November, 29, 2022
ශ්රී ලංකාවේ යොවුන් පරපුරේ අනාගතය වඩාත් යහපත් කිරීමේ උත්සාහයේ තවත් පියවරක් වශයෙන්, මෙරට ප්රධානතම ඇඟලුම් නිෂ්පාදන සමූහ ව්යාපාරයක් වන බ්රැන්ඩික්ස් ඇපරල් සමාගම (Brandix Apparel Ltd.), උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්රතිඵල ලබාගත් තවත් සිසු සිසුවියන් පිරිසකට උසස් අධ්යාපන ශිෂ්යත්ව පිරිනැමීමට පසුගියදා කටයුතු කළේ ය. බ්රැන්ඩික්ස් ‘මනුසත්කාර’ ශිෂ්යත්ව වැඩසටහන යටතේ මෙය සිදුකරන ලදි.
දිවයිනේ විශ්ව විද්යාල 8 කට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ, ඒ සම්බන්ධ මූලික පාඨමාලාව සහ ඉංග්රීසි පුහුණු වැඩසටහන සාර්ථකව අවසන් කළ සිසු සිසුවියන් 18 දෙනෙකුට, පසුගියදා පැවති විශේෂ උත්සවකදී මෙම ශිෂ්යත්ව පිරිනැමීම සිදු විය.
වැලිසර බ්රැන්ඩික්ස් ‘ෆාස්ට් ෆැෂන් සෙන්ටර්’ හිදී පැවති මෙම උත්සවයට කොළඹ විශ්ව විද්යාලයේ උපකුලපති මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න, බ්රැන්ඩික්ස් සමූහ ව්යාපාරයේ ප්රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඔමාර් සහ සමූහ අධ්යක්ෂිකා නටාෂා බොරලැස්ස යන මහත්ම මහත්මීන් ප්රමුඛව බ්රැන්ඩික්ස් සමූහයේ ජ්යෙෂ්ඨ නිලධාරීන්, දෙමාපියන්, සිසු සිසුවියන් සහ ප්රජා නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්වූහ.
උසස් පෙළ විභාගයේදී විශිෂ්ටතම දක්ෂතා පෙන්නුම් කරන ශිෂ්ය ශිෂ්යාවන්ගේ පෞද්ගලික හා වෘත්තීය සංවර්ධනයට අත්වැලක් වීමේ අරමුණින් බ්රැන්ඩික්ස් විසින් මනුසත්කාර සරසවි ශිෂ්යත්ව වැඩසටහන ආරම්භ කරන ලදි.
තම සාමාජික සාමාජිකාවන්ගේ මෙන්ම සමස්තයක් ලෙස සියලුම ප්රජාවන්ගේත් පරිසරයේත් යහපත වෙනුවෙන් කටයුතු කිරීම බ්රැන්ඩික්ස් සමූහයේ අනිවාර්ය ගුණාංගයකි. 'පරිත්යාගය, අධ්යාපනය සහ සම්බන්ධවීම' යන මූලික අංශ යටතේ බ්රැන්ඩික්ස් සමූහය දශක දෙකහමාරකට අධික කාලයක් තිස්සේ සමාජ සත්කාර වැඩසටහන් ක්රියාවට නංවා තිබේ. මෙහි ‘අධ්යාපනය’ අංශය යටතේ, ශ්රී ලංකාව සහ ඉන්දියාව යන දෙරටේම ශිෂ්ය ශිෂ්යාවන් වෙනුවෙන් පාසල් වර්ෂයටම ප්රමාණවත් වන පරිදි පාසල් බෑග්, පොත්පත් සහ අනෙකුත් අත්යවශ්ය ද්රව්ය ප්රදානය කිරීමට බ්රැන්ඩික්ස් කටයුතු කර ඇති අතර, මේ දක්වා එමගින් සෙත සැලසී ඇති සිසු සිසුවියන් සංඛ්යාව 45,000 කට අධික ය. එමෙන්ම තම සාමාජික සාමාජිකාවන්ගේ දරුවන්ගේ අධ්යාපනය වෙනුවෙන් බ්රැන්ඩික්ස් සමූහය ශිෂ්යත්ව සිය ගණනක් ප්රදානය කර තිබේ.
මනුසත්කාර සරසවි ශිෂ්යත්ව වැඩසටහන යනු, බාධාවකින් තොර අධ්යාපනයක් සමගින් පුද්ගලයන්ට තම අනාගත අපේක්ෂාවන් යථාර්ථයක් බවට පත්කරගැනීමට අත්වැලක් වීම සඳහා බ්රැන්ඩික්ස් සමූහය දරන උත්සාහයේ තවත් ඉදිරි පියවරකි. එය එම සමූහයේ සමාජ සත්කාර සහ මානව සම්පත් ක්රමෝපායන්ගේ අනිවාර්ය අංගයක් වන අතර, එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක අතර 4 වන ඉලක්කය වන ‘ගුණාත්මක අධ්යාපනයක්’ යන්නට සමගාමී පියවරක්ද වේ.
දිවයිනේ දිස්ත්රික්ක 8 ක බ්රැන්ඩික්ස් ආදර්ශ ගම්මාන වල පිහිටි පාසල් වල අධ්යාපනය ලබා, උසස් පෙළ විභාගයේදී විශිෂ්ටතම දක්ෂතා පෙන්නුම් කළ ශිෂ්ය ශිෂ්යාවන් 18 දෙනෙකුට මෙවර බ්රැන්ඩික්ස් මනුසත්කාර විශ්ව විද්යාල ශිෂ්යත්ව හිමි විය. 2015 වසරේදී ආරම්භ වූ බ්රැන්ඩික්ස් ආදර්ශ ගම්මාන වැඩසටහන යටතේ, බ්රැන්ඩික්ස් කර්මාන්තශාලා වල සිට කිලෝමීටර් 15 ක් ඇතුළත වෙසෙන ජනතාවට සෙත සැලසේ. එම ප්රදේශ වල වෙසෙන ජනතාවගේ සහ ප්රජාවන්ගේ යහපැවැත්ම වෙනුවෙන් එම බ්රැන්ඩික්ස් කර්මාන්ත ශාලා සුවිශාල මෙහෙවරක් ඉටුකරයි.

