Swap වලින් පාඩු වුණොත්? හර්ෂගේ පැනයට කබ්රාල් දුන් පිළිතුර

    September, 25, 2020

    රටට විදේශ විනිමය ගෙන ඒම සඳහා රජය විසින් හඳුන්වා දී ඇති විනිමය හුවමාරු හෙවත් Swap arrangement පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඊයේ (24) දින පාර්ලිමේන්තුවේ දී සිදුකළේය. කෙසේ වෙතත් මෙහිදී සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විමසා සිටියේ, මේ හරහා පාඩුවක් සිදුවුවහොත් එය දරන්නේ කවුරුන් විසින් ද යන්නයි.

    මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්,

    “අපිට සිදුවුණේ කොවිඩ් වසංගතය ඇවිල්ලා මාස 03ක් රට ලොක්ඩවුන් වුණා. රට ලොක්ඩවුන් වුණත් අපි දැන් අලුත් විදියට හිතලා, අලුත් මුදල් ගෙන එන්න තමයි කටයුතු කරන්නේ. ඒ නිසා තමයි අපි 2020 අවසන් වීමට පෙර අපට අවශ්‍ය මුදල් ලබා ගැනීම සඳහා ක්‍රමවේද හඳුන්වා දීලා තියෙනවා. Swap arrangement එකක් අපි දීලා තියෙනවා. විදේශ මුදල් අපේ රටේ භාණ්ඩාගාර බිල්පත්වලට සහ භාණ්ඩාගාර බැඳුම්කරවලට එනවා නම් අපි ඒ අයට දෙනවා Swap arrangement  එකක් දෙනවා, ඒ අය මුදල් ගෙනාපු ගාණටම මුදල් ගෙනියන්න ආකාරයේ ක්‍රමවේදයක්. ඒවා හඳුන්වලා දුන්නාම තමයි අලුත් මුදල් රටට එන්නේ.“

    “ඒ මුදල් ආවම මගේ මිත්‍රයා ම (ආචාර්ය හර්ෂ ද සිල්වා)  කිව්වා නැවත වරක් රුපියල් අධිප්‍රමාණය වෙයි කියලා. රුපියල් අධිප්‍රමාණය වෙනවා නම් අපිට බය නැතුව ඒ වගේ Swap එකක් දෙන්න පුළුවන්. ඒ නිසා තමයි එහෙම කරලා තියෙන්නේ. මම හිතන්නේ වැඩිකලක් යන්න කලින් මුදල් එන්නට පටන් ගනියි. මුදල් රාශියක් මෙරටට ගලා ගෙන එයි. එහෙම ආවම අපිට පුළුවන් වෙයි අපේ රටේ ආර්ථිකය තවදුරට වර්ධනය කර ගෙන යන්න. මම හිතන්නේ අපි දැන් අලුත් විදියට හිතන්න අවශ්‍යයි. අපිට අහිමි වෙච්ච ඒ මුදල් නැවත රටට ගලා ඒමට කටයුතු කරන්න අවශ්‍යයි. වැඩි කලක් යන්න කලින් මේ ට්‍රෙන්ඩ් එක වෙනස් වෙනවා. බොහෝ දෙනෙක් ඔබතුමන්ලාගේ මිත්‍රයෝ කතා වෙනවා මේ රාට් ආර්ථිකය ගොඩගන්න බැහැ කියලා. අද ඔබතුමාගේම කටින් කියැවෙනවා මේ කළ දෙයින් රුපියල් අධිප්‍රමාණය වෙයි කියලා.“

    ආචාර්ය හර්ෂ ද සිල්වා,

    “අපි දේශපාලනය කළාට, අපි වෘත්තීයවේදියෝ. වෘත්තීයවේදියෝ හැටියට අපි හැමදේම දේශපාලනය කරගන්න ඕනේ නැහැ ගරු ඇමතිතුමා. ඒක තමයි මම කිව්වේ, මේ වාගේ සල්ලි ගෙනාවොත් රුපියල් අපිට පුළුවන් අධිප්‍රමාණ කරගන්න. ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙමෙයි ගරු ඇමතිතුමා, ප්‍රශ්නේ තියෙන්නේ ඔය ප්‍රමාණය දෙන්නේ තෝරාගත් ව්‍යාපාරිකයන්ට පමණයි. ඩොලර් මිලියන 25 ක් ඉඳලා ඩොලර් මිලියන 1000 ක් ගේන කට්ටියට විතරයි. සාමාන්‍ය පොඩි මිනිහා ගෙනාවට ඒක ලැබෙන්නේ නැහැ. මගේ ප්‍රශ්නය වුණේ, රුපියල් අවප්‍රමාණය වුණොතින් ඒ පාඩුව දරා ගන්නේ කවුද?“

    මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්,

    “ඩොලර්වලින් ණයට ගත්තානම්, ගෙවන්නේ අවුරුදු දෙකකට පස්සේ නම් එතකොට ගෙවන්නේ අවුරුදු දෙකකට පස්සේ තියෙන රේට් එකෙන්. ඒක අධිප්‍රමාණය වෙලානම් ගෙවන්න තියෙන රුපියල් ප්‍රමාණය අඩුවෙනවා, ඒක අවප්‍රමාණය වෙලා තිබෙනවා නම් ගෙවන්න තියෙන මුදල වැඩිවෙනවා. එදාට තියෙන රේට් එකට ගෙවන්න වෙනවා කොහොමටත්. ඒ පාඩුව කොහොමත් වෙනවා.“