January, 26, 2023
ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්යාපාරයක් වන DIMO, 2023 වසර සඳහා සිය දින දර්ශනය එළිදැක්වූ අතර එමඟින් රට පුරා දක්නට ලැබෙන සුවිශේෂී මාර්ග රැසක් ප්රදර්ශනය කරනු ලබයි. අප දේශයේ සුන්දරත්වය නිරූපණය කිරීම පමණක් නොව, අප අත් විඳින ජීවිත මං පෙත් ද මෙමඟින් සංකේතවත් කෙරේ. දකුණු ආසියාවේ මහත් ඝනත්වයෙන් යුත් මාර්ග ජාලය පමණක් නොව, ශ්රී ලංකාවේ මාර්ග, පටු හෝ පළල් වුවත්, දර්ශනීය හෝ අන්තර් සම්බන්ධිත වූවත්, කාලය හරහා පුද්ගලයින් සම්බන්ධ කරනු ලබන පුරුකක් ලෙස ද හැඳින්විය හැක.
ඉතිහාසය පුරා, වෙළඳාම මෙන්ම වාණිජ කටයුතු හරහා ද, සබඳතා ඔප් නැංවීමේ දී පවා, ශ්රී ලංකාවේ මාර්ග මහඟු දායකත්වයක් දරයි.මෙම දින දර්ශනය අප මුළු රටම ආවරණය කරමින් ශ්රී ලංකාවේ සුන්දරත්වය ලොවට මනාව ප්රදර්ශනය කරයි.
'දහ අට වංගුව' මාර්ගය, කුරුණෑගල අධිවේගී මාර්ගය, ලොග්ගල්ඔය - මහියංගනය මාර්ගය, කල්කුඩා මාර්ගය සහ අරුකර්කුඩා ත්රිකුණාමල අධිවේගී මාර්ගය ඇතුළු තවත් දැකුම්කලු මාර්ග කිහිපයක් මෙම දින දර්ශනයේ ඇතුලත් වේ. එහි දැක්වෙන අනෙකුත් මාර්ග අතරට අනුරාධපුරයේ කලා වැව - අකුණ පාර, දර්ශනීය වෙරළ තීරය හා සමාන්තරව දිවෙන තාල්යාඩි මාර්ගය සහ පොළොන්නරුවේ කලහගල මාර්ගය ද ඇතුලත් වේ. බුත්තල - කතරගම මාර්ගය, යාපනයේ සංගුපිඩ්ඩි පාලම, අකුරල මාර්ගය, යාපනය - කිලිනොච්චි මාර්ගය යන මාර්ගයන්ද මෙම දින දර්ශනයේ දිස් වනු ලබයි.
ඕනෑම ආකාරයක ඍනාත්මක පාරසරික බලපෑම් අවම කිරීමට කටයුතු කරනා සමූහයක් ලෙස, DIMO, මෙවරත් දින දර්ශනය පරිසර හිතකාමී එළවළු ආශ්රිත මුද්රණ තීන්ත යොදා මුද්රණය කර ඇත.මෙම දින දර්ශනයෙහි මූලික සංකල්පය Sarva Integrated විසින් නිර්මාණය කර ඇත.
January, 26, 2023
ශ්රීලංකන් ගුවන් සේවය, ලොව පුරා ආකර්ශණය දිනාගත් “Ride Sri Lanka 2023” පාපැදි සවාරිය දිවයින වටා සංවිධානය කිරීමට කටයුතු යොදා තිබේ. ඒ් අනුව “Ride Sri Lanka 2023” පාපැදි සවාරිය ජනවාරි 23 වන දින Jetwing Jaffna සිට ආරම්භ කිරීමට නියමිතයි. සංචාරක ගමනාන්තයක් ලෙස ශ්රී ලංකාවේ අභිමානය නිරූපණය කරමින් දිවයිනේ වඩාත්ම මනරම් ස්ථාන පසුකරමින් පැමිණෙන මෙම පාපැදි සවාරිය ජනවාරි 28 වන දින ගාල්ලට ළඟා වනු ඇත.
ඒ අනුව යාපනය, මන්නාරම, අනුරාධපුරය, සීගිරිය, රම්බොඩ, නුවරඑළිය, ඇල්ල, තිස්සමහාරාමය සහ ගාල්ල වැනි දිවයිනේ පාරිසරික හා සංස්කෘතික ආකර්ෂණීය ස්ථාන සහිත නගර පසුකරමින් සංචාරයේ හත්වැනි දින කොළඹට පැමිණීමට සැලසුම් කර තිබේ. එහිදී පාපැදිකරුවන් කොළඹ අවට පාපැදි සවාරියක නිරතවනු ඇත. මෙවැනි ජාත්යන්තර මට්ටමේ පාපැදි සවාරියක ආරම්භක ස්ථානය ලෙස යාපනය තෝරා ගත් පළමු අවස්ථාව ද මෙය වේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්රීලංකන් ගුවන් සමාගමේ ප්රධාන විධායක නිලධාරී රිචඩ් නටාල් මහතා මෙසේ පැවසීය. " ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ ගමනාන්ත ප්රවර්ධකයෙකු ලෙස, නිවාඩුව සඳහා පමණක් නොව, ත්රාසජනක ක්රීඩා සහ සුවතාවය සහ විඳදරාගැනීමේ ක්රියාකාරකම් සඳහා ද ශ්රී ලංකාව සිත් ඇදගන්නා ගමනාන්තයක් බව පෙන්වීමට අපි බොහෝ මුල පිරීම් ආරම්භ කරලා තියෙනවා. අපගේ පෞරාණික වෙරළ තීරයන්, වන සතුන් සහ මෙරටට ආවේණික ආගන්තුක සත්කාරය සංචාරකයින් ආකර්ෂණය කර ගන්නවා වගේම, අපගේ අභිප්රාය වන්නේ ශ්රී ලංකාවට තවත් බොහෝ දේ පිරිනැමීමයි. ඒ වගේම රට නැරඹීමට සුදුසුම කාලය මෙය බවත් අපි ලොව පුරා පණිවිඩය ගෙන යනවා. ” යැයිද ඒ මහතා පැවසීය.
මෙම සංචාරයට සහභාගී වීම සඳහා ජාත්යන්තර පාපැදිකරුවන් 15 දෙනෙකුට වැඩි පිරිසක් දිවයිනට පැමිණ ඇති අතර ඔවුන් සමඟ පාපැදි පැදීම සඳහා විශේෂිත වූ ජාත්යන්තර මාධ්ය සහ පාපැදි සවාරයිට අවශ්ය වන අලෙවිසැල් රැසක් ද පැමිණ ඇත. මේ සඳහා සහභාගී වන ධාවකයින් අතර වත්මන් සහ සිව් වතාවක් ලෝක ඒකල 24HR ශූරයා සහ දෙවරක් කැනේඩියානු මැරතන් ශූරයා වන Cory Wallace, එක්වන අතර ඔහු කැනඩා Kona Factory කණ්ඩායම සඳහා තරඟ කරයි. ඕස්ට්රේලියානු මවුන්ටන් බයික් සහ හත් වරක් 24HR Solo MTB ලෝක ශූරයා වූ Jason English, දැනට ඇමරිකා එක්සත් ජනපදයේ Topeak-Ergon Racing Team සඳහා තරඟ කරන සහ 2011 සිට සෑම වසරකම UCI MTB මැරතන් ලෝක ශූරතාවලිය සඳහා ජපානය නියෝජනය කරන Yuki Ikeda , පස් වතාවක් Xterra Major ශූරතා දිනූ සහ තුන් වතාවක් ජාතික ශූරයා වූ Karsten Madsen සහ IRONMAN බොරළු පාපැදි ධාවකයෙක් වන සහ, අප්රිකාවේ අමානි කණ්ඩායම නියෝජනය කරන Matt Lieto සහ ඔස්ට්රේලියානු ඔලිම්පික් ක්රීඩක Imogen Smith මේ සඳහා සහභාගී වන ක්රීඩකියන් අතරට එක්වනු ඇත.
