේ නිසා රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10 සිට සියයට 15 දක්වා ඉහළ නංවා ගත්තේ නැත්නම් අපි නැවතත් ආර්ථික අපායකට ඇද වැටෙනවා. බදු අඩු කිරීමක් කළහොත් වෙනත් ආකාරයකින් තවත් පිරවීමක් කළ යුතුයි. සමහර කණ්ඩායම් ප්‍රකාශ කරනවාක් මෙන්, සරල – සුන්දර පොරොන්දුවලින් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ.
මේ අවුරුද්දේ අප ඉලක්ක කරන ලද රාජ්‍ය ආදායම රුපියල් බිලියන 3,415 ක්. මේ දක්වා අප උපයා ගෙන ඇති ආදායම රුපියල් බිලියන 2,410 ක්. ඒ කියන්නේ අප ඉලක්කගත ආදායම උපදවා ගන්නට අසමත් වෙලා. මේ කරුණුත් අප දැඩි ලෙස සැලකිල්ලට ගත යුතුයි. ඉලක්කගත රාජ්‍ය ආදායම උපයා ගැනීමට වෙහෙසිය යුතුයි.
අලුතෙන් බදු ලිපි ගොනුවක් ලියාපදිංචි කරන ලෙස වැඩි ආදායම් ඇති අයගෙන් අප අවස්ථා කීපයකම ඉල්ලා සිටියා. නමුත් බහුතරයක් එසේ කළේ නෑ. එයට මූලික හේතුව බදු ගොනුවක් විවෘත කිරීමෙන් පසු නැති කරදරවලට මුහුණ දෙන්නට සිදුවෙතැයි කියන විශ්වාසය. ඒක ඇත්ත. බදු අය කිරීම් සම්බන්ධයෙන් අනවශ්‍ය සංකීර්ණතා තියෙනවා. සමහර නිලධාරීන්ගේ අනවශ්‍ය බලපෑම්වලට යටත් වෙන්නට සිදුවෙන අවස්ථා තියෙනවා. බදු ගෙවීම හිසරදයක් වෙන තරමට සමහර ගෙවීම් ක්‍රම සංකීර්ණයි.
අපේ බදු ක්‍රමයේ ඇති මෙවැනි බරපතල අඩුපාඩු ගණනාවක් අප හඳුනාගෙන තියෙනවා. වර්තමානයේ සමස්ත ඍජු බදු බර සමාජයේ සීමිත කොටස් කිහිපයක් මත පැටවී තියෙනවා. ආදායම් එකතු කිරීමේ ක්‍රමවේදයන්හි කාලයක් තිස්සේ පවතින දුර්වලතා සහ නොසලකා හැරීම් නිසා බදු පැහැර හැරීම් සිදු වෙනවා.
මෙම අඩුපාඩු සකස් කර ගැනීමේ යෝජනා ගණනාවක් මේ අයවැයට අප ඇතුළත් කර තියෙනවා. මෙම යෝජනා එක රැයෙන් ක්‍රියාත්මක කළ හැකි වන්නේ නෑ. ඒවා ක්‍රමානුකූලව ක්‍රියාත්මක කළ යුතුයි. එම යෝජනා ඔස්සේ රාජ්‍ය ආදායම් වැඩි කර ගත් විට අපට අදට වඩා බදු සහන ලබාදීමේ අවකාශය උදා වෙනවා.
රාජ්‍ය වියදම් අඩු කර ගැනීමෙන් ජනතාවගේ බදු බර අඩු කරන්නට පුළුවන් බව සමහරු පවසනවා. නමුත් රාජ්‍ය වියදම්වලින් වැඩි ප්‍රතිශතයක්, එනම් සියයට 35 ක් වැය වෙන්නේ රජයේ සේවකයින්ගේ වැටුප් ගෙවීමටයි.
දැනට රාජ්‍ය අංශයේ ශ්‍රම බලකාය මිලියන 1.3 ක්. සංඛ්‍යාව වැඩි වුවත් අපට ඔවුන්ව රැකියාවලින් ඉවත් කිරීමට බැහැ. එසේ කළහොත් දැවැන්ත සමාජ අර්බුදයක් නිර්මාණය වෙනවා. ඒ නිසා මෙම ගැටලූවලට ඉතා පරිස්සමින් සහ සංවේදීව අප මුහුණදිය යුතුයි.
හැබැයි අපි රජයේ නාස්තිකාර වියදම් අවම කළ යුතුයි. රජයේ ආයතනවල මොන තරම් මුදල් නාස්තියක් සිද්ධ වෙනවාද? මොන තරම් කාල නාස්තියක් සිද්ධ වෙනවාද? මේවාත් අප වළක්වාගත යුතුයි. රජයේ ආයතනයක වැඩක් කරන්න ගියාම සාමාන්‍ය පුරවැසියෙකුගේ කාලය, ශ්‍රමය සහ මුදල් මොන තරම් අපතේ යනවාද? මෙන්න මේ අඩුපාඩු සහ වැරදිත් අප හදා ගත යුතුයි.
පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායයන් නිසා රටේ ජනතාව පීඩා විඳිනවා. ඒවායේ පාඩුව සම්පූර්ණයෙන්ම දරන්නෙ ජනතාව. ඒවා ජාතික සම්පත් කිය කියා තවදුරටත් ඒවායේ බර ජනතාව පිට පටවන දේශපාලන කණ්ඩායම් කරන්නේ රට ආපස්සට ඇදීමක්.
ඒ වගේම දූෂණය හා වංචාව රට පුරා පිළිකාවක් සේ පැතිරිලා. රටේ ධනය හොරකම් කිරීම වැළැක්වීමේ පණත් අප දැන් ඉදිරිපත් කර තියෙනවා. රටේ ධනය සහ සම්පත් සොරකම් කළ බවට විවිධ අයට විවිධ චෝදනා තියෙනවා. හැබැයි රටේ ධනය සහ සම්පත් හොරකම් කළ අය ගැන වගේම රටේ අනාගතය හොරකම් කළ අය ගැනත් අප සිතා බැලිය යුතු වෙනවා.
සමහර දේශපාලන කණ්ඩායම් සාර්ථක ව්‍යාපාර ජනසතු කර රටේ අනාගතය හොරකම් කළා. තවත් සමහරු ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි වැනි නිරපරාදේ නාස්ති වෙන තැන් වෙනත් රටකට බදු දීමට විරුද්ධ වී රටේ අනාගතය හොරකම් කළා. තවත් සමහරු ඇඟළුම් කර්මාන්තයට විරුද්ධ වී රටේ අනාගතය හොරකම් කළා. වරාය දියුණු කරනවාට විරුද්ධ වී අනාගතය හොරකම් කළා. මේ ලැයිස්තුව තව දිගයි. මතක තියාගන්න. ඒ අයත් කරන්නෙ හොරකම්.
හැම සංවර්ධන ව්‍යාපෘතියකටම විරුද්ධ වෙන දේශපාලන කණ්ඩායම් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කරන්න ඉඩ දුන්නේම නෑ. ඒ තෙල් ටැංකි දිරාපත් වෙන්න ඉඩ ඇරියා වගේ ඔවුන්ට අවශ්‍ය නුවරඑළිය තැපැල් කාර්යාලයත් කඩා වැටෙන තත්ත්වයට පත් කරන්න.
නුවරඑළිය තැපැල් කාර්යාලය සංචාරක කර්මාන්තය සඳහා වෙන් කිරීම හුදෙකලා සිද්ධියක් නෙවෙයි. නුවරඑළිය සංවර්ධන සැලැස්මේ කොටසක්. අනාගතයේ නුවරඑළියේ විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීමේ බලාපොරොත්තුවත් අපට තියෙනවා. තවත් දැවැන්ත ව්‍යාපෘති ගණනාවක් නුවරඑළියේ ක්‍රියාත්මක වෙනවා. මේ සියළු දේ කරන්නේ නුවරඑළියේ පරිසරයත්, එහි ඓතිහාසික ගොඩනැගිලිත් ආරක්‍ෂා කර ගැනීම සඳහායි.
ගාලු කොටුවේ තිබූ පැරණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ලටත් මේ අය සිද්ධ කළේ මේ දේමයි. දැන් ඒ ගොඩනැගිල්ල කඩා වැටිලා. නිසි අවස්ථාවේ ඒ ගොඩනැගිල්ල සංචාරක කර්මාන්තය වෙනුවෙන් වෙන් කළා නම් ඒ ඓතිහාසික ගොඩනැගිල්ලත් අපට තියෙනවා. විදේශ විනිමයත් ලැබෙනවා.
මෑතකදී මුහුණු පොතේ සුසන්ත ආරියරත්න නැමති ආර්ථික විශ්ලේෂකයා ලියූ සටහනක් මම මෙහෙදී උපුටා දක්වන්න කැමතියි.
“රාජ්‍ය සම්පත් රැකගන්න තියෙන ෆෝමියුලා එක රාජ්‍ය සම්පත්වලට අත නොතබනු කියලා පෙළපාලි යන එක නෙවෙයි. ඒ සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගන්න එකයි. එතකොට ඒවා කාටවත් බරක් වෙන්නේ නෑ.”
අපි මෙතෙක් කල් ක්‍රියා කළේ රාජ්‍ය සම්පත් රැක ගැනීම කියන සටන් පාඨයට මුවාවෙලා ඒවායින් ප්‍රයෝජන නොගැනීම. ඒවා රටට දරන්න බැරි තරම් බරක් බවට පත් කිරීම.
හිතා බලන්න. මෙතෙක් අපේ රටේ ක්‍රියාත්මක වුණු දේශපාලන සහ ආර්ථික සංකල්ප අසාර්ථකයි. කරුණාකර ඒ බව තේරුම් ගන්න. ඔබේ අසල්වැසියාටත් ඒ බව තේරුම් කර දෙන්න. අප අලුත් දේශපාලන සහ ආර්ථික ක්‍රමයක් නිර්මාණය කරගත්තේ නැත්නම් මෙතැනින් එහාට ගමනක් නෑ.
රටේ මෙතෙක් පැවති දේශපාලන ක්‍රමයත්, ආර්ථික ක්‍රමයත් සම්පූර්ණයෙන්ම කණපිට හැරවිය යුතුයි. මම පසුගිය අයවැය ලේඛනයේදීත් ඒ බව පෙන්වා දුන්නා. සුගතපාල ද සිල්වා ‘මරා සාද්’ නාට්‍යයේ කියන පරිදි – කොට්ට උරයක් මෙන් කණපිට හරවා, අලුත් ඇහැකින් බැලියි යුතුයි.
අතීතයේ සිට අපේ රටේ මුල් බැස තිබූ සමාජ සම්මුතිය වූයේ රජය සියලූ දේ සිදු කළ යුතුයි යන්නයි. ඒ නිසා තමයි පුද්ගලික ව්‍යාපාර අඩපණ කරමින්, ඒ ව්‍යාපාර පවරා ගනිමින් සියලු ව්‍යවසායික කාර්යයන්ට රජය මැදිහත් වුණේ. හැබැයි ඒ සමාජ සම්මුතිය අසාර්ථක, යල් පැන ගිය එකක් බව දැන් තහවුරු වෙලා තියෙනවා.
අතීත අත්දැකීම්, ගෝලීය ප්‍රවණතා, අනාගත අභියෝග යන සියල්ල සලකා බලා අපටම අනන්‍ය ආර්ථික හා දේශපාලන ක්‍රමයක් අප නිර්මාණය කරගත යුතුයි. නව සමාජ සම්මුතියක් සකසා ගත යුතුයි.
මේ නව ක්‍රමයට පදනම දමමින් අපි පසුගිය වසර තුළ අනුගමනය කළ නිවැරදි පිළිවෙත් සහ ක්‍රමවේදයන් නිසා ආර්ථිකය සුවපත් වෙමින් පවතිනවා. දැන් හිඟයකින් තොරව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගන්න පුළුවන්. සියයට 30 ක් දක්වා ඉහළ නැග තිබූ පොලී අනුපාත දැන් සියයට 15 ක් පමණ දක්වා පහත වැටී තිබෙනවා. විදුලි බලය අඛණ්ඩව සැපයෙනවා. පොහොර හිඟයක් නැහැ. 2021 වසරේ අපේ ප්‍රථමික අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5.7 ක්. 2023 මුල් භාගයේ ප්‍රාථමික අයවැය අතිරික්තයක් ඇති කර ගැනීමට අප සමත් වුණා. ගැඹුරු ආර්ථික අවපාතය මැද මේ වසරේ මුල් මාස 6 තුළ බදු ආදායම සියයට 50 කින් ඉහළ නංවා ගන්න අපට පුළුවන් වුණා. 2022 සැප්තැම්බර් මාසයේ සියයට 70 දක්වා ඉහළ නැංවී තිබූ උද්ධමනය පසුගිය ඔක්තෝබර් වෙද්දී සියයට 1.5 දක්වා අඩු වුණා. බිංදුවට වැටී තිබූ විදේශ විනිමය සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5 ක් දක්වා ඉහළ ගියා. විදේශීය රටවල්වල විශ්වාසය යළි තහවුරු වුණා. හැබැයි යන්න තියෙන දුර තව බොහොමයි.
පසුගිය වසර තුළ වර්ධනාත්මක ප්‍රගතියක් අපට ලබා ගැනීමට හැකි වූයේ මේ රටේ බහුතර ජනතාව රට ගැන වූ අවංක චේතනාවෙන් යුතුව සිදු කළ කැප කිරීම් නිසයි.
විවිධ දුෂ්කරතා හමුවේ ඔවුන් පළ කළ ධෛර්යය නිසයි. මෙම දුෂ්කරතා සමනය කරන්නට අවශ්‍ය පසුබිම රජය ක්‍රමානුකූලව ලබා දෙනවා. අපේ ආර්ථිකය ප්‍රකෘතිමත් වෙද්දී, අපේ ආර්ථිකය ස්ථාවර වෙද්දී වඩාත් වැඩි පහසුකම් ජනතාවට සපයන්නට ඇප කැප වෙනවා.
නැවතත් 2022 වසරේ අපේ රට ඇද වැටුණු අපායට වැටෙන්නට අපට බැහැ. සමහර කණ්ඩායම් දිවා රෑ නොබලා උත්සාහ කරන්නේ නැවතත් රට ඒ තත්ත්වයට ඇද දමා ඔවුන්ගේ දේශපාලන අරමුණු ඉටු කර ගැනීමටයි. හැබැයි අපට දේශපාලන අරමුණක් නැහැ. අපට ඇති එකම අරමුණ රට ඉහළට ඔසවා තැබීම පමණයි.
මේ අයවැය මැතිවරණ අයවැයක් කියා සමහරු හඳුන්වනවා. එහෙම හඳුන්වන්නේ ලබන අවුරුද්දේ ජනාධිපතිවරණයත්, පාර්ලිමේන්තු මැතිවරණයත් පවත්වන නිසා. මැතිවරණ අයවැයකින් කරන්නේ ඡන්දය දිනාගැනීමේ අරමුණ ඇතිව කෙළවරක් නැති සහන සහ පඩි වැඩිවීම් ලබා දීම. නිදහසින් පසු අවුරුදු 75 ක කාලය තුළ බොහෝ අවස්ථාවල සිද්ධ වුණේ එයයි.
හැබැයි මේ අයවැය වෙනස්. මේ අයවැය රටේ අනාගතය නිර්මාණය කරන අයවැයක්. වත්මන් ජාත්‍යන්තර ප්‍රවණතාවන්ට අනුකූල නව ආර්ථික ක්‍රමවේදයක පදනම දමන අයවැයක්. සවිමත් අනාගතයක පෙරවදනක්.
මැතිවරණ ජයග්‍රහණයට වඩා මට වැදගත් වෙන්නේ රටේ ජයග්‍රහණයයි. මේ අයවැය රටේ ජයග්‍රහණය වෙනුවෙන් සකස් කළ අයවැයක්. බෞද්ධ ආර්ථික දර්ශනය අනුව සකස් කළ අයවැයක්. සමජීවිකතා සංකල්පය පදනම් කරගෙන රටටත්, රටේ අනාගතයටත් ජය සැලසෙන යෝජනා ගණනාවක් මේ අයවැය ලේඛනයට ඇතුළත් කර තියෙනවා.
මම දැන් 2024 අයවැය යෝජනා මේ ගරු සභාව ඉදිරිපත් කරන්නම්.
1. රාජ්‍ය සේවක වැටුප්
රජයේ සේවකයන්ට 2015 වසරෙන් පසු වැටුප් වැඩි වීමක් ලැබී නැහැ. මේ නිසා රාජ්‍ය අයවැයෙහි සමබරතාවය නොබිඳෙන අයුරින් රාජ්‍ය සේවකයන්ට සහනයක් ලබා දීමට මා යෝජනා කරනවා.
රජයේ සේවකයන් සංඛ්‍යාව මිලියන 1.3 (1,300,000) ක් පමණ වෙනවා. ඔවුන්ගේ පවුල්වල සමස්ත සාමාජික සංඛ්‍යාව මිලියන 5 කට වැඩියි. මේ රජයේ සේවකයන්ට දැනට හිමිවෙන්නේ රුපියල් 7,800 ක ජීවන වියදම් දීමනාවක්. අපි 2024 ජනවාරියේ සිට ජීවන වියදම් දීමනාව 17,800 දක්වා රුපියල් 10,000කින් වැඩි කරනවා.
මහා භාණ්ඩාගාරයට වසරේ ආදායම් ලැබෙන්න පටන් ගන්නේ පෙබරවාරි, මාර්තු මාස වන විටයි. ඒ නිසා මේ දීමනාව වැඩි වීම මාසික වැටුපට එකතු කරන්න අපට සිදු වෙන්නේ අප්‍රේල් මාසයේ සිටයි. ජනවාරි සිට මාර්තු දක්වා හිඟ මුදල ලබන ඔක්තෝබර් මාසයේ සිට වාරික වශයෙන් මාස හයක් තුළ ලබා දීමට අප පියවර ගන්නවා.
2. විශ්‍රාම වැටුප්
රජයේ විශ්‍රාම වැටුප් ලබන්නන් ගණන 730,000 ක්. ඔවුන්ට දැනට ලැබෙන්නේ රුපියල් 3,525 ක මාසික ජීවන වියදම් දීමනාවක්. අපි රජයේ විශ්‍රාම වැටුප් ලබන්නන්ගේ මාසික ජීවන වියදම් දීමනාව රුපියල් 6,025 දක්වා රු. 2500 කින් වැඩි කරනවා. මෙම වැඩි වීම 2024 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වනවා. 2024 වසරේ දී රු. බිලියන 386 ක් විශ්‍රාම වැටුප් වෙනුවෙන් වැය කරනවා.
3. වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප
වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප, සේවකයන් සිය මූලික වැටුපෙන් සියයට 6‐7 ක දායකත්වය ලබා දෙනු ලබන දායකත්ව විශ්‍රාම වැටුපක්. වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප ගෙවීම සඳහා රජය වසරකට රු. බිලියන 65 ක් පමණ වැය කරනවා. සේවකයන්ගෙන් වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය සඳහා වන වාර්ෂික දායකත්වය රු. බිලියන 38 ක් වනවා. එම නිසා, රාජ්‍ය සේවකයන්ගෙන් අය කර ගනු ලබන මුදල වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීමට ප්‍රමාණවත් වන්නේ නැහැ.
2024 අප්‍රේල් මාසයේ සිට සියලුම සේවා අංශවල මෙම විශ්‍රාම වැටුපට වූ දායකත්වය සඳහා වැටුපෙන් අඩු කරන ප්‍රතිශතය සියයට 8 දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා. මෙම ගැලපීම මඟින් වසරකට රුපියල් බිලියන 9 ක් එකතු කර ගැනීමට හැකි වෙනවා. එමෙන්ම, වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයේ අඛණ්ඩතාවය ඒ මඟින් තහවුරු කරගන්නට පුළුවන් වෙනවා.
4. ආහාර හා නවාතැන් දීමනා
පොලිස් සේවයේ නියුතු නිලධාරීන් දුර බැහැර රාජකාරී කටයුතු සඳහා යන එන අවස්ථාවන්හි දී ඔවුන්ට ලබා දෙන ගමන් දීමනාව වර්තමානයට ගැලපෙන්නේ නැහැ. එබැවින් දැනට ක්‍රියාත්මක එම දීමනාව වෙනුවට පොලිස් නිලධාරීන් කණ්ඩායම් තුන සඳහා සුදුසු ගැලපීම් සහිත ආහාර හා නවාතැන් දීමනාවක් ගෙවීමට අප ක්‍රියා කරනවා.
5. ආපදා ණය
රටේ පැවති දුෂ්කර ආර්ථික තත්ත්වය හේතුවෙන්, රාජ්‍ය වියදම සැළකිලිමත්ව කළමනාකරණය කිරීමට ක්‍රියාමාර්ග කිහිපයක් අනුගමනය කළා. එම ක්‍රියාවලිය තුළ, රාජ්‍ය සේවකයන් විසින් මුහුණ දෙන අනපේක්ෂිත හා සූදානම් නොවූ දුෂ්කරතාවයන්වල දී ඔවුන්ට ලබා දෙන ආපදා ණය හිමිකම යම් සීමා කිරීම්වලට යටත් කෙරුණා. 2024 ජනවාරි මස 1 වැනි දින සිට සියලු රාජ්‍ය සේවකයින්ට ආපදා ණය පහසුකම පෙර පරිදිම ලබා දීමට යෝජනා කරනවා.
6. අස්වැසුම
අස්වැසුම ප්‍රතිලාභ ලබා දීම අප ආරම්භ කළේ ලෝක බැංකුව ද ඇතුළු සංවර්ධන හවුල්කරුවන්ගේ සහය ඇතිවයි. නමුත්, ඉදිරි වසරේ අප ජනතාවට ප්‍රතිලාභ සලසන්නේ අපේම මුදලෙන්. මේ වැඩසටහන සඳහා පෙර වසරවල අප වැය කළේ රුපියල් බිලියන 60 ක මුදලක්. දැන් එය රුපියල් බිලියන 183 ක් දක්වා ඉහළ නංවා තියෙනවා. සමාජ ආරක්‍ෂණ වැඩසටහන් සඳහා පෙර වසරවල වැය කළ මුදල මෙන් තුන් ගුණයක් 2024 වසරේ දී අස්වැසුම වැඩසටහන සඳහා වියදම් කිරීමට අපේක්ෂා කරනවා. මේ නිසා ප්‍රතිලාභී පවුල් මිලියන 2 කට සහන සැලසෙනවා.
අස්වැසුම වැඩසටහන පදනම් වන්නේ සාධාරණ තෝරාගැනීමේ නිර්ණායක මතයි. නව වැඩසටහන වෙත මාරු වීමේ දී ඇති වී තිබෙන ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයන් නිවැරදි කෙරෙමින් පවතිනවා. අසාධාරණයක් සිදු වූ පවුල්වලට සාධාරණය ඉටු කිරීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මකයි. ප්‍රතිලාභ ලැබීම ප්‍රමාද වූ, සුදුසුකම් ලත් ප්‍රතිලාභීන්ට අතීතයේ සිට බලපැවැත්වෙන පරිදි ගෙවීම් සිදු කිරීමට පියවර ගන්නවා.
සමෘද්ධි නිලධාරීන්ගේ අත්දැකීම් සහ දැනුම අප අස්වැසුම ප්‍රතිලාභීන් සවිබල ගැන්වීම සඳහා උපයෝගී කරගන්නවා.
ආබාධිත පුද්ගලයන් හා වකුගඩු රෝගීන් 130,000 කට පමණ රු. 5,000 ක මාසික දීමනාවක් ගෙවනු ලබනවා. මෙම දීමනාව රු. 7,500 දක්වා වැඩි කිරීමට මා යෝජනා කරනවා. එය සියයට 50 ක වැඩි වීමක්. වැඩිහිටි පුරවැසියන් වෙත දැනට ලබා දෙන රු. 2,000 ක මාසික දීමනාව ද රු. 3,000 දක්වා වැඩි කරනවා. මෙමගින් පුද්ගලයන් 530,000 කට වඩා ප්‍රතිලාභ සැලසෙනවා.
පොරොත්තු ලේඛනයේ සිටි සහ දැනටමත් මූල්‍ය සහය ලබා ගන්නා ප්‍රතිලාභීන් 2024 වසරේ සිට ප්‍රතිලාභීන්ගේ ලේඛනයට ඇතුළත් කර ගන්නවා. මේ සඳහා රුපියල් බිලියන 138 ක් වෙන් කරනවා.
සමහර පවුල් හදිසි ආපදාවන්ට ගොදුරු විය හැක. පවුලේ ආදායම් උපයන්නා මිය යා හැක. අනතුරකට ලක් විය හැක. රැකියා අහිමි විය හැක. ඒ වගේ අවස්ථාවන්වල මුළු පවුලම අසරණ වෙනවා. මෙන්න මේ වගේ පවුල්වලට වර්තමාන ක්‍රමය අනුව අස්වැසුම ලබා ගන්න සෑහෙන කලක් බලා සිටින්නට සිද්ධ වෙනවා. නමුත් අප ඉදිරියේ දී මාස 6කට වරක් අස්වැසුම ප්‍රතිලාභීන් සමාලෝචනයකට ලක් කරනවා. අලුත් පවුල් ප්‍රමාදයකින් තොරව ප්‍රතිලාභී ලැයිස්තුවට එක් කර ගැනීමේ අවකාශය මෙමඟින් උදාවෙනවා.
