January, 2, 2023
රුසියානු සංචාරකයින් සමඟින් ශ්රී ලංකාවට පියාසාර කරන රෙඩ් වින්ග් ගුවන් සේවයට අයත් දෙවන ගුවන් යානය අද (02) පෙරවරුවේ දී මත්තල රාජපක්ෂ ජාත්යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රුසියාවේ හිටපු ශ්රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පැවසුවේ, මෙම යානයත් සමඟ දැනට මෙරටට පැමිණ තිබෙන රෙඩ් වින්ග් ගුවන් යානා දෙක මගින් රුසියනු සංචාරකයින් 822 ක් ශ්රී ලංකාවට පැමිණ ඇති බවයි.
රෙඩ් වින්ග් ගුවන් සේවයේ දෙවෙනි ගුවන් යානාව අද ආවා. අද ඉඳන් තමයි ඒ ගුවන් යානාව සම්පූර්ණ වෙලා එන්නේ. රුසියාවේ ඇනෙක්ස් ටුවර්ස් තමයි මේ ගුවන් යානාවේ සංචාරකයෝ අපිට එවන්නේ. එයින් කොටසක් එවනවා සන් ඇන්ඩ් ෆන් කියන ආයතනයත්. ඒ දෙගොල්ලොන්ට තමයි අපි පළමුවෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ සංචාරකයෝ ලංකාවට එවීම ගැන.
අද සාර්ථකව සංචාරකයෝ අරන් එනවා සතියකට 3,500 ක් විතර මේ සෘජු ගුවන්යානාවලින්.
දැනට ගුවන්යානා 10 ක් එනවා සතියකට, රෙඩ් වින්ග් ගුවන් යානා දෙකකුත් ඒකෙන් 822 ක් එනවා. ඒ වගේම අසූර් එයාර්ලයින් ෆ්ලයිට් 5ක් එනවා. ඒකෙනුත් එනවා 335 ගානේ 5 ක්. ඒ වගේම ඒරොෆ්ලොට්, රුසියානු ජාතික ගුවන් සේවාව සතියකට ගුවන් යාන 3ක් එනවා. ඒකෙනුත් එනවා 290 ක් විතර.
January, 2, 2023
නූපන් පරපුර වෙනුවෙන් අනාගතය සුරක්ෂිත කිරීම සඳහා සිය දායකත්වය දෙගුණ කිරීමට ආරාධනා කරන බවත්, අද දවසේ ගන්නා වේදනාත්මක තීන්දු යහපත් අනාගත පරපුරක් නිර්මාණය කරනු ඇති බවත් මුදල් අමාත්යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා 2023 වසරේ රාජකාරි ආරම්භ කරමින් සඳහන් කරයි. හෙතෙම පෙන්වා දෙන්නේ ප්රතිපත්ති සම්පාදනයේ සහ ක්රියාත්මක කිරීමේ දී දශක ගණනාවක් තිස්සේ පැවැති අඩුලුහුඩුකම්වල ප්රතිඵල අද රට පත්ව ඇති තත්ත්වයට හේතුව බවයි. මූල්ය විනයක් නොමැතිකම මෙම තත්ත්වයන්ට ප්රධාන හේතුව බව පෙන්වා දුන් සිරිවර්ධන මහතා කියා සිටියේ 2023 වසරේ දී සිය දායකත්වය දෙගුණකින් ලබා දෙන ලෙස රටේ හදවත බදු මුදල් අමාත්යාංශයේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි.
2023 වසරේ රාජකාරී කටයුතු ආරම්භ කරමින් රාජ්ය සේවක ප්රතිඥාව ලබා දීම අද (02) පෙරවරුවේ මුදල් අමාත්යාංශ පරිශ්රයේ දී සිදු කෙරිණි. මෙම අවස්ථාවට මුදල් රාජ්ය අමාත්යවරුන් වන ආචාර්ය රංජිත් සියඹලාපිටිය සහ ෂෙහාන් සේමසිංහ යන මහත්වරු සේම අමාත්යාංශයේ සියලු සේවයක සේවිකාවෝ සහභාගී වූහ.
එම අවස්ථාව අමතමින් මුදල් අමාත්යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා මෙසේ ද පැවැසීය.
“රාජ්ය සේවකයන් වන අපට මේ අවස්ථාව ඉතාමත් තීරණාත්මක සංධිස්ථානයක්. 2022 වර්ෂය ඉතා සංකීර්ණ, ඉතා ගැඹුරු, ආර්ථික අර්බුදයක් මේ රට තුළ ඇති කළ වර්ෂයක්. ඒක වර්ෂයක හෝ දෙකක ඇති වෙච්ච තත්ත්වයක් විදියට ගන්නවට වඩා මම කැමැතියි අපේ රටේ දශක ගණනාවක් තිස්සේ විශේෂයෙන් ම ප්රතිපත්ති සම්පාදනයේ සහ ප්රතිපත්ති ක්රියාත්මක කිරීමේ තිබුණ අඩුලුහුඬුකම් තුළින් මතු වෙලා පහුගිය අවුරුදු දෙක හෝ තුන ඇතුළත වඩාත් තීව්ර වුණ අර්බුදයක් කියල නිර්වචනය කරන්න.