ශ්රීලංකන් ගුවන් සේවයේ මෙම ප්රයත්නය සඳහා ලෝකයේ සුප්රසිද්ධ ආයතනයක් වන Mountain Biking Worldwide සමඟ හවුල් වී සිටින අතර, රටේ බොහෝ ආගන්තුක සත්කාර සහ සැපයුම් හවුල්කරුවන්ගෙන් ද මේ සඳහා සහාය ලැබෙනු ඇත.



January, 26, 2023
මෙම වසරේ ජනවාරි 01 දින සිට ලංකා ඛනිජ තෙල් සංස්ථාව වෙත ඉන්ධන ලබා ගැනීමේ කටයුතු වෙනුවෙන් ඩොලර් නිකුත් කිරීම මහ බැංකුව විසින් නවතා දමා ඇතැයි වාර්තා වේ. මේ සම්න්ධයෙන් අද දෙරණ කළ විමසීමක දී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියා සිටියේ, බැංකු ක්රමය තුළ මේ වන විට ප්රමාණවත් විදේශ විනිමය ප්රමාණයක් තිබෙන බවත්, යම් අත්යාවශ්ය කටයුත්තකට බැංකු ක්රමය තුළින් ඩොලර් ලබා ගැනීමට නොහැකි වුවහොත් පමණක් ඒ් වෙනුවෙන් මහ බැංකුව මැදිහත් වන බවත්ය.
පසුගිය කාලයේ මහ බැංකුව විදේශ විනිමය ද්රවශීල සංචිතය ඉතාමත්ම අඩු මට්ටමක තියෙන කාලයේ දී විශාල පෝලිම් තියෙන කොට අපේ ක්රමවේදයක් තිබුණා බැංකුවලින් Export proceedings 25% ක් අපට අරගෙන එක අත්යාවශ්ය දේවල්වලට පමණක් යොමුකරන්න. ඊට අමතරව බැංකුවලට අපි කියලා තිබ්බා අත්යාවශ්ය සේවාවලට පුළුවන් තරම් ප්රමුඛතාවය දෙන්න කියලා. ඒ ක්රමය තමයි පහුගිය කාලේ තුළ ක්රියාත්මක වුණේ. දෙසැම්බර් මාසයේ විතර ඉඳලා අපි දැක්කා.
අපි විසින් මැදිහත් වෙලා විදේශ විනිමය කෙලින්ම ඒ අත්යාවශ්ය දේවල්වලට දීම වෙනුවට අපි කියලා තියෙනවා CPC එකට ගෑස්වලට ෆාමසිටියුකල්ස්වලට පුළුවන් තරම් බැංකුවල දැන් වැඩිපුර තියෙනවා, ඒවා ලබාගන්න කියලා. එහෙම ලබාගන්න බැරි වුණොත් විතරක් අපි, අපේ තියෙන ඒවායින් දෙන්නං කියලා. ඒක තමයි දැන් යන ක්රමය. ජනවාරි මාසයේ ඉඳලා ඇත්තවශයෙන්ම අපි බැලුවොත් දෙසැම්බර් සමහ ජනවාරි මේ කාලය තුළ අපේ සංචිතවලින් සන්සන්දනය කරන කොට ඒ දීලා තියෙන ප්රමාණය ක්රමයෙන් අඩුවෙලා තියෙනවා. මොකද හේතුවෙලා තියෙන්නේ බැංකුවලින් ඒගොල්ලන්ට හොයාගන්න පුළුවන් ඒ ප්රමාණය.
එතකොට අපේ වගකීම තියෙන්නේ යම්කිසි ආකාරයක අත්යාවශ්ය දේවල්වලට අවශ්ය විදේශ විනිමය බැංකු ක්රමය තුළ සොයා ගන්න නොහැකි නම් එතකොට අපි යම්කිසි ආකාරයකට මැදිහත් වෙලා අත්යාවශ්ය ප්රමාණය ලබා දෙන්න අපේ වගකීමක් තියෙනවා. අපි ඒක දිගටම කරගෙන යනවා. ඒක තමයි ඉස්සරහට වුණත් කරගෙන යන්නේ. දැන් පේන විදියට විදේශ විනිමය පැත්තෙන් ලොකු හිඟයක් බැංකු ක්රමය තුළ නැහැ.
දැන් රෙමිටන්සස් දැකකනේ ගිය මාසේ මිලියන 100ක් වැඩිපුර ආවා, කලින් මාසෙට වැඩිය. මේ මාසෙත් සෑහෙන ප්රවණතාවයක් තියෙනවා. එක්ස්පෝර්ට් වුණත් වන් බිලියන් වගේ ප්රමාණයට එනවා. ඒ ප්රමාණය ඇවිල්ලා කන්වර්ට් කරලා තියෙන කොට මාකට් එකේ සල්ලි තියෙනවා. ඒ අනුව අපිට කියන්න තියෙන්නේ අපි ගෙන යන ක්රමවේදය රටේ සියලුම කටයුතු කරගෙන යන්න යම්කිසි ආකාරයකට පහසුකම් සැලසීමට කළමනාකරණය කිරීම බැංකු ක්රමය තුළින් හෝ අපෙන්, ඒ දෙකම කරගෙන යනවා.
January, 25, 2023
Convenience Foods (Lanka) PLC (CBL සමුහයෙහි අනුබද්ධ), Isobar Sri Lanka සහ Kaali Projects සමඟ එක්ව නිර්මාණය කරන ලද සාර්ථක නවමු අත්දැකීම් රැගත් ඩිජිටල් අලෙවිකරණ ව්යාපෘතියක් වන Grand Theft Kottu වෙනුවෙන් CBL Sera Kottu Kottu මෙවර SLIM Digis 2.2 සම්මාන උළෙලේ කාණ්ඩ 06ක් යටතේ සම්මාන හිමිවිය.