අස්වැසුම වැඩසටහන සහ ආබාධිත පුද්ගලයන්, වකුගඩු රෝගීන් හා වැඩිහිටියන් සඳහා වන දීමනා සඳහා වෙන් කරන මුදල ලබන වසරේ දී රුපියල් බිලියන 205 දක්වා වැඩි කරනවා.
ගර්භනී මව්වරුන් වෙත රුපියල් 4,500 ක මාසික දීමනාවක් ලබාදීමේ ක්‍රමවේදයේ අඩුපාඩු සහ දුර්වලතා රැසක් අප හඳුනාගෙන තියෙනවා. එම අඩුපාඩු සකසා මෙම වැඩසටහන වඩා ක්‍රමවත් කරන්නට රුපියල් බිලියන 10 ක් දැනටමත් වෙන් කර තිබෙනවා.
7. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය
ආර්ථික අර්බුදය සහ කොවිඩ් වසංගත තත්ත්වයන් හේතු කොට ගෙන සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායයන් දැවැන්ත අර්බුදයකට ලක් වුණා. මෑතක දී කළ සමීක්‍ෂණයකින් හෙළි වුණේ මෙවන් ව්‍යවසායන්ගෙන් සියයට 20 ක් පමණ තාවකාලිකව හෝ ස්ථිරව වසා දමා ඇති බවයි. එමෙන්ම දැනට ක්‍රියාත්මක වන ව්‍යවසායයන්ගේ කාර්යසාධන පරිමාවේ පහළ යාමක් ද එම සමීක්‍ෂණයෙන් අනාවරණය වුණා. නිෂ්පාදන ආර්ථිකයක් කරා යන ගමන තව තවත් වේගවත් කිරීමට අපට අවශ්‍යයි. ඒ නිසා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට තව තවත් ශක්තිය, ධෛර්යය හා පහසුකම් ලබා දිය යුතුයි. මේ වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ද ඇතිව රුපියල් බිලියන 30 ක පමණ සහනදායී ණය පහසුකමක් අප හඳුන්වා දෙනවා.
මෙම වැඩසටහන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා විශාල අනුබලයක් ලබා දෙන ක්‍රියාමාර්ග ගණනාවක පළමු අදියරයි. සහන ණය පහසුකම්වලට අමතරව එයට සහභාගී වන ආයතන සඳහා ධාරිතා සංවර්ධන වැඩසටහන් ද ක්‍රියාත්මක කරනවා. කාර්මික ක්ෂේත්‍රයන්හි විශාල සමාගම්වල අගය දාමයන් සමඟ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් සම්බන්ධ කිරීමට ක්‍රියාමාර්ග ගන්නවා. මේ සඳහා වන ප්‍රතිපාදන අයවැය 2024 සඳහා වෙන් කර ඇත.
ඒ අනුව, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධනය සඳහා වෙන්වන මුළු මුදල රුපියල් බිලියන පණහක්. මේ නිසා, රුපියල් බිලියන 250 ක පමණ වටිනා මූල්‍ය වපසරියක් නිර්මාණය වෙනවා.
8. “උරුමය වැඩසටහන”
1897 දී ලංකා මුඩුබිම් ආඥා පනත සම්මත වුණා. ඒ යටතේ රට පුරා ගැමි ඉඩම් අක්කර දහස් ගණනක් බ්‍රිතාන්‍ය රජය අත්පත් කර ගත්තා. ඉන් පසුව, 1935 දී ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ගොවියන්ට බලපත්‍ර ක්‍රම මඟින් එම ඉඩම් කොටස් ලබා දුන්නා. හැබැයි අවුරුදු සියයකට ආසන්න කාලයක් ගෙවී ගියත්, මේ ගොවි බිම්වල අයිතිය ඒවා හිමි ගොවි ජනතාවට යළි පවරා දීමක් සිදු වුණේ නෑ. හුණුවටයේ කතාව නාට්‍යයේ කියැවෙන පරිදි, “ගොවි දන මනා වූ; ලැබිය යුතු වූ සේම ගම්බිම්” අප ඒ ගම්බිම් යළිත් ගොවි ජනතාවගේ පුද්ගලික අයිතියට පවරා දෙනවා.
බ්‍රිතාන්‍ය සමයේ පාරම්පරික ඉඩකඩම් අහිමි වූ ගොවි ජනතාවට යළිත් ඒ ගොවි බිම්වල පූර්ණ පුද්ගලික අයිතිය අපි ලබා දෙනවා. මෙම කාර්යය 2024 වර්ෂයේ ආරම්භ කොට තවත් වසර කීපයක් ඇතුළත සම්පූර්ණයෙන්ම නිම කිරීම අපගේ අපේක්‍ෂාවයි. පවුල් ලක්‍ෂ විස්සකට (2,000,000) මෙමඟින් ඉඩකඩම් හා ගොවිබිම් අයිතිය ලැබෙනවා. මේ වෙනුවෙන්, රුපියල් බිලියන 2 ක් වෙන් කරනවා.
9. නාගරික නිවාස හිමිකම
විවිධ නාගරික වැඩසටහන් යටතේ ඉදිකරන ලද නිවාස අඩු ආදායම්ලාභී පවුල්වලට කුලී පදනම මත ලබා දී තිබෙනවා. රුපියල් 3,000 ක පමණ මාසික කුලියක් ඒ පවුල් වෙතින් ලබා ගන්නවා. මේ පවුල්වලින් කුලී අය කර ගැනීම මම සම්පූර්ණයෙන්ම නවත්වනවා. ඒ විතරක් නෙවෙයි, මේ නිවාසවල පූර්ණ අයිතිය ඒ පවුල්වලට ලබාදීමට ක්‍රියා කරනවා. 2024 වර්ෂයේ දී පවුල් 50,000 කට ආසන්න සංඛ්‍යාවකට මෙම නිවාසවල අයිතිය ලබා දෙනවා.
ඉඩම් සහ නිවාස අයිතිය ජනතාවට ලබාදීමේ වැඩපිළිවෙළ පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කොට අවසන් වන විට මේ රටේ ජනතාවගෙන් සියයට 70 ක් පමණ දෙනා ඉඩම් හා නිවාසවල උරුමකරුවන් බවට පත්වෙනවා.
10. වතුකරයේ නිවාස
වතුකරයේ ජීවත් වන්නේ ඉඩම් හිමි ජනතාවක් නෙවෙයි. ඒ නිසා ඔවුන්ට නිවාස තනා දීම සඳහා ඉඩම් අයිතිය හිමි කර දීමට අප පියවර ගන්නවා. මෙහි ආරම්භක පියවර වශයෙන් රුපියල් බිලියන 4 ක් වෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා.
11. බිම්සවිය
1998 වර්ෂයේ ආරම්භ කරන ලද බිම්සවිය වැඩසටහන යටතේ මිලියන 12 ක් පමණ වූ ඉඩම් කට්ටි අතරින් මේ වන විට ඉඩම් කට්ටි මිලියනයක් පමණ ආවරණය කර තියෙනවා. මෙම වැඩසටහන කඩිනමින් නිම කිරීම පිණිස අවශ්‍ය පහසුකම් සලසා දීම පිණිස රුපියල් මිලියන 600 ක ප්‍රතිපාදන වෙන් කරනවා.
12. විමධ්‍යගත අයවැය
රටේ පැවති දුෂ්කර තත්ත්වය හා විමධ්‍යගත අයවැය වැඩසටහන සඳහා අතීතයේ දී ප්‍රමාණාත්මක අරමුදල් නොමැති වීම හේතුවෙන්, ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නොහැකි වුණා. මෙම වැඩසටහන තාවකාලිකව අත්හිටුවීම නිසා ග්‍රාමීය වශයෙන් සංවර්ධන කටයුතුවලට දායක වීමට මහජන නියෝජිතයන්ට හැකි වූයේ නෑ. අප යළිත් විමධ්‍යගත අයවැය වැඩපිළිවෙල ආරම්භ කරනවා. මේ සදහා රුපියල් මිලියන 11,250 ක මුදලක් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු හරහා ලබා දෙනවා. ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ක්‍රමවත් හා විධිමත් පිළිවෙතක් ඔස්සේ මෙය ක්‍රියාවට නංවනවා.
13. ″කඳුකර දශකය″
විවිධ හේතු නිසා සම්පත් බෙදී යාමේ විෂමතාවයන් හේතුවෙන් කඳුකර ප්‍රදේශවල පොදු යටිතල පහසුකම් හා සේවාවන්හි වර්ධනය සාපේක්ෂව අඩුයි. මෙම විෂමතාවයන් පුද්ගලයන්ගේ ජීවන තත්ත්වය සම්බන්ධයෙන් ද දක්නට ලැබෙනවා. කඳුකර ප්‍රදේශවල ග්‍රාමීය සංවර්ධනයට ප්‍රමුඛතාවය දීමේ වැදගත්කම රජය විසින් හඳුනාගෙන තිබෙනවා. සබරගමුව හා මධ්‍යම පළාත්වල මෙන්ම බදුල්ල, ගාල්ල, මාතර, කළුතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල කඳුකර ප්‍රදේශවලට අයත් සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 89 ඇතුළත් දස වසරක බහුකාර්යය ග්‍රාමීය හා ප්‍රජා සංවර්ධන වැඩසටහනක් 2024 වසරේ ආරම්භ කරනවා. මේ සඳහා 2024 වසරට රුපියල් බිලියන 10 ක් වෙන් කරනවා.
14. සංවර්ධන ව්‍යාපෘති යෝජනා අනුමත කිරීම
අප සංවර්ධන ව්‍යාපෘති අනුමත කරලීම සඳහා නව යාන්ත්‍රණයක් හඳුන්වා දී තිබෙනවා. නව ව්‍යාපෘති සමාලෝචනය සඳහා රාජ්‍ය කමිටුවක් ස්ථාපනය කර තිබෙනවා. එම කමිටුවේ නිර්දේශ අනුව මුදල් ඇමතිවරයා ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබා දෙනවා. මේ ක්‍රමවේදයෙන් බැහැරව සිදු කරන ව්‍යාපෘති සඳහා රාජ්‍ය මුදල් වෙන් කරන්නේ නෑ.
ආර්ථික වර්ධනය කෙරෙහි ඉහළ දායකත්වයක් ලබාදීමට හැකිවන අයුරින් රජයේ ප්‍රාග්ධන වියදම් යෙදවීමට මෙමඟින් හැකිවෙනවා. රාජ්‍ය මූල්‍ය සහ ණය තිරසරභාවය සඳහා මෙය ඉතා වැදගත්. මේ අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා 2024 අයවැයෙන් ප්‍රාග්ධන වියදම් සඳහා වන ප්‍රතිපාදන රුපියල් බිලියන 1,260 ක් දක්වා ඉහළ නංවනවා. එනම් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4 ක්.
ආර්ථික අර්බුදය නිසා ව්‍යාපෘති ගණනාවක් වැඩ කටයුතු තාවකාලිකව නවතා දමා තියෙනවා. මෙම ව්‍යාපෘති යළි ආරම්භ කර නිම කිරීමට සහ මා විසින් අයවැය කතාවේ දී ඉදිරිපත් කළ ප්‍රාග්ධන වියදම් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට තවත් රුපියල් බිලියන 55 ක අතිරේක ප්‍රතිපාදන යොදවනවා.
මේ මුදල අප ලබා ගන්නේ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂය වෙතින් රුපියල් බිලියන 55 ක් ප්‍රාග්ධන වියදම් ශීර්ෂය වෙත මාරුකිරීම මගින්. එවිට ඉදිරි වසරේ සංවර්ධන කාර්යයන් වෙනුවෙන් අප යොදවන ප්‍රාග්ධනය රුපියල් බිලියන 1,260 ක්.
ඒ වගේම විදේශ ණය සහ ආධාර මත සිදු කෙරුණු ව්‍යාපෘති ගණනාවක්ද අතරමග නැවතී තියෙනවා. විදේශීය ණය ප්‍රතිව්‍යව්‍යුහත කිරීමේ කාර්යයන් සාර්ථක වූ පසු ඒ ව්‍යාපෘති නැවත ඇරඹිමේ අවස්ථාව අපට හිමි වෙනවා.
සංවර්ධන ව්‍යාපෘති වලින් අපේක්ෂිත අරමුණු නිසි කලට ඉටුකිරීමට ව්‍යාපෘති කළමනාකාරණ කමිටු අපොහොසත් වී ඇති බව පෙනී යනවා. එබැවින්, සෑම අමාත්‍යාංශයකම 2024 වසරේ සිට ඒ සඳහා විශේෂ ඒකකයක් පිහිටුවීමටත්, ව්‍යාපෘතිවලට අදාළ කාර්යයන් ස්ථිර කාර්ය මණ්ඩලයේ රාජකාරි ලැයිස්තුව තුළට අන්තර්ගත කිරීමටත්, රාජ්‍ය සේවය තුළින් අදාළ අත්‍යාවශ්‍ය විශේෂඥ පිරිස් සපයාගත නොහැකි අවස්ථාවන්වල පමණක් අවශ්‍ය මානව සම්පත් කොන්ත්‍රාත් හෝ පැවරුම් පදනමින් ප්‍රසම්පාදන කිරීමටත් මා යෝජනා කරනවා.
15. ග්‍රාමීය මාර්ග
පසුගිය වසර කිහිපයේ සිටම ග්‍රාමීය මාර්ග නිසි ලෙස නඩත්තු කිරීමේ සහ කළමණාකරණය කිරීමේ අසීරුතාවන් ඇති වුනා. අබලන් වූ ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් බිලියන 10 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.
16. ස්වාභාවික විපත්
පසුගිය මාස කිහිපය තුළ අපට අයහපත් කාලගුණික තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වුණා. ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මෙරට මාර්ග පද්ධතියටත් පාලම් ගණනාවකටත් හානි සිදුවුණා. මේ ස්වභාවික විපත් හේතුවෙන් හානියට පත් මාර්ග සහ පාලම් ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් මිලියන 2,000 ක් වෙන් කරනවා.
17. පානීය ජලය
රටේ හැම පළාතකම පානීය ජලය පිළිබඳ ගැටළු තියෙනවා. විමධ්‍යගත අරමුදල් යෙදවීමේ දී හා විදේශ ණය ආධාර ලබා ගැනීමේ දී අප පානීය ජල ව්‍යාපෘතීන් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙනවා.
අධ්‍යාපනය
රටක අනාගතය සශ්‍රීක කරගන්න පුළුවන් වෙන්නේ යුගයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දීමෙන්. අපේ රටේ පැවතෙන්නේ යල් පැන ගිය අධ්‍යාපන ක්‍රමයක්. කටපාඩම් කරන්නන් බිහි කරන අධ්‍යාපන ක්‍රමයක්. මේ ක්‍රමය යටතේ නිර්මාණශීලීන් බිහිවෙන්නේ නෑ. ඒ වගේම නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභ පූර්ණ වශයෙන් ජනතාවට ලැබෙන්නෙත් නැහැ.
ඒ නිසා අපි පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාත්මක කරනවා. මේ නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකස් කිරීම සඳහා අපි විද්වතුන් 25 දෙනෙකුගේ කණ්ඩායමක් පත් කළා. එම යෝජනා මගේ ප්‍රධානත්වයෙන් යුතු අමාත්‍ය මණ්ඩල කමිටුවක මඟ පෙන්වීම මඟින් වඩාත් ඔපවත් කළා. මෙම ප්‍රතිපත්ති රාමුව දැන් අමාත්‍ය මණ්ඩලය විසින් සම්මත කර තිබෙනවා.
ඒ ප්‍රතිසංස්කරණ ඔස්සේ පිහිටුවන ප්‍රධාන ආයතන කිහිපයක් පිළිබඳව මම මේ සභාවට දැනුම් දෙන්නට කැමතියි. අධ්‍යාපනය පිළිබඳ ජාතික උසස් කවුන්සිලය, ජාතික උසස් අධ්‍යාපන කොමිසම, ජාතික නිපුණතා කොමිසම. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සවිස්තර තොරතුරු අධ්‍යාපන ඇමතිතුමා විසින් ඉදිරි සති දෙක තුළ මේ සභාවට ගෙනහැර දක්වාවි.
මෑතකදී අජානා රණගල මුහුණු පොතේ ලියා තිබූ මේ සටහන මගේ අවධානයට ලක්වුණා.
“දේශීය විශ්ව විද්‍යාලයකට යෑමේ අභිප්‍රායෙන් දේශීය විෂය ධාරාවෙන් උසස් පෙළ කිරීමට තෝරා ගැනීම වෙනුවෙන් මගේ දරුවා දින, සති, මාස මතු නොව අවුරුදු වලින් වන්දි ගෙවමින් සිටියි. ජාත්‍යන්තර විෂය ධාරාව හැදෑරූ ඔහුගේ මිතුරෝ උසස් අධ්‍යාපනය සඳහා විදෙස් ගතවෙති”
මේ තමයි සැබෑ තත්ත්වය. ඒ නිසා අපි උසස් පෙළ සමත් වෙන හැම දරුවෙකුටම විශ්වවිද්‍යාල අධ්‍යාපනය නොපමාව ලබා ගැනීමේ අවස්ථාව උදා කරනවා.
18. විශ්වවිද්‍යාල විද්‍යා හා තාක්ෂණ අධ්‍යාපනය පුළුල් කිරීමවර්තමානයේ තාක්ෂණික ක්ෂේත්‍ර වෙනුවෙන් ඇති ප්‍රවණතාවන්ද සැලකිල්ලට ගනිමින් අප නව විශ්වවිද්‍යාල හතරක් පිහිටුවීමට පියවර ගන්නවා.
(අ). සීතාවක විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලය (මෙයට ලලිත් ඇතුළත්මුදලි පශ්චාත් උපාධි ආයතනය ඇතුළත් කරනවා.)
(ආ). කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය යටතේ කුරුණෑගල තාක්ෂණ විශ්වවිද්‍යාලය
(ඇ). කළමනාකරණ හා තාක්‍ෂණ විශ්ව විද්‍යාලය
(ඈ). ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලය
එමෙන්ම, පහත සඳහන් දැනට ක්‍රියාත්මක වෙමින් පවතින පුද්ගලික උසස් අධ්‍යාපන ආයතන විශ්වවිද්‍යාල බවට පත් කිරීමේ නීති රීති සම්මත කළයුතු යැයි මම යෝජනා කරනවා.
(අ). එන් එස් බී එම්
(ආ). ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIT)
(ඇ). හොරයිසන් කැම්පස්
(ඈ). රෝයල් ඉන්ස්ටිටියුට්
13 වන සංශෝධනය යටතේ පළාත් සභාවලටත් විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ බලය ලබා දී තිබෙනවා. ඉදිරියේ දී පළාත් සභා මඟින් ද විශ්වවිද්‍යාල ආරම්භ කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.
19. ජාතික අධ්‍යාපන විශ්ව විද්‍යාලය
අධ්‍යාපන විද්‍යාපීඨ 19 ක් ඒකාබද්ධ කර අධ්‍යාපනය සඳහා කැපවුණු අධ්‍යාපන විශ්වවිද්‍යාලයක් ස්ථාපනය කිරීමට මම යෝජනා කරනවා. දැනට ක්‍රියාත්මක විද්‍යා පීඨයක අවුරුදු 4 ක පාඨමාලාව නිම කළ පසු අදාළ ප්‍රමිතීන්ට අනුගත වෙමින් අධ්‍යාපනවේදී උපාධිය මෙම නව විශ්ව විද්‍යාලය මඟින් පිරිනැමෙනවා. පියවරෙන් පියවර මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර 2024 සඳහා මේ වෙනුවෙන් රුපියල් බිලියනයක් වෙන් කරනවා.
20. නව තාක්‍ෂණික විශ්ව විද්‍යාලය
ඉන්දියාවේ චෙන්නෙයි නගරයේ පිහිටි අයි අයි ටී විශ්ව විද්‍යාලයේ මඟපෙන්වීම යටතේ මහනුවර නගරයේ නව තාක්‍ෂණ විශ්ව විද්‍යාලයක් ආරම්භ කරනවා. මේ සඳහා ඉන්දියාව අපට පූර්ණ සහය ලබා දෙනවා.
21. රාජ්‍ය විශ්ව විද්‍යාල
රාජ්‍ය විශ්ව විද්‍යාල නව යුගයට ගැලපෙන පරිදි වැඩිදියුණු කරලීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. මෙය ආරම්භ කරන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන්.
2042 වර්ෂයේ යෙදෙන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශත සංවත්සරය ඉලක්ක කර ගනිමින් සිදු කරන මේ වැඩපිළිවෙලේ ආරම්භක සංවර්ධන කටයුතු වෙනුවෙන් ලබන වර්ෂය සඳහා රුපියල් මිලියන 500 ක් වෙන් කරනවා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා සහ ප්‍රතිශක්ති විද්‍යා අංශය, ජාතික අසාත්මිකතා සහ ප්‍රතිශක්ති විද්‍යා ආයතනය ලෙස උසස් කරනවා. ඒ සදහා අවශ්‍ය වන විද්‍යාගාර හා අනෙකුත් පහසුකම් දියුණු කිරීමේ වැඩ සැලසුමට ඉදිරි වර්ෂය වෙනුවෙන් රුපියල් මිලියන 40 ක් වෙන් කරනවා.
ඉන් පසුව අපේ අවධානය යොමු වෙන්නේ කොළඹ, කැළණිය සහ මොරටුව විශ්වවිද්‍යාල වෙතට. ඒ සඳහා විධිමත් සැලසුම් සකස් කොට ඉදිරිපත් කරන ලෙස මම ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා.
22. රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල
රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල නියාමනය සඳහා බලවත් නීති රීති මාලාවක් සම්මත කර ගැනීමෙන් පසු අප ලෝකයේ ඕනෑම පිළිගත් විශ්ව විද්‍යාලයකට හෝ උසස් අධ්‍යාපන ආයතනයකට ලංකාවේ විශ්ව විද්‍යාල පිහිටුවීමට අවසර දෙනවා. උසස් පෙළ සමත් වෙන හැම දරුවෙකුටම විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා ගැනීමට වගේම විදේශීය දරුවන් මඟින් විදේශ විනිමය උපයා ගැනීමටත් මෙමඟින් අවකාශ උදාවෙනවා.
මෙම රාජ්‍ය නොවන විශ්ව විද්‍යාලයන්හි අධ්‍යාපනය ලබන දරුවන්ට ණය පහසුකම් ලබා දෙනවා. දැනට ක්‍රියාත්මක පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයට අමතරව වාණිජ බැංකු හරහා සහනදායී ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට මා යෝජනා කරනවා. රැකියාවක් ලබා ගැනීමෙන් පසු ඒ ණය ආපසු ගෙවන්නට අවකාශ සලසනවා.
23. ජාතික උසස් අධ්‍යාපන කොමිසම
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සහ තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව ඒකාබද්ධ කොට ජාතික උසස් අධ්‍යාපන කොමිසමක් ස්ථාපිත කරනවා. උසස් අධ්‍යාපනය පුළුල් හා ශක්තිමත් කිරීමට අවශ්‍ය තීන්දු තීරණ ගැනීම මෙන්ම නියාමන බලතල ද එම කොමිසමට ලබා දෙනවා.
24. ජාතික නිපුණතා කොමිසම
වත්මන් අභියෝගයන්ට අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි ජාතික නිපුණතා කොමිෂන් සභාවක් පිහිටුවනවා. ඒ යටතේ, වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරිය ආදී ආයතන ඒකාබද්ධ කරනවා.
25. පළාත් සභා සඳහා වෘත්තීය අධ්‍යාපනය
දැනට මධ්‍යම රජය යටතේ ක්‍රියාත්මක වන වෘත්තීය අධ්‍යාපන ආයතන පළාත් සභා නවය වෙත පැවරීමට මා යෝජනා කරනවා. නිපුණතා සංවර්ධන ක්ෂේත්‍රය දියුණු කිරීම හා නවීකරණය කිරීම සඳහා පළාත් අධ්‍යාපන මණ්ඩල පිහිටුවනවා. ඉදිරියේ දී වෘත්තීය අධ්‍යාපන කටයුතු නියාමනය කිරීම සඳහා මධ්‍යම රජයෙන් අවශ්‍ය මගපෙන්වීම පමණක් සපයන අතර අධ්‍යාපන හා පුහුණු කාර්යයන් සහ සේවා සියල්ල ක්‍රියාත්මක කරන්නේ පළාත් සභා මගින්.