මම විශ්වාස කරන විදියට මේ අද ඇති වෙලා තියෙන ආර්ථික අර්බුදයට ප්රධානතම හේතුව දුර්වල රාජ්ය මූල්ය ප්රතිපත්තිය කියල කියන්න බිය විය යුතු නෑ. මම හැම තැන ම කියල තියෙනවා, කැබිනට් මණ්ඩලයටත් කියල තියෙනවා රාජ්ය මූල්ය අංශයේ දුර්වලතාව නිසා තමයි රට මේ තත්ත්වයකට ඇවිල්ල තියෙන්නෙ කියල. අපි හැමදාම අඩුවෙන් ආදායම අරගෙන වැඩියෙන් වියදම් කළා. අපි කවුරුත් හිතුවෙ නෑ අපට වියදම් කරන්න පුළුවන් ප්රමාණය කොච්චර ද අපි මේකට මූල්ය ශික්ෂණයක් හදා ගන්න ඕනෙ නේද කියල. මූල්ය විනයක් නොමැතිකම තමයි මේ තිබෙන ප්රශ්නයට ප්රධාන හේතුව. නමුත් ඒක විතරක් කියල මම කියන්නෙ නෑ. අපි ගෙදරක ආර්ථිකයක් ගත්තොත් අපට වියදම වැඩි නම් අපි වියදම අඩු කර ගන්න ඕනෙ. ආදායම අඩු නම් ආදයම් වැඩි කර ගන්න ඕනෙ. අපට ණය ගන්න බැරි නම් අපි තියෙන ප්රමාණය කළමනාකරණය කර ගන්න ඕනෙ. ඒ ශික්ෂණය අපි හදා ගන්න ඕනෙ. ගෙදර ආර්ථිකයට වගේම රටේ ආර්ථිකයටත් ඒක පොදුයි.
කුමන හෝ හේතුවක් නිසා අපි දැන් මේ අර්බුදයට මුහුණ දීල ඉන්නෙ. ඒක ආර්ථික අර්බුදයක් විදියට ඇවිල්ල, සමාජ අර්බුදයක් දක්වා ගිහින් දේශපාලන අර්බුදයක් වෙලා අවසානයේ මුළු රාජ්ය තන්ත්රයම පරිපාලන වෙනසක් දක්වා ගියා. අපි තාමත් ඉන්නෙ ඉතාම ගැඹුරු තත්ත්වයක. අපි ජනතාවට ඉන්ධන දෙනව වෙන්න පුළුවන්. ගෑස් දෙනව වෙන්න පුළුවන්, පෝලිම් නැති වුණා වෙන්න පුළුවන් වුණත් අපි රාජ්ය මූල්ය පැත්තෙන් බලද්දි ඉතාම ගැඹුරු තැනක ඉන්නෙ. ඒ නිසා අපි 2022 වසරේ දී ගත්ත ප්රතිපත්ති, විශේෂයෙන් ම මැයි මාසෙ ගත්ත බදු ප්රතිපත්ති තීන්දු, අගෝස්තු මාසෙ කරපු වෙනස්කම් අපි ක්රියාත්මක කළ යුතුයි. 2023 වසර සඳහා වූ අයවැය තුළින් ගරු ජනාධිපති රනිල් වික්රමසිංහ මැතිතුමා මුදල් අමාත්යවරයා විදියට ඉදිරිපත් කළේ රටට අලුත් දැක්මක්. සමහර විට ඒව ජනප්රිය තීරණ නොවෙන්න පුළුවන්. එතුමා කිවුවෙ ඒව ජනප්රිය තීරණ නොවුණත් ඒවා නොගැනීමේ තීරණ තමයි අපි භුක්ති විඳින්නෙ කියල. ජනප්රිය නොවුණත් හරි තීරණ අරගෙන ඉදිරියට යන්න ඕනෙ කියන එක තමයි එතුමාගේ දර්ශනය.
අපි දන්නව පසුගිය කාලෙට වඩා අපි දැන් ගන්න තීරණ වෙනස් වෙලා තියෙනවා. සමහර දේවල් දැඩි තීරණ වෙලා යනවා. ඒවා ජනප්රිය නොවෙන්න පුළුවන්. මුදල් අමාත්යාංශය විදියට නෙවෙයි රටක් විදියට ගත්තත් අපි යම් ප්රමාණය කැප කිරීමක් කරනව නම් ඒ මත තමයි අනාගතය තීරණය වෙන්නෙ. අද අපි මේ තීරණ නොගෙන හිටියොත් අපට ඉදිරියට යන්න හැකි වෙයි ද කියන ගැටලුව මතු වෙනවා. අද මෙතන ඉන්න පිරිස නෙවෙයි අපේ දරුවො ඉන්නවා, නූපන් පරපුරක් ඉන්නවා. ඔවුන්ට රටක් ඉතුරු විය යුතු යි. ඒ වගකීම මේ මොහොතේ රැඳල තියෙන්නෙ රටේ හදවත වගේ තියෙන මුදල් අමාත්යාංශයේ ඉන්න සේවක සේවිකාවන් අතේ කියන එකයි මගේ අදහස. ඒ නිසා 2023 වර්ෂයේ රාජකාරී ආරම්භ කරන මොහොතේ ඔබතුමාලගේ හදවත්වල මම මේ කාරණාව ලියවන්න කැමැතියි. මුදල් අමාත්යාංශ නිලධාරීන් විදියට අපේ උරමත ඉතිහාසයේ නොවූ විරූ වගකීමක් පැවරිලා තියෙනවා.
ගරු ජනාධිපතිතුමා, මහබැංකුව සහ රාජ්ය මූල්ය අංශය පිළිබඳ තීන්දු තීරණ ගත හැකි පාර්ශ්ව ගන්නා තීරණ ක්රියාත්මක කිරීමේ වගකීම අප සතුයි. අපට කරන්න තියෙන්නෙ නොදන්න දේවල් නෙවෙයි. අපි මේ ප්රතිපත්ති දන්නවා, දශක ගණනාවක් කතා කරල තියෙනවා. මගේ අදහසේ හැටියට මේව නිසි පරිදි ක්රියාත්මක නොවූ නිසා තමයි රටට මේ වගේ තත්ත්වයකට මුහුණ දෙන්න සිදු වෙලා තියෙන්නෙ. මම කැමැති අඩුවෙන් කතා කරල වැඩියෙන් වැඩ කරන්න. ඒ නිසා අපට පුළුවන් නම් මේ 2023 අවුරුද්දෙදි අපි හැම කෙනෙකුගෙන් ම ඉල්ලා සිටිනවා සිය දායකත්වය දෙගුණ කරන්න කියල. ඒක මේ අවස්ථාවෙ විශාල කැපකිරීමක්. වේදනාකාරී තීරණ මගින් අවුරුද්දක් දෙකක් ඇතුළත අවුරුද්දක් දෙකක් ඉදිරියට ගිහින් එතනින් එහාට පුළුවන් රටක් විදියට ඉස්සරහට යන්න සහ අපි බලාපොරොත්තු වූ වේදනාකාරී නොවන මට්ටමකට ගමන් කරන්න.” යැයි මහින්ද සිරිවර්ධන මහතා වැඩි දුරටත් පැවැසීය.