මෙහිදී Grand Theft Kottu අත්දැකීම සඳහා පාරිභෝගික භාණ්ඩ(FMCG) ක්ෂේත්ර ආහාරපාන අංශයේ ඩිජිටල් අලෙවිකරණය සඳහා වූ රන් සම්මානය ඇතුළුව 'ඩිජිටල් අලෙවිකරණය තුලින් සාර්ථක නවමු අත්දැකීම් භාවිතය', 'අවම පිරිවැයකින් යුත් සාර්ථක ව්යාපෘතිය', 'හොඳම ඩිජිටල් මාධ්යයන් සහ e-ක්රීඩා සම්බන්ධීකරණය', 'ඩිජිටල් ක්රීඩා සැලසුම් කිරීම සහ e - ක්රීඩා භාවිතය' යන කාණ්ඩ හතරක් සඳහා රිදී සම්මාන දිනාගන්නා ලදී. මීට අමතරව සියලු කර්මාන්ත අතුරින් විනිශ්චය කරනු ලබන හොඳම ඩිජිටල් අලෙවිකරණ නවෝත්පාදනය සඳහා ලෝකඩ සම්මානයද දිනා ගන්නා ලදී.
Sera Kottu Kottu සන්නාමය සමඟ නවීන අත්දැකීම් සහිත ඩිජිටල් මාධ්යක් නිර්මාණය කිරීම සඳහා Grand Theft Kottu වෙනුවෙන් ලෝක ප්රකට ක්රීඩා මාලාවක් සහ open - world ක්රියාදාම සහිත ත්රාසජනක පරිගණක ක්රීඩාවක් වන Grand Theft Auto (ග්රෑන්ඩ් තෙෆ්ට් ඔටෝ) භාවිතා කරමින්, එහි GTA-5 ක්රීඩා වේදිකාව තුල කොළඹ සහ ශ්රී ලංකාවේ අනෙකුත් සුවිශේෂී ස්ථානයන් හි අනුරූ නිර්මාණය කල අතර එය ප්රවර්ධනය කිරීම සඳහා පරිගණක ක්රීඩා ක්ෂේත්රයේ ජනප්රිය online game - streaming ක්රීඩකයන් සමඟ එක්ව Sera Kottu Kottu සන්නාමය සහිත ට්රක් රථ උපයෝගී කරගනිමින් විශේෂ වැඩසටහන් මාලාවක් දියත් කරන ලදී.
"Grand Theft Kottu අලෙවිකරණ ව්යාපෘතිය, අපගේ ඉලක්කගත ප්රේක්ෂකයන්ට සමාජ මාධ්ය වේදිකා හරහා අපගේ සන්නාමය පිළිබඳ පැහැදිලි උනන්දුවක් සහ උද්යෝගයක් ඇති කරවන ඩිජිටල් ව්යාපෘතියක් වේ. මෙවැනි නව සංකල්පයක් හඳුන්වාදීම සඳහා අපගේ අලෙවිකරණ කණ්ඩායම සහ Isobar Sri Lanka කණ්ඩායම දැරූ ප්රයත්නයන් සහ කැපවීම මෙම සම්මාන තුලින් පැහැදිලි වනවා" යැයි CBL Food Cluster හි අලෙවි සාමාන්යාධිකාරී ජයංග පෙරේරා මහතා පැවැසීය.
SLIM Digis ශ්රී ලංකාවේ හොඳම ඩිජිටල් අලෙවිකරණ ප්රයත්නයන්, නවෝත්පාදන සහ දක්ෂතා හඳුනාගනිමින් ඒවා ඇගයීමට ලක්කරයි. මෙවර SLIM Digis 2.2 තරඟාවලිය සඳහා ඉතිහාසයේ වැඩිම ඉදිරිපත්වීම් සංඛ්යාවක් පැවැති බැවින්, මෙලෙස අංශ ගණනාවක ජයග්රහණයන් ලබාගැනීම කැපී පෙනෙන කරුණකි.
“ගෝලීය සහ දේශීය වශයෙන් පවතින තරගකාරී තත්ත්වයෙන් හමුවේ කැපී පෙනෙන වෙනසක් නිර්මාණය කිරීමේ අවශ්යතාව අපට දැනී තිබිණි. ඩිජිටල්කරණය මුල් කරගත් නවීන තාක්ෂණය, නව්ය වූ අත්දැකීම් සහිත ව්යාපෘති, සාර්ථක ඩිජිටල් අලෙවිකරණ ව්යාපාර සඳහා අත්යවශ්ය සාධකයකි. Grand Theft Kottu ව්යාපෘතිය සඳහා වූ නිර්මාණාත්මක ක්රියාවලිය, මනා අවබෝධය සහ සියලුදෙනාගේ කැපවීම, මෙහි සාර්ථකත්වයට බලපෑමක් කිරීමට හැකිවිය’’ යනුවෙන් Convenience Foods Lanka PLCහි අලෙවි කළමනාකාර නුවන් රත්නකීර්ති මහතා පැවසීය.
"මෙම ව්යාපෘතිය දේශීය ඩිජිටල් අලෙවිකරණ ඉතිහාසයේ සන්ධිස්ථානයක් වන අතර, Digis සම්මාන උළෙල් ඉතිහාසයේ වැඩිම සම්මානයක් දිනාගත් තනි ව්යාපෘතිය යි. SLIM Digis හිදී ශ්රී ලංකාවට කීර්තියක් ගෙන දුන් සහ e-ක්රීඩා සඳහා පළමු රන් පදක්කම දිනාගත් ආසියා-පැසිෆික් (APAC) කලාපයේ පළමු ව්යාපෘතිය ද මෙය වීම විශාල ගෞරවයක්. අලෙවිකරණය සඳහා e-ක්රීඩාව යොදා ගැනීමේ සාර්ථකත්වය අත්දැකීමෙන් පසුව, අනෙකුත් ආයතන සහ වෙළඳ නාමයන්ද පසු කාලීනව මෙම වේදිකාවට පිවිසෙනු දැකගැනීමට අප බලාපොරොත්තු වනවා” යනුවෙන් Dentsu Communications හි උප සභාපති මොහනේෂ් චමිත් බුත්ගමුව මහතා තම අදහස් දැක්විය.
2017 වසරේදී දියත් කරන ලද Sera Kottu Kottu නිෂ්පාදනයන්, තරුණ ප්රජාවට සහ ගෘහස්ත පාරිභෝගිකයන්ට පහසුවෙන් පිළියෙළ කළ හැකි ආහාර වේලක් වන අතර, නිවසේදීම සුවපහසු පරිසරය තුළ ඔවුන්ගේ ප්රියතම ‘කොත්තු’ භුක්ති විඳීමට අවස්ථාව උදාකරදී ඇත.2022 වසරදී Dragons of Asia සම්මාන උළෙලේදී, ශ්රී ලාංකේය සන්නාමයක් මෙම ක්රීඩා ක්ෂේත්රයේ සම්මානයක් දිනූ පළමු අවස්ථාව සනිටුහන් කරමින්, Grand Theft Kottu ව්යාපෘතිය ' හොඳම නව්ය අදහස සහ සංකල්පය' යන කාණ්ඩය සඳහා වූ බ්ලැක් ඩ්රැගන් සම්මානය Sera Kottu Kottu විසින් හිමිකරගන්නා ලදී.
Image caption : CBL Food Cluster, Isobar Sri Lanka සහ Kaali ව්යාපෘති කණ්ඩායම SLIM Digis 2.2 සම්මාන පාරිභෝගික භාණ්ඩ(FMCG) ක්ෂේත්ර ආහාරපාන අංශයේ ඩිජිටල් අලෙවිකරණය සඳහා වූ රන් සම්මානය ජයග්රහණය කරන ලදී.
