SLIIT, Cisco Networking අධ්‍යාපන ආයතනය මගින් සංවිධානය කළ වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහනට සත්කාරකත්වය ලබාදේ

    June, 9, 2016

    SLIIT සත්කාරකත්වයෙන් Cisco Networking අධ්‍යාපන ආයතනය මගින් සංවිධානය කළ වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහනක් මාලඹේ පිහිටි SLIIT පරිශ‍්‍රයේදී පසුගියදා පැවැත්විණි. මෙම වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන දියත් කිරීමේ මූලික අරමුණ වූයේ Cisco Networking අධ්‍යාපන ආයතනයේ ඉගෙනුම ලබන සිසුන් හා පරිගණක ක්ෂේත‍්‍රය අතර පවතින සබැඳියාව තවදුරටත් තහවුරු කිරීම මෙන්ම පරිගණක ජාලකරණය පිළිබඳ ඔවුන්ට නිසි පුහුණුවක් ලබාදීමයි. මෙහිදී පැවැත්වුණු පුහුණු වැඩමුළු හා අන්තර් ක‍්‍රියාකාරීත්ව වැඩසටහන් වලට Cisco Networking අධ්‍යාපන ආයතනයේ ඉගෙනුම ලබන සිසුන් 275 කට අධික සංඛ්‍යාවක් මෙන්ම උපදේශකයින් හා ක්ෂේත්‍රයේ ප‍්‍රවීණයින් රැසක් දායක විය.

    ‘‘මෙවැනි ආකාරයේ රැකියා වෙළඳපල හා වැඩමුළු පැවැත්වීම මගින් රැකියා වෙළඳපලේ ඉල්ලූමට සරිලන ලෙස ශක්තිමත් වීමේ හැකියාව සිසුන්ට ලබාදෙනවා. එමෙන්ම, කීර්තිමත් විශ්වවිද්‍යාල වල නියෝජිතයින් හමුවීමට, ඔවුන් සමග සබැඳියාවන් ඇතිකරගැනීමට හා ක්ෂේත‍්‍රයේ නව ප‍්‍රවණතා හඳුනාගැනීමට සිසුන්ට මෙහිදී හැකිවෙනවා.’’ Cisco අධ්‍යාපන ආයතනයේ නෛතික බලය හිමි ප‍්‍රධාන සම්බන්ධීකාරක, SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ තොරතුරු තාක්ෂණ අංශයේ ප‍්‍රධානි උදිත ගමගේ මහතා පැවසුවේය.

    සිසුන්ගේ සුවිශේෂී හැකියාවන් ඔපමට්ටම් කිරීම හා නංවාලීම මෙහිදී සහභාගී වන බොහෝ දෙනා අතර දැඩිව අවධානයට ලක්වන කරුණකි. මෙම වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහනේදී පරිගණක හා තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයින් කිහිපදෙනෙකුම අදහස් දැක්වීමට ද එක්විය. ඒ අතරට ශ‍්‍රී ලංකාව, බංග්ලාදේශය, මාලදිවයින හා භූතානයේ Cisco වැඩසටහන් කළමනාකාරිනී කල්හාරි කළුආරච්චි මෙනවිය, Social Innovation group APAC" Cisco Systems, Inc මහාචාර්ය කෝලිය පුලසිංහ මහතා, SLIIT පරිගණක පීඨාධිපති, ඉෂාර වික‍්‍රමතිලක මහතා, Aitken Spence HR හි ජ්‍යෙෂ්ඨ සහකාර කළමනාකර හා Cisco අධ්‍යාපන ආයතනයේ නෛතික බලය හිමි ප‍්‍රධාන සම්බන්ධීකාරක, SLIIT තොරතුරු තාක්ෂණ අංශයේ ප‍්‍රධානි උදිත ගමගේ මහතා ආදී පිරිස ඇතුළත්ය.

    Cisco Networking අධ්‍යාපන ආයතනයේ පාඨමාලාවන් වන CCNA Routing Switching- CCNP R&S ROUTE, CCNP-R&S SWITCH, CCNA Security Program හා Cisco IT Essentials ආදිය මාලඹේ පිහිටි SLIIT මෙට්රෝ පරිශ‍්‍රයේදී පැවැත්වෙයි. එමෙන්ම, Cisco උපදේශක පුහුණු මධ්‍යස්ථානය මෙන්ම Cisco අධ්‍යාපන සහය මධ්‍යස්ථානය මගින් ද පරිගණක ජාලකරණ සමාජයට සහය දක්වයි.