• Ada Derana BIZ Sinhala
  • ATM
  • ComBank
  • CRM
  • digital receipts
  • Introduces
  • sri lanka

කොමර්ෂල් බැංකුවේ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර වලින් මුදල් ලබා ගන්නා අයට දැන් ඩිජිටල් රිසිට් පත්

December, 2, 2022

ගනුදෙනු පිරිවැය අඩුකරමින් කඩදාසි භාවිතය අඩුකිරීම සඳහා කොමර්ෂල් බැංකුවේ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර වලින් මුදල් ලබාගැනීමේදී ඩිජිටල් රිසිට් පතක් නිකුත් කිරීම හඳුන්වා දී තිබෙන අතර මෙය පරිසර හිතකාමී හරිත සංකල්පයක් සේම එමගින් පාරිභෝගිකයින්ට පහසුවක් ඇති කරයි.

බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන් හෝ ඩෙබිට් කාඞ්පත් හිමියන් දිවයින පුරා පිහිටි බැංකුවේ  කෑෂ් රීසයික්ලර් යන්ත‍්‍ර (CRM) හෝ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර (ATM) තුළින් මුදල් ආපසු ගැනීමේදී එම යන්ත‍්‍ර මගින් ලබාදෙන මුද්‍රණය කළ රිසිට් පත වෙනුවට තමාගේ ජංගම දුරකතන අංකය කොමර්ෂල් බැංකුවේ ලියාපදිංචි කර තිබෙන ගනුදෙනු කරුවන්ට කෙටි පණිවුඩයක් ආකාරයෙන් ඩිජිටල් රිසිට් පතක් නිකුත් කරන බව බැංකුව සඳහන් කරයි.

මෙම කෙටි පණිවුඩයට ඩිජිටල් රිසිට් පත ලින්ක් එකක් ලෙස අමුණා තිබෙන අතර එය තමාගේ පරිගණකයට හෝ ජංගම සන්නිවේදන උපකරණයට ඩවුන්ලෝඞ් කරගෙන නිරීක්ෂණය කිරීමේ හැකියාව තිබෙන බව ද බැංකුව පවසයි. මේ වනවිට, කෑෂ් රීසයික්ලර් යන්ත‍්‍ර හෝ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර මගින් මුදල් ආපසු ලබාගැනීමේදී කඩදාසි සඳහා අයකරන රුපියල් 05 ක බද්ද මෙම ඩිජිටල් රිසිට් පත සඳහා ලියාපදිංචි වී එය ලබාගන්නා ගනුදෙනුකරුවන්ගෙන් අය නොකරන බව කොමර්ෂල් බැංකුව පවසයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - අලෙවිකරණ, හස්රත් මුණසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය. ‘කඩදාසි නොවන ගනුදෙනු දිරිමත් කරමින් පරිසර හිතකාමී ලෙස හැසිරීමට පාරිභෝගිකයින් උනන්දු කිරීමේදී ඩිජිටල් රිසිට් පතක් හඳුන්වාදීම තුළින් කඩදාසි තැන තැන විසිකර දැමීමේ සමාජ ප‍්‍රශ්නය ද අපිට නතර කරන්න පුළුවන්. ගනුදෙනු වලින් පසුව ලැබෙන බොහෝ කඩදාසි රිසිට්පත් එම යන්ත‍්‍ර අවට තැන තැන දමා යෑම මේ වනවිට සාමාන්‍ය සිරිතක් බවට පත්වී තිබෙනවා. ඩිජිටල් රිසිට් පත් භාවිතය තුළින් පාරිභෝගිකයින්ගේ මුදල් ඉතිරි කරන අතරම බැංකුවේ මුදල්ද ඉතිරිකර ගැනීමට හැකියාව ලැබෙනවා. එසේම, ඒ තුළින් කඩදාසි නිපදවීම සඳහා සිදුකරන ශාක භාවිතය අවම කර ගැනීමට අවස්ථාව ලැබෙන අතර තිරසාර අනාගතයක් ඇතිකර ගැනීමේ බැංකුවේ  උපායමාර්ගික වැඩසටහනේ ප‍්‍රධාන අංගයක් ලෙස මෙය පෙන්වාදිය හැකියි.’

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 269 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 943 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

  • Ada Derana BIZ Sinhala
  • Exclusive Online Offers
  • Introduces
  • sri lanka
  • SriLankan Airlines
  • Students

ශ්‍රීලංකන් ගුවන් සේවය විදෙස් ගතවන සිසුන් සඳහා සුවිශේෂී Online දීමනා හඳුන්වා දෙයි

November, 2, 2022

ශ්‍රීලංකන් ගුවන් සේවය ශිෂ්‍ය වීසා බලපත්‍රලාභීන් සඳහා ගුවන් සේවයේ වෙබ් අඩවිය හරහා සෘජුවම ගුවන් ප්‍රවේශ පත්‍ර වෙන් කිරීම් සඳහා බහුවිධ සුවිශේෂී ප්‍රතිලාභ හඳුන්වා දී තිබේ. ශිෂ්‍ය සංචාරකයින්ට ශ්‍රීලංකන් ගුවන් සේවය සමඟ ගමන් කරන විට මුදල් ආපසු දීමේ දීමනා සහ අතිරික්ත ගමන් මලු දීමනා භුක්ති විඳීමට හැකිවේ.