January, 25, 2023
මහ බැංකුව විසින් ක්රියාත්මක කරන ලද පරිපාලනමය ක්රියාමාර්ග මෙන්ම දේශිය මුදල් වෙළඳපොළ ද්රවශීලතාව වර්ධනය වීම සහ දේශීය වෙළඳපොළෙහි සමස්ත අපේක්ෂා වර්ධනය වීම සඳහා ප්රතිචාර වශයෙන් ඉහළ මට්ටමක පවතින වෙළඳපොළ පොලී අනුපාතික ක්රමයෙන් පහළ යෑම ආරම්භ වීමේ සලකුණු නිරීක්ෂණය විය.
මහ බැංකුවේ නිත්ය පහසුකම් මත බලපත්රලාභී වාණිජ බැංකුවල ඉහළ රැදියාව අඩු කිරීම සඳහා මහ බැංකුව විසින් මෑතකදී අනුගමනය කරන ලද ක්රියාමාර්ග සහ ඊට සමගාමීව විවට වෙළඳපොළ කටයුතු සිඳු කිරීම හේතුවෙන් දේශීය මුදල් වෙළඳපොළෙහි ද්රවශීලතාව වැඩිදියුණු විය. මෙය අන්තර් බැංකු වෙළඳපොළ ක්රියාකාරීත්වය වර්ධනයට හේතු විය.
ද්රවශීලතා තත්ත්ව වර්ධනය වීම මෙන්ම නිල ණය හිමියන්ගෙන් ලැබීමට අපේක්ෂිත "මූල්ය සහතික" මත ආයෝජකයන්ගේ අපේක්ෂා වර්ධනය වීම හේතුවෙන් රාජ්ය සුරකුම්පත් මත ඵලදා අනුපාතික සැලකිය යුතු ලෙස පහළ ගිය අතර, එමගින් රාජ්ය සුරකුම්පත් සම්බන්ධයෙන් පවතින ඉහළ අවදානම් පහළ යෑම පිළිබිඹු කෙරේ.
මේ අතර, ද්රවශීලතා තත්ත්ව වර්ධනය වීම හේතුවෙන් වෙළඳපොළ තැන්පතු පොලී අනුපාතික ද සැලකිය යුතු ලෙස පහළ යෑමක් පෙන්නුම් කර ඇත. මෙම ප්රවණතා ඉදිරි කාලය තුළදී ඉහළ මට්ටමක පවතින පොලී අනුපාතික පහළ යෑම සඳහා හේතු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කෙසේ වෙතත්, දැඩි මුදල් තත්ත්වය සහ ආර්ථික ක්රියාකාරකම් පහළ යෑමට ප්රතිචාර වශයෙන් වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශය වෙත ලබා දුන් සමස්ත ණය ප්රමාණය අඛණ්ඩව පහළ ගියේය. අඩු වේගයකින් වුවද, මුදල් ප්රසාරණය ද ඉහළම මට්ටමේ සිට පහළ යෑමක් වාර්තා කළේය.
ශ්රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2023 අංක 01 මුදල් ප්රතිපත්ති විවරණයේ මේ පිළිබඳව සඳහන් වේ.
January, 24, 2023
Viber පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කිරීමට සහ සන්නාම හඳුනාගැනීම ඉහළ නංවන Business Inbox සහ Commercial Account යෙදුම් හඳුන්වා දෙයි.
පෞද්ගලික සහ ආරක්ෂිත පණිවිඩ යැවීමේ සහ කටහඬ (Voice) පදනම් කරගත් සන්නිවේදනයේ ගෝලීය ප්රමුඛයා වන Rakuten Viber විසින් සිය යෙදුමේ (App) සන්නාම-පරිශීලක සබඳතා ක්රම විකාශයේ නව අදියරක් ලෙස ප්රධාන විශේෂාංග ද්විත්වයක් ලොව පුරා එළිදැක්වීමට පියවර ගෙන ඇත. නව හඳුන්වාදීම් අතරට Business Inbox සහ Commercial Account එකක් සහිත යෙදුම් ඇතුළත් කළ ඇති අතර, එය Viber හි දිගුකාලීන සුපිරි යෙදුම් උපාය මාර්ගයන් තුළ මීළඟ ඉදිරි පියවර බවට පත්වනු ඇත.
පර්යේෂණ වාර්තාවලට අනුව, පාරිභෝගිකයින්ගෙන් 71% ක් පෞද්ගලිකව අන්තර් සබඳතාවයන් පවත්වනු ඇතැයි සමාගම් අපේක්ෂා කරන අතර, ආයතනවලින් 82% ක් පමණ සේවා හරහා වඩාත් ගුණාත්මක පාරිභෝගික සේවා වටිනාකමක් ලබා දීම සඳහා අගය වැඩි කිරීමේ උපාය මාර්ගයක් ක්රියාත්මක කිරීමට සැලසුම් කරයි. මෙම නව හඳුන්වාදීම පරිශීලකයන් සහ ව්යාපාර යන අංශ දෙක කෙරෙහිම අවදානයේ තබා ගනිමින්, Viber හි යාවත්කාලීන කිරීම් වඩා ඉහළ පාරිභෝගික අත්දැකීමක් සහ සන්නාම වෙත නැඹුරු කිරීමට ගනු ලැබූ පියවරකි.
සන්නාම-පරිශීලක සන්නිවේදනය වැඩිදියුණු කිරීම අරමුණු කොට ගෙන, Viber විසින් සන්නාම-පරිශීලක අන්තර් සබඳතා සඳහා වෙන්වූ අවකාශයක් පුද්ගලයෙකුගේ සාමාන්ය කතාබස් තිරය තුළින් සෘජුවම ප්රවේශ විය හැකි අයුරින් මෙම Business Inbox යෙදුම ගෝලීයව හඳුන්වා දී ඇත. නිල සන්නාම ගිණුම් වලින් ලැබෙන සියලුම ව්යාපාරික පණිවිඩ එක් ෆෝල්ඩරයක් තුළ (බැංකු දැනුම්දීමක්, බෙදාහැරීමේ සේවාවකින් ඇණවුම් තහවුරු කිරීමක්, වෙළඳසැලකින් ලැබෙන විශේෂ දීමනාවක් වැනි දෑ) ගබඩා කිරීම සහ සකස් කිරීම මෙම විශේෂාංගය ඉඩ සපයා දෙනු ලබයි.
පරිශීලකයාට ඔවුන්ගේ පළමු ව්යාපාරික පණිවිඩය ලැබුණු පසු Business Inbox සක්රිය කෙරෙනු ඇත. මීට පෙර ව්යාපාර සමඟ සංවාද කර ඇති පරිශීලකයින් සඳහා, විශේෂාංග යෙදුම නිකුත් වීමෙන් අනතුරුව ව්යාපාර සමඟ පවතින සියලුම කතාබස් ස්වයංක්රීයව Business Inbox වෙත රැගෙන යනු ඇත. Business Inbox ෆෝල්ඩරය කතාබස් ලැයිස්තුවේ නිර්මාණය කළ පසු, සියලුම ව්යාපාරික පණිවිඩ ඒ වෙත යනු ලබයි. Business Inbox මඟින් පරිශීලකයින්ට Viber හි මෙම අත්දැකීම ඔවුන් කැමති පරදි සහ ඔවුන්ට වඩාත් පහසු වන ආකාරයට සන්නාම සමඟ අන්තර් සබඳතා වෙනුවෙන් ඉඩ සලසනු ඇත.
