January, 10, 2023
2022 වසරේ නොවැම්බර් මාසයේ දී කාර්මික භාණ්ඩ අපනයනයෙන් ලද ආදායම, 2021 වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව සියයට 15.4කින් පහළ ගියේය.
මෙම පහළ යෑම සඳහා ප්රධාන වශයෙන් ඇඟලුම් සහ රබර් නිෂ්පාදිත ඇතුළු බොහෝ කාර්මික නිෂ්පාදිතවල අපනයන ඉපැයීම් සමස්තයක් ලෙස පහළ යෑම හේතු විය.
ඇඟලුම් අපනයන සඳහා වූ ගෝලීය ඉල්ලුම පහළ යෑම හේතුවෙන් ඇඟලුම් අපනයනයෙන් ලද ආදායම සියයට 8.3කින් (වාර්ෂික ලක්ෂ්යමය පදනම මත) පහළ ගියේය.
ඒ අනුව බොහෝ ප්රධාන වෙළෙඳපොළ (එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය) වෙත සිදු කළ ඇඟලුම් අපනයන පහළ යෑම් වාර්තා කළේය.
2022 නොවැම්බර් මාසයේ දී ශ්රී ලංකාවේ ඇඟලුම් අපනයන ආදායම ඩොලර් මිලියන 417.8 ක් වූ අතර 2021 නොවැම්බර් මාසයේ දී එම අගය දැක්වුණේ ඩොලර් මිලියන 455.4 ක් ලෙසයි.
ශ්රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.
January, 5, 2023
ශ්රී ලංකාවේ ණය හිමියන් සමඟ සිදු කළ සාකච්ඡා සම්බන්ධ දැනට ලබා ඇති සැලකිය යුතු ප්රගතියත් සමඟ ජාත්යන්තර මූල්ය අරමුදල මගින් ලබා දෙන පහසුකම 2023 වසරේ මුල් කාලයේ දී ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි. 2023 සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්ය අංශ ප්රතිපත්ති පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව මේ පිළිබඳව සඳහන් කර සිටී.
එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.
නිදහසින් පසු උද්ගත වූ වඩාත්ම අභියෝගාත්මක ආර්ථික තත්ත්වයන් කෙරෙහි ශ්රී ලංකාව 2022 වසරේදී මුහුණ දුන්නේය. 2019 වසරේදී පාස්කු ඉරිදා දින සිදු වූ ප්රහාර, 2020 වසරේදී කොවිඩ්-19 වසංගතය ව්යාප්ත වීම සහ එමගින් 2021 වසරේදී ද ආර්ථික ක්රියාකාරකම් සඳහා සිදු වූ බලපෑම, අහිතකර ගෙවුම් ශේෂ පීඩන මධ්යයේ 2022 වසරේදී සිදු වූ සමාජ, ආර්ථික හා දේශපාලන අර්බුදය මෙන්ම පෙර නොවූ පරිදි ප්රතිපත්ති වෙනස්කිරීම් මගින් වූ බලපෑම ඇතුළු මෑත වසරවලදී පැවති අඛණ්ඩ ආර්ථික අභියෝග මගින් පුද්ගලයන්ට සහ ව්යාපාරවලට අපේක්ෂා නොකළ අන්දමේ දුෂ්කරතා ඇති කරමින් ආර්ථික ක්රියාකාරකම්වලට දැඩි බලපෑමක් සිදු කරන ලදී. පුද්ගලයින්ගේ ජීවනෝපායන් අහිමි වූ අතර මූර්ත ආදායම බොහෝසෙයින් පහළ ගියේය. මෙම ආර්ථික අභියෝග මෙන්ම කාලානුරූපී නොවන ප්රතිපත්තිමය තීරණ මගින් දශක ගණනාවක් මුළුල්ලේ ආර්ථිකයේ විවිධ ක්ෂේත්ර තුළ පැවති ව්යුහාත්මක ගැටලු තවදුරටත් උග්ර කළ අතර, එමගින් සාර්ව ආර්ථික සමතුලිතතාවය බිඳ වැටීම හේතුවෙන් රටෙහි විවිධ අංශවල පසුබෑමක් ශීඝ්රයෙන් ඇති විය.