November, 21, 2022
බ්රැන්ඩික්ස් ලංකා ලිමිටඩ් හි අනුබද්ධ සමාගමක් වන බ්රැන්ඩික්ස් කෝපරේට් කැම්පස් අධ්යාපන ආයතනය, සිය ප්රමුඛතම අධ්යයන පාඨමාලාව ලෙස ඇඟලුම් සහ රෙදිපිළි පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාවක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. මීට පෙරද බ්රැන්ඩික්ස් කෝපරේට් කැම්පස් විසින් ඇඟලුම් හා විලාසිතා පිළිබඳ පාඨමාලා කිහිපයක්ම හඳුන්වා දෙන ලද අතර, මෙම නව පාඨමාලාවද ශ්රී ලංකාවේ සහ ලෝකයේ වේගයෙන් දියුණු වෙමින් පවතින කර්මාන්තයක් වන ඇඟලුම් කර්මාන්තය වෘත්තීය වශයෙන් ජයගැනීමට බලාපොරොත්තු වන්නන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇත. මෙම පාඨමාලාව සැලසුම් කර ඇත්තේ, ලොව ඇඟලුම් ක්ෂේත්රය සහ එහි නවතම ප්රවණතා සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් ඇති ප්රවීණයන් පිරිසක් විසිනි. ක්ෂේත්රයේ වෙනස්කම් අනුව අඛණ්ඩව මෙය යාවත්කාලීන කිරීමටද ඔවුන් කටයුතු කරනු ඇත.
අධ්යාපන පසුබිම කුමක් වුවද, උසස් පෙළ විභාගයෙන් විෂයන් දෙකක් සමත් ඕනෑම කෙනෙකුට මෙම පාඨමාලා හැදෑරීමට අවස්ථාව හිමි වේ. වසර දෙකක් පුරා දිවෙන මෙම පාඨමාලාව, පළමු වසරේදී පූර්ණකාලීන වශයෙන්ද, දෙවැනි වසරේදී අර්ධකාලීන වශයෙන්ද හැදෑරිය යුතු ය. මෙම කාලය තුළ සමස්ත ඇඟලුම් ක්ෂේත්රය ආවරණය වන පරිදි සැලසුම් කළ පාඨමාලා මොඩියුල 22 ක් හැදෑරීමෙන් අනතුරුව සිසු සිසුවියන්ට ඇඟලුම් සහ රෙදිපිළි පිළිබඳ උසස් ඩිප්ලෝමා සුදුසුකම් හිමිකරගත හැකි වේ.
මෙම පාඨමාලාවට බ්රැන්ඩික්ස් කෝපරේට් කැම්පස් හි මවු සමාගම වන බ්රැන්ඩික්ස් ලංකා ලිමිටඩ් හි දායකත්වය ලැබෙන නිසා, පාඨමාලාව හදාරන්නන්ට ඇඟලුම් ක්ෂේත්රය පිළිබඳව වඩාත් පුළුල් අවබෝධයක් ලැබෙනු ඇත. මේ සඳහා දෙපාර්ශවය විසින් මෑතකදී අවබෝධතා ගිවිසුමක්ද අත්සන් තබන ලදි. මෙහි ප්රතිඵලයක් වශයෙන්, මේ ආකාරයේ අනෙකුත් පාඨමාලා වලින් නොලැබෙන ආකාරයට, බ්රැන්ඩික්ස් කර්මාන්තශාලා තුළ සති 44 ක ප්රායෝගික පුහුණුවක් ලැබීමට සිසු සිසුවියන්ට සුවිශේෂී අවස්ථාවක් හිමි වේ. මෙම කාලය තුළ විවිධ කර්මාන්තශාලා වල එකිනෙකට වෙනස් අංශ තුළ පුහුණුව ලැබීමට සිසු සිසුවියන්ට අවස්ථාව ලැබෙන නිසා, ඇඟලුම් කර්මාන්තයේ සමස්ත ක්රියාවලිය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඔවුන්ට ලැබෙනු ඇත. මෙවැනි මිලකළ නොහැකි අත්දැකීම්, කෙනෙකුට තම වෘත්තීය ජීවිතය පුරාම වැදගත් වේ.
අනෙකුත් මෙවැනි පාඨමාලා වලට සාපේක්ෂව මෙම පාඨමාලාව මගින් ලැබෙන ප්රධානතම වාසිය වන්නේ, බ්රැන්ඩික්ස් සමූහය වැනි ඉහළම පෙළේ ඇඟලුම් සමූහ ව්යාපාරයක් තුළ සීමාවාසික පුහුණුව ලැබීමේ අවස්ථාව හිමිවීමයි. පාඨමාලාවට අදාළ වන නියමයන්ට යටත්ව, එම කර්මාන්ත ශාලාවල විවිධ අංශයන් තුළ පුහුණව ලැබීමට මෙන්ම, ක්ෂේත්රයේ ප්රවීණ වෘත්තිකයන් සහ ජාත්යන්තර ගැනුම්කරුවන් සමග ගනුදෙනු කිරීමටද මෙහිදී අවස්ථාව ලැබෙනු ඇත. මෙවැනි සුවිශේෂී සීමාවාසික පුහුණු අවස්ථාවක් ලබාදෙන්නේ බ්රැන්ඩික්ස් කෝපරේට් කැම්පස් මගින් පිරිනමනු ලබන මෙම පාඨමාලාව මගින් පමණි. මෙම පුහුණුව හා පළපුරුද්ද සමග ඉහළ දක්ෂතා පෙන්නුම් කරන සිසු සිසුවියන්ට අනාගතයේදී නිසැකවම ඉහළ තලයේ පූර්ණකාලීන රැකියා අවස්ථාවන් හිමිවනු ඇත.