ව්යාපාරයකින් නවතම යාවත්කාලීන කිරීම් සොයා ගැනීම මේ තුළින් පහසු වනු ඇත. ෆෝල්ඩරය තුළට යන පෙර අවසන් කරනු ලැබූ සංවාද කතාබස් තිරයේ ඉහළට අමුණනු ඇති අතර, ව්යාපාරික පණිවිඩ පුද්ගලික කතාබස් සමඟ මිශ්ර නොවනු ඇත. Business Inbox මඟින් පාරිභෝගික සේවා වැඩිදියුණු කිරීමට, සන්නාම වෙත නැඹුරුව වැඩි කිරීමට සහ පරිවර්තන ධාවනය කිරීමට සන්නාම සහ පරිශීලකයන් අතර වඩාත් කාර්යක්ෂම අයුරින් සන්නිවේදනය කටයුතු සක්රීය කරනු ලබයි.
වඩාත් හොඳ මට්ටමේ පාරිභෝගික අත්දැකීමක් ලබා ගැනීම සඳහා තවත් පියවරක් වන්නේ නව Commercial Account විශේෂාංග යෙදුමයි. මෙය හරහා පරිශීලකයින් හට එකම ස්ථානයක දී සන්නාමයක් සමඟ සම්බන්ධ වීම සඳහා සියලු මාර්ග සොයා දෙනු ලබයි. එය සොයා ගත හැකි තනි ව්යාපාරික ආයතනයක් යටතට Viber හි සියලුම ව්යාපාරික තොරතුරු, සේවා සහ කතාබස් සත්කාරකත්වය හිමි වේ.
සෙවිය හැකි නව Commercial Accounts පරිශීලකයින් හට වැඩි බලයක් සපයා දෙනු ඇත. ඔවුන්ට වෙළඳ නාම සොයා ගැනීමට ඇති හැකියාව, සොයා ගැනීම පමණක් නොව වෙළඳ නාම සමඟ සන්නිවේදන කටයුතු කල්තියා ආරම්භ කිරීමට මේ මගින් හැකි වේ. Commercial Accounts පාරිභෝගිකයින්ගේ අත්දැකීම් ද වැඩිදියුණු කරනු ලබයි. Viber හි ව්යාපාරයක් සමඟ සම්බන්ධ වීමට කැමති පරිශීලකයින් හට ඔවුන් කැමති නාලිකාව තෝරා ගැනීමට සහ විශේෂාංග යෙදුම තුළ කුඩා වෙබ් අඩවි අත්දැකීමක් ලබා ගැනීමට හැකි වේ. මේ අතර, සන්නාමයන් ගනුදෙනුකරුවන් සමඟ සිය සන්නිවේදන කටයුතු විධිමත්ව බාධාවකින් තොරව පාරිභෝගික අත්දැකීම් නිර්මාණය කරනු ලබයි.
Viber හි Commercial Accounts හරහා හැකියාවන් පුළුල් කරමින්, පරිශීලකයින් හට පහසු ලෙස ලබා ගත හැකි සන්නිවේදන නාලිකා, තනි ගිණුමක් යටතේ තවත් සේවාවන් සහ වෙන්කරවා ගැනීම්, ස්ථානය, ව්යාපාරයක් ඇමතීම සහ තවත් බොහෝ දේ ඇතුළුව දිගු විශේෂාංග සපයා දෙනු ඇත. මෙම වසර අවසානයේදී මෙම විශේෂාංග යෙදුම කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාර සඳහා වැඩි කළමනාකරණ අවස්ථා හඳුන්වා දීමට නියමිතය.
Business Inbox සහ Commercial Account යන විශේෂාංග සමඟින් Viber ව්යාපාරයක් සමඟ සම්බන්ධ වීමේදී පරිශීලක ආරක්ෂාව සහ විශ්වාසය තවදුරටත් වර්ධනය කිරීමට අරමුණු කර ඇත. සන්නාමවලින් ලැබෙන සියලුම ව්යාපාරික පණිවිඩ Business Inbox වෙත යොමුවන අතර, එය ව්යාපාරයක් ලෙස පෙනී සිටීමට උත්සාහ කරන පුද්ගලික ගිණුම් සඳහා ප්රවේශ වීමට ඉඩ ලබා නොදෙනු ඇත. මෙහි ඇති වටිනා එකතු කිරීමක් වන්නේ පරිශීලකයින් හට තහවුරු කරන ලද වෙළඳ නාම හඳුනා ගැනීමට උපකාර වන 'නිල් පැහැති ටික් සලකුණය'. Commercial Accounts සඳහා වන සියලුම ව්යාපාරික තොරතුරු එක තැනක ප්රදර්ශනය කරනු ඇත.
'' Viber හි මීළඟ ඉදිරි පියවර වන්නේ මෙම සන්ධිස්ථානය නැවත යාවත්කාලීන කරමින් සියලුම සන්නාම-පරිශීලක සන්නිවේදන ක්රියා සහ අන්තර් සබඳතාවයන් පහසු එක්-නැවතුම් පොළක් ලෙස ක්රියා කරන සුපිරි යෙදුමක් නිර්මාණය කිරීමයි. පරිශීලකයා හට විශේෂාංග යෙදුමේ ඇති වටිනාකම වැඩි කිරීමට සහ වෙළඳ නාමවලට ඔවුන්ගේ ප්රේක්ෂකයින් සමඟ සම්බන්ධ විය හැකි අවස්ථා පුළුල් කිරීම යන ගුණාත්මක දෑ අපි හඳුන්වා දෙන අනෙක් සුපිරි යෙදුම් විශේෂාංග සඳහා පාදක කර ගන්නවා'' යැයි මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් Rakuten Viber හි ප්රධාන විධායක නිලධාරී ඔෆීර් ඉයාල් පැවසීය.
මෙම විශේෂාංග දෙක 2023 ජනවාරි 23 සිට ගෝලීය වශයෙන් ලබා ගත හැකිය.
January, 24, 2023
2022 වෙළෙඳසේවා අන්තර් සමාගම් කණ්ඩායම් බැඩ්මින්ටන් තරඟාවලියේ 5 වැනි ස්ථානය දිනා ගැනීමට සම්පත් බැංකුවේ බැඩ්මින්ටන් කණ්ඩායම සමත් විය. පසුගිය දෙසැම්බර් 3 වැනිදා සිට 18 වැනි දින දක්වා කොළඹ 07 රාජකීය විද්යාලයීය ක්රීඩා සංකීර්ණයේදී පැවති මෙම තරඟාවලිය සඳහා ආයතන 50කට වැඩි ප්රමාණයක් නියෝජනය කරමින් කණ්ඩායම් 175ක් පමණ එක්ව සිටි අතර ඒ සියලු කණ්ඩායම් අතුරින් ශූරතාවලියේ 5 වැනි ස්ථානය දිනා ගැනීමට සම්පත් බැංකු බැඩ්මින්ටන් කණ්ඩායම සමත් වූයේ තමන් සහභාගී වූ කාණ්ඩ 4කින් පමණක් වීම මෙහි විශේෂත්වයකි.
