SLIIT ආයතනය LLB (ගෞරව) උපාධිය පිරිනැමීම අරඹයි

    September, 18, 2018

    SLIIT ආයතනය මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නැවුම් සංදිස්ථානයක් සනිටුහන් කරමින් එක්සත් රාජධානියේ කීර්තිමත් ලිවර්පූල් ජෝන් මුවර්ස් විශ්වවිද්‍යාලය (LJMU) සමග අත්වැල් බැඳ ගනිමින් නවත ම බ්‍රිතාන්‍ය LLB (ගෞරව) නීති උපාධි පාඨමාලාව පසුගියදා ආරම්භ කළේය. මීට අදාළ මාධ්‍ය හමුව පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණි.

    මෙම උපාධි පාඨමාලාව කීර්තිමත් ශාස්ත්‍රීය සහ ප්‍රායෝගික උපාධි පාඨමාලා සම්බන්ධව SLIIT ආයතනය සතු අත්දැකීම් සම්භාරයත්, එක්සත් රාජධානියේ විශාලත ම සහ වඩාත් ඉදිරිගාමී විශ්වවිද්‍යාලයක් ලෙස LJMU විශ්වවිද්‍යාලය සතු කීර්ති නාමයත් සමගින් මෙරට සිසුන් වෙනුවෙන් මෙතැන් සිට දියත් කෙරෙනු ඇත.

    LJMU විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන අංශයේ උප කුලපති මහාචාර්ය පීටර් බයර්ස් මහතා සහ උසස් ප්‍රතිපත්තිකරණ අධ්‍යයන මහාචාර්ය සර් ජෝන් මර්ෆි මහතා ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

    SLIIT ආයතනය නියෝජනය කරමින් එම ආයතනයේ කුලපති මහාචාර්ය ලක්ෂ්මන් රත්නායක, උප කුලපති මහාචාර්ය ලලිත් ගමගේ, මානව ශාස්ත්‍ර සහ විද්‍යා පීඨයේ පීඨාධිපති ආචාර්ය මලිත විජේසුන්දර සහ ජාත්‍යන්තර අංශයේ පීඨාධිපති මහාචාර්ය මහේෂා කපුරුබණ්ඩාර යන මහත්ම මහත්මීහු ද මේ සඳහා සහභාගී වූහ.

    වසර තුනක LLB (ගෞරව) නීති උපාධි පාඨමාලාව අවසන් කරන සිසුන් හට දැනුමින් සහ කුසලතාවලින් පරිපූර්ණ නීති වෘත්තිකයන් බවට පත්වීමටත් සිය අභිමතය පරිදි සාමාන්‍ය නෛතික ක්ෂේත්‍රයේ රැකියාවලට ඇතුළත් වීමටත් ආයතන සමග සම්බන්ධ වීමට සහ ජාත්‍යන්තර ආයතන සමග සම්බන්ධ වීමටත් හැකිවේ.

    "එක්සත් රාජධානියේ ප්‍රමුඛත ම විශ්වවිද්‍යාලය 60 අතර රැඳෙන LJMU විශ්වවිද්‍යාලය සහ එහි නීති උපාධි පාඨමාලාව සමග අත්වැල් බැඳ ගැනීමට හැකිවීම සැබවින් ම ඉතාම සතුටට කාරණයක්. LJMU විශ්වවිද්‍යාලය සමග සම්බන්ධවීම අරමුණු කිහිපයක් මුල්කර ගනිමින් සිදුවූවක්. තොරතුරු තාක්ෂණ සහ ඉංජිනේරු ක්ෂේත්‍රය තුළ අප සතු විශේෂඥ දැනුම එක්කොට පූර්ණ-කාලීන නීති උපාධි පාඨමාලාවක් පිරිනැමීම ඒ අතරින් වඩාත් සුවිශේෂී අරමුණක් වනවා. බැංකුකරණය, ඉදිකිරීම්, සයිබර් ආරක්ෂණ, දත්ත ආරක්ෂණ ආදී සම්ප්‍රදායික නොවන ක්ෂේත්‍ර කෙරෙහි ද අප මෙහිදී විශේෂ අවධානයක් යොමු කරනවා. අප අපගේ විෂය පරාසය පුළුල් කරන අතර ම සිසුන් අනෙකුත් විෂය ක්ෂේත්‍ර ද සම්බන්ධ කර ගනිමින් තමන්ගේ විශේෂඥ ක්ෂේත්‍රය තුළ වඩාත් හොඳ ස්ථාවරයක් ගොඩනගා ගත යුතුවනවා" යනුවෙන් SLIIT ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ලලිත් ගමගේ මහතා සඳහන් කළේය.

