• Ada Derana BIZ Sinhala
  • Aloysius' company
  • Lotus Tower
  • sri lanka

නෙළුම් කුලුන බදු දෙන්නේ ඇලෝෂියස්ගේ සමාගමකට?

December, 14, 2022

කොළඹ නෙළුම් කුලුනෙහි ආයෝජන ව්‍යාපෘතියක් සඳහා ගිවිසුම්ගත සිංගප්පූරු සමාගමේ මෙරට නියෝජිතයා, අර්ජුන ඇලෝෂියස්ට සම්බන්ධ ආයතනයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි. ඊයේ (13) පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව කියා සිටියේය.

මීට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් ඉදිරියේ දී සොයා දිය හැකි බවයි.

පා.ම. චමින්ද විජේසිරි -  දැන් අර්ජුන ඇලෝෂියස් ට සම්බන්ධ ආයතනයක් තමයි අද නෙළුම් කුලුන කියන සිංගප්පූරු කම්පැනියකට බදු දීලා තියෙන, ඒ සිංගප්පූරු කම්පැනියේ ලංකාවේ නියෝජිතයා හැටියට ඉන්නේ. ඒක ඔබතුමා දන්නවාද දන්නේ නැහැ. අපට තියෙන ප්‍රශ්නය දැන් අර්ජුන ඇලෝෂියස් හොයන වෙලාවේ, ඒ අර්ජුන ඇලෝෂියස් ඒ සිංගප්පූරු සමාගමේ ලංකාවේ නියෝජිතයා හැටියට නෙළුම් කුලුන ව්‍යාපෘතිය ලබා දෙන්නේ, පහුගිය කාලේ මහ බැංකු බැඳුම්කරේ මුදල රාජසන්තක වුණා බාගයක්. ඒක පියවා ගැනීම වෙනුවෙන් ද මේ දෙන්නට හදන්නේ දීලා තියෙන්නේ නෙළුම් කුලුන ව්‍යාපෘතියේ සිංගප්පූරු සමාගමක් වුණාට ඒකේ ලංකාවේ නියෝජිතයා අර්ජුන ඇලෝෂියස් කියන කාරණය පැහැදිලි කාරණයක්. ඔබතුමා ඒක දැනුවත්ද?

අමාත්‍ය ප්‍රසන්න රණතුංග - මම දන්නේ නැහැ පාර්ලිමේන්තු වරප්‍රසාදවලට ආවරණය වෙලා මෙතුමා මේ වගේ දෙයක් කියනවාද කියන එක හොයලා බලන්න ඕනේ. මොකද අපි අර්ජුන ඇලෝෂියස් එක්ක සම්බන්ධ නැහැ. ඔබතුමාලා තමයි සම්බන්ධ. ඔබතුමාලා දන්න නිසා ඉදිරිපත් කරනවා ඇති. ඒ පිළිබඳව ඉදිරියේ දී හොයලා දෙන්නන්.

 

 

  • Ada Derana BIZ Sinhala
  • Chinese
  • Chinese Embassy
  • Lotus Tower
  • sri lanka

චීන ජාතිකයින්ට නෙළුම් කුලුන ‍free ද? – චීන තානාපති කාර්යාලයෙන් පැහැදිලි කිරීමක්

September, 14, 2022

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන, කොළඹ නෙළුම් කුලුන පරිශ්‍රයට ඇතුළත් වීම සඳහා නිකුත් කරනු ලබන ටිකට් පතක යැයි පැවසෙන ඡායාරූපයක් පිළිබඳව මෙරට චීන තානාපති කාර්යාලය විසින් පැහැදිලි කිරීමක් කර තිබේ.

මෙහිදී චීන තානාපති කාර්යාලය පවසන්නේ නෙළුම් කුලුනේ ප්‍රවේශපත්‍රයක් ලෙසින් සංසරණය වන එම ඡායාරූපය ව්‍යාජ එකක් බවයි.