January, 2, 2023
මේ වසරේ ගෝලීය ආර්ථිකයෙන් තුනෙන් එකක් අවපාතයකට ලක් වනු ඇතැයි ජාත්යන්තර මූල්ය අරමුදලේ (IMF) ප්රධානී ක්රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය අනතුරු අඟවා තිබේ.
එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ චීන ආර්ථිකයන් මෙම වසරේ දී මන්දගාමී වනු ඇති බවත් 2023 වසර පසුගිය වසරට වඩා “අසීරු” වනු ඇති බවත් ඇය මෙහිදී පවසා ඇත.
යුක්රේනයේ යුද්ධය, ඉහළ යන මිල ගණන්, ඉහළ පොලී අනුපාත සහ චීනයේ කොවිඩ් ව්යාප්තිය ගෝලීය ආර්ථිකයට බරක් වීම මේ සඳහා ප්රධාන වශයෙන් හේතු වන ඇති බව ඇය සඳහන් කරයි.
"ලෝක ආර්ථිකයෙන් තුනෙන් එකක් අවපාතයක පවතිනු ඇතැයි අපි අපේක්ෂා කරමු," ජෝර්ජීවා මහත්මිය CBS ප්රවෘත්ති වැඩසටහනකට එක්වෙමින් පැවසුවාය.
"අවපාතයේ නොමැති රටවල් පවා, මිලියන සිය ගණනක් ජනයාට එය අවපාතයක් ලෙස හැඟෙනු ඇත," ඇය තවදුරටත් සඳහන් කළාය.
January, 2, 2023
Uber සෑම විටම උත්සාහ කරන්නේ ශ්රී ලාංකිකයන්ට තම සිහින සැබෑ කරගැනීමට අත්වැලක් වීමට ය. Uber සේවාවන් තුළින් ශ්රී ලාංකිකයන්ට ලැබෙන ප්රතිලාභ පිළිබඳ සවිස්තර සමීක්ෂණ වාර්තාවක් මෑතකදී “The Impact of Uber in Sri Lanka” යන නමින් පළ විය. මෙම සමීක්ෂණය සිදුකරන ලද්දේ එක්සත් රාජධානියේ ස්වාධීන සමීක්ෂණ ආයතනයක් වන ‘Public First UK’ විසිනි.
කුඩා පරිමාණ ව්යාපාර වලට ලැබෙන අත්වැල - ශ්රී ලාංකිකයන් බොහෝ දෙනෙකුට Uber සේවාවන් හරහා, තමන්ට එතෙක් ගනුදෙනු කළ නොහැකි වූ ආපනශාලා සහ අලෙවිසැල් රාශියක් සමග ගනුදෙනු කිරීමට අවස්ථාව ලැබිණි. මෙය ශ්රී ලංකාවේ සුළු පරිමාණ ව්යාපාර වලට රුපියල් බිලියන 2.1 ක පමණ අමතර අදායමක් මෙන්ම, සමස්තයක් ලෙස ශ්රී ලංකාවේ ආර්ථිකයට රු. බිලියන 51 ක දායකත්වයක් ලබාදුන් පියවරක් විය.
රියදුරන්ගේ සහ ඩිලිවරි සේවා හවුල්කරුවන්ගේ ඇගයීමට ලක්වූ නම්යශීලීත්වය - ඉහත සඳහන් වාර්තාවේ පැහැදිලිව දක්වා ඇති ආකාරයට, බොහෝ දෙනෙකු Uber සේවාවන් සමග අත්වැල් බැඳගැනීමට ප්රධානතම හේතුවක් වී ඇත්තේ එහි ඇති නම්යශීලීත්වයයි. ජීවනෝපාය මාර්ග වලදී කාලය සම්බන්ධ නම්යශීලීත්වය තමන්ට බෙහෙවින් වැදගත් බව 35% ක ප්රතිශතයක් පවසා ඇත. Uber 2021 වසරේදී සිදුකළ ගණනයන්ට අනුව, මෙම ඉහළ නම්යශීලීත්වය රියදුරන්ට සහ සේවා හවුල්කරුවන්ට ගෙනෙන වටිනාකම රු. බිලියන 1.2 ක් වූ අතර, Uber සමග එක්වීමේ සෘජු ප්රතිඵලයක් ලෙස වර්ෂයකදී ඔවුන් ලැබූ අමතර ආදායම රු. මිලියන 775 කි. මෙය ඔවුන්ට ඇති මීළඟ හොඳම විකල්පයට සාපේක්ෂව දළ වශයෙන් 27% ක් ඉහළ අගයක් වේ.
රියදුරන්ගේ සහ ඩිලිවරි සේවා හවුල්කරුවන්ගේ තෘප්තිමත් බව - Uber සමග රාජකාරි කිරීමේදී ලබන අත්දැකීම සම්බන්ධයෙන් තමන් සම්පූර්ණයෙන්ම තෘප්තිමත් බව 61% ක ප්රතිශතයක් පවසා ඇත. 17% ක් පමණක් තමන් වෙනත් අර්ධකාලීන රැකියාවක් සොයමින් සිටින බව පවසා ඇති අතර, Uber නිසා තමන්ගේම ව්යාපාරයක් ආරම්භ කිරීමට හෝ ස්වයං රැකියාවක යෙදීමට අදහසක් තමන් තුළ ඇති වූ බව 30% ක් පවසා තිබේ.
