SLIIT නව අධ්‍යයන වර්ෂය ඇරඹෙයි

    December, 1, 2016

    ගෝලීය මට්ටමේ උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස පෙරමුණ ගෙන සිටින SLIIT ආයතනයේ නව අධ්‍යයන වර්ෂය සඳහා සමාරම්භක උත්සවයක්, පසුගියදා මාලබේ පිහිටි තම ප්‍රධාන අධ්‍යයන පරිශ්‍රයේදී නවක සිසුන් 1000කට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් පැවැත්වීය. එහිදී විවිධ පීඨවල නියෝජිතයන් මුණගැසීමටත් ආචාර්ය මණ්ඩලය නියෝජනය කරන විද්වතුන්ගේ වටිනා දේශන කිහිපයකට සවන්දීමටත් ඔවුනට අවස්ථාව හිමිවිය.

    මෙම 2016/17 ශිෂ්‍ය කණ්ඩායම SLIIT හි නවීකරණය කරන ලද ශිෂ්‍ය අනුහුරු වැඩසටහනට (Orientation Programme) එක්වීමට නියමිත වන අතර එම වැඩසටහන 2017 පෙබරවාරි මස දක්වා පැවැත්වේ. ඊට විවිධ අන්තර් ක්‍රියා, ගතික හා උත්පාදන මුසු ක්‍රියාකාරකම් අඩංගු වන අතර ඉන් අරමුණු කෙරෙන්නේ, සිසුන්ට තමන් විසින් තෝරාගන්නා උපාධි පාඨමාලාවන්ට අදාළව ඉගෙනුම ලැබීමට ස්ථීර පදනමක් සකස් කරදීම ය.

    අංග සම්පූර්ණ ඉගෙනුම් පරිසරයක් සමඟින් තොරතුරු තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, ව්‍යාපාර පරිපාලනය, වාස්තු විද්‍යාව, ප්‍රමාණ සමීක්ෂණය හා සත්කාර කළමනාකරණය යන ක්ෂේත්‍රයන්ට අයත් උපාධි පාඨමාලා SLIIT හරහා පිරිනැමේ. සිසුන්ට සිය උපාධිය මෙරට දී මෙන්ම මහා බ්‍රිතාන්‍යය, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව හෝ ඕස්ට්‍රේලියාව වැනි රටවලදී ද සම්පූර්ණ කිරීමට හැකියාව තිබේ.