මෙහි සමස්ත පාඨමාලාව සඳහා අයකෙරෙනුයේ රු. 665,000/- ක සහනදායී ගාස්තුවකි. මෙම ගාස්තුවෙන් 45% ක් සීමාවාසික පුහුණුවේ මාස 12 ක කාලය තුළ නැවත උපයා ගැනීමට සිසු සිසුවියන්ට අවස්ථාව ලැබේ. පාඨමාලාව සඳහා අයදුම්පත් භාරගැනීම 2022 නොවැම්බර් 21 දින සිට සිදුවන අතර, මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සියලුම දෙනාට මෙම පාඨමාලාව සඳහා ලියාපදිංචි වන මෙන් බ්රැන්ඩික්ස් කෝපරේට් කැම්පස් ආරාධනා කර සිටී. 077 044 4401 WhatsApp අංකයෙන් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැකි වේ.
බ්රැන්ඩික්ස් කෝපරේට් කැම්පස් ආයතනය 1996 වසරේ සිටම පුරෝගාමී ඇඟලුම් තාක්ෂණ පාඨමාලා පිරිනමා ඇති අතර, ඒ ඔස්සේ ක්ෂේත්රයේ කැපීපෙනෙන වෘත්තිකයන් රාශියක් බිහිකර තිබේ. එම ආයතනයේ ප්රධාන අරමුණ වන්නේ සිසු සිසුවියන්ට ඇඟලුම් කර්මාන්තය තුළ සාර්ථක වෘත්තීය ජීවිතයක් සඳහා අවස්ථාව උදාකර දීම ය. ඒ සඳහා එම ආයතනය රෙදිපිළි තාක්ෂණයේ සිට වෙළඳ භාණ්ඩකරණය, උසස් පැටර්න් නිර්මාණය, නිෂ්පාදන කළමනාකරණය සහ යන්ත්රසූත්ර පුහුණුව යනාදී අංශ ආවරණය කෙරෙන පාඨමාලා 100 කට වැඩි සංඛ්යාවක් පිරිනමයි.
ඡායාරූපය (වමේ සිට) - බ්රැන්ඩික්ස් ඇපරල් ලිමිටඩ් හි අධ්යක්ෂ/ප්රධාන ඉගෙනුම් නිලධාරී ආචාර්ය රෝලන්ඩ් බී. ස්මිත්, බ්රැන්ඩික්ස් කෝපරේට් කැම්පස් හි DATM ප්රධානී නිලන්ති ගමගේ, බ්රැන්ඩික්ස් කෝපරේට් කැම්පස් හි ප්රධාන විධායක නිලධාරී ප්රියංග දසනායක, බ්රැන්ඩික්ස් සමූහ ව්යාපාරයේ ප්රධාන මානව සම්පත් නිලධාරී ඉෂාන් දන්තනාරායන, බ්රැන්ඩික්ස් ඇපරල් සොලුෂන්ස් ලිමිටඩ් (Essentials) හි ප්රධාන විධායක නිලධාරී ලලිත් බණ්ඩාර සහ බ්රැන්ඩික්ස් ඇපරල් සොලුෂන්ස් ලිමිටඩ් (Lingerie) හි ප්රධාන විධායක නිලධාරී රජීව් මලලසේකර
November, 1, 2022
මෙරට ප්රමුඛතම ඇඟලුම් නිෂ්පාදන සමාගමක් වන බ්රැන්ඩික්ස් ඇපරල් (Brandix Apparel Ltd.), උසස් පෙළ සිසුන් සිසුවියන් දිරිමත් කිරීමේ අරමුණින් විශ්ව විද්යාල ශිෂ්යත්ව වැඩසටහනක් හඳුන්වා දී තිබේ. ශ්රී ලංකාවේ සිසු සිසුවියන් බොහෝ දෙනෙකුට අධ්යාපන වියදම් දැරීම ගැටලුවක් බවට පත්වෙමින් පවතින පසුබිමක් තුළ මෙය අතිශයින් කාලෝචිත වැඩසටහනක් වනු ඇත.
මෙම වැඩසටහන නම් කර ඇත්තේ ‘මනුසත්කාර විශ්ව විද්යාල ශිෂ්යත්ව වැඩසටහන’ යනුවෙනි. උසස් පෙළ විභාගයෙන් විශිෂ්ටතම දක්ෂතා පෙන්නුම් කරන සිසු සිසුවියන්ගේ උසස් අධ්යාපන කටයුතු වලට අත්වැලක් වෙමින්, ඔවුන්ගේ පෞද්ගලික සහ වෘත්තීය සංවර්ධනයට අවශ්ය පිටුබලය ලබාදීම මෙහි මූලික අරමුණ වී ඇත.