එහිදී B කාණ්ඩය යටතේ පැවති පිරිමි විවෘත බැඩ්මින්ටන් ශූරතාවය හා මිශ්ර කණ්ඩායම් ශූරතාවය තමන් සතු කර ගැනීමට සමත් වූ සම්පත් බැංකු බැඩ්මින්ටන් කණ්ඩායම C කාණ්ඩය යටතේ කාන්තා අනුශූරතාව මෙන්ම ප්රවීණයින්ගේ අනුශූරතාවයද සම්පත් බැංකුව වෙත දිනා දීමට සමත් වූයේ සම්පත් බැංකු ක්රීඩා ඉතිහාසයේ තවත් ඓතිහාසික සංධිස්ථානයක් සනිටුහන් කරමිනි.
තවද B කාණ්ඩය යටතේ ශූරතාවය දිනාගත් තරඟාවලි දෙකෙහිම හොඳම ක්රීඩකයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබීමට සම්පත් බැංකු බැඩ්මින්ටන් කණ්ඩායම නියෝජනය කළ හසිත චානක සමත්වීම විශේෂත්වයකි.
වාර්ෂිකව සංවිධානය කරනු ලබන වෙළෙඳසේවා ක්රීඩා තරඟාවලියේදී මෙන්ම තවත් බොහෝ තරඟාවලීන් හිදී කැපී පෙනෙන දක්ෂතා ප්රදර්ශනය කරමින් විශිෂ්ට ඇගයීම් හිමිකර ගැනීමට සම්පත් බැංකු ක්රීඩක ක්රීඩිකාවන් සමත්ව ඇත' විශේෂයෙන් සිය සේවක ප්රජාවගේ උනන්තිය වෙනුවෙන් නිරන්තරයෙන් වෙහෙසෙන සම්පත් බැංකුව ක්රීඩාව තුළින් ඔවුන්ගේ හැකියාවන් තව දුරටත් ඉහළ නැංවීමට මෙන්ම ජාතික වශයෙන් ක්රීඩාවේ දියුණුවට දායක වීම සඳහා ද කැපවී කටයුතු කරයි.

2022 වෙළෙඳසේවා බැඩ්මින්ටන් තරඟාවලියේ 5 වන ස්ථානයට හිමි සහතික පත්රය ක්රීඩා නායක හා ලේකම් විසින් ලබා ගනිමින්
ඡායාරූප - බැට්මින්ටන් තරඟාවලිය සඳහා සහභාගී වූ සම්පත් බැංකුවේ සමස්ත බැඩ්මින්ටන් කණ්ඩායම
January, 24, 2023
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, 2023 ජනවාරි මස සිට සිය නව ප්රධාන අලෙවි නිලධාරී ලෙස සසිත් බඹරදෙණිය සම්බන්ද වූ බව සතුටින් නිවේදනය කර සිටියි. වසර 15ක අලෙවිකරණ, සන්නිවේදන, ක්රමෝපායික සැලසුම් සහ මෙහෙයුම් නායකත්වයකින් හෙබි සසිත් බඹරදෙණිය මහතා දේශීය රක්ෂණ ක්ෂේත්රය තුල කැපී පෙනෙන මෙන්ම සම්මානලාභී නව්ය ප්රයත්නයන් ගණනාවක් සඳහා පෙරමුණ ගෙන ක්රියාත්මක වී ඇති අත්දැකීම් සපිරි අලෙවිකරණ නායකයෙකි.
බඹරදෙණිය මහතා AIA සමාගමට ආගන්තුකයෙකු නොවේ. සිය වෘත්තීය ජීවිතය AIA ශ්රී ලංකා හි කළමනාකරණ පුහුණුලාභියෙකු ලෙස අරඹන ඔහු පසුව විවිධ ක්ෂේත්ර ගණනාවක් පුරාවට සේවය කර අත්දැකීම් රාශියක් ලබා ඇති අතර ඉතා මෑතක දී එනම් AIA හා සම්බන්ද වීමට පෙර ෆෙයා ෆස්ට් රක්ෂණ සමාගමේ ප්රධාන අලෙවි නිලධාරී තනතුර හෙබවීය. නිර්මාණශීලීත්වය, නවෝත්පාදන සහ පරිවර්තනය සඳහා මූලිකත්වය ගෙන කටයුතු කිරීමට ඔහුට ඇති හැකියාව මෙන්ම ඔහු සතු අත්දැකීම් සම්භාරය ඔස්සේ AIA ශ්රී ලංකා හි තරුණ නායකත්ව කණ්ඩායමේ දක්ෂතා පූර්ණ සංචිතයට නව ජවයක් ඔහුගෙන් ලැබෙනු ඇත.
සසිත් බඹරදෙණිය මහතා ඉහල ශක්තතාවයන් දක්වන විෂයන් අතුරින් ඇතැමක් ලෙස නිෂ්පාදන කළමනාකරණය, විද්යුත් ව්යාපාර(e-commerce) සන්නාම සංවර්ධනය සහ සන්නිවේදනය හැදින්විය හැක. ඔහු ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්යාලයෙන් කළමනාකරණය පිලිබඳ පශ්චාත් උපාධියක් ලබා ඇති අතර ඕස්ට්රේලියාවේ නිව්කාසල් විශ්ව විද්යාලයෙන් අලෙවිකරණය සහ කළමනාකරණය පිළිබඳ ප්රධාන වූ ව්යාපාර පිළිබඳ උපාධියක් ද ඔහු සතුව ඇත.
AIA ශ්රී ලංකා හි ප්රධාන විධායක නිලධාරිනී චතුරි මුනවීර මහත්මිය මෙම පත්වීම පිළිබඳව සිය අදහස් දක්වමින් කියා සිටියේ "සසිත් අත්දැකීම් බහුල, ඉහල දක්ෂතාවලින් පිරිපුන් අලෙවිකරණ නායකයෙක්. සන්නාමය වැඩි දියුණු කරමින් සේවාලාභීන් සහ ව්යාපාර කේන්ද්රික අලෙවිකරණ ප්රවේශයක් ඔස්සේ සන්නාමය සංවර්ධනය කරා ගෙනයාමේ හැකියාව ඔහුට තිබෙන බව මගේ විශ්වාසයයි. ඔහු AIA ශ්රී ලංකා හි කණ්ඩායමට මෙන්ම විධායක කණ්ඩායම නියෝජනය කිරීම පිළිබඳව මා හදවතින්ම සතුටු වෙනවා.
