• Ada Derana BIZ Sinhala
  • ATM
  • ComBank
  • CRM
  • digital receipts
  • Introduces
  • sri lanka

කොමර්ෂල් බැංකුවේ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර වලින් මුදල් ලබා ගන්නා අයට දැන් ඩිජිටල් රිසිට් පත්

December, 2, 2022

ගනුදෙනු පිරිවැය අඩුකරමින් කඩදාසි භාවිතය අඩුකිරීම සඳහා කොමර්ෂල් බැංකුවේ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර වලින් මුදල් ලබාගැනීමේදී ඩිජිටල් රිසිට් පතක් නිකුත් කිරීම හඳුන්වා දී තිබෙන අතර මෙය පරිසර හිතකාමී හරිත සංකල්පයක් සේම එමගින් පාරිභෝගිකයින්ට පහසුවක් ඇති කරයි.

බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන් හෝ ඩෙබිට් කාඞ්පත් හිමියන් දිවයින පුරා පිහිටි බැංකුවේ  කෑෂ් රීසයික්ලර් යන්ත‍්‍ර (CRM) හෝ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර (ATM) තුළින් මුදල් ආපසු ගැනීමේදී එම යන්ත‍්‍ර මගින් ලබාදෙන මුද්‍රණය කළ රිසිට් පත වෙනුවට තමාගේ ජංගම දුරකතන අංකය කොමර්ෂල් බැංකුවේ ලියාපදිංචි කර තිබෙන ගනුදෙනු කරුවන්ට කෙටි පණිවුඩයක් ආකාරයෙන් ඩිජිටල් රිසිට් පතක් නිකුත් කරන බව බැංකුව සඳහන් කරයි.

මෙම කෙටි පණිවුඩයට ඩිජිටල් රිසිට් පත ලින්ක් එකක් ලෙස අමුණා තිබෙන අතර එය තමාගේ පරිගණකයට හෝ ජංගම සන්නිවේදන උපකරණයට ඩවුන්ලෝඞ් කරගෙන නිරීක්ෂණය කිරීමේ හැකියාව තිබෙන බව ද බැංකුව පවසයි. මේ වනවිට, කෑෂ් රීසයික්ලර් යන්ත‍්‍ර හෝ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර මගින් මුදල් ආපසු ලබාගැනීමේදී කඩදාසි සඳහා අයකරන රුපියල් 05 ක බද්ද මෙම ඩිජිටල් රිසිට් පත සඳහා ලියාපදිංචි වී එය ලබාගන්නා ගනුදෙනුකරුවන්ගෙන් අය නොකරන බව කොමර්ෂල් බැංකුව පවසයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - අලෙවිකරණ, හස්රත් මුණසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය. ‘කඩදාසි නොවන ගනුදෙනු දිරිමත් කරමින් පරිසර හිතකාමී ලෙස හැසිරීමට පාරිභෝගිකයින් උනන්දු කිරීමේදී ඩිජිටල් රිසිට් පතක් හඳුන්වාදීම තුළින් කඩදාසි තැන තැන විසිකර දැමීමේ සමාජ ප‍්‍රශ්නය ද අපිට නතර කරන්න පුළුවන්. ගනුදෙනු වලින් පසුව ලැබෙන බොහෝ කඩදාසි රිසිට්පත් එම යන්ත‍්‍ර අවට තැන තැන දමා යෑම මේ වනවිට සාමාන්‍ය සිරිතක් බවට පත්වී තිබෙනවා. ඩිජිටල් රිසිට් පත් භාවිතය තුළින් පාරිභෝගිකයින්ගේ මුදල් ඉතිරි කරන අතරම බැංකුවේ මුදල්ද ඉතිරිකර ගැනීමට හැකියාව ලැබෙනවා. එසේම, ඒ තුළින් කඩදාසි නිපදවීම සඳහා සිදුකරන ශාක භාවිතය අවම කර ගැනීමට අවස්ථාව ලැබෙන අතර තිරසාර අනාගතයක් ඇතිකර ගැනීමේ බැංකුවේ  උපායමාර්ගික වැඩසටහනේ ප‍්‍රධාන අංගයක් ලෙස මෙය පෙන්වාදිය හැකියි.’

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 269 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 943 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.