SLIM SMEDA රිදී සම්මානයෙන් අමිල ගෝල්ඩ් හවුස් පිදුම් ලබයි

    September, 4, 2023

    දකුණු පළාතේ ස්වර්ණාභරණ නිෂ්පාදනයේ සහ අලෙවියේ ප්‍රමුඛයෙකු වන, ගාල්ල නගරය කේන්ද්‍ර කර ගනිමින් වසර 25ක් පුරා ක්‍රියාත්මක වන අමිල ගෝල්ඩ් හවුස් ශ්‍රි ලංකා අලෙවිකරණ ආයතනය සංවිධානය කළ(SLIM) සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සංවර්ධන සම්මාන උළෙලේදී (SMEDA) Arts & Crafts කාණ්ඩයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. කොළඹ ග්‍රෑන්ඩ් මොනාච් ඉම්පීරියල් හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවති සම්මාන උළෙලේදී අමිල ගෝල්ඩ් හවුස් අධිපති අමිල ඉඳුනිල් ද සිල්වා මහතා වෙත සම්මානය පිරිනමන ලදී. මීට පෙරද දකුණු පළාත් විශිෂ්ටම ව්‍යාවසායකයා සම්මානය ඇතුලු සම්මාන රැසකින් අමිල ඉඳුනිල් ද සිල්වා මහතා පිදුම් ලබා ඇත. 2019දී දකුණු පළාතේ ප්‍රථම වරට ස්වර්ණාභරණ ව්‍යාපාරයක් සඳහා ISO 9001 - 2015 තත්ත්ව සහතිකය හිමි කර ගත්තේද අමිල ගෝල්ඩ් හවුස් වීම සුවිශේෂත්වයකි.

    “ස්වර්ණාභරණ අලෙවියේදී විශ්වාසය සහ ගුණාත්මකභාවය යන සාධක ව්‍යාපාරයේ සාර්ථකත්වයට දැඩි ලෙස බලපානවා. එම නිසා අපගේ ආයතනය සෑම විටම පියවර කිහිපයක් ඉදිරියෙන් සිට අති නවීන යන්ත්‍ර භාවිත කර අනර්ඝ නිමාවෙන් හා නවීන මෝස්තරවලින් සමන්විත උසස් ප්‍රමිතියේ රන් භාණ්ඩ ජීවිත කාලය පුරා පවතින වගකීමක් සහිතව පාරිභෝගිකයන්ට සපයනවා. මෙම ජයග්‍රහණයට දායකත්වය දැක්වූ අපගේ ගෞරවනීය පාරිභෝගිකයන්ට සහ කාර්ය මණ්ඩලයට මාගේ කෘතවේදීත්වය පිරිනමනවා.” අමිල ඉඳුනිල් ද සිල්වා මහතා පැවසීය. කැරට් 22 ප්‍රමිතිය සහතික කරන ලද අලංකාර මෝස්තරවලින් සපිරි මංගලාභරණ නිෂ්පාදනයට අමතරව අමිල ගෝල්ඩ් හවුස් වෙතින් රත්රන් තත්ත්ව පරීක්ෂා කිරීම, රන් ආභරණවල රන් ආලේප කිරීම, රන් ආභරණවල අකුරු කැටයම් කිරීම, කණ්ණාඩි රාමු පෑස්සීම ආදී සේවා රැසක් සිදු කරවා ගත හැකිය. අමිල ගෝල්ඩ් හවුස් ප්‍රධාන ශාඛාව අංක 117, වක්වැල්ල පාර, ගාල්ල ලිපිනයේත් අනෙකුත් ශාඛා කොළඹ පාර, කළුවැල්ල සහ අනගාරික ධර්මපාල මාවත, මාතර යන ලිපිනවලත් පිහිටා ඇත.