එම සංසරණය වන ටිකට්පතේ දක්වා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, චීන ජාතිකයින්ට නෙළුම් කුලුන පරිශ්‍රයට නොමිලේ ඇතුළත් විය හැකි බවයි. එහිදී චීන ජාතිකයන් වලංගු විදේශ ගමන් බලපත්‍රෙය් මුල් පිටපත ඉදිරිපත් කළ යුතු බව එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

මෙලෙස සංසරණය වන ටිකට් පත ව්‍යාජ එකක් බව මෙරට චීන තානාපති කාර්යාලය ට්විටර් සටහනක් තබමින් පවසා සිටී. හෙට (15) සිට නෙළුම් කුලුන මහජනයා සඳහා විවෘත වන බවත්, ටිකට් පතක් මිල දී ගෙන ඔබගේම ඇස් දෙකෙන් එය දැක බලා ගන්නා ලෙසත් චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

 

  • Ada Derana BIZ Sinhala
  • leased
  • Lotus Tower
  • sri lanaka

නෙළුම් කුළුණ බදු දෙනු ලැබේ

June, 15, 2022

කොළඹ නෙළුම් කුළුණෙහි ‘පදනම‘ හා ‘ටවර් හවුස්‘ යන ස්ථානයන්ට අයත් කොටස් බදු හෝ කුලී පදනම මත ලබා දීමට තීරණය කර ඇති බව කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ පුද්ගලික සමාගම පවසයි.

මීටර 350 ක උසකින් යුතු කොළඹ අගනුවර මධ්‍යයේ පිහිටා තිබෙන මෙම කුළුණ ප්‍රධාන සංචාරක මධ්‍යස්ථානයක් ලෙස විවෘත වන විට විශාල විදේශීය සහ දේශීය නරඹන්නන් ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කරන ආකාරයේ සුවිශේෂී එකක වනු ඇති බවට කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ පුද්ගලික සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ අනුව කුළුණෙ හි බිම් මහලෙහි පිහිටි ස්මාරක අලෙවිසැලක්, භෝජනාගාර 3ක් හා ප්‍රදර්ශන ගැලරියක්ද, 1 වන මහලෙහි පිහිටි ඩිජිටල් බැංකුකරණ ඒකක 5ක්, ඉ-ක්‍රීඩා වේදිකාවක්, කෝපි හල් 3 ක්, නවෝත්පාදන මධ්‍යස්ථාන 3ක්, 7D සිනමා හලක් හා ඩිජිටල් කෞතුකාගාරයක් ද, එහි දෙවන මහලෙහි පිහිටි උත්සව ශාලාවක්/ ප්‍රදර්ශන කලාපයක් සහ රැස්වීම් ශාලාවක් ද බදු/ කුලී පදනම මත ලබා දීමට අපේක්ෂිත ඒකකවලට අයත් වේ. මීට අමතරව කුළුණේ පදනමෙහි රූෆ්ටොප් කොටසෙහි පිහිටි භෝජන ශාලා/ අවන්හල් 5 ක් ද බදු/ කුලී දීමට ඇත.

නෙළුම් කුළුණෙහි තෙවන මහලේ සිට සයවන මහල දක්වා මහල් අයත් වන්නේ ‘ටවර් හවුස්‘ කොටසටයි. මෙහිදී තෙවන හා සිව්වන මහල් හි පිහිටි උත්සව ශාලා/ අවන්හල් 1 බැගින් ද, පස්වන මහලෙහි පිහිටි කැරකෙන අවන්හලක් ද බදු/ කුලී දෙන කොටසට අයත් වේ.

එමෙන්ම 06 වන මහලෙහි පිහිටි සුඛෝපභෝගී කාමර 6 ක් බදු/ කුලී දීමට ද සමාගමේ කළමනාකාරීත්වය අපේක්ෂා කරයි.

සම්පූර්ණ රජය සතු සමාගමක් වන කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ පුද්ගලික සමාගම, ඉහත කී හිස් අවකාශයන් බදු දීම හෝ කුලියට දීම සඳහා ඊට උනන්දුවක් දක්වන පුද්ගලයින්ගෙන් හෝ සමාගම්වලින් අභිලාශ ප්‍රකාශ කිරීමට ඇරයුම් කර සිටී.

මෙම අභිලාෂය ප්‍රකාශ කිරීමේ ඉදිරිපත් කිරීම් 2022 ජූනි 30 දින පැය 1500ට අවසන් වන බව කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ පුද්ගලික සමාගම වැඩිදුරටත් පවසයි.