SLT විසින් Tier 3 කාණ්ඩයේ අතිනවීන ‘ජාතික දත්ත මධ්‍යස්ථානයක්’ ශ‍්‍රී ලංකාවට හිමිකරදෙයි

    January, 22, 2018

    • ශ‍්‍රී ලංකාවේ ඉදිකරන ලද පළමු ‘තෙවන ස්ථරයේ’ Tier 3 දත්ත මධ්‍යස්ථානය
    • ශ‍්‍රී ලංකාවේ පළමු හරිත රන් සහතිකය හිමි දත්ත මධ්‍යස්ථානය
    • දකුණු ආසියාවේ පළමු NFV ක‍්‍රියාකාරී දත්ත මධ්‍යස්ථානය

    ශ‍්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර මට්ටමේ ව්‍යාපාර සන්නිවේදන විසඳුම් සපයන්නා මෙන්ම ජාතික සන්නිවේදන යටිතල පහසුකමී ජාල ක‍්‍රියාකරු (National Backbone Network Operator) වන ශ‍්‍රී ලංකා ටෙලිකොම් (පී.එල්.සී) සමාගම, විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතලපහසුකම් අමාත්‍යංශය සමග එක්ව මෙරට අතීනවීන ස්ථර-3 (Tier 3) දත්ත මධ්‍යස්ථානය පසුගියදා හෝමාගම පිටිපනදී විවෘත කරන ලදි. ජාතික දත්ත මධ්‍යස්ථානය ලෙසින් නම් කරඇති මෙය දිවයිනේ ප‍්‍රථම “අරමුණ සදහා ඉදි කර ඇති”( Purpose built, Tier 3 Data Centre) බවට පත්වන අතර එමගින් වඩාත් විශ්වාසනීය සහ සුරක්‍ෂිත දත්ත ගබඩාකිරීමේ පහසුකම මෙන්ම ක්‍කදමා සේවාවන්ද වැඩිදියුණු වනු ඇත.

    ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම මෙන්ම අමාත්‍යංශයද මෙරට ව්‍යපාර, ජාත්යන්තර මට්ටමේ සාර්ථක කිරීම පිණිස පූර්ණ තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ විසඳුම් ලබා දීම ඉලක්ක කරගෙන සිටියි. වේගය, සබඳතාව සහ දත්ත (hosted data) වල සුරක්‍ෂිතතාව, මෙරට ව්‍යාපාරවල තොරතුරු තාක්‍ෂණ විසඳුම් සම්බන්ධ ඉල්ලීම් අතර ප‍්‍රධාන වේ. ඒ උදෙසා අති නවීන තෙවැනි ස්ථරයේ (Tier 3) දත්ත මධ්‍යස්ථාන ද ඇතුළුව ඉතා පුළුල් සේවා සපයන ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම ඉහත අවශ්‍යතා සැපයීමට පමණක් නොව එයින් ඔබ්බටද විශිෂ්ට සේවා සැපයුමක් සඳහා සැදී පැහැදී සිටියි.

    මෙම නවතම ජාතිත දත්ත මධ්‍යස්ථානය එම ක්ෂේත‍්‍රයේ ශ‍්‍රී ලංකාවේ නවමු සන්ධිස්ථානයක් සටහන් කරමින් 2018 ජනවාරි 16 වැනි දින හෝමාගම-පිටිපනදී නිල වශයෙන් විවෘත විය. එකී උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයන් වශයෙන් ඉන්දීය ජනරජයේ නීතිය හා අධිකරණ, විද්‍යුත් හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය ගරු රවි ශංකර් ප‍්‍රසාද් මහතා සමග මෙරට විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් කැබිනට් අමාත්‍ය ගරු හරීන් ප‍්‍රනාන්දු මහතා සහභාගී වූ අතර ටෙලිකොම් සමාගම් සමූහයේ සභාපති සහ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයින්, ජ්‍යේෂ්ඨ නිලධාරීන්, සම්භාවනීය අමුත්තන් රාශියක් උත්සව සභාවට එක්ව සිටියහ.

    ලොව දත්ත මධ්‍යස්ථාන සහතිකකරණයේ ප‍්‍රමුඛයෙකු වන Uptime Institute LLC විසින් පිරිනමනු ලබන Uptime Tier III සැලසුම්කරණ සහතිකය ලබාගැනීමට සුදුසුකම්ලත්, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම බලශක්ති කාර්යක්‍ෂම දත්ත මධ්‍යස්ථානය වන්නේද මෙයයි. ශ‍්‍රී ලංකාවේ හරිත ගොඩනැගිලි කවුන්සිලය (Green Building Council) මගින් පිරිනමා ඇති රන් ශ්‍රේණියේ හරිත ගොඩනැගිලි සහතිකයට අනුව, උපාය මාර්ගිකව කටයුතු කිරීම හරහා සමාගමෙහි කාබන් මුදහැරීමේ ප‍්‍රතිශතය තවදුරටත් අවමකරගැනීමට හැකිවනු ඇත.

