December, 22, 2022
ශ්රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා වශයෙන් දිනේෂ් වීරක්කොඩි මහතා පත් කරන ලද බව ජනාධිපති මාධ්ය අංශය නිවේදනය කර සිටී.
දිනේෂ් වීරක්කොඩි මහතා හැටන් නැෂනල් බැංකුවේ සහ කොමර්ෂල් බැංකුවේ හිටපු සභාපතිවරයා ද වේ.
මේ අතර ආචාර්ය දුෂ්නි වීරකෝන්, චාන්දනී විජේවර්ධන සහ ඒරාජ් ද සිල්වා යන මහත්ම මහත්මීන් ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස පත් කර ඇති බව ද ජනාධිපති මාධ්ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.
September, 20, 2022
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, එහි නව සභාපති ලෙස, ටැන් හක් ලේ මහතා සිය අධ්යක්ෂක මණ්ඩලයට 2022 ජූලි මස සිට පත්කර ඇතිබව ප්රකාශ කර සිටියි. ඒ මහතා AIA සමූහය වෙනුවෙන් තායිලන්තය, සිංගප්පූරුව, බෲනායි, මලයාසියාව, කාම්බෝජය, මියන්මාරය, වියට්නාමය සහ දැන් ශ්රී ලංකාව යන රටවල් වල පවත්වාගෙන යන ව්යාපාර මෙහෙයුම් සඳහා වගකීම් දරන කලාපීය ප්රධාන විධායක නිලධාරීවරයා වශයෙන් කටයුතු කරයි. ආසියාවේ රක්ෂණ ක්ෂේත්රය තුල පුළුල් විෂයයන් හරහා වසර 30කට වැඩි ක්රමෝපායික අත්දැකීම් සහ හසල දැනුම මෙන්ම වසර 11ක් පුරාවට AIA සමූහය තුල ලබාගත් අත්දැකීම් සමුදායක් ද ටැන් හක් ලේ මහතා සතුවේ. එක්සත් රාජධානියේ හෙරියට් වට් විශ්ව විද්යාලයෙන් ආයුගණක ගණිතය සහ සංඛ්යාලේකන සඳහා පිරිනමන ලද පළමු පන්තියේ ගෞරව උපාධියක් දරන ඔහු එක්සත් රාජධානියේ ආයුගණක ආයතනයේ සාමාජිකයෙක් ද වෙයි.
හක් ලේ මහතාගේ මෙම පත්වීම, ශ්රී ලංකාවේ ව්යාපාර දැනට පවතින අභියෝගාත්මක මෙහෙයුම් වාතාවරණය තුල ශක්තිමත්ව සහ සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යාමට මහත් අත්වැළක් වනු ඇත.
හක් ලේ මහතාගේ මෙම පත්වීම AIA ඉන්ෂුවරන්ස් ලංකා හි ප්රධාන විධායක නිලධාරිනී චතුරි මුණවීර මහත්මිය AIA ඉන්ෂුවරන්ස් ලංකා හි අධ්යක්ෂ මණ්ඩලයට පත් කිරීම හා සමගම සිදුවිය. 2022 මැයි මාසයේ දී AIA හි ප්රධාන විධායක නිලධාරී තනතුරට පත් වූ චතුරි මුනවීර මහත්මිය, AIA සමූහය මගින් AIA ශ්රී ලංකා සමාගම අත්පත් කර ගැනීමෙන් පසු සමාගමේ මෙම ප්රධාන විධායක තනතුර හෙබවීම සඳහා තේරී පත් වූ ප්රථම කාන්තාවයි.
චතුරි මුනවීර මහත්මිය ශ්රී ලංකා රක්ෂණ ක්ෂේත්රය තුළ වසර 25කට අධික ඉහළ අත්දැකීම් සහිත විධායක නිලධාරිනියකි. ප්රධාන විධායක නිලධාරී තනතුරට පත්වීමට පෙර ඇය AIA ඉන්ෂුවරන්ස් හි (AIA ශ්රී ලංකා) නීති සහ මෙහෙයුම් පිලිබඳ අධ්යක්ෂක වරියද වූ අතර ජීවිත මෙහෙයුම්, ආයතනික නීති, සමාගම් ලේකම් කටයුතු පිළිබඳව සහ භාහිර සබඳතා පිළිබඳව ද වගකීම් දරන ලදී . එමෙන්ම මුනවීර මහත්මිය සමාගමේ මානව සම්පත් පිලිබඳ සහ අනුකූලතා පිළිබඳව ප්රධාන නිලධාරිනිය ලෙසද මීට ඉහතදී කටයුතු කර ඇත. වසර 2006 යේ සිට AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ විධායක කමිටු සාමාජිකාවක් වූ ඇය සමාගමේ ක්රමෝපායික සැලසුම් සහ ව්යාපාර ජයග්රහණ වෙනුවෙන් මූලික කාර්යභාරයක් ඉටුකර ඇත. චතුරි මුනවීර මහත්මිය AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, AIA සමූහයේ සම්පූර්ණ හිමිකාරිත්වය සහිත පරිපාලිතයක් බවට පත්කිරීමට අදාළ සංකීර්ණ ආයතනික ප්රතිව්යුහගත කිරීමේ කර්තව්ය සඳහා ද නායකත්වය දෙන ලදී.