අපේක්ෂාවන් ඉටුකර ගැනීමට ලැබෙන අත්වැල - මේ ආකාරයට දිනපතාම හවුල්කරුවන්ට ලබාදෙන ආර්ථික අවස්ථාවන්ට අමතරව, රාජකාරි සීමාවෙන් ඔබ්බට යමින් ඔවුන් වෙනුවෙන් තවත් බොහෝ දේ ඉටුකිරීමට Uber පියවර ගෙන ඇත. ශ්රී ලංකාවේ වසර 4 ක සේවා කාලයක් සම්පූර්ණ කරමින් Uber තම ඩිලිවරි සේවා හවුල්කරුවන් සහ ඔවුන්ගේ පවුල් වල යහපත වෙනුවෙන් ලබා දී ඇති දායකත්වය රු. මිලියන 3 ඉක්මවයි.
මේ වනවිට දෙවැනි අදියරටත් ක්රියාත්මක වන ‘Uber Delivery Scholar’ වැඩසටහන Uber ප්රජා සත්කාර අතර එක් ප්රධානතම වැඩසටහනි. ඩිලිවරි සේවා හවුල්කරුවන්ට සහ ඔවුන්ගේ දරුවන්ට අධ්යාපනික ඉලක්ක ළඟා කරගැනීමට අත්වැලක් වීමේ අරමුණින් මෙය ක්රියාත්මක වේ. Uber Delivery Scholar යටතේ ශිෂ්යත්ව මෙන්ම, දරුවන් වෙනුවෙන් වසරක කාලයක් සඳහා පාසල් ලිපිද්රව්ය ලබාදීම වැනි පරිත්යාගයන්ද සිදුකෙරෙන අතර ඊට අමතරව, නිසි සුදුසුකම් සපුරා ඇති පුද්ගලයන්ට ‘National Institute of Business Management’ (NIBM) හිදී සහතිකපත් පාඨමාලා හැදෑරීම සඳහා රු, 40,000 ක් වටිනා ශිෂ්යත්ව ප්රදානය කිරීමද සිදුකෙරේ.
සන්තෝසම් මුදල් වලින් ලැබෙන සවිය - ඔබ ලබාදෙන කුඩා සන්තෝසම් මුදල Uber රියදුරන්ට හා හවුල්කරුවන්ට කෙතරම් වැදගත්ද කියා ඔබ දන්නවාද? ඔබ ලබාදෙන සන්තෝසම් මුදල් 100% ක්ම ඔවුන් වෙතටම ලබාදෙන අතර, එය ඔවුන්ගේ සිහින සැබෑ කිරීමට සුළු හෝ අත්වැලක් විය හැකි බව මතක තබාගන්න. මෙවැනි යහපත් ක්රියාවන් තුළින් අපට එකම ශ්රී ලංකාවක් ලෙස එක්ව නැගී සිටීමට හැකිවනු ඇත.
January, 2, 2023
Hatch ආයතනය, Draper Startup House සමඟ එක් ව ගෝලීය රූපවාහිනී වැඩසටහනක් වන 'Meet the Drapers' ශ්රී ලංකාවට ගෙන ඒමට කටයුතු කර ඇත. ඔබ තාක්ෂණයේ මීළඟ පියවර වෙත ළඟා වීමට අදහස් කරන්නේ නම්, මෙම සුවිශේෂී අවස්ථාව අතපසු නොකරන ලෙස සිහිපත් කරන අතර, 2023 ජනවාරි 18 දිනය වන විට hello@meetthedrapers.com ඊ මේල් ලිපිනය වෙත ඔබගේ ඉල්ලුම් පත යොමු කරන්න.
මෙය දේශීය ව්යවසායකයින්ට ලොව පුරා සිටින මිලියන සංඛ්යාත ප්රේක්ෂකයින් ඉදිරියේ ඔවුන්ගේ ආරම්භක ව්යාපාරික සංකල්පය ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබා දෙන අතර, Silicon Valley ආයෝජකයෙකු වන Tim Draper වෙත සිය ව්යාපාරික අදහස ඉදිරිපත් කරමින්, ඇමරිකානු ඩොලර් මිලියනයක් දිනා ගැනීමේ අවස්ථාව ද ලබා දෙයි.
පසුගිය වසර ආරම්භයේ දී, Draper Startup House හි නිර්මාතෘ වික්රම් භාරතී මහතා, Hatch හි නිර්මාතෘ ජීවන් ඥානම් මහතා සහ බ්රින්දා සෙල්වදුරෙයි මහත්මිය හමු වී සාකච්ඡා කළ අතර, එහි දී වත්මන් අර්බුදකාරී තත්ත්වයෙන් මිදී නැවත නැඟී සිටීම සඳහා ශ්රී ලංකාවට ඇති දැවැන්ත හැකියාව පිළිබඳ ව විශ්වාසය පළ කෙරිණි. මෙරට වර්ධනය වන ව්යවසායකත්ව ක්ෂේත්රය නඟා සිටුවීම පවතින දුෂ්කරතා මඟ හරවා ගැනීම ප්රධානතම අවස්ථාව බව ද එහි දී ඉදිරිපත් වූ අදහස් අතර විය.