වැඩසටහනේ ප්රථම අදියරේදී, ‘බ්රැන්ඩික්ස් ආදර්ශ ගම්මාන’ වල වෙසෙන සිසු සිසුවියන් අතරින් උසස් පෙළ විභාගයේදී ඉහළම දක්ෂතා පෙන්නුම් කරමින් රාජ්ය විශ්ව විද්යාලවලට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ සිසු සිසුවියන්ට ශිෂ්යත්ව පිරිනැමේ. ආදර්ශ ගම්මාන යනු බ්රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවල සිට කිලෝමීටර් 10 ක දුර ප්රමාණයක් තුළ වෙසෙන ප්රජාවන්ගේ යහපත වෙනුවෙන් බ්රැන්ඩික්ස් විසින් ක්රියාවට නංවන ලද විශේෂ වැඩසටහනකි. මෙම ශිෂ්යත්ව වැඩසටහන, ශ්රී ලංකාවේ රැකියා වෙළඳපොළේ අනාගත අවශ්යතාවන්ට ගැළපෙන ශ්රම බලකායක් නිර්මාණය කිරීම සඳහා කැපීපෙනෙන දායකත්වයක් දක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ දක්වා මෙම වැඩසටහන යටතේ සිසු සිසුවියන් 18 දෙනෙකුට ශිෂ්යත්ව පිරිනමා ඇත. එම සිසු සිසුවියන් දැනටමත් පූර්ව පුහුණු වැඩසටහන් සහ ඉංග්රීසි භාෂා වැඩසටහන් සාර්ථක ලෙස අවසන් කර ඇති අතර, ඔවුන්ගේ විශ්ව විද්යාල දේශනද මේ වනවිට සාමාන්ය සහ මාර්ගගත ක්රම යටතේ ආරම්භ වී තිබේ. ශ්රී ජයවර්ධනපුර, කොළඹ, කැළණිය, මොරටුව, රජරට, නැගෙනහිර, පේරාදෙණිය සහ වයඹ යන විශ්ව විද්යාලවල මෙම සිසු සිසුවියෝ ඉගෙනුම ලබති.
බ්රැන්ඩික්ස් මනුසත්කාර විශ්ව විද්යාල ශිෂ්යත්ව වැඩසටහන යටතේ ප්රථම ශිෂ්යත්වය හිමිකර ගැනීමට සමත් වූයේ කේ. අක්ෂිකා සිසුවියයි. කොළඹ විශ්ව විද්යාලයේ තාක්ෂණ පීඨයට සුදුසුකම් ලැබූ ඇයට 2021 වසරේදී මෙම ශිෂ්යත්වය හිමි විය. 2019 වසරේ උසස් පෙළ විභාගයෙන් ජීව විද්යා අංශය යටතේ මඩකලපුව දිස්ත්රික්කයේ ප්රථම ස්ථානය සහ සමස්ත ලංකා දෙවැනි ස්ථානය දිනාගන්නා ලද්දේ ඇය විසිනි.
“බ්රැන්ඩික්ස් යනු සියලුම දෙනා වෙනුවෙන් පිබිදුණු විසඳුම් ලබාදීමට කැපවුණු ව්යාපාරයක්. එම අරමුණ ඔස්සේ, හුදෙක් ව්යාපාර කටයුතු වලින් ඔබ්බට යමින්, ජනතාවටත් පරිසරයටත් යහපත සැලසීම සඳහා ක්රමවේදයක් නිර්මාණය කරගැනීමට අප පියවර ගෙන තිබෙනවා. ‘Provide, Educate and Engage’ යන සංකල්පය යටතේ ක්රියාත්මක වන අපගේ සමාජ තිරසාරත්ව උත්සාහයන්ට සමගාමීව අප මනුසත්කාර විශ්ව විද්යාල ශිෂ්යත්ව වැඩසටහන දියත් කළා. අභියෝග හමුවේ නොසැලී උසස් අධ්යාපන කටයුතු කරගෙන යාමට ශ්රී ලාංකික තරුණ පරපුරට අත්වැලක් වීම එහි අරමුණයි.” බ්රැන්ඩික්ස් සමූහයේ සමාජ සත්කාර ප්රධානී මාලිකා සමරවීර මහත්මිය පැවසුවා ය.
“රාජ්ය විශ්ව විද්යාලවලට සුදුසුකම් ලබන සිසු සිසුවියන් අතරින් සැලකිය යුතු පිරිසකට තම උසස් අධ්යාපන කටයුතුවලදී විවිධාකාර ගැටලුවලට මුහුණ දීමට සිදුවනවා. මෙය ඔවුන්ගේ වෘත්තීය සුදුසුකම්වලට සහ වෘත්තීය දියුණුවට දැඩි ලෙස බලපාන දෙයක්. දැනට පවතින ආර්ථික තත්ත්වයන් හමුවේ මෙම ගැටලු පෙරටත් වඩා බහුලව පවතින බව අපට පෙනී ගියා. මෙම සිසු සිදුවියන්ට බාධාවකින් තොරව උසස් අධ්යාපන කටයුතුවල නිරත වීමට අවස්ථාව සලසා දෙන මනුසත්කාර විශ්ව විද්යාල ශිෂ්යත්ව වැඩසටහන දියත් කිරීමට අප කටයුතු කළේ ඒ නිසයි. මෙම වැඩසටහන ඔවුන්ට ඉමහත් සහනයක් වනු ඇතැයි කියා අප සිතනවා.” මාලිකා සමරවීර මහත්මිය වැඩිදුරටත් කියා සිටියා ය.
