Strong Gorgeous Women – තොරතුරු තාක්ෂණ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

    October, 10, 2019

    සමාජ මාධ්‍යවල නවතම Strong Gorgeous Women රැල්ල හේතුවෙන් පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය අවදානමකට ලක්ව ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි. එහි සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව්  නිවේදනයක් නිකුත් කරමින් ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේ කියා සිටී.

    මේ දිනවල සමාජ මාධ්‍ය අඩවිවල සිටින කාන්තා පරිශීලකයන් අතර #strongGorgeouswomen නම් අභියෝගයක් ලැව් ගින්නක් සේ පැතිර යන අතර සමාජ මාධ්‍යවල සිටින සෑම කාන්තාවක්ම පාහේ එය රැල්ලට සිදුකරන ආකාරයක් දක්නට ලැබේ. යම් සමාජ මාධ්‍ය පරිශිලක කාන්තාවක් ඇයගේ ඡායාරූපයක් ඉහත සදහන් #ටැගය යටතේ සමාජ මාධ්‍ය වෙබ් අඩවියක පළකලවිට එම ඡායාරූපය එම #ටැගය හරහා ඇයගේ සමාජ මාධ්‍ය ගිණුමෙන් පිටත සිටින වෙනත් පුද්ගලයෙකුට පවා නැරඹීමේ හැකියාවක් පවතී.

    විශේෂයෙන්ම මෙවැනි සමාජ මාධ්‍ය නව ප්‍රවනතා හදුනාගනිමින් දත්ත එක්රැස් කිරීම් සිදුකරන කන්ඩායම් වලට ඉතා පහසුවෙන් ඔබ විසින් ඉහත සඳහන් ටැගය භාවිතා කරමින් සමාජ මාධ්‍ය අඩවි වෙත මුදාහරින ලද චායාරූපය සහ ඔබගේ ගිණුම් නාමය ලබාගත හැකි අතර එම දත්ත පසුකාලීනව දත්ත රැස් කරගන්නා පාර්ශව විසින් වෙනත් වෙබ් අඩවිවල පලකිරීමේ හැකියාවක් පවතී.

    එසේ ඔබගේ ඡායාරූපයක් වෙනත් වෙබ් අඩවියක පල වුවහොත් එවා ඉවත් කරගැනීම ඉතා අසීරු ක්‍රියාවක් වන බැවින් සමාජ මාධ්‍ය වෙබ් අඩවි වලට විටින් විට පැමිණෙන මෙවැනි ප්‍රවනතා අනුකරණයට යාමේදී බුද්ධිමත්ව කටයුතු කරන්න යැයි අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ශ්‍රී ලාංකික සමාජ මාධ්‍ය පරිශීලකයන්ට දැනුම් දෙමු.