    මෙම අතීනවීන තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණයේ දියුණුව පිළිබඳ අදහස් දක්වමින් විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ කැබිනට් අමාත්‍ය ගරු හරීන් ප‍්‍රනාන්දු මහතා ‘ශ‍්‍රී ලංකාවේ ඩිජිටල් පරිනාමය සහ ඒ සමග බැඳුණු විවිධ ක‍්‍රියාකාරකම් මේ වන විට නිසි මාර්ගයට අවතීර්ණ වී තිබෙනවා. සිදුවෙමින් පවතින අධික දත්ත හුවමාරුවට රටක් වශයෙන් අප සූදානම් බව මගේ මතයයි. ශ‍්‍රී ලංකා රජය ජාතික ‘ක්ලවුඞ්’ සහ දත්ත මධ්‍යස්ථාන යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම හරහා ඩිජිටල්කරණය වඩාත් වේගවත් කිරීමටත් බලාපොරොත්තු වෙනවා. රජයේ ආයතන ඒකාබද්ධ කරමින් දැනට ස්ථාපිත ‘ලංකා රාජ්‍ය ජාලය’ හෙවත් 'LGN' එයට මනා උදාහරණයක් ’ යැයි පැවසීය. තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ‘අද වන විට සියලූ රාජ්‍ය සහ පෞද්ගලික ව්‍යවසායකයන් කළමනාකරණය කරන ලද සේවා සහ ක්ලවුඞ් සේවා වඩාත් වැළඳගැනීමට හේතුව එහි ඇති ඉහළ කාර්යක්‍ෂමතාවය මෙන්ම OPEX සහ CAPEX තුළ තැන්පත් කිරීමේ සේවාවයි. තමන්ට අවශ්‍ය විසඳුම් ක‍්‍රියාත්මක කිරීමේදී වියදම්වලින් තොරව, ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ විශේෂඥ දැනුම සමග මෙම යටිතල පහසුකම් ලබාගැනීමේ විශේෂ ප‍්‍රතිලාභය ඔවුන් සියලූදෙනාටම හිමවනවා’ යැයිද පැවසීය.

    මෙම සමාරම්භය පිළිබඳ අදහස් දක්වමින් ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති පී. ජී. කුමාරසිංහ මහතා පැවසුවේ ජාතික දත්ත ජාල සම්බන්ධීකරණ ක‍්‍රියාකරු වශයෙනුත් ටෙලිකොම් ආයතනය හැකි සෑම අයුරකින්ම රටේ තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා කැපවී සිටින බවත්, සමාගමේ කාර්යයන් හුදෙක්ම ‘රජයේ සංවර්ධනය’ සහ ඩිජිටල් මාර්ග සිතියම මෙන්ම පාරිභෝගික අවශ්‍යතා අනුව සමානුරූපීව පෙළගැස්වී ඇති බවත්ය.

    රුපියල් බිලියන 2.4කට අධික ආයෝජන වටිනාකමක් සහිත මෙම නවීන දත්ත මධ්‍යස්ථානය සඳහා ටෙලිකොම් ආයතනය 2016 පෙබරවාරි 01 දින මුල්ගල තබන ලදි. නව යෝජිත තාක්‍ෂණ නගරය තුළ ස්ථාපිත මෙම දත්ත මධ්‍යස්ථානය රාක්ක 500 ක (500 racks) ධාරිතාවකින් යුතුුවන අතර තම OPEX සහ CAPEX කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව මත එකී තාක්ෂණික සේවාවන් ලබාගැනීමේ හැකියාව පාරිභෝගියන් සතුව පවතී. පාරිභෝගිකයන්ගේ අපේක්‍ෂිත සේවා සදහා ගාස්තු, ඔවුන් තමන් විසින්ම දත්ත මධ්‍යස්ථානයක් පවත්වාගැනීමට වැය කළ යුතු මුදල සමග සසඳන විට ඉතා අඩු මිලක් වන අතර මෙම පියවර හරහා ව්‍යවසායක පාරිභෝගිකයන්ට මෙන්ම, රාජ්‍ය ආයතනවලට තමන් විසින්ම දත්ත මධ්‍යස්ථානයක් නඩත්තු කිරීමට වැයවන අමතර වියදම් රාශියක් අවම කරගැනීමේ මහගු අවස්ථාවද උදාවේ.

    ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, අවශ්‍ය විශේෂඥ දැනුම ලබාදීමට මෙන්ම අවකාශය, ආරක්‍ෂාව සහ ආපදා කළමනාකරණ කටයුතු සම්බන්ධ සියළු වියදම් දැරීමටද අදහස් කරන අතර දත්ත මධ්‍යස්ථාන වෙත පවරා ඇති සියළු දත්ත අදාළ නීති රෙගුලාසිවලට අනුකූලව ගබඩා කර තබාගනිමින් උපරිම සුරක්‍ෂිතභාවයක් පිරිනැමීමටද සහතික වේ.

