SLIM – Kantar People’s Awards යනු ජනතා හදවත් ජයගත් සන්නාමයන්ගේ උත්කර්ෂවත් සැමරුම් උත්සවයයි, පාරිභෝගික ආදර ගෞරවයට සන්නාම පාත‍්‍ර වීම පිළිබඳ SLIM සභාපති සහ Kantar ප‍්‍රධානී අදහස් දක්වයි

    March, 18, 2022

    ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් ශ‍්‍රී ලාංකිකයන්ගේ ආදරය දිනූ සන්නාම ඇගයීම උදෙසා සන්නාම වෙනුවෙන්ම සංවිධානය කරනු ලබන එකම ශ‍්‍රී ලාංකීය සම්මාන උළෙල ලෙස SLIM - Kantar People's Awards කැපී පෙනෙයි. වර්ෂ 2007 සිට සන්නාම පිළිබඳ මහජනතාවගෙන් ලබා ගන්නා සැබෑ දත්ත මත පදනම් කොටගෙන විද්‍යාත්මක ක‍්‍රමවේදයක් යටතේ ජයග‍්‍රාහකයන් තෝරාගනු ලබන SLIM - Kantar People's Awards උළෙළ ශ‍්‍රී ලාංකීය පාරිභෝගික හා ව්‍යාපාර ආයතනික දෙපාර්ශ්වයේම සුවිශේෂී අවධානයක් දිනාගත් සම්මාන ප‍්‍රදානෝත්සවයකි.

    SLIM සභාපතිනිය තිලංකා අබේවර්ධන සහ Kantar අධ්‍යක්ෂිකා / ප‍්‍රධාන විධායක නිලධාරිනී හිමාලි මධුරසිංහ යන මහත්මීන් දෙපළ විසින් “Heart Share” යන තේමාවෙන් යුතුව පවත්වන්නට නියමිත SLIM - Kantar SLIM People's Awards 2022 පිළිබඳ දැක්වූ අදහස් පහතින් දැක්වේ.

    "2022 සම්මාන උළෙළ සඳහා  “‍Heart Share”‍ තේමාව තෝරාගැනීම සිදුකලේ ඇයි?"

    තිලංකා අබේවර්ධන: "කොතරම් සන්නාම තිබුණත් මිනිස්සුන්ට යම් සන්නාමයක් එක්වරම සිහිපත් වෙන්නේ ඇයි? සන්නාම දෙකක් එකිනෙක හා සැසª විට ඒ එක් එක් සන්නාමයන්ටම අනන්‍යවූ විශේෂත්වයන්ගෙන් එකිනෙකා අතර වෙන් වෙන්ව කැපීපෙනෙන්නේ කෙසේද? යම් සන්නාමයක් පිළිබඳ පාරිභෝගික ලැදියාව ඉහළ නැංවීමට කළ හැකිවන්නේ මොනවාද? යනාදී ප‍්‍රශ්න රැසකට ව්‍යාපාරික ආයතන විසින් මේ වනවිටත් පිළිතුරු සොයමින් සිටිනවා. SLIM - Kantar People's Awards සම්මාන උළෙල හරහා ව්‍යාපාර ආයතනයන්ගේ එම ගැටළු වලට විද්‍යාත්මක පිළිතුරු සොයා දෙනවා පමණක් නොව ආයතනයන්ගේ ඉදිරි දියුණුවටත් මහගු අත්වැලක් සපයනවා. සන්නාමය සැමවිටම පාරිභෝගිකයන්ගේ රුචි අරුචිකම් සිතුම් පැතුම් ආදිය සමග බැඳීපවතිනවා. පාරිභෝගිකයන්ගේ සැබෑ හඬ නියෝජනය කරන එකම ශ‍්‍රී ලාංකීය සම්මාන උළෙල නිසාම හදවතේ කැමැත්ත හුවමාරු කරගැනීම යන අදහස දෙන “‍Heart Share”‍ තේමාව අප මෙම සම්මාන උළෙළට තෝරාගත්තා."

    “Heart Share” තේමාව වර්තමානයට ගැලපෙනවා යැයි ඔබ සිතනවාද?

