• Ada Derana BIZ Sinhala
  • ADB
  • AIIB
  • IMF
  • sri lanka
  • WB

ශ්‍රී ලංකාවට බහුපාර්ශ්වික මූල්‍ය ආයතනවල සහාය ඇති සම්බන්ධීකරණ ආධාර වැඩසටහනක් අවශ්‍යයි – ජාත්‍යන්තර මූල්‍ය ආයතන ප්‍රධානීහු තීරණය කරති

December, 6, 2022

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ශ්‍රී ලංකාවට බහුපාර්ශ්වික මූල්‍ය ආයතනවල සහාය ඇති සම්බන්ධීකරණ ආධාර වැඩසටහනක් අවශ්‍ය බව ලෝක බැංකුව (WB), ආසියානු සංවර්ධන බැංකුව (ADB), ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (AIIB) නියෝජිතයින් තීරණය කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අද (06) කොළඹදී පැවති දීර්ඝ වට මේස සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණයට එළැඹිණි.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් “ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සහ වර්ධනය කිරීම ඇතුළත් දීර්ඝකාලීන සංවර්ධන දැක්ම” සම්බන්ධ ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩසටහන මෙහිදී ඉදිරිපත් කරනු ලැබීය.

ලෝක බැංකුවේ උප සභාපති මාර්ටින් රයිසර් (Martin Raiser), ආසියානු සංවර්ධන බැංකුවේ උප සභාපති ෂික්සින් චෙන් (Shixin Chen), ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් (Peter Breuer), ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ ආචාර්ය උර්ජිත් පටෙල් (Dr. Urjit Patel) යන මහත්වරු සමග පැවති මෙම සාකච්ඡාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ජනාධිපති උපදේශක දිනේෂ් වීරක්කොඩි, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

  • Ada Derana BIZ Sinhala
  • ADB
  • HNB
  • SMELoC
  • sri lanka

ADB SMELoC හදිසි ප‍්‍රතිචාර යෝජනා ක‍්‍රමය හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට HNB වෙතින් කාරක ප‍්‍රාග්ධන ණය පහසුකම්

November, 9, 2022

ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා දියත් කෙරුණු (SMELoC) හදිසි ප‍්‍රතිචාර කාරක ප‍්‍රාග්ධන සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 13.5 ක මුදලක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ලබා දීමට හවුල්කාර මූල්‍ය ආයතනයක් ලෙස ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව තෝරා ගෙන ඇත.

කාරක ප‍්‍රාග්ධන ණය පහසුකම් සමඟින් දැනට පවතින ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ශ‍්‍රී ලංකාවේ ක්ෂුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහාය දැක්වීම සහ ශක්තිමත් කිරීම මෙම ADB ණය යෝජනා ක‍්‍රමයේ අරමුණයි. එහිදී කෘෂිකර්මාන්තය, සංචාරක සහ අපනයන ක්ෂේත‍්‍ර කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනු ඇත.

මෙම අරමුණ කරා ළඟා වීමට කටයුතු කිරීම සඳහා හැටන් නැෂල් බැංකුව විසින් සිය පුළුල් ශාඛා ජාලය හරහා සුදුසුකම් ලත් තෝරා ගනු ලැබූ ව්‍යාපාරවලට මෙම අරමුදල් බෙදා දීමට අපේක්ෂා කරයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB ප‍්‍රතිමූල්‍යකරණය සහ විශේෂ ණය අංශ ප‍්‍රධානී බණ්ඩාර රැකෝගම මහතා පැවසුවේ ‘‘ආසියානු සංවර්ධන බැංකුව දියත් කරනු ලබන මෙම වැදගත් ව්‍යාපෘතියේ කොටස්කරුවකු වීමට ලැබීම ගැන අප සතුටු වෙනවා. රට වර්තමානයේ මුහුණ දෙන අභියෝගාත්මක තත්වයේදී පවා ශ්‍රී ලංකා ආර්ථිකයේ කොඳුනාරටිය ලෙස සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් අඛණ්ඩව කටයුතු කරනවා. අප බැංකුවේ සිටින දීප ව්‍යාප්ත ීඵෑ ණය සම්බන්ධතා නිලධාරීන්ගේ ජාලයේ ශක්තිය හා පරිමාණයත්, ADB සමඟ ඇති අපගේ දිගුකාලීන සබඳතාවත් සැලකිල්ලට ගනිමින්, මෙම ක්ෂේත‍්‍රය නැවත නගා සිටුවීමට උපකාර කිරීමට අප බැංකුව හොඳින් සූදානමින් සිටින බව අපගේ විශ්වාසයයි. කාරක ප‍්‍රාග්ධන අවශ්‍යතාවන් සපුරා ගැනීමේදී අභියෝගවලට මුහුණ දෙන සියලූම සුදුසුකම් ලත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට මෙම අගනා අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගන්නා ලෙස අප ඉල්ලා සිටිනවා.’’ යනුවෙනි.

