• Ada Derana BIZ Sinhala
  • European Union
  • laptops
  • SEDR
  • sri lanka

යුරෝපා සංගමයේ මුල්‍ය අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන SEDR ව්‍යාපෘතිය, රට පුරා සිටින සමථකරණ සංවර්ධන නිලධාරීන්  වෙත ලැප්ටොප් පරිගණක 70ක් භාර දෙයි

November, 14, 2022

යුරෝපා සංගමයේ මුල්‍ය අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ඵලදායීව ආරවුල් නිරාකරණයට සහායවීම (SEDR) ව්‍යාපෘතිය; රට පුරා සිටින (සමථකරණ) සංවර්ධන නිලධාරීන්ගේ පරිපාලන කටයුතු වැඩිදියුණු කිරීම සඳහා ලැප්ටොප් පරිගණක 70ක් භාර දීම හරහා, සමථ මණ්ඩල කොමිෂන් සභාවට (MBC) දැනටමත්, ලබාදෙන සහය වඩාත් විස්තාරණය කළේය.

ගරු. අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ, සමථ මණ්ඩල කොමිෂන් සභාවේ ලේකම් ප‍්‍රියනාත් පෙරේරා, සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සභාපති  විනිසුරු යාපා, සමථ මණ්ඩල කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන්, යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නියෝජිත කණ්ඩායමේ නියෝජ්‍ය ප්‍රධානී ලාර්ස් බ්‍රෙඩල්, සහ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂිකා මාර්යා රෙහ්මාන් යන සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් මෙම අවස්ථාව වර්ණවත් විය.

ඵලදායීව ආරවුල් නිරාකරණයට සහයවීමේ (SEDR) ව්‍යාපෘතිය යනු යුරෝපා සංගමයේ මුල්‍ය අනුග‍්‍රාහකත්වයෙන්, ආසියානු පදනම සමඟ එක්ව බ්‍රිතාන්‍ය කවුන්සිලය මඟින් ක්‍රියාත්මක කෙරෙන වසර හතරක යුක්ති ප‍්‍රවේශ ව්‍යාපෘතියකි. යුරෝ මිලියන 7ක ව්‍යාපෘතියක් වන මෙය, යුරෝපා සංගමය මගින් ශ්‍රී ලංකාව තුල  ක්‍රියාත්මක කෙරෙන ‘ප්‍රතියෝජන, ප්‍රතිසන්ධාන සහ සියලුදෙනාගේ ප්‍රජාතන්ත්‍රවාදී මැදිහත්වීම ශක්තිමත් කිරීමේ (STRIDE)’ වැඩපිළිවෙලට අයත් එක් අංගයක් වේ.

SEDR හි 4 වන ප්‍රතිඵල ක්‍ෂේත්‍රයෙහි, තොරතුරු තාක්ෂණ උපකරණ සැපයීම තුලින් සමථ මණ්ඩලවල පරිපාලන ක්‍රියාකාරිත්වයට සහාය වීමේ ක්‍රියාකාරකමක් ඇතුළත් වේ. මෙය සිදුකරන්නේ අලුතින් පත් කරන ලද සංවර්ධන නිලධාරීන් විසින් කෙරෙන දත්ත එකතු කිරීමේ ක්‍රියාවලියට සහාය වීමේ අරමුණින් ය. SEDR හි 1 වන ප්‍රතිඵල ක්‍ෂේත්‍රය යටතේ, සමථ මණ්ඩල කොමිෂන් සභාවෙහි වෙබ් අඩවිය වැඩිදියුණු කිරීම සහ සමථ මණ්ඩල කොමිෂන් සභාවේ වඩාත් සුමුදු ක්‍රියාකාරීත්වයට සහ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට හැකි වන පරිදි මධ්‍යස්ථකරණ දත්ත ගබඩාවක් ගොඩ නැගීම සම්බන්ධයෙන්, දැනටමත් සැලකිය යුතු කාර්යභාරයක් සිදු කර ඇත. මෙම වෙබ් අඩවිය මහජන දැනුවත් කිරීම් සඳහා උපකාරී වනු ඇති අතර, නඩු පැවරීම හා සසඳන විට වියදමින් අඩු සහ තිරසාර විසඳුමක් වන සමථකරණය සඳහා අවශ්‍ය මහජන ප්‍රවේශය වැඩි කරනු ඇත.