    හිමාලි මධුරසිංහ : "හදවතින් නැගෙන සිතුවිල්ලක් එක්ක නිර්මාණය වූ පාරිභෝගික ලැදියාව සන්නාමයක් හා පාරිභෝගිකයා අතර ඇති සබඳතාවය පෙන්වන සාධකයක්. සන්නාමයක් හරහා ගොඩනගන්නට උත්සාහ දරන සන්නාම ප‍්‍රතිරූපය පාරිභෝගිකයන්ගේ ජීවන රිද්මයට කෙතරම් සමීප වන්නේද නැද්ද යන්න පාරිභෝගිකයන්ගේ හඬ කියාපානවා. පාරිභෝගිකයන්ගේ හදවතින්ම එන ඒ සැබෑ අදහස් තර්කානුකූල පදනමක් මත ගොඩනැගූ  සිද්ධාන්තයකට හෝ වැඩපිළිවෙලකට වඩා වටිනවා. ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා දැන්වීම් ප‍්‍රචාරය කරමින්, ප‍්‍රවර්ධන වැඩසටහන් ක‍්‍රියාත්මක කරමින්, සමාජ සත්කාරක වැඩසටහන් ක‍්‍රියාත්මක කරමින්, බාහිර ක‍්‍රියාකාරකම් හා කටවචනයෙන් ගොඩනගාගන්නා සන්නාම ප‍්‍රතිරූපයකට වඩා පාරිභෝගිකයන්ගේ හදවතෙන් නැගෙන අදහස වටිනා නිසා “Heart Share”‍ තේමාව අදටත් හෙටටත් සෑම කාලයටමත් ගැලපෙනවා."

    තිලංකා අබේවර්ධන: "අතීතයේ ව්‍යාපාර ආයතන සම්පූර්ණයෙන්ම වෙළෙඳපොල තමාට හිමි කොටස සලකා කටයුතු කළා. වර්තමානය වනවිට ඔවුන් ගුණාත්මක නිෂ්පාදන ඉදිරිපත් කරමින් පාරිභෝගික හිතෛෂී සන්නාම ගොඩනගමින් පාරිභෝගිකයන්ගේ හදවත් දිනාගන්නට උත්සාහ කිරීම හොඳ ප‍්‍රවණතාවයක්. වසංගත කාලය තුළදී සන්නාමයන්ට පාරිභෝගිකයන් දක්වන ලැදියාව ව්‍යාපාර සමාගම් පැහැදිලිව අවබෝධ කරගනු ලැබුවේ පාරිභෝගික හදවත් දිනාගැනීමේ වටිනාකම තවදුරටත් තහවුරු කරගෙන මුළුමහත් ව්‍යාපාර ලෝකයටම අගනා පණිවිඩයක් ලබාදෙමින්."

    16 වැනි SLIM - Kantar People's Awards සම්මාන උළෙළ වෙනුවෙන් එක් කරනු ලබන සුවිශේෂී අංග මොනවාද?

    තිලංකා අබේවර්ධන: "පසුගිය 15 වසර පුරා අප අනුගමනය කළ සමීක්ෂණ ක‍්‍රමවේදයට නව ජවයක් එක් කරමින් ලෝකයේ ප‍්‍රමුඛතම සමීක්ෂණ ආයතනයක් වන Kantar සමග අප අත්වැල් බැඳගනිමින් මෙවර සම්මාන උත්සවය වෙනුවෙන් දත්ත එක් රැස් කිරීම හා විශ්ලේෂණය කොට ජයග‍්‍රාහකයන් තෝරාගැනීමේ ක‍්‍රියාවලිය තවත් ශක්තිමත් කොට තිබෙනවා. එකතුවෙන සියළු දත්ත පුළුල් ප‍්‍රමිතිගත තත්ත්ව පාලන ක‍්‍රියාවලියකට ලක් කරන බව අප තහවුරුකොටගනු ලබනවා. වසංගත අවදානම් තත්ත්වය නිසා මේ වසරේදී අපි දුරකතන සංවාද හරහා දත්ත එක් රැස් කිරීමේ ක‍්‍රමවේදයකට යන්නට සැලසුම් කොට තිබෙනවා. නිවැරදි දත්ත සුරක්ෂිතව ලබාගැනීමටත් අපි විශේෂ වැඩපිළිවෙළක් යොදවන්න අපේක්ෂා කරනවා.මේ වසරේ සිදුවෙන තවත් විශේෂතම වෙනසක් වන්නේ 2021/22 වර්ෂ සඳහා සුපිරි වෙළෙඳසැල් සම්මානය, රංගන ශිල්පියා, රංගන ශිල්පිනිය, ආහාර පිසීම හා කුළුබඩු සන්නාමය ලෙස නවතම සම්මාන කිහිපයක් ලබාදීමට කටයුතු යොදා තිබෙනවා."

    Kantar පිළිබඳ හා එහි ජාත්‍යන්තර සේවාවන් ගැන යමක් පැහැදිළි කළොත්?

    හිමාලි මධුරසිංහ : Kantar ලෝකයේ ප‍්‍රමුඛතම දත්ත විශ්ලේෂණ, කළමනාකරණ හා උපදේශන සේවා සමාගමක්. අති නවීන ක‍්‍රමවේදයන් භාවිතා කරමින් ලොව පුරා වෙළෙඳපොල 90ක සේවා කටයුතු සිදුකරන නිසා Kantar ලෝකයේ මිනිස් සිතුම් පැතුම් හඳුනාගෙන ක‍්‍රියාකිරීමේ විශේෂඥතාවයක් ලැබී තිබෙනවා. අලෙවි සමීක්ෂණ ක්ෂේත‍්‍රයේ 40 වසරකට වඩා වැඩි ක්ෂේත‍්‍ර අත්දැකීම් Kantar ශ‍්‍රී ලංකා සමාගමටත් තිබෙනවා."