Hatch, ජාත්යන්තර වශයෙන් දක්නට ලැබෙන විවිධත්වය පිළිබිඹු කිරීම සඳහා නවෝත්පාදන සහ ව්යවසායකත්වය ප්රවර්ධනය කරන, තිරසාර මෙහෙවරක යෙදී සිටින ආයතනයකි. ආර්ථික සංවර්ධනය සඳහා ප්රධාන උත්ප්රේරකය ව්යවසායකයින් ය යන විශ්වාසය මත පදනම් ව කටයුතු කරන Hatch නවෝත්පාදනයන් සඳහා සහයෝගය ලබා දෙන අතර, පසුබිම කුමක් වුව ද ලෝකය වෙත අර්ථවත් බලපෑමක් ඇති කිරීමට සෑම කෙනෙකුට ම අවස්ථාව ලබා දිය යුතු ය යන අරමුණ පෙරදැරි ව එම සමාගම ක්රියාත්මක වේ. ප්රාග්ධනය, පුහුණු මෙවලම්, උපදේශනය, වෙළෙඳපොළ ප්රවේශය, වර්ග අඩි 60,000 ක සම්මානලාභී සම-වැඩ අවකාශයක් සහ සම්මිශ්රිත ප්රජා නිර්මාණ ආකෘතියක් හිමි Hatch, Incubator සහ Accelerator වැනි වැඩසටහන් මගින් නව ව්යාපාර ආරම්භ කිරීම සඳහා සහය දක්වයි. ආරම්භක ව්යාපාර 28 කට සහයෝගය ලබා දෙමින් ඇරඹුණු Hatch ආරම්භ වී වසර 4ක් තුළ ආරම්භක ව්යාපාර 500 කට අධික සංඛ්යාවකට සහාය ලබා දීමට කටයුතු කර ඇත. මේ අතරින් 37% ක පුර්ව ලියාපදිංචිය තක්සේරු කර ආරම්භක වැඩපිළිවෙළ වේගවත් කර ඇති අතර, එම ව්යාපාර අතරින් 33% ක් කාන්තාවන් විසින් මෙහෙයවන හෝ කාන්තාවන් ඉලක්ක කරගත් ව්යාපාර වීම විශේෂිත ය.
December, 29, 2022
37 වැනි වරටත් පැවති වෙළඳ සේවා මළල ක්රීඩා තරගාවලිය පසුගියදා සාර්ථක ලෙස අවසන් වූ අතර, එහිදී SLT-MOBITEL මළල ක්රීඩා කණ්ඩායම අඛණ්ඩව 4 වැනි වරටත් එහි අනුශූරතාව දිනාගැනීමට සමත් විය. මෙම කණ්ඩායමට දිවයින පුරා SLT-MOBITEL කාර්යාලවල සාමාජික සාමාජිකාවෝ ඇතුළත් වූහ.
2022 නොවැම්බර් 5 සහ 6 දෙදින තුළ කොළඹ සුගතදාස ක්රීඩා පිටියේදී පැවති මෙම තරගාවලියට සමාගම් හා ආයතන 50 කට අධික සංඛ්යාවක් නියෝජනය කරමින් ක්රීඩක ක්රීඩිකාවන් සංඛ්යාව 2,000 කට අධික පිරිසක් සහභාගී වූහ. මෙම තරගාවලිය මෙවර පැවැත්වුණේ වසර දෙකකට පසුව වීම විශේෂත්වයකි.
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වශයෙන්, ශ්රී ලංකාවේ සමාගම් හා ආයතනවල මළල ක්රීඩක ක්රීඩිකාවන්ට තම කුසලතා වැඩිදියුණු කරගැනීමට අවස්ථාවක් ලබාදීමේ අරමුණින් SLT-MOBITEL මෙම තරගාවලියේ ප්රධාන අනුග්රාහකයා ලෙස කටයුතු කළේ ය. මේ ආකාරයට ක්රීඩා උත්සව, ක්රීඩා සංගම්, ක්රීඩා කණ්ඩායම් සහ ක්රීඩක ක්රීඩිකාවන් සඳහා අනුග්රාහකත්වයන් පිරිනමමින්, රටේ ක්රීඩා ක්ෂේත්රය නංවාලීම සඳහා SLT-MOBITEL නිරන්තරයෙන් දායක වෙයි.
එමෙන්ම නිරෝගී බව, මහත්මා ගතිගුණ සහ කණ්ඩායම් හැඟීම ආදිය ප්රවර්ධනය කිරීම සඳහා ක්රීඩාවන් තුළින් ඉටුවන කාර්යභාරය මැනවින් වටහා ගනිමින්, විවිධ ක්රීඩා ඉසව් වලට සහභාගී වීමට තම කාර්ය මණ්ඩලය දිරිමත් කිරීමටද SLT-MOBITEL නිරන්තරයෙන් පියවර ගනී.

December, 29, 2022
ඊයේ (28) දින පවත්වන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී සියලු පරිණත කාලවල බර තබන ලද සාමාන්ය ඵලදා අනුපාතිකයන් පදනම් අංක 3 බැගින් පහළ ගොස් තිබේ.
ඒ අනුව දින 91 බිල්පත් පොලිය 32.67% සිට 32.64% දක්වා පහළ ගොස් ඇති අතර දින 182 බිල් පත් පොලිය 32.23% සිට 32.20% ක් දක්වා පහළ ගොස් තිබේ.
මේ අතර දින 364 බිල්පත් පොලි්ය ද 29.30% සිට 29.27% ක් දක්වා අඩු වී ඇත.
මෙම වෙන්දේසිය සඳහා රු. මිලියන 98,000 ක බිල්පත් ප්රමාණයක් ඉදිරිපත් කර තිබුණු අතර රු. මිලියන 171,632 ක ලංසු ප්රමාණයක් ඊට ලැබී තිබුණි.
ඒ අතුරින් නිකුත් කළ ප්රමාණයටම සමපාත වන අයුරින් රු. බිලියන 98,000 ක ලංසු පිළිගැනීමට ශ්රී ලංකා මහ බැංකුවේ රාජ්ය ණය දෙපාර්ත්මේන්තුව කටයුතු කරන ලදී.