මෙහිදී අදහස් දැක්වූ යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නියෝජිත කණ්ඩායමේ නියෝජ්‍ය ප්‍රධානී ලාර්ස් බ්‍රෙඩල් මහතා ප්‍රකාශ කළේ “සියලු දෙනාටම යුක්තිය සඳහා ප්‍රවේශය සහතික කිරීමේ උත්සාහයේදී යුරෝපා සංගමය ශ්‍රී ලංකාව සමඟ එක්ව සිටියි. නවීන සමාජයේ සෑම අංශයකම ඩිජිටල්කරණය වඩ වඩාත් වැදගත් කාර්යභාරයක් ඉටු කරන මේ සමයේ, යුක්ති සේවාවන් ලබාදීම සඳහා ඒවා වෙත ප්‍රවේශය වැඩිදියුණු කිරීමට ඉඩ සලසන බැවින්ම, එය අධිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වයටද අදාළ වේ. මෙම උපකරණ සැපයීම සමථ මණ්ඩල කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ කාර්යභාරයන් පහසු කිරීමට සහ ශක්තිමත් කිරීමට උපකාරී වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු." යනුවෙනි.

නව සංවර්ධන නිලධාරීන් (සමථකරණ) ඇතුළුව සමථ මණ්ඩල කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩලයේ 235 දෙනෙකුගේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ අවශ්‍යතා ඇගයීම් සමීක්ෂණයක් 2021 වසරේ දෙවන භාගයේදී අවසන් කරන ලද අතර, SEDR විසින් පත්කරන ලද උපදේශකයෙකු විසින් පුහුණුවීම් අවශ්‍යතා විශ්ලේෂණයක් ද සිදු කරන ලදී. මිලදී ගැනීමට නියමිත තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උපකරණවල ස්වභාවය සහ අවධානය යොමු කළයුතු ප්‍රදේශ පිළිබඳව සමථ මණ්ඩල කොමිෂන් සභාව, අධිකරණ අමාත්‍යාංශය සහ SEDR ඒකාබද්ධ කමිටුවේ එකඟතාවයකට අනුව; හොඳම තේරීම ලැප්ටොප් පරිගණක 70ක් ලබා දීම යන්න තීරණය විය.

බ්‍රිතාන්‍ය කවුන්සිලයේ තොරතුරු තාක්ෂණ කණ්ඩායම විසින් මෙම ලැප්ටොප් පරිගණකවලට මෘදුකාංග (Windows10) ඇතුලත් කිරීමේ කාර්යය සම්පූර්ණ කරන ලදී. එමෙන්ම ඒවා සියල්ලම SEDR සන්නාම සහිතව ආරක්‍ෂිත පරිගණක බෑග් සමඟ ලබාදෙනු ඇත. මෙම ලැප්ටොප් පරිගණක බෙදා හැරීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙස, SEDR විසින් සමථ මණ්ඩල කොමිෂන් සභාව සහ අධිකරණ අමාත්‍යාංශය සමඟ එක්ව, නව පරිශීලකයින් 70 දෙනාට මෙම නව තාක්ෂණික මෙවලම් සහ මෘදුකාංග වලින් උපරිම ප්‍රතිලාභ ලබා ගැනීමට හැකි වන බව සහතික කෙරෙන මාර්ගගත හඳුන්වාදීමේ පුහුණු සැසියක් සැලසුම් කර ඉදිරිපත් කරනු ඇත. තවද, සමථ මණ්ඩල කොමිෂන් සභාවේ නවතම සමථකරණ දත්ත ගබඩාවේ අංගයක් ලෙස මෙම උපකරණ වඩාත් හොඳින් භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳව විශේෂිත අවධානය යොමු කෙරෙන අතිරේක මාර්ගගත පුහුණු සැසියක්, නව පරිශීලකයින් වෙනුවෙන් ලබාදීමටත් SEDR සහය වනු ඇත.