"AIA ශ්රී ලංකා හි ක්රමෝපායික ගමන්මග සහ වර්ධන අභිලාෂයන් සමගින් සම්බන්ද වීමට ලැබීම මට සතුටක්." යැයි සසිත් බඹරදෙණිය මහතා සිය අදහස් දක්වමින් කියා සිටියි. මම මගේ වෘත්තීය ජීවිතය ආරම්භ කලේ AIA සමාගම සමගින් ඒ නිසා මෙම සමාගම මගේ හදවතට ඉතාමත් සමීපයි. මට මගේ වෘත්තීය ගමන්මග තුල තිබූ අපේක්ෂාවන් කඩිනමින් ලඟා කරගැනීමට මට AIA ශ්රී ලංකා අවස්ථා ලබා දුන්නා. මා හට එවන් සාර්ථක ආරම්භයක් ලබා දුන් සමාගමට නැවත සම්බන්ද වීමට ලැබීම භාග්යක් ලෙස මා සලකනවා. AIA ශ්රී ලංකා හි කණ්ඩායම සමගින් එක්ව ව්යාපාරයේ ඉදිරි සාර්ථකත්වය කරා ගමන් කිරීමට මා කැපවන අතර මේ සුන්දර දිවයිනේ වෙසෙන ප්රජාවගේ ජීවිත වලට අර්ථවත් වෙනසක් ඇතිකිරීම සඳහා මාගේ නොමඳ සහය ලබා දීමට මා බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාහට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිත ගත කිරීමට සහාය වීම යන අපගේ සන්නාම ප්රතිඥාවට සැබෑ අරුතක් එක්කිරීම අප කරන්නා වූ සෑම කටයුත්තක් සඳහාම එම ප්රතිඥාව කේන්ද්රකොට ගැනීමට ප්රයත්න ගන්නා අතර ජීවිත රක්ෂණය ඔස්සේ ප්රජාවට ජීවිතය උපරීමයෙන් ගත කිරීමට සහය වන පරිසරය නිර්මාණය කිරීමට, රක්ෂණයක සාම්ප්රදායික ආකෘතියෙන් ඔබ්බට යමින් පරිවර්තනයක් ඇති කිරීමේ පුරෝගාමී මෙහෙවර සිදුකිරීමට අපි අපේක්ෂා කරනවා"
January, 23, 2023
පුරෝගාමී ජීවිත රක්ෂණ සමාගමක් වන ජනශක්ති ලයිෆ්, ශ්රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA Sri Lanka) විසින් සංවිධානය කරන ලද 'TAGS සම්මාන 2022' සම්මාන උළෙලෙහි දී රක්ෂණ අංශයේ රන් සම්මානය දිනා ගැනීමට සමත් විය.
මෙම ජයග්රහණය පිළිබඳව අදහස් දක්වමින් ජනශක්ති ඉන්ෂුරන්ස් පීඑල්සී හී අධ්යක්ෂ / ප්රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා මෙසේ පැවසුවේ ය. "කීර්තිමත් CA Sri Lanka ආයතනය සංවිධානය කළ TAGS සම්මාන උලෙළේ දී ඇගයීමට ලක් වීම අපට ගෞරවයක් වගේ ම, මෙම සම්මානය මඟින් අපගේ ආයතනික ස්ථාන ගත කිරීම රක්ෂණ ක්ෂේත්රයේ සම්මානලාභී සමාගමක් බවට උසස් වුණා. මෙම ජයග්රහණය ජනශක්ති ලයිෆ් සමාගම සතු ශක්තිමත් ප්රතිපත්ති, විනිවිදභාවය, මනා පාලනය සහ වටිනාකම් පිළිබඳ සාක්ෂියක්. අපගේ සියලු ම පාර්ශ්වකරුවන්ට නිවැරදි සහ ප්රමිති ගත වාර්ෂික වාර්තාවක් ලබා දීමට අපි නිරන්තරයෙන් කටයුතු කරන බව පැවසීමට කැමතියි. ඒ වගේ ම මෙම ජයග්රහණය වෙනුවෙන් කැප වූ අපගේ කණ්ඩායමට සුබ පැතීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා."
ජීවිත නඟා සිටුවමින් සහ සිහින සවි බල ගැන්වීමේ ආයතනික අරමුණ පෙර දැරි කරගනිමින් ක්රියාත්මක වන ජනශක්ති ලයිෆ් සෑම විටම තම පාර්ශවකරුවන්ට සදාචාරාත්මකව සහ විනිවිදභාවයෙන් යුතුව වැඩි වටිනාකමක් ලබා දීමට කටයුතු කරයි. පාරිභෝගික ජනතාවගේ ජීවිතයේ සෑම අදියරක දී ම පැන නඟින විවිධ අවශ්යතා සඳහා රක්ෂණ විසඳුම් සහ සේවාවන් ලබා දෙන ජනශක්ති ලයිෆ් මෙම අරමුණ සිය සේවකයින් දක්වා පුළුල් කරමින්, තම කණ්ඩායම් සාමාජික සාමාජිකාවන්ගේ සිහින සහ අපේක්ෂාවන් බලගැන්වීමට සහ සාක්ෂාත් කර ගැනීම සඳහා සහයෝගය ලබා දීමට සුදුසු සේවා පරිසරයක් ගොඩනඟා ඇත.
ජනශක්ති ලයිෆ් ඉතිහාසයේ ප්රථම වතාවට ‘ශ්රී ලංකාවේ හොඳ ම ජීවිත රක්ෂණකරු' ලෙස පසුගිය දා ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක් විය. ලන්ඩනය කේන්ද්ර කර ගනිමින් ක්රියාත්මක වන, ජාත්යන්තර වශයෙන් පිළිගැනීමට ලක් ව ඇති කැපිටල් ෆිනෑන්ස් ඉන්ටර්නැෂනල් (CFI.co) විසින් පිරිනමනු ලබන මෙම කීර්තිමත් සම්මානය මඟින් ආර්ථිකයේ වර්ධනයට සැලකිය යුතු ලෙස දායක වෙමින්, සියලු පාර්ශ්වකරුවන් සඳහා වටිනාකම් එකතු කරන ආයතන හඳුනා ගනිමින් ඇගයීමට ලක් කරයි. 2022 වසරේ දී ආකර්ෂණීය සන්නාම වටිනාකම් වර්ධනයක් වාර්තා කරමින්, ‘ශීඝ්රයෙන් වර්ධනය වන ශ්රී ලාංකීය සන්නාමවලින් එකක්’ ලෙස TOP 10 ගෞරවය ලැයිස්තුවට ඇතුළත් වූ ජනශක්ති ලයිෆ් එම ජයග්රහණය හිමි කර ගත් මෙරට එක ම රක්ෂණ සන්නාමය ලෙසින් ද හඳුන්වා දිය හැකි ය.