December, 29, 2022
හෘදයාබාධ හේතුවෙන් සිදුවන හදිසි මරණ ශ්රී ලංකාවේ මරණවලට ප්රධානතම හේතුවකි. එහෙත් ඉක්මනින් CPR ප්රතිකර්මය සිදුකිරීම සහ හෘදයාබාධයක් ඇති වූ වහාම Defibrillator යන්ත්රයක් මගින් හදවතට විදුලි කම්පනයක් ලබා දීම මගින් අදාළ රෝගියාගේ ජීවිතය බේරාගැනීමට 50% ත් 70% ත් අතර අවස්ථාවක් හිමි වේ. Automated External Defibrillator (AED) යනු හදිසි අවස්ථාවකට මුහුණ දී සිටින රෝගියෙකුට විදුලි කම්පනයක් ලබාදීම සඳහා, සෞඛ්ය සේවා පුහුණුවක් ලබා නොමැති අයෙකුට වුවද භාවිතා කළ හැකි ආකාරයට නිර්මාණය කළ යන්ත්රයකි. සම්පූර්ණයෙන්ම ස්වයංක්රීය යන්ත්රයක් වන මෙය හඬ විධාන ලබා දෙන අතර, මූලික පුහුණුවක් ඇති ඕනෑම කෙනෙකුට එය ක්රියාත්මක කළ හැකි වේ.
කටුනායක ගුවන්තොටුපළ යනු වසරකට මගීන් මිලියන 1.5 ක් පමණ භාවිතා කරන ස්ථානයකි. එම නිසා, ශ්රී ලංකා නිර්වින්දන වෛද්ය විද්යාලයේ ඉල්ලීම පරිදි, කටුනායක ගුවන් තොටුපළට AED යන්ත්රයක් පරිත්යාග කිරීමට Hemas Surgicals & Diagnostics (පුද්.) සමාගම කටයුතු කළේ ය.
මෙම යන්ත්රය නිල වශයෙන් භාරදීමේ උත්සවය කටුනායක ගුවන් තොටුපළේ Silk Route Lounge හිදී පැවැත්විණි. මෙම අවස්ථාවට ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජෙනරාල් (විශ්රාමික) ජී. ඒ. චන්ද්රසිරි, Hemas Surgicals and Diagnostics සමාගමේ කළමනාකාර අධ්යක්ෂ ජූඩ් ප්රනාන්දු, සෞඛ්ය සේවා නියෝජ්ය අධ්යක්ෂ ජෙනරාල් වෛද්ය එස්. ශ්රීධරන්, ලංකා නිර්වින්දන වෛද්ය සහ දැඩි සත්කාර සේවා වෛද්ය විද්යාලයේ සභාපති වෛද්ය අනෝමා පෙරේරා සහ National Resuscitation Council හි සභාපති වෛද්ය නිල්මිණි විජේසිරි සහ යන මහත්ම මහත්මීහු එක්වූහ.
CPR සහ AED පිළිබඳ මූලික පුහුණුවක් ලබා ඇති ඕනෑම කෙනෙකුට Nihon Kohden AED යන්ත්රය භාවිතා කළ හැකි වේ. යන්ත්රයේ පෑඩ් 2 ක් ඇති අතර ඒවා රෝගියාගේ පපුවේ ඇලවූ පසු ECG රිද්මය විශ්ලේෂණය කර ක්රියාකරු අනුගමනය කළ යුතු පියවර සම්බන්ධයෙන් හඬ විධාන ලබා දෙයි. කම්පන ප්රතිකාරයක් අවශ්ය නම්, යන්ත්රය අදාළ විධානය නිකුත් කර තත්පර කිහිපයක් ඇතුළත ආරෝපණය වී රෝගියාගේ හදවතට කම්පනය ලබා දෙන අතර, යන්ත්රයෙන් ලැබෙන විධාන රෝගියාගේ ECG විශ්ලේෂණය මත පදනම් වන බැවින් දෝෂයක් ඇතිවීමේ ඉඩක් නොමැත.
“කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපළෙන් මසකට සාමාන්යයෙන් හෘදයාබාධ සිදුවීම් දෙකක් පමණ වාර්තා වෙනවා. ඒ නිසා ජපානයේ Nihon Kohden Corporation විසින් නිෂ්පාදනය කරන ලද AED යන්ත්රයක් වැනි දියුණු ප්රතිකර්ම ක්රමවේදයක් එහි තිබීම අතිශයින් වැදගත්. මෙමගින් එවැනි සිදුවීම් වලදී ඉතාමත් ඉක්මනින් අවශ්ය පියවර ගැනීමට හැකියාව ලැබෙනවා. එමෙන්ම බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපළ මගීන්ට හිතකර ගුවන් තොටුපළක් ලෙස අත්කරගෙන ඇති කීර්තිනාමය තවදුරටත් වර්ධනය කරවීමටත් එය හේතු වේවි.” Hemas Surgicals and Diagnostics සමාගමේ කළමනාකාර අධ්යක්ෂ ජූඩ් ප්රනාන්දු මහතා පැවසී ය.
මෙම පරිත්යාගයට සමගාමීව ලංකා නිර්වින්දන වෛද්ය විද්යාලයේ වෛද්යවරුන් විසින් යන්ත්රය භාවිතා කිරීම සම්බන්ධ පැහැදිලි කිරීමක්ද සිදුකරන ලදි. එම විද්යාලය 2022 ඔක්තෝබර් මාසයේ ලෝක හදවත් නැවත පණගැන්වීමේ දිනයේ (World ‘Re-start a Heart’ day) සිටම CPR ප්රතිකර්මය ලබාදීම සහ AED යන්ත්ර භාවිතය සම්බන්ධයෙන් ජනතාව වෙනුවෙන් පුහුණු සැසි සංවිධානය කරයි. ගුවන් තොටුපළේදී මගියෙකුට හෘදයාබාධයක් ඇති වූ අවස්ථාවකදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ගුවන් තොටුපළේ කාර්ය මණ්ඩලයටද ඉදිරියේදී එවැනි පුහුණුවක් ලබාදෙනු ඇත.
