• Ada Derana BIZ Sinhala
  • Brandix
  • Hearing Impaired Dance Group
  • International Sign Language Day
  • sri lanka

බ්‍රැන්ඩික්ස් ශ්‍රවණ අපහසුතා සහිත නර්තන කණ්ඩායම ජාත්‍යන්තර සංඥා භාෂා දින සැමරුම් වැඩසටහනට එක් වෙයි

October, 13, 2022

බ්‍රැන්ඩික්ස් ශ්‍රවණ අපහසුතා සහිත නර්තන කණ්ඩායම, සැප්තැම්බර් 23 දිනට යෙදී තිබුණු ජාත්‍යන්තර සංඥා භාෂා දිනය සැමරීම සඳහා සංවිධානය කර තිබූ විශේෂ උත්සවයකට සහභාගී විය. සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය එක්ව මෙම උත්සවය සංවිධානය කර තිබිණි. රඹුක්කන බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවය කරන 12 දෙනෙකු මෙම නර්තන කණ්ඩායමට ඇතුළත් වූහ. සෙත්සිරිපාය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවති මෙම උත්සවයට සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා ඇතුළු සම්භාවනීය ආරාධිතයෝ පිරිසක්ද එක් වී සිටියහ.

විවිධත්වයට කවදත් මුල්තැන දෙන බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරය තුළ විවිධ ආබාධ සහිත පුද්ගලයන් 154 දෙනෙකු සේවය කරන අතර, ඉන් 103 දෙනෙකු ශ්‍රවණ අපහසුතා සහිත පුද්ගලයෝ වෙති. මීට පෙර 2019 වසරේදී බ්‍රැන්ඩික්ස් වාර්ෂික කුසලතා දැක්ම සහ සම්මාන උළෙල වන ‘රසදිය මංගල්‍යය’ තුළදී නරඹන්නන් අමන්දානන්දයට පත්කළ නර්තනාංගයක් ඉදිරිපත් කිරීමට මෙම නර්තන කණ්ඩායම සමත් විය. 2018 වසරේදී කොග්ගල බ්‍රැන්ඩික්ස්  කර්මාන්ත ශාලාවේ සේවය කරන, ශ්‍රවණ අපහසුතා සහිත සාමාජිකයන් තිදෙනෙකු ලෝක දෘශ්‍යාබාධිත විස්සයි විස්සයි ලෝක කුසලාන තරගාවලියටද සහභාගී වූ අතර, එම කණ්ඩායම එම තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සමත් විය.

විවිධත්වය අගයමින්, සෑම පුද්ගලයෙකුට තම හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව සලසා දීමට බ්‍රැන්ඩික්ස් සෑම විටම කටයුතු කරයි. ‘පිබිදුණු මිනිසුන් තුළින් පිබිදුණු විසඳුම් ලබාදීම’ යන පරමාර්ථය ඔස්සේ බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරය තම ව්‍යාපාර කටයුතු වල සෑම අංශයකදීම විවිධත්වයට නිසි තැන ලබා දී තිබේ.