SLIITහි අන්තර් ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය විසින් පවත්වනු ලැබූ ‘Synthesis 2023 – The Magical Harmony’ සංගීත සැඳෑව විනෝදාස්වාදයේන් පිරි ප්‍රාසාංගික ගී මිහිරෙන් වර්ණවත් වෙයි

    May, 3, 2023

    SLIIT ආයතනයේ ප්‍රධානතම ශිෂ්‍ය එකමුතුව වන අන්තර් ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය (Student Interactive Society) විසින් පවත්වනු ලැබූ 'Synthesis 2023 - The Magical Harmony' සංගීත සැඳෑව සිසුන්ට සදා අමතක නොවන සුන්දරත්වයෙන් පිරි රාත්‍රියක අත්දැකීමක් ලබා දෙමින් පසුගියදා සාර්ථකව නිමාවට පත්විය.

    රටේ පැවති වසංගත තත්ත්වය ඇතුළු අභියෝගයන් හමුවේ වසර දෙකකට පසුව පවත්වනු ලැබූ එම සිසුන්ගේ ප්‍රධානතම සුහඳ හමුව මෙය වූ අතර, මෙම උත්සව සැමරුම සඳහා SLIIT හි සහෝදර ශිෂ්‍ය ප්‍රජාවන් තුළ මහත් උනන්දුවක් දක්නට ලැබීම ද විශේෂත්වයක් විය. ප්‍රථම වසර සඳහා සිසුන් පිළිගැනීම ඇතුළුව SLIIT හි සියලු පීඨවල සිසුන්ගේ විවිධත්වයන් හා රංගන කුසලතාවයන් මෙන්ම සිසුන් තුළ සුහදත්වය වර්ධනයකර ගැනීම සඳහා මෙම උත්සවය සුවිශේෂී අවස්ථාවක් සලසා දෙනු ලැබිණි. SLIIT හි අන්තර් ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමයේ සභාපති රනුල් දීලක ඇතුළු එම සංගමයේ සාමාජික පිරිස විසින් මෙම සමස්ත උත්සවය සංවිධානය කරනු ලැබීය.

    මෙහිදී අදහස් දක්වමින් SLIIT හි කුලපති, මහාචාර්ය ලක්ෂ්මන් රත්නායක මහතා මෙසේ පැවසීය. '' 'Synthesis 2023 - The Magical Harmony' උත්සවය ඉතා සාර්ථකව පැවැත්වීමට හැකි වීම මෙන්ම අපගේ සිසුන් වෙනුවෙන් ඉතා විශිෂ්ට මට්ටමේ සංදර්ශනයක් ඉදිරිපත් කිරීම පිළිබඳව අපගේ අන්තර් ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමයට ගෞරවය හිමි විය යුතුයි. වසර 2ක පමණ කාලයකට පසු මෙම උත්සවය සැමරීම සඳහා සිසුන්ට සමාජගත වීමට අවකාශය ලැබීම නැවුම් හුස්මක ආරම්භයක් කියා මා සිතනවා. මෙහි පාර්ශවකරුවන් වීම තුළින් ඔවුන්ට විනෝද වීමට සහ අනෙක් සහෝදර සිසුන් අතර සුහදත්වය ගොඩනගා ගැනීමට අවස්ථාව ලැබී තිබෙනවා. අපගේ ශිෂ්‍යයින් වින්දනයක් ලබමින්, ඔවුන්ගේ අධ්‍යයන කටයුතුවලින් මදකට විවේකයක් ගන්නවා දැකීම තරම් සතුටක් තවත් නැහැ. මෙම අවස්ථාව හොඳින් සංවිධානය කර ඉදිරිපත් කිරීම පිළිබඳව මම ඔවුන්ට සුබ පතනවා.''

