• 5 years leave
  • Ada Derana BIZ Sinhala
  • employment
  • go abroad
  • government officials
  • sri lanaka

රජයේ ‌නිලධාරීන්ට රට රස්සාවලට යාමට වසර 05ක නිවාඩුවක්

June, 15, 2022

අධ්‍යයන හෝ විදේශ රැකියා සඳහා රජයේ නිලධාරියෙකුට සිය සේවා කාලය තුළ උපරිම වශයෙන් වර්ෂ 05ක කාලසීමාවකට වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමට දැනට පවතින විධිවිධාන අනුව හැකියාව තිබේ.

එහෙත්, එකී කාලසීමාව විශ්‍රාම වැටුප් ගණනය සඳහා සැලකිල්ලට නොගැනීම, ජ්‍යෙෂ්ඨතාවයට බලපෑමක් සිදු වීම හා වෙනත් කොන්දේසි හේතුවෙන් රජයේ සේවකයින් එලෙස නිවාඩු ලබාගැනීම කෙරෙහි එතරම් උනන්දුවක් දක්වනු නොලබයි.

රට තුළ දැනට පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන, රජයේ නිලධාරින්ට විදේශ රැකියාවක නිරත වීම හෝ වෙනත් ඵලදායී කාර්යයක නිරත වීම සඳහා ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට අගතියක් නොවන පරිදි වර්ෂ 05ක කාලයකට වැටුප් රහිත විදේශ නිවාඩු ලබා ගැනීමට හැකි වන පරිදි දැනට පවතින විධිවිධාන සංශෝධනය කරමින් අදාළ චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

  • Ada Derana BIZ Sinhala
  • New tax
  • sri lanaka
  • turnover

පිරිවැටුම මත නව බද්දක්

June, 15, 2022

2022 අයවැය යෝජනා මඟින් සමාජ ආරක්ෂණ අරමුදලක් හඳුන්වා දීම සඳහා ඉදිරිපත් කරන ලද යෝජනාව පාර්ලිමේන්තුව විසින් සම්මත කර තිබේ.
ඒ අනුව, වසරකට මුළු පිරිවැටුම රුපියල් මිලියන 120ක් ඉක්මවන ආනයනකරුවන්, නිෂ්පාදකයින්, සේවා සපයන්නන්, තොග වෙළෙඳුන් සහ සිල්ලර වෙළෙඳුන් සඳහා 2.5%ක අනුපාතයක් යටතේ නව බද්දක් වශයෙන් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද හඳුන්වා දීමට තීරණය කර ඇත.
ඒ සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පතට නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ.
එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව එකී පනත් කෙටුම්පත අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
  • Ada Derana BIZ Sinhala
  • Angampora ban
  • Gazette
  • lift
  • notification
  • sri lanaka

අංගම්පොර තහනම ඉවත් කරන්න ගැසට් නිවේදනයක්

June, 15, 2022

මෙරට පවතින සාම්ප්‍රදායික ක්‍රීඩාවක්, සටන් කලාවක් මෙන්ම සංස්කෘතික උරුමයක් වශයෙන් වැදගත් වන අංගම් සටන් කලාව ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය විසින් පියවර ගනු ලැබ ඇත.
අංගම්පොර සටන් ශිල්පය සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීම පිණිස 2019 වර්ෂයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති නමුත්, ඒ සඳහා වන ගැසට් නිවේදනය මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.
එබැවින්, අංගම්පොර සටන් කලාව සංරක්ෂණය කර ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, ඉංග්‍රීසි යටත් විජිත පාලකයින් විසින් පනවා ඇති තහනම ඉවත් කිරීම ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කිරීම පිණිස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
  • Ada Derana BIZ Sinhala
  • sri lanaka
  • Sri Lanka's dairy industry
  • strengthen
  • US $ 27 million

ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය ශක්තිමත් කිරීමට එක්සත් ජනපදයෙන් ඩොලර් මිලියන 27ක්