රුපියල් මිලියන 750 ක වාර්ෂික පිරිවැටුමක් නොඉක්ම වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට වසර තුනක ආපසු ගෙවීමේ කාල සීමාවක් සමඟින් රුපියල් මිලියන 10 ක උපරිම කාරක ප‍්‍රාග්ධන ණය පහසුකමක් ලබා ගැනීමට අවස්ථාව හිමි වේ. තවද මෙම යෝජනා ක‍්‍රමය යටතේ ලබා දෙන සියලූම ණය පහසුකම් වැටුප්, කාර්යාලීය වියදම් සහ අමුද්‍රව්‍ය මිලදී ගැනීම වැනි පුනරාවර්තන වියදම් ඇතුළුව කාරක ප‍්‍රාග්ධන අවශ්‍යතා සඳහා යොදා ගැනීමට මෙමගින් අවස්ථාව හිමි වේ. එපමණක් නොව, මෙම ණය පහසුකම සඳහා HNB විසින් 11.77 ක ආකර්ෂණීය වාර්ෂික පොලී අනුපාතයක් ලබා දෙන අතර එය වර්තමාන වෙළෙඳපල අනුපාතවලට වඩා සැලකිය යුතු ලෙස අඩු අගයක් ගනී.

 

  • Ada Derana BIZ Sinhala
  • ADB
  • ComBank
  • Leading Partner Bank in SL
  • sri lanka

වෙළෙඳ සහ සැපයුම්දාම මූල්‍යනය සඳහා ADB හි ‘ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම හවුල්කාර බැංකුව’ ලෙස කොමර්ෂල් බැංකුව බුහුමන් ලබයි

November, 2, 2022

ආසියානු පැසිෆික් කළාපයේ වෙළෙඳ කටයුතු සඳහා සහාය වන බැංකු ඇගයීමට ලක් කරන ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) වෙළෙඳ හා සැපයුම්දාම මූල්‍ය වැඩසටහනේ (TSCFP) සම්මාන උළෙලේදී පිට පිටම දෙවන වතාවට 2022 වසරේ ‘ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම හවුල්කාර බැංකුව’ ලෙස කොමර්ෂල් බැංකුව ඇගයීමට ලක් විය.

2021 ජූලි 01 වැනිදා සිට 2022 ජුනි 30 වැනිදා දක්වා කාලය තුල ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව වෙළෙඳ හා සැපයුම්දාම මූල්‍ය ක්ෂේත‍්‍රයේ වැඩිම ගනුදෙනු සංඛ්‍යාවක් සිදුකිරීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව වෙත මෙම සම්මානය පිරිනැමිණි.

පසුගියදා සිංගප්පූරුවේ පැවති ආසියානු සංවර්ධන බැංකුවේ වෙළෙඳ හා සැපයුම්දාම මූල්‍ය වැඩසටහනේ සම්මාන ප‍්‍රදානෝත්සවයේදී අංශ 10 ක් යටතේ සම්මානයට පාත‍්‍රකළ බැංකු 25 අතරට කොමර්ෂල් බැංකුවද අයත්වීම කැපී පෙනේ.

මෙම ගෞරවණීය සම්මානය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී, එස්. ප‍්‍රභාගර් මහතා මෙසේ පැවසීය. ‘සමාජ සහ ආර්ථික සංවර්ධනය ප‍්‍රවර්ධනය කිරීම සඳහා ණය, තාක්ෂණික සහාය, මූල්‍ය ප‍්‍රදාන සහ කොටස් ආයෝජන සම්පාදකයෙකු ලෙස ආසියානු සංවර්ධන බැංකුව කොමර්ෂල් බැංකුවට අතිශයින් වැදගත් පාර්ශවකරුවෙක් වෙනවා. සමෘද්ධිය සහ මූල්‍ය සහාය ප‍්‍රවර්ධනය කිරීමට ආයතන දෙක කැපවී සිටිනවා. මේ නිසා, ආසියානු සංවර්ධන බැංකුවේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පාර්ශවකරුවා ලෙසින් කොමර්ෂල් බැංකුවට ලබාදුන් මෙම ගෞරවය අපි දිරියක් ලෙසින් සලකනවා.’

කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වන අතර මෙරට අපනයන වෙළෙඳාමෙන් 18% කට වැඩි කොටසට සහ ආනයන වෙළෙඳාමෙන් 10% කට අධික කොටසකට මූල්‍ය සේවා සපයන්නේ කොමර්ෂල් බැංකුවයි. බැංකුව ආයතනික ගනුදෙනුකරුවන් සමග පවත්වන ශක්තිමත් බැඳීම මෙම ජයග‍්‍රහණය ලබාගැනීමට විශාල දායකත්වයක් ලබාදෙන ලදී.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 940 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

සේයාරු සටහන - කොමර්ෂල් බැංකුවේ ආනයන අංශයේ ප‍්‍රධානී, ප‍්‍රසාද් ප‍්‍රනාන්දු මහතා (මැද) ආසියානු සංවර්ධන බැංකුව විසින් පිරිනැමූ 2022 වෙළෙඳ හා සැපයුම්දාම මූල්‍ය වැඩසටහනේ (TSCFP) සම්මානය සමග.