තාක්ෂණික වෘත්තීය කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුදලක් පිහිටුවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරනවා. ඒ සඳහා දැනටමත් ආසියානු සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. මෙම ආයතන සඳහා දැනට වෙන් කර ඇති ප්‍රතිපාදනවලට අමතරව ඉදිරි වර්ෂයේ දී රුපියල් මිලියන 450 ක් වෙන් කරනවා.
26. තොරතුරු තාක්‍ෂණ පුහුණුව
තොරතුරු තාක්‍ෂණයට සම්බන්ධ පුද්ගලික ආයතන සමග එක්වී රැකියා අපේක්‍ෂිත උපාධිධාරීන් පුහුණු වැඩසටහනක් දියත් කරනවා. මේ උපාධිධාරීන්ට අවම මාස 6 ක කාලයක් තුළ පුහුණුව සහ සේවා පළපුරුද්ද ලබා දෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 750 ක් වෙන් කරනවා.
ඉදිකිරීම්, සාත්තු සේවා, සංචාරක වැනි අනෙකුත් නිපුණතා හිඟයන් පවතින ක්ෂේත්‍ර සඳහාත් මෙවැනි පුහුණු වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා.
27. තරුණ සහ වැඩිහිටි අධ්‍යාපනය
විශ්ව විද්‍යාල අධ්‍යාපනයට සුදුසුකම් නොලබන තරුණ ප්‍රජාවට දේශීය හා විදේශීය රැකියා ලබා ගැනීමට අවකාශ සැලසිය යුතුයි. ඒ වගේම රාජ්‍ය සේවයේ සහ පුද්ගලික අංශයන්හි රැකියා කරන වැඩිහිටියන්ට නව දැනුම ලබා ගැනීමට අවශ්‍ය පසුබිමද සකස් කළ යුතුයි. මේ අරමුණු ඉලක්ක කර ගත් පුහුණු පාඨමාලා සහ සේවාවාන් සැපයීමට අවශ්‍ය තාක්‍ෂණික හා භෞතික නවීකරණ කටයුතු උදෙසා ශ්‍රී ලංකා පදනමට රුපියල් මිලියන 150 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.
28. සැමට ඉංග්‍රීසි
ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි සාක්ෂරතාවය පුළුල් කිරීම පිණිස ජාතික වැඩපිළිවෙලක් සකස් කිරීම අවශ්‍යයි. 2034 වන විට දී ඉංග්‍රීසි භාෂා සාක්‍ෂරතාව සැමට ලබා දීම මෙහි අරමුණයි. දස වසරක් පුරා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන ඇරඹීමට රුපියල් මිලියන 500 ක් වෙන් කරනවා.
29. සුරක්‍ෂා
2016 වසරේ දී හඳුන්වා දෙන ලද දැනට ක්‍රියාත්මක නොවන සුරක්‍ෂා සිසු රක්ෂණ යෝජනා ක්‍රමය නැවත හඳුන්වා දීමට යෝජනා කරනවා. ඒ අනුව, සියලු පාසල් සිසුන් හට මෙම රක්ෂණ අවාරණය ලබා ගැනීමට හිමිකම ලැබෙනවා.
සෞඛ්‍ය සේවා සෞඛ්‍ය සේවාවන්හි ගුණාත්මකභාවය රැක ගැනීම උදෙසා අප කැපවෙනවා. අඩුපාඩු, දුර්වලතා සහ අර්බුද හඳුනාගෙන ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා පියවර ගැනීමට අප ක්‍රියා කරනවා.
30. ඖෂධ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ
ඖෂධ ප්‍රසම්පාදනය කිරීම සම්බන්ධයෙන් සුවිශේෂී මාර්ගෝපදේශ නිකුත් කිරීම සහ ඒ සඳහා වෙනමම ආයතනයක් පිහිටුවීම කෙරෙහි අපේ අවධානය යොමු වී තියෙනවා. මේ පියවර අප ගන්නේ රජයේ ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විස්තරාත්මක අධ්‍යයනයක් සිදු කිරීමෙන් පසුවයි.
31. වෛද්‍ය හා සෞඛ්‍ය පර්යේෂණ
ශ්‍රී ලංකාවේ වෛද්‍ය පර්යේෂණ ලෝකයේ සෙසු රටවල්වල මට්ටමට ගෙන ඒම සඳහා වෛද්‍ය හා සෞඛ්‍ය පර්යේෂණ සඳහා ආයෝජන වැඩි කිරීමට මා බලාපොරොත්තු වනවා. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ යටිතල පහසුකම් හා රසායනාගාර පහසුකම් ශක්තිමත් කිරීමේ මුල් අදියර සඳහා රුපියල් මිලියන 75 ක් වෙන් කරනවා.
ජාතික ඖෂධ තත්ත්ව පරීක්ෂණ රසායනාගාරයේ පහසුකම් වැඩි දියුණු කිරීමට තුන් වසරක සැලැස්මක් යටතේ ලබන වසරට රුපියල් මිලියන 25 ක් වෙන් කරනවා.
32. බදුල්ලට හෘද පෙනහලු පුනර්ජීවන ඒකකයක්.
ඌව පළාතේ කිසිදු රෝහලක හෘද පෙනහලු පුනර්ජීවන පහසුකම් නැහැ. අප මේ අඩුපාඩුව සම්පූර්ණ කරනවා. බදුල්ල ශීක්ෂණ රෝහලේ පුනර්ජීවන ඒකකයක් ස්ථාපිත කිරීම සඳහාත්, ඊට අවශ්‍ය උපකරණ මිල දී ගැනීම සඳහාත් රුපියල් මිලියන 300 ක මුදලක් වෙන් කරනවා.
33. වෛද්‍ය නිළධාරීන් සඳහා උසස්වීම්
විශේෂඥ වෛද්‍යවරුන් සහ ශ්‍රේණිගත වෛද්‍යවරුන් දෙපාර්ශ්වයටම ගැලපෙන පරිදි උසස් වීම් ක්‍රමවේදයක් සඳහා අවශ්‍ය සංශෝධන සිදු කිරීම කඩිනම් කරනවා.
34. පශ්චාත් උපාධි අවස්ථා
වෛද්‍යවරුන්ගේ වෘත්තීයභාවය වැඩි දියුණු කිරීමේ අරමුණින් 2023 අයවැය මඟින් වෛද්‍යවරුන් සඳහා පශ්චාත් උපාධි අවස්ථා පුළුල් කිරීමේ යෝජනා අප ඉදිරිපත් කළා. දැනට එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන විශ්ව විද්‍යාලයන්ට අමතරව ලබන වසරේ සිට කැළණිය, ශ්‍රී ජයවර්ධනපුර සහ රජරට විශ්ව විද්‍යාල ද එම වැඩපිළිවෙළට ඇතුළත් කරනවා.
පාරම්පරික වෙදකම
අප දේශීය වෛද්‍යවේදය ශක්තිමත් කරන්නත්, ප්‍රචලිත කරන්නත් ක්‍රියා මාර්ග ගන්නවා.
35. ශ්‍රී ලාංකේය සුවතාව
පාරම්පරික වෙද වට්ටෝරුවලින් තැනූ දේශීය ඖෂධ, ආහාර අතිරේක, ඖෂධීය විලවුන් හා ශාකසාර අමුද්‍රව්‍යවලට ජාත්‍යන්තර ඉල්ලූමක් තියෙනවා. මේ අවස්ථාව හරියාකාරව පාවිච්චි කළොත් තව තවත් ජාත්‍යන්තර වෙෙළඳපොල පුළුල් කර ගැනීමට අපට හැකියාව ලැබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශයේ සහ ආයුර්වේද ඖෂධ සංස්ථාවේ අධීක්ෂණය යටතේ එවැනි ආයෝජනයන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට අප ක්‍රියා කරනවා.
සංචාරකයන් වෙත දේශීය හා ආයුර්වේද සත්කාර ලබාදීම සඳහා, “ශ්‍රී ලාංකේය සුවතාව” යන සංකල්පය අනුව සංචාරක හෝටල්, නිවාඩු නිකේතන තුළ සත්කාර මධ්‍යස්ථාන පිහිටුවීමට සැලසුමක් දියත් කරනවා. මේ සඳහා රුපියල් මිලියන 100 ක් වෙන් කරනවා.
කෘෂි හා ධීවර කර්මාන්ත නවීකරණය
නව ආර්ථිකය යටතේ කෘෂිකර්මය තරගකාරී මට්ටමකට ඔසවා තැබිය යුතුයි. අගය වැඩි කෘෂි නිෂ්පාදන බිහි කළ යුතුයි. අපනයන ඉලක්ක කරගනිමින් කෘෂිකර්මය නවීකරණය කළ යුතුයි.
කෘෂිකාර්මික නවීකරණ ව්‍යාපෘති, කුඩා වතු හිමි කෘෂි ව්‍යාපාර හවුල්කාරීත්ව මූලාරම්භයන් සහ බෝග විවිධාංගීකරණය සඳහා මේ අයවැය මගින් මුදල් වෙන් කරනවා.
එසේම ධීවර කර්මාන්තය නගාසිටුවීම සඳහාත් පෝෂණය කිරීම සඳහාත්, නවීන තාක්‍ෂණ දැනුම ධීවර කර්මාන්තය සඳහා යොදා ගැනීම ගැනත් අප විශේෂ වැඩ සැලසුම් දියත් කරනවා.
36. කෘෂි හා ධීවර නවීකරණ මණ්ඩල
කෘෂි හා ධීවර අංශ දියුණු කිරීමට සහාය වීම සඳහා පළාත් කෘෂි සහ ධීවර නවීකරණ මණ්ඩල පිහිටුවනු ලබනවා. සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන, කෘෂිකර්ම නවීකරණ කේන්ද්‍රස්ථාන ලෙස වැඩි දියුණු කරනවා. මේ සඳහා රජය, පෞද්ගලික අංශය, ගොවීන්, කෘෂි විද්‍යාඥයින්ගෙන් සමන්විත ඒකාබද්ධ වැඩසටහනක් 2023/24 මහ කන්නයේ සිට ක්‍රියාත්මක කරනවා. මේ කාර්යයන් සඳහා රුපියල් මිලියන 2,500 වෙන් කිරීමට මා යෝජනා කරනවා.
මෙහි අරමුණ වී නිෂ්පාදනය හෙක්ටාරයකට මෙට්‍රික් ටොන් 3.5 සිට 8 දක්වා ඉහළ නැංවීමයි. මෙමඟින් වියලි කළාපයේ වී අස්වැන්න ඉහළ ඵලදායී තත්ත්වයකට පත් කර ගනිද්දී වගා නොකරන කුඹුරු වෙනත් ප්‍රයෝජනවත් වගා කටයුතු සඳහා උපයෝගී කර ගැනීමේ අවස්ථාව අපට උදා වෙනවා.
තෙත් කලාපීය ප්‍රදේශයන් හි මඩ ඉඩම්වල වී වගාවේ ඵලදායීතාවය ඉතා අඩු මට්ටමක පවතිනවා. එම ඉඩම්වල වී වගාවෙන් බැහැරව වෙනත් බෝගයක් වගා කිරීමට ද නීතිමය ඉඩකඩක් නැහැ. කිසිදු වගාවක් නොකර මුඩු බිම් ලෙස පැවතෙන එවැනි ඉඩම්වල වෙනත් වගාවක් සිදු කිරීම පිණිස පවතින නීතිමය බාධාවන් ඉවත් කළ යුතු යැයි මා යෝජනා කරනවා.
ඊට අමතරව මහා පරිමාණයේ කෘෂිකාර්මික කටයුතු සඳහා රාජ්‍ය වැවිලි සංස්ථාව, මහවැලි ඒ සහ බී කලාප, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ආදී රාජ්‍ය ආයතන සතු ඉඩම්වලින් අක්කර ලක්‍ෂ 3 ක් වෙන් කරනවා.
37. ධීවර අංශය
ධීවර අංශයේ ඵලදායිතාව ඉහළ නැංවීම, ධීවර ජීවනෝපාය සහ ආදායම් වැඩිදියුණු කිරීමේ වඩාත්ම තිරසාර මාර්ගයයි. මේ සඳහා රජය ධීවර වරායන් කළමනාකරණයේ දී පෞද්ගලික අංශය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම ආරම්භ කරනවා. නාස්තිය අවම කිරීම සහ ඵලදායිතාව ප්‍රශස්ත කිරීම සඳහා අවශ්‍ය වන ගබඩා ඇතුළු යටිතල පහසුකම් මේ ඔස්සේ සංවර්ධනය කර ගැනීමට පුළුවන්.
රටේ සමස්ත මත්ස්‍ය අස්වැන්නෙන් සියයට 35 ක් පමණ ලැබෙන්නේ උතුරු මුහුදු ප්‍රදේශයෙන්. ඒ කාර්යයන් අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමට රුපියල් මිලියන 500 ක් වෙන්කරනවා.
ශ්‍රී ලංකාවේ සමස්ත මත්ස්‍ය අස්වැන්නෙන් සියයට 29 ක් ලැබෙන්නේ මිරිදිය ධීවර හා ජලජීවී වගා අංශය මඟින්. ශ්‍රී ලංකාවේ ස්ථිර හා තාවකාලික ජලාශ 12,000 ක් පමණ තියෙනවා. මුළු ජලාශ ප්‍රමාණය හෙක්ටයාර් 260,000 ක් පමණ වෙනවා. මිරිදිය ධීවර කර්මාන්තය සංවර්ධනය කිරීම උදෙසා රුපියල් මිලියන 200 ක් වෙන් කර තිබෙනවා.
මෙම වැඩසටහනේ තිරසාර බව ඉදිරියේ දී පවත්වාගෙන යාම සඳහා ප්‍රජා සහභාගීත්වය තුළින් චක්‍රීය අරමුදලක් පිහිටුවීම මඟින් ධීවර ප්‍රජාව දිරිමත් කිරීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට තවදුරටත් යෝජනා කරනවා.
38. වැව් ප්‍රතිසංස්කරණය කිරීම
කුඩා වැව් රටේ වාරිමාර්ග හා කෘෂිකර්මාන්තයේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා. දේශගුණික විපර්යාසවල බලපෑම් සමඟ මෙය වඩාත් වැදගත් වෙනවා. කුඩා වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ වගකීම් ඒ ඒ ප්‍රදේශයන්හි ගොවි කමිටු වෙත පැවරීය යුතු යැයි මා යෝජනා කරනවා. ඊට අවශ්‍ය බලය සහ සහය අප ගොවි කමිටු වෙත ලබා දෙනවා. එවිට පුද්ගලික අංශය සමග එක්ව කුඩා වැව් ප්‍රතිසංස්කරණය කිරීමට ඔවුන්ට පුළුවන්. මේ ක්‍රියාමාර්ග ඔස්සේ ගොවි නිෂ්පාදන ඉහළ නැංවීම අපේ අරමුණයි.
39. කිරි නිෂ්පාදන
කිරි ගොවීන් බහුතරයක් වර්තමානයේ එම කර්මාන්තයේ නිරත වෙන්නේ ජීවනෝපායක් හැටියටයි. නමුත් අප එය ලාභ ලබන කර්මාන්තයක තත්වයට ඉහළ නංවා කිරි ගොවීන්ට ඉහළ ආදායමක් ලබා ගැනීමට අවශ්‍ය පසුබිම සැකසිය යුතුයි. මේ සඳහා ප්‍රාග්ධන ආයෝජන වැඩි කිරීම සහ මධ්‍ය පරිමාණ ලාභදායී කිරි නිෂ්පාදන ඒකක පිහිටුවීම වැදගත් වනවා. ඒ නිසා කිරි නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධව සිටින්නන්ගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රතිමූල්‍ය ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට මා යෝජනා කරනවා.
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපළ සියල්ලම ඵලදායී ලෙස යොදා ගනිමින් පෞද්ගලික අංශයේ ද දායකත්වය සහිතව කිරි නිෂ්පාදනය වසර 5 ක් තුළ සියයට 53 කින් ඉහළ නැංවීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. මේ ව්‍යාපෘතිය අවසන් වෙද්දී දෛනික කිරි නිෂ්පාදනය දිනකට ලීටර් මිලියන 20 දක්වා ඉහළ නැංවෙනවා. එය පස් ගුණයක වැඩි වීමක්.
මෙම වැඩසටහන යටතේ අඹේවෙල ගොවිපළ ඉතා සාර්ථක ප්‍රතිඵල අත් කර ගෙන තිබෙනවා. අඹේවෙල ගොවිපළේ දිනකට ලීටර් 1,600 ක් ව තිබූ දෛනික කිරි නිෂ්පාදනය දැන් කිරි ලීටර් 50,000 ක් දක්වා ඉහළ ගොසින් මෙය දිනකට කිරි ලීටර් 75,000 ක් දක්වා වර්ධනය කිරීම අපගේ අරමුණයි.
40. ඉදිකිරීම් අංශයට සවියක්.
පසුගිය කාලයේ දී වඩාත් පසුබෑමකට ලක්වූ ක්ෂේත්‍රයක් ලෙස ඉදිකිරීම් ක්ෂේත්‍රය හඳුන්වන්න පුළුවන්. කොවිඩ් වසංගතය, ආර්ථික අර්බුදය, ආනයන සීමා ආදී විවිධ හේතු නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රය දැවැන්ත අර්බුදයකට පත් වුණා. මේ තත්ත්වය සලකා බලමින් ඔවුනට සහය වීම උදෙසා නව අත්හදා බැලීමක් සිදු කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
රජයේ ආයතන ඔවුන්ට නොමිලේ ඉඩම් සපයනවා. ඒ ඉඩම්වල ඒ ඒ රාජ්‍ය ආයතනවල සැලසුම් අනුව ගොඩනැගිලි ඉදි කිරීමේ අවස්ථාව අප ඉදිකිරීම් සමාගම් වෙත ලබා දෙනවා. ඉදිකිරීමෙන් පසු එම ආයතන විසින් ඉදි කිරීමේ සමාගමට මාසික කුලී ගෙවනවා. ඉදිකිරීම් වියදම සහ ඊට අනුකූල ලාභාංශ ලැබීමෙන් පසු ගොඩනැගිල්ලේ පූර්ණ අයිතිය රාජ්‍ය ආයතනය වෙත ලබා දෙනවා. විදේශ අමාත්‍යංශයේ නව ගොඩනැගිලි සංකීර්ණය ඉදි කිරීම මෙහි මුල්ම නියමු ව්‍යාපෘතිය ලෙස ක්‍රියාත්මක කරනවා.
කොළඹ නගරයේ වතු නිවාසවල ජීවත් වෙන ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සහ ඉදිකිරීමේ ක්ෂේත්‍රයේ වර්ධනය ඉලක්ක කරගත් නව වැඩසටහනක්ද ක්‍රියාත්මක කරන්නට අප බලපොරොත්තු වෙනවා. කොළඹ නගරයේ වතු ඉඩම්වල විශාල නිවාස හා වෙළඳ සංකීර්ණ ඉදිකිරීමේ වගකීම අප ඉදිකිරීම් ක්ෂේත්‍රයට ලබා දෙනවා. ඒ ඉඩම් අප නොමිලයේ ඔවුන්ට ලබා දෙනවා. එහිදී ඔවුන් ඉටු කළ යුතු කොන්දේසිය වන්නේ එම වත්තේ පදිංචිව සිටින ජනතාවට නව නිවාස ලබා දීම පමණයි. එකී පවුල් එම නිවාස සංකීර්ණයේ නිවාස ඉල්ලා සිටින්නේ නම් ඔවුන්ට එහි නිවසක් ලබා දිය යුතුයි. එම පවුල් වෙනත් ස්ථානයක නිවාස ඉල්ලා සිටින්නේ නම් ඒ ඉල්ලීම ඉදිකිරීම සමාගම විසින් ඉටු කළ යුතුයි.
41. ශ්‍රී ලංකාවේ ජාතික සන්නාමකරණය
ශ්‍රී ලංකාව ශක්තිමත් රටක් ලෙස නැගී සිටීම සඳහා මෙතෙක් භාවිතයට නොගත් විභවතාවයන් බොහොමයක් ඇත. මෙම විභවතාවයන් ප්‍රයෝජනයට ගැනීම සඳහා, ශ්‍රී ලංකාවේ දිශානතිය නැවත පෙළ ගස්වා ගැනීමට හා හොඳම සංචාරක ගමනාන්තයක් සහ ආකර්ශනීය ආයෝජන මධ්‍යස්ථානයක් ලෙස මෙරට තත්ත්වය යළි අත්පත් කර ගැනීමට රජයේ ආයතන, ව්‍යාපාර, පුරවැසියන්, සංස්කෘතික ආයතන සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ නැවත ප්‍රයත්න දැරීම මඟින් ජාතික සන්නාමකරණ ප්‍රයත්නයන් ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය වෙනවා. මේ සඳහා රුපියල් මිලියන 100 ක් මා වෙන් කරනවා.
42. සැපයුම්
ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම ප්‍රයෝජනයට ගෙන එය සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත කිරීමේ දැවැන්ත ආර්ථික වටිනාකමක් තිබෙනවා. කෙසේ වෙතත්, මේ දිගු කාලීන සිහිනය සැබෑ කරගැනීම සඳහා බොහෝ ක්‍රියාමාර්ග ගතයුතු වෙනවා. එහි පළමු පියවර වශයෙන්, රජය සියළුම පාර්ශවකරුවන් සමඟ එකතු වී ජාතික සැපයුම් ප්‍රතිපත්තියක් සකස් කර ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා.
ශ්‍රී ලංකාව ඉන්දියාවත් සමඟ ගොඩබිම් සබඳතා පවත්වාගැනීමට අප බලාපොරොත්තු වෙනවා. කොළඹ වරාය නිරිතදිග ඉන්දියාවේ සැපයුම් අවශ්‍යතා සපුරාලීම සඳහාත්, ත්‍රිකුණාමලය වරාය අග්නිදිග ඉන්දියාවේ සැපයුම් අවශ්‍යතා සපුරාලීම සඳහාත් යෙදා ගැනීම අපේ බලාපොරොත්තුවයි.
බටහිර පර්යන්තය හා 2030 වසරෙන් පසු අපේක්ෂිත කොළඹ උතුර වරාය නිර්මාණය වීමෙන් පසු කොළඹ වරායේ ධාරිතාවය වැඩිදියුණු වෙනවා. ත්‍රිකුණාමලය වරායත් සංවර්ධනය වෙනවා. දකුණු ඉන්දියානු කලාපයේ වේගවත් වර්ධනය හා කාර්මීකරණය ප්‍රතිලාභ අත්විඳීමට ශ්‍රී ලංකාවට මෙමඟින් මනාව හැකි වෙනවා. අපේ අවසන් ඉලක්කය ශ්‍රී ලංකාව කලාපීය සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ඉහළට ඔසවා තැබීමයි.
43. කාන්තාවන් සවිබල ගැන්වීම
ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ අයවැයකරණය හඳුන්වා දීමට හා ඒ හා සම්බන්ධ නීති සම්පාදනය කිරීමට මා යෝජනා කරනවා. කාන්තාවන් සවිබලගැන්වීම සඳහා වන නීති හඳුන්වා දීමට ද අප කටයුතු කරනවා.
44. අත්යන්ත්‍ර
අත්යන්ත්‍ර පේෂ කර්මාන්තයේ නිරත කාන්තාවන් හා තරුණ ප්‍රජාව ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 300 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
45. අවතැන් ජනතාවට නිවාස
උතුරු නැගෙනහිර පළාත්වල අභ්‍යන්තර ගැටුම් නිමා වී වසර 14 ක් ගත වී ඇතත්, තවමත් එම ප්‍රදේශවල නිවාස නොමැති පවුල් සිටිනවා. මෙවර අයවැයෙන් මෙම පිරිස් නැවත පදිංචි කිරීමේ අවශ්‍යතා සපුරාලීම සඳහා මිලියන 2,000 ක් වෙන් කර තිබෙනවා. කෙසේ වෙතත්, නිවාස වැඩසටහන කඩිනම් කිරීමට සහ නිවාස නොමැතිව ඉතිරිවී ඇති පවුල් සඳහා අත්‍යවශ්‍ය සහන සැලසීමට අතිරේක ප්‍රතිපාදන වශයෙන් තවත් රු. මිලියන 500 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.
46. අතුරුදන් පුද්ගල වන්දි
උතුරු සහ නැගෙනහිර පළාත්වල අභ්‍යන්තර ගැටුමෙන් බලපෑම් එල්ල වූ අතුරුදන් වූවන් සහ විපතට පත් වූවන් 181 දෙනෙකු සඳහා මේ වන විට වන්දි ලබා දී ඇති අතර, තවත් 170 දෙනෙකුට 2023 වසර අවසන් වන විට වන්දි ලබා දීමට නියමිතයි. ඉදිරිපත් කර ඇති වන්දි ඉල්ලීම්වලින් සිදුවීම් 6,300 කට වැඩි ප්‍රමාණයක මූලික කටයුතු මේ වනවිට සම්පූර්ණ කර තිබෙන අතර විසර්ජන පනතින් දැනටමත් රුපියල් මිලියන 1,500 ක් වෙන්කර තිබෙනවා. මෙම වන්දි ගෙවීම කඩිනම් කිරීම සඳහා තවත් රු. මිලියන 1,000 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.