  • Ada Derana BIZ Sinhala
  • European Union
  • Mediation Boards Commission
  • national awareness campaign
  • sri lanka

සමථ මණ්ඩල කොමිෂන් සභාවේ ජාතික දැනුවත් කිරීමේ ව්‍යපාරය, යුරෝපා සංගමයේ අරමුදල් සහයෙන් දියත් කෙරේ

October, 10, 2022

ශ්‍රී ලංකාවේ සමථ මණ්ඩල කොමිෂන් සභාව විසින් අධිකරණ අමාත්‍යංශය සමඟ එක්ව ශ‍්‍රී ලංකාවේ සමථකරණ වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීම සඳහා ″ගිනි සිසිල රැ නීරුම් නෙරුප්පුම්‶ ජාතික මාධ්‍ය ප‍්‍රචාරණ ව්‍යාපාරය සැප්තැම්බර් 27 වෙනි දින කොළඹ දී දියත් කරන ලදි.

බ්‍රිතාන්‍ය කවුන්සිලයේ එළිමහන් තණතිල්ලේදී පැවති මෙම එළිදැක්වීමේ උත්සවය සම්භාවනීය අමුත්තන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් සිදුවිය. අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්ත පෙරේරා, සමථ මණ්ඩල කොමිසමෙහි ලේකම් ප‍්‍රියනාත් පෙරේරා , සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සභාපති විනිසුරු යාපා, සමථ මණ්ඩල කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන්, ශ‍්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ යුරෝපා සංගමයේ තානාපති එච්.ඊ. ඩෙනිස් චයිබි, ශ‍්‍රී ලංකාව සහ මාලදිවයිනේ යුරෝපා සංගමයේ නියෝජිත පිරිස, බ්‍රිතාන්‍ය කවුන්සිලයේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ඒඩ‍්‍රියන් චැඞ්වික්, බ්‍රිතාන්‍ය කවුන්සිලයේ ශ‍්‍රී ලංකා අධ්‍යක්ෂ මරියා රෙහ්මාන් සහ ආසියානු පදනමේ මෙරට නියෝජිත දිනේෂා ද සිල්වා යන මහත්ම මහත්මීන් මේ සඳහා සහභාගී වූහ.

"ගිනි සිසිල (නීරුම් නෙරුප්පුම්)” යනු සාම්ප‍්‍රදායික ගිනි නැටුමකට යොමු වන දෘෂ්ටිවාදයකි. එහිදී සිදුකරන්නේ නර්තන ශිල්පියෙකු විසින් තම මුඛයෙන් ගින්නක් නිවා දැමීමයි. ප‍්‍රජා මැදිහත්වීම හරහා ආරවුල් විසඳීම සඳහා සංවාදය භාවිතා කිරීමේ වැදගත්කම මෙම රූපණය තුළින් පෙන්වාදෙනු ලබයි. මෙම සමාරම්භක උත්සවය පුවත්පත්, රූපවාහිනිය, ගුවන්විදුලිය සහ ඩිජිටල් මාධ්‍යයන් හරහා සැබෑ ජීවිතය තුළ මැදිහත්කරණය මඟින් සමථයකට පත් කරන ලද සාර්ථක කතා 24ක් එළිදැක්වීම සංකේතාත්මකව සනිටුහන් කළේය. සවස් යාමයේ දී ඒ අතුරින් තෝරාගත් කතාන්දරයන් කිහිපයක්, සජීවී විනෝදාස්වාද වැඩසටහන් සහ මෙම ව්‍යාපෘතියේ පූර්ව ප‍්‍රචාරක පටයක් ප‍්‍රදර්ශනය කිරීම ද සිදුවිය. සම්භාවනීය අමුත්තන් කිහිපදෙනෙකු සභාව ආමන්ත‍්‍රණය කිරීමද කැපී පෙනුණි. රැස්ව සිටි පිරිස අමතමින් අධිකරණ අමාත්‍ය ගරු. ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පැවසුවේ ”විකල්ප ආරවුල් නිරාකරණ යාන්ත‍්‍රණයක් ලෙස සමථකරණය ප‍්‍රවර්ධනය කිරීම මේ මොහොතේ අධිකරණ අමාත්‍යාංශයේ ප‍්‍රධාන ප‍්‍රමුඛතාවයකි. ශ‍්‍රී ලංකාවේ සමථ ක‍්‍රියාවලිය වැඩිදියුණු කිරීම සඳහා යුරෝපා සංගමයේ දායකත්වය මම බෙහෙවින් අගය කරමි.” යනුවෙනි.