June, 14, 2022

එක්සත් ජනපදයේ කෘෂිකර්මාන්ත දෙපාර්ත‌මේන්තුවෙන් ක්‍රියාත්මක කරන “Food for Progress” මුලපිරීමට සහභාගිවන ශ්‍රී ලාංකික කිරි ගොවීන්ගේ කිරි නිෂ්පාදනය දෙගුණ කිරීම අරමුණු කරෙගන දියත් කෙරන ඇ. ඩොලර් මිලියන 27ක ව්‍යාපෘතියක් සඳහා ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්ත ‌දෙපාර්තමේන්තුව සමගින් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමේ උත්සවය සඳහා ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජුලී චංග් මහත්මිය ජූනි 13 වැනිදා සහභාගි වූවාය.

ශ්‍රී ලංකා රජයේ සමීප හවුල්කාරීත්වය ඇතිව 2017 අගභාගයේ දී මෙම ව්‍යාපෘතිය ආරම්භ වූ අතර දැනටමත් ශ්‍රී ලාංකික කිරි ගොවීන් 25,000කට මේ හරහා තමන්ගේ කිරි නිෂ්පාදනය සියයට 68ක සාමාන්‍ය අගයකින් වර්ධනය කරගැනීමට හැකි වී තිබේ. ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතභාවය සහ ආර්ථික වර්ධනය සඳහා එක්සත් ජනපදය නොකඩවා සිදුකරන වෑයම්වලට කොටසක් වශෙයන් මෙම ව්‍යාපෘතිය අවසානෙය් දී, ශ්‍රී ලාංකිකයින් 80,000ක් මෙම වැඩසටහනින් ප්‍රතිලාභ නෙලාගනු ඇතැයි අපේක්ෂිත ය. කෝවිඩ්-19 වසංගතය හේතුවන් ඇති වූ අනපේක්ෂිත ප්‍රමාදයන්ගෙන් පසුව, එ.ජ. තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්ත දෙපාර්තමේන්තුව අද දිනෙය් දී මෙම හවුකාරීත්ව ගිවිසුමට එළෙඹන ලදී.

"ඇ. ඩොලර් මිලියන 27ක මෙම දායකත්වය, ශ්‍රී ලංකාවේ තිරසාර ආර්ථික සංවර්ධනය දිරිගැන්වීම සඳහා එක්සත් ජනපදයෙන් දරන බහු-වාර්ෂික කැපවීමට කදිම උදාහරණයක් වනවා. මේ ලබාදෙන සහය, රටේ කිරි කර්මාන්තය නිෂ්පාදනය සැලකිය යුතු මට්මකින් ඉහළ නැංවීමට දායක වනවා පමණක් නොවේ, මේ අවස්ථාවේදී අන් කවරදාකටත් වඩා වැදගත් වී ඇති කරුණක් වන තරඟකාරීවීමට, වර්ධනයවීමට සහ දියුණුවීමට අවශ්‍ය කරන සම්පත්වලින් ශ්‍රී ලාංකික කිරි ගොවීන් සන්නද් කිරීමත් මේ හරහා සිදුවනවා” යනුවෙ චංග් තානාපතිතුමිය සඳහන් කළාය.

Food for Progress වෙළඳපල දිශානත කිරි ව්‍යාපෘතිය, ශ්‍රී ලාංකික කිරි ගොවීන්ට තමන්ගේ කිරි නිෂ්පාදනය වැඩිකරගැනීමට උපකාර කිරීම සඳහා ගොවිපලවල මෙහෙයුම් කටයුතු සහ කළමනාකාරීත්වය වැඩිදියුණු කිරීමට ඔවුන්ට අවශ්‍ය කුසලතා ලබාදීම පිණිස, ලාභ අපේක්ෂා නොකරන එ.ජ. සංවිධානයක් වන International Executive Service Corps සමගින් හවුල් වී තිබේ. මුල්‍යකරණය සඳහා ද මින් වඩාත් හොඳ ප්‍රවේශයක් ලබාදෙනු ඇති අතර, ගොවීන්ට තමන්ගේ ව්‍යාපාර තවත් පුළුල් කරමින් නව වෙළඳපල කරා ළඟා වන්නට ඉන් මගපෑදෙනු ඇත.