Nihon Kohden Corporation යනු ජීවිත බේරාගැනීමට උපකාරී වන සෞඛ්ය සේවා උපකරණ නිෂ්පාදනය සම්බන්ධ ලොව ප්රමුඛතම සමාගමකි. එම සමාගමේ නිෂ්පාදන සඳහා මෙරට එකම නියෝජිතයා ලෙස කටයුතු කරන්නේ Hemas Surgicals & Diagnostics (පුද්.) සමාගමයි.

නිර්වින්දන වෛද්ය විද්යාලයේ වෛද්යවරුන්, AED යන්ත්රය භාවිත කරන ආකාරය පිළිබඳව ඉදිරිපත් කිරීමක් සිදුකළ අයුරු
ඡායාරූපය: Hemas Surgicals & Diagnostics (පුද්.) සමාගමේ කළමනාකාර අධ්යක්ෂ ජූඩ් ප්රනාන්දු මහතා, ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජෙනරාල් (විශ්රාමික) ජී. ඒ. චන්ද්රසිරි මහතා වෙත AED යන්ත්රය නිල වශයෙන් භාරදුන් අවස්ථාව
December, 28, 2022
අඹේවෙල ගොවිපොල සමීපයේ අතහැර දමා ඇති අක්කර 30ක භූමි භාගය වහාම අඹේවෙල ගොවිපොලට ලබා දී එය සංවර්ධනය කිරීමට අවශ්ය පහසුකම් සපයන ලෙසත්, එය තෘණ වගා භූමියක් ලෙස පවත්වා ගනිමින් කිරි ගවයන්ගේ ආහාර අවශ්යතාව සැපයීමේ පද්ධතියට එක්කරන ලෙසත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා නුවරඑළිය දිස්ත්රික් ලේකම්වරයාට සහ කොමසාරිස්වරියට උපදෙස් දුන්නේය.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙම උපදෙස් ලබා දුන්නේ අඹේවෙල ගොවිපොල සමූහයට අයත් යුනයිටඩ් ඩෙයරීස් ලංකා ලිමිටඩ් අඹේවෙල නව ඒකකයේ ඊයේ (27) නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.
අඹේවෙල ගොවිපොළ කිරි නිෂ්පාදන ක්ෂේත්රයේ ලබා ඇති ක්රමික වර්ධනය අගය කළ ජනාධිපතිවරයා එය අනෙකුත් ගොවිපොළවලට ආදර්ශයක් බව ද පැවසීය. මෙරට විශ්වවිද්යාල සිසුන්ගේ පර්යේෂණ කටයුතු සහ අත්දැකීම් සඳහා මෙම ගොවිපොළ විවෘත කර ඊට අවශ්ය පසුබිම සකසා දෙන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දෙනු ලැබීය.
අඹේවෙල ගොවිපොළ කිරි නිෂ්පාදන සහ ගොවිපල තාක්ෂණයේ ඉහළම තාක්ෂණික භාවිතයක් සහිත ලංකාවේ සහ දකුණු ආසියාවේ ප්රධානතම මධ්යස්ථානය බව අඹේවෙල ගොවිපොල සමූහයේ සාමාන්යාධිකාරී සරත් බණ්ඩාර මහතා පැවසීය.
යුනයිටඩ් ඩෙයරීස් ලංකා ලිමිටඩ් අඹේවෙල නව ආයතනයේ මේ වන විට කිරි ගවයන් 1000ක් පමණ සිටින අතර දෛනිකව කිරි ලබා ගැනීම සිදු කෙරේ. එසේම දිනකට අවස්ථා 03කදී මෙම ගවයින්ගෙන් කිරි ලබා ගන්නා අතර මෙම ස්ථානය සහ අඹේවෙල සමස්ත පද්ධතියෙන් මෙරට කිරි අවශ්යතාවයෙන් දියර කිරි ලීටර් 40,000ක් වෙළෙඳපොළට නිකුත් කෙරේ. එම කිරි ගවයන් නඩත්තු කිරීම , අවශ්ය ආහාර පාන ලබා දීම, බර කිරීම , රෝගී තත්ත්වයන් හඳුනා ගැනීම සහ එවන් හඳුනා ගැනීමකදී ගවයින් වෙන් කිරීම ආදී සියලු කටයුතු ස්වයංක්රීය ක්රමවේදයකට අනුව යන්ත්රානුසාරයෙන් සිදු කෙරේ.
අඹේවෙල ගොවිපොළ පද්ධතියේ ගවයන් 4500ක් මේ වන විට පෝෂණය ලබයි. 2001 වසරේ අඹේවෙල සමූහය ආරම්භ කිරීමට පෙර, මෙය රජය සතුව පවතිද්දී දිනකට සපයා ගෙන ඇත්තේ කිරි ලීටර් 1500 ක් පමණි.
අද වන විට කිරි ගවයින් සඳහා වන හොඳම ප්රභේද ලංකාවේම නිර්මාණය කිරීමට අඹේවෙල පද්ධතිය පසුගිය වසර 15ක කාලය තුළ සමත්ව ඇත. ඒ අනුව මෙම කිසිඳු කිරි ගවයෙකු විදේශයෙන් ආනයනය නොකරන අතර කිරි ගවයන් බිහි කිරීම සඳහා ලෝකයේ දැනට ඇති අති නවීනතම තාක්ෂණය භාවිතයෙන් දැනට ලෝකයේ සිටින ඉහළම පිරිමි ගවයින්ගේ ශුක්රාණු ආනයනය කරමින් ජාන තාක්ෂණය ද භාවිතයෙන් මෙරටට ගැළපෙන ගවයින් බිහි කිරීම ද ආයතනික ක්රියාවලියේම කොටසක් බවට පත්කරගෙන තිබේ.