මෙසේ AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ අධ්යක්ෂක මණ්ඩලයට තේරී පත්වීම චතුරි මුනවීර මහත්මියගේ වෘත්තීය ගමන් මග තවත් එක් සුවිශේෂී පියවරකි.
වසර 100 කට වැඩි ඉතිහාසයකට හිමිකම් කියන AIA, විශාලතම ස්වාධීන පොදු ලැයිස්තුගත ආසියානු ශාන්තිකර කලාපීය ජීවිත රක්ෂණ සමූහය වන අතර ආසියානු කලාපය පුරා රටවල් 18ක ව්යාපාර පවත්වාගෙන යයි.

September, 15, 2022
2022 සැප්තැම්බර් මස 12 වන දා සිට බලපැවැත්වෙන පරිදි පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පි. එල්. සි සමාගමෙහි ස්වාධින විධායක නොවන සභාපතිවරයා ලෙස ප්රදීප් අමිර්තනායගම් මහතා පත් කර ඇත.
2022 ජුලි 15 වන දින සිට ස්වාධින විධායක නොවන අධ්යක්ෂකවරයෙකු ලෙස ද පීපල්ස් ලීසිං සමාගමේ කටයුතු කරන ප්රදීප් අමිර්තනායගම් මහතා 2015-2019 දක්වා නියෝජ්ය සභාපති ලෙසත් 2019-2020 කෙටි කාල සීමාව තුළ සභාපතිවරයා ලෙසත් සේවය කර ඇත. එසේම ඔහු ලන්කන් එලායන්ස් ෆිනෑන්ස් හි අධ්යක්ෂකවරයෙකු ලෙස කටයුතු කර තිබේ.
අමිර්තනායගම් මහතා, වරලත් අලෙවිකරණ ආයතනයේ (එක්සත් රාජධානියේ) සාමාජිකයෙකු වන අතර එක්සත් රාජධානියේ ත්රිත්ව සංගීත විද්යාලයේ (Trinity College of Music) කථන හා නාට්ය අංශයේ සාමාජිකයෙකි. ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය හා ගුවන් විදුලි සංස්ථාව යන මාධ්ය ආයතන ත්රිත්වයේම ප්රවෘත්ති නිවේදකයෙකු ලෙස කටයුතු කර තිබෙන ඒ මහතා වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු මෙන්ම ක්රිකට් විස්තර විචාරකයෙකු ලෙසද කටයුතු කර තිබෙන්නෙකි. මීට අමතරව ඔහු ලන්ඩනයේ බීබීසි මූලස්ථානය වන “බුෂ් හවුස්” හි පුහුණුවද ලබා තිබේ.
බටහිර කොළඹ රොටරි සමාජයේ 50වැනි සභාපතිවරයා ලෙස පත් වු ඔහු 2012 “වසරේ රොටරියන්” සම්මානයෙන්ද පිදූම් ලැබීය. ලාදූරු රෝගයෙන් පීඩාවට පත්වූවන් නගාසිටුවීම හා පුණුරුත්ථාපනයකිරීමේ සංගමයේ උප සභාපතිවරයා ලෙසද අනුර බණ්ඩාරනායක පදනමේ අධ්යක්ෂකවරයා ලෙසද කටයුතු කරනු ලබයි.
සුජීව රාජපක්ෂ මහතාගෙන් පසු නව ස්වාධීන විධායක නොවන සභාපතිවරයා ලෙස අමිර්තනායගම් මහතා පත්වීමත් සමඟ පීපල්ස් ලීසිං අධ්යක්ෂ මණ්ඩලය ලෙස ආර්. පතිරගේ මහතා, කේ. සී. ජේ. සී. ෆොන්සේකා මහතා, ඒ. ඒ. අහමත් මහතා, සී. ජේ. විජේතිලක මහතා, යු. එල්. ඒ. ඩබ්. බණ්ඩාර මහතා, එම්. සී. පීටර්ස් මෙනෙවිය සහ ආර්. කොඩිතුවක්කු යන මහත්ම මහත්මින් කටයුතු කරනු ලබයි.
පීපල්ස් ලීසිං සමාගම යනු ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ බැංකු නොවන මුදල් ආයතනයක් වන අතර ප්රමුඛ රාජ්ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මුදල් ආයතනයකි. විශේෂිත ලීසිං සමාගමක් ලෙස වර්ෂ 1996 දී මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තුගත විය. පීපල්ස් ලීසිං සමාගම බංග්ලාදේශයේ විදේශීය ව්යාපාරයක් ඇතුළු අනුබද්ධිත ක්ෂේත්ර හයක් හරහා විවිධාංගීකරණය වු බැංකු නොවන මූල්ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.

Video Story