SLT-MOBITEL eChannelling ‘විශිෂ්ටතම කළමනාකරණ පරිචයන් සහිත සමාගම’ ලෙස සම්මාන දිනයි

    April, 17, 2023

    ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි eChannelling සේවාව, පසුගියදා ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකාර ආයතනය (Chartered Professional Managers of Sri Lanka - CPM) මගින් සංවිධානය කරන ලද ‘Best Management Practices Company Awards 2023’ සම්මාන උළෙලේදී ‘මෘදුකාංග සංවර්ධනය/සෞඛ්‍ය සේවා සම්පාදනය’ කාණ්ඩය යටතේ ‘විශිෂ්ටතම කළමනාකරණ පරිචයන් සහිත සමාගම’ ලෙස සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය.

    ශ්‍රී ලංකාවේ සමාගම් සහ ආයතනවල වර්ධනය සහ සාර්ථකත්වය ඇගයීමට ලක්කිරීම මෙම සම්මාන උළෙලේ මූලික අරමුණ වූ අතර, එහිදී 2022 වර්ෂය තුළ එම සමාගම් හා ආයතනවල භාවිතා වූ විශිෂ්ට කළමනාකරණ ක්‍රමවේදයන් මෙන්ම නායකත්වය, ප්‍රතිපත්ති, ක්‍රමෝපායන්, මානව සම්පත් කළමනාකරණය, හවුල්කාරීත්වයන්, සම්පත්, ක්‍රියාවලි සහ කාර්යසාධනයන්ද ඇගයීමට ලක්කරන ලදි.

    මෙම සම්මානය පිරිනැමීමේදී, eChannelling සේවාවේ එදිනෙදා ක්‍රියාකාරකම් සඳහා භාවිතා වන කළමනාකරණ ක්‍රමවේදයන්හි විශිෂ්ටත්වය විශේෂයෙන් සැලකිල්ලට ගැනිණි. මෙහිදී eChannelling විසින් පරිපූර්ණ පාරිභෝගික සම්බන්ධතා කළමනාකරණ දත්ත පද්ධතියක් [Customer Relationship Management Data (CRM) System] භාවිතයට ගෙන තිබීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු විය. මෙය ‘Big Data’ විශ්ලේෂණය කරමින් සමස්ත විකිණුම් ක්‍රියාවලිය ස්වයංක්‍රීය කරන සුවිශේෂී තොරතුරු පද්ධතියකි.

    මෙම CRM පද්ධතිය, eChannelling සේවාවේ කටයුතු වඩාත් කාර්යක්ෂම කරන අතරම එය තවදුරටත් වැඩිදියුණු කිරීමට සමත් වී ඇත. එය eChannelling සේවාවේ ආදායම වැඩිකර ගැනීමටත්, කාර්ය මණ්ඩලය වෙත පැවරෙන රාජකාරි ප්‍රමාණයන් අවම කරමින් ඔවුන්ගේ කාර්යසාධනය ඉහළ නැංවීමටත්, පාරිභෝගික සම්බන්ධතා වඩාත් ශක්තිමත් කරගැනීමටත් මහෝපකාරී වී තිබේ.

    ක්ෂේත්‍ර කිහිපයක ප්‍රවීණයන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින් දැඩි තෝරාගැනීම් ක්‍රියාපටිපාටියක් අනුගමනය කරමින් සම්මාන සඳහා සුදුස්සන් තෝරාගන්නා ලදි. මේ සඳහා අදාළ සමාගම් හා ආයතන ලිඛිතව අයදුම් කළ යුතු වූ අතර, වාචික ඉදිරිපත් කිරීමක්ද සිදුකළ යුතු විය.

    සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට වඩාත් උසස් මට්ටමේ සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහා eChannelling සුවිශාල මෙහෙවරක් ඉටුකරමින් සිටී. එම මෙහෙවර සාර්ථක කරගනිමින් කැපීපෙනෙන දියුණුවක් හා ජනප්‍රියත්වයක් අත්කර ගැනීමට eChannelling සමත් වී ඇති බවට මෙම සම්මානය සාක්ෂි දරයි.

     

    ඡායාරූපය (වමේ සිට) - කළමනාකාරිනී (සේවාදායක සම්බන්ධතා/ව්‍යාපෘති) අපේක්ෂා ජයවර්ධන, ජ්‍යෙෂ්ඨ කළමනාකරු (ව්‍යාපාර සංවර්ධන) මොහාන් අජිත්කුමාර්, ජ්‍යෙෂ්ඨ කළමනාකරු (මූල්‍ය) ධම්මික අලහකෝන්, ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී (තොරතුරු පද්ධති) සමන්කුමාරි අමරසිංහ, සහ විධායක (ඩිජිටල් අලෙවිකරණ) දහම් ද සිල්වා යන මහත්ම මහත්මීන්