එමෙන්ම කිරි ගවයින්ට අවශ්ය ආහාර ලබා දීමේදී වක්ර රැකියා දහසක් පමණ මෙම ගොවිපොල ආශ්රිතව නිර්මාණය වී ඇත. බඩඉරිඟු ගොවීන්ගේ සම්පූර්ණ අස්වැන්න අඹේවෙල ගොවිපළට ලබා ගැනීමේ යාන්ත්රණයක් ද මේ වන විටත් ක්රියාත්මකය. ඒ අනුව වසරකට බඩඉරුඟු ගස් මෙට්රික් ටොන් 25,000ක් පමණ එකතු කර ගබඩා කිරීමේ පහසුකම් ද අඹේවෙල ගොවිපොළ පද්ධතිය සතුය.
අඹේවෙල ගොවිපොළට යාබදව දැනට භාවිතයට නොගන්නා, තෘණ වගා කළ හැකි බවට හඳුනා ගත් අක්කර 30ක පමණ භූමි භාගය ද මෙහිදි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ නිරීක්ෂණයට ලක් විය.
December, 28, 2022
බැංකොක් හි සියම් පැරගන් හි පිහිටි රාජකීය පැරගන් ශාලාවේ පැවති “3 වැනි ජාත්යන්තර තායි සේද විලාසිතා සතිය” සඳහා සහභාගී වූ බුද්ධි බැටික්ස් හි නිර්මාණ අධ්යක්ෂ දර්ශි කීර්තිසේන මහත්මියගේ සහභාගීත්වය, බැංකොක් හි ශ්රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්ය දූත මණ්ඩලය විසින් සම්බන්ධීකරණය කරන ලදී. ශ්රීලන්කන් ගුවන් සමාගම, ශ්රී ලංකාව නියෝජනය කිරීම සඳහා දායකත්වය සැපයූ අනුග්රාහකයන් අතරින් එක් අනුග්රාහකයකු වේ.
තායිලන්තයේ විශාලතම විලාසිතා උළෙල වන “3 වැනි ජාත්යන්තර තායි සේද විලාසිතා සතිය”, මව් රැජින වන සිරිකිත් මැතිනියගේ 90 වැනි ජන්ම දිනය නිමිත්තෙන් තායිලන්තයේ නිත්ය ලේකම් කාර්යාලය, අග්රාමාත්ය කාර්යාලය සහ තායි සංස්කෘතික හා ප්රවර්ධන සංගමයේ සම සත්කාරකත්වයෙන් සංවිධානය කරන ලදී.
විලාසිතා දැක්ම ආරම්භ කළ නියෝජ්ය අග්රාමාත්ය මහාචාර්ය විසානු කෘවාන්ගම් මහතා, සිරිකිත් මව් රැජින සුවිශේෂී උරුමයක් ලෙස සලකන තායි සේද ඇතුළත් තායි සේද විලාසිතා දැක්ම ඔස්සේ හරස් සංස්කෘතික හුවමාරු ප්රවර්ධනය කිරීමට සහ අනෙකුත් රටවල් සමඟ බහුපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කිරීමට අවස්ථාවක් උදා වන බව අග්රාමාත්ය ප්රයුත් චාන්-ඕ-චා මැතිතුමා සහ එතුමාගේ රජය විශ්වාස කරන බව සඳහන් කළේ ය.
රටවල් 60 ක විලාසිතා නිර්මාණකරුවන් තායි සේදවලින් සාදන ලද සාම්ප්රදායික සහ සමකාලීන ඇඳුම් මෙම විලාසිතා දැක්ම අතරතුර ප්රදර්ශනය කළ අතර එය "Fashion TV" නාලිකාව ඔස්සේ සජීවීව විකාශනය කෙරිණි. ජිමී චූ, රොකෝ බැරෝකෝ සහ ඩන්හා කිම් වැනි කීර්තිමත් විලාසිතා නිර්මාණ ශිල්පීහු මෙම අවස්ථාවට සහභාගී වූ පිරිසට ඇතුළත් වූහ. ඔවුන්ගෙන් ඇතැම් දෙනෙකු විනිශ්චය මණ්ඩලයට එක් වූ අතර, විලාසිතා ක්ෂේත්රය පිළිබඳව හදාරන සිසුන් සමඟ ද සිය අදහස් හුවමාරු කර ගත්හ.
“3 වැනි ජාත්යන්තර තායි සේද විලාසිතා සතිය” සංවිධානය කළ සංවිධායක කමිටුවට බැංකොක් හි පිහිටි දූත මණ්ඩලවල ප්රධානීන්, ඔවුන්ගේ භාර්යාවන්/ස්වාමිපුරුෂයන් සහ තායිලන්තයේ ශ්රී ලංකා තානාපති චාමින්දා කොළොන්නේ මහත්මියගේ ස්වාමි පුරුෂයා වන ස්ටීවන් සේනානායක මහතා ඇතුළත් විය.

රාජ්යතාන්ත්රික ප්රජාවේ සාමාජිකයන්, දේශීය හා විදේශීය මාධ්ය, ජාත්යන්තර නිර්මාණ ආයතන, සුඛෝපභෝගී සන්නාමවල නියෝජිතයන්, විලාසිතා නිර්මාණකරුවන්, වෙළඳුන් සහ සංචාරක නියෝජිතයන් ඇතුළුව අවම වශයෙන් නරඹන්නන් 10,000 ක පමණ පිරිසක් මෙම අවස්ථාව සඳහා දෛනිකව සහභාගී වූහ.
Video Story