47. යාපනයේ ජල ප්‍රශ්නය
යාපනය ප්‍රදේශයේ පානීය ජලය පිළිබඳ බරපතල ගැටළු පවතිනවා. වසර ගණනාවක් ගණනාවක් ගත වුණත් තවමත් මේ ගැටළුව විසඳී නෑ. මෙම සංකීර්ණ වූ ජල ප්‍රශ්නයට විසඳුමක් ලබාදීම සඳහා පූර්ව ශක්‍යතා අධ්‍යයනය දැන් අවසන් වී තියෙනවා. ඒ අනුව අපට ඇති හොඳම විසඳුම පාලි ආරු ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමයි. මෙම ව්‍යාපෘතියේ මූලික කටයුතු 2024 වසරේ මුල් භාගයේ දී ආරම්භ කිරීමට මා අපේක්ෂා කරනවා. මෙම වැඩසටහනේ මූලික කටයුතු ඇරඹීමට 2024 වසර සඳහා රුපියල් මිලියන 250 ක් ලබා දෙනවා.
48. පුනරීන් නගර සංවර්ධනය
යාපනය ‐ මන්නාරම ප්‍රධාන මාර්ගයේ සංගුපිඩ්ඩි පාලම අසල පිහිටා ඇති පුනරීන් නගරය, සංචාරක කර්මාන්තයට ඉතා වැදගත් නගරයක්. පුනරීන් නගර සංවර්ධනය සඳහා රු. මිලියන 500ක් අප ලබා දෙනවා.
49. ගාල්ල දිස්ත්‍රික් ශ්‍රවණාගාරය
2019 වසරේ දී ආරම්භ කළ ගාලූ දිස්ත්‍රික් ශ්‍රවණාගාරයෙහි ඉදිකිරීම් අතරමග නැවතී තියෙනවා. පසුගිය කාලයේ ඇතිවූ අර්බුදකාරී තත්වය ඊට හේතුවයි. සැළකිය යුතු මුදල් ප්‍රමාණයක් මේ දක්වා ආයෝජනය කර ඇති අතර මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට නම් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් අවශ්‍ය වෙනවා. එහි රජයේ දායකත්වය ලෙස රු. මිලියන 500 ක් වෙන් කරනවා.
50. බණ්ඩාරවෙල ආර්ථික මධ්‍යස්ථානය
බණ්ඩාරවෙල ආර්ථික මධ්‍යස්ථානයක් ඉදි කිරීම සහ ඊට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම බණ්ඩාරවෙල මහ නගර සභාවේ සහ රජයේ සම මුල්‍ය දායකත්වය ඇති ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනය කිරීමට මා යෝජනා කරනවා. රජයේ දායකත්වය ලෙස රුපියල් මිලියන 250 ක් අප ලබා දෙනවා.
51. පහල මල්වතු ඔය ව්‍යාපෘතිය
මෙම ව්‍යාපෘතිය සඳහා දැනටමත් ලබා දී ඇති අයවැය ප්‍රතිපාදනවලට අමතරව, තවත් රුපියල් මිලියන 2,500 ක් වෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා. එමඟින්, ව්‍යාපෘතියේ කටයුතු වඩාත් කඩිනම් කර ගැනීමට අපට හැකිවෙනවා.
සංස්කෘතිය
වසර ගණනාවක සිට අපේ සංස්කෘතිය සීමාවන්ට යටත්ව තියෙනවා. සංස්කෘතිය යනු රාජ්‍ය සම්මාන උත්සව පැවැත්වීම පමණක්ය කියා බොහෝ දෙනෙක් සිතාගෙන සිටිනවා. රටේ සංස්කෘතිය පෝෂණය කරලීම උදෙසාත්, අතීත උරුමයන් අනාගතයට දායාද කිරීම සඳහාත් විධිමත් ක්‍රියා පිළිවෙත් ඇත්තේම නැති තරම්. විවිධ දුෂ්කරතා සහ අභියෝග මධ්‍යයේ වුවද, අප සංස්කෘතික ව්‍යාපෘති ගණනාවක් මේ අයවැය මඟින් ක්‍රියාත්මක කරනවා.
52. මහා විහාර විශ්වවිද්‍යාලය
අනුරාධපුර මහා විහාරය 19 වන සියවසේ අග භාගය දක්වා වැඩි අවධානයක් නොමැතිව ශතවර්ෂ ගණනාවක් තිස්සේ පැවතුණා. ථෙරවාදී බුදුදහම ආරක්ෂා කර පවත්වාගෙන යාමට මෙන්ම ලොව පුරා බුදුදහම ව්‍යාප්ත කිරීමට මහා විහාරය විසින් විශාල කාර්යභාරයක් ඉටු කළා. මේ කරුණු සලකා බලා මහාවිහාරයේ ඉතිහාසය හා මහා විහාරයීය භූමිකාවන්හි සියලු අංග ඇතුළත් කරමින් මහාවිහාර විශ්ව විද්‍යාලයක් ස්ථාපිත කිරීමට මා යෝජනා කරනවා. ඉදිරි දශකය තුළ එහි මූලික කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. එහි ඉදිරි කටයුතු සැලසුම් කර මාස හයක් ඇතුළත වැඩ ආරම්භ කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ කාර්යසාධන කමිටුවක් පත් කරනවා. මෙහි මූලික කටයුතු සඳහා රුපියල් මිලියන 400 ක් වෙන් කරනවා.
53. අනුරාධපුර ජාත්‍යන්තර බෞද්ධ පුස්තකාලය
මහා විහාර විශ්වවිද්‍යාලය පිහිටුවීමට අනුපූරක කාර්යයක් ලෙස අනුරාධපුරයේ නවීන ජාත්‍යන්තර බෞද්ධ පුස්තකාලයක් පිහිටුවනවා. ජාත්‍යන්තර බෞද්ධ රටවල අතීත ලේඛන සුරක්ෂිත කිරීම සහ ඒවා තම පර්යේෂණ කටයුතු සඳහා භාවිත කිරීමට අවශ්‍ය විද්වතුන්ට පහසුකම් සැලසීම මේ පුස්තකාලයේ අරමුණයි. වසර තුනක කාල සීමාවක් තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතර ඉදිරි වසර සඳහා රුපියල් මිලියන 100 ක් වෙන් කරනවා.
54. මහනුවර බෞද්ධ ශිෂ්ටාචාර කෞතුකාගාරය
ශ්‍රී ලංකාවේ බෞද්ධ ශිෂ්ටාචාරය කේන්ද්‍ර කර ගනිමින් පර්යේෂණ කටයුතු සඳහා මෙන්ම සංස්කෘතික ප්‍රවර්ධන කටයුතු සඳහා, ශ්‍රී ලංකා බෞද්ධ කෞතුකාගාරයක් ස්ථාපිත කිරීමට මා අපේක්ෂා කරනවා. විවිධ රටවල විවිධ ශිෂ්ටාචාරවලට සම්බන්ධ මෙවැනි කෞතුකාගාර තියෙනවා. ඒවා පර්යේෂණ කාර්යයන් සඳහාත්, සංචාරක ආකර්ශනය සඳහාත් යොදා ගන්නවා.
අදියර වශයෙන් ඉදිකිරීමට බලාපොරොත්තු වෙන කෞතුකාගාරය වෙනුවෙන් ඉදිරි වසර සඳහා රුපියල් මිලියන 200 ක් යොදවනවා.
මේ කාර්යයන් ඔස්සේ ශ්‍රී ලංකාව බෞද්ධ සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම අපේ අභිප්‍රායයි.
55. ක්‍රිකට් සංවර්ධනය
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වර්තමානයේ ආයතනික අර්බුදයකට සහ කුසලතා හිඟයකට මුහුණපා ඇති බව අප දන්නවා. දිවයිනේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කරලීම සඳහාත්, පළාත් මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩකයින්ට අවශ්‍ය පහසුකම් ලබාදීම සඳහාත් මේ අයවැයෙන් රුපියල් බිලියන 1.5 ක් වෙන් කරනවා. මේ මුදල් ප්‍රතිපාදන ලබාදීමේ දී අඩු පහසුකම් ඇති පාසල් සහ පළාත්වලට ප්‍රමුඛත්වය ලබා දෙනවා.
56. ප්‍රවාහන ක්ෂේත්‍රය
2024 වර්ෂය තුළ දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණයට ලක්කරනවා.
බස්නාහිර පළාත තුළ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සමඟ ඒකාබද්ධව විදුලි බස්රථ 200 ධාවනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරනවා.
ඓතිහාසික මහනුවර නගරයෙහි වාහන හා මඟී තදබදය ඉවත් කොට, දුම්රිය, බස් රථ හා වෙනත් කුලී රථ ඒකාබද්ධව ලෝක බැංකු ණය අධාර යටතේ මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ව්‍යාපෘතිය ජනවාරි මාසයේ දී ආරම්භ කරනවා. මෙම මධ්‍යස්ථානයෙහි ප්‍රවේශ මාර්ග සංවර්ධනයට රුපියල් බිලියන 1.5 ක් ලබා දෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව මගින් අනුරාධපුර සිට මිහින්තලය දක්වා වූ දුම්රිය මාර්ගය සම්පුර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය 2024 ජනවාරි මාසයේ දී නිමවන අතර, මිහින්තලාවේ දුම්රිය ස්ථාන පරිශ්‍රය පදනම් කොට ගෙන ප්‍රවාහන ආර්ථික හා බහලූම් සහ ගබඩා පහසුකම් සහිතව පෞද්ගලික අංශයේ ද මූල්‍ය සහභාගීත්වයෙන් විසල් නගරයක් නිර්මාණය කිරීම සඳහා රුපියල් මිලියන 200 ප්‍රතිපාදන වෙන් කරනවා.
පිටකොටුව, ගාල්ල, මාතර, අනුරාධපුර, යාපනය වැනි මහ නගර ආශ්‍රිත සහ සංචාරක ගමනාන්ත ආශ්‍රිත දුම්රිය ස්ථාන පදනම් කර ගනිමින් රාජ්‍ය පෞද්ගලික ව්‍යවසාය පදනම යටතේ ස්ටේෂන් ප්ලාසා හෙවත් දුම්රිය ස්ථාන නගර, මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති ලෙස ස්ථාපනය කිරීම සඳහා දෙස් විදෙස් ආයෝජකයන්ගෙන් යෝජනා කැඳවීමටත් අප බලාපොරොත්තු වෙනවා.
57. මහජන සේවා සැපයීම
මහජන සේවා සැපයීමේ දී වගකීම සහ වගවීම යන කරුණු දෙක ගැනම අපේ අවධානය යොමු විය යුතුයි. රාජ්‍ය අයවැය ක්‍රියාත්මක කරලීමේ දී දැඩි මූල්‍ය විනයක් පවත්වාගෙන යෑම අත්‍යවශ්‍ය කරුණක්.
58. අයවැයට අදාළ කරුණු සම්බන්ධයෙන් වගකීම.
අයවැය අරමුණු සඳහා පළාත් සභා විශේෂ වියදම් ඒකක ලෙස සැලකිය යුතු බව මා යෝජනා කරනවා. ඒ අනුව පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්, අනෙකුත් රේඛීය අමාත්‍යාංශ ලේකම්වරුන් මෙන් ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන් ලෙස කටයුතු කළ යුතුයි. අයවැය අරමුණු සඳහා වියදම් කරන මුදල් වෙනුවෙන් පළාත් සභාව, පාර්ලිමේන්තුවට වගකිව යුතු වෙනවා.
තිරසර සංවර්ධන ඉලක්ක මත පදනම් වූ අයවැයකරණය අයවැය සකස් කිරීමේ දී සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ආයතන වෙත ඉහත ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර ඇති අතර එම ආයතන විසින් ඒ සඳහා කටයුතු කළ යුතුය.
59. පළාත් තුළින් ලබන ආදායම
පළාත් සභාවලින් එකතු වන ආදායම පුනරාවර්තන වියදම් පියවා ගැනීමට පමණක් සීමා නොකොට පළාතේ සංවර්ධනය සඳහා ප්‍රාග්ධන වියදම් ලෙස භාවිතයට ගැනීම වඩාත් සුදුසු බවට යෝජනා කරමි. කෙසේ වෙතත්, මෙතෙක් අඛණ්ඩව සිදු කරගෙන එමින් පැවති ක්‍රියාවලිය හදිසියේ වෙනස් කිරීමේ ප්‍රායෝගික අපහසුතාවයන් මඟහරවා ගැනීම සඳහා 2025 වර්ෂයේ සිට පළාත් සභා ආදායමෙන් සියයට 50 ක් පමණක් පුනරාවර්තන වියදම් ලෙස යොදවා ගෙන අමතර ආදායම් ප්‍රාග්ධන වියදම් ලෙස යෙදවීමට මා යෝජනා කරනවා.
60. පළාත් සභා මඟින් අපනයන කර්මාන්ත ප්‍රවර්ධනය
1990 අංක 46 දරණ කාර්මික ප්‍රවර්ධන පනත යටතේ කර්මාන්ත සම්බන්ධයෙන් පළාත් සභා සතු බලතල සීමා කර තියෙනවා. අපනයන කර්මාන්ත සඳහා අවසර දීමට ඔවුන්ට බලතල නෑ. ඔවුනට අවසර දිය හැක්කේ රුපියල් මිලියන 4කට අඩු ප්‍රාග්ධන ආයෝජනයක් සහ ස්ථිර සේවක සංඛ්‍යාව 50 කට අඩු කර්මාන්ත ශාලා සඳහා පමණයි. අප මේ විධිවිධාන අහෝසි කරනවා. වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 600 දක්වා මෙම සීමාව වැඩි කරනවා. එමඟින් පළාත් සභාවලට අපනයනය ඉලක්ක කරගත් කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමට හැකි වෙනවා. එසේම සෑම පළාතකම කර්මාන්ත සේවා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට අප පියවර ගන්නවා.
61. පළාත් පාලන ආයතනවල ස්වයං මුල්‍යකරණය
පළාත් පාලන ආයතනවලට ආදායම් එකතු කිරීමට සහ ප්‍රදේශයේ ජනතාවගේ සුබසිද්ධිය සඳහා අවශ්‍ය කටයුතු කළමනාකරණය කිරීමට බලය පවරා තියෙනවා. නමුත් එම ආයතනවල වැටුප් සහ අනෙකුත් සංවර්ධන කටයුතු සඳහා වන වියදම් දරන්නේ රජය විසින්.
දැනට පවතින මූල්‍ය බාධාවන් සැලකිල්ලට ගෙන, ස්වයං මූල්‍යකරණ ආකෘතියක් යටතේ ඔවුන්ගේ සේවාවන් කාර්යක්ෂමව සැපයීමට පළාත් පාලන ආයතන දිරිමත් කරනවා. එහි පළමු පියවර ලෙස 2024 වසරේ ජනවාරි පළමු වන දින සිට මහ නගර සභාවලට වැටුප් ගෙවීම සඳහා සියයට 80 ක මුල්‍යයනයක් පමණක් ලබා දීමට අප පියවර ගන්නවා. 2025 වසරේ ජනවාරි පළමු වැනිදා සිට මේ මුදල තවත් අඩු කරනවා. ඉදිරි වසර 5 තුළ පළාත් පාලන ආයතනයන්හි ස්වයං මුල්‍යකරණය ක්‍රමානුකූලව දිරිමත් කිරීමටත් මා යෝජනා කරනවා.
62. ජාතික ජනසභාව
ජනසභා ක්‍රමය යටතේ ග්‍රාමීය මට්ටමේ නොවිසඳුණු සංවර්ධන අවශ්‍යතා හඳුනාගෙන ඒවාට ප්‍රමුඛත්වය ලබා දෙමින් ජාතික මට්ටමින් සම්පත් වෙන් කිරීමේ ක්‍රියාවලිය ඒ ඒ ප්‍රදේශ නියෝජනය කරන මහජන නියෝජිතයන්ගේ ද සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා. මෙමඟින්, ගමේ ජනතාවට පක්ෂ, ජාති, හා ආගම් භේදයකින් තොරව සාමූහිකව තම සංවර්ධන ප්‍රමුඛතා තීරණය කර සම්පත් වෙන් කිරීමටත්, එම සංවර්ධන ප්‍රමුඛතා රජයට සෘජුවම ඉදිරිපත් කිරීමටත් අවස්ථාව සැලසෙනවා. එසේම මහජන නියෝජිතයන්ගේ සිට සාමාන්‍ය ගැමියා දක්වා සියල්ලන්ටම මේ වැඩපිලිවෙලට දායක වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ගමේ තරුණ තරුණියන්ට මේ සඳහා සෘජුව දායක වීමට අවස්ථාව ලැබෙනවා. මෙම කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා ජාතික ජනසභා ලේකම් කාර්යාලය පිහිටුවීමට රු. මිලියන 700 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.
63. හිඟුරක්ගොඩ ජාත්‍යන්තර ගුවන්තොටුපල
කලක් තිස්සේ විවිධ පරිමාණයේ සාකච්ඡා පැවතුණ ද හිඟුරක්ගොඩ ජාත්‍යන්තර ගුවන්තොටුපල ඉදිකිරීමේ කටයුතු ක්‍රියාත්මක වී නැහැ. එබැවින් එහි මූලික කටයුතු සඳහා 2024 වෙනුවෙන් රුපියල් බිලියන 2 ක් වෙන් කරනවා.
64. මධ්‍යම අධිවේගී මාර්ගය
විදේශ ණය ප්‍රතිව්‍ය්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් වූ විගස මධ්‍යම අධීවේගී මාර්ගයේ දෙවන අදියර, එනම් කඩවත සිට මීරිගම දක්වා වූ කොටසෙහි වැඩ කටයුතු චීනය සමඟ එක්වී ආරම්භ කරනවා. කුරුණෑගල සිට ගලගෙදර දක්වා කොටස ඉදිකිරීම සඳහා ජපානයේ සහයෝගය ලබා ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. අප සැලසුම් කරන්නේ කටුගස්තොට දක්වාම අධිවේගී මාර්ගය තැනීමට හැකියාවක් ඇද්ද යන්න සොයා බැලීමටයි.
65. තරුණ අභිවෘද්ධිය සඳහා වැඩසටහන
විවිධ අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන විසින් තරුණයන්ගේ අභිවෘද්ධිය කේන්ද්‍ර කරගත් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරනු ලැබේ. නමුත් මෙම සියළු වැඩසටහන් සම්බන්ධීකරණය කරමින් ඒකාබද්ධ තරුණ අභිවෘද්ධි වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු අතර ඊට නව ආර්ථික හා සමාජ තත්ත්වයන්ට ගැලපෙන නව වැඩසටහන් ද අන්තර්ගත විය යුතු වේ. මෙම ඒකාබද්ධ තරුණ අභිවෘද්ධි වැඩසටහන ජනාධිපති කාර්යාලය විසින් ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා රුපියල් බිලියනයක ප්‍රතිපාදන වෙන් කිරීමටත් යෝජනා කරනවා.
66. මැණික් කර්මාන්තය
ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තය තවමත් පූර්ණ ධාරිතාවය අත් කර ගැනීමට සමත් වී නොමැති අතර ඒ සඳහා පොදුවේ එකඟ වූ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කර නැහැ.
විදේශ රටවලින් මැණික් ගෙන්වා වටිනාකම් එකතු කිරීමත්, මෙරට මැණික් කර්මාන්තයේ පවතින ගැටළුත් සලකා එහි දියුණුවට පොදු වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි.
එම වැඩපිළිවෙල මධ්‍යකාලීන වශයෙන්, රජය, පුද්ගලික අංශය සහ අදාළ සියළු පාර්ශව එකතු වී ක්‍රියාත්මක කළ යුතු වනවා. ඒ සඳහා රාමුගත සැලැස්මක් ඉදිරි මාස 3 තුළ සකසා ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා.
67. ත්‍රිකුණාමලය නගරාශ්‍රිත සංවර්ධනය
රටේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස ත්‍රිකුණාමලය සංවර්ධනය කිරීම රජයේ අපේක්ෂාවයි. විශේෂයෙන් වරාය ආශ්‍රිත විවිධ සංවර්ධන කටයුතුවලින් රටේ දියුණුවට විශාල දායකත්වයක් ලබා දිය හැකියි. මෙය දිගු කාලීනව සිදුකළ යුතු සංවර්ධන වැඩසටහනක්. මහා පරිමාණ කෘෂි වැඩසටහන් හා වෙරළබඩ සංචාරක කලාපයක් ද මීට ඇතුළත්. ඉන්දියානු ආයෝජකයන් සමඟ එක්ව මෙම සංවර්ධන වැඩපිළිවෙල දියත් කිරීමට බලාපොරොත්තු වන අතර මෙම කටයුතු සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කිරීමට යෝජනා කරනවා.
68. ගාලූ දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනය
ගාලූ දිස්ත්‍රික්කයේ ගංවතුර වැළැක්වීමේ පියවරක් ලෙස ගිං ගඟ ජල කළමනාකරණ වැඩපිළිවලක් ක්‍රියාත්මක කළ යුතුයි. මධ්‍යකාලීන වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීම අපේ අපේක්ෂාවයි. එහි මූලික වැඩකටයුතු සඳහා රුපියල් මිලියන 250 ක් වෙන් කරනවා.
69. ණය ප්‍රතිව්‍යුහගත කිරීම
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මඟින් ඇති කරනු ලබන අවකාශය හේතුවෙන් සහන පියවර සඳහා සම්පත් සොයා ගැනීමට රජයට හැකි වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් සහාය දක්වන ණය ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය 2022 වසරේ දී සියයට 128 සිට 2032 වසරේ දී සියයට 95 ක් දක්වා අඩු කිරීමට අපේක්ෂා කරනවා. මේ ඉතිරිකිරීම් වල ප්‍රතිලාභ ලැබෙන්නේ ජනතාවටයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් වීමෙන් පසුව, සමස්ත සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ මූල්‍ය අංශයේ ස්ථාවරත්වය තවදුරටත් තහවුරු වෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ සැලකිය යුතු ප්‍රගතියක් අත්පත් කරගන්නට දැන් අපට හැකිවී තියෙනවා. දේශීය ණය ප්‍රශස්තකරණයේ ප්‍රධාන අංග සම්පූර්ණ කර හමාරයි.
විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය යටතේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ කොටසක් ලෙස, ශ්‍රී ලංකාවේ ශුද්ධ ණය වර්තමාන අගය අනුව අඩු කරනවා. දැනට පවතින ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල පියවීම සඳහා එක්සත් ජනපද ඩොලර් පදනම් කරගත් නව මූල්‍ය මෙවලම් නිකුත් කළ යුතුයි. ඒ අනුව, පවතින ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර පියවීම් සඳහා රාජ්‍ය ගිණුම් පොතේ ගනුදෙනුව සටහන් කිරීමට අයවැය ප්‍රතිපාදන අවශ්‍ය වෙනවා.
ඒ අනුව, විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ක්‍රියාත්මක කිරීම සඳහා සහ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරහි පියවීම සඳහා රු. බිලියන 3,000 ක් මේ අයවැය මගින් මම වෙන් කරනවා.
70. මූල්‍ය අංශයේ ස්ථායීකරණය
දිගු කාලීනව බැංකු ස්ථායීතාව සම්බන්ධයෙන් සියලූ විචක්ෂණ ක්‍රියාමාර්ග ගන්නා බව සහතික කිරීමට රජය උනන්දු වෙනවා. මේ සඳහා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන මගින් සහාය දක්වන පද්ධතිමය වශයෙන් වැදගත් බැංකු සඳහා ස්වාධීන වත්කම් තත්ත්ව සමාලෝචනයක් පැවැත්වුණා. මෙම වත්කම් තත්ත්ව සමාලෝචනයේ මූලික ප්‍රතිඵල මඟින් පෙන්නුම් කරන්නේ විචක්ෂණ පදනමක් මත අමතර ප්‍රාග්ධන එකතුවක් ගොඩ නැගීමේ අවශ්‍යතාවයයි. ඒ අනුව බැංකු පද්ධතියේ ප්‍රාග්ධන වැඩිදියුණු කිරීමේ ක්‍රියාවලියට සහාය වීම සඳහා, රුපියල් බිලියන 450 ක් වෙන් කිරීමට මම යෝජනා කරනවා.