ජනශක්ති ලයිෆ් 2021 වසරේ දී පැවැත් වූ 3 වැනි ICC නැගී එන ආසියානු රක්ෂණ සම්මාන උළෙලේ දී, ‘රක්ෂණ ව්යප්තිය වෙනුවෙන් හොඳ ම උපාය මාර්ග’ සඳහා වන සම්මානය දිනා ගත්තේ, විශිෂ්ට රක්ෂණ විසඳුම් තුළින් කලාපීය රක්ෂණ ක්ෂේත්රයේ වර්ධනය සඳහා දක්වන දායකත්වය වෙනුවෙනි. තවද, ජනශක්ති ලයිෆ් 'වසරේ ගෘහස්ථ රක්ෂණකරු' ලෙස ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක් වූ අතර, 2022 රක්ෂණ ආසියා සම්මාන උළෙලෙහි දී ‘වසරේ විශිෂ්ටතම ජංගම යෙදවුම' ට හිමි සම්මානය දිනා ගැනීමට ද සමත් විය.
වසර 28ක කාලයක් පුරා, ජනශක්ති ලයිෆ් පීඑල්සී මෙරට රක්ෂණ ක්ෂේත්රයේ විප්ලවීය වෙනසක් සිදු කරමින් ඉදිරියටම ගමන් කිරීමට සමත්ව ඇති අතර, එම සමාගමේ 75 කට අධික දීප ව්යාප්ත ශාඛා ජාලය හරහා සෑම තරාතිරමක ම පුද්ගලයින්ට එහි අද්විතීය රක්ෂණ විසඳුම් වෙත ප්රවේශ වීමට හැකියාව ලබා දී ඇත.
January, 23, 2023
පරිසර හිතකාමී බව සහ තිරසාරත්වය සම්බන්ධයෙන් ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගම දක්වන සුවිශේෂී කැපවීම තව දුරටත් තහවුරු කරමින් එම සමාගම පසුගියදා ජාත්යන්තර ISO 50001:2018 ප්රමිතිකරණ සහතිකය ලබා ගැනීමට සමත් විය. මෙම සහතිකකරණය ශ්රී ලංකා ප්රමිති ආයතනය විසින් ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගමේ බලශක්ති කළමනාකරණ පද්ධතිය (Energy Management System - EnMS) සහතික කරමින් ප්රදානය කරන ලද අතර ඇලුමිනියම් නිෂ්පාදන ක්ෂේත්රයේ සමාගම් අතරින් මෙම සහතිකකරණය ලබා ගත් පළමු සමාගම බවට ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගම පත් වීම කැපී පෙනුණි. ISO 50001:2018 යනු ප්රමිතිකරණය සඳහා වන ජාත්යන්තර ආයතනය (ISO) විසින් බලශක්ති කළමනාකරණ පද්ධති ස්ථාපනය කිරීම, නඩත්තුව හා කළමනාකරණය ප්රමිතිකරණය කිරීම සඳහා 2011 වසරේදී හඳුන්වාදෙන ලද සහතිකකරණයයි. ISO 50001 ප්රමිතීන්ට අනුගත වීම හරහා සමාගම්වලට ඔවුන්ගේ බලශක්ති ප්රභවයන් හා භාවිතය වඩාත් සාර්ථකව කළමනාකරණය කරගනිමින් බලශක්තිය පරිභෝජනය හා පිරිවැය ප්රශස්තව පවත්වාගෙන යාමට හැකියාව ලැබේ.
ලෝකය පුරා විශේෂඥයින් විසින් ISO 50001 ප්රමිතිකරණය ගෝලීය බලශක්ති පරිභෝජනය අවම කිරීම සඳහා සාර්ථකම විසඳුමක් ලෙස පෙන්වා දෙන අතර ඔවුන් ඇස්තමේන්තුගත කරන ආකාරයට ඊට ගෝලීය බලශක්ති පරිභෝජනය 60% කින් පමණ පහත හෙලීමට හැකියාවක් ඇත. විශේෂයෙන්ම ශ්රී ලංකාව වර්තමානයේදී මුහුණ දී සිටින තත්ත්වය සැළකිල්ලට ගැනීමේදී වගකීම් සහගත ව්යාපාරයක් වශයෙන් සිය බලශක්ති පරිභෝජනය අවම කිරීම සඳහා කැපවීමෙන් ක්රියා කිරීම ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගම ගත් ප්රශංසනීය පියවරක් ලෙස සඳහන් කළ හැකිය.
මේ පිළිබඳව අදහස් දක්වමින් ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගමේ ප්රධාන විධායක නිලධාරී තරිඳු අතපත්තු මහතා මෙසේ පැවසීය “සමාගමක් වශයෙන් අප ලබා ඇති සාර්ථකත්වයේ ප්රධානතම හේතුවක් වන්නේ අපේ ව්යාපාර මෙහෙයුම් තුළ පරිසරය සහ තිරසාරත්වය කෙරෙහි අපි දක්වන සැළකිල්ලයි. ඒ නිසා ISO 50001:2018 සහතිකකරණය දිනා ගැනීම අප ලැබූ දැවැන්ත ජයග්රහණයක්. ඊට අදාළ සියලුම ගෞරවය ඒ වෙනුවෙන් කැපවීමෙන් වැඩ කළ ස්විස්ටෙක් ඇලුමිනියම් කණ්ඩායමට හිමි විය යුතුයි. ඒ වගේම මේ සහතිකකරණය දිනාගත් ඇලුමිනියම් ක්ෂේත්රයේ පළමු සමාගම බවට පත් වීම අපට විශාල ආඩම්බරයක්.”
ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගම දීර්ඝ කාලයක් පුරා සිය බලශක්ති කළමනාකරණ පද්ධතිය තිරසාර මට්ටමක පවත්වා ගෙන යාම සඳහා දැවැන්ත ආයෝජනයන් සිදු කරමින් සිටින අතර ඊට හොඳම උදාහරණයක් වන්නේ මෑතකදී සමාගම විසින් රුපියල් මිලියන 156.5 ක වියදමක් දරා ස්ථාපනය කරන ලද ෆොටෝවෝල්ටික් පැනල 3340 කින් සමන්විත සූර්ය පැනල පද්ධතියයි. ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගම අඛණ්ඩවම තිරසාරත්වය වෙනුවෙන් කටයුතු කිරීමට හැකිවන පරිදි ක්රමෝපායික වශයෙන් ඉලක්කගත වී සිටින අතර ඒ අනුව ඉදිරියේදී තව දුරටත් ඒ සම්බන්ධයෙන් විශිෂ්ට ප්රතිඵල අත්පත් කරගැනීමට සමාගම අපේක්ෂා කරයි.
ශ්රී ලංකාවේ ප්රමුඛතම ඇලුමිනියම් හා ඇලුමිනියම් ආශ්රිත නිෂ්පාදන සිදු කරන ස්විස්ටෙක් ඇලුමිනියම් (Swisstek Aluminium) සමාගම ලංකා වෝල්ටයිල් සමාගමට අනුබද්ධිත ආයතනයකි. මෙරට ඇලුමිනියම් වෙළෙඳපොලේ ප්රමුඛයෙකු වන ස්විස්ටෙක් ඇලුමිනියම් උසස් තත්ත්වයේ නිෂ්පාදන, නව්යකරණය හා විශිෂ්ටත්වය කෙරෙහි මෙන්ම පරිසර හිතකාමීව සිය මෙහෙයුම් සිදු කිරීම සම්බන්ධයෙන් ද කීර්තියක් උසුලන සමාගමක් වීම විශේෂත්වයකි.

Video Story