ශ්‍රී ලාංකීය ගොවීන්ට සහයවීමට අමතරව, එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් Save the Children සංවිධානයේ සම්බන්ධීකරණය ඇතිව රට පුරා සිටින ශ්‍රී ලාංකිකයන් 453,000 කට වැඩි පිරිසකට ප්‍රතිලාභ ලබා දුන් පාසලේ පෝෂණ වැඩසටහනක් සඳහා පසුගිය වසරේ දී ඇමරිකානු ඩොලර් මිලියන 26 ක මුදලක් ලබා දී ඇත. ‌මේ සියල්ල එක්ව ගත් කල, ආහාර සුරක්‍ෂිතතාව ප්‍රවර්ධනය කිරීම සඳහා වූ USDA මුලපිරීම් ශ්‍රී ලාංකිකයන් මිලියන භාගයකට වැඩි පිරිසකට ප්‍රතිලාභ ලබා දෙමින්, පාසලේ දරුවන්ට අත්‍යවශ්‍ය පෝෂණය සහතික කිරීම සහ ගොවීන්ට ඵලදායිතාව ඉහළ නැංවීමට උපකාර කරයි.

වෙලඳපල දිශානත කිරි ව්‍යාපෘතිය පිළිබඳව වැඩිදුර විස්තර මෙම සබැඳියෙන් ලබාගත හැකිය: www.market-oriented-dairy.org/

  • Ada Derana BIZ Sinhala
  • Dhammika
  • Parliament
  • sri lanaka

ධම්මික 21 දා පාර්ලිමේන්තුවට

June, 13, 2022

ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා එළඹෙන ජූනි 21 දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසින් දිවුරුම් දීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

පාර්ලිමේන්තුව මෙම සතියේ දී රැස්වීමක් සිදු නොවන බැවින් මීළඟ පාර්ලිමේන්තු දිනය වන ජූනි 21 දා මෙලෙස ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසින් පත්වීම් ලබනු ඇත.

එළඹෙන සතියේ ජූනි 21, 22, 23 හා 24 යන දිනවල අඛණ්ඩව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

කෙසේවෙතත් ධම්මික පෙරේරා මහතාගේ නම, මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ගැසට් කර ඇති බැවින් ජූනි 21 දිනට පෙර අමාත්‍යවරයෙකු ලෙස ඔහු පත්වීම් ලබනු ඇති බවට ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.

මේ අනුව ඔහු තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසින් දිවුරුම් දීමට නියමිත අතර එම අමාත්‍යාංශයේ කාර්යයන් හා කර්තව්‍යයන්, ඊට අයත් දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා සහ ක්‍රියාත්මක කළ යුතු නීති සහ අණ පනත් පහත පරිදි වනු ඇත.

  • Ada Derana BIZ Sinhala
  • Food inflation rises
  • sri lanaka

වසර 18 ක් තුළ ඉහළම ආහාර මිල වැඩිවීම මැයි මාසයේ දී

June, 13, 2022

නිල ආහාර උද්ධමනය මැයි මාසයේදී 57.4% ක් වූ අතර එය 2004 වසරේ සිට මෙතෙක් වාර්තා වූ වසරින් වසර ඉහළම ආහාර මිල වැඩිවීමේ අගය බව Advocata  ආයතනය පවසයි.

ආහාරවල සිල්ලර මිලෙහි වෙනස්කම් නිරීක්ෂණය කරන Advocata Institute හි Bath Curry Indicator (BCI) ද 2021 මැයි සිට 2022 මැයි දක්වා 71% ක ඉහළම වැඩිවීමක් සටහන් කරයි. එමෙන්ම එය ඊට පෙර මාසයට වඩා 13% ක වැඩිවීමකි.