බැංකු අංශයේ ප්‍රාග්ධනය වැඩි දියුණු කිරීම සඳහා යෝජිත ප්‍රතිපාදන දිගුකාලීනව බැංකු අංශයේ ස්ථාවරත්වය සහතික කරනවා. බදු ගෙවන්නන්ගේ අරමුදල් මත ඇති බර අවම කිරීම සඳහා ප්‍රාග්ධනය වැඩි දියුණු කිරීම සහ රාජ්‍ය බැංකු දෙකේ අනාගත වර්ධනයට සහාය වීම සඳහා විශාල රාජ්‍ය බැංකු දෙකේ කොටස්වලින් සියයට 20 ක් උපාය මාර්ගික ආයෝජකයින්ට හෝ මහජනතාවට ලබා දිය යුතු යැයි මා යෝජනා කරනවා. රාජ්‍ය බැංකුවල අනාගත මූල්‍ය තත්ත්වය පිරිහීම වැළැක්වීම සඳහා, ප්‍රධාන නිලධාරීන් සහ රාජ්‍ය බැංකු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත්කිරීම සම්බන්ධයෙන් වඩාත් දැඩි නීති රීති සහ තනි ණය ගැණුම්කරුවන් සඳහා සීමාවන් වැනි ණය අවදානම පිළිබඳ දැඩි නීති ඇතුළු ප්‍රතිසංස්කරණ පියවර රැසක් මීට සමාන්තරව ක්‍රියාත්මක කරනවා. බැංකු පනතේ සංශෝධන මෙම ප්‍රතිසංස්කරණ සඳහා නීතිමය රාමුවක් සපයනු ඇති අතර එය 2024 වසරේ මුල් භාගයේ දී සම්මත කිරීමට අපේක්ෂා කෙරේ.
71. ණය ගැනීමේ සීමාව වැඩි කිරීම
බැංකු නැවත ප්‍රාග්ධනීකරණය සහ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ක්‍රියාවට නැංවීම සඳහා දිගු කල්පිරීම් කාලයක් සහිත නව ණය මෙවලම් නිකුත් කිරීම අවශ්‍ය වනවා. එබැවින් දැනට පවතින ණය පියවීමට අයවැය ප්‍රතිපාදන අවශ්‍ය වනවා මෙන්ම ණය ගැනීමේ සීමාව වැඩි කිරීම ද අවශ්‍ය වෙනවා. ඒ අනුව, ණය ගැනීමේ සීමාව රු. බිලියන 3,900 සිට රු. බිලියන 7,350 ක් දක්වා රු. බිලියන 3,450 කින් වැඩි කිරීමට මා යෝජනා කරනවා
72. නීති ප්‍රතිසංස්කරණ
ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත සහ සුරක්ෂිත ගනුදෙනු පනත් දැනටමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර නව ක්ෂුද්‍ර මූල්‍ය පනත මඟින් ගනුදෙනුකරුවන්ට වඩාත් ආරක්ෂිත නෛතික බලයක් ලබා දෙනවා. නව සුරක්ෂිත ගණුදෙණු නීතිය මගින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ඔවුන්ගේ වත්කම්වලින් වැඩි කොටසක් ප්‍රයෝජනයට ගැනීමට සහ වර්ධනය සඳහා ණය ලබා ගැනීමට හැකි වනවා.
රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ යහපාලන මූලධර්ම තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය නව නීති හඳුන්වා දෙමින් සිටිනවා. රාජ්‍ය ණය කළමනාකරණ පනත, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත, රාජ්‍ය වත්කම් කළමනාකරණ පනත, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ නීතිය දැනටමත් අවසන් කර ඇති අතර ඒවා දෙසැම්බර් මාසයේ හෝ 2024 පළමු කාර්තුව තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ආයෝජන හිතකාමී නෛතික පරිසරයක් නිර්මාණය කිරීම සඳහා නව ආයෝජන නීතිය සහ රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව නීතිය හඳුන්වා දීම අප ආරම්භ කළා. ආර්ථික සංවර්ධනය සඳහා ඉඩම් උපරිම ප්‍රයෝජනයට ගැනීම සඳහා රජය විසින් නව ආයතනික වෙනස්කම් සමඟ නව ඉඩම් නීතියක් හඳුන්වා දෙනවා.
ඉහත ගෙන හැර දැක්වූ නීතිවලට අමතරව රටේ ප්‍රගතියට අනුබල දීම සඳහා නව නීති ගණනාවක් හඳුන්වා දීම සහ පවතින යල් පැනපු නීතිවලට සංශෝධන ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය අප දැනටමත් ආරම්භ කර තියෙනවා. මේ අයුරින් නව නීති හා සංශෝධන නීති 60 ක් අප හඳුන්වා දෙනවා.
73. පාලන ප්‍රතිසංස්කරණ
ආර්ථික අර්බුදයට දායක වීමේදී, ආර්ථික පාලනයේ සහ විශේෂයෙන්ම මූල්‍ය පාලනයේ දුර්වලතා විසින් සිදු වූ විශාල දායකත්වය රජය හඳුනා ගෙන තියෙනවා. ගැටලූවක් විසඳීමේ පළමු පියවර වන්නේ එය පිළිගැනීමයි. අප රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ආරාධනා කළේ ශ්‍රී ලංකාවේ පාලන ව්‍යුහයන්හි දුර්වලතා පිළිබඳ ස්වාධීන තක්සේරුවක් සිදු කරන ලෙසයි. ශ්‍රී ලංකා රජයක් මෙවැනි සමාලෝචනයක් කළ පළමු අවස්ථාව මෙය වන අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පාලනය පිළිබඳ විශ්ලේෂණයක් ආසියාවේ සිදු කළ ප්‍රථම අවස්ථාව ද මෙයයි. ශ්‍රී ලංකාව දිගු කලක් තිස්සේ ව්‍යුහාත්මක පාලන ගැටළු වලින් පීඩා විඳිනවා. සමාලෝචනයේදී මතුකර පෙන්වූ බොහෝ ගැටළු රජය විසින් දැනටමත් හඳුනාගෙන ඇති අතර ඒවා විසඳීමට දැනටමත් පියවර ගනිමින් සිටිනවා. නිදසුනක් වශයෙන්, ප්‍රසම්පාදනය වැඩිදියුණු කිරීමේ ක්‍රියාමාර්ග, ආදායම් එකතු කිරීමේ අධිකාරීන්ගේ දුෂණ දුර්වලතා විසඳීම සහ ආයෝජන දිරිගැන්වීම් සම්බන්ධ ගැටලු විසඳීම සඳහා රජයේ න්‍යාය පත්‍රයේ ප්‍රමුඛත්වය ලබා දී තියෙනවා. මෙම ගැටළු විසඳීම සඳහා පනත් කෙටුම්පත් සැකසෙමින් පවතිනවා. රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පතේ ස්වරූපයෙන් නව නීති සම්පාදනය කෙරෙනවා.
74. නව වර්ධන ආකෘතිය
දශක කිහිපයක සිට ශ්‍රී ලංකාව ණය අරමුදල් මත යැපුණු ආර්ථික සංවර්ධනය හා සුභසාධන බෙදීයාම මත විශ්වාසය තැබුවා. මෙය තිරසාර ආර්ථික ව්‍යුහයක් නොවූ අතර, රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමත් සමඟ මෙම ආකෘතිය වෙනස් කිරීමේ අවස්ථාව ලැබී තිබෙනවා. අපට අවශ්‍ය වන්නේ රාජ්‍ය සේවාවන් සීමාසහිතව ලබා දෙන බදුබර අඩු රටක් ද? රජයේ කාර්යයභාරයද වැඩි බදු බරද වැඩි රටක්ද? පිළිබඳව තීරණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට නව සමාජ සම්මුතියක් අවශ්‍යව පවතිනවා. කුමන මාර්ගයෙන් වුවත්, රටේ සංවර්ධනය සඳහා ඵලදායීතාවයේ වර්ධනයක් හා බෙදාගතහැකි අතිරික්තයක් තිබිය යුතුයි. මේ නව වර්ධන ආකෘතිය, ඵලදායීතාවයෙන් වැඩි සාධාරණ, හරිත වර්ධනයකින් හෙබි ඩිජිටල්කරණය වූ සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් මත පදනම් වියයුතුයි.
75. ශ්‍රී ලංකා ආදායම් අධිකාරිය
රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම සඳහා මෑතක දී ප්‍රයත්නයන් රාශියක් ගෙන ඇති අතර, පෙර කරන ලද ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග බොහොමයක් අසාර්ථක වී තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර අත්දැකීම් ද යොදා ගනිමින් ආදායම් පරිපාලන ඵලදායීතාවය ඉහළ නැංවීම, ප්‍රතිසංස්කරණ වේගවත් කිරීම, මානව සම්පත් සම්බන්ධයෙන් පවතින යල් පැන ගිය රාජ්‍ය විධිවිධාන වැනි බාධකයන් මගහැර විසඳුම් ලබා දීම, නවීන, කාර්යක්ෂම හා අඛණ්ඩව ක්‍රියාත්මක වන ආදායම් පරිපාලන ක්‍රමවේදයක් සකස් කිරීම අරමුණු කර ගනිමින් නව ආදායම් අධිකාරියක් ස්ථාපිත කිරීමට යෝජනා කරනවා. මෙම ආදායම් අධිකාරිය පිහිටුවීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා විශේෂ ව්‍යාපෘති කණ්ඩායමක් මුදල් අමාත්‍යංශය යටතේ පිහිටුවීමට යෝජනා කරනවා.
76. ගෝලීය ආර්ථික සබඳතා
අපනයන සඳහා ජාත්‍යන්තර වෙළෙඳපළ පුළුල් කරගත යුතුයි. ඒ වගේම තරඟකාරී ආර්ථිකයක් අප නිර්මාණය කරගත යුතුයි. මේ සඳහා අපේ කලාපයේ ප්‍රධාන හවුල්කරුවන් සමඟ විස්තීර්ණ වෙළඳ ගිවිසුම් ඇති කරගැනීමට අප ක්‍රියා කරනවා.
තායිලන්තය, ඉන්දුනීසියාව, බංග්ලාදේශය සහ චීනය සමඟ නිදහස් වෙළඳ ගිවිසුම් ඇති කරගැනීමට අප කටයුතු කරමින් සිටිනවා. ඉන්දියාව සමඟ ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම, පරිපූර්ණ ආර්ථික හා තාක්ෂණ සහයෝගීතා ගිවිසුමක් දක්වා පුළුල් කරගැනීමට අප පියවර ගනිමින් සිටිනවා.
අපි එක් අතකින් කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයට (R – CEP) ඇතුළු වෙනවා. අනෙක් අතින් යුරෝපා සංගමයේ වෙළඳ වරණයන් පිළිබඳ පොදු ක්‍රමය හා සම්බන්ධ වෙනවා. ඒ නිසා ප්‍රධාන ගෝලීය වෙලඳපොළවල් සියල්ලටම තරගකාරී මට්ටමන් ඇතුළු වීමට අවකාශ අපේ රටට ලැබෙනවා.
විදේශ වෙළෙඳාම සහ ගෝලීය වෙළෙඳපොළ සමඟ ශ්‍රී ලංකාවේ ගැඹුරු සම්බන්ධතාවය වැඩිදියුණු කිරීමේ මූලික පියවරක් ලෙස, ආනයන සෙස් බදු, වරාය සහ ගුවන් තොටුපළ බද්ද ඇතුළුව තීරු බදු නොවන ආනයන බදු ඉවත් කිරීමට අප පියවර ගන්නවා. වසර 3ත් 5ත් අතර කාලය තුළ ක්‍රමානුකූලව මේ බදු ඉවත් කරනවා.
ලෝක වෙළෙඳ සංවිධානයේ, ශ්‍රී ලංකාවේ වෙළඳ පහසුකම් සැපයීමේ බැඳීම් බොහෝ අඩු සංවර්ධිත රටවල් වලට වඩා පහළ මට්ටමක පවතී. විද්‍යුත් ගෙවීම් භාරගැනීම, ඩිජිටල් ලේඛන භාරගැනීම ඇතුළු තෝරාගත් වෙළෙඳ පහසුකම් සැලසීමේ ක්‍රියාමාර්ග සම්පූර්ණ කිරීමට නියමිතව තිබියදී රාජ්‍ය ආයතන ගණනාවක් එම ඉලක්ක කරා ළඟා වී නෑ.
එබැවින් භාණ්ඩාගාර ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික වෙළෙඳ පහසුකරණ කමිටුව ප්‍රතිසංවිධානය කරනවා. තවත් පාර්ශවකරුවන් කිහිප දෙනෙකු ඊට ඇතුළත් කරගැනීමටද අප බලාපොරොත්තු වෙනවා.
ගෝලීය යහපත් පරිචයන්ට අනුරූපව ශ්‍රී ලංකා රේගු නීති සකස් කිරීමේ අරමුණින් තවදුරටත් රේගු නීති නවීකරණය කිරීමට පියවර ගන්නවා.
ඵලදායි වෙළෙඳ පහසුකම් සැලසීම සඳහා වන ජාතික කමිටුව, ජාතික තනි කවුළුව කඩිනම්ව ක්‍රියාත්මක කිරීම සඳහා ඉතා වැදගත් වෙනවා. එමගින් අභ්‍යන්තර වෙළඳාම සහ ආයෝජන කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරගන්න පුළුවන්. ජාතික තනි කවුළුව මඟින් සියලූම දේශසීමා කළමනාකරණ ආයතන තනි ඩිජිටල් වේදිකාවක් තුළට ගෙන ඒම සහ වෙළෙඳාම සම්බන්ධ නියාමන ලියකියවිලි බාධාවකින් තොරව සහ කාලෝචිත ආකාරයකින් සිදු කිරීමට පහසුකම් සපයනවා. ඒ කාර්යයන් සඳහා රුපියල් මිලියන 200 ක මුදලක් වෙන් කර තිබෙනවා.
රටවල් කිහිපයක වෙළෙඳ සලකුණු ලියාපදිංචි කිරීමට දැන් විශාල කාලයක් සහ මුදලක් වැයවෙනවා. මෙය කඩිමින් හා පහසුවෙන් කර ගැනීමට අවස්ථාව සලසන මැඩ්රිඩ් සම්මුතියට ප්‍රවේශ වීමට අප ක්‍රියා කරනවා. ශ්‍රී ලංකා සන්නාමවල තරඟකාරිත්වය ඉහළ නැංවීමට සහ ශ්‍රී ලංකා අපනයන නිෂ්පාදනවල වටිනාකම ඉහළ නැංවීමට මෙය ඉතා වැදගත් වෙනවා.
77. ආයෝජන
පසුගිය වසරේ අයවැයෙන් යෝජනා කළ පරිදි, රටේ ආයෝජන හා වෙළඳ ප්‍රවර්ධනය සහ පහසුකම් සැලසීම සඳහා ආයතනික හා නීතිමය රාමුව ප්‍රතිසංස්කරණය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, ආයෝජන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය, කාර්මික සංවර්ධන මණ්ඩලය, ජාතික ව්‍යාපාර සංවර්ධන අධිකාරියෙහි කාර්යයන් ඒකාබද්ධ කරන ආයතනික රාමුව අධීක්ෂණය කරන යටිතල පහසුකම් සංස්ථාව ස්ථාපිත කරමින් නව ඒකාබද්ධ ආයෝජන නීතියක් කෙටුම්පත් කර තිබෙනවා. යටිතල පහසුකම් සංස්ථාව ස්ථාපනය කිරීම සඳහා රු. මිලියන 250 ක් වෙන් කර තිබෙනවා.
ආයෝජකයන් සඳහා සේවා සපයනු ලබන රජයේ සියලූම ආයතනවල කාර්යයන් ස්වයංක්‍රීයකරණය කිරීම වැඩි දියුණු කිරීම මඟින් අදාළ කාර්ය පරිපාටි සරල කිරීම, අන්තර් ක්‍රියාකාරී හැකියාව, අඩු පිරිවැයක් හා කාලයක් ගත වන කාර්ය පටිපාටි හරහා ආයෝජන ක්‍රියාවලීන් සඳහා පහසුකම් සැලසීමේ දී ආදාළ අනුමැතීන් හෝ බලපත්‍ර ලබා දෙන ආයතන සමඟ එක් වී ආයෝජකයන් සඳහා පහසුකම් සැලසීමට අපේක්ෂා කෙරේ. මේ සඳහා 2024 වසරට රු. මිලියන 100 ක් වෙන් කර තිබෙනවා.
හම්බන්තොට, යාපනය, ත්‍රිකුණාමලය, බිංගිරිය හා මහනුවර කේන්ද්‍ර කරගනිමින් නව ආයෝජන කලාප ස්ථාපිත කිරීමට යෝජනා කරන අතර මෙම විශේෂිත ආයෝජන ප්‍රවර්ධන කලාප යටිතල පහසුකම් සංස්ථාව හරහා පාලනය කිරීමට යෝජනා කරනවා.
78. ඵලදායීත්වය නංවාලීම හා නිෂ්පාදන ආර්ථිකය හසුරුවාලීම
2023 අයවැය කතාවෙන් මා සඳහන් කළ පරිදි ජාතික ඵලදායිතා කොමිෂන් සභාවක් පිහිටුවීම සඳහා දැනටමත් නීති කෙටුම්පත් කර අවසානයි. 2024 වන විට මේ කොමිෂන් සභාව පිහිටුවීමට නියමිතයි. මේ සඳහා රුපියල් මිලියන 150 ක ප්‍රතිපාදන 2024 වසරේ වෙන් කරනු ලබනවා.
79. ඩිජිටල් ආර්ථිකයක් කරා
වසර 2030 වන විට ඩිජිටල් ආර්ථිකය කර යාමේ දී පහසුකම් සැලසීම සඳහා රාජ්‍ය අංශයේ තොරතුරු තාක්ෂණයට අදාළ සංවිධානාත්මක ව්‍යුහය ප්‍රතිව්‍යුහගත කිරීමට මා යෝජනා කරනවා.
ඒ අනුව, රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීම සඳහා අවශ්‍ය නායකත්වය හා මඟ පෙන්වීම සැපයීම වෙනුවෙන් පූර්ණ බලතල සහිත ඩිජිටල් අධිකාරියක් පිහිටුවීමට කටයුතු කරනවා.
මීට අමතරව, රාජ්‍ය අංශය, විශේෂඥ ආයතන හා සිවිල් සමාජය සම්බන්ධීකරණයෙන් තාක්‍ෂණික නවෝත්පාදනය දිරිගැන්වීම උදෙසා තාක්‍ෂණික නවෝත්පාදක සභාවක් පිහිටුවීමටද මා යෝජනා කරනවා.
එසේම ඩිජිටල් තාක්‍ෂණයේ නවතම ප්‍රවණතාව වන කෘතිම බුද්ධිය පදනම් කර, ආර්ථික හා සමාජයීය පරිවර්තනයක් සිදු කිරීම අරමුණු කරගනිමින් කෘතිම බුද්ධිය පිළිබඳ ජාතික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමටද කටයුතු යොදනවා.
මෙම කාර්යයන් සඳහා ඉදිරි වසර සඳහා රුපියල් බිලියන 3 ක මුදලක් වෙන් කරනවා.
මෙම යටිතල පහසුකම් සඳහා තීරණාත්මක කොඳු නාරටිය වනුයේ ශ්‍රී ලංකා ‐ ඩිජිටල් අනන්‍යතාවය සංවර්ධනය කිරීමයි. මෙම අරමුණ කරා ළඟාවීම සඳහා පියවර ගෙන ඇති අතර 2024 වසර තුළ දී එය අවසන් කිරීමට අපේක්ෂා කරනවා.
80. ශ්‍රී ලංකාවේ පර්යේෂණ සඳහා ජාතික පර්යේෂණ ප්‍රතිපත්තිය
පර්යේෂණ සහ සංවර්ධනය, තාක්ෂණික දියුණුව සහ නවෝත්පාදනයන්, ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීමේ දී සහ ආර්ථික ප්‍රගතිය සහ සමාජ යහපැවැත්ම සඳහා සහාය වීමේ දී උත්ප්‍රේරකයක් ලෙස වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. ඒ කරුණු පදනම් කරගනිමින් ජාතික පර්යේෂණ ප්‍රතිපත්තියක් සැකසීමට මා යෝජනා කරනවා. මේ සඳහා රුපියල් බිලියන 8 ක් වෙන් කරනවා.
81. සංචාරක ව්‍යාපාරය
ආර්ථික අර්බුදයෙන් පසු සංචාරක කර්මාන්තය ප්‍රගතියක් ලබමින් තිබෙනවා. අප රටේ පිහිටීම, දේශගුණය සහ අතීත උරුමයන් පසුබිම් කරගනිමින් සංචාරක ක්ෂේත්‍රයේ වෙනස්කම් ගණනාවක් අප සිදු කළ යුතුයි. හෝටල් කාමර කුලියට දීම, මුහුදු වෙරළ අත්දැකීම් විඳින්නට අවකාශ සැලසීම හා සීගිරිය පෙන්වීම වැනි සාම්ප්‍රදායික කාර්යයන් අභිභවමින් නව සංචාරක සංස්කෘතියක් අප නිර්මාණය කර ගත යුතු වෙනවා. ඒ සඳහා පදනම දැමෙන පියවර ගණනාවක් මේ අයවැය ලේඛනයට ඇතුළත් වෙනවා.
සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය පිණිස නව ස්වරූපයෙන් දිගු කාලීන වැඩසටහනක් “විසිට් ශ්‍රී ලංකා” යටතේ 2024 සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා. අපගේ අපේක්ෂාව වසරකට අඩුම තරමින් මිලියන පහකවත් සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමයි. මේ සඳහා පහසුකම් සැලසීමට රජයත්, පළාත් සභා හා පළාත් පාලන ආයතනත් වැඩකටයුතු රාශියක් සිදු කළ යුතුයි. එමෙන්ම, සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් නව නීතියක් ද සම්මත කර ගැනීමට අප ක්‍රියා කරනවා මේ කාර්යයන් සඳහා රුපියල් බිලියනයක ප්‍රතිපාදන ලබා දෙනවා.
සංචාරක ක්ෂේත්‍රයේ මූලික අවශ්‍යතා සැපිරීමේ වගකීම් පළාත් සභාවන් වෙත පවරනවා. ඒ සඳහා පළාත් සංචාරක මණ්ඩල ශක්තිමත් කරනවා. අදාළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 750 ක මුදලක් වෙන්කරනවා. මුදල් කොමිෂන් සභාව හරහා ඊට අවශ්‍ය සහය පළාත් සභා වෙත ලබා දෙනවා.
රජයට අයත් නිවාඩු නිකේතන සහ සංචාරක බංගලා 720 කට වැඩි ප්‍රමාණයක් තිබෙනවා. මේ මගින් ආසන්න වශයෙන් කාමර 3,750 ක් සැපයිය හැකියි. රජයේ නිවාඩු නිකේතන නවීකරණය කර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය සඳහා යොදා ගනිමින් දෙස් විදෙස් සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට ද මා යෝජනා කරනවා. මෙම සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 600 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා .
82. පින්නවල‐කිතුල්ගල සංචාරක කොරිඩෝව
කිතුල්ගල ජල ඔරු පැදීමේ ප්‍රදේශය, පින්නවල අලි අනාථාගාරය සහ ඒ වටා ඇති අනෙකුත් සංචාරක ආකර්ෂණයන් සහිත ස්ථාන සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කරනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන පිවිසුම ඒ සඳහා උපයෝගී කරගන්නවා. යෝජිත ගලිගමුව නව නගරය මෙම සංචාරක කලාපයේ කේන්ද්‍රස්ථානය ලෙස ප්‍රවර්ධනය කරනවා. වසර 3 ක කාලයක් තුළ මෙම ව්‍යාපෘතිය ඒකාබද්ධ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 750 ක මුදලක් වෙන් කරනවා.
83. නිර්මාණාත්මක ආර්ථිකය
නිර්මාණශීලීත්වය, සංස්කෘතිය හා සමාජය තුළ වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. නිර්මාණාත්මක ආර්ථිකයේ පදනම තාක්ෂණය සහ නවෝත්පාදනයයි. ඒ නිසා, නිර්මාණාත්මක අවකාශයන්, කර්මාන්ත සහ උගතුන් අතර සහයෝගීතාව ඇති කිරීමට පෙරමුණ ගැනීමට මම අදාළ පාර්ශවකරුවන්ට ආරාධනා කරනවා. ශ්‍රී ලංකාවේ නිර්මාණාත්මක ආර්ථිකය ගොඩනැංවීම සඳහා සහය වීමට රජය සූදානමින් සිටිනවා.
84. ගිග් ආර්ථික කටයුතු
භාණ්ඩ හා සේවාවන්හි දේශසීමා හරහා සිදු කරනු ලබන ගනුදෙනු ඇතුළු ගිග් ආර්ථික ක්‍රියාකාරකම් සහ විද්‍යුත් වාණිජමය ගනුදෙනුවල නව ප්‍රවණතාවන් සැලකිල්ලට ගෙන, දේශසීමා හරහා සිදු කරනු ලබන ගනුදෙනු ඇතුළුව ගිග් ආර්ථිකය සහ විද්‍යුත් වාණිජ ගනුදෙනු සඳහා පහසුකම් සැලසීම සඳහා සරල ප්‍රතිපත්ති සහ නියාමන රාමුවක් හඳුන්වා දීමට යෝජනා කරනවා. එය ගෙවීම් ක්‍රමවේදය, රාජ්‍ය මූල්‍ය ආදායම, සේවක සුභසාධනය යන අංශ ආවරණය කරනවා.