සිසුන්ට ඔවුන්ගේ පළමු ගුවන් ටිකට්පත් මිලදී ගැනීමේදී ක්ෂණිකව සියයට 10 ක මුදල් ආපසු හිමිවන අතර ස්වයං-සංචාර සඳහා ප්‍රවේශපත්‍ර පහක් දක්වා මිලදී ගන්නා සෑම අවස්ථාවකදීම අමතර ටිකට් පතකටම සියයට 15 ක මුදල් ආපසු ඔවුන්ටම ලබා දෙනු ඇත. මීට අමතරව, සිසුන්ගේ දෙමාපියන් සහ භාර්යාව හෝ ස්වාමිපුරුෂයා  විදේශයන්හි අධ්‍යාපනය ලබන අය  බැලීම සඳහා ප්‍රවේශපත්‍ර මිලදී ගන්නා විට සියයට පහක මුදල් ආපසු ගෙවීමක් ලබාදෙනු ඇත.

අධ්‍යාපනය සඳහා වෙනත් රටකට සංක්‍රමණය වීම බොහෝ විට සිසුන්ට නොසන්සුන් සහ පීඩාකාරී අත්දැකීමක් විය හැකිය. එම කාලය තුළ ශිෂ්‍යයෙකුට මුහුණ දීමට සිදු විය හැකි බොහෝ අභියෝග පවතින අතර ගුවන් ගමන් මලු දීමනා සීමාවන් මත තම පුද්ගලික බඩු බාහිරාදිය රැගෙන යන්නේ කෙසේද යන ප්‍රශ්නයට ඔවුන්ට ප්‍රධාන වශයෙන් මුහුණ දීමට සිදුවෙයි. මෙම පොදු අභියෝගයට ප්‍රතිචාර වශයෙන්, ශ්‍රීලංකන් එක් එක් ගමන් පන්තියේ නිත්‍ය ගමන් මලු දීමනාවට අමතරව පිරිමැසුම් පංතිය සහ ව්‍යාපාරික පන්තිය සඳහා කිලෝග්‍රෑම් 10ක අමතර ත්‍යාගශීලී ගමන් මලු දීමනාවක් පිරිනමයි.

ස්වයං-සංචාර සඳහා මිලදී ගන්නා සෑම ගුවන් ප්‍රවේශ පත්‍රයක් සඳහාම එක වරක් ගාස්තු අය කිරීමකින් තොරව සංචාර දින වෙනස් කිරී‍මේ වරප්‍රසාදයද සිසුන්ට ලැබේ. ශ්‍රීලංකන් ශිෂ්‍යයින් සඳහා ඉතා හොඳින් ගුවන් මාර්ග සිතියම සැලසුම් කර ඇති අතර අධ්‍යාපනය සඳහා ජනප්‍රිය රටවල් එක්සත් රාජධානිය , ඕස්ට්රේලියාව; මැලේසියාව; සිංගප්පූරුව; සහ ඉන්දියාව වැනි ගමනාන්ත වෙත සෘජු ගුවන් ගමන් සේවා සිදුකරයි.

වසරකට ශ්‍රී ලාංකිකයන් 25,000ක් පමණ විදේශයන්හි උසස් අධ්‍යාපනය අපේක්ෂා කරති. කොළඹ සිට ජාත්‍යන්තර නගර වෙත ගමන් කරන සිසුන්ගෙන් බහුතරයක් රැගෙන යන්නේ ශ්‍රීලංකන් ගුවන් සමාගම වන අතර ශ්‍රී ලාංකීය ජාත්‍යන්තර ශිෂ්‍යයින්ගේ ජනප්‍රියතම තෝරාගැනීම වනුයේ ශ්‍රීලංකන් ගුවන් සමාගමයි.

online වෙන්කරවා ගැනීමේ ක්‍රමවේදය භාවිත කිරීමේ දී හිමිවන වාසි හේතුවෙන් ශ්‍රී ලාංකික සිසුන් වැඩි සංඛ්‍යාවක් දැන් ඔවුන්ගේ ගුවන් ගමන් ඒ හරහා සිදු කිරීමට කැමැත්තක් දක්වයි. ශ්‍රීලංකන් හි සුවිශේෂී දීමනා සමඟින්, සිසුන්ට ඔවුන්ගේ ගමන පහසු කර ගැනීමත්  වැඩි ප්‍රතිලාභ ලබා ගැනීමටත් හැකි වී ඇත. වැඩි විස්තර සහ වෙන් කිරීම් සඳහා පිවිසෙන්න. https://www.srilankan.com/en_uk/special-offers/free-baggage-allowance-for-Students