සාර්ව ආර්ථික ස්ථායීතාව නැවත ස්ථාපිත කිරීම අරමුණු කරගත් අසීරු, එහෙත් නොවැළැක්විය හැකි ප්රතිපත්ති ක්රියාමාර්ග 2022 වසර තුළ ක්රියාත්මක කිරීමට රජයට සහ මහ බැංකුවට සිදු විය. උද්ධමන පීඩන අයහපත් වීම වැළැක්වීමට සහ කෙටි හා මැදි කාලීනව අහිතකර උද්ධමන අපේක්ෂා පාලනය කිරීම සඳහා පොලී අනුපාතික පෙර නොවූ අන්දමින් ඉහළ නංවමින් මුදල් ප්රතිපත්තිය දැඩි කරන ලදී. දැඩි විදේශ විනිමය හිඟය මධ්යයේ තෝරාගත් විදේශීය ණය නැවත ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව නිවේදනය කරන ලද අතර ජාත්යන්තර මූල්ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමෙහි අපේක්ෂිත සහාය ඇතිව රාජ්ය ණය ඒකාබද්ධ කිරීමට ක්රියාමාර්ග ආරම්භ කර ඇත. වර්ධනය වෙමින් පැවති ගෙවුම් ශේෂ පීඩන පාලනය කිරීමට අවශ්ය පසුබිම නිර්මාණය කිරීම සඳහා ඇතැම් ණය සේවාකරණ අත්හිටුවීම හේතුවෙන් රඳවාගත් විදේශ විනිමය මෙන්ම මිත්ර රටවලින් සහ බහුපාර්ශ්වික මූලාශ්රවලින් ලද විදේශ විනිමය ලැබීම් උපකාරී විය. අත්යවශ්ය ආනයන සඳහා ප්රමුඛත්වය ලබා දීම ඇතුළු තවත් ක්රියාමාර්ග කිහිපයක් මගින් විදේශ විනිමය මෙරටින් ගලායෑම තවදුරටත් පාලනය කරන ලදී. මෙම ක්රියාමාර්ග මගින් ඉන්ධන, ගල් අඟුරු, ගෑස්, ඖෂධ, සහ ආහාර ද්රව්ය ඇතුළු අත්යවශ්ය ආනයන සඳහා විදේශ විනිමය ලබා ගැනීම සහතික කළ අතර, එමගින් සමාජ ආර්ථික නොසන්සුන්තාවය බොහෝදුරට සමනය විය. මේ අතර, 2022 වසරේ මුල් කාලයේදී විනිමය අනුපාතිකය සැලකිය යුතු ලෙස අවප්රමාණය වීමෙන් අනතුරුව, වෙළඳපොළ සහභාගීවන්නන් සමග උපදේශන ක්රියාවලියක් සිදු කිරීම මගින් විනිමය අනුපාතිකයේ ස්ථායීතාව නැවත ස්ථාපනය කරන ලදී. විදේශ විනිමය රට තුළට ගෙන්වා ගැනීම සහ එම මුදල් ශ්රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීමේ අවශ්යතා සමග දේශීය විදේශ විනිමය වෙළඳපොළ තුළ විදේශ විනිමය ද්රවශීලතාව ඉහළ නැංවීම සඳහා වැඩිදුර ක්රියාමාර්ග ආරම්භ කරන ලද අතර, එමගින් අවිධිමත් වෙළඳපොළ ක්රියාකාරකම් අධෛර්යමත් කළේය. මේ අතර, මූල්ය පද්ධති ස්ථායීතාව ආරක්ෂා කර ගැනීම සඳහා ක්රියාමාර්ග ගණනාවක් ගනු ලැබූ අතර, එමගින් සමස්ත සමාජ ආර්ථික ව්යුහය මත ඇති විය හැකි දිගුකාලීන බලපෑම් වළක්වාගත හැකි විය. තවද, ආර්ථිකය තිරසාර අන්දමින් යථා තත්ත්වයට පත් වීම සහතික කිරීම සඳහා අත්යවශ්ය වන රාජ්ය මූල්ය කටයුතුවල මෙන්ම ආර්ථිකයේ අනෙකුත් අංශවල ව්යුහාත්මක දුර්වලතා නිවැරදි කිරීම සඳහා රජය දිගුකාලීන ප්රතිසංස්කරණ සිදු කිරීම ආරම්භ කර ඇත.