ශ්රී ලංකාවේ ඉතා වගකීම් සහගත සමාගමක් වශයෙන්, පුද්ගලයන්ට තම අධ්යාපන කටයුතු බාධාවකින් තොරව කරගෙන යමින් පෞද්ගලික ඉලක්ක ළඟා කර ගැනීමට අත්වැලක් වීම සඳහා බ්රැන්ඩික්ස් හි සමාජ සත්කාර සහ මානව සම්පත් ක්රමෝපායන් තුළ වැදගත් තැනක් හිමි වේ. මෙය එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක අතර 4 වන ඉලක්කය වන ‘ගුණාත්මක අධ්යාපනය’ යන්නටද සමගාමී මෙහෙවරකි.

ශිෂ්යත්ව ලාභිනියක වූ අවිස්සාවේල්ලේ පදිංචි ටී. එම්. එස්. පී. තෙන්නකෝන් ශිෂ්යාව ඇගේ පවුලේ සාමාජිකයන්ද සමග. ඇය පේරාදෙණිය විශ්ව විද්යාලයේ කලා පීඨයට සුදුසුකම් ලබා ඇත.

කුරුණෑගල පදිංචි බී. ඩී. ආර්. එච්. කේ. ජයරත්න ශිෂ්යාව, ශිෂ්යත්වය ලබාගැනීමෙන් අනතුරුව ඇගේ පාසලේ විදුහල්පතිතුමන් සමග. ඇය කොළඹ විශ්ව විද්යාලයේ තාක්ෂණ පීඨයට සුදුසුකම් ලබා ඇත.
ඡායාරූපය 01 – කොළඹ විශ්ව විද්යාලයේ නීති පීඨයට සුදුසුකම් ලැබූ ගම්පහ ප්රදේශයේ ඩී. එන්. ඩී. දැරණියගල ශිෂ්යාව තමන්ට හිමි ශිෂ්යත්වය ලබාගනිමින්. ඇගේ පවුලේ සාමාජික සාමාජිකාවන් ඇතුළු තවත් පිරිසක්ද ඡායාරූපයෙහි සිටිති.
October, 13, 2022
බ්රැන්ඩික්ස් ශ්රවණ අපහසුතා සහිත නර්තන කණ්ඩායම, සැප්තැම්බර් 23 දිනට යෙදී තිබුණු ජාත්යන්තර සංඥා භාෂා දිනය සැමරීම සඳහා සංවිධානය කර තිබූ විශේෂ උත්සවයකට සහභාගී විය. සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්යාංශය එක්ව මෙම උත්සවය සංවිධානය කර තිබිණි. රඹුක්කන බ්රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවය කරන 12 දෙනෙකු මෙම නර්තන කණ්ඩායමට ඇතුළත් වූහ. සෙත්සිරිපාය ප්රධාන ශ්රවණාගාරයේදී පැවති මෙම උත්සවයට සමාජ සවිබලගැන්වීම් රාජ්ය අමාත්ය අනුප පැස්කුවල් මහතා ඇතුළු සම්භාවනීය ආරාධිතයෝ පිරිසක්ද එක් වී සිටියහ.
විවිධත්වයට කවදත් මුල්තැන දෙන බ්රැන්ඩික්ස් සමූහ ව්යාපාරය තුළ විවිධ ආබාධ සහිත පුද්ගලයන් 154 දෙනෙකු සේවය කරන අතර, ඉන් 103 දෙනෙකු ශ්රවණ අපහසුතා සහිත පුද්ගලයෝ වෙති. මීට පෙර 2019 වසරේදී බ්රැන්ඩික්ස් වාර්ෂික කුසලතා දැක්ම සහ සම්මාන උළෙල වන ‘රසදිය මංගල්යය’ තුළදී නරඹන්නන් අමන්දානන්දයට පත්කළ නර්තනාංගයක් ඉදිරිපත් කිරීමට මෙම නර්තන කණ්ඩායම සමත් විය. 2018 වසරේදී කොග්ගල බ්රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරන, ශ්රවණ අපහසුතා සහිත සාමාජිකයන් තිදෙනෙකු ලෝක දෘශ්යාබාධිත විස්සයි විස්සයි ලෝක කුසලාන තරගාවලියටද සහභාගී වූ අතර, එම කණ්ඩායම එම තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සමත් විය.
විවිධත්වය අගයමින්, සෑම පුද්ගලයෙකුට තම හැකියාවන් ප්රදර්ශනය කිරීමට අවස්ථාව සලසා දීමට බ්රැන්ඩික්ස් සෑම විටම කටයුතු කරයි. ‘පිබිදුණු මිනිසුන් තුළින් පිබිදුණු විසඳුම් ලබාදීම’ යන පරමාර්ථය ඔස්සේ බ්රැන්ඩික්ස් සමූහ ව්යාපාරය තම ව්යාපාර කටයුතු වල සෑම අංශයකදීම විවිධත්වයට නිසි තැන ලබා දී තිබේ.

September, 13, 2022
බ්රැන්ඩික්ස් සමූහ ව්යාපාරය යළිත් සිය සුපුරුදු ලේ දන්දීමේ වැඩසටහන් මාලාව සංවිධානය කර තිබේ. බ්රැන්ඩික්ස් යනු සෑම විටම ජනතාව, පරිසරය සහ සිය ප්රජාවන් යන ත්රිවිධ අංශ වල යහපත කෙරෙහි දැඩි අවධානයක් යොමුකරන සමූහ ව්යාපාරයකි. මේ වනවිට මෙරට සමාගම් හා ආයතන අතරින් වැඩිම වශයෙන් රුධිර පරිත්යාගයන් සිදුකරන සමාගම බ්රැන්ඩික්ස් වන අතර, මෙවරත් එහි සාමාජික සාමජිකාවන් මෙරට ජනතාවගේ යහපත වෙනුවෙන් දහස් ගණනින් මෙම උදාර කර්තව්යයට දායක වනු ඇත.