    බහු ශික්ෂණ පරිපූර්ණ විශ්වවිද්‍යාලයක් බවට පත්වීමේ ඉලක්කය කරා යන ගමනේදී මෙරට සංවර්ධනය සඳහා දායකත්වය ලබාදෙන නීති වෘත්තිකයන් ඇතුළු ගුණාත්මක බවින් උසස් යෝග්‍ය වෘත්තිකයන් ජාතියට දායාද කිරීම තම අරමුණ බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    මූලික ඉංග්‍රීසි නීතිය වැනි වඩාත් අභියෝගාත්මක නෛතික මාතෘකා මෙන්ම මානව හිමිකම්, සත්ත්ව හිමිකම්, මුල්‍ය අපරාධ, බැංකුකරණ, ජාත්‍යන්තර නීතිය ආදී විශේෂඥ ක්ෂේත්‍ර ද මෙම තුන් අවුරුදු උපාධි පාඨමාලාව මගින් ආවරණය කෙරේ.

    "LLB (ගෞරව) නීති උපාධිය SLIIT ආයතනයේ පාඨමාලා සඳහා එක්වූ ආකර්ෂණීය ම පාඨමාලාවක් බව හඳුන්වා දිය හැකියි. සිසුන් හට ප්‍රායෝගිකව නීති ක්ෂේත්‍රයට අදාළ දැනුම, කුසලතා සහ ආත්ම විශ්වාසය ලබාදීම සඳහා SLIIT ආයතනය LJMU විශ්වවිද්‍යාලය සමග නවෝත්පාදන එළඹුමකින් යුතුව කටයුතු කළා" යනුවෙන් SLIIT ආයතනයේ මානව ශාස්ත්‍ර සහ විද්‍යා පීඨයේ පීඨාධිපති ආචාර්ය මලිත විජේසුන්දර මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

    නීති ක්ෂේත්‍රයේ විශේෂඥයන් බවට පත්වීමට අවශ්‍ය යාවත්කාලීන නීති දත්ත පද්ධතිය, ඉ-සම්පත් සහ විශේෂඥ දේශක මඬුල්ලේ දැනුම ලබාගැනීමට මෙහිදී සිසුන් හට අවස්ථාව උදාවේ.

    මෙම උපාධි පාඨමාලාව හඳුන්වාදීම පිළිබඳ අදහස් දක්වමින් SLIIT ආයතනයේ ජාත්‍යන්තර අංශයේ පීඨාධිපති මහාචාර්ය මහේෂා කපුරුබණ්ඩාර මහත්මිය සඳහන් කළේ, විදේශ විශ්වවිද්‍යාල සමග සම්බන්ධවීම හරහා එම විශ්වවිද්‍යාලවල පර්යේෂණ, අධ්‍යාපන සහ කාර්මික දැනුම ලබාගනිමින් සිසුන් හට ගෝලීය රැකියා වෙළඳපල තුළ සාර්ථක වෘත්තීය ගමන්මගකට හිමිකම් කීමට හැකිවන බවය.

    LLB (ගෞරව) නීති උපාධිය සඳහා 2018/2019 ශිෂ්‍ය කණ්ඩායම ලියාපදිංචිය මේවන විට ආරම්භ කර ඇත. අ.පො.ස. උ/පෙළ (ශ්‍රී ලංකා/කේම්බ්‍රිජ්/එඩෙක්සෙල්) විභාගයෙන් එකවර ඕනෑම විෂය ක්ෂේත්‍රයකින් සමර්ථ තුනක් සමගින් අ.පො.ස. සා/පෙළ විභාගයෙන් ඉංග්‍රීසි විෂය සඳහා සම්මාන සාමාර්ථයක් හිමිවීම මේ සඳහා ඇතුළත්වීමේ සුදුසුකම් වේ. ijmu@sliit.lk, www.sliit.lk හෝ 0766 378 351 මාර්ගයෙන් සිසුන්ට මේ සඳහා අයදුම් කළ හැකිය.