    මෙම උත්සවයේ ප්‍රධාන සංගීත කණ්ඩායම වූයේ 'Daddy' සංගීත කණ්ඩායමයි. 'Randhir with Boombox' හා 'SLIIT සංගීත කණ්ඩායම' ඇතුළු අනෙකුත් ජනප්‍රිය සංගීත කණ්ඩායම් විසින් සිසුන් වෙත ගී මිහිරක් ඇතුළු වින්දනයක් ලබා දෙමින් මෙම උත්සව සැඳෑව වර්ණවත් කළේය. සෙන්ටිග්‍රේඩ්ස්, වස්ති, දිනේෂ්, කයිසර්, හා රන්දීර් යන කලා කරුවන්ගේ ගායන හා ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම් හමුවේ මෙම සංගීත සන්ධ්‍යාව තවත් වර්ණවත් විය. තවද විලාසිතා නිරූපිකාවන් ලෙස SLIIT සිසුන්ගේ විලාසිතා දැක්මක් ද සංවිධානය කර තිබිණි. විලාසිතාමය ඇඳුම් පැළඳුම් La Vivente විසින් සපයන ලද අතර ඒ සඳහා සිසුන් පුහුණු කරනු ලැබූයේ Brian Kerkoven විසිනි. මෙම උත්සවයේදී SLIIT සිසුන් විසින් ඔවුන්ගේ නර්තන අංග ඇතුළු රංගන කුසලතා රැසක් ද ඉදිරිපත් කිරීම විශේෂත්වයක් විය.

    මෙහිදී උත්සවය පිළිබඳව අදහස් දක්වමින් SLIIT හි උපකුලපති මහාචාර්ය ලලිත් ගමගේ මහතා මෙසේ පැවසීය. ''SLIIT හි අපගේ නවක සිසුන් වෙත අප උණුසුම් පිළිගැනීමක් ලබා දෙන අතරේම SLIIT අන්තර් ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය විසින් සංවිධානය කරන ලද 'Synthesis 2023' උත්සවයේදී සිසුන්ගේ උද්යෝගය සහ ශක්තිය දැකීමට හැකියාව ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා. මෙම උත්සවය අපගේ සිසුන්ට සුහද බැඳීමක් වර්ධනය කර ගැනීමට හා ශිෂ්‍ය ප්‍රජාව පිළිබඳව හැඟීමක් ඇති කිරීමට සහ SLIIT ආයතනය තුළ එකම පවුලක් ලෙසින් ඔවුන්ගේ අධ්‍යයන කටයුතු සාර්ථකව කරගෙන යාමට විශාල අවස්ථාවක් සලසා දෙනවා.

    වසර දෙකක පමණ කාලයකින් පසුව මෙම උත්සවය හරහා විවිධ පීඨවල සිටින සියලුම සිසුන්ට එකට එක් වී SLIIT ආයතනය තුළ සතුටින් කාලය ගත කිරීමට හැකිවීම කාටත් අමතක නොවන අත්දැකීමක් සහිත අවස්ථාවක්. මම SLIIT හි සියලුම සිසුන්ට ඔවුන් කැමති අධ්‍යයනයන් සොයා යාමට, විෂය බාහිර ක්‍රියාකාරකම්වලට සහභාගී වීමට, අනාගත අවස්ථා සංවිධානය කිරීමට, ඔවුන්ගේ අධ්‍යයන කටයුතු විශිෂ්ට අයුරින් අඛණ්ඩව ඉටු කරගෙන යාමට සහ ඔවුන්ගේ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙසට ඉතා ඕනෑකමින් ප්‍රකාශකර සිටිනවා.''

    අන්තර් ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමයට සහය ලබා දෙමින් මෙම විශේෂ උත්සවය සංවිධානය කිරීම සඳහා අනුග්‍රාහකභවතුන් රැසක් සිය දායකත්වය ලබා දෙනු ලැබිණි. SLT-MOBITEL මෙම උත්සවයේ ප්‍රධාන අනුග්‍රාහකභවතා ලෙසින් ඉදිරිපත්විය. සෙසු අනුග්‍රාහකභවතුන් ලෙස ishop.lk, Peoples Bank,Hatton National Bank, Elephant House, Dominos, Magiclight, La Vivente, Happy Graphics, Ceylon Textiles, Ashadi Jewellers, Supercom, Wrist Band Lanka, Brian Kerkoven, Thimac Entertainment සහ Universal Sounds යන රාජ්‍ය හා පෞද්ගලික ආයතන මේ සඳහා සිය අනුග්‍රාහක දායකත්වය ලබා දුනි.