ජාතික රුධිර පාරවිලයන සේවාව නිසි පරිදි පවත්වාගෙන යාමට නම් පරිත්යාගශීලීන් වෙතින් අඛණ්ඩව රුධිරය ලැබීම අත්යවශ්ය වේ. මේ නිසාම වසර 13 ක් තම ලේ දන්දීමේ වැඩසටහන පවත්වාගෙන යාමට බ්රැන්ඩික්ස් සමූහය කටයුතු කළ අතර, පසුගිය වසර දෙකේදී පමණක් වසංගත තත්ත්වය හේතුවෙන් එය තාවකාලිකව අත්හිටුවීමට සිදුවිය. සමූහයේ සාමාජිකයන්ගේ දායකත්වයෙන් දිවයින පුරා ස්ථාන 23 කදී පවත්වනු ලබන මෙම වැඩසටහන් මාලාවට සාමාජික සාමාජිකාවෝ 35,000 කට අධික පිරිසක් දායක වෙති. තවකෙකුගේ ජීවිතය බේරාගැනීම වෙනුවෙන් සිදුකරන උදාර මෙහෙවරක් වශයෙන්, බ්රැන්ඩික්ස් සමූහ ව්යාපාරයේ සාමාජිකත්වයේ පූර්ණ මෙහෙයවීමෙන් යුතුව මෙම වැඩසටහන් මාලාව ක්රියාත්මක කෙරේ.
රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ සෞඛ්ය සේවයටද විවිධ අංශ වල සහයෝගය අත්යවශ්ය වී ඇත. මෙම තත්ත්වය හමුවේ නැවත වරක් මෙම ජාතික මෙහෙවර දියත් කිරීමට බ්රැන්ඩික්ස් සමූහය කටයුතු කළේ ය.
“මෙම වටිනා කර්තව්යය සඳහා දායක වීමට වැඩි පිරිසක් පොළඹවා ගැනීමට සමූහයේ සාමාජික සාමාජිකාවන් කටයුතු කිරීම මගින් පෙනී යනුයේ, බ්රැන්ඩික්ස් යනු පරාර්ථකාමී ක්රියාවන් ඔස්සේ යහපත් වෙනසක් සිදුකිරීම සඳහා කැපවුණු, එකම පවුලක් වන් පිබිදුණු මිනිසුන් පිරිසක් සිටින සමාගමක් බවයි. බ්රැන්ඩික්ස් සෑම විටම තම සාමාජික සාමාජිකාවන්ටත්, ප්රජාවන්ටත් පිබිදුණු විසඳුම් තිළිණ කිරීමට කටයුතු කරනවා. ඒ සඳහා අප ක්රියාවට නංවා ඇති ‘මනුසත්කාර’ ව්යාපෘතිය යටතේ දැනටමත් මෙම ලේ දන්දීමේ වැඩසටහන් මාලාවට අමතරව, ආහාර සුරක්ෂිතතාව සම්බන්ධ ගැටලු වලට පිළියම් වශයෙන් අක්කර 500 ක භූමි ප්රමාණයක් වගාකිරීම, 250,000 කට අධික පිරිසකට පානීය ජල පහසුකම් සපයන ජල සම්පාදන ව්යාපෘති ක්රියාත්මක කිරීම, සහ 1 වසරේ සිට විශ්ව විද්යාල මට්ටම දක්වා සිසු සිසුවියන් වෙනුවෙන් ශිෂ්යත්ව සහ පාසල් ලිපිද්රව්ය ලබාදීම වැනි වැඩසටහන් ක්රියාවට නංවා තිබෙනවා. අපගේ පරමාර්ථය වන්නේ, අපගේ කර්මාන්ත ශාලා ස්ථාපිත කරන සෑම ප්රදේශයකම ප්රජාවන්ගේ ජීවන තත්ත්වය සහ යහපැවැත්ම වැඩිදියුණු කිරීම තුළින්, එම ප්රදේශ අප පැමිණෙන විට පැවති මට්ටමට වඩා යහපත් තත්ත්වයකට පත්කිරීමයි.” බ්රැන්ඩික්ස් සමූහ ව්යාපාරයේ සමාජ සත්කාර ප්රධානී මාලිකා සමරවීර මහත්මිය පැවසුවා ය.
“ජාතික රුධිර පාරවිලයන සේවාවට රුධිරය ලැබෙන්නේ මෙවැනි මානුෂීය ව්යාපෘති තුළිනුයි. බ්රැන්ඩික්ස් යනු දිවයින පුරාම විසිරී පවතින සමූහ ව්යාපාරයක් නිසා, අපගේ සේවාවට ඉතා පුළුල් මට්ටමින් රුධිරය පරිත්යාග කිරීමට එම සමූහයට හැකි වී තිබෙනවා. සාමාන්යයෙන් විශාල වශයෙන් රුධිර පරිත්යාගයන් සිදු නොවන ප්රදේශ පවා මෙම වැඩසටහන් මගින් ආවරණය වීම විශේෂත්වයක්. ඉදිරියටත් රටේ ජනතාව වෙනුවෙන් මේ උදාර මෙහෙවර අඛණ්ඩව ක්රියාවට නැංවීමට බ්රැන්ඩික්ස් කටයුතු කරනු ඇතැයි කියා අපට විශ්වාසයි.” ජාතික රුධිර පාරවිලයන සේවාවේ අධ්යක්ෂ වෛද්ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පැවසී ය.
