SLIIT ‘Young Engineering Expo’ 2016 සාර්ථකව නිමාවට පත්වෙයි

    May, 25, 2016

    SLIIT ඉංජිනේරුවිද්‍යා පීඨයේ පළමු වසර සිසුන් සංවිධානය කළ ‘Young Engineering Expo' 2016 මාළඹේ පිහිටි SLIIT ශ‍්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්වුණි. SLIIT සිසුන්ගේ දක්ෂතා පිළිබිඹු කරමින් නවෝත්පාදන 100 කට අධික ප‍්‍රමාණයක් මෙහිදී ප‍්‍රදර්ශනය කෙරුණි.

    SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ සභාපති සහ ප‍්‍රධාන විධායක නිළධාරි මහාචාර්ය ලලිත් ගමගේ මහතා මෙහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර SLIIT සභාපති මහාචාර්ය ලක්ෂ්මන් රත්නායක මහතා මෙහි සම්භාවනීය අමුත්තා ලෙස සහභාගී වූවේය. මීට අමතරව SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ සියලූ පීඨයන්හි පීඨාධිපතිවරු, ආචාර්යවරු, සිසුන්, මාපියන් හා පාසල් සිසුන් ‘Young Engineering Expo' 2016 සමාරම්භක අවස්ථාව හා එක්විය. එමෙන්ම, IFS, Virtusa, Dialog හා zMessenger වැනි ප‍්‍රමුඛ පෙළේ සමාගම් ගණනාවක විශේෂඥයින් රැසක් SLIIT සිසුන්ගේ දක්ෂතා දැකබලාගැනීමට පැමිණ සිටියහ.

    ''අඛණ්ඩව දෙවැනි වරටත් සංවිධානය වූ 'Young Engineering Expo', SLIIT සිසුන්ගේ හැකියාවන් එළිදැක්වීමට තිබෙන හොඳම වේදිකාවයි. මෙමගින් සිසුන් සතු න්‍යායාත්මක දැනුම යොදාගනිමින් ඉංජිනේරු ක්ෂේත‍්‍රයට අදාළ සැබෑ ගැටළු, සංකල්පයන් හා තාක්ෂණික විසඳුම් ක‍්‍රියාත්මක කිරීමට මහඟු අවස්ථාවක් හිමිකරදෙන අතර ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයින් හමුවී ඔවුන් සමග කතාබහ කිරීමට ද අවකාශය සැලසෙනවා. මෙවැනි හමුවීම් මගින් අනාගතයේදී සමාජයට සිය සුවිශේෂී දායකත්වය ලබාදීමට අවශ්‍ය වන සබඳතාවන් ඇතිකරගැනීමේ අවස්ථාව හා ඒ සඳහා වූ මංපෙත් සිසුන්ට හිමිවනු ඇත.'' මෙහිදී අදහස් දැක්වූ SLIIT ඉංජිනේරුවිද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මාධව හේරත් මහතා පැවසුවේය.

    SLIIT ඉංජිනේරුවිද්‍යාව උපාධි වැඩසටහන ආරම්භයේ සිටම නිර්මාණය වී තිබුණේ සිසුන්ගේ නිර්මාණාත්මක කුසලතා ඔප්නැංවීමට අවස්ථාව ලබාදෙන අතර, සීමා මායිම් වලින් ඔබ්බට සිතන හා අත්දැකීම් තුළින් ඉගෙනගැනීමේ අවස්ථාව ඔවුන්ට හිමිකරදීම අරමුණු කරගෙනය. 'Young Engineering Expo' මගින් ඉංජිනේරු ක්ෂේත්‍රයේ නව්‍යකරණයන් මගින් සිසුන්ට සැබැවින්ම සිතන්නට, පුහුණුවීමට හා ගැටළු විසඳීමට අවශ්‍ය මූලික අඩිතාලම හිමිකරදෙයි.

    SLIIT සිවු අවුරුදු විද්‍යාවේදී (BSc) ඉංජිනේරුවිද්‍යාව පාඨමාලාව මගින් ප‍්‍රධාන ක්ෂේත්‍රයන් පහක් ඔස්සේ අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව සිසුන්ට හිමිකරදී ඇත. ඒ අතරට සිවිල් ඉංජිනේරුවිද්‍යාව (Civil Engineering), විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවිද්‍යාව (Electrical and Electronic Engineering), ද්‍රව්‍යාත්මක ඉංජිනේරුවිද්‍යාව (Materials Engineering), යාන්ත‍්‍රික ඉංජිනේරුවිද්‍යාව (Mechanical Engineering) හා මෙකැට්‍රොනික්ස් (Mechatronics) යන විෂය ක්ෂේත‍්‍ර ඇතුළත්ය.