මෙම දර්ශකය 2019 සිට සාමාන්‍යයෙන් පරිභෝජනය කරන ආහාර ද්‍රව්‍ය තොගයක් මැනීම ආරම්භ කිරීමෙන් පසු මෙතෙක් වාර්තා වූ විශාලතම ආහාර මිල ඉහළ යාම මෙය වේ.

මෙම අනුපාතයට ආහාර මිල ඉහළ යාමත් සමඟ පවුලකට 2019 මැයි මාසයේදී සතියකට ආහාර සඳහා රුපියල් 1,140 ක් වැය කළ අතර එම ආහාර ද්‍රව්‍ය කූඩයම පරිභෝජනය කිරීමට දැන් රුපියල් 1,940 ක් වැය කිරීමට සිදුව ඇති බව Bath Curry Indicator පෙන්වා දේ.

  • Ada Derana BIZ Sinhala
  • MP
  • political affiliations
  • sri lanaka
  • UDA resorts

UDA නිවාඩු නිකේතන දේශපාලන හිතවත්කම්වලට – මන්ත්‍රිවරු පවසති

June, 13, 2022

නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පවතින නිවාඩු නිකේතන පිළිබඳව පසුගිය (07) දා කෝප් කමිටුවේ දී අවධානය යොමුව තිබේ.

එහිදී පැමිණ සිටි මන්ත්‍රිවරු පවසා ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඇති සෑම දිස්ත්‍රික්කයකම පවතින නිවාඩු නිකේතන පිහිටා තිබෙන්නේ එම දිස්ත්‍රික්කයේ දර්ශනීයම ස්ථානයක බවයි. මේ නිසා ටෙන්ඩර් ලබාදීමේදී රාජ්‍ය ආදායම වැඩි කරගැනීමට කටයුතු කළ යුතු බව ඔවුන් පෙන්වා ඇත.

එසේම මෙම නිවාඩු නිකේතන කුලියට ලබාගන්නා පිරිස් ඇතැම් විට දේශපාලන හිතවත්කම් මත ලබාගැනීම සිදුවන බවත් මෙහිදී පැමිණ සිටි මන්ත්‍රීවරු පෙන්වා දී ඇති අතර මෙම නිවාඩු නිකේතන නිසියාකාරව නඩත්තු නොකිරීම නිසා අබලන් තත්ත්වයකට පත් වී ඇති බවද සඳහන්වී තිබේ.

තවද 2011 වර්ෂයේ පිහිටවූ රෙස්ට් හවුස් සමාගමට අදාළ මෙම නිවාඩු නිකේතනවලට ක්‍රියාකාරීත්වය පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

මේ අනුව කෝප් සභාපතිවරයා නිර්දේශ කළේ මෙම නිවාඩු නිකේතන අලුත්වැඩියා කිරීම පිළිබඳවද සැලසුමක් ඇතුළත්කොට මේ පිළිබඳ මාසයක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙසයි.

  • Ada Derana BIZ Sinhala
  • appiGo
  • E-commerce
  • hSenid
  • sri lanaka

E-commerce වෙබ් අඩවි විසඳුම් සපයමින් ප්‍රමුඛයා බවට පත් appiGo නවතම ව්‍යාපාරික පරිශ්‍රයකට පිවිසෙයි

June, 13, 2022

hSenid විසින් බල ගනුවනු ලබන ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම වාණිජ වෙබ් අඩවි විසඳුමක් ලෙස සැලකෙන appiGo, සිය නවතම ප්‍රධාන ව්‍යාපාරික පරිශ්‍රය, අංක 100, වෝඩ් පෙදෙස, කොළඹ ලිපිනය වෙත ගෙන ගොස් තිබේ. එම අති නවීනතම පහසුකම්වලින් සමන්විත නවතම පරිශ්‍රයෙහි සිට පාරිභෝගිකයින් හට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැලසීම appiGo හි අපේක්ෂාවයි.

