“SLT SpeedUp” පාපැදි සවාරිය – 2018

    September, 6, 2018

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඩේන් නුගේරා පළමු අදියර ජය ගනියි

    මෙරට පාපැදි ඉතිහාසයේ පළමු වරට ක්‍රීඩකයන්ගෙන් පැ. කි.මී. 46ක වාර්තාගත වේගයක්

    ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් සංවිධානය කරන ලද “SLT SpeedUp” පාපැදි සවාරියේ පළමු අදියර ජය ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුවේ ඩේන් නුගේරා සමත් විය. කොළඹ ගාලුමුවදොර ඉදිරිපිටින් ඊයේ (04දා) ආරම්භ වූ මෙම අදියර කි.මී. 159.5කින් යුක්ත විය.

    මෙහි දෙවැනි ස්ථානය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සොනාල් ද සිල්වා විසින් දිනා ගනු ලැබූ අතර, ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කළ තුෂාන් රාජපක්‍ෂ තෙවැනි ස්ථානයට පත් විය.

    ඊයේ (04දා) පෙ.ව. 8.30ට ආරම්භ වූ මෙම තරගය ගාලුමුවදොර සිට දෙහිවල දක්වා සාම සවාරියක් (නිදහස් ධාවන තරගයක්) ලෙස ක්‍රියාත්මක කෙරිණි. දෙහිවල ගුවන් පාලම අසලින් පෙ.ව. 9.00ට නිල වශයෙන් තරගය ආරම්භ විය. ආරම්භයේ සිටම තරගය වේගවත් වූ අතර, කි.මී. 2.1ක් පසුකර ගල්කිස්ස නගරයට පැමිණෙන විට පැ.කි.මී. 41ක සාමාන්‍ය වේගයක් තිබිණි. ‍මෙය පානදුර දක්වා කි.මී. 17.4ක දුරක් ගෙවා පැමිණෙන විට තරගයේ වේගය පැ.කි.මී. 43 දක්වා වේගවත් විය. කළුතර පසුකරමින් ගාල්ලට පැමිණෙන විට එය පැ.කි.මී. 44 දක්වා තවදුරටත් වේගවත් විය.

    සවාරිය ගාල්ල වටරවුමට පැමිණෙන විට කි.මී. 106.5ක සමස්ත දුරක් අවසන්ව තිබිණි. එතැන් පටත් අවසානය දක්වා තරගය වඩාත් වේගත් මුහුණුවරක් ගත්තේය. කි.මී. 159.5ක දුරක් ගෙවා දමා පළමු අදියරේ අවසානය වූ මාතර නගරයට පැමිණෙන තරගයේ වේගය පැ.කි.මී. 46ක් දක්වා වර්ධනය විය. මෙම වේගය සැලකෙනුයේ මෙරට පැපැදි ඉතිහාසයේ අදියරක් අවසන් කිරීම සඳහා වාර්තා වූ වේගවත්ම කාලය ලෙසය. මීට ඉහත පැවැති තරගාවලිහි වාර්තා වී ඇති උපරිම වේග සීමා පැ. කි.මී. 44 මට්ටමේ පැවැති අතර, පැ. කි.මී. 46ක අගයකට මෙරට පැවැති කිසිඳු කිසිදු තරගාවලියක පැමිණ නොමැත.

    මෙම අදියර (පළමු අදියර) සඳහා තරගකරුවන් 122 දෙනෙකු සහභාගි වූ අතර, ඔවුහු ගුවන් හමුදාව, නාවික හමුදාව, දෙහිවල ගල්කිස්ස මහනගර සභාව, වරාය අධිකාරිය, පොලීසිය, යුද හමුදාව, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, යන් වීල්, වින්ගෙඩ් වීල්, ද ෆ්‍රෙන්ඩ්ස්, සුපර් වීලර්ස්, සුපර් බේරු යනාදී ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් සහභාගි වූහ.

    ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ පැවැත්වෙන මෙම සවාරියේ සියලු නීතිරීති ජාත්‍යන්තර පාපැදි තරග නීති යටතේ පැවැත්වේ.

    මෙම සවාරිය ආරම්භ කරමින් අඟහරු (04දා) උදෑසන පැවැති සමාරම්භක උත්සවයට විදුලි සන්දේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු, පළාත් පාලන හා පළාත් සභා හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නිලධාරීහු සහභාගි වූහ.

    මාතරින් අවසන් වූ පළමු අදියරේ ත්‍යාග ප්‍රදානය සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සාමාන්‍යාධිකාරී (දකුණු පළාත) සමන් අබේසේකර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී දිනේෂ් ගාල්ලගේ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (විකුණුම්) හසරංග විධානපතිරණ, මාතර ප්‍රාදේශීය කළමනාකාරිනී චන්ද්‍රිකා සමරසිරි, මාතර නඩත්තු හා මධ්‍යස්ථාන කළමනාකාරිනී තිලංකා මැණිකේ, ගයාන් එදිරිසිංහ යන අය සහභාගි වූහ.

    මෙරට තුළ වාර්ෂිකව පැවැත්වෙන පාපැදි තරගාවලි අතරින් ප්‍රමුඛස්ථානයක් මෙම තරගාවලියට හිමි වන අතර, අදියර පහකින් (දින පහක්) සමන්විත මෙහි දෙවැනි අදියර අද (05දා) පෙ.ව. 8.30ට මාතර සිට බලන්ගොඩ දක්වා (කි.මී. 161.4) පැවැත්වේ.