December, 5, 2022
2022 නොවැම්බර් මාසයේ දී ශ්රී ලංකාව සංචාරක කර්මාන්තයෙන් උපාය ඇති ආදායම ඩොලර් මිලියන 107.5 ක් බව ශ්රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක සඳහන් වේ. කෙසේවෙතත් මෙය 2021 නොවැම්බර් මාසයේ දී වාර්තා වන ඩොලර් මිලියන 115.4 ක සංචාරක ඉපැයීම් හා සැසඳීමේ දී පහළ යාමකි.
මෙහි ඇති විශේෂත්වය වන්නේ 2021 නොවැම්බර් මාසයේ දී ඩොලර් මිලියන 115.4 ක් උපයා ඇත්තේ සංචාරකයින් 44,294 ක් මෙරටට පැමිණ ඇති පසුබිමක වීමයි. 2022 නොවැම්බර් මාසයේ දී 59,759 ක සංචාරකයින් සංඛ්යාවක් හරහා උපයා ඇත්තේ ඩොලර් මිලියන 107.5 ක් පමණි.
මේ අනුව වාර්ෂික පදනම මත 2021 නොවැම්බර් මාසයට වඩා 2022 නොවැම්බර් මාසයේ දී මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්යාව 35% කින් ඉහළ ගොස් ඇතත් ඒ හරහා උපයා ඇති ආදායම 6.8% කින් පහළ ගොස් තිබේ.
සමස්තයක් ලෙස සැලකීමේ දී 2022 ජනවාරි - නොවැම්බර් කාලපරිච්ඡේදය තුළ මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයින් ප්රමාණය 628,017 ක් වන අතර එය 2021 වසරේ අදාළ කාලපරිච්ඡේදයේ අගය වූ 104,989 හා සැසඳීමේ දී 498% ක වර්ධනයකි.
මේ අතර අදාළ කාලපරිච්ඡේදය තුළ ඉපයීම් 2021 වසරේ ඩොලර් මිලියන 273.6 ක් ලෙසින් වාර්තා වන අතර එය 2022 වසරේ දී ඩොලර් මිලියන 1,129.4 ක් දක්වා 312.8% කින් ඉහළ ගොස් ඇත.

November, 14, 2022
2023 අයවැය ඇස්තමේන්තු සාරාංශය පහතින් දක්වා තිබේ.
2023 වසර සඳහා ඇස්තමේන්තුගත මුළු ආදායම් හා ප්රදාන රු. බිලියන 3,415 ක් ලෙසින් දක්වා ඇති අතර මුළු වියදම් ඇස්තමේන්තුව රු. බිලියන 5,819 ක් වේ.
මේ අනුව 2023 වසරේ අයවැය හිඟය රු. බිලියන 2,404 කි.
එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 7.9% ක් වේ.

September, 1, 2022
ශ්රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයට සාපේක්ෂව බදු එකතු කිරීම පවතින්නේ ඉතා පහළ මට්ටමක බවත් ෆිස්කල් ගැලපීම් සිදුකිරීමට නම් බදු ආදායම ඉහළ නංවා ගත යුතු බවත් ජාත්යන්තර මූල්ය අරමුදලේ මෙරට දූත මණ්ඩල ප්රධානී මසහිරො නොසාකි මහතා පවසයි.
මේ අතර මෙම කාර්ය මණ්ඩල මට්ටමේ සාකච්ඡාවේ දී ධනය මත පදනම් වන බද්ද (Wealth Tax) ගැන සාකච්ඡාවට ගැනුණු බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මෙම මාධ්ය හමුවේ දී අදහස් දැක්වූ ජාත්යන්තර මූල්ය අරමුදලේ මෙරට දූත මණ්ඩල ප්රධානී මසහිරො නොසාකි මහතා,
ශ්රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදනයට සාපේක්ෂව බදු එකතු කිරීම පවතින්නේ ඉතා පහළ මට්ටමක. එබැවින් ෆිස්කල් ගැලපීම් සිදුකිරීම සඳහා බදු ආදායම ඉහළ නංවා ගත යුතුයි.
වැඩසටහන යටතේ බදු ප්රතිසංස්කරණ ප්රගතිශීලී ආකාරයෙන් සකස් විය යුතුයි. එයින් අදහස් වෙන්නේ ඉහළ ආදායම් ලබන්නන් ඊට වැඩි වශයෙන් දායකත්වය ලබා දිය යුතු බව තහවුරු කිරීමට අවශ්යයි.
ෆිස්කල් ගැලපීම්වලින් දිළිඳු සහ වැඩි වශයෙන් බලපෑමට ලක්විය හැකි ජන කොට්ඨාශයන්ට විය හැකි බලපෑම අවම කළ හැක්කේ එවිටයි.
බදු නිර්දේශ පැනවීමේ දී ප්රගතිශීලී අයුරින් එය ක්රියාත්මක වීමට නම්, පුද්ගලික ආදායම් බදු සැලකීමේ දී ඉහළ ආදායම් ලබන්නන්ට ඉහළ බදු අනුපාතයක් යෙදවීමෙන් එය කළ හැකියි.
Wealth Tax මෙම කාර්ය මණ්ඩල මට්ටමේ සාකච්ඡාවේ/ ගිවිසුමේ කොටසක්. එය නිර්මාණය වන්නේ කෙසේද යන්න පිළිබඳව බලධාරීන් සමඟ සාකච්ඡා කළ යුතුයි. ඒවගේම එයට සූදානම් වීමට කාලයක් යාවි. එය යෝග්ය ආකාරයෙන් නිශ්චිත කාල රාමුවක් යටතේ සකස් විය යුත්තක්.
Video Story