ඉකුත් කාලය තුළ කෝවිඩ් වසංගත තත්ත්වය හමුවේ ව්‍යාපාරික පරිශ්‍රයන් වෙත පාරිභෝගිකයින් ඇදී ඒම මුළුමණින්ම ඇණහිට පැවති අතර, සිය ව්‍යාපාර පවත්වාගෙන යාම පිණිස නවතම විසඳුම් කරා යොමු වීමට බොහෝ ව්‍යාපාරවලට සිදු විණි. එවැනි පසුබිමක ව්‍යාපාර අඛණ්ඩව පවත්වාගෙන යාමට, සේවක වැටුප් ගෙවීමට මෙන්ම අලෙවි ඉලක්ක සපුරා ගැනීමට ස්වකීය ව්‍යාපාර මිනිසුන් කරා ළඟා කරලීම සඳහා කඩිනම් පියවර ගැනීමට ඇතැම් ව්‍යාපාර උත්සුක විණි. ඒ සඳහා ඔවුනට පිරි නැමෙන හොඳම විසඳුම ලෙස appiGo, ව්‍යාපාරික හා පාරිභෝගික යන දෙපාර්ශවය එක් කරන වෙබ් අවකාශ නිර්මාණය කිරීමෙහි ලා සුවිශේෂී මෙහෙවරක නිරත විය. එලෙස වඩාත් දුෂ්කරම කාල පරිච්ඡේදයක් සඳහා අනුවර්තනය වීමේ appiGo සතු විශිෂ්ටතම හැකියාව පැසසිය යුතු කාරණයක් වන අතර, appiGo ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාණිජ (e-commerce) වෙබ් අඩවි නිර්මාණය කරන්නෙකු ලෙස මිනිසුන් අතරට යාමටද එය ප්‍රබල හේතුවක් විණි.

appiGo සතු නවතම ප්‍රධාන කාර්යාලය, අප නිරන්තරයෙන් අත් දකින වඩාත් තදබදයෙන් පිරි කාර්යාල ස්වභාවයෙන් මුළුමනින්ම බැහැර වූවකි. එය වඩාත් පුළුල් ඉඩ පහසුකම් සහිත, සියලු කාර්යයන් පහසුවෙන් හා කාර්යක්ෂම ලෙස ඉටු කළ හැකි ලෙස සැලසුම් කර ඉදි කරන ලද කාර්යාල පරිශ්‍රයකි. වේගවත් බ්‍රෝඩ්බෑන්ඩ් පහසුකම්, ඉහළම මට්ටමේ තාක්ෂණික උපකරණ පමණක් නොව එහි කාර්යශීලි සුහද පරිසරය මෙරට තාක්ෂණික ව්‍යවසාය පරිශ්‍රයක් සඳහා පූර්වාදර්ශ සපයන ස්ථානයක් බවට පත්ව තිබේ.

  • Ada Derana BIZ Sinhala
  • INSEE
  • sri lanaka

INSEE සමාගම කොලඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට අවශ්‍ය වෛද්‍ය උපකරණ හා ඖෂධ පරිත්‍යාග කරයි