85. හරිත ආර්ථිකය
අනාගතයට ශක්තිමත්ව මුහුණ දීමටනම් අප හරිත ආර්ථිකයක් ශ්‍රී ලංකාවේ නිර්මාණය කළ යුතුයි. තිරසර සංවර්ධන න්‍යාය පත්‍රයේ ඉදිරි දර්ශනය සඳහා පදනම් වෙන්නේ දේශගුණික සෞභාග්‍ය සැලැස්මයි.
මහා භාණ්ඩාගාරයේ දේශගුණික මූල්‍යකරණ ඒකකයක් ඇති කිරීමෙන්ද, ජනාධිපති කාර්යාලයේ දේශගුණික විපර්යාස සම්බන්ධ කාර්යාලයක් ඇති කිරීමෙන් ද, ශ්‍රී ලංකාවේ දේශගුණික සෞභාග්‍ය සැලැස්ම ක්‍රියාත්මක කිරීමට සහාය වන ආයතනික ව්‍යුහය නිර්මාණය කිරීමට පියවර ගනිමින් සිටිනවා.
ජාත්‍යන්තර දේශගුණ විපර්යාස විශ්ව විද්‍යාලයක් ස්ථාපිත කිරීමට කොත්මලේ ජලාශයට ඔබ්බෙන් ඉඩම් අක්කර 600 ක් අප වෙන් කර තියනවා.
හරිත හයිඩ්‍රජන්, හරිත ඇමෝනියා සහ සූර්ය හා සුළං ඇතුළත් පුනර්ජනනීය ශක්ති ප්‍රභවයන් සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකාව දැඩි ප්‍රයත්නයක යෙදී සිටිනවා.
ළඟදීම දේශගුණික විපර්යාස කොමිසමක් පිහිටුවීමට අප ක්‍රියා කරනවා.
කාලගුණික විපර්යාස හේතුවෙන් ආසියානු කලාපයේ රටවල් කිහිපයක අනාගතයේ දී ආහාර හිඟ වීම ඇතිවිය හැකි බවට පුරෝකථනය කර තියෙනවා. මෙම තත්ත්වය යටතේ අනාගත ආහාර සුරක්ෂිතභාවය සහ හිඟයකින් තොරව පාරිභෝගිකයින්හට අත්‍යවශ්‍ය ආහාර සැපයීම තහවුරු කිරීමට සහ ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදී සිටින සුළු හා මධ්‍ය පරිමාණ සැකසුම්කරුවන්ට අවශ්‍ය තාක්ෂණික සහ අනෙකුත් පහසුකම් සැලසීමට සුදුසු වැඩසටහනක් දියත් කිරීම සඳහා රුපියල් මිලියන 250 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.
අපට බිහි කරන්නට අවශ්‍ය ගහකොළ, පරිසරය සුරකින හරිත ආර්ථිකයක්..!
අපට බිහි කරන්නට අවශ්‍ය ගහකොළට, පරිසරයට ආදරය කරන හරිත සමාජයක්…!
හරිත ආර්ථිකයක් සහ හරිත සමාජයක් බිහි කරන හරිත අයවැයක් ඉදිරිපත් කරන්නට අපට පුළුවන් වුණා. එය රටේ අනාගතය ශක්තිමත් කරන හරිත අයවැයක්.
මේ හරිත අයවැය අලූත් ආර්ථිකයක් සඳහා ප්‍රවේශයක්. සවිමත් අනාගතයකට පෙරවදනක්. සමජීවිකතා සංකල්පය තහවුරු කිරීමක්.
සමාප්තිය
ප්‍රශ්න ගණනාවක් මැද්දේ වුවත් රටේ අනාගතය ශක්තිමත් කරන අයවැයක් ඉසිරිපත් කරන්න අපට පුළුවන් වුණා. හැබැයි මේ ගමනේ දී මුහුණ දිය යුතු, ජයගත යුතු තවත් ප්‍රශ්න ගණනාවක් අප ඉදිරියේ තියෙනවා. මේ ප්‍රශ්නවලට සුන්දර උත්තර නෑ. සුරංගනා ලෝක මැවීමෙන් මේ ප්‍රශ්න විසඳෙන්නේ නෑ. අප ක්‍රමානුකූලව, විද්‍යාත්මකව මේ ප්‍රශ්නවලට උත්තර සෙවිය යුතුයි. සමජීවිකතා සංකල්පය නොබිඳිමින් මේ ප්‍රශ්න විසඳාගත යුතුයි. අප දැන් සිදු කරමින් සිටින්නේ අන්න ඒ අභියෝගාත්මක කාර්යයයි.
විපක්‍ෂයේ සමහර කණ්ඩායම් යෝජනා කරන පරිදි අප අනුගමනය කරන මේ පිළිවෙත නවතා දැමුවොත් සිදුවන්නේ කුමක්ද? එසේත් නැතිනම් මේ පිළිවෙතට බාධා කොට කඩාකප්පල් කර දැමුවොත් සිදු වන්නේ කුමක්ද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව සිදු කරන ප්‍රතිසංස්කරණ මාලාව නවතිනවා. එහෙම වුණොත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මෙහෙයුම ඇණහිටිනවා. විශ්වාසය පළුදු වී විදේශ විනිමය දේශීය බැංකු පද්ධතියට ගලා ඒම නතර වෙනවා. විදේශ විනිමය හිඟ වීමත් සමඟම අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟ වෙනවා. විදුලි බල කප්පාදුව, ඉන්ධන හිඟය යළිත් ඇති වෙනවා. බඩු මිලත්, උද්ධමනයත් හිතා ගන්නට බැරි තරමට ඉහළ නැංවෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩසටහන මාර්තු මාසයේ අනුමත වූ දා සිට අපට යළි ලැබෙන්නට පටන් ගත් විදේශීය මූල්‍ය ආදායම් නැවතෙනවා. යළිත් පොලී අනුපාත ඉහළ දමමින් දේශීය වෙළෙඳපොලෙන් තව තව ණය ගැනීමට රජයට සිද්ධ වෙනවා.
එහෙම වුණොත් අපි නැවතත් ආර්ථික අපායට ලිස්සා ඇද වැටෙනවා. අපේ ආර්ථිකය යළි කෙළින් කරන්න බැරි අන්දමට පීලි පනිනවා. මතක තියාගන්න. ආපහු එහෙම වුණොත් ශ්‍රී ලංකාව බේරා ගැනීමට ලෝකයේ කිසිවෙකු ඉදිරිපත් වෙන්නේ නැහැ. අපේ බාහිර ණය හිමියන් වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු සියලු පාර්ශවයන් අප ගැන තබා ඇති විශ්වාසය කඩවෙනවා. අපිට උරුම වෙන්නේ ලෙබනනය වැනි රටකට අත්පත් වූ අවාසනාවන්ත තත්ත්වයයි.
එවැනි තත්ත්වයකට යළි ඇද නොවැටීම නම් අපේ රටේ ආර්ථික හා දේශපාලන ක්‍රමය අලූතෙන් නිර්මාණය කළ යුතුයි. අලුත් සමාජ සම්මුතියක් ඇති කරගත යුතුයි. මේ අයවැය ලේඛනයෙන් අප කළේ ඊට පදනම දැමීමයි.
තව දුරටත් අනුන්ගෙන් යැපෙන ජාතියක් බවට පත්වෙන්නට අපට බැහැ. නිදහසෙන් පසු අපේ මුල්ම සංවර්ධන ව්‍යාපෘතිය වූ ගල්ඔය ව්‍යාපාරය අප සිදු කළේ අපේම මුදල්වලින්. ඒ කාලයේ අප බ්‍රිතාන්‍යයටත් ණය ලබා දුන්නා. ඒත් අද අපි මුළු ලෝකය ඉදිරියේ හිඟා කනවා. ඊළඟ පරපුරට අප ලබා දිය යුත්තේ හිඟන උරුමයක් ද? නැතිනම් සාඩම්බර හිමිකමක් ද?
ඉතින් මා මේ ගරු සභාවේ සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින්නේ රට යළි ගොඩ නැංවීමේ වැඩ පිළිවෙලට එක්වෙන ලෙසයි. අපේ වැඩ පිළිවෙලට වඩා යහපත් වැඩපිළිවෙලක් ඇත්නම් එය මේ සභාවට සවිස්තරාත්මකව ඉදිරිපත් කරන්න. අප සාකච්ඡා කරමු. වඩාත් සුදුසු වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමු. අපේ අනාගත පරම්පරාවට සාඩම්බර හිමිකමක් උරුම කරමු.
මෙවර අයවැය ඉදිරිපත් කිරීම සඳහා ගරු අග්‍රාමාත්‍ය තුමන් විසින් ලබා දෙන ලද මඟපෙන්වීම් වෙනුවෙන් මම විශේෂයෙන් ස්තුතිය පළ කරනවා. රාජ්‍ය අමාත්‍ය ගරු රංජිත් සියඹලාපිටිය සහ ගරු ෂෙහාන් සේමසිංහ මැතිතුමන්ලා හැමවිටම මට උපරිම සහයක් ලබා දෙනවා. ඔවුන් දෙදෙනාටත් ස්තුතියි. මෙවර අයවැය සඳහා මේ සභාවේ ගරු මන්ත්‍රීතුමන්ලා ඇතුළු රාජ්‍ය සහ පුද්ගලික අංශයේ බොහෝ දෙනෙක් අදහස් හා යෝජනා ලබා දුන්නා. ඔවුන්ටත් මගේ ස්තුතිය පළ කරනවා.
ගරු අමාත්‍ය මණ්ඩලයේ සහෘදයන්ටත් සහාය ලබාදුන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ටත් මාගේ කෘතඥතාව පළ කරනවා. දැඩි පරිශ්‍රමයක් දරමින් අයවැය සකස්කර දුන් භාණ්ඩාගාර ලේකම් තුමා සහ අනෙකුත් රාජ්‍ය නිලධාරින්ටත්, මගේ කාර්ය මණ්ඩලයටත් ස්තූතිවන්ත වෙනවා.
මෙම යෝජනා සමඟ රටට අලුත් අනාගතයක් නිර්මාණය කිරීමට එක්වන ලෙස පක්ෂ විපක්ෂ සියළුදෙනාගෙන් මම ඉල්ලා සිටිනවා.
ස්තූතියි !
October, 19, 2023
ලෝකයේ ජෛව විවිධත්වය බහුලම ප්‍රදේශය ඝර්ම කලාපීය රටවල් වන බැවින් එම රටවල් කේන්ද්‍රකර ගනිමින් සුවිශේෂි වැඩපිළිවෙළක් දියත් කළයුතු බවත් අනාගත දේශගුණික විපර්යාසයන්ට ශක්තිමත්ව මුහුණදීමට එමඟින් දැවැන්ත රුකුලක් ලැබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
ලෝකයට ආවේණික ශාඛ ප්‍රභේදයන්ගෙන් 80%ක් හා සමස්ත කොරල් සහ කඩොලාන වලින් 50%ක් පමණ පිහිටා ඇත්තේ ද ඝර්ම කලාපය තුළ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙම තත්ත්වය පසුබිම් කරගෙන දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීමේ ප්‍රයත්නයේ ශ්‍රී ලංකාව යෙදී සිටින බවද පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ 03 වන “එක් තීරයක් – එක් මාවතක්” ජාත්‍යන්තර සමුළුවට සමගාමීව අද (18) පස්වරුවේ චීන ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී “ස්වභාවික සුසංයෝගය වෙනුවෙන් හරිත සේද මාවත” මැයෙන් පැවති ඉහළ පෙළේ සම්මන්ත්‍රණය අමතමිනි.
මෙම සම්මන්ත්‍රණය චීන මහජන සමූහාණ්ඩුවේ උප ජනාධිපති හාන් ෂෙංග් (Han Zheng) මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටෙරෙස් (Antonio Guterres) මහතා සහ ඊට සහභාගී වූ අනෙකුත් රටවල රාජ්‍ය නායකයින්ද මෙහිදී අදහස් දැක්වූහ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්මන්ත්‍රණය අමතමින් වැඩිදුරටත් පැහැදිළි කළේ ලෝකය මුහුණ දෙන ප්‍රධාන භූගෝලීය ත්‍රිත්ව අර්බුදයන් සේ සැලකෙන දේශගුණික විපර්යාස, පරිසර දූෂණය සහ ජෛව විවිධත්ව විනාශය සම්බන්ධව කඩිනම් පියවර ගැනීමේ අරමුණ ඇතිව ඊට අදාළ පර්යේෂණ සිදු කිරීම හා ආරක්ෂණ පියවර ගැනීමට පසුබිම සැකසෙන දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කළ යුතු බවට තමන් යෝජනා කරන බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,
දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලය මඟින් ප්‍රධාන කරුණු 03ක් සාක්ෂාත් කර ගැනීමට අප අපේක්ෂා කරනවා. පළමුවැන්න අනුගමනය කළයුතු ආරක්ෂක සාමුහික යහ පියවර පිළිබඳ පර්යේෂණ කිරීමයි. දෙවැන්න දැනුම බෙදා හදා ගැනීමයි. තුන්වැන්න ප්‍රායෝගික අධ්‍යාපනයයි.
මෙම විශ්වවිද්‍යාලය මඟින් දේශගුණික වෙනස්වීම් අවම මට්ටමක පවත්වාගෙන යාම සඳහා තියුණු පර්යේෂණ, අදාළ නියෝජිත ආයතනයන්හි සිදු විය යුතු වෙනස්කම්, ජාත්‍යන්තර සහයෝගය, ප්‍රජා ක්‍රියාකාරකම් ආදී විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ගතහැකි පියවර පිළිබඳ සොයා බලනවා.
ඒ වගේම ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 1.5ක මට්ටමකට සීමා කර ගැනීම සඳහා අවශ්‍ය දැනුම, පර්යේෂණ සහ විසඳුම් ලබා දෙනවා. මෙම විශ්වවිද්‍යාලය දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනේ ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටු කරනවා.
දේශගුණික විපර්යාසවලට එරෙහි සටනට ප්‍රධාන බාධාවක් වී ඇත්තේ ලෝකයේ බොහෝ රටවල් මුහුණ දෙන ආර්ථික අර්බුදයි. ඔවුන් මුහුණ දෙන අර්බුද නිසා දේශගුණික විපර්යාස අවම කර ගැනීමේ සටනට එක් වීම අතිශය අසීරු සහ සංකීර්ණ කාර්යයක් වී තිබෙනවා.
මුළු මහත් විශ්ව ප්‍රජාවම එකට එක් වී මෙම ප්‍රශ්නයට විසඳුම් සෙවීම වඩාත් යෝග්‍ය ක්‍රමවේදයයි. ඒ සම්බන්ධයෙන් මම යෝජනා 03ක් ඉදිරිපත් කිරීමට කැමතියි.
පළමුවැන්න අඩු ආදායම් ලබන රටවලට ණය සහන ලබාදීමයි. දෙවැන්න වැඩි ආදායම් රටවලට සහනදායී පදනම මත ණය ලබා ගැනීමේ අවකාශ සැලසීමයි. තුන්වැන්න ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව ඇතුළු වෙනත් බහුපාර්ශ්වීය සංවිධාන ඔස්සේ අමතර අරමුදල් සැපයීමයි.
මා මීට පෙර සඳහන් කළ ඝර්ම කලාපීය රටවල් 150ක් තිබෙනවා. එයින් 88ක්ම එක් තීරයක් – එක් මාවතක් වැඩපිළිවෙළේ පාර්ශ්වකරුවන් වනවා. මෙම ඝර්ම කලාපය මුළු ලෝකයේම භූමි ප්‍රමාණයෙන් 40%ක්. ඒ වගේම ලෝක ජනගහණයෙන් 40%ක් වෙසෙන්නෙත් මෙම කලාපයේයි.
එවන් පසුබිමක තිරසර සංවර්ධන ගමන් මගෙහි පාරිසරික අවශ්‍යතාව ප්‍රධාන අවශ්‍යතාවයක් ලෙස සලකා මෙවැනි සමුළුවක් සංවිධානය කිරීම පිළිබඳව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රමුඛ චීන සමූහාණ්ඩුවට මගේ ස්තූතිය පළ කරනවා.
2021 වසරේ ආසියානු පැසිෆික් එක් තීරයක් – එක් මාවතක් ඉහළ පෙළේ සමුළුවේදීත් ශ්‍රී ලංකාව හරිත සේද මාවත වැඩපිළිවෙළට පූර්ණ සහාය ලබා දුන්නා. ඉදිරියටත් අප අපේ සහාය ලබා දෙනවා.
June, 2, 2023
-රට ගොඩනඟන ජාතික පරිවර්තන මාර්ග සිතියම රටට ඉදිරිපත් කරමින් ජනපති කියයි
මීට වසරකට පෙර තිබූ තත්ත්වයට රට යළි ඇද දැමීමට කිසිවෙකුට ඉඩ නොදෙන බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම අරගලය 2048 වන විට ලෝකයේ පූර්ණ සංවර්ධිත රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම බව පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ “ජාතික පරිවර්තන මාර්ග සිතියම” රටට ඉදිරිපත් කරමින් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම වෙනුවෙන් පසුගිය මාස 09ක කාලය තුළ රජය ගෙන ඇති පියවර සහ ශ්‍රී ලංකා රාජ්‍යයේ සමාජ, ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළෙහි ඉදිරි පියවරයන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙහිදී දීර්ඝ ලෙස කරණු පැහැදිලි කළේය.
එමෙන්ම අපේක්ෂිත ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා වන මෙහෙයුම් යෝජනාවලිය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රටට ඉදිරිපත් කරනු ලැබීය.
රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණ, ආයෝජන ප්‍රවර්ධන, සමාජ ආරක්ෂණ ජාලය, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ යන ප්‍රධාන කුලුනු 04ක් ඔස්සේ රටේ ඉදිරි ගමන සැලසුම් කර තිබේ. රටේ ආර්ථිකය පූර්ණ පරිවර්තනයකට ලක් කිරීමේ ක්‍රියාදාමයට අවශ්‍ය තාක්ෂණික සහ තිරසර ප්‍රයත්නයන් ක්‍රියාත්මක කරලීම සඳහා පුද්ගලික අංශයේ යෝජනා ලබා ගැනීමට සංඝායනා ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
නවීන ලෝකයට හා නවීන තාක්ෂණයට ගැළපෙන පරිදි රටේ ආර්ථිකය හැඬ ගස්වා නොගත හොත් රට ආපස්සට ගමන් කරන බවත් එහි අවසානය රට ආර්ථික යටත් විජිතයක් වීම බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා, එබැවින් අප අලුතින් සිතා අලුත් ගමනක් යාමට කටයුතු කළ යුතු අතර ඊට අවශ්‍ය කඩිනම් ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවිය යුතු බවත් අවධාරණය කළේය.
නියාමන, ප්‍රසම්පාදන සහ දේශපාලන යන සියලු අංශයන්හි දූෂණ සම්පූර්ණයෙන් අත්හිටුවීම සඳහාත්, ඩිජිටල්කරණය සහ වගවීම පදනම් කරගත් රාජ්‍ය යාන්ත්‍රණයක් තුළින් දූෂණ විරෝධී පිළිවෙත් ක්‍රියාත්මක කරලීම සඳහාත් විශේෂ කාර්ය සාධක බළකායක් ස්ථාපිත කරන බවද ජනාධිපතිවරයා පැවසීය.
ඉදිරි වසර 05 තුළ රටේ ආර්ථිකය පූර්ණ ලෙස ස්ථාවර කරන අතර,ඊළග වසර 25 තුළ ශ්‍රී ලංකාව ඉහළ ආදායම් ලබන දියුණු රටක් බවට පත්කරන බව පැවසූ ජනාධිපතිවරයා මුල් වසර 05න් පසු රට නඟාසිටුවීමේ වැඩපිළිවෙළ ඊළඟ පරම්පරාවට පැවරෙන බවත් ඒ සදහා තරුණ තරුණියන් සූදානම් කරවන බවත් කියා සිටියේය. එම කාර්යයට උර දීමට අපේ තරුණ පරපුරට හැකියාව ඇති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
මෙම ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළ පහසු කටයුත්තක් නොවූවත් සෑම විටම රටට යහපත් දේ සිදු කිරීමට රජය කැපවී සිටින බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අප ගන්නා තීරණ කෙතරම් දූෂ්කර සහ වේදනාකාරී වුව ද අනාගත පරපුර වෙනුවෙන් රට යළි ඉහළට ඔසවා තැබීමට හැකි වන්නේ එම දුෂ්කර මාවතේ නිවැරදි ප්‍රතිපත්ති අනුව ඉදිරියට යාමෙන් පමණක් බවද කියා සිටියේය.
වෙහෙසීමේ, කැපවීමේ සහ ඉලක්කගත නිවැරදි ගමනක් යෑමේ ප්‍රතිඵලය අද අප සැම භුක්ති විඳින බවත් 70%ක් දක්වා ඉහළ නැඟ තිබු උද්ධමනය 25.2% ක් දක්වා පහළට ගෙන ඒමට හැකිව තිබෙන බවත් වැඩිදුරත් පෙන්වා දුන් ජනාධිපතිවරයා මේ නිසා ජනතාවගේ ජීවන බර ක්‍රම ක්‍රමයෙන් සැහැල්ලු වෙමින් පවතින අතර මුළුමහත් සමාජයටම එම සහනය දැනෙන්නට පටන් ගෙන තිබෙන බව ද කියා සිටියේය.
පැමිණි අසීරු ගමනේ දී සියලු දුෂ්කරතා විඳගත් රටේ සමස්ථ ජනතාවට සිය කෘතඥතාව පිරිනැමීමට ද ජනාධිපතිවරයා මෙය අවස්ථාවක් කරගත් අතර මෙම මාර්ගයේ ඉදිරියටම යාමෙන් දුෂ්කරතා සහ පීඩාවන් අවම කර ගනිමින් නිසැකවම රටට යහපත් ආර්ථිකයක් නිර්මාණය කරගත හැකි බව ද කියා සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය,
අපේ රටේ ආර්ථිකය හැසිරවීමේ වගකීම බාර ගත් දවසේ පටන් මම විටින් විට ආර්ථිකය පිළිබඳ සැබෑ තොරතුරු ඔබට හෙළිදරව් කළා. මට අවශ්‍ය වුණේ විනිවිද භාවයෙන් යුතුව ආර්ථිකය පිළිබඳ සැබෑ චිත්‍රය හැමවිටම ඔබ ඉදිරියේ තැබීමටයි. රටේ සැබෑ තත්ත්වය, ඒ තත්ත්වයෙන් ගොඩ ඒමේ මාර්ගය වගේම රට වෙනුවෙන් අප සියලුදෙනාම සිදු කළ යුතු කාර්යභාරය පිළිබදවත් මම ඔබව දැනුවත් කළා.
පීඩාකාරී ආර්ථිකයකින් දුක් කම්කටොළු රැසකට මුහුණ දෙමින් සිටි අප දැන් ක්‍රම ක්‍රමයෙන් සහනදායි මට්ටමකට එළඹෙමින් සිටිනවා. දුර්වල වී , අඩපණ වී තිබුණු අපේ ආර්ථිකය කිසියම් ස්ථාවර තත්ත්වයකට පත්වෙමින් තිබෙනවා.
මෙම තත්ත්වය අපට උදාකර ගැනීමට හැකි වූයේ පසුගිය කාලය තුළ අප ක්‍රියාත්මක කළ නිවැරදි පිළිවෙත් නිසයි. ඒ වගේම අප සැම එකට එක්වී අභියෝගයන්ට සාර්ථකව මුහුණ දුන් නිසයි. ඒ අභියෝගයන් හමුවේ විවිධ දුෂ්කරතා විඳ දරා ගත් නිසයි.
මාතෘ භූමිය වෙනුවෙන් මේ දුෂ්කරතා විඳ දරා ගත් ඔබ සැමට මගේ කෘතඥතාවය පිරිනැමීමට මම කැමතියි. තව ටික කාලයක් මේ මාර්ගයේම ඉදිරියට යෑමෙන් දුෂ්කරතා සහ පීඩාවන් අවම කර ගනිමින් යහපත් ආර්ථිකයක් නිර්මාණය කර ගැනීමට අපට පුළුවන්කම ලැබෙනවා.
ශ්‍රී ලංකාව දැන් වර්ධනාත්මක, සමෘද්ධිමත් ගමනක් යාමට සූදානම්. අප ඒ ගමන ඉදිරියට යා යුත්තේ කෙසේද? ඒ සඳහා අප අනුගමනය කළ යුතු පිළිවෙත් මොනවාද?
අද මම ඔබට පැහැදිලි කරන්න යන්නේ ඉදිරියේදී අප අනුගමනය කරන්නට බලාපොරොත්තුවන ක්‍රියාමාර්ගයයි. අපේ ඉදිරි මාර්ග සිතියමයි.
