SLT හියුමන් කැපිටල් සොලූයුෂන්ස් ආයතනයේ පොත් හා ශිෂ්‍යත්ව ප‍්‍රදානය අටවන වරටත්

    January, 24, 2018

    SLT හියුමන් කැපිටල් සොලූයුෂන්ස් ආයතනය හා එහි සේවක සුබ සාධක සංගමය මගින් 8 වන වරටත් එහි සේවක මහත්ම මහත්මීන්ගෙ පාසල් දූදරුවන්ට නොමිලේ පාසල් පොත් බෙදා දීම හා ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීම පසුගිය දා ජාඇල ගුරුගේ නේචර් උද්‍යානයේදී උත්සවශ‍්‍රීයෙන් සිදු කෙරිණි.

    මෙහිදී පළමුවැනි ශේණියේ සිට දහතුන්වැනි ශේණිය දක්වා පන්තිවල ඉගෙනුම ලබන දූදරුවන් 974 දෙනෙකුට 2018 පාසල් වසර සඳහා අවශ්‍ය වන අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ හා 2017 පාසල් වසරේ පස්වන වසර ශිෂ්‍යත්ව, 2016 වසරේ අ.පො.ස සාමාන්‍ය පෙළ හා අ.පො.ස උසස් පෙළ සමත් විශ්ව විද්‍යාල වරම් ලැබූ දූ දරුවන් 23 දෙනෙකුට ද ශිෂ්‍යත්ව ප‍්‍රදානය කරනු ලැබීය.

    මෙම අවස්ථාවට ශ‍්‍රි ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති කුමාරසිංහ සිරිසේන මහතා මෙහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වු අතර SLT හියුමන් කැපිටල් සොලූයුෂන්ස් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී රොෂාන් කළුආරච්චි මහතා ඇතුළු අනෙකුත් නිලධාරීන්ද සහභාගී විය.

    එහිදී රැස්ව සිටි පිරිස අමතමින් රොෂාන් කළුආරච්චි මහතා මෙසේ පැවසීය. ” SLT හියුමන් කැපිටල් සොලූයුෂන්ස් ආයතනය විසින් වාර්ෂිකව පවත්වන මෙම වැඩසටහන අපගේ සේවක මහත්ම මහත්මීන්ගේ සේවයත් ඔවුන්ගේ පවුල්වල දායකත්වයත් ඇගැයීමට ලැබෙන වැදගත් අවස්ථාවක්. මෙසේ පාසල් පොත් ප‍්‍රදානය කිරීම තුළින් අපි අපේක්ෂා කරන්නේ එම පවුල්වල දරුදැරියන් අගයකිරීම සහ ඔවුන්ගේ අනාගත අභිවෘද්ධියයි”.

    මෙම අවස්ථාවට එක්ව සිටි ළමුන්ගේ රසවින්දනය සඳහා විවිධ විනෝද ක‍්‍රියාකාරකම් රැසක් ද සංවිධානය කර තිබුණි.