කෙටි කාලීන ආර්ථික ස්ථායීකරණ ක්රියාමාර්ග ක්රියාත්මක කිරීමට සමගාමීව, විස්තීරණ ණය පහසුකම් වැඩසටහනක් සඳහා ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ සාකච්ඡා රජය විසින් ආරම්භ කරන ලද අතර, 2022 සැප්තැම්බර් මාසයේ දී නිලධාරී මට්ටමේ එකඟතාවයකට එළඹුනි. මේ අතර මැදි කාලීන රාජ්ය ණය තිරසරභාවය සහතික කිරීම අරමුණු කරගත් ණය ප්රතිව්යූහගත කිරීමේ ක්රියාවලිය සඳහා නිල ණය හිමියන්ගෙන් මූල්යකරණ සහතික ලබා ගැනිමට අවශ්ය පියවර ගනිමින් සිටී. ශ්රී ලංකාවේ ණය හිමියන් සමඟ සිදු කළ සාකච්ඡා සම්බන්ධ දැනට ලබා ඇති සැලකිය යුතු ප්රගතියත් සමඟ ජාත්යන්තර මූල්ය අරමුදල මගින් ලබා දෙන පහසුකම 2023 වසරේ මුල් කාලයේ දී ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ දක්වා පෙර නොවූ ආකාරයේ කෙටි කාලීන ආර්ථික ස්ථායීකරණ ක්රියාමාර්ග ක්රියාත්මක කර ඇත. මෙම දුෂ්කර කාලයේ දී පුද්ගලයන් සහ ව්යාපාර විසින් සිදුකරන ලද කැපකිරීම් අර්ථවත් වනුයේ මැදි කාලීන හා දිගු කාලීන වශයෙන් ආර්ථික ස්ථායීතාව යථා තත්ත්වයට පත් කළ විට පමණි. ඒ සඳහා ආර්ථිකය තිරසාර අන්දමින් යථා තත්ත්වයට පත් කිරීම සහතික කිරීමට සමාජයේ සෑම පුද්ගලයෙකුගේම සහ සෑම අංශයකම සාමූහික හා ඒකාබද්ධ ප්රයත්න අවශ්ය වේ.
November, 21, 2022
රජයේ ආදායම් බදු ආදායම දෙගුණ වී ඇති බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්රතිපත්ති අමාත්යාංශය විසින් නිකුත් කරන ලද වාර්තාවක සඳහන් වේ.
ඊට අනුව ආදායම් බදු ආදායම, 2021 වසරේ පළමු මාස නවය තුළ වූ රු. බිලියන 209.5 සිට 2022 වසරේ සමාන කාලපරිච්ඡේදය තුළ දී රු. බිලියන 431.8 දක්වා සියයට 106.1 කින් වැඩි වී තිබේ.
මෙම වාර්තාවෙහි වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.
රජයේ සමස්ත ආදායම 2021 වසරේ පළමු මාස නවය තුළ වාර්තා වූ රු. බිලියන 1,050.8 ට සාපේක්ෂව, 2022 වසරේ සමාන කාලපරිච්ඡේදය තුළ දී රු. බිලියන 1,448.5 ක් දක්වා සියයට 37.9 කින් සැළකිය යුතු ලෙස වැඩි විය. 2022 වසරේ පළමු මාස නවය තුළ රැස් කරන ලද ආදායම, සංශෝධිත ආදායම ඇස්තමේන්තුවෙන් සියයට 69.5 ක ළඟා කර ගැනීමකි.