    සමීක්ෂණ ක‍්‍රමවේදයේ ඔබ සඳහන් කළ වෙනස්කම් තවදුරටත් පැහැදිලිකොට ජයග‍්‍රාහකයන් තෝරාගන්නා ක‍්‍රමවේදය ගැනත් යමක් පැවසුවොත්?

    හිමාලි මධුරසිංහ : "Kantar ශ‍්‍රී ලංකා මගින් දිවයිනේ සියළු පළාත් ආවරණය වෙන පරිදි ක‍්‍රියාත්මක කරනු ලබන 6000කට අධික පරිගණක සහයක දුරකතන සාකච්ඡා (CATI) ඇසුරෙන් සෑම ආකාරයකම ශ‍්‍රී ලාංකිකයන් ආවරණය වන ආකාරයෙන් නාගරික හා ග‍්‍රාමීය, ආර්ථික මට්ටම් අනුව, ශ‍්‍රමබලකා විවිධත්වය අනුව හා වයස් කාණ්ඩ අනුව රැුස් කෙරෙන දත්ත සියුම් ලෙස විශ්ලේෂණය කොට අවසන් ප‍්‍රතිඵලය නිකුත් කරනු ලබනවා. සිංහල හා දෙමළ මාධ්‍යයෙන් විධිමත් ලෙස සකස් කරනු ලැබූ ප‍්‍රශ්නාවලි සියළු ආකාරයේ ශ‍්‍රී ලාංකීය පාරිභෝගික කණ්ඩායම් නියෝජනය වන ආකාරයෙන් අහඹු ලෙස තෝරාගත් පාරිභෝගිකයන් වෙත CATI  තාක්ෂණයෙන් යොමුකරනවා. වසංගත තත්ත්වය සලකා බලා මේ ආකාරයෙන් දත්ත එක් රැස් කළද සැබෑ මහජන මතය නියෝජනය වන උසස් තත්ත්වයේ දත්ත ලබාගැනීම උදෙසා Kantar කාර්ය මණ්ඩලය ඉතා සුපරික්ෂාකාරීව කටයුතු කරනවා. 2021 නොවැම්බර් මාසයේ සමීක්ෂණ ආරම්භ වී දෙසැම්බර් 15 සිට 29 දක්වා උත්සව සමයේ කෙටි විරාමයකින් අනතුරුව නැවත 2022 පෙබරවාරි දක්වා SLIM - Kantar People's Awards සම්මාන උළෙළ වෙනුවෙන් දත්ත එක් රැස් කිරීම සිදු වූ අතර දත්ත ලද සැණෙන් ඒවා Kantar සතුව පවතින Server වෙත සුරක්ෂිතව යොමු කරනු ලැබුවා."

    එදාමෙදාතුර SLIM - Kantar People's Awards සහ SLIM ශ‍්‍රී ලාංකීය ව්‍යාපාර ක්ෂේත‍්‍රයේ උන්නතිය උදෙසා සිදුකළ කටයුතු පිළිබඳ කෙටි සමාලෝචනයක් සිදු කළොත්?

    තිලංකා අබේවර්ධන: "2007 වසරේ සිට ශ‍්‍රී ලාංකික මහජනතා මතය අනුව ඔවුන්ගේ සැබෑ තේරීම් ලෙස ආදරයට පාත‍්‍ර වූ සන්නාම, ව්‍යාපාර ආයතන හා පුද්ගලයන් රැසක් ගෞරව සම්මනයට පාත‍්‍රවී තිබෙනවා. ඒ හරහා ව්‍යාපාර ක්ෂේත‍්‍රයේ දියුණුව උදෙසා මහජන මතය යොදා ගනිමින් ජනමතයට නිසි වටිනාකමක් ලබාදෙන්නට හැකිව තිබෙනවා. ජාතික අලෙවිකරණ පද්ධතිය විදිහට ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය ව්‍යාපාර ක්ෂේත‍්‍රයේ දියුණුවටත් දේශීය ආර්ථිකයේ දියුණුවටත් එක සේ අත්වැලක් ව තිබෙනවා. ඒ වගේම අලෙවි සමීක්ෂණ, සන්නාමකරණය, දැන්වීම්කරණය හා විකුණුම්කරණය යන ක්ෂේත‍්‍රයන් පිළිබඳ ශ‍්‍රී ලාංකික අලෙවිකරුවන් හා ව්‍යාපාරික ප‍්‍රජාවට විශේෂඥ දැනුම හා පුහුණුව ලබා දෙනවා."