මේ වනවිට රුධිරය පයින්ට් 36,296 ක් පරිත්යාග කළ බ්රැන්ඩික්ස් සමූහය මෙරට ‘පෞද්ගලික අංශයේ විශාලතම රුධිර පරිත්යාගශීලියා’ යන විරුදාවලිය ලබා ඇත. මෙය, ලේ දන්දීම යනු අභය දානය දීමක් ය යන විශ්වාසයට සමගාමීව බ්රැන්ඩික්ස් සමූහය විසින් ලොවට ලබාදෙන මහඟු ආදර්ශයකි.


June, 7, 2022
බ්රැන්ඩික්ස් සමාගම ලෝක පරිසර දිනය වෙනුවෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල සමග එක්වී රඹුක්කන ප්රදේශයේ අක්කර 10 ක භූමි භාගයක හානි වූ වන ගහනය යථා තත්ත්වයට පත්කිරීම සඳහා ප්රතිවනරෝපණය කිරීමට කටයුතු කළේ ය. බ්රැන්ඩික්ස් සමාගම දශක එකහමාරකට අධික කාලයක් තිස්සේ තම ව්යාපාරික කටයුතු හා එක්වූ වියමනක් ලෙස පරිසරය සුරැකීම සඳහා විශාල අවධානයක් යොමුකර තිබේ. මෙහි තවත් පියවරක් වශයෙන්, රඹුක්කන බ්රැන්ඩික්ස් එසෙන්ෂල්ස් කර්මාන්තශාලාව ආසන්නයේ පිහිටි භූමියක පැළ 3,000 ක් සිටුවන ලදි. මෙම අවස්ථාවට නිශාන්ත එදිරිසිංහ - වන සංරක්ෂක, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සම්පත් රණසිංහ, UNDP හි වැඩසටහන් සම්බන්ධීකාරක (බලශක්ති සහ අපද්රව්ය) සහ බ්රැන්ඩික්ස් සමූහයේ ඉංජිනේරු ප්රධානී අහමඩ් ඉල්තිමාස් යන මහත්වරුන්ද එක් වුහ.
තම ව්යාපාර කටයුතුවල මෙන්ම තමන් සමග අත්වැල් බැඳගෙන සිටින සියලුම පාර්ශ්වයන්ගේ දීර්ඝකාලීන යහපත සඳහා බ්රැන්ඩික්ස් සමූහය, වාතය, ජලය සහ මහපොළොව යන ප්රධාන සාධක තුන මත පදනම් වූ තිරසර රාමුවකට අනුව කටයුතු කරයි. සෑම අවස්ථාවකදී ම තම සාමාජික සාමාජිකාවන්ට හා ප්රජාවන්ට යහපත සලසමින්, උපරිම තිරසාරත්වය ළඟාකර ගැනීම බ්රැන්ඩික්ස් සමාගමේ පරමාර්ථයයි.
“මිහිතලයේ භෞමික ජෛව විවිධත්වය බොහෝ දුරට ආරක්ෂා වී පවතින්නේ වනාන්තර තුළයි. ඒවා තුළ වැවෙන ශාක, දේශගුණ විපර්යාස අවම කිරීමට සුවිශාල දායකත්වයක් ලබාදෙන අතර, උසස් තත්ත්වයේ ජලය සපයමින්, ආහාර නිෂ්පාදනය සඳහා අත්යවශ්ය බොහෝ පරාග කාරක සඳහා වාසස්ථාන ලෙස ක්රියාකරනවා. ඒ අනුව, මානව වර්ගයාට අවශ්ය ආහාර සැපයීම සහ පරිසර පද්ධති ආරක්ෂා කරගැනීම යනු එකිනෙක මත රඳා පවතින ඉලක්ක ලෙස පෙන්වා දීමට පුළුවන්.” බ්රැන්ඩික්ස් හි තිරසාරත්ව පාරිසරික ඉංජිනේරු විනුර ජයවර්ධන මහතා පැවසී ය.
මෙම ව්යාපෘතිය සඳහා Gaaya පැළ භාවිතා කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් විනුර ජයවර්ධන මහතා පැවසුවේ මෙම ගස් වලින් වැටෙන අතු දර ලෙස බහුලව භාවිතා වන නිසා, එය අවට ජනතාවටද බෙහෙවින් ප්රයෝජනවත් වනු ඇති බවයි. “ශ්රී ලංකාවේ දැනට පවතින බලශක්ති ගැටලුව සහ ඉදිරියේදී ඇතිවනු ඇතැයි අනුමාන කෙරෙන ආහාර අර්බුදය වැනි ගැටලු නිසා, මෙය අතිශය කාලෝචිත පියවරක් වනු ඇතැයි කියා අප සිතනවා. එය අප කාගේත් පැවැත්මට අතිශයින් වැදගත් වේවි.” ජයවර්ධන මහතා පැවසී ය.
මීට පෙරද බ්රැන්ඩික්ස් සමූහය තිරසාරත්වය වෙනුවෙන් තමන් තුළ ඇති කැපවීම මැනැවින් ප්රදර්ශනය කර තිබේ. උදාහරණයක් ලෙස 2019 වසරේදී එහි මඩකලපුව කර්මාන්තශාලාව ලොව ප්රථම ‘Net Zero Carbon’ පිළිගැනීම හිමි වූ ඇඟලුම් කර්මාන්තශාලාව බවට පත්වූ අතර, 2008 වසරේදී එහි සීදූව කර්මාන්තශාලාව ‘LEED Platinum’ ශ්රේණිය හිමිකරගත් ලොව ප්රථම ඇඟලුම් කර්මාන්තශාලාව බවට පත් විය. මෙවැනි හරිත ගොඩනැගිලි, දේශගුණ විපර්යාස අවම කිරීමට මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමටද කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකරයි. හුදෙක් අහිතකර බලපෑම් අවම කිරීමෙන් නොනැවතී, විවිධ මානයන් රැසක් ඔස්සේ ඵලදායී වෙනස්කම් ඇතිකරමින් පරිසරයට සැබෑ පරිවර්තනයක් සිදුකිරීම සඳහා, රඹුක්කන ප්රදේශයේ ක්රියාවට නැංවූ වන වගා ව්යාපෘතිය වැනි වැඩසටහන් ක්රියාවට නැංවීමටද බ්රැන්ඩික්ස් සමූහය දිගින් දිගටම කටයුතු කරමින් සිටී.