මෙලෙස ආදායම වැඩි වීමට ප්රධාන වශයෙන් හේතු වූයේ, බදු ආදායම 2021 වසරේ පළමු මාස නවය තුළ වාර්තා වූ රු. බිලියන 951.8 ට සාපේක්ෂව, 2022 වසරේ සමාන කාලපරිච්ඡේදය තුළ දී රු. බිලියන 1,283.4 දක්වා සියයට 34.8 කින් වැඩි වීමයි.
බදු ආදායම, සමස්ත ආදායම සඳහා සියයට 88.6 ක දායකත්වයක් දැක්වූ අතර 2022 වසර සඳහා සංශෝධිත ඇස්තමේන්තුවෙන් සියයට 69.3 ක ළඟා කර ගැනීමකි.
ආදායම් බදු ආදායම, 2021 වසරේ පළමු මාස නවය තුළ වූ රු. බිලියන 209.5 සිට 2022 වසරේ සමාන කාලපරිච්ඡේදය තුළ දී රු. බිලියන 431.8 දක්වා සියයට 106.1 කින් වැඩි විය. තාවකාලික පියවරක් ලෙස ආදායම වැඩි කිරීම සඳහා එක් වරක් අය කරනු ලබන බද්දක් ලෙස, 2020/21 තක්සේරු වර්ෂය සඳහා බදු අය කළ හැකි ආදායම රු. මිලියන 2,000 ඉක්මවන ලද පුද්ගලයන්ගෙන් සහ සමාගම් වලින් අය කරන ලද සියයට 25 ක් වූ අධිභාර බද්දෙන් ලැබූ රු. බිලියන 120.7 මේ සඳහා සැළකිය යුතු ලෙස හේතු විය. මෙයට අමතරව, පුද්ගල හා සංස්ථාපිත බදු වලින් එකතු කරන ලද ආදායම පිළිවෙළින් සියයට 16.4 කින් සහ සියයට 46.1 කින් වර්ධනය විය.
තවද, එකතු කළ අගය මත බද්ද, සුරා බද්ද, දුම්වැටි මත නිෂ්පාදන බද්ද සහ වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බද්ද යන බදුවලින් ලද ආදායම පිළිවෙළින් සියයට 38.6 කින්, සියයට 32.2 කින්, සියයට 32.6 කින් සහ සියයට 18.7 කින් වැඩි විය.
සමස්ත ආදායමට සියයට 11.4 ක දායකත්වයක් ලබා දෙමින්, බදු නොවන ආදායම, 2021 වසරේ පළමු මාස නවය තුළ වූ රු. බිලියන 99.0 සිට 2022 වසරේ සමාන කාලපරිච්ඡේදය තුළ දී රු. බිලියන 165.1 ක් දක්වා සියයට 66.8 කින් වැඩි විය. මෙය 2022 වසර සඳහා සංශෝධිත ඇස්තමේන්තුවෙන් සියයට 71.2 ක ළඟා කර ගැනීමකි.
විකුණුම් හා ගාස්තු වලින් ලද ආදායම, 2022 වසරේ පළමු මාස නවය තුළ රු. බිලියන 56.8 ක් දක්වා සියයට 214.6 කින් සැළකිය යුතු ලෙස වැඩි වුණු අතර, මහ බැංකුවේ ලාභ පැවරුම්වලින් ලද ආදායම රු. බිලියන 30.0 ක් විය. කුලී ආදායම සියයට 38.6 කින් රු. බිලියන 4.7 දක්වා ද, ලාභ හා ලාභාංශ මඟින් ලද ආදායම සියයට 17.0 කින් රු. බිලියන 18.9 දක්වා ද, සමාජ ආරක්ෂණ දායකත්වයන් මඟින් ලද ආදායම සියයට 9.6 කින් රු. බිලියන 27.7 දක්වා ද, පොළී ආදායම සියයට 7.6 කින් රු. බිලියන 4.6 දක්වා ද, වෙනත් බදු නොවන ආදායම් මාර්ගවලින් ලද ආදායම සියයට 33.0 කින් රු. බිලියන 22.4 දක්වා ද වශයෙන් අනෙකුත් බදු නොවන ආදායම් මාර්ගවලින් ලද ආදායම ද වැඩි විය.



Video Story