අපේ ඉදිරි ගමන සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ආර්ථිකයේ සහ සමාජයේ පරිපූර්ණ පරිවර්තනයක් සිදු කළ යුතු බව මම මීට පෙර අවස්ථා ගණනාවක දී අවධාරණය කළා. 2023 අය වැය මගින් මෙම ආර්ථික ප්‍රතිසංස්කරණ, ප්‍රතිසංවිධාන සහ නවීකරණ පිළිබඳව මම කරුණු සඳහන් කළා. යහපත් අනාගතයක් ගොඩනැංවීම වෙනුවෙන් අප වර්තමානයේ මේ පියවර ගත යුතුමයි.
මෙහිදී අප ගන්නා තීන්දු දුෂ්කර මෙන්ම වේදනාකාරී වෙන්නට පුළුවන්. ජනප්‍රිය නොවන්නට පුළුවන්. නමුත් අපේ රට යළි ඉහළට ඔසවා තබන්නට අපට හැකි වන්නේ මේ දුෂ්කර මාර්ගයේ නිවැරදි ප්‍රතිපත්ති අනුව ඉදිරියට යාමෙන් පමණයි. අපේ අනාගත පරම්පරාවට නිදහසේ සතුටින් ජීවත් විය හැකි රටක් නිර්මාණය කර ගැනීමට හැකි වන්නේ මේ මාර්ගයේ ඉදිරියට ගියොත් පමණයි.
සාම්ප්‍රදායික දේශපාලනයේ යෙදෙන සමහර කණ්ඩායම් ආර්ථික පුනර්ජීවනය වළක්වාලීමට විවිධ උත්සාහයන් ගන්නවා. ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳව බොරු බියක් ජනතාව තුළ ඇති කරන්නට වෙහෙසෙනවා. හැමදාමත් කියන “රට විකිණීමට යනවා” යන සටන් පාඨයෙන් තවදුරටත් ජනතාව මුලා කරන්න උත්සාහ ගන්නවා.
රටේ ආර්ථිකය නංවාලීම සඳහා ගන්නා සෑම පියවරකදීම ඔවුන් ඉදිරියට දැම්මේ, මේ සටන් පාඨයයි. පනස් ගණන්වලදීත් රට විකුණනවා කියමින් ජනතාව නොමඟ යැව්වා. හැට ගණන් වලදීත් රට විකුණනවා යැයි කියමින් ජනතාව මුලාවට පත් කළා. හැත්තෑ ගණන් වල දීත් රට විකුණනවා යැයි කියමින් ජනතාව තුළ අනියත බියක් මැව්වා. අසූ ගණන්වලදීත් රට විකුණනවා යැයි කියමින් ජනතාව භීතියට පත් කළා. එදා සිට අද දක්වාම මේ කණ්ඩායම් කළේ රට විකුණන සටන් පාඨය ඉදිරියට ගනිමින් ආර්ථික ප්‍රතිසංස්කරණ කඩාකප්පල් කිරීමට උත්සාහ දැරීමයි.
මෙවැනි සටන් පාඨවලින් ඔබ තවදුරටත් රැවටෙන්නේ නැති බව අප දන්නවා. අප සියලු දෙනා වෙහෙස විය යුත්තේ, කැපවිය යුත්තේ රට ඉහළට ඔසවා තැබීමටයි. 2048 වන විට ලෝකයේ පුර්ණ සංවර්ධිත රාජ්‍යයක් බවට පත් වීමේ අපේ ඉලක්කය ඉටු කර ගැනීමටයි. නවීන ලෝකයට හා නවීන තාක්ෂණයට ගැළපෙන පරිදි අපේ ආර්ථිකය හැඩගස්වා ගත්තේ නැත්නම් අපට යන්නට සිදු වෙන්නේ ආපස්සටයි. එවැනි අවගමනක ප්‍රතිඵලය වෙන්නේ රට ආර්ථික යටත් විජිතයක් බවට පත්වීමයි.
අපි ඉදිරියට යමු ! තරගකාරී ලෝකයට මුහුණ දියහැකි අන්දමට අපේ ආර්ථිකය හැඩ ගස්වා ගනිමු. රටට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රමානුකූලව සිදු කරමු.
ආර්ථික ප්‍රතිසංස්කරණ හරහා අප සිදු කරන්නේ වැරදි ප්‍රතිපත්ති, දුර්වල වැඩසටහන්, අසාර්ථක ව්‍යාපෘති, ක්‍රමවත් මාවතකට ගැනීමයි. බංකොළොත් රටක් යළි ගොඩනැගීම පැරණි සම්ප්‍රදායික ක්‍රමවේදවලින් සිදු කළ නොහැකියි. අපි අලුතින් සිතා අලුත් ගමනක් ආරම්භ කළ යුතු වෙනවා.
ආර්ථික ප්‍රතිසංස්කරණ ඔස්සේ ලැබෙන ප්‍රතිඵල මොනවාද?
ඔබේ ජීවන බර අඩු වෙනවා. ජීවන මට්ටම ඉහළ යනවා. එය වරදක් ද? එය රට විකිණීමක්ද?
ඉතා කුඩා මට්ටමේ සිට මහා පරිමාණ මට්ටම දක්වා ශක්තිමත් වර්ධනයක් සහිත ව්‍යාපාර ඇති කරලීම සඳහා නව අවස්ථාවන් නිර්මාණය වෙනවා. එය වරදක් ද? එය රට විකිණීමක් ද?
රටේ දිළිඳුම සහ අසරණම ජන කොටස් ආරක්ෂා කරමින් ඔවුන්ගේ මූලික අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය සහන සහ පහසුකම් සැලසෙනවා. එය වරදක් ද? එය රට විකිණීමක් ද
රාජ්‍ය, මේ ව්‍යවසායන්ගෙන් රුපියල් මිලියන ගණනක් වන පාඩු පියවා ගැනීම සඳහා ජනතාවට බර පැටවීමේ සම්ප්‍රදාය අවසන් වෙනවා. එය වරදක් ද? එය රට විකිණීමක් ද?
විනිවිද පෙනෙන ආකාරයට වගවීමෙන් සහ වගකීමෙන් කටයුතු කිරීමේ පිළිවෙතක් සැකසෙනවා. එය වරදක් ද? එය රට විකිණීමක් ද?
ලෝකයේ වඩාත්ම වේගවත් වර්ධනයක් සහිත රටක් බවට ශ්‍රී ලංකාව පත් වෙනවා. එය වරදක් ද? එය රට විකිණීමක් ද?
තිරසර දියුණුවක් සහ සාර්ථකත්වයක් අපේ රටට අත්පත් කරදීම සඳහා අපි මේ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරනවා. මෙම ප්‍රතිසංස්කරණ ඔස්සේ ශ්‍රී ලංකාවේ නවීකරණය වේගවත් හා අර්ථවත් කිරීමටත්, අපේ වෙළෙඳපොළ පුළුල් කර ගැනීමටත්, ජාත්‍යන්තර ප්‍රජාව සංවර්ධන ව්‍යායාම සඳහා වැඩි වැඩියෙන් දායක කර ගැනීමටත් අවකාශ සැලසෙනවා.
මේ ගමන ලෙහෙසි පහසු ගමනක් නොවන බව අප දන්නවා. බොහෝ අභියෝගයන්ට තවදුරටත් මුහුණ දීමට සිදුවන බවත් අප දන්නවා. නමුත් අප ඒ සියලු අභියෝග ජය ගැනීමට කටයුතු කරනවා. හැම විටම රටට යහපත් දේ සිදු කිරීමට අපේ රජය කැපවී සිටිනවා.
මීට වසරකට පමණ පෙරාතුව රට ඇද වැටී තිබුණු තත්ත්වයට අපේ මාතෘ භූමිය යළි ඇද දැමීමට අප කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ. එදා රට වැසියන් මුහුණ දුන් තත්ත්වය අද සමහරුන්ට අමතකයි. රටේ ආර්ථිකය සියයට 7.8කින් හැකිළුණා. විදේශ විනිමය සංචිත අන්තිම අඩියට වැටුණා. ලෝකයේ වැඩිම උද්ධමනයක් ඇති රටවල් අතරට අපි එක් වුණා. විදේශ ණය ගෙවාගන්න බැරි වුණා. රට බංකොළොත් වුණා. ආහාර හිඟ වුණා. තෙල් සහ ගෑස් ලබා ගැනීමට දින ගණන් පෝලිම් වල ඉන්න සිදු වුණා. පොහොර නැති වීම නිසා ගොවිතැන් පාළු වුණා. අස්වනු නැති වුණා. ගොවීන් අසරණ වුණා. ව්‍යාපාර කඩා වැටුණා. රැකියා ආදායම් මාර්ග නැති වුණා.
රෝහල්වල බෙහෙත් හිඟ වුණා. පාසල් වැහුණා. පැය 10 ක – 12 ක විදුලි බල කප්පාදුව ඇති වුණා. ජනතාවට ජීවත්වීමට තිබූ සියලු ඉඩකඩ හැකිළී ගියා. රටම උඩු යටිකුරු වුණා. ජනතාව පාරට වැටුණා.
දුක් පීඩාවන් විඳ දරා ගැනීමට නොහැකි තැන ජනතාව නොසන්සුන් වුණා. අරගල කරන්නට පටන් ගත්තා. මම අගමැති හැටියට මේ රටේ ආර්ථිකය බාරගත්තේ එවන් දුෂ්කර පසුබිමකයි. මට තිබුණේ එකම එක ශක්තියක් පමණයි. ඒ මාගේ මාතෘ භූමිය මේ අසීරු වැල් පාලමෙන් ආරක්ෂිතව එගොඩ කරන්නට හැකි බවට මා තුළ වූ විශ්වාසය හා අධිෂ්ඨානය පමණයි.
අප මුලින්ම රට ස්ථාවර කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළා. දැඩි මූල්‍ය පාලනයකට රට යටත් කළා. මේ අර්බුදයෙන් ගොඩ ඒමට තිබෙන එකම විකල්පය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීම බව අප කල්තියා දැන සිටියා. ඒ නිසා අප ඔවුන් සමඟ සාකච්ඡා ආරම්භ කළා. දීර්ඝ සාකච්ඡා වට ගණනාවකින් පසු විස්තීරණ ණය පහසුකම අපට ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වුණා. ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු වෙනත් මූල්‍ය ආයතන සමග එක්ව රටට ණය ආධාර ලබා ගැනීමේ වැඩසටහන් ආරම්භ කළා.
මෙහිදී අපේ අසල්වැසි ඉන්දියාව අපට විශාල වශයෙන් උදව් උපකාර කළා. බංග්ලාදේශය සහාය වුණා. ජපානය මානුෂීය ආධාර ලබා දුන්නා. චීනය, ඉන්දියාව සහ ජපානය වැනි අපේ ප්‍රධාන ණය හිමියන් මෙන්ම පැරිස් සමාජය ද අපේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ වුණා. මේ සියලු රටවල්වලටත්, ආයතනවලටත්, ශ්‍රී ලංකාවාසී ජනතාව වෙනුවෙන් මම මාගේ කෘතඥතාවය පළ කර සිටිනවා.
රාජ්‍ය වියදම් කපා හැරීම නිසා විශාල මුදලක් ඉතිරි කර ගැනීමට අපට පුළුවන් වුණා. අපේ විදේශ ශ්‍රමිකයින් රට ගොඩනැංවීමේ ව්‍යායාමයට උපරිමයෙන් දායක වෙනවා. 2022 හා සසදන විට මේ වසරේ මුල් කාර්තුවේ විදේශීය ශ්‍රමිකයන් එවන මුදල් සියයට 80.6 කින් ඉහළ නැංවී තිබෙනවා. නව බදු ප්‍රතිපත්ති නිසා 2023 පළමු කාර්තුවේ රුපියල් බිලියන 210ක අතිරේක ආදායමක් ලබා තිබෙනවා.
වෙහෙසීමේ, කැපවීමේ සහ ඉලක්ක ගත නිවැරදි ගමනක් යෑමේ ප්‍රතිඵල අද අප සැම භුක්ති විඳිනවා. සියයට 70ක් දක්වා ඉහළ නැග තිබුණු උද්ධමනය දැන් සියයට 25.2ක් දක්වා පහළ වැටිලා. මේ නිසා ජීවන බර ක්‍රම ක්‍රමයෙන් සැහැල්ලු වෙමින් පවතිනවා. මුළුමහත් සමාජයටම මේ සහනය දැනෙන්න පටන් අරන් තිබෙනවා.
මෙතැන් සිට අප ඉදිරියට ගමන් කරන්නට බලාපොරොත්තු වන ආකාරය ගැන මම ඔබට පැහැදිලි කිරීමට කැමතියි. අපේ ඊළඟ ක්‍රියා පිළිවෙත, එහෙමත් නැත්නම් මාර්ග සිතියම සඳහා අපි ප්‍රධාන කරුණු හතරක් පදනම් කර ගන්නවා. තවත් විදියකට කිව්වොත් අපේ අනාගතය අප ගොඩ නංවන්නේ ප්‍රධාන කුලුනු හතරක් මතයි.
පළමුවැනි කුලුන – රාජ්‍ය මූල්‍ය හා ප්‍රතිසංස්කරණ
රාජ්‍ය මූල්‍ය හා මූල්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අප එකඟත්වයකට පැමිණියා. එම එකඟත්වය සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය අප ලබා ගත්තා.
බදු ප්‍රතිපත්තිය, ආදායම් පරිපාලනය සහ වියදම් කළමනාකරණය යන ක්ෂේත්‍රයන්හි ප්‍රතිසංස්කරණ අප ආරම්භ කර තිබෙනවා. ඒ ප්‍රතිසංස්කරණ අප ඉදිරියට ගෙන යනවා. රාජ්‍ය ණය දීර්ඝ කාලීනව තිරසාර මට්ටමක පවත්වා ගෙන යෑම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු අප හඳුන්වා දෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව
විශ්වාසය තහවුරු වන ආකාරයට නව ආර්ථික ප්‍රතිපත්ති අප හඳුන්වා දෙනවා.
ආර්ථිකය ස්ථාවර කරලීමේ අරමුණින් අපි 2022 මැයි මාසයේ සිට වියදම් සීමා කිරීමේ චක්‍රලේඛ ගණනාවක් ක්‍රියාත්මක කළා.
අනවශ්‍ය වියදම් තවදුරටත් අඩු කිරීමට අප පියවර ගන්නවා. හැකි සෑම අවස්ථාවකදීම රාජ්‍ය වියදම් උපරිමයෙන් සීමා කළ යුතු බව අප නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.
1) අනවශ්‍ය වියදම් නවතා දැමීම.
2) වියදම් අවම කරගැනීමට හැකිවන පරිදි රාජ්‍ය ක්‍රියාකාරකම් සරල කිරීම.
3) වියදම් අවම කර ගත හැකි වන පරිදි රාජ්‍ය ක්‍රියාකාරකම් සැලසුම් කිරීම.
4) වියදම් අවම කර ගැනීම සඳහාත්, ගුණාත්මක සේවාවන් සැපයීම සඳහාත් ස්වයංක්‍රීය සහ ඩිජිටල් ක්‍රමවේද අනුගමනය කිරීම කෙරෙහි මූලික වශයෙන් අපගේ අවධානය යොමු වෙනවා.
දෙවැනි කුලුන – ආයෝජන ප්‍රවර්ධනය
රටක ආර්ථිකය ඉහළ නැංවීම සඳහා ආයෝජන ප්‍රවර්ධනය අතිශය වැදගත් සාධකයක්. ආර්ථික වර්ධනයක් කරා අප යන ගමන වඩාත් ශක්තිමත් කර ගත හැකි වන්නේ රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය අතර ඇති කරගන්නා අන්‍යෝන්‍ය සහයෝගය මතයි.
දකුණු කොරියාව සහ සිංගප්පූරුව මෙන් අප රට ද අපනයන ඉලක්ක කරගත් ආර්ථිකයක් බවට පත්කරලීම අපේ අභිලාෂයයි.
ඒ වගේම පුනර්ජනනීය බලශක්ති, හරිත හයිඩ්‍රජන් සහ ඩිජිටල්කරණය වැනි නවීන සහ තිරසර ප්‍රයත්නයන් කරා යොමුවීමට ද අප බලාපොරොත්තු වෙනවා. මේ සඳහා යහපත් ආදර්ශ ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයෙන් අපට දැකබලා ගන්න පුළුවන්.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය පූර්ණ පරිවර්තනයකට ලක් කිරීමේ ක්‍රියාදාමයේ දී එවැනි නවීන තාක්ෂණයන් හා තිරසර ප්‍රයත්නයන් ද වැදගත් වෙනවා.
මෙවැනි නවීන තාක්ෂණික සහ තිරසර ප්‍රයත්නයන් ක්‍රියාත්මක කරලීම සඳහා තම තමන්ගේ ව්‍යාපාරික යෝජනා ඉදිරිපත් කරන ලෙස අප පුද්ගලික අංශයෙන් ඉල්ලා සිටිනවා. මෙම යෝජනා කැඳවීම ජනමාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්කොට විවෘත හා විධිමත් ආකාරයෙන් සිදු කරනවා.
එම යෝජනා තෝරා ගැනෙන්නේ ආයෝජන ධාරිතාව, රැකියා උත්පාදනය, අපනයන දායකත්වය සහ ආර්ථික දායකත්වය යන නිර්ණායක හතර පදනම් කරගෙනයි.
මෙම යෝජනා ක්‍රියාත්මක කරලීමේ පිළිවෙත සැකසීම උදෙසා අප අලුත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරනවා.
ඒ ක්‍රමවේදය අප හඳුන්වන්නේ “සංගායනා ක්‍රමවේද” යනුවෙන්.
රාජ්‍ය අංශය සහ පුද්ගලික අංශය අතර සහයෝගීතාවය ශක්තිමත් කරලීමේ අරමුණ ඇතිව සැකසෙන මෙම වැඩපිළිවෙළ සඳහා ඒ ඒ ක්ෂේත්‍ර පිළිබඳ විශේෂඥ දැනුම ඇති පිරිස්, රාජ්‍ය නිලධාරීන්, යෝජනාවට හෝ ව්‍යාපෘතියට අදාළ රේඛීය අමාත්‍යාංශ බලධාරීන් හා පෞද්ගලික අංශයේ නියෝජිතයින් එක්කර ගැනෙනවා.
සති 6ක කාලයක් පුරා එක දිගට ඔවුන් මේ යෝජනා සහ ව්‍යාපෘති පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කරනවා. පුද්ගලික අංශයේ නියෝජිතයන්ට කන් දෙමින් ඔවුන්ගේ ආයෝජන සඳහා ඇති සියලු බාධක ඉවත් කරලීම සඳහා කණ්ඩායම් වශයෙන් සාමූහිකව ක්‍රියා කිරීමට මෙහිදී සැලසුම් සකස් කරනවා. ව්‍යාපෘති ක්‍රියාත්මක කරලීමේ සැලසුම් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරමින් ඔවුන්ගේ ව්‍යාපෘති සඳහා අවශ්‍ය සියලු පහසුකම් සංවිධානය කිරීමට පියවර ගන්නවා.
සංගායනා ක්‍රියාවලියට එක්වන රජයේ පාර්ශ්වකරුවන් පූර්ණ කාලීනව මෙම සති හය තුළ ව්‍යාපෘති ක්‍රියාත්මක කරලීම පිළිබඳව අවධානය යොමු කරනවා.
සංගායනා ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා රජයේ කැපවීම සහතික කරමින් මමත්, කැබිනට් අමාත්‍යවරුනුත් මේ අවස්ථාවන්ට සහභාගීවීමට බලාපොරොත්තු වෙනවා.
සංගායනා ක්‍රියාවලියෙන්, අපි ප්‍රධාන අරමුණු තුනක් මුදුන්පත් කරගැනීමට බලාපොරොත්තු වෙනවා.
1) අනුමත කරන ලද ව්‍යාපාරික යෝජනා සහ ව්‍යාපෘති ඔස්සේ අපේ ආර්ථිකය යළි ප්‍රකෘති තත්ත්වයට පත් කරලීම වේගවත් කිරීම.
2) නව රැකියා අවස්ථා නිර්මාණයකරලීම.
3) ව්‍යාපෘතිවලට ඇති බාධා ඉවත්කරලීම සඳහා සැකසෙන නිදහස් ක්‍රමවේදයන් ඔස්සේ අනාගත ව්‍යාපෘතීන් ක්‍රියාත්මකකරලීම වඩාත් පහසු වන පරිදි රාජ්‍ය යාන්ත්‍රණය කාර්යක්ෂම කිරීම.
ශ්‍රී ලංකාවේ වෙළෙඳ පිළිවෙත් සකස් වී ඇත්තේ දැඩි ආරක්ෂණවාදී වැටකඩුලු ඔස්සේයි. දැන් මේ සියල්ල නිදහස් කිරීමට සුදුසු කාලයයි. බොහෝ පිළිවෙත් සකස්වී ඇත්තේ ආයෝජකයන් අධෛර්යට පත් කිරීමටයි. උදාසීන කරවීමටයි. මේ තත්ත්වය අප වෙනස් කරනවා. ඒ හරහා ආයෝජකයන්ට ආකර්ෂණීය රටක් නිර්මාණය කරනවා.
තුන්වෙනි කුලුන – සමාජ ආරක්ෂණ ජාලය
සමාජ ආරක්ෂණය සඳහා ද අපි සංගායනා ක්‍රියාවලිය අනුගමනය කරනවා. මෙම සමාජ ආරක්ෂණ සංගායනා ක්‍රියාවලිය සඳහා රජයේ අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, නියෝජිත ආයතන, සිවිල් සමාජ නියෝජිතයන් සහ විෂය කරුණු පිළිබඳ ප්‍රාමාණික උගතුන් සම්බන්ධ කරගැනීමට අප බලාපොරොත්තු වෙනවා.
වසර ගණනාවක් තිස්සේ මේ රටේ ජනතාව ප්‍රධාන ඉල්ලීම් තුනක් අපෙන් ඉල්ලා සිටියා. ඒ
1) සමාජයේ දිළිඳු හා අසරණ කොටස් ආරක්ෂා කර ගැනීම.
2) දූෂණය මැඩලීම.
3) රජයේ ක්‍රියාමාර්ග හා පිළිවෙත් පිළිබඳව නිරන්තරව මහජන අදහස් විමසීම.
යන කරුණු ත්‍රිත්වයයි. මේ ජනතා ඉල්ලීම් සපුරාලීමට අප කටයුතු කරනවා.
මෙහිදී සමාජයේ අන්ත අසරණ දිළිඳු කොටස්වලට නිසි සමාජ ආරක්ෂණයක් සිදු වේද, යන්න සොයා බලන අතර ඔවුන්ට අවශ්‍ය සහාය හා සහන ලබාදීමට කටයුතු කරනවා.
නියාමන, ප්‍රසම්පාදන සහ දේශපාලන යන සියලු අංශයන් හි දූෂණ සම්පූර්ණයෙන්ම අත්හිටුවීම සඳහාත්, ඩිජිටල්කරණය සහ වගවීම පදනම් කරගත් රාජ්‍ය යාන්ත්‍රණයකින් දූෂණ විරෝධී පිළිවෙත් ක්‍රියාත්මක කරලීම සඳහාත් විශේෂ කාර්ය සාධන බළකායක් ස්ථාපිත කරනවා.
හතරවැනි කුලුන – රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ
වර්තමානයේ ආර්ථිකයේ ක්ෂේත්‍ර 33ක රාජ්‍ය ව්‍යවසායන් 430ක් ක්‍රියාත්මක වෙනවා. ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 6ක ප්‍රමාණයක් මේවායේ සේවය කරනවා.
රාජ්‍ය අංශයට ඒකාධිකාරී වෙළෙඳපොළක් ලබා දීමේ ප්‍රතිඵලය වී තිබෙන්නේ පුද්ගලික ආයෝජන අධෛර්යට පත්වීමයි. මිල නියම කිරීම, අකාර්යක්ෂම කළමනාකාරීත්වය සහ දුර්වල මූල්‍ය මෙහෙයුම් නිසා මෙම ව්‍යවසායකයන් නිරතුරුවම පාඩු ලබනවා. මේ ආයතන රජයේ බදු මුදල් මත යැපෙන යාචක ආයතන බවට පත්ව තිබෙනවා.
2021 වසරේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ලංකා විදුලි බල මණ්ඩලය සහ ශ්‍රී ලංකන් එයාර් ලයින් යන ආයතනවල මෙහෙයුම් අලාභය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.6ක්. මේ ණය බර මිලියන විසි දෙකක් වූ ජනතාවගේ කරපිටට දිගින් දිගටම පැටවීම අසාධාරණයි.
ජනතාවගේ බදු මුදල් විශාල ප්‍රමාණයක් මේ අසාර්ථක ව්‍යවසායන් නඩත්තු කිරීම සඳහා යෙදවීමට සිදුව තිබෙනවා. මේ ආයතන ආණ්ඩුවටත් බරක්. රටටත් බරක්. ජනතාවටත් බරක්. එම නිසා මේවා සාර්ථක කර ගැනීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ හා ප්‍රතිව්‍යුහගත කිරීම් අප නොපමාව කළ යුතුයි.
රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලස්මක් සකස් කිරීම අප දැනටමත් ආරම්භ කර තිබෙනවා. මෙම සැලැස්ම ඔස්සේ සාර්ථකත්වය ලබාගන්නට මෙම ව්‍යවසායන්ට හැකි වේ යැයි අපි බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම රාජ්‍ය ව්‍යවසායන්හි ප්‍රධාන නිලධාරීන් ඔවුන්ගේ කාර්ය සාධනය වැඩි දියුණු කිරීමට කැපවී කටයුතු කරනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. ඔවුන්ට ලබාදෙන වාර්ෂික ඉලක්ක සපුරාලීමට අපොහොසත් වුවහොත් ඔවුන් වෙනුවට වඩාත් යෝග්‍ය පුද්ගලයින්ට එම වගකීම් භාර දීමට අප පසුබට වන්නේ නෑ.
මහජන දායකත්වය
සංගායනා ක්‍රියාවලියට අප ජනතා දායකත්වය ලබා ගැනීමට ද ක්‍රියා කරනවා. සති 6ක කාලය තුළ සිදු කෙරුණු සාකච්ඡා, විශ්ලේෂණ සහ නිගමන ඔස්සේ විවිධ ව්‍යාපෘති පිළිබඳව සකස් කෙරුණු සැලසුම් නියම කරන ලද මහජන දිනයකදී ජනතාවට ප්‍රසිද්ධ කරනවා. ඒ සියලු සැලසුම් ජනතාව හමුවේ තබනවා. එමගින් ජනතාවට තම අදහස් හා ප්‍රතිචාර දක්වන්නට අවකාශ සලසනවා.
සංගායනා ක්‍රියාවලිය ඔස්සේ සකස් කෙරුණු සැලසුම් ක්‍රියාවට නංවන්නේ ජනතා අදහස්වලින් තවදුරටත් පෝෂණය කිරීමෙන් පසුවයි.
ඒ වගේම අපේ මේ ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ පිළිබඳව සියලු තොරතුරු ජනතාව හමුවට ඉදිරිපත් කරන්නට මම පියවර ගන්නවා. ජනාධිපතිවරයා සිය වාර්ෂික වාර්තාවක් ලෙස එම කාර්යය සිදු කළ යුතු බව මම යෝජනා කරනවා.
අපේ මාර්ග සිතියම ක්‍රියාවට නැංවීමේදී සමාජයේ සියලු පාර්ශ්වයන්ගේ අදහස්වලින් එය පෝෂණය කර ගැනීම වැදගත් බව අපේ පිළිගැනීමයි. සංගායනා ක්‍රියාවලියේදීත්, මහජන දිනයේදීත් අප සිදු කරන්නේ එම ක්‍රියාවලිය යි.
අප බලාපොරොත්තු වන්නේ මෙම වසරේ දෙවන කාර්තුව අවසන් වීමට පෙරාතුව සංගායනා ක්‍රියාවලිය ආරම්භ කිරීමටයි. තුන්වන කාර්තුවේ දී සංගායනා ක්‍රියාවලිය සහ වර්තමානයේ ආර්ථිකයට සම්බන්ධ විශේෂ කාර්ය සාධන බලකායන් හි ක්‍රියාකාරකම් ද විවෘත සහ විනිවිද පෙනෙන ආකාරයෙන් ජනතාව හමුවේ තබනවා. ඒ සියල්ලෙන් අනතුරුව ජාතික ප්‍රතිසංවිධාන සැලැස්ම මෙම වසරේ අවසන් කාර්තුවේ දී එළි දක්වන්නට අප බලාපොරොත්තු වෙනවා.
සැලසුම් හා පිළිවෙත් ක්‍රියාත්මක කරලීමේ ප්‍රගතිය ජනතාවට ඩිජිටල් මාධ්‍ය ඔස්සේ දැක බලා ගැනීමේ අවකාශ සැලසෙනවා. ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන ගැටලු සහ බාධක අවධාරණය කර පෙන්වීමේ ක්‍රමවේදයක් ද එහි අඩංගුයි. ඒ අනුව බාධා හා ගැටලු හඳුනා ගැනීමටත්, ඒවා කඩිනමින් විසඳා ගැනීමටත් අවකාශ උදා කරගන්න පුළුවන්.
මෙම සැලසුම් ක්‍රියාත්මක කිරීමේ සම්බන්ධීකරණ කටයුතු සඳහා රාජ්‍ය සහ පුද්ගලික යන දෙඅංශයේම ඉහළ නිලධාරීන්ගෙන් සමන්විත ජනාධිපති විමසුම් කාර්යාංශයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නවා. රේඛීය අමාත්‍යාංශ සමඟ සම්බන්ධීකරණ කාර්යයන් ඔවුන් වෙතින් සිදු වෙනවා.
අනාගතය ගොඩ නැංවීම
මේ ප්‍රතිසංස්කරණ මුළු මහත් ජනතාවට ම එක ලෙස ප්‍රතිලාභ සැලසෙන වැඩපිළිවෙළක්. ඔබ ඇතුළු මුළු රටම මේ වැඩපිළිවෙළ මගින් දියුණු වෙනවා. ඔබගේත්, මුළු රටේම ජනතාවගේත් ජීවන තත්ත්වය මෙමඟින් ඉහළ නැංවෙනවා.
මෙය සමාජයේ එක් කොටසක් පමණක් ඉලක්ක කර ගත් වැඩපිළිවෙතක් නොවේ. මුළු රටම ඉලක්ක කරගත් වැඩසටහනක්.
තරුණ තරුණියන්ගේ ශ්‍රම සහභාගිත්වය ඉහළ නැංවීමේ අවස්ථා ඇති කරලීම ඔස්සේ ශ්‍රී ලංකාවේ අපනයන සඳහා ජාත්‍යන්තර තරගකාරීත්වය ඉහළ නැංවීමටත්, අප රටේ මානව ප්‍රාග්ධන සංවර්ධනය පුළුල් කිරීමටත් හැකියාව ලැබෙන්නේ එවිටයි.
ඉදිරි අවුරුදු පහ තුළ අපි ආර්ථිකය පූර්ණ වශයෙන් ස්ථාවර කරනවා. ඊළඟ අවුරුදු විසිපහ තුළ ඉහළ ආදායම් ලබන දියුණු රටක් බවට පත්වෙනවා. ඒ තමයි අපේ අරමුණ. මුල් අවුරුදු පහෙන් පසු රට නඟාසිටුවීමේ වැඩපිළිවෙළ බාර වෙන්නේ ඊළඟ පරම්පරාවටයි. අප ඒ සඳහා තරුණ තරුණියන් සූදානම් කරනවා. පෙළ ගස්වනවා. එනම් අභියෝගයන්ට මුහුණ දෙමින්, 2048 වෙද්දී අපේ මාතෘ භූමිය පුර්ණ සංවර්ධිත රටක් බවට පත් කිරීමට තරුණ තරුණියන් උර දෙන බව මට විශ්වාසයි. රටේ වගකීම් භාරගෙන ඒ ඉලක්කය ළඟා කර ගන්නා බව මට විශ්වාසයි.
මේ වැඩපිළිවෙළ ඔබ අප සැමගේම අනාගතය ගොඩනංවෙන වැඩ පිළිවෙළයි. අපේ අනාගත පරම්පරාවේ අනාගතය යහපත් කරන වැඩපිළිවෙළයි.ඒ නිසා මේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට උපරිම දායකත්වය ලබාදෙන මෙන් මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.
“2048 සංවර්ධිත රටක්” එයයි අපේ ඉලක්කය. අපේ අරගලය මේ ඉලක්කයට ළඟා වීමටයි. අපි එකට එක්ව අපේ අනාගතය ගොඩ නංවමු. යහපත් හෙට දවසක් නිර්මාණය කරගනිමු. ඒ කාර්යයට එක් වෙන ඔබ සැමට ස්තුතියි.
December, 13, 2022
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත්‍රයේ මූල්‍ය විසඳුම් සපයන්නෙකු වන පීපල්ස් ලීසිං සමාගම, යුරෝපීය සංගමයේ තත්ත්ව පර්යේෂණ (European Society Quality Research - ESQR) මගින් වාර්ෂිකව හොඳම භාවිතයන් ඇගයීම සඳහා පිරිනමන “විශිෂ්ට භාවිතයන් 2022” (Best Practices 2022) සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය.
2022 දෙසැම්බර් මස 11 වන දින බෙල්ජියමේ බ්‍රසල්ස් හි පැවැති සම්මාන උළලේදී පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ සභාපති, ප්‍රදීප් අමිර්තනායගම් සහ පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී, ෂමින්ද්‍ර මර්සලීන් විසින් මෙම සම්මානය ලබා ගනු ලැබීය.
යුරෝපය, ආසියාව, ඇමරිකාව, අප්‍රිකාව සහ ඕස්ටේ්‍රලියාව යන මහද්වීපයන් හි නිර්දේශිත රාජ්‍ය පරිපාලන සමාගම් සහ සංවිධාන අතරින් මෙම සම්මානය ප්‍රථමවරට ශ්‍රී ලංකාවට හිමිකරදීමට හැකිවීම පිපල්ස් ලීසිං සමාගම ලද විශිෂ්ඨ ජයග්‍රහණයකි. මීට පෙර මෙම සම්මානය ලබා ඇති ජාත්‍යන්තර සමාගම් අතර, BMW සමූහය (ජර්මනිය), Konica Minolta (ජපානය), State Bank of India (ඉන්දියාව), Cathay Pacific Airways (හොංකොං-චීනය), Air Canada (කැනඩාව) සහ United Airlines (ඇමරිකා එක්සත් ජනපදය) වෙති.
තිරසර අරමුණු පෙරදැරි කරගෙන මෙහෙයුම් කටයුතු සිදුකරන පීපල්ස් ලීසිං සමාගම ඉහළම මට්ටමේ අඛණ්ඩතාව, විනිවිදභාවය සහ වගවීම පවත්වාගැනීම සඳහා කැපවී සිටින සමාගමකි.
මෙම සම්මානය පිළිබඳව අදහස් දක්වමින් පීපල්ස් ලීසිං සමාගමේ සභාපති, ප්‍රදීප් අමිර්තනායගම් පැවසුවේ, මෙම සම්මානය හිමිවීම සමාගමේ විශිෂ්ටත්වය සහ යහපත් සදාචාරාත්මක ක්‍රියාපටිපාටි ක්‍රියාත්මක බවට දරණ හොදම සාක්ෂිය බවය.
පීපල්ස් ලීසිං සමාගමේ හි ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී, ෂමින්ද්‍ර මර්සලීන් තම අදහස් දක්වමින් පැවසුවේ, මෙම සම්මානය තුළින් පීපල්ස් ලීසිං සමාගමේ ශක්තිමත් තත්ත්ව කළමනාකරණ සහ පාලන රාමුව පෙන්නුම් කරන බවය.
“මෙවැනි ජයග්‍රහණයක් ලැබීම අප සමාගම ලැබු විශීෂ්ඨ ජයග්‍රහණයක්. ඒ පිළිබදව අප නිහතමානිව ආඩම්බරයට පත්වෙනවා. පීපල්ස් ලීසිං සමාගම ශ්‍රී ලංකාවේ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයන් සහ රජය සතු ව්‍යවසායන් සඳහා ප්‍රමිතිය සකස්කිරීම අඛණ්ඩව සිදුකරන සමාගමක්.’ ඔහු තවදුරටත් පැවසීය.
සම්මානලාභී සමාගම්, සංවිධාන සහ රාජ්‍ය පරිපාලන ආයතන ESQR හි ඡන්ද විමසීම්, පාරිභෝගික අදහස් පර්යේෂණ සහ වෙළඳපල අධ්‍යනයන් හි ප්‍රතිඵල මත පදනම්ව තෝරා ඇත. ජයග්‍රාහකයන් තේරීම් ක්‍රියාවලියේදී පොදු තොරතුරු මූලාශ්‍ර, ප්‍රකාශන, ධනාත්මක ප්‍රකාශ, පුණ්‍ය ව්‍යාපෘති, වාණිජ මණ්ඩල සහ විශ්ව විද්‍යාල ව්‍යාපෘති, වෙළඳ ප්‍රදර්ශන සහ ප්‍රදර්ශන පිළිබඳ පර්යේෂණ යන අංශ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබේ.
තත්ත්ව පර්යේෂණ සඳහා යුරෝපීය සංගමය (ESQR) යනු තත්ත්ව වැඩිදියුණුකිරීමේ ශිල්පීය ක්‍රම හඳුනාගැනීම සහ පර්යේෂණ සඳහා කැපවූ යුරෝපීය සංවිධානයකි. යුරෝපීය සංගමයේ තත්ත්ව පර්යේෂණ මූලස්ථානය ස්විට්සර්ලන්තයේ ලෝසාන් හි පිහිටා ඇති අතර ESQR සංවිධානය, සමාගම්, රාජ්‍ය පරිපාලන ආයතන, විශ්ව විද්‍යාල, රාජ්‍ය නොවන සංවිධාන සහ තනි පුද්ගල ව්‍යාපාරයන්හි විශිෂ්ට භාවිතයන් සහ තත්ත්ව කළමනාකරන උපාය මාර්ගවල ප්‍රතිඵල ඇගයීමට කැපවී කටයුතු කරනු ලබන්නකි. තවද ESQR සංවිධානය විසින් සමාගම්හි විශිෂ්ටත්වය, නවෝත්පාදන හැකියාව සහ දූරදර්ශී චින්තනය, දැනුම බෙදාහැරීම, අනුකූලතා තක්සේරුකරණ භාවිතයන් හෝ පහසුකම් බෙදාගැනීම වඩාත් අගය කරයි.
පීපල්ස් ලීසිං සමාගම යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකු නොවන මුදල් ආයතනයක් වන අතර ප්‍රමුඛ රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මුදල් ආයතනයකි. විශේෂිත ලීසිං සමාගමක් ලෙස වර්ෂ 1996 දී සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තුගත විය. පීපල්ස් ලීසිං සමාගම බංග්ලාදේශයේ විදේශීය ව්‍යාපාරයක් ඇතුළු අනුබද්ධිත ක්ෂේත්‍ර හයක් හරහා විවිධාංගීකරණය වු බැංකු නොවන මූල්‍ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.
ඡායාරූපය : 2022 විශිෂ්ට භාවිතයන් සඳහා වූ යුරෝපීය සම්මානය , පීපල්ස් ලීසිං සමාගමේ සභාපති, ප්‍රදීප් අමිර්තනායගම් (වමේ සිට දෙවැන්නා) ESQR හි ප්‍රධාන විධායක මයිකල් හැරිස් වෙතින් 2022 විශිෂ්ට භාවිතයන් සඳහා යුරෝපීය සම්මානය ලබාගත් අවස්ථාව. පීපල්ස් ලීසිං සමාගමේ සාමාන්‍යාධිකාරී /ප්‍රධාන විධායක නිලධාරී, ෂමින්ද්‍ර මර්සලීන්ද මෙම අවස්ථාවට සහභාගී විය.
August, 10, 2022
අර්බුදවලට විසඳුම් සෙවීමේ සාකච්ඡාවලදී රටේ අවශ්‍යතාවය ට ගැලපෙන න්‍යාය පත්‍රයෙන් බැහැර නොවීමට රජය වග බලා ගත යුතුයි
ශ්‍රී ලංකාව දැනට මුහුණ දී සිටින අර්බුදවලට විසඳුම් සෙවීමට සහාය දෙන බහුපාර්ශ්වික ආයතනවල න්‍යාය පත්‍රවලට එකඟ වීමෙන් පමණක් රටේ අර්බුද විසඳිය නොහැකි බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා අවධාරණය කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා පවත්වන විට ඔවුන්ගේ න්‍යාය පත්‍රය අනුව පමණක් නොව අපේ න්‍යාය පත්‍රය ද සාකච්ඡාවට බදුන් කිරීමට රජය උපාය ශීලී විය යුතු යැයි කීය. එසේම දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ යෝජනාව ලංකාව කිසිසේත් සැලකිය යුතු නැතැයි ඉරාන් වික්‍රමරත්න මහතා අවධාරණය කළේය.
ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව පාර්ලිමේන්තුවේ අද (10) පැවති විවාදය අමතමින් ඉරාන් වික්‍රමරත්න මහතා එසේ පැවසීය.
එහිදී වැඩිදුරටත් කථා කළ මන්ත්‍රීවරයා මෙසේ ද කීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපට විදුලි ගාස්තු සංශෝධනය කරන්නට උපදෙස් දී තිබෙනවා. ඛනිජ තෙල් සංස්ථාවේ ශේෂ පත්‍රය ප්‍රතිව්‍යූහගත කරන්නත් කියනවා. විදේශ ණය පරිමිතිය - ප්‍රමාණය විශාල කරන්නට ද කියනවා. අපේ මුළු ණය ප්‍රමාණයෙන් විදේශ ණය 30% පමණ වෙනවා.
ප්‍රශ්න විසඳීමට ආධාර දීමට එකඟ වන වෙනත් පාර්ශ්වයන් සමඟ ගනුදෙනු පිළිබඳව සාකච්ඡා කිරීමට සිදු වේ. ලංකාවට තිබෙන සුවිශේෂී ප්‍රශ්නය ඩොලර් නැතිවීමය. අයවැය සම්බන්ධ මූල්‍ය හා ගෙවුම් ශේෂය පිළිබඳව ද ප්‍රශ්ණ තිබෙනවා. එහෙත් අපට බැංකු පිළිබඳ ප්‍රශ්ණයක් නැහැ. අපි අපේ බැංකු පද්ධතිය ආරක්ෂා වන විදිහට සාකච්ඡාවල නිරත නොවන්නේ නම් තවත් අර්බුදයක් උද්ගතවීම වැළක්විය නොහැක.
විශේෂයෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ යෝජනාව ලංකාව කිසිසේත් සැලකිය යුතු නැතැයි ඉරාන් වික්‍රමරත්න මහතා අවධාරණය කළේය. අපි ඒ ස්ථාවරයෙ දැඩිව සිටිය යුතුයි. නැතිනම් එක ප්‍රශ්නයක් විසඳන්නට යෑමේදී තව ප්‍රශ්නයකට රට තල්ලුවන්නට පුළුවනි. බැංකු අර්බුදයක් ඇතිවුවහොත් එය විසඳන්නට තවත් දශකයක් ගතවනු ඇතයි මන්ත්‍රී වරයා කීය.
අප මුහුණ දෙන ආර්ථික අර්බුදය තුළ ණය පිළිබඳව විශාල ගැටලුවක් පෙනෙන්නට තිබෙනවා.රාජ්‍ය ණය පිළිබඳ රජයේ සංඛ්‍යා ලේඛණ අනුව චීනයෙන් ලැබුණු ණය ප්‍රතිශතය 10 % යැයි සඳහන්.ආසියානු සංවර්ධන බැඔකුවෙන් 13% යි, ලෝක බැංකුවෙන් 9 % ස්වෛරීත්ව බඳුම්කර ප්‍රමාණය (ඇයි එස් බී)47%, ජපානයෙන් 10 % ඉන්දියාවෙන් 2% අනෙක් සියලු රටවලින් 9% ලෙස සඳහන් වේ.
එහෙත් සැබැවින්ම චීනයෙන් ඊට වැඩියෙන් ලැබී තිබෙන බව සංඛ්‍යාලේඛනවලින් ඔප්පු වේ.
චයිනා එක්සිම් බැංකුවෙන් රාජ්‍ය ආයතනවල සෘජුව දී තිබෙන බැවින් ඒවා රජයේ ණය ලෙස රජය වාර්ථා කර නොමැත. රාජ්‍ය සංස්ථාවලට ලබා දී තිබෙන මේ ණය ද රජයේ ණය වන අතර මේවා ආපසු ගෙවන්න වෙන්නේත් රජයටමයි.
ඒ වගේම විදේශ මුදල් වාරික මූල්‍යකරණයේ දී (Foreign Currency Financing) චයිනා ඩිවෙලොප්මෙන්ට් බැංකුවට ගෙවිය යුතු මුදල ද රාජ්‍ය ණය ලෙස ඇතුළත් කර නැත. එසේ බලන කල චීනයෙන් ලැබුණු මුළු ණය ප්‍රමාණය 20 % පමණ වෙනවා.
අපේ අර්බුදයේ විශාලත්වය පැහැදිලි කරන තවත් කරුණු පෙනෙන්නට තිබේ. කටුනායක ගුවන් තොටුපොළේ දෙවන පර්යන්ත ගොඩනැගිල්ල ඉදිකිරීමේ ව්‍යාපෘතියට ජපානයේ ජයිකා ආයතනය පොරොන්දු වූ ඩොලර් මිලියන 570 ක සහන ණය ආධාරය නතර කර තිබෙන අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ පලමු අදියර වන කඩවත සිට මීරිගම දක්වා මාර්ග ඉදිකිරීම සඳහා චීනයේ එක්සිම් බැංකුවෙන් දෙන ලද ඩොලර් මිලිය 51 ක ණය ආධාරයද නවතා ඇතැයි වාර්ථාවෙනවා.
ඒ වගේම සාර්ව ආර්ථික ස්ථාවර භාවයක් ඇති කරන තෙක් ශ්‍රී ලංකාවට ණය නොදෙන බවට 2022 ජුලි 29 වන දින ලෝක බැංකුව නිවේදනය කළා. මෙවන් අර්බුද මැද රටේ ප්‍රශ්න විසඳ ගන්නේ කෙසේ ද යැයි රජයෙන් අසනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපට විදුලි ගාස්තු සංශෝධනය කරන්නට උපදෙස් දී තිබෙනවා. ඛනිජ තෙල් සංස්ථාවේ ශේෂ පත්‍රය ප්‍රතිව්‍යූහ ගත කරන්නත් කියනවා. විදේශ ණය පරිමිතිය - ප්‍රමාණය විශාල කරන්නට ද කියනවා. අපේ මුළු ණය ප්‍රමාණයෙන් විදේශ ණය 30 % පමණ වෙනවා. මෙහිදී අවදානමක් ගැන සඳහන් කිරීමට කැම්තියි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරන විට, ඔවුන්ගේ න්‍යාය පත්‍රය පමණක් අනුගමනය කිරීමට එකඟ වීම වෙනුවට අපගේ න්‍යාය පත්‍රය සාකච්ඡාවට ඇතුළත් කිරීමට රජය උපායශීලී විය යුතුය.
ජනාධිපති තුමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශණය පිළිබඳව අවධානය යොමු කරමින් ඉරාන් වික්‍රමරත්න මහතා මෙසේ ද කීය.
“අල්ලස දූෂණය හා වංචාව මේ සමාජයෙන් මුළුමණින් තුරන් කිරීම අනිවාර්‍ය කාරණයක්. අල්ලස හා දූෂණය මැඩලීමේ ජාතික ප්‍රතිපත්තියක් මම ක්‍රියාවට නංවනවා, ජා.මූ. අරමුදල සමඟ දූෂණ මැඩලීමටත් එළඹෙනවා” යැයි එම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ප්‍රකාශ කළා.
එහෙත් අපේ රටේ දූෂණය පිළිබඳව තිබෙන සංස්කෘතියෙන් බැහැර වීම කළ හැක්කේ කෙසේ ද. මේ සංස්කෘතියට ප්‍රධානතම හේතුව අල්ලස හා දූෂණයයි. ජනපතිතුමා බැංකු හොරා කියලා වත්මන් අගමැතිතුමත් එදා කිව්වා.
දශක හතරක කාලයක ඉතිහාසය අධ්‍යයන කරන විට පැහැදිළි වන කරුණ නම් ප්‍රජාතන්ත්‍රවාදය, ආගම්වාදය, ජාතිවාදය හා ජාතික ආර්ක්ෂාව කියමින් වචන ඉස්සරහට දාගෙන දේශපලනඥයන් හා ඉහල නිලධාරීන් දම්වැල් පුරුක් වගේ අඩු වැඩි වශයෙන් මේ රටේ මහජන මුදල් කෙතරම් කොල්ල කෑවා දැයි සොයා ගන්නට ක්‍රමය්ක් නැත.
රට හදන්නට නම් වෘත්තියවේදීන්ද ඉදිරිපත්විය යුතුයි
චෝදනාවලට ලක්වන තම සහචර නිලධාරීන්ව දේශපාලනඥයන් ආරක්ෂා කරනවා, නිලධාරීන් තම හාම් පුතා ආරක්ෂා කරනවා. නිලධාරීන් තම සේවා යෝජකයන් වන දේශපාලනඥයන් ආරක්ෂා කරයි. සහ ඉතිහාසය පුරාවටම මෙම දෙපාර්ශ්වය දෙක ආත්ම බන්ධනයක් හරහා නීතියේ හිඩැස් හරහා රිංගා යන අයුරු දැකගත හැකි වූ අතර රට ගොඩනැගීමට දේශපාලකයන්ට අමතරව වෘත්තිකයන් ද ඉදිරිපත් විය යුතු බව ඉරාන් වික්‍රමරත්න මහතා ඉල්ලා සිටියේය.
Video Story