SLT-MOBITEL මෙවර කාන්තා දිනයට සමගාමීව ’SmartHERNation’ දියත් කරයි

    May, 2, 2023

    ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් විශේෂ සංවාදමය වැඩසටහනක් සංවිධානය කළේ ය. තම වෘත්තීය ජීවිතයේ විවිධාකාර වූ ජයග්‍රහණ අත්පත් කරගන්නා අතරම රටේ ආර්ථිකයේ හා ජනතාවගේ සුභසිද්ධියට කැපීපෙනෙන දායකත්වයක් ලබාදුන් කාන්තාවෝ පිරිසක් මෙහිදී ඇගයීමට ලක්වූහ.

    කාටත් සමාන හා සුරක්ෂිත රැකියා පරිසරයක් නිර්මාණය කිරීම සඳහා මෙම වසර තුළ SLT-MOBITEL විසින් සංවිධානය කරන ලද වැඩසටහන් මාලාවක එක් අදියරක් ලෙස මෙම වැඩසටහන පැවැත්විණි. ’SmartHERNation’ ලෙස නම්කර ඇති මෙම වැඩසටහනේ මූලික අරමුණු වන්නේ, ශ්‍රී ලංකාවේ පුරෂයින් හා කාන්තාවන් අතර පවතින ඩිජිටල් පරතරය අවම කිරීම, කාන්තාවන් සවිබල ගැන්වීම සහ ඒ ඔස්සේ වඩාත් පුළුල් ලෙස ඩිජිටල් තාක්ෂණය භාවිතා කරන සුහුරු දේශයක් ගොඩනැංවීමේ මෙහෙවරට ලැබෙන කාන්තා දායකත්වය වැඩි කිරීම ය.

    One Galle Face හි Ocean Avenue Atrium හිදී පැවති මෙම උත්සවයට DOK Solutions Lanka (Pvt) Ltd. හි ප්‍රධාන විධායක නිලධාරිනිය මෙන්ම මෙහෙයුම් විශේෂඥවරියක සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක වන ප්‍රබෝධනී කුමාරි වනිගසුන්දර, Airbus ගුවන් යානා සම්බන්ධයෙන් දශකයකට අධික පළපුරුද්දක් සහිත බලපත්‍රලාභී තරුණ ගුවන් යානා ඉංජිනේරුවරියක මෙන්ම මෙරට ප්‍රථම බලපත්‍රලාභී ගුවන් යානා නඩත්තු ඉංජිනේරුවරිය වන ටී. එල්. ඒ. ලසන්ති චතුරිකා, මූල්‍ය හා ගිණුම්කරණ ක්ෂේත්‍රයේ විශාල පළපුරුද්දක් ඇති, සිය සමාජ මාධ්‍ය භාවිතය හා Gaming කුසලතා හේතුවෙන් විශාල ප්‍රසිද්ධියක් හිමිකරගෙන සිටින සහ ශ්‍රී ලංකාවේ Apex Legend ප්‍රජාව තුළ වැඩිම Followers පිරිසක් හිමි ලූනා පීච්, දියවැඩියාව, වකුගඩු අකර්මණ්‍ය වීම, පිළිකා, ස්නායු රෝග, ඔටිසම් ආදිය සඳහා ප්‍රතිකාර කරන සහ රසායන ද්‍රව්‍ය මූලික කරගත් ඖෂධ අවම කරමින් රෝගීන් සුවපත් කරන Nature’s Healing Ceylon (NHC) හි සභාපති සහ වෛද්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය නැටලී කුක් යන මහත්මීහු සහභාගී වූහ.

    මෙම පුරෝගාමී කාන්තාවන් තම වෘත්තීය ජීවිතය තුළ මුහුණ දුන් අභියෝග සහ ඔවුන් එම අභියෝග ජයගත් ආකාරය මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි. එමෙන්ම ස්ත්‍රී පුරුෂ භාවය සම්බන්ධයෙන් තමන්ට මුහුණදීමට සිදු වූ ගැටලු, වෙනස්කොට සැලකීම් සහ ඒකාකෘතිකරණයන් ආදිය සහ එම ගතානුගතික ආකල්ප පිටුදැකීමට සමත් වූ ආකාරය සම්බන්ධයෙන්ද ඔවුහු අදහස් දැක්වූහ. විශේෂයෙන්ම ස්ත්‍රී පුරුෂ සමානත්වය ඇතිකිරීම සඳහා ඩිජිටල් සාක්ෂරතාව සහ තාක්ෂණික නවෝත්පාදන මගින් ඉටුවන මෙහෙවර මෙහිදී අවධාරණය කරන ලද අතර, උත්සවය අවසානයේදී ප්‍රශ්නෝත්තර සැසියක්ද පැවැත්විණි.

    SLT සමූහ ව්‍යාපාරයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ SLT-MOBITEL නිලධාරීහු පිරිසක් සහ තවත් සම්භාවනීය ආරාධිතයෝ පිරිසක් මෙම අවස්ථාට එක් වූහ. සංවාදය අවසානයේදී ඊට සහභාගී වූ විද්වත් මණ්ඩලයට සමරු තිළිණ ප්‍රදානය කිරීමක්ද සිදුකෙරිණි.

    මෙම උත්සවය, ඩිජිටල් වශයෙන් සවිබලගැන්වුණු ‘SmartHERNation’ දේශයක් බිහිකිරීම සඳහා SLT-MOBITEL දරන උත්සාහයේ තවත් වැදගත් ඉදිරි පියවරක් ලෙස හැඳින්විය හැකි වේ.