“මේ වනවිට ලෝකය දේශගුණ විපර්යාස අතින් අතිශය අවදානම් 'code red' තත්ත්වයකට පැමිණ තිබෙනවා. එමෙන්ම ලොව පුරා ස්වභාවධර්මය සහ ජෛව විවිධත්වය අහිමි වෙමින් යනවා. මෙම වසරේ 2022 ලෝක පරිසර දිනයේ තේමාව වන #OnlyOneEarth යන්නෙන් ගෝලීය මට්ටමෙන් සැබෑ පරිවර්තනයක් සිදුකිරීම සඳහා අප සතු එකම මිහිතලය සැමරීම, සුරකීම සහ යළි යථා තත්ත්වයට ගෙන ඒමේ සාමූහික දායකත්වය අවධාරණය වනවා. ශ්රී ලංකාවේ එක්සත් ජාතීන්ගෙ සංවර්ධන වැඩසටහන, පාරිසරික කළමනාකරණ පද්ධති ප්රතිසංස්කරණය කිරීම සහ නවීකරණය කිරීම සහ අපගේ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සඳහා සහාය වන අතරම පුනර්ජනනීය බලශක්තියේ විභවයන් ගවේෂණය කරමින් දේශගුණික විපර්යාසවල බලපෑම් සහ ස්වභාවික මෙන්ම මිනිස් ක්රියාවන් වල විපාක නිසා සිදුවන විපත්වලට ප්රතිචාර දැක්වීම සඳහා දිගුකාලීන සහාය ලබා දී තිබෙනවා. බ්රැන්ඩික්ස් සමඟ පවතින මෙම හවුල්කාරිත්වය තුළින් හරිත සංවර්ධන මාවතක් මත ගොඩනැගුණු තිරසාර ශ්රී ලංකාවක් සඳහා කල්පවත්නා සුබවාදී බලපෑම් ඇති කිරීමට අපි බලාපොරොත්තු වනවා." යනුවෙන් ශ්රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ වැඩබලන නේවාසික නියෝජිත, මලින් හර්විග් මහතා ප්රකාශ කළේය.
මානව ක්රියාකාරකම් හෝ ස්වාභාවික උපද්රව නිසා හානි වූ වන ගහනයන් ප්රකෘති තත්ත්වයට පත්කිරීම සඳහා එම භූමි ප්රදේශවල නැවත වන වගා කිරීම සිදුකෙරේ. මෙය අදාළ පරිසරයේ සමබරතාව නැවත ඇතිකරන වැදගත් පියවරකි. මෙමගින් වනජීවී වාසස්ථානවල ජෛව විවිධත්වය සහ පසේ සාරවත් බව වැඩිදියුණු වීමට අමතරව, වාතයෙන් කාබන් වෙන් කිරීම හරහා වායුගෝලයේ ඇති කාබන් ඩයොක්සයිඩ් ප්රමාණය අඩු වීමෙන් අප ආශ්වාස කරන වාතය වඩාත් යහපත් වීමද සිදු වේ.
ලොව ප්රමුඛ පෙළේ සන්නාමවලට නිෂ්පාදන සපයන ඇඟලුම් නිෂ්පාදකයෙකු වශයෙන්, තම ව්යාපාර කටයුතුවලට, පාර්ශ්වකරුවන්ට, ප්රජාවන්ට සහ මිහිකතට යහපත සැලසෙන ආකාරයට දේශගුණ විපර්යාස අවම කිරීමට දායක වන දීර්ඝකාලීන වැඩසටහන් ක්රියාවට නැංවීම අතිශයින් වැදගත් බව බ්රැන්ඩික්ස් සමාගමේ විශ්වාසයයි. ඉදිරියටත් විවිධ පාර්ශ්ව සමග අත්වැල් බැඳගනිමින්, එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්කවලට සමගාමීව තම මෙහෙයුම් නිරන්තරයෙන් හැඩගස්වා ගනිමින්, දිගින් දිගටම තිරසර වර්ධනයක් උදෙසා කැපවීම බ්රැන්ඩික්ස් සමූහයේ අරමුණ වී තිබේ.

බ්රැන්ඩික්ස් හි තිරසාරත්ව පාරිසරික ඉංජිනේරු විනුර ජයවර්ධන මහතා උත්සවය අමතමින්

වමේ සිට - සම්පත් රණසිංහ, UNDP හි වැඩසටහන් සම්බන්ධීකාරක (බලශක්ති සහ අපද්රව්ය), බ්රැන්ඩික්ස් සමූහයේ ඉංජිනේරු ප්රධානී අහමඩ් ඉල්තිමාස් සහ නිශාන්ත එදිරිසිංහ - වන සංරක්ෂක, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව

පින්නවල ජාතික පාසලේ සිසුවියන් රුක් රෝපණයට දායක වන අවස්ථාව
ඡායාරූපය - බ්රැන්ඩික්ස් සමූහයේ ඉංජිනේරු ප්රධානී අහමඩ් ඉල්තිමාස් ගස් 3,000 න් පළමුවැන්න රෝපණය කරන අවස්ථාව
Video Story