මෙම ව්‍යාපාරයේ ප‍්‍රධාන අරමුණ වන්නේ ශ‍්‍රී ලංකාව තුළ උනන්දුව මත පදනම් වූ සමථකරණ ක‍්‍රියාවලිය සහ ප‍්‍රවේශය පැහැදිලි කරමින් සියලූම ප‍්‍රජා අතර සමථකරණය භාවිතය ප‍්‍රවර්ධනය කිරීමයි. සමථකරණ සේවාවන්හි ස්වභාවය, එහි ප‍්‍රයෝජන පිළිබඳව වැඩි පිරිසක් දැනුවත් කරමින්, එමඟින් විකල්ප ආරවුල් විසඳීමේ සේවාවන් සඳහා වඩා හොඳ ප‍්‍රවේශයක් ලබාදීම මෙහි මූලික අරමුණයි. එසේම නඩු පැවරීම හා සසඳන විට වියදම දැරිය හැකි, තිරසාර සහ කාලය ඉතිරි කිරීමේ ක‍්‍රියාවලියක් බවට මහජනතාව දැනුවත් කිරීමට ද එය උපකාරී වනු ඇත.

මෙහිදී අදහස් දැක්වූ ශ‍්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ යුරෝපා සංගම් තානාපති එච්.ඊ. ඩෙනිස් චයිබි මහතා ප‍්‍රකාශ කළේ, සමථ මණ්ඩලය මඟින් ශ‍්‍රී ලංකාව පුරා සපයන සමථකරණ සේවාවන් පිළිබඳව දැනුවත් කිරීම අරමුණු කරගත් මෙම ව්‍යාපාරය දියත් කිරීම යුරෝපා සංගමය අගය කරන බවයි. සමථකරණය යනු පුද්ගල ආරවුල් විසඳීමේ හා ඒවා උත්සන්න වීම වලක්වා සම්බන්ධ වූ පුද්ගලයන්ට සහනයක් ලබාදෙන මෙන්ම අධිකරණ පද්ධතිය ඉහවහා යාම වලක්වන ඉතා කාර්යක්ෂම හා ඵලදායී මාධ්‍යයක් බව ඒ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

මෙම ව්‍යාපාරය මෙහෙයවනු ලබන්නේ යුරෝපා සංගමයේ මූල්‍ය අනුග‍්‍රාහකත්වයෙන්, ආසියානු පදනම සමඟ එක්ව බි‍්‍රතාන්‍ය කවුන්සිලය මඟින් කි‍්‍රයාත්මක කෙරෙන වසර හතරක යුක්ති ප‍්‍රවේශ ව්‍යාපෘතියක් වන ඵලදායීව ආරවුල් නිරාකරණයට සහයවීමේ (SEDR) ව්‍යාපෘතිය මගිනි. යුරෝ මිලියන 7ක ව්‍යාපෘතියක් වන මෙය, ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක වන යුරෝපා සංගමයෙහි (EU) STRIDE ව්‍යාපෘතියෙහි (Strengthening Transformation, Reconciliation, and Inclusive Democratic Engagement) අංගයක් ලෙස සඳහන් කළ හැකිය.