June, 10, 2022

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා සහ සැපයුම්කරු වන INSEE සිමෙන්ති සමාගම, කොලඹ ජාතික රෝහල (NHSL) සිදු කළ ඉල්ලීමකට අනුව, එහි දැඩි සත්කාර ඒකකය (MICU) වෙත අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ හා ඖෂධ තොගයක් පරිත්‍යාග කිරීම පසුගිය දා සිදු කෙරිණි. එහි දී Noradrenaline Vials, CRRT කට්ටල, රුධිර ගෑස් කාට්රීජ (Blood Gas Cartridges), සංවේදක කාඩ්පත් (Sensor Cards), නාසෝගාස්ට්‍රික් ටියුබ (Nasogastric Tubes), මුත්‍රා කැතීටර (Urinary Catheters), මිලි ලීටර් 10 සිරින්ජ, නිර්ජීවාණු ශල්‍ය අත්වැසුම් (Sterile Surgical Gloves) පරීක්ෂණ අත්වැසුම් (Examination Gloves) සහ චූෂණ උපකරණ (Suction Jars) ඇතුළු උපකරණ හා ඖෂධ රැසක් සැපයීමට INSEE සිමෙන්ති සමාගම විසින් කටයුතු කෙරුණු අතර, ඒ වෙනුවෙන් පසුගිය දා පැවැත්වුණු චාම් උත්සවයේ දී INSEE සිමෙන්ති සමාගමේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරී නන්දන ඒකනායක හා බාහිර කටයුතු සහ ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී චන්දන නානායක්කාර යන මහත්වරුන් විසින් කොලඹ ජාතික රෝහලේ වෛද්‍ය ඩිල්ෂාන් ප්‍රියංකර, වෛද්‍ය සජීවක හා හෙද ප්‍රධානී ශිරෝමිනී යන මහත්ම මහත්මීන් වෙත අදාළ වෛද්‍ය උපකරණ හා ඖෂධ තොගය නිල වශයෙන් භාර දීම සිදුකෙරුණි. මෙම වැඩසටහන මඟින් කොලඹ ජාතික රෝහලේ, වෛද්‍ය දැඩිසත්කාර ඒකකයේ මෙහෙයුම් කටයුතු බාධාවකින් තොරව, අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පහසුකම් සැපයීම INSEE සිමෙන්ති සමාගමේ අරමුණයි.

එම අවස්ථාවේ දී INSEE සිමෙන්ති සමාගමේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරී නන්දන ඒකනායක මහතා අදහස් දැක්වූයේ මේ අයුරිණි. "මෙම අවස්ථාවේ දී කොළඹ ජාතික රෝහල අප සමාගම කෙරෙහි විශ්වාසය තබමින් අපගේ සහය ඉල්ලා සිටීම අපට මහත් ගෞරවයක්. වර්තමානයේ රට තුළ පවතින දුෂ්කර සහ අභියෝගාත්මක තත්ත්වය නිසා ම මෙම වෛද්‍ය උපකරණ සහ ඖෂධ තොගය ඉතා ඉක්මණින් ලබා දීමට අපි කටයුතු කළා. 'ජීවිතය වෙනුවෙන් ගොඩනඟමු' කියන තේමාව මුල් කරගනිමින් ක්‍රියාත්මක වන සමාගමක් විදියට අසාධ්‍ය තත්ත්වයේ පසු වන රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම වෙනුවෙන් දායක වීමට ලැබීම ගැන අපි හදවතින් ම සතුටු වෙනවා. ඒ වගේ ම වත්මන් අර්බුදයෙන් අපගේ ලක් මාතාව මුදා ගැනීමට අපි හැකි සෑම අවස්ථාවක දී ම කැප වන බව මම අවධාරණය කිරීමට කැමතියි."

INSEE සිමෙන්ති සමාගම මෙරට පවතින අර්බුදකාරී තත්ත්වයෙන් රට මුදා ගැනීමට ශක්තියක් වෙමින්, ජනතාවගේ  යහපැවැත්ම තහවුරු කිරීම වෙනුවෙන් කැපවී සිටින ආයතනයක් වන අතර, සාමාජීය හා පාරිසරික තිරසාර වැඩසටහන් රැසක් ද දියත් කරයි. කොවිඩ් වසංගතයේ උච්චතම අවස්ථාවේ දී INSEE සිමෙන්ති සමාගම විසින් රෝහල්වලට අවශ්‍ය ඇඳන් සහ සෞඛ්‍ය සේවකයින්ට අත්‍යවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම වෙනුවෙන් පුළුල් වැඩසටහනක් දියත් කෙරිණි. එහි දී මහනුවර ජාතික රෝහලේ ඇඳන් 150 කින් යුත් නව වාට්ටුවක් ඉදිකිරීම සඳහා  සිමෙන්ති ලබාදීම හා ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීමට INSEE සිමෙන්ති සමාගම කටයුතු කළ බව සිහිපත් කළ යුතුමය. ඊට අමතරව කොවිඩ් කාලවකවානුවේ දී වැලිසර ශ්වසන රෝග පිළිබඳ ජාතික රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල හා දිවුලපිටිය මූලික රෝහල ඇතුළු රෝහල් ගණනාවක පරිමාව ඉක්මවමින් වැඩි වූ රෝගීන්ට අවශ්‍ය ඉඩ පහසුකම් පුළුල් කිරීම සඳහා  සිමෙන්ති පරිත්‍යාග කිරීමට ද INSEE සිමෙන්ති සමාගම විසින් කටයුතු කරන ලදී.