    මේ පිළිබඳ අදහස් දැක්වූ ශ‍්‍රී ලංකා ටෙලිකොම් ප‍්‍රධාන වෙළෙඳ නිලධාරී/සමූහ ප‍්‍රධාන නිලධාරී ව්‍යාපාර සන්නිවේදන විස`දුම් කිත්ති පෙරේරා මහතා පැවසූයේ ටෙලිකොම් ආයතනය මේ වන විට දීපව්‍යාප්ත ‘ෆයිබර් ඔප්ටික් ’ ජාලයක් ස්ථාපිත කිරීමට මෙන්ම, 'LGN' ව්‍යාපෘතිය හරහා රාජ්‍ය ආයතන සියල්ලම ඒකාබද්ධ ජාලයක් යටතට ගැනීමටද සමත්වූ බවය. උසස් තත්ත්වයේ දත්ත සන්නිවේදනල දත්ත ගබඩා සහ ක්ලවුඞ් සේවා සැපයීමටද හැකි බව සිය විශ්වාසය යැයි ඔහු සඳහන් කර සිටියේය. නවීන NFV හැකියාව සහ මෘදුකාංග නිශ්චිත (SDN) ජාල පහසුකම් සහිත දකුණු ආසියාවේ ප‍්‍රථම දත්ත මධ්‍යස්ථානය වන මෙය නවතාවයෙන් යුත් ප‍්‍රවේශයක් ලෙස හඳුන්වාදියහැකි බව ද ඔහු වැඩිදුරටත් පැවසීය. ඉදිරියේදී ගෝලීය වෙළෙඳපොළ තුළ SDN සහ NFV පෙර නොවූ විරූ ලෙස වර්ධනය වීමට නියමිත අතර ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය (ITU) පෙන්වාදෙන පරිදි -SDN. NVF සහ රැහැන් රහිත නව ජාල තාක්‍ෂණය සහ විසඳුම් වැනි අති නවීන තාක්‍ෂණ ක‍්‍රමවේදයන් හඳුන්වාදීම හරහා අප දැනට තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය භාවිතා කරන ආකාර වෙනස්විය හැකි බවද ඒ මහතා ප‍්‍රකාශ කළේය. ඒ අනුව SDN මගින් තාක්‍ෂණික විශේෂඥ සහය නොමැතිව ජාලයන් ක්‍ෂණිකව නැවත සකස් කිරීමට හැකිවන අතරම NVF මගින් රවුටර්, ෆයර්වෝල් සහ ස්වීචයන් වැනි විශේෂිත ජාල උපාංග වෙනුවට මෘදුකාංග විශ්ලේෂණය ආදී උපක‍්‍රම හඳුන්වාදිය හැකි බවද ඔහු සඳහන් කරන ලදි. වැඩිදුරටත් අදහස් දැක්වූ පෙරේරා මහතා ‘ගෙවුණු වසර කිහිපයේදී ටෙලිකොම් සමූහයේ ප‍්‍රධාන ආයෝජන හරහා දත්ත මධ්‍යස්ථාන යටිතල පහසුකම් සංවර්ධනය මගින් රටේ සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයන් බලගැන්වීමට හැකිවුනා. මෙම තෙවැනි ස්ථරයේ දත්ත මධ්‍යස්ථානය බහු දත්ත මධ්‍යස්ථාන තත්ත්වයට වැඩිදියුණු කරගැනීමෙන් ටෙලිකොම් සමාගම් තවදුරටත් තම ව්‍යවසායක දත්ත මධ්‍යස්ථාන සේවාවන් ශක්තිමත් කරගෙන තිබෙනවා’ යැයිද පැවසුවේය.

    කොළඹ ශ‍්‍රී ලංකා ටෙලිකොම් මූලස්ථානයේ සිට කිලෝමීටර් 24ක දුරින් පිටිපන ප‍්‍රදේශයේ පිහිටා ඇති මෙම දත්ත මධ්‍යස්ථානය අක්කර 2ක භූමිභාගයක ඉදිකර ඇති තෙමහල් ගොඩනැගිල්ලකින් සමන්විතය. දත්ත මධ්‍යස්ථානයට ආසන්නවම අධිවේගී හුවමාරුව කිලෝමීටර 8.4 ක දුරකින් පිහිටා ඇති බැවින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට පැමිණෙන ආයෝජකයන්ට මෙන්ම, ව්‍යාපාරික සංචාරකයන්ට විනාඩි 45 ක් වැනි ඉතා කෙටි කලකදී එයට ළඟාවීමේ හැකියාව පවතී. ඒ අනුව අභ්‍යන්තර දත්ත කළමනාකරණයෙන් ඉවත්ව ටෙලිකොම් සමාගම සමග එක්ව තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ ක‍්‍රියාකාරකම් භාහිරකරණය කිරීම හරහා වඩාත් ඵලදායී ප‍්‍රතිලාභ ලැබීමට ව්‍යාපාරික ආයතන වලට හැකිවනු ඇත. එම දත්ත මධ්‍යස්ථානය මගින් ව්‍යාවසායක පාරිභෝගිකයන්ගේ ආපදා ප‍්‍රතිසාදනය (දත්ත නැවත ස්ථාපිත කිරීම) සඳහා අවශ්‍ය මනා යටිතල පහසුකම්ද සපයනු ඇත.