  • Ada Derana BIZ Sinhala
  • CDB
  • sri lanaka

CDB මුල්‍ය සමාගම ඕස්ට්‍රේලියානු පිළේ ශ්‍රී ලංකා සංචාරය සඳහා සහකාර අනුග්‍රාහක බවට පත්වෙයි

June, 10, 2022

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) මෙවර ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය ලබාදීමට ඉදිරිපත් වී සිටී. ජනතාවගේ අභිලාෂයන් බලගැන්වීමට කැපවී සිටින සමාගමක් වශයෙන්, රටේ ක්‍රිකට් ක්‍රීඩාවට අත්වැලක් වීමේ අරමුණින් CDB සමාගම මෙම තරගාවලියට අනුග්‍රාහකත්වය ලබාදීමට තීරණය කළේ ය. ක්‍රිකට් ක්‍රීඩාව සමග දීර්ඝ කාලයක් තිස්සේ සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන යන CDB සමාගම, වෙළඳ සේවා සංගම් ක්‍රිකට් තරගාවලියට වසර ගණනාවක් තිස්සේ අනුග්‍රාහකත්වය ලබා දී ඇති අතර, 2021 වසරේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරගාවලිය සඳහාද අනුග්‍රාහකත්වය දැක්වී ය.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ 2022 ශ්‍රී ලංකා සංචාරය ජූනි 07 දින සිට ජූලි 12 දින දක්වා පැවැත්වේ. මේ වනවිට ලොව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල අංක එකේ පසුවන ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන්නේ වසර 6 කට පසුව වීම විශේෂත්වයකි. මෙම තරගාවලිය ටෙස්ට් තරග දෙකකින්, එක්දින තරග පහකින් සහ විස්සයි විස්ස තරග තුනකින් සමන්විත වේ.

“ක්‍රිකට් යනු කවදත් ශ්‍රී ලාංකිකයන් තුළ ප්‍රබෝදයක් ඇති කිරීමට සමත් වූ දෙයක්. ඕස්ට්‍රේලියානු සංචාරය අතරතුර අපගේ කණ්ඩායම දිරිගැන්වීමට හැකිවීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකාවේ සමීප මිතුරෙකු ලෙස හැඳින්වීමට පුළුවන්. ක්‍රිකට් ලෝලීන් ඉතාමත් උනන්දුවෙන් බලා සිටි මේ තරගාවලිය සඳහා අනුග්‍රාහකයෙකු බවට පත්වීමට හැකිවීම අපට මහත් සතුටක්.” CDB ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී දර්ශන ජයසිංහ මහතා පැවසී ය.

“ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා සංචාරය සිදුවන්නේ ශ්‍රී ලංකාවට තීරණාත්මක වන කාලපරිච්ඡේදයකයි. ඒ නිසා එහි වැදගත්කම දෙගුණ වී තිබෙනවා. සෑම විටම ජනතාව වෙනුවෙන් පෙනී සිටි ආයතනයක් වශයෙන් අප ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, සුපුරුදු ශ්‍රී ලාංකික සත්කාරය ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙත ලබාදෙමින්, ක්‍රිකට් ක්‍රීඩාවේ වටිනාකම් පෙරදැරිව තරගාවලියේ උණුසුම සිත් සේ විඳගන්නා ලෙසයි.” දර්ශන ජයසිංහ මහතා